Wednesday, June 3, 2020

ජගත් පරිසර දිනය ජුනි 05ට යෙදී ඇත.... (2020)


මෙවර ලෝක පරිසර දිනය යෙදෙන දිනයෙහිද ලංකාවාසී අපට අපූර්වත්වයක් ද යොදී ඇත.ඒ බෞද්ධයින්ගේ සුවිශේෂි උත්සවයක් වන රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන දිනයද ලෝක පරිසර දිනයද ජුනි 05ටම යෙදී තිබීමයි. ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලෝකපරිසර දිනය සහ රාජ්‍ය පොසොන් උත්සවය සැමරිම සඳහා ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ඨාචාරයේ තොටිල්ල වූ මිහින්තලා පුදබිමේදී රුක්රෝපණ වැඩසටහනක්  2020-ජුනි 05 දින ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ලෝක පරිසර දින වාඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථාන වල පළතුරු පැල රෝපණය කිරීමේ වැඩසටහනක් "ආරාමරෝපා වන රෝපා " නමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත.
1972 පැවැති එක්‌සත් ජාතීන්ගේ මහ සම්මේලනයේදී ගන්නා ලද තීරණයකට අනුව මානව පරිසරය පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ සමුළුව 1972 ජුනි 05 වැනි දින සිට ජුනි 16 වැනි දින දක්‌වා ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම්නුවරදී පවත්වන ලදී. 

එහි ආරම්භක දිනය වන ජුනි 05 වැනි දිනය ජගත් පරිසර දිනය වශයෙන් පසුව ප්‍රකාශයට පත් කරන ලදී. මේ දිනය සැමරීම සඳහා නිල වශයෙන් කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ආරම්භය සිදුවන්නේ ද මෙම සමුළුවේ ප්‍රතිඵලයකිනි. ජගත් පරිසර දින සැමරුම මුලින්ම සිදු කරන ලද්දේ 1974 දී ය. එතැන් සිට ගතවූ අවුරුදු 46ක කාලය තුළ එක්‌ එක්‌ වසරවල විවිධ තේමාවන් ඔස්‌සේ ජගත් පරිසර දිනය සමරනු ලබයි.
ඒ යටතේ එළඹෙන සෑම වසරකම වර්ධනය වෙමින් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මගින් පරිසරය පිළිබඳ ලෝක ප්‍රජාවගේ විශේෂ අවධානය යොමු කරවිමට කටයුතු කරයි. සියලූ දෙනාට එකට එකතු වී තමන්ට හා ඉරිදි සියලූ පරම්පරාවන්ට පිරිසිදු, හරිතවත්, දීප්තිමත් අනාගතයක් උදාකරලීම වෙනුවෙන් ගමන් කිරීමට පරිසරය සම්බන්ධයෙන් දිනයක් ප්‍රකාශයට පත් කරමින් ඒ පිළිබඳ යම් ප්‍රබෝධාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පරිසරය සම්බන්ධයෙන් වන කෙටි කාලීන වූ ධනාත්මක ප්‍රයත්නයකි. එම ධනාත්මක වැඩපිළිවෙළ දිගුකාලීන වූ ඵලදායී වැඩපිළිවෙළක් බවට පත්කරලීම සඳහා ලෝක වාසී සමස්ත ජනතාව තුළ පරිසරය පිළිබඳ ළෙන්ගතු ආකල්පමය පරිවර්තනයක් කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙසේ දිනයක් නම් කර සිදුකෙරෙන්නේ ලෝකවාසීන්ගේ අවධානය පරිසරය කෙරෙහි යොමු කරවිමයි.

ඒ ඒ වර්ෂ වලදී ලෝක පරිසර දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් තේමාවන් නිකුත් කරයි. එහිදී ඒ වන විට අවධානය යොමු කළ යුතු විශේෂ සාධක කෙරෙහි අවධානය යොමු කරවනු ලබයි. ‍ 2020 වසරේ ලෝක පරිසර දින තේමාව ලෙස : " biodiversity " යන්න තෝරාගෙන ඇත. එහි අන්තර්ගත කරුණුද සැලකිල්ලට ගෙන ""ජෛව විවිධත්වය සොබාදහමට ඉඩක්" " යන තේමාව යටතේ අපි මෙවර පරිසර දිනය සමරන්නෙමු.
පෘථිවිය තුළ ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතය. ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්, ශාක හා සතුන්ගේ විවිධත්වයයි.මේ සඳහා එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වඩාත් පැහැදිලි එකකි. එනම්, ජෛව විවිධත්වය යනු 'භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි'. තව ද, 'ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය වේ'.තවත් ලෙසකින් කිවහොත්, ජීවීන් සතුව ඇති අපරිමිත විවිධාත්මකභාවය ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වයි. නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්, ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය, පරිසර පද්ධතිවල විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙස හදුනාගත හැකිය.
ඒ අනුව ජෛව විවිධත්වය සුරැකීම කෙරෙහි මානව අවධානය යොමු කර එය ආරක්ෂා කිරීමට ලෝකවාසීන් පෙළවිම කෙරෙහි මෙවර ජගත් පරිසර දින තේමාව අවාධානය යොමු කර ඇත.
එදා ලෝක පරිසර දිනය සැමරීම සඳහා පරිසර හිතකාමීන් ඒකරාශීව සැමරුම් වැඩසටහන් සංවිධානය කළද කොවිඩ් 19 ව්‍යසනය හමුවේ සියලු ලෝකවාසීන්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර ජගත් පරිසර දිනය සැමරීමට සිදුව ඇත.

දිලිප්.සේනානායක,
ප්‍රාදේශීය පරිසර නිලධාරි,
මධ්‍යම පරිසර අධිකාරිය.