Saturday, August 30, 2014

පරිසරය පිළිබද ජාත්‍යන්තර දින


මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදුවන හානි මගින් ජීවීන්ට පරිසරයෙන් බලපෑම් සිදුවීමත් සමග සමස්ථ ලෝකවාසීන් පරිසරය පිළිබදව උනන්දු වන්නට විය. ඒ අනුව පරිසරයේ එක් එක් අංග කෙරෙහි විශේෂ අවධානක් යොමු වී ඇත. ඒ අනුව පරිසරය සංරක්ෂණය කිරීමට විශේෂ අවධානය යොමු වන පරිදි ජාත්‍යන්තර මට්ටමින් එකගතාවන්ට පැමිණ ඒ සදහා සුවිශේෂී වූ දිනයන් වෙන් කරගෙන ඇත.
පරිසරය පිළිබදව උනන්දු වන හා ඒ පිළිබදව අධ්‍යයන කටයුතු වල නියැලෙන සියළු දෙනාගේ පහසුව  හා දැන ගැනීම පිණිස පරිසරය පිළිබද ජාත්‍යන්තර මෙන්ම අපට ජාතික වශයෙන් වැදගත් වන දින මෙම ලිපිය හරහා පහතින් ඔබට ගෙන එන්නෙමි.  මෙම එක් එක් දින යෙදෙන අවස්ථාවන්හිදී එම දින සම්බන්ධයෙන්, ඔබට වැඩිමනත් තොරතුරු ගෙන ඒමට අපේක්ෂා කරමි.

පරිසරය පිළිබද ජාත්‍යක්තර දින
පෙබරවාරි       02  -  ලෝක තෙබිම් දිනය
පෙබරවාරි       21 - අන්තර්ජාතික වනාන්තර දිනය 
මාර්තු              15  -  කඩොලාන දිනය
මාර්තු              22  -  ලෝක ජල දිනය           
මාර්තු              23  -  ලෝක කාලගුණ දිනය 
අප්‍රේල්            07  -  ලෝක සෞඛ්‍ය දිනය           
අප්‍රේල්            22   -  ලෝක මිහිතල දිනය
මැයි                22  -  ලෝක ජෛව විවිධත්ව දිනය
ජුනි                 05  -  ලෝක පරිසර දිනය
ජුනි                 
ජුනි                 17  -  ලෝක කාන්තාරකරණය පිටුදැකීමේ    දිනය
ජුලි                 11  -  ලෝක ජනගහන දිනය
අගෝස්තු        09 - ලෝක ආදිවාසීන්ගේ දිනය  
සැප්තැම්බර්    16  -  ජාත්‍යන්තර ඕසෝන් ස්ථරය සුරැකීමේ දිනය
සැප්තැම්බර්     27  -  ලෝක සංචාරක දිනය    
ඔක්තෝබර්   02  -  ලෝක ජනාවාස දිනය    
ඔක්තෝබර්   04   -  ලෝක සත්ව දිනය
ඔක්තෝබර් මස දෙවන බදාදා දිනය - ජාත්‍යන්තර ස්වභාවික ආපදා අවම කිරීමේ දිනය 
ඔක්තෝබර්      16   -  ආහාර දිනය     
ඔක්තෝබර්      20   -  ගොවි දිනය
නොවැම්බර්    15   -  ජාතික රුක්රෝපණ දිනය
දෙසැම්බර්       11   -   ජාත්‍යන්තර කඳුවැටි දිනය

