Friday, February 2, 2018

ලෝක තෙත්බිම් දිනය අදයි (2018-02-02)

මෙවර ලෝක තෙත්බිම් දින තේමාව Wetland for a sustainable urban future යන්නයි. එහි සිංහල පරිවර්ථනය තිරසර නාගරික හෙට දවසක් උදෙසා තෙත් බිම් යන්න වේ. මෙවර තෙත්බිම් දිනය සැමරීම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තුමා විසින් දිවයින සොබාසර වෙත නිකුත් කළ පිලිය පහතින් උපුටා දක්වා ඇත.

ජීවයේ පදනම ජලයයි" යනුවෙන් ප්‍රකට කියමනක්‌ පවතී. මිහිමත ජීවයේ සම්භවය සිදුව ඇත්තේ ජලයෙනි. අපගේ පැවැත්මට ජලය කෙතරම් වැදගත් වන්නේ ද යන්න එමඟින් පැහැදිළි වේ. ජල සම්පත මූලික කරගත් ප්‍රධාන පරිසර පද්ධතියක්‌ ලෙසින් තෙත්බිම් පරිසර පද්ධතිවලට ද හිමි වන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. මෙම මූලික පදනමෙහි පිහිටා පරිසරය සුරක්‌ෂිත කිරීම උදෙසා රාජ්‍යයන් මට්‌ටමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අවධාරණය කරලීම සඳහා 1971 දී රාජ්‍ය නායකයන් කණ්‌ඩායමක්‌ ඉරානයේ රැම්සා නුවරට රැස්‌වී පොදු තීන්දුවක්‌ ගනු ලැබූහ. එහිදී තෙත්බිම් සුරැකීම සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණි අතර, එම එකඟතාව රැම්සා සම්මුතිය යනුවෙන් හඳුන්වනු ලබයි. 

 තිරසර පුරවර උදෙසා - සුරකිමු තෙත්බිම්" යන තේමාව යටතේ 2018 තෙත් බිම් දින සැමරුම සඳහා පෙබරවාරි 2 වැනිදා පෙ. ව. 9.00 ට පරිසර අමාත්‍යතුමන් වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී ජාතික වැඩසටහන පැවැත්වේ. ශ්‍රී ලංකාවේ සමස්‌ත භූමියෙන් 15% ක්‌ තරම් භූමියක්‌ වසා පවතිනුයේ තෙත්බිම් වලිනි. මානව ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය වූ තෙත්බිම් මඟින් පාරිසරික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් ද නිහඬව සිදු කරන්නා වූ අප්‍රමාණ සේවාවන් පිළිබඳව නූතන කාර්යය බහුල මිනිසා ඒ තරම් අවධානයක්‌ යොමු කරන්නේ නැතිකම බරපතළ ප්‍රශ්නයක්‌ බවට පත්ව ඇත. ඝර්ම කලාපීය රටක්‌ ලෙසින් ඉතා සරු භෞතික සාධකයන්හි උරුමයක්‌ සහිත රටක්‌ ලෙසින් ශ්‍රී ලංකාවේ සරු පාරිසරික වටපිටාවක්‌ පවතී. තෙත්බිම් ඇතු`ඵ වනාන්තර පරිසර පද්ධති හා ගංගා ආශ්‍රිත මෙන්ම වෙරළබඩ පරිසර පද්ධති වශයෙන් ගණනාවක්‌ ශ්‍රී ලාංකික අපට උරුමව ඇත. ඉහළ ජෛව විවිධත්වයක්‌ ඇති මෙවැනි පරිසර පද්ධතීන් මඟින් සමස්‌ත ජීවිතයේ පැවැත්මට මොනතරම් නම් සේවාවක්‌ ඉටු කරන්නේ ද යන්න පිළිබඳව මිහිමත ජීවත් වන බුද්ධිමත්ම සත්ත්ව කොට්‌ඨාසය වන මිනිසුන් විශේෂ අවධානයක්‌ යොමු කළ යුත්තේය. අපගේ දෛනික ජීවිත පවත්වාගෙන යැමේදී ආහාර, ඇඳුම්, පැලඳුම්, නිවස මෙන්ම අනෙකුත් විවිධ වූ පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් අපි කොතරම් මුදලක්‌ වැය කරන්නේ ද? අපගේ විනෝදාංශය සඳහා අති විශාල මුදල් ප්‍රමාණයක්‌ වැය කරන්නෙමු. එසේ වුවත් සොබාදහමින් අපිට ලබාදෙන අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අපි සතයක, රුපියල හෝ තඹ දොයිතුවක මුදලක්‌ වැය කරන්නේ නැත.



 සොබාදහමෙන් සලසන ලද සේවාවන් මොනවාද?

