Monday, March 21, 2016

ලෝක ජල දිනය මාර්තු 22


ලෝක ජල දිනය මාර්තු 22 දිනට යෙදී අැත. ලෝක ජල දිනය මාර්තු 22 දිනට යෙදී තිබෙනවා. ජලය හා තිරසර සංවර්ධනය යන්න මෙවර ලෝක ජල දිනයේ තේමාවයි. පෘථිවි ගෝලයෙන් හතරෙන් තුනක් ජලයෙන් වැසී පැවතියත් ඉන් මිනිස් පරිභෝජනයට සුදුසු වන්නේ සියයට තුනක ප්‍රතිශතයක් පමණයි.   2050 වසර වනවිට ලෝකයේ පිරිසිදු ජලය සම්පූර්ණයෙන් පාහේ දූෂණයවීමේ අවධානමක් පවතින බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

1992 දී පැවැති පරිසරය හා සංවර්ධන පිළිබද ඵක්සත් ජාතින්ගේ සමුළුවේදි නැවුම් ජලය පිළිබද ජාත්‍යන්තර දිනයක් සැමරිය යුතු යැයි සම්මත වු යෝජනාව මත 1993 වසරේ ප්‍රථම ලෝක ජල දිනය සමරනු ලැබීය. ඉන් අනතුරුව සෑම වසරකදීම ලෝක ජල දිනය ඵ් ඵ් වර්ෂයට අදාලව තේමාවන් මුල් කර ගනිමින් ලෝක ජල දිනය සමරනු ලැබිය. 

2016 ලෝක ජල දිනය සැමරුම් තේමාව වන්නේ “ජලය හා සේවා නියුක්තිය” යන්නයි. 

 1994 සිට මේ දක්වා ලෝක ජල දින සැමරුම් සදහා තේමාවන් පහත පරිදි වේ.