Thursday, August 21, 2014

පොසිල ඉන්ධන භාවිතයට තිත, වික්ටෝරිය ජලාශයෙන් පමණක් රටටම ලයිට් දෙන්න පුළුවන්ලු


Rupasingha-mallawa
අද පෙරටත් වඩා ලෝකය විකල්ප බලශක්තිය  ගැන කතා කරනු ලබනවා. එය කරුණු දෙකක් පදනම් කරගෙන සිදු වෙනයවා. ඉන් එකක් වන්නේ ලෝකයේ දැනට පවතින පොසිල ඉන්ධන සංචිත ආසන්න අනාගතයේදී අවසන්වේය යන්නයි. ඉන් දෙවැන්න වන්නේ භූගතව පවතින පොසිල ඉන්ධන මතුපිටට ගෙනඒම තුළ සිදුවන විශාල පාරිසරික විපර්යාසයි. එය පරිසර දූෂණය තුළින් සමස්ථ ජීවීන්ට ශරීරිකව බලපෑම් සිදුකරනු ලබන අතරම ගෝලීය උෂ්ණත්වය ඉහල යාමටද බලපානු ලබයි. මෙවර ජුනි 05 වන දිනට යෙදුනු ලෝක පරිසර දිනයේ තේමාව කරගත්තේද පාරිසරික විපර්යාස වල බලපෑමෙන් දූපත් රාජ්‍යයන් රැකගනිමු යන්නයි. එවැනි වූ අවධියක ලෝකවාසීන්ට අසන්නට ලැබුන සුබම ආරංචිය නම් කෑගල්ලේ ගලිගමුවේ පදිංචි රූපසිංහ මල්ලව නම් අපූරු නිර්මාණකරුවා ලොවට දායාද කළ දියසෙන් බලශක්ති ක්‍රමයයි. ඒ පිළිබදව ලක්බිම පහත පරිදි වාර්තා කර තිබුනා.  

“ලයිට් බිලයි, වතුර බිලයි ගෙව්වාම පඩියෙන් බාගයක් ඉවරයි.” එසේ කියන මාස් පඩිකාරයන් කොතෙකුත් ඔබට හමුවී ඇතුවාට සැක නැත. එසේ නැතිනම් ඔබත් එසේ ලයිට් බිලට මාස් පඩිය පූජා කරන සේවකයකු වන්නට පුළුවන. රට්ටුන් එසේ ලයිට් බිල ගැන සංවේදී වන්නේ විදුලිය ඔවුන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන නිසාය.

මේ නිසා ආණ්ඩුව කොපමණ මිල වැඩි කළද බදු අය කළද රට්ටුන්ට දැන් සිද්ධ වී ඇත්තේ පඩියෙන් භාගයක් නොව මුළු පඩියම ගෙවා හෝ විදුලි බිල ගෙවා දැමීමටය.