 අපගේ ජීවීත පවත්වාගෙන යැම සඳහා පිරිසිදු වාතය ලබා දෙන්නේ සොබාදහමෙහි, පිරිසිදු පානීය ජලය ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා ජල සම්පත ලබාදෙනුයේ සොබාදහම මඟිනි. සුවදායක බව සුන්දර වටපිටාව ගත සිත සුවපත් කිරීම සඳහා සෙවණ, සිසිලස සමඟ සොඳුරු දසුන් මවා ජීවිතයේ සෞන්දර්යාත්මක පක්‌ෂය පෝෂණ කරනුයේ පරිසර පද්ධති මඟිනි. ඕනෑම තද සිතක්‌ සහිත පුද්ගලයන් පවා දමනය කරමින් දැහැමි හා සරල මිනිසුන් බවට පත් කිරීමේ අමිල මෙහෙවරක්‌ කිරීමේ පුදුමාකාර බලයක්‌ පරිසර පද්ධතිවල පවතී. 

 නූතන මෙන්ම කාර්මික සංවර්ධන වැඩපිළිවෙලත් සමඟ මෙවැනි ස්‌වභාවික මෙන්ම කෘත්‍රිම පරිසර පද්ධතිවලට දැඩි තර්ජනයක්‌ පවතින අතර, තුලනාත්මක සංවර්ධනයක්‌ පවත්වා ගනිමින් පරිසරයත් ආරක්‌ෂා වන සංවර්ධන අවශ්‍යතාත් සපුරා ගත හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලක්‌ කෙරෙහි අපගේ අවධානය යොමු විය යුත්තේය. තිරසර සංවර්ධනය වැනි නූතන සංකල්ප සඳහා කාලීනව වැඩි වලංගු භාවයක්‌ පවතිනුයේ මෙම අවශ්‍යතාවයේදීය. ජාතික පාරිසරික පනත යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම පරිසර අධිකාරිය විසින් තිරසර සංවර්ධන ඉලක්‌ක සාක්‌ෂාත් කර ගැනීමේදී පාරිසරික බලපෑම් ඇගයීම් වැඩපිළිවෙල හා පාරිසරික බලපත් නිකුත් කිරීම වැනි තාක්‍ෂණික උපාය මාර්ග භාවිත කරනුයේ මෙම තුලනාත්මක සංවර්ධන අවශ්‍යතාව උදෙසාය. විවිධ ක්‌ෂේත්‍ර නියෝජනය කරමින් රටේ ජාතික ආර්ථිකය පෝෂණය උදෙසා ව්‍යවසායකයන් වශයෙන් කටයුතු කරන පාර්ශ්වයන් ද පෙරදාට වඩා තුලනාත්මක සංවර්ධනය හෙවත් තිරසර සංවර්ධනය පිළිබඳ වෙනසක අවධානය යොමු කිරීම තත්කාලීන සමාජ අවශ්‍යතාවක්‌ බවට පත්ව ඇත.

 ස්‌වභාවික සම්පත්හි අගය වටිනාකම පිළිබඳවත්, ඒවා අනාගතයට ආරක්‌ෂා කර ගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳවත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉතා ප්‍රායෝගික වූත්, දීප ව්‍යාප්ත වූත් ඵලදායී වැඩසටහනක්‌ දැයට හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කරමින් සිටී. ජාතික පරිසර නියමු වැඩසටහන ලෙසින් හඳුන්වන්නේ එයයි. අනාගත ශ්‍රී ලංකාවේ බිහිවන පුරවැසියන් පරිසර හිතකාමී ලෙසින් සමාජ ගත කරලීම උදෙසා මෙම පුළුල් වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන අනුග්‍රහයෙන් මේ වන විට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරමින් පවතී. පරිසර නියමු වැඩසටහන යටතේ විවිධ වූ පාරිසරික අධ්‍යාපන කඩඉම් පසු කරන සිසුන් සඳහා පදක්‌කම් 05 ක්‌ ලබා ගැනීමේ අවස්‌ථාව සලසා ඇත. එම විවිධ වූ කඩඉම්වලදී මෙරට විවිධ වූ පරිසර පද්ධති අධ්‍යයනය කිරීමේ අවස්‌ථාව සලසා දී ඇති අතර, යම් ගසක තිබෙන දැවමය වටිනාකම තක්‌සේරු කිරීමට වඩා ඒ පිළිබඳව පුළුල්ව සලකා බලා එමඟින් ඉටු කරන පාරිසරික සේවාවන් පිළිබඳව අවධානය යොමු කෙරෙන ආකාරයේ ආධ්‍යාත්මික වූ මඟ පෙන්වීමක්‌ කරනු ලබයි.

 ලෝක පාරිසරික ප්‍රවණතාවන්ට සාපේක්‌ෂව කාබන් පියසටහන් වැනි සංකල්ප මඟින් අවධාරණය කරන පරිසර දූෂණයට පුද්ගලයන් ලෙසින් අපි කෙතෙක්‌ දුරට දායක වන්නේ ද? එම දායකත්වයත් හැකිතාක්‌ අඩු කර ගන්නේ කෙසේ ද? පරිසර දූෂණයට දායක වනවාට වඩා පරිසර සංරක්‌ෂණයට දායක වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව අවබෝධ කරවීමත් සිදුවිය යුත්තේය. ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් මේ වන විට අපට තිබෙන්නා වූ පාරිසරික තර්ජනයන් අවබෝධ කර ගනිමින් හා පාරිසරික සම්පත්වලින් අපට සිදුවන්නා වූ අමිල මෙහෙවර පිළිබඳව අවබෝධ කර ගනිමින් ඊට අනුගත වන ආකාරයේ චර්යාත්මක ජීවිතයට නූතන මිනිසා හැඩ ගස්‌වා ගත යුතුව ඇත. 