1994 -  ‘‘අපගේ ජල සම්පත් ආරක්ෂණය කිරීම සැමගේ වගකීම’’  
(ජල සංරක්ෂණය කෙරෙහි සියළු දෙනාගේ අවධානය යොමු කිරිම සිදුව ඇත.)
1995 - ‘කාන්තාව සහ ජලය’’ 
(ජලය හා කාන්තාව අතර ඇති සැබදියාව පිළිබද අවධානය යොමු කර ඇත)
1996 -‘‘පිපාසිත නගර සඳහා ජලය’’ 
(සමාජ ආර්ථික සංවර්ධනයන් සමඟ නව නගර නිර්මාණය විම තුළ ඇතිවන්නාවු ජල ප්‍රශ්ණ පිළිබදව අවධානය යොමු කර ඇත)
1997 - ‘‘ලෝකයේ ජලය සැහෙන තරම් තිබේ ද’’
(ලොව පවතින සියලුම ජීවින්ට අත්‍යාවශ්‍යවු ජල සම්පත පිළිබද මෙන්ම ඵ් සඳහා වු ඉල්ලුම හා තරඟ පිළිබදව ලෝක අවධානයට යොමු කර ඇත)
1998 - ‘‘භූගත ජලය අනගිභවනියයි’’
(භූගත ජලය සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු වී ඇත.)
1999 -‘‘සියලු දෙන ගඟ පහල ජිවත් වෙති’’ 
(ලොව ප්‍රධාන ගංඟා වල සිදු වු ජල ගැලිම් හේතුවෙන් විශාල ජිවිත ගණන් හානිවිම ගැනද අවධානයට ලක් කර ඇත)
2000 - ‘‘21 වන ශත වර්ෂය සඳහා ජලය’’ 
2001-‘‘සෞඛ්‍ය සඳහා ජලය වගකිම භාර ගැනීමය’’
( පිරිසිදු පානීය ජලය ලබා දිමෙන් සෞඛ්‍ය තත්ත්වයන් වැඩි දියුණු කිරිමට ජලයේ බලපෑම පිළිබද අවධානය යොමු කර ඇත)
2002 -‘‘වසරේසංවර්ධන සඳහා ජලය’’ 
(සමෝදානමය ජල සැලසුම්කරණය හා කළමනාකරණය යන පණිවිඩය මුල් කරගෙන මෙම  යන තේමාව භාවිතයට ගැනුණි.)
2003 - ‘‘අනාගතය සඳහා ජලය’’ 
2004 -‘‘ජලය හා ආපදාවන්’’
2005 - ‘‘ජිවය සඳහා ජලය’’
2006 - ‘‘ජලය සහ සංස්කෘතිය’’
 (බෝහෝ ආගම් ජලය ශුද්ධ වස්තුවක් ලෙස සලකමින් විවිධ චරිත්‍ර සහ උත්සව සදහා යොදාගනු ලැබිම පිලිබද අවධානය යොමු කර ඇත)
2007 - ‘‘ජල හිගයට මුහුණ දෙමු’’ලෝක ජල දින තේමාව වුයේ  යන්නය.
2008 -  ‘‘සනීපාරක්ෂාව’’ 
(අහිතකර සනීපාරක්ෂක තත්ත්වයන් හේතු කර ගෙන සැම තප්පර 20ට වරක්ම දරුවෙකු මරණයට පත්විම පිළිබද දැඩි අවධානයට ලක් කර ඇත)
 2009 -‘‘සිමා මායිම් දුරලමින් සැමට සමසේ ජල සම්පත’’ 
2010 -‘‘සුවබර ලොවකට - සුපිරිසිදු ජලය’’
(ජල ප්‍රමිතිය, පරිසර පද්ධතිය හා මානව සුබ සාධනය පිළිබද තොරතුරු ලොවට ලබා දිමේ අරමුණින් අවධානය යොමු කර ඇත).
2011 -‘‘ජලය සහ නාගරීකරණයයි’’ 
(මේ තුළින් බලාපොරොත්තු වුයේ වේගවත් නාගරීකරණය තුළ ජනගහන වර්ධනය කර්මාන්ත බිහිවිම දේශගුණික විපර්යාස හා ස්භාවික විපත් ජල සම්පත කෙරෙහි බලපානු ලබන ආකාරයයි)
2012 - ‘‘ජලය සහ ආහාර සුරක්ෂිතතාව’’  
(සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට පිරිසිදු ගුණාත්මක ආහාර භාවිතාවේ වැදගත්කම පිළිබද අවධානය යොමු කර ඇත)
2013 - ‘‘තේමාව වුයේ ජල සහයෝගිතාවය පිළිබද ජාත්‍යන්තර යන්නයි’’
2014 - ‘‘ජලය සහ බලශක්තිය’’ 
2015 -  ‘‘තිරසාර සංවර්ධන හා ජලය’’ 
2016 - “ජලය හා සේවා නියුක්තියයි” 
(ජලය මතපදනම්ව සෘජුව ගොඩනැගුණු ජිවන වෘතින් පිළිබදව අවධානය යොමු කර ඇත.)

වැඩි දුර අධ්‍යයනයට - http://www.unwater.org/worldwaterday/home/en/


2016 ලෝක ජලදින සැමරුමට නිහාල් පී. අබේසිංහ විසින් 2016 මාර්තු 20 ඉරිදා සිළුමිණෙහි ඵල කරන ලද ලිපිය භාවිතා කරන්නන්ගේ පහසුව පිණිස පහතින් උපුටා දක්වා ඇත.

ජලය දූෂණය කරන අයටත්
ජලය අපතේ යවන අයටත් දැඩි දඬුවම් දිය යුතුයි
ජලය අපට නැතිවම බැරිය. සරලව කීවොත් ජලය ලෝකයේ ජීවයයි. නමුත් අද අපේ රටේ සමහරුන් ජලයට සලකන්නේ කෙතරම් අවතක්සේරු කරමින් ද? දෙවියකු ලෙසත් හඳුන්වනු ලබන ජලය නිසා ඉදිරියේදී තෙවන ලෝක යුද්ධයක් ඇතිවීමට ඉඩ ඇති බවට අනාවැකි ද පළ වී ඇත.

අද අපේ රටේ ජලය දූෂණය කරන අය ජලය අපතේ යවන අය ඕනැතරම් සිටිති. ඒ සමඟම සමහර සමාගම් මහ රෑට ජලයට අපද්‍රව්‍ය දමති. සමහර පයිප්පවල ලීක් නිසා දිනකට ජලය ගැලුම් ගණන් අපතේ යයි. මේ පිළිබඳව වගකිව යුත්තේ කවුද? නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුද?