කෙසේ නමුදු විදුලි බිල ගැන ළතවෙන රට්ටුන්ට ගිය සතියේ කෑගල්‍ලේ ගලිගමුවෙන් අසන්නට ලැබුණේ සුබ ආරංචියකි. ඒ ගෙවත්තේ තිබෙන ළිඳෙන් ජල විදුලිය නිපදවා ගන්නා පුවතකි. මේ අපූරු නිර්මාණකරුවා රූපසිංහ මල්ලව. ඔහු ගලිගමුවේ හරිගල පදිංචිකරුවෙකි. ඔහුට මේ අපූරු අදහස හිතට ආවේ තම ගෙවත්තේ ඇති ළිඳේ ජලය නිවසේ ඇති ජල ටැංකියට රැස්කරගෙන එම ජලය විවිධ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවේදීය. විදුලි බලය එසේ නිපදවා ගත හැකි බව ඔහු කල්පනා කළේය. මල්ලවට අනුව නම් ළිඳෙන් පමණක් නොව ඇළකින් දොළකින් නොව අඟලක තරම් වන කුඩා දිය පාරකින් වුවද කිලෝ වොට් දෙක තුනක විදුලියක් හෝ ඊට වැඩි විදුලි බලයක් අඩු වියදමකින් මෙයින් නිපදවා ගැනීමට හැකිය. ඔහු මෙසේ ජලයෙන් විදුලිය නිපදවා ගත්තේ ඔහු විසින් සොයා ගන්නා ලද විශේෂ යන්ත්‍රයකිනි. එම නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රයද ඔහු ලබාගෙන ඇත.
රූපසිංහ මල්ලවගේ ජල විදුලි බලාගාරය ගැන ලියනකොට අපට මතක් වන්නේ ලක්ෂපාන, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ වැනි මහා ජල විදුලි බලාගාරය. ඒ ලංකාවේ විදුලිබල නිෂ්පාදනයේ වැඩි බරක් තබා ඇත්තේ ජල විදුලියට බැවිනි.
කෙසේ නමුදු ලංකාවේ තවදුරටත් මහා පරිමාණ ජල විදුලි බලාගාර හදන්නට ඉඩක් නැති බැවින් බලශක්ති ක්‍ෂේත්‍රය දැන් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඛනිජ තෙල්, ගල් අඟුරු දහනය කර විදුලිය නිපදවා ගැනීමටය. එනමුත් නොරොච්චෝ‍ලේ වැනි ගල් අඟුරු බලාගාර හැමදාමත් කොට උඩය. එසේ නැතිම් ලෝක වෙළෙඳ‍පොළේ ඉන්ධන මිල වැඩිවන විට අපේ විදුලි බිලට ද ඉන්ධන ගැළපුම් ගාස්තුව යනුවෙන් දඩ මුදලක් ගසන්නේය. කෙසේ හෝ අවසානයේදී තට්ටු වන්නේ රට්ටුන්ගේ ‍පොකැට්ටුවටය.
මේ පිළිබඳ අවධානය යොමු කළ එම්.පී. රූපසිංහ මල්ලව ද්‍රව තෙරපුම් විදුලි ජනකයක් නිර්මාණය කරන්නේ ලංකාවේ බලශක්ති අවශ්‍යතාව ජල බලයෙන්ම සපුරාගත හැකි බවට විශ්වාසය පළ කරමිනි.
සාමාන්‍යයෙන් ජලය මගින් විදුලිය ජනනය කිරීම්දී උස හා ජල ධාරාවේ ප්‍රමාණය සැලකිල්ලට ගනී. මෙගා වොට් එකක ජල විදුලියක් නිපදවා ගැනීම සඳහා අඩි 100ක් උසක සිට ඝන කියුබික් මීටර් 01ක ජල ධාරාවක් ලබාගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කර මධ්‍යම ප්‍රමාණයේ හා කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර ඉදිකර තිබුණත් ජලය අඩුවන විට ඒවා තාවකාලිකව වසා දැමීමට සිදුවේ. ඒ සියලු ජල විදුලි බලාගාර සඳහා ‘ජල පරිමාණය’ යන සාධකය මූලික වන බැවිනි.