 තෙත්බිම් සහ අපි

 ලෝකයේ කවර රටක වුව ද නාගරික ප්‍රදේශයන්ට මායිම් ව පිහිටා ඇති තෙත්බිම් සඳහා පවතින තර්ජනය සාපේක්‌ෂව වැඩිය. ඊට හේතු වන්නේ සමාජ නවීකරණයේදී නගර පුළුල් වීම හා අනෙකුත් නාගරීකරණ අවශ්‍යතාවන් සහිත ප්‍රදේශයක්‌ ලෙසින් තෙත්බිම් පැවැතීමයි. ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන හා උප ප්‍රධාන වශයෙන් ගංඟා ද්‍රශර් 103 ක්‌ පවතින අතර ඊට අමතරව විවිධ ස්‌වභාවයේ වූ ජල මුලාශ්‍ර සහිත තෙත්බිම් අති විශාල ප්‍රමාණයක්‌ පවතී. සමස්‌ත භූමි ප්‍රමාණයෙන් 15% ක්‌ පමණ තෙත්බිම් පරිසර පද්ධතියට අයත් වේ. රැම්සා සම්මුතිය යටතේ ලෝකය පුරා තෙත්බිම් 2240 ක්‌ මේ වන විට හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ද එවැනි තෙත්බිම් 06 ක්‌ මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත. ඒවා නම්, වගුව 1




 මෙයට අමතරව ජාතික පාරිසරික පනත යටතේ, විශේෂ අවධානයක්‌ යොමු කරමින් රැකගත යුතු පාරිසරික ආරක්‌ෂණ ප්‍රදේශ 10 අතරින් තෙත්බිම් පරිසර පද්ධති 05 ක්‌ ඊට ඇතුළත් වීම ද විශේෂත්වයකි. 

 මෙලෙස ප්‍රකශයට පත්කරන ලද තෙත්බිම් හා එලෙස ප්‍රකාශයට පත් නොකරන ලද තෙත්බිම් රාශියක්‌ අප සතුව තිබෙන අතර, විවිධ වූ මානව අවශ්‍යතාවයන්හිදී එවැනි තෙත්බිම් පරිසර පද්ධතිවලට සිදුවන හානිදායක තත්ත්වයන් පාලනය සඳහා සමස්‌ත ජනතාවගේම පූර්ණ සහයෝගය ඒ සඳහා ලැබිය යුත්තේය. අධික වර්ෂා පවතින කාලවලදී වැඩි ජලය ගබඩා කර ගනිමින් ද, ගොඩබිම දෙසට මුහුදෙන් ඇතිවන පීඩනය අවම කිරීමෙන් ද, ධීවර කර්මාන්තයට දායක වෙමින් ජනතාවගේ ආර්ථික ශක්‌තීන් ඉහළ දැමීමෙන් ද, පරිසර දූෂණය පාලනය සඳහා වැඩි වායුගෝලීය කාබන් ප්‍රමාණයක්‌ අවශෝෂණය කරගැනීමෙන් ද තෙත්බිම්වලට ආවේණික කඩොලාන ශාක මෙන්ම සත්ත්ව විශේෂයන්ට තිඹිරිගෙය ලෙසින් ක්‍රියාත්මක වීමෙන් ද, මානවයාගේ විනෝදාස්‌වාදය සඳහා ද සුවිශාල කාර්යභාරයක්‌ මෙවැනි පරිසර පද්ධති මඟින් කරනු ලැබේ.

 පරිසර අමාත්‍යතුමන් වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2018 ලෝක තෙත්බිම් දින සැමරුම පෙබරවාරි 02 වැනි දින පෙරවරු 9.00 ට බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වේ. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ වෙන්නප්පුව ප්‍රදේශයේ ගිංඔය ආශ්‍රිත තෙත්බිම් පරිසර පද්ධතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසකට අදාළ තොරතුරු මෙහිදී ජනගත කිරීමට සැලසුම් කර ඇත.

 ඔබ ආශ්වාස කරන හුස්‌ම ටික පිළිබඳව, ඔබ බොන ජල සම්පත පිළිබඳව වගේම යම් පරිසර පද්ධතියකින් ලබාදෙන සතුට හා සංහිඳියාව පිළිබඳව නැවත නැවතත් සිතීමට පුරුදු වෙමු. ස්‌වභාවික පරිසරයේ පැවැත්ම මිනිසා ඇතුළු සමස්‌ත ජීවීන්ගේම පැවැත්ම වන බැව් අපි හිතන්නට පුරුදු වෙමු. 

මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි
සභාපති- මධ්‍යම පරිසර අධිකාරිය
http://divaina.com/daily/index.php/visheshanga3/6852-2018-01-30-13-15-64