Tuesday, February 1, 2022

ලෝක තෙත්බිම් දිනය පෙබරවාරි 02 දිනට යෙදී ඇත. (2022)

 

ලෝක තෙත්බිම් දිනය - පෙබරවාරි 02 දිනට (2022)

තාවකාලිකව හෝ ස්ථිරව හෝ ජලයෙන් යටවී පවතින බිම් තෙත් බිම්ය. ජල සම්පත සුරකිමින් මිනිසා සතුන් ඇතුළු සොබාදහමේ පැවැත්මට තත් බිම්වලින් ඉටුකරන මෙහෙය සුළු පටු නොවේ. ඒවායින් ආර්ථිකමය වශයෙන් අත්කරදෙන වාසිද රැසකි. රම්සා සම්මුතියෙන් තෙත් බිම් සංරක්ෂණයට පියවර ගැනුණේ ද තෙත්බිම් සතු වටිනාකම් හේතුවෙනි. තෙත් බිම් සම්පතකි. එය රැකගනිමු. මේ ලිපිය පෙබරවාරි 02 වැනි දිනට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙනි.

2022 වර්ෂයේ තෙත් බිම් දින තේමාව

යම් විශේෂිත තේමාවක් යටතේ සෑම වසරකම අන්තර්ජාතික තෙත් බිම් දිනය සමරනු ලබයි. 2022 වසරේ අන්තර්ජාතික තෙත් බිම් දිනයේ තේමාව වන්නේ “Wetlands Action for People and Nature" - "ජනතාව හා සොබාදහම සඳහා තෙත් බිම් ක්‍රියාකාරීත්වය” යන්නයි. එසේම ප්‍රධාන තේමා පාඨය ලෙස “Value - Manage - Restore - Love” අගයමු - කළමනාකරණ කරමු - ප්‍රතිස්ථාපනය කරමු - ආදරය කරමු යන්නයි.

තෙත් බිම් දිනයට මඟ පෑදූ රම්සා සම්මුතිය

1971 වසරේ පෙබරවාරි මස ඉරානයේ රසා නගරයේදී තෙත් බිම් සම්බන්ධව අන්තර්ජාතික සමුළුවක් පැවැත්වුණි. එවකට ලොව ප්‍රකට පරිසරවේදීන්, විද්වතුන්, රාජ්‍ය නියෝජිතයන් ඇතුළුව විශාල පිරිසක් ඊට සහභාගි වූහ. එහිදී ඇති කරගත් සම්මුතිය තෙත් බිම් ආශ්‍රිත ජලජ පක්ෂීන්ගේ වාසස්ථාන පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (තෙත් බිම් සම්මුතිය) නම් වේ. ඉරානයේ රසා නුවරදී ඇතිකරගත් බැවින් රම්සා සම්මුතිය නමින්ද හඳුන්වයි. ශ්‍රී ලංකාව 1990 වසරේ සිට රසා සම්මුතියේ පාර්ශ්ව රාජ්‍යයක් ලෙස කටයුතු කරයි.

තෙත්බිම් යනු මොනවාද?

බාදිය මට්ටමේ සිට මීටර් 6 ට අඩු මුහුදු පෙදෙස් ද ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවතින්නා වූ මිරිදිය, කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යටවී ඇති කෘත්‍රිම හෝ ස්වාභාවික වගුරු බිම්, විල්ලූ, ජලාශ හෝ ජල මාර්ග හැල ඉඩම්, පිටි ඉඩම්, තෙත් බිම් නමින් හඳුන්වයි.

ලෝක තෙත් බිම් දින සැමරුම පෙබරවාරි 02දා බත්තරමුල්ල අපේ ගමේ දී.

ලෝක තෙත් බිම් දින සැමරුම් ජාතික උත්සවය පෙබරවාරි 02දා මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේතුවේ සහයෝගයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වේ.

විජය පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වූ කෙටිකතා හා කවි රචනා තරගයේ ජයග්‍රාහකයින්ට ද එදින ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කරනු ලබයි.

අන්තර්ජාතික තෙත්බිම් දිනයක් නම් කිරීම

  රම්සා සම්මුතියට පාර්ශ්ව රාජ්‍යයන් අත්සන් තබා එම සම්මුතිය සම්මත වීම 1971 වසරේ පෙබරවාරි දෙවන දින සිදුවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම දිනය සිහිපත් කරමින් සෑම වසරකම පෙබරවාරි 02 දින අන්තර්ජාතික තෙත් බිම් දිනය නමින් ප්‍රකාශයට පත්කෙරුණි. අන්තර්ජාතික වශයෙන් තෙත් බිම් දිනය සැමරීම 1997 වසරේ දී ආරම්භ වුණි.