රූපසිංහ මල්ලවගේ නිර්මාණයට පදනම වී ඇත්තේ ද්‍රව තෙරපුම් මූල ධර්මයකි. (Non Fuel Thrust Engin)ය. සාමාන්‍යයෙන් ලෝකයේ මෙවැනි සිද්ධාන්තයක් භාවිතා කරමින් පවතින්නේ ගුවන් යානා පියාසැරිය පණ ගැන්වීමට පමණි. එහෙත් මෙහි භාවිතා කර ඇත්තේ එවැනි තාක්ෂණයක් නොවේ. ජල මුලාශ්‍රයේ ප්‍රමාණය මත නොව යන්ත්‍රයේ ප්‍රමාණය මත බලශක්තියේ ප්‍රමාණය තීරණය කිරීමේ මූල ධර්මයක් මෙයට පදනම්ව ඇත. මෙහිදී අඟලක් පමණ කුඩා ජල ධාරාවකින් ද විශාල ජනන හැකියාවක් ඇති කළ හැකි බව තහවුරු කර ඇත. ජලය පමණක් නොව තෙල්, ග්‍රීස් වැනි අර්ධ ද්‍රවයක බර මගින් ලබා දෙන තෙරපුම යාන්ත්‍රික ශක්තියක් බවට පත්වන බවද මෙහිදී මල්ලව පෙන්වා දෙයි. දහනයක් නොවී පිස්ටන් දෙකක් ක්‍රියාත්මක වීම මෙහි වන විශේෂත්වයයි.
ද්‍රව තෙරපුමට යොදා ගන්නා ද්‍රව්‍යය නැවත නැවත චක්‍රීය ආකාරයෙන් භාවිතයට ගැනීමටද හැකියාව ඇත. එක්තරා ආකාරයකට මෙය ද්‍රව තෙරපුමක් නිසා බලගැන්වෙන පිස්ටන් දෙකේ එන්ජිමක්. එම එන්ජිමේ ශක්තියෙන් ටර්බයින ක්‍රියාත්මක වී විදුලිය ජනනය වේ.
දියසෙන් බලශක්ති ක්‍රමය (Diasen power system) නමින් හඳුන්වා ඇති මෙම නිර්මාණය පිළිබඳ තම හිතට අදහසක් ආ අවස්ථාව පිළිබඳ රූපසිංහ මල්ලව අප සමග ප්‍රකාශ කළේ මෙසේය.
මීට ටික කලකට පෙර කොළඹ පැවැති විදුල්කා ප්‍රදර්ශනයක් නැරඹීමට මට අවස්ථාව ලැබුණා. එහිදී මට දැකගන්නට ලැබුණේ විදේශීය නිර්මාණ අනුකරණයෙන් ලංකාවේ නව නිර්මාණ කරන්නට ගත් උත්සාහයන් පමණයි. මාත් සමග ඒ අවස්ථාවට සහභාගි වූ ඉන්දියානු මිතුරෙක් මට සමච්චල් කරමින් කීවා ‘රාවණාගේ කා‍ලේ ඉඳල ඔයාලා හොඳ නිර්මාණකරුවෝ කියල කියනවා. ඒත් කෝ දැන් ඒ හැකියාවන් කියලා.” මේ වන විටත් මගේ සිතේ මේ ද්‍රව තෙරපුම් පිළිබඳ අදහස් මතුවෙලයි තිබුණේ. මම උත්සහ කළා මේ නිර්මාණය කරන්න. වැරදුනා කිහිප සැරයක්. උත්සහ කළා. වසර තුනකට වැඩි කාලයක් මගේ ව්‍යාපාරික කටයුතු වලින් පවු‍ලේ කටයුතුවලින් ඈත් වෙලා විවිධ අත්හදා බැලීම් කළා. රාජ්‍ය තාක්ෂණ ආයතනවලින් මේ සඳහා උපදෙස් ගන්න ගියහම මට කිව්වා ජර්මනියෙන්, චීනයෙන් හෝ ඉන්දියාවෙන් මේ සම්බන්ධව උපදෙස් ගන්න කියලා. නමුත් මම දේශීය ඥානයත් තාක්ෂණයත් යොදවාගෙන විශාල මුදලක්ද වියදම් කරගෙන මේ නිර්මාණය කළා. ලෝකයේ කිසිම තැනක භාවිතා නොකළ මූල ධර්මයක් මත මෙම නිර්මාණය බිහිවී තිබෙන බව කිව යුතුයි.
මල්ලව තම නිවසේ ඉදිකර ඇති ද්‍රව තෙරපුම් විදුලි ජනකයේ ආකෘතිය මගින් කිලෝ වොට් දෙකක පමණ විදුලියක් නිෂ්පාදනය කරගනියි. එය නිවසේ ජල ටැංකියට සම්බන්ධ කර ඇත. මෙම ජල ටැංකිය සිලින්ඩරාකාර හැඩයක් සහිතව උඩ කොටස නිමවා ඇත. එහි පහළ කොටස නිමවා ඇත්තේ පුනීලාකාරවය. ඉන් නිකුත්වන ජලය වෑල්වයක ආධාරයෙන් දෙපසට බෙදී ගොස් විටින් විට පිස්ටන් දෙක මත පීඩනය යොදයි. ඉන් පිස්ටන් ක්‍රියාත්මක වේ. ඉන් නිකුත් කෙරෙන ජලය නිවසේ ජල අවශ්‍යතා සඳහා යොදා ගනී. මේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම ‍පොම්ප කෙරේ.
