Wednesday, September 2, 2015

හංවැල්ල ප්‍රදේශයේ අනවසර වැලි ගොඩ දැමීම වැළැක්වීමට පියවර ගැනේ

හංවැල්ල ප්‍රදේශයේ කැළණි ගගේ ගම්පහ ඉවුරෙහි මෙන්ම කොළඹ දිස්ත්‍රික් ඉවුරෙහි ද වැලි ගොඩ දැමීම දිගින් දිගටම සිදු වන බව හංවැල්ල වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ජී.එස්.කේ.කන්නංගර මහතා පැවසීය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා  කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරිසර හා ඩෙංගු කමිටු රැස්වීමේ දීය.
 
මෙම අනවසර වැලි ගොඩ දැමීම හංවැල්ලේ සිට කැළණි ගග දෙපස සිදු කෙරෙන අතර එය වැලැක්වීම සදහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය මෙම කමිටු රැස්වීමේ දී සැලකිල්ලට භාජනය කෙරුණි. දැනටමත් හංවැල්ල ප්‍රදේශයේ කැළණි ගග මුහුදු මට්ටමේ සිට මීටර් 02 ක් පමණ පහලින් ගැඹුරු වී ඇති බැවින් කර දිය ගලා ඒම හංවැල්ල දක්වා සිදු වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් පෙන්වා දී ඇත. එසේම කැළණි ගග දෙපස ඉවුරු කඩා වැටීම ද නොකඩවා සිදු වේ. මේ පිළිබද මධ්‍යම පරිසර අධිකාරිය විසින් කැළණි ගග දෙපස අඩි 50 ක රක්ෂිතයක් පවත්වා ගත යුතු බව තීරණය කර ඇත.
 
මේ සම්බන්ධව වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කරන ලෙසත්, අනවසර වැලි ගොඩ දැමීම් පිළිබද පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාශය මගින් වැටලීම් සිදු කිරීමටත්, පවතින ගැටළුව පිළිබද පොලිස්පති හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් දැනුවත් කිරීම සදහා කටයුතු කරන ලෙසත් කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා උපදෙස්  දුන්නේය. 
 
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරු,මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරින් ඇතුලු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
උපුටා ගැනීම - news.lk වෙබ් අඩවිය (2015-09-01)

No comments:

Post a Comment