 තෙත් බිමෙන් සොබාදහමට

අපට පරිසරයේ හමුවන එක් වැදගත් පරිසර පද්ධතියක් ලෙස තෙත් බිම් හැඳින් විය හැකිය. තෙත් බිම් පරිසර පද්ධති ආශ්‍රිතව ඉතා ඉහළ ජෛව විවිධත්වය පවතියි. ආවේණික ජීවි විශේෂ, වඳවීයාමේ තර්ජනයට ලක්වූ ජීවී විශේෂ මෙන්ම ඉතා දුර්ලභ ජීවී විශේෂ ද තෙත් බිම් ආශ්‍රිතව වෙසේ. සමහර ජීවි විශේෂ වල කීට හා ළදරු අවධි ගත වෙන්නේ තෙත්බිම් ආශ්‍රිතවයි. එම ජීවී විශේෂ වලත්, එම පරිසර පද්ධතිවල ආහාර දාම හා ආහාර ජාලවල පැවැත්මටත්, පොදුවේ ජෛව විවිධත්වයේ පැවැත්ම සඳහාත් තෙත් බිම් ඉතා වැදගත් වේ.

තෙත් බිම් සහ කාබන්

පිටි, ඉඩම්, කඩොලාන පරිසර පද්ධති, සහ මුහුදු තෘණ බිම මගින් විශාල කාබන් ප්‍රමාණයක් තිරකරනු ලබයි. ලොව සමස්ත භූමි ප්‍රමාණයෙන් 3 % ක් පමණ පිට් ඉඩම් වේ. භූමියේ ඇති වන කාබන්වලින් 30 % ක් පමණ තිර කරනු ලබන්නේ මෙම පීට් ඉඩම්වලිනි

2022 තෙත් බිම් දිනය අප රටට වැදගත්

දේශීය සංස්කෘතිය හා තෙත් බිම් අතර ඇත්තේ දැඩි සම්බන්ධතාවයකි. අපගේ ප්‍රධාන ආහාරය වන බත් සපයන වී නිපදවන්නේ කුඹුරෙනි. කුඹුර තෙත් බිමකි. කුඹුරට දිය ලැබුණේ වැවෙනි. ගැමියන් ගමේ වැව රැක ගත්තේ මහත් ආදර ගෞරයකිනි. වැව හා බැඳුණු සංස්කෘතියක් එහි පැවතුණි.

ලොකු කුඩා අභ්‍යන්තර වැව් හා ජලාශ, ගංගා ඇළ දොළ රැසක් අප රට පුරා විහිදී පවතියි. මේවා මගින් බීමට හා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයෙයි. තවද ජල විදුලිය නිෂ්පාදනයට, ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට ද මහඟු දායකත්වයක් ලබා දෙයි. තෙත් බිම් පොදුවේ මානව පැවැත්මටත් පරිසර පද්ධතියේ තිරසර බවටත් ඉතා ප්‍රයෝජනවත්ය

               

  කොළඹරම්සා තෙත්බිම් නගරයක්

                2018 වසරේ පැවති 13 වැනි රසා සමුළුවේදී සම්මත වූ පරිදි ලොව ප්‍රධාන නගර 18ක් තෙත් බිම් නගර ලෙස ප්‍රකාශයට පත්කෙරිණි. මෙම නගර අතරට කොළඹ නගරය ද ඇතුළත්ය. ලෝකයේ රම්සා තෙත් බිම් නගර අතර ඇති එකම අග නගරය ද කොළඹ නගරයයි. මෙහිදී අදාළ නගරවල තෙත් බිම් ආරක්ෂා කිරීමට එම රටවල් ගෙන ඇති විශේෂ දායකත්වය සලකා ඇත. ලොව ඇති නගර තෙත් බිම් නගර යනුවෙන් නම් කිරීමෙන් සෙසු රටවලද නගර ආශ්‍රිත තෙත් බිම් ආරක්ෂා කිරීමේ අපේක්ෂාවක්ද වෙයි.

 

 අපව සුරකින තෙත් බිම් අපිත් සුරකිමු

තෙත් බිම් ආරක්ෂාකිරීමෙන් මානව පැවැත්මත් පරිසරයත් ආරක්ෂා වේ. එබැවින් තෙත් බිම් සුරැකීම අප සතු වගකීමකි. අපිත් තෙත් බිම් සුරැකීමට දායක වෙමු. හැකි සෑම අවස්ථාවකදීම තෙත් බිම්වලට සිදුවන හානි

අවම කිරීමට කටයුතු කරමු. හානියට පත් තෙත් බිම් ප්‍රතිස්ථාපනයට කටයුතු කරමු. (සුදුසු ස්ථානවල සුදුසු ශාක විශේෂ රෝපණය කිරීමෙන්)

 

තෙත් බිම් වියළීයාමට හේතුවන ක්‍රියාවලින් (තෙත්බිම්වලින් ජලය ඉවත්වන) වැළකෙමු. ආගන්තුක ආක්‍රමණකාරී ජීවි විශේෂ මගින් තෙත් බිම් පරිසර පද්ධති වලට සිදුවන හානිය වැළැක්වීමට පියවර ගනිමු.