රූපසිංහ මල්ලවගේ නිවසේ වතුර මෝටරය පමණක් නොව ශීතකරණය, රූපවාහිනිය මෙන්ම විදුලි බල්බද දැල්වෙන්නේ කිලෝ වොට් දෙකේ මේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලියෙනි. ඔහු පවසන පරිදි ඔහුගේ බලාගාරයෙන් නිපදවන කිලෝ වොට් එකකින් වොට් සියයක බල්බ් දහයක් දැල්විය හැකිය.
එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරීමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණි. රූපසිංහ මල්ලව පවසන පරිදි එම මුදලම වැය කර අවශ්‍ය නම් කිලෝ වොට් විසිපහක බලාගාරයක්ද ඉදිකළ හැකිය. එවැනි බලාගාරයකින් නිවාස විස්සකට විදුලිය දිය හැකි බව හෙතෙම කීවේය.
ඔහු පවසන්නේ ළිඳෙන් ‍පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය.
එසේම මේ ක්‍රමය උපයෝගි කරගෙන වික්ටෝරියා ජලාශයේ ඇති ජලයෙන් පමණක් මුළු රටටම විදුලිය දීමට තමන්ට හැකියාව ඇති බව, ඔහු පෙන්වා දේ.
නමුත් කනගාටුවට කරුණ නම් ජපානය, ඇමෙරිකාව ආදි රටවල නියෝජිතයින් මේ වන විටත් මල්ලව හමුවී මේ සම්බන්ධව අදහස් ලබාගෙන ඇතත් මෙරට කිසිදු බලධරයෙකු මතෛක් මේ නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ අවධානයක් යොමුකර නොමැති වීමය.
මෙම බලශක්ති ක්‍රමය දායාද කළ රූපසිංහ මල්ලව කිසිදා විද්‍යා අංශයෙන් අධ්‍යාපනයක් නොලද්දකි. ඔහු කිනිගම, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක හා ඉද්දමල්පාන විදුහල්වලින් අධ්‍යාපනය ලබා ඇත. කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ මල්ලව කෑගල්ල මහින්දෝදය පිරිවෙන් විහාරයෙන් ද ටික කලක් අධ්‍යාපනය ලබා ඇත.
අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් පසු කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි පී.බි.ජී. කලුගල්ලගේ ‍ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධව දියුණුවක් ලැබිය. මේ වන විට දියණියන් සිව් දෙනෙකුගේ පියෙකු වන මල්ලවගේ බිරිඳ වන්නේ චම්පිකා ප්‍රියංගනීය.
ලෝකයේ නව සොයා ගැනීම් කළවුන් දිරිමත් කළ රටවල් ඉතා වේගයෙන් දියුණු විය. අපේද විවිධ නිර්මාණකරුවන් බිහිවී ඔවුන් පිළිබඳ හඬ නෑසී යයි. කුමාරතුංග මුණිදාසයන් පැවසූ ආකාරයට ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි’ යන්න මෙන්ම ‘අලුත් අලුත් දෑ ගැන නොතකන ජාතියද ලොව නොනගී’ යන්න මෙහිදී ප්‍රකාශ කළ යුතුය.
වීඩියෝව මෙතනින්
බන්දුල ධර්මතිලක
උපුටා ගැනීම ලක්බිම

