Tuesday, January 24, 2017

වකුගඩු රෝගය ගැන දැනගත යුතු දෑ - වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර මහතා සමඟ කරන ලද සාකච්ඡාවක්


වර්මානයේ සමාජීය වශයෙන් බරපතල ප්‍රශ්නයක් බවට පත් වී ඇති වකුගඩු රෝගය මේ වන විට උතුරු මැද පළාතේ ප්‍රබලම සෞඛ්‍යමය ගැටළුව බවට පත්වී ඇත.  ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශවලින් රෝගීන් විශාල වශයෙන් හමුවීම තුලින්  මෙම රෝගය  ලංකාවේ අනෙකුත් පළාත් වලද  පැතිරී  පවතින බවද පැහැදිලි වේ.

බටහිර රටවල සිදුවන්නේ මේ රෝගය හදුනාගත් දින සිට වකුගඩු බද්ධ කිරීමට සිදුවන දිනය දක්වා වු කාලය දිර්ඝ කිරීම සදහා ඖෂධ පද්ධති උපයෝගී කර ගැනීමය.මෙහිදී මුත්‍ර පෙරීමේ ප්‍රවණතාවය ( GFR අගය ) ක්‍රමයෙන් අඩුවන අතර අවසානයේ රෝගියා ජිවත් කරවීම සදහා වකුගඩු බද්ධ කිරීම සිදුවේ.මේ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇත.

නමුත් මේ රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට වැය වන්නේ ඉතා සුළු මුදලකි. නමුත් මෙය නිවැරදිව ක්‍රියාත්මක නොවීම තුළ රෝගීන් වැඩි වීම ඉතා කණගාටුදායකය. Scrip Test  නමැති සරල මුත්‍ර පරීක්ෂණයේදී රෝගය හදුනාගන්නට වැය වන්නේ රුපියල් 10 කටත් අඩු මුදලක්. නමුත්ජනතාවගේ නොදැනුවත්කම තුළ මේ සඳහා යොමු නොවීම  මෙම ගැටළුව වැඩිවීමට හේතුවක් වී ඇත.

රෝගියා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයකට පෙර මුල් අවස්ථාවේදීම රෝගය හදුනා ගැනීම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට ඉතා පහසු කාරණයකි . එහෙයින් මෙම රෝගය පැතිරෙන ප්‍රදේශ හා ගොවිතැන් බහුලව සිදුකරන ප්‍රදේශවල නිරෝගී පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම ඉතා වැදගත් . මන්ද යත් රෝගය සාමාන්‍යයෙන් හදුනා ගැනීමට හැකි වන්නේ රෝගය ඇතිවී තුන්වන අවධිය පසුවුවාට පසුව එනම් රෝගියාගේ මුත්‍ර පෙරිම අවම වීම තුලිනි.

වකුගඩු රෝගයෙහි රෝගී ලක්ෂණ ලෙස  වමනය, හිසරදය, අධික මුත්‍ර පහවීම, අධික තෙහෙට්ටුව,  හිසරදය, ඇඟේ දුර්වලකම දැක්විය හැකිය.

රෝගයෙහි තුන්වන අවධියේදී රෝගියාගේ බාහිරව අත්පා ඉදිමීම, අධිරුධිර පීඩනය, ඇනීමියා තත්ත්වය ඇති වීම දක්නට ලැබේ. මෙහිදි හෘදයේ හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය අවමවීම තවත් රෝග ලක්ෂණයකි.

තුන්වන අවදියේ සිට රෝගියාගේ අවසන් මොහොත දක්වා  අවධි 2 ක් පසුකළ යුතුය. 4 වන අවධියේ රුධිර පාරවිලයනය ද අවසන් අවස්ථාවේදී වකුගඩු බද්ධ කිරීමටද සිදු වේ. මේ නිසා රෝගියාට  හා පවුල්වල පුද්ගලයන්ට අධික වැය බරක් මේ සඳහා දරන්නට සිදු වේ.   වැඩි වශයෙන් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ඇත්තේ දරිද්‍රතාවයෙන් පෙලෙන ගොවිතැනෙහි යෙදි සිටින්නන්වීම නිසා බොහෝවිට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට හැකියාව නොලැබේ. මේ නිසා මෙය බරපතල සමාජ ගැටළුවක් බවට පත්වීමට හේතුවක් වී ඇත.