 

             තෙත් බිම්වලට කැළි කසළ හා වෙනත් අපද්‍රව්‍ය එක්වීම වළක්වමු.

             තෙත් බිම්වල පවතින ජෛව විවිධත්වය පිළිබඳව දැනුමක් ලබමු.

             තෙත් බිම්වල විශේෂ වැදගත්කම පිළිබඳව දැනුවත් වෙමු. අන් අයද දැනුවත් කරමු.

 

       තෙත් බිමෙන් අපට ලැබන දායාද

 ජල සුරක්ෂිතතාවය තහවුරු කිරීම

ජලය ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. ජල සුරක්ෂිතතාවය සඳහා තෙත්බිම් විශාල දායකත්වයක් ලබා දෙයි. මිනිසා ඇතුළු සෙසු ජීවීන් සඳහා ජලය සපයා දෙන්නේ තෙත් බිම්වලිනි. ගංගා පිටාර ගලන විට තෙත් බිම්වලින් ඒවාට ලැබෙන අමතර ජල ප්‍රමාණය රඳවා ගනියි. මේ තෙත් බිම් ස්පෝන්ජ් එකක් මෙන් ක්‍රියාකරයි. එළඹෙන වියළි කාලයේදී රදවාගෙන ඇති ජලය ක්‍රමයෙන් පරිසරයට නිදහස් කරයි. මේ අයුරින් නියං කාලවල දී ජල හිගයක් ඇති නොවීමට තෙත් බිම් දායකත්වය සලසයි. බීමට පමණක් නොව අනෙකුත් සනීපාරක්ෂක කටයුතු සඳහාත්, බෝගවගාවටත් අවැසි ජලය ලබාදෙන්නේ තෙත් බිම්වලිනි.

 

ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කිරීම

ගංවතුර තත්ත්වය පාලනය කිරීමටත්, ආන්තික කාලගුණික තත්ත්වවලදී (කෙටි කලක් තුළ අධික වැසි ලැබීම්) මිනිසාට ඇතිවිය හැකි ආපදා අවම කරගැනීමට තෙත් බිම් දායකත්වය සපයයි. සුළි සුළං, උදම් රළ ඇතිවීම ආදි අවස්ථාවල ගොඩබිම ආරක්ෂා කරගැනීම සඳහා ස්වාභාවික පවුරක් ලෙස වෙරළබඩ කලාපයේ ඇති කඩොලාන පරිසර පද්ධති වැදගත් වේ.

               

ජීවනෝපාය සඳහා දායකවීම

තෙත්බිම් පාදක කරගත් ජීවනෝපාය ක්‍රම රැසක් පවතී. ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ආහාර නිෂ්පාදනය, ජලජීවී වගා කටයුතු, කෘෂිකර්මාන්තය, පන් පැදුරු වීම ආදි කර්මාන්ත තෙත්බිම් සමග සෘජු සම්බන්ධයක් ඇත. සරු තෙත් බිමක් රැකියා අවස්ථා රැසක් නිර්මාණය කරමින් ඒ අවට වාසින්ට උසස් ජීවන තත්ත්වයක් ඇතිකරගැනීමට දායක වෙයි.

 දේශගුණික විපර්යාසවලට බාධකයක්

දේශගුණික විපර්යාසවල බලපෑමෙන් දැඩි නියං තත්ත්ව හා අධික ජල ගැලීම් ඇතිවේ. තෙත්බිම් මගින් කෙටි කාලයක් තුළ අධිකව ලැබෙන වැසි ජලය රඳවා තබාගනිමින් ගංවතුර පාලනය කරයි. දිගු නියං තත්ත්වවලදී තෙත්බිම්වලින් වැසි කාලයේදී එහි රඳවාගත් ජලය මුදාහරියි. ඒ අයුරින් නොකඩවා පරිසරයට ජලය ලබාදීමට තෙත් බිම් දායක වෙයි. මේ ලෙසට දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම අවම කර ගැනීම සඳහා තෙත් බිම්වල සහය ලැබේ.


  ටී.එම්. අනුරුද්ධ තෙන්නකෝන්,

උපුටා ගන්නා ලදි.