Wednesday, August 20, 2014

දිවයිනේ සුවඳ හමන මල් පැළ ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක ඇරඹුම


දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාත පුරා අභිජනනය කරන ලද සුවද හමන දේශීය මල් පැළ ව්‍යාප්ත කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්,
දකුණු පළාත් කෘෂිකර්මාන්ත හා සමූපකාර අමාත්‍ය යූ.ඞී.ජී ආරියතිලක මහතා පවසන්නේ බොහෝ විසිතුරු මල් පැළ පිටරටින් ගෙන්වන ලද ඒවා බැවින් දේශීය වශයෙන් පවත්නා සුවද හමන මල් පැළ වැඩිදියුණු කර නිපදවීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවත්,

 මෙම සුවද හමන මල්පැළ ගාල්ල, ලබුදුව කෘෂිකර්ම ගොවිපොළ හරහා නිපදවීම සිදුකරන බවත්, lankacnews වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Monday, August 11, 2014

ස්වසනය කරන ශාක පත‍්‍රයක් කෘත‍්‍රිමව නිපදවයි


ස්වභාවික ශාක පත‍්‍රයකට සමාන ආකාරයෙන් කාබන්ඩයොක්සයිඩ් යොදාගනිමින් ශ්වසනය  සිදුවන කෘත‍්‍රිම ශාක පත‍්‍රයක් ,  ලන්ඩන් නගරයේ උපාධි ශිෂ්‍යයෙකු විසින් නිපදවා ඇත.

මෙම නව සොයාගැනීම කලාව පිළිබඳ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයකු වන ජුලියන් මෙල්චියෝරි විසින්  සිදු කර ඇති අතර එය සේද පත‍්‍ර ව්‍යාපෘතිය ලෙස නම් කර ඇති බවට සදහන්ය.

ජුලියන් මෙල්චියෝරි පවසන ආකාරයට ස්වභාවික සේද ප්‍රෝටීන් වලින් නිමැවුණු තන්තුමය මාධ්‍යයකට ශාක පත‍්‍රවලින් වෙන්කරගත් හරිතප‍්‍රද එක්කරමින්  නිමවා  ඇති මෙම පත්‍රයද ස්වභාවික ශාක පත‍්‍රයක් ලෙස  හරිතප‍්‍රද යොදා ගනු ලබමින් ස්වසන කාර්යය සිදු කරනු ලබයි.

වෙනත් ග‍්‍රහලෝකයක ෙහා් අභ්‍යාවකාශෙය් ජනාවාස ඇති කිරීමට නම් අවශ්‍ය ඔක්සිජන් නිපදවීම සඳහා ශාක වගා කළ යුතුව පවතී. ඒ ෙස් වූවද එය සිදුකරන ආකාරයක් පිළබදව මෙතෙක් සොයාගෙන නැත.ස්වාභාවික ශාක පත‍්‍රයකට වඩා බරින් අඩු වන මෙය  විද්‍යාඥයින් පවසන්නේ අභ්‍යවකාශය තුළ පැවැත්ම සඳහා මෙය බෙහෙවින් උපයෝගී වනු ඇති බවයි.එවැනි තත්වයකදී අභ්‍යවකාශ ක‍්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඔක්සිජන් මෙම සේද පත‍්‍ර මගින් පහසුවෙන් නිපදවාගත හැකිවනු ඇතැයි නිර්මාණකරුවා මෙන්ම තවත් බොහෝ දෙනෙකු විශ්වාසය පළ කර ඇතැයි වාර්තා වේ.
ඒ ෙස්ම විශාල ගොඩනැගිලි තුළ වායු පවිත‍්‍රකරණය සඳහාද මෙම නව ෙසායාගැනීමර භාවිතා කිරීමට ජුලියන් මැසිචියෝරි සූදානම් වන බවද පැවසේ.