පසුගිය දා කොළඹට බොන ජලය දෙන කැලණි ගඟට ඩීසල් මිශ්‍ර තෙල් දැමු අයට, මුතුරාජවෙල ලෝ පතළ තෙත් බිමට ඛනිජ තෙල් දැමු අයට නිල්වලා ගඟට ඛනිජ තෙල් දැමු අයට විරුද්ධව හරියට නීතිය ක්‍රියාත්මක වුණා දැයි අපි නොදනිමු.

පසුගිය කාලයේ මෙරට සිදුවූ එවැනි ප්‍රසිද්ධ ජල දූෂණවලට එරෙහිව අදාළ ආයතනවල නිලධාරීන් හරියට නීතිය ක්‍රියාත්මක කිරීමට උනන්දු වෙන්නේ නැත්නම් ඒ පිළිබඳව ලිස්සා යනවානම් අපිට කියන්නට ඇත්තේ ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් මේ අමාරුව’ යනුවෙනි.

ජල දූෂණය අප රටට පමණක් සීමා වූවක් නොවේ. එය අද ලෝකයටම ලොකු ගැටලුවකි. ජල දූෂණයේ එකම විපාකය ජලය ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වීම පමණක් නොවේ. එය ක්‍රමානුකූලව ශරීරයට හානිකර හා විෂ සහිත ද්‍රව්‍යයක් බවට පත්වීමයි. එලෙස දූෂණය වූ ජල ප්‍රභවවලින් ඈත්වී සිටීම වඩා උචිත බව වෛද්‍යවරුන්ගේ මතයයි.

අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව ලෝකයේ ලක්ෂ 22ක් පමණ දෙනා ජල දූෂණය නිසා පාචනය කොලරාව ආශ්‍රිත රෝගවලින් මිය යති. මින් සියයට 90ක්ම කුඩා දරුවන් වීම තවත් භයානකය. පිරිසුදු ජලය මෙන්ම මූලික සනීපාරක්ෂක පහසුකම් තිබේනම් මේ ප්‍රමාණය සියයට 26කින් අඩුවීමට ඉඩ ඇතැයි විද්වතුන්ගේ අදහස වී තිබේ. එමෙන්ම අලුත් සංඛ්‍යා ලේඛන අනුව ලෝක ජනගහනයෙන් 40%ක් පමණ ප්‍රමාණයකට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නැත.

මීට අමතරව අපවිත්‍ර ජලය නිසා වැල‍ඳෙන අතීසාරය හේතුවෙන් ලොව පුරා දස ලක්ෂ 13ක් දෙනා මියයන බව ගණන් බලා ඇත. අපේ රටේ ජල ප්‍රභව රැසක් දූෂණයට ලක්වී ඇත. විශේෂයෙන් කොළඹ නගරයේ බේරේ වැව වරින් වර ජල දූෂණයට ලක් වේ. ඇල්ගී වර්ධනය නිසා සමහර කාලවලදී දුර්ගන්ධයක් ද ඇති වේ. ඊට අමතරව කල්පිටියේ භූගත ජලය හා මතුපිට ජලය අධික කෘෂි රසායනික නිසා දූෂණයට පත්වී ඇත. මහවැලි ග‍ඟේ අතු ගංගාවක් වන පිගා ඔය ද අකුරණ නගරයේ වැසිකිළි අපද්‍රව්‍ය නිසා දූෂණය වී ඇති අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

ලුනාව කළපුව හා බොල්ගොඩ ගඟ ද කාර්මික අපද්‍රව්‍ය නිසා ජල දූෂණයට ලක් වී ඇත. අලුත් අධ්‍යයන අනුව අපගේ රටේ ඇති ජල ප්‍රභවවලින් සියයට 30 - 40 ක් විවිධ මට්ටම්වලින් ජල දූෂණයට ලක්ව තිබෙන බව ජල සම්පත් මණ්ඩලය කළ අධ්‍යයනවලින් හෙළි වී ඇත.