කැඩ්මියම්, ආසනික් , රසදිය වැනි  බැර ලෝහ මෙම රෝගයට හේතු කාරක වී ඇත. භෝග වගාවේදි අධික වශයෙන් කෘමි නාශක භාවිතයwell1 හේතුකොට ගෙන එම කෘමිනාශකවල ඇති අධිසාන්ද්‍රීය බැර ලෝහ පසට එක්වේ. මෙම පසෙහි කරන වගාවන්ට මෙම ද්‍රව්‍ය ඇතුළුවීමත් මිනිසාගේ සිරුරට එම ආහාර මගින් මේ විෂ රසායන ඇතුල්වීමත් සිදුවේ.

එපමණක් නොව මෙම රෝගය පැතිරී යන ප්‍රදේශවල ජලයේ ආස්‍රැත භාවය හේතුකොටගෙන සිරුරට අහිතකර කැල්සියම් ආසනේට් තත්ත්වයක් ඇතිවී එය මෙම බැර ලෝහ හා එක්වී  වකුගඩු අක්‍රිය කරන තත්ත්වයට පත් වේ.

එසේනම් ලංකාව පුරා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන නමුත් එම ප්‍රදේශවල පමණක් වකුගඩු රෝගය ඇතිවන්නේ ඇයිදැයි ඔබට ගැටළුවක් වනු ඇත.  සෑම කෙනෙක්ම ආහාරයට ගන්නේ විෂ රසායන ද්‍රව්‍ය ඇතුල්වු ආහාර වුවද එහි අඩංගු බැර ලෝහ හා ක්‍රියා කර වකුගඩු  අක්‍රිය කරන  ආස්‍රැත ජලය  අනෙක් ප්‍රදේශවල නොමැති වීමයි.

එසේ නම් අප මෙම රෝගය පැතිරියාම වැළැක්වීමට  කළ යුත්තේ කුමක්ද?

මෙහිදී අප පළමුව කළ යුත්තේ රෝගය වැලදීමට පෙර ඉන් ආරක්ෂා වීමට කටයුතු කිරීමයි .රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතරව නිරෝගී පුද්ගලයන් මේ පිළිබදව දැනුවත් කිරීම ඉතා වැදගත්.මෙහිදී රෝගය වැළදෙන කණ්ඩායම පිළිබඳව කරන ලද සමීක්ෂණ වලදී  අවුරුදු 20 ට අඩු රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින අතර වැඩිපුරම  රෝගය වැලදී ඇත්තේ අවුරුදු  35- 45 ත් අතර පුද්ගලයින්ට බව හදුනා ගෙන ඇත.  එහෙයින්  අවුරුදු 20 ට අඩු අය දැනුවත් කිරීම තුලින් අනාගතයේදී මෙම රෝගය ව්‍යාප්ත වීම් වලක්වා ගැනිමට හැකිවනු ඇත.

කෘමි නාශක භාවිතයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා නොකිරීම, කෘමිනාශක වැඩිපුර වැව්වලට එකතුවීම .එම වැව් ජලය ජනතාව පානය කිරිම,  මෙම රෝගය පැතිරීමට එක් හේතුවක් ලෙස සැලකිය හැකිය. මේ නිසා පිරිසිදු ජලය පාවිච්චි කිරිම ඉතා වැදගත්. එමෙන්ම රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශවලට මෙම බැර ලෝහ වලින් තොර ජලය ලබා දීම තුලින් මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට විශාල රුකුලක් වනු ඇත.

kidneyඑමෙන්ම වැව් ආශ්‍රිතව පවතින ජලජ ශාකයන් භාවිතයට ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. ජලය ආශ්‍රිතව වැවෙන නෙළුම්, කොහිල වැනි ශාකයන්ගේ අල වර්ග වල  මෙම බැර ලෝහ එක් වීමේ ප්‍රවනතාවය වැඩිය.  වියලි කාලයේදී වැව්වල ජලයේ ප්‍රමාණය අඩුවන හෙයින් එහි කෘෂි රසායනික සාන්ද්‍රණය වැ
ඩි වේ.

මීට අමතරව වැව් මාළු භාවිතයේදී මාළුන්ගේ කොරපොතු ඉතා හොදින් ඉවත් කර සෝදා භාවිතයට ගත යුතුය. මන්ද යත් ජලයෙහි ඇති රසායන ද්‍රව්‍ය මාළු කොරපොතු වල රැදෙන හෙයිනි.