 අද මහත් ගැටළුවක්ව පවතිනගෝලීය උෂ්ණත්වය ඉහලයාමට බලපානු ලබන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අධික ලෙස ඉහල යාම පාලනය කිරීම සදහා අනාගතයේදී මෙම සොයාගැනීම ඉවහල්වනු ඇත.කෙසේ වෙතත් මෙම පත්‍රය කාබන්ඩයොක් සයිඩ් යොදාගෙන ඔක්ෂිජන් නිපදවූවද ස්වාභාවික ශාකපත්‍රයක ප‍්‍රභාසංස්ලේෂණ කාර්යයේ අතුරු නිෂ්පාදනය වන ග්ලූකොස් නිෂ්පාදනය කරන්නේ නැත. එබැවින් පෘථුවිය තුළ මෙම නිර්මාණය යොදා ගැනීමේදී ප්‍රෙව්ශමෙන් යොදාගතයුතුව ඇත. මන්ද ජීවීන්ගේ පැවැත්ම තහවුරු වීමට ආහාරද වැදගත් වන බැවිනි.
අන්තර්ජාල තොරතුරු ඇසුරින් සකස් කරන ලද මෙම ලිපියකි. අදාල ලිපිය කියවීමට සහ වීඩියෝ දර්ශණ නැරඹීමට මෙතනින් යන්න.

Tuesday, August 5, 2014

පාරිසරික අධ්‍යාපනය සඳහා ස්ථාපනය කරන ලද ජාත්‍යන්තර මධ්‍යස්ථානය හරහා ඔබටත් සහතිකපත්‍ර පාඨමාලා.

පාරිසර අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය
මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය මඟින් පාරිසර අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත. මෙමඟින් පරිසර විෂය ක්ෂේත්‍රයට සම්බන්ධ සමාජයේ විවිධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් පරිසර සංරක්ෂණය හා ආරක්ෂාව පිළිබඳව සහතිකපත්‍ර පාඨමාලාවන් දියත් කිරිමට කටයුතු කරනු ලබයි. 
පාඨමාලා
මෙසේ පැවැත්වීමට නියමිත දෙවන පාඪමාලාව වන පරිසර දූෂණ පාලනය, තෙවන පාඨමාලාව වන ස්වභාවික සම්පත් කළමනාකරණ හා තිරසාර භාවිතය යන පාඨමාලා සදහා අයදුම්පත්‍ර කැදවීම මේ දින වල සිදු කරයි. 
සුදුසුකම්
මේ සදහා උපාධිධාරීන්ට මෙන්ම වසර 3 ක ක්ෂේත්‍රයේ පලපුරුද්දක් සහිත ඔබට මෙම පාඨමාලාව හැදැරීමට හැකියාවක් ඇත.
පළමු වැඩසටහන

මෙහි පළමු වැඩසටහන "පරිසර කළමනාකරණ හා පරිසර දූෂණ පාලනය"යන තේමාව යටතේ මැයි මස 12 වන දින ආරම්භ කළ අතර සෙනසුරාදා දින 10 ක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.
සම්පත්දායකයින්
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්,රජයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සම්පත් දායකයන් වශයෙන් කටයුතු කරනු ඇත.

Saturday, August 2, 2014

සමාරම්භය

ක්‍රි.ව. 2014ක් වූ අගෝස්තු මස 02වන ශනි දින පස්වරු 12 පසුවී මිනිත්තු 50ට  සියලු සත්වයින්ගේ සුවය පතන්නාවූ ඉසිවයා බ්ලොග් අවකාශයට එක්වූ වගයි.

අරමුණු - 
1. පරිසර අධ්‍යපනය ලබන දරුවන් වෙත අත්වැලක් සැපයීම.
2. පරිසර අධ්‍යාපනය ලබාදෙන ගුරුභවතුන්ට මාර්ගෝපදේශ සැපයීම.
3. දරුවන්ට මෙන්ම මහජනතාව වෙත පාරිසරික අවබෝධයක් ලබා දීම.
4. පරිසර හිතකාමීන් බිහි කිරීම හා එවැන්නන්ට තෝතැන්නක් සැපයීම.
5. පරිසර පුවත් වාර්තා කිරීම.