මේ තත්ත්වය නිසාම අපි ගෙදරින් පිටත ගමනක් යන විට ජල බෝතල් පාවිච්චියට කැමැත්තක් දක්වන්නෙමු. අද ඩීසල් ලීටරයක් රුපියල් 95 වන අතර ජලය ලීටරයක් රුපියල් 60 - 70ක් වේ. මේ මිල ඉදිරියේදී තවත් ඉහළ යනු ඇත.

මෙවන් තත්ත්වයක් යටතේ ජල දූෂණය කරන්නන්ට විරුද්ධව තිබෙන නීති රිති යාවත්කාලීන කර වැඩි කළ යුතුව ඇත.

ජලය පිළිබඳව අපි මෙලෙස වැඩිපුර කතා කළේ ජගත් ජල දිනය මාර්තු 22 වැනිදාට යෙදී ඇති බැවිනි. ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසන පරිදි මෙරට ජගත් ජල දිනයේ තේමාව “ජලය හා සේවා නියුක්තියයි” ජලය නිසා අද බොහෝ දෙනෙක් ජීවත් වෙති. ජලය බෝතල් කිරීමේ කර්මාන්තය, ජලය ප්‍රවාහනය කිරීම, සිසිල් බීම කර්මාන්තය, මද්‍යසාර කර්මාන්තය, ලොන්ඩරි කර්මාන්තය මෙන්ම ධීවර කර්මාන්තය ජලය හා කෙළින්ම බැඳුණු කර්මාන්ත වේ.

ජගත් ජල දිනය ජාතික උත්සවය 22 වැනිදා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ඊට අමතරව සතියක් පුරා ජලය පිළිබඳව විද්වත් දේශන සම්මන්ත්‍රණ සැසිවාර ආදිය ද මෙවර ජල දිනය සැමරීම වෙනුවෙන් පවත්වන බව ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ ඉහළ නිලධාරීහු පවසති. එසේ වුවත් ඒ සාකච්ඡා උත්සව සම්මන්ත්‍රණවලට වඩා අද අවශ්‍යව ඇත්තේ ජල දූෂණයට ජලය අපතේ යෑමට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමයි.

අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව කොළඹ නගරයට සපයන ජලයෙන් සියයට 35ක් පමණ අපතේ යයි. ඒ ප්‍රමාණය ලීටර් මිලියන 12,250කි. එය අනෙක් ප්‍රදේශවල සියයට 33ක් වන බව ද ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ අතර අපේ රටේ ජලසම්පාදන මණ්ඩලය මඟින් පාරිභෝගිකයන් කෝටියකට ආසන්න සංඛ්‍යාවකට පිරිසුදු ජලය සපයනු ලැබේ. ඒ අනුව මසකට දෙනු ලබන ජල ප්‍රමාණය ජලය ලීටර් මිලියන 35000කි. ජල සම්පාදන මණ්ඩලය ජලය ඒකකයක් එනම් ලීටර් 1000ක් පිරිසුදු කිරීමට රුපියල් 50ක් වැය කරයි. එහෙත් ජලය පාරිභෝගිකයන්ට මුල් ජල ලීටර් 5000 එනම් මුල් ඒකක 5 ලබා දෙනු ලබන්නේ එක් ඒකකයක් රුපියල් 12ක සහන මිලකටය. පාරිභෝගිකයන් පාවිච්චි කරන ජලය ඒකක 25 ක් දක්වාම විවිධ අයුරින් සහන මිල ක්‍රියාත්මක වේ.

ඒ අනුව මණ්ඩලයේ මෙරට ජනතාවට ලබා දෙන පිරිසුදු කළ පානීය ජලයෙන් සියයට 75ක්ම ලබා දෙන්නේ මණ්ඩලයේ පිරිසුදු කිරීමේ වියදමටත් වඩා අඩු මුදලකට බව මණ්ඩලයේ ගිණුම් අංශය පවසයි. මේ අනුව ලංකාවේ මුළු ජනතාවගෙන් සියයට 46කට පිරිසුදු පානීය ජලය ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