පරමාර්ථය - 
සැමට පරිසරය අවබෝධ කරවමින් තිරසාර සංවර්ධනයක් කරා යන ගමනට යෝධ ශක්තියක් වීම.

පූර්විකාව-
කුඩා කළ සිටම දෙමාපියන්ගෙන් සහ ගුරුභවතුන්ගෙන ලද අභාෂයන් තුළින් මෙන්ම සහජයෙන්ම පරිසරයට ඉතා ඇල්මක් දැක්වූ මා ලද භග්‍යය නම් පරිසරයටම ඉතා සමීප රැකියාවක නියැලීමට ලැබීමයි. ඒ ලද භාග්‍යෙයන් ලෝසත්වයන්ට සෙත සැලසීම වෙනුවෙන් ඉසිවරයා මා සිත් තුළ පහල වූ වගයි.

එදා මෙදා තුර ලද අත්දැකීම් අනුව අතීත මුතුන් මිත්තන් විසින් පවත්වාගෙන ආ පාරිසරික හිතකාමී පිළිවෙත් තුළින් වර්ථමාන පුද්ගලයන් ඉවත්වී ඇති සෙයක් පෙනී යයි. ඔවුන් පාරම්පරික පාරිසරික ජීවන ක්‍රමය සම්පූණයෙන්ම බැහැර කර නවීන ජීවන ක්‍රමයකට සම්පූර්ණයෙන්ම අවතීර්ණවීම තුළ වර්ථමාන පරම්පරාව මංමුලාවී ඇති සෙයක් පෙනී යයි. පරිසරය හා පැවති සුහදශීලීත්වය බිදවැටී ඇත. අද මානවයා පරිසරය හා විරසක වී ඇති අතර පරිසර මවට තම දරුවා ඇකයට ගෙන සැනසීමට නොහැකි වී ඇත. වර්කමාන මිනිසා, රන්බිජු ලෑ කිකිළිය මරා එකවර රන්බිජු සියල්ල ගැනීමට තැත් කළා සේ සංවර්ධනය කරා යන ගමනේදී පරිසරය ගැන නොතකා හැරීමක් දැකිය හාකිය. නිසි පරිසර අධ්‍යාපනයක් නොලදහොත් ඉදිරි පරම්පරාව සම්පූර්ණයෙන්ම පරිසරයෙන් වෙන්වී යනු ඇත.

එවැනි පසුබිමක් තුළ විශේෂයෙන් අනාගතය බාරගන්නා දරුවන් වෙත මෙන්ම දරුවන්ගේ මාර්ගෝපදේශකයන් වන ගුරුදෙගුරුන්ගේ පරිසර අධ්‍යාපනයට අත්වැලක් සැපයීමට සිත්පහල විය. එ් අනුව  ඉසිවරයා පහල කිරීමට කලක පටන් සැලසුම් කරතිබූණි. ඒ ඔස්සේ යමින් ටික කලකට ඉහතදී ඉසිවරයා වෙත බ්ලොග් අවකාශයේ ඉඩක් වෙන්වුණි. එනමුත් කාර්යබහුලතාවය මත ඉසිවරයා ඔබ වෙත පහලවීම දිනෙන් දිනම කල් ගතවිය. ඒ කෙසේ වෙතත් ඉසිවරයාගේ පහලවීම තවදුරටත් කල් දැමීමට නොහැකියැයි හැගී ගිය අද දින ඉසිවරයාට ඔබ වෙත ලගාවනු ඇත.

මින් ඉදිරියට  ඉසිවරා ශ්‍රී ලාංකීය මෙන්ම ලෝවාසී සියලු සත්වයින්ගේ අභිවෘධිය වෙනුවෙන් කැපවනු ඇත.