2020 වන විට රටේ මුළු ජනගහනයෙන් සියයට 66කට පිරිසුදු පානීය ජලය නි‍ෙවසටම ලබාදීමට ද මණ්ඩලය අපේක්ෂා කරයි. ඒ සඳහා මණ්ඩලය මාතර, මහනුවර, පොලොන්නරුව, හම්බන්තොට, මූත්තුර්, ත්‍රිකුණාමලය, හොරණ, මීගමුව, ගම්පහ ආදි ප්‍රදේශවල නව විශාල ජල ව්‍යාපෘති ක්‍රියාවට නංවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කරන ලද අධ්‍යයනයකට අනුව ශ්‍රී ලංකාවේ මතුපිට ජල සම්පත කියුබික් මීටර් මිලියන 43000ක් තිබේ. වාරිමාර්ග සඳහා යෙදවිය හැකි ජල ප්‍රමාණය කියුබික් මීටර් මිලියන 12000කි. මීට අමතරව ගෘහ කටයුතු සඳහා කියුබික් මීටර් මිලියන 3000ක් තිබෙන අතර ශ්‍රී ලංකාවේ ඇති මුළු ජල ප්‍රමාණයෙන් සියයට 65ක්ම එනම් කියුබික් මීටර් මිලියන 28000ක්ම වැඩක් නොගෙන මුහුදට ගලාගෙන යයි.

ජලය පිළිබඳ පර්යේෂණ කරන විද්වතුන් පවසන පරිදි පෘථිවියෙහි ඇති ජල ප්‍රමාණයෙන් සියයට 99ක්ම මිනිසාට ප්‍රයෝජනයට ගත නොහැකිය. ඒවා කරදිය හෝ අයිස් ලෙස පවතින බව සොයාගෙන ඇත. මිලියන හයකට වැඩි ලෝක ජනගහනයටත් සතා සීපාවාටත් ගහකොළටත් ජලය අත්‍යවශ්‍යය. ඒ සියලුම දෙනා සඳහා ලබාදිය හැක්කේ සියයට 1ක් වූ ඉතිරි ජල ප්‍රමාණය පමණි.

මේ නිසාම පිරිසුදු ජලය ලබා ගැනීමට ලොව පුරා ලොකු තරගයක් පවතී. මේ වසර එල්නිනෝ වසරක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව මේ වසරේදී අපට ලැබෙන වැස්ස අඩුවීමට ඉඩ තිබේ. දැන් දැන් රස්නය ද වැඩි වෙමින් පවතී. මේ අනුව ජල සංරක්ෂණය පිළිබඳව අපි දැන් සැලකිලිමත් විය යුතු වෙමු.

අද බොහෝ දෙනා තම ගෙවතුවල මල් පාත්තිවලට දමන්නේත් වාහන සෝදන්නේත් බීමට දෙන පිරිසුදු ජලයෙනි. මේ පිළිබඳව වෙනත් වැඩ පිළිවෙළකට යා යුතුය. නාන කාමරයේ නාන විට ලොකු බේසමකට ජලය රැස් කරගෙන ඒ ජලය මල් පාත්තිවලට ගහකොළවලට යෙදීමට පුළුවන. ගෙදර දොර පිඟන් කෝප්ප සෝදන ජලය එකතු කර ඒවා මල් පාත්තිවලට මල් ගස්වලට දැමීමට පුළුවන.

මීට අමතරව ජල පාවිච්චිය කළමනාකරණය කළ හැකිය. සමහරු එළවළු ටික, පිඟාන කෝප්පය, හැන්ද මේ සියල්ල තනිකරම ජල කරාමයට අල්ලා සෝදති. එවිට විශාල ජල ප්‍රමාණයක් අපතේ යයි. ඒ අපතේ යන ජලය එකතු කර ගහකොළවලට දැමීමට පුළුවන. ඊට අමතරව එළවළු ලොකු භාජනයකට දමා සේදීමට පුළුවන. හැඳි පිඟන් කෝප්ප එක් ලොකු භාජනයකට දමා සේදීමට පුළුවන.

ගෙදරින් පටන් ගත හැකි ඒ ජල සංරක්ෂණය තමන්ට මෙන්ම රටටම ලොකු සෙතක් වනු නොඅනුමානය. මේ ගැන හැමෝම අවධානය යොමු කළ යුතුය.


නිහාල් පී. අබේසිංහ
උපුටා ගැනිම - http://www.silumina.lk/