අතීතයේදී අපේ පැරැන්නන් ජලය පිරිසිදු කරගැනීම සදහා නොයෙක් ක්‍රමවේදයන් භාවිතා කලද වර්තමාන සමාජයෙහි පවතින කාර්යබහුල ජීවන රටාව සමඟ එම ක්‍රමවේදයන් භාවිතා කිරීමට හැකියාවක් නොමැත. අද ඒ වෙනුවට ෆිල්ටර් භාවිතයට යොමුවී ඇත. සෑම ෆිල්ටරයකින්ම බැර ලෝහ පෙරීම සිදු නොවන හෙයින් බැර ලෝහ පෙරීමට හැකි  ෆිල්ටර්  පමණක් භාවිතයට ගැනීමට අප වගබලා ගත යුතුය. එමෙන්ම ඇළුමිනියම් භාජන වල ජලය පිරවිම හෝ ආහාර පිසීමෙන් වැලකීමෙන් රෝගී තත්ත්වයන් අවම කර ගැනීමට හැකි වේ. ඒ ජලයෙහි ඇති ආම්ලිකතාවය ඇළුමිනියම් සමඟ ක්‍රියාකිරීමෙන් ශරීරයට අහිතකර සංගටක නිපදවන හෙයිනි.  මැටි භාජන භාවිතා කිරීම තුලින් මෙය වළකා ගතහැකි වේ.   

බොහෝ විට වගාවන් වලදී වල් මර්ධනය,කෘමි පාලනය, නයිට්‍රජන් ඌනතාවය හා අධි අස්වැන්නක් සදහා  කෘෂි රසායන භාවිතය අත්‍යාවශ්‍ය  සාධකයක් බවට පත්වී ඇත. නමුත් කාබනික පොහොර හා පැරණි ක්‍රම භාවිත කරමින් ඉහත සාධක සියල්ල සපුරාලමින් වී  හා වෙනත් බෝග වර්ග  වගා කිරීමට බොහෝ ගොවීන් අද යොමුවී ඇති අතර එයින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව පෙනේ.   සුවදැල්, පච්චපෙරුමාල් වැනි වී වර්ග කාබනික පොහොර භාවිතකර වගා කිරීමෙන් කෙටි කාලයකින් අස්වැන්න ලබා ගැනීමට හැකි වී ඇත. මෙහිදීpachcha සිරුරට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඉතා හොදින් මෙම වී උපයෝගී කරගෙන ජනතාවට ලබා දීම තුලින් නිරෝගී ජනතාවක් සදහා අවශ්‍ය පරිසරය සැලසෙනු ඇත.

සාමාන්‍යයෙන් සිරුරට අවශ්‍ය වන ආසනික් ප්‍රමාණය ලීටරයකට මයික්‍රො ග්‍රෑම් 10 කි. නමුත් අද වෙළඳ පොලේ ඇති කෘෂි රසායන ද්‍රව්‍ය වල ලීටරයක මයික්‍රො ග්‍රෑම් 200 - 1500 දක්වා පරාසයක ආසනික් අඩංගුය. මෙම රසායන ද්‍රව්‍ය උපයෝගී කරගෙන වගා කිරීම තුල සහල් කි.ග්‍රෑම් 1කට මයික්‍රො ග්‍රෑම් 200 - 1000 දක්වා ඇතුල් වේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුව ආසනික්  පැවතිය යුත්තේ කි.ග්‍රෑම් 1 කට මයික්‍රො ග්‍රෑම් 150 ක් පමණී.

2012 දී කරන ලද සමීක්ෂණයකට අනුව  වකුගඩු රෝගයට ගොදුරුවී ඇති සංඛ්‍යාව  30000 ක් පමණ වෙතැයි ගණන් බලා ඇති අතර මේ වන විට දිනකට වකුගඩු රෝගීන් 13 ක් පමණ මිය යන බව වාර්තාවී ඇත. උතුරු මැද පළාතේ පමණක් දිනකට මියයන සංඛ්‍යාව 4 කි.  උතුරු මැද පළාතේ රෝගී ප්‍රතිශතය සලකා බලන විට එය 2000 - 2% , 2004 - 4%, 2008- 8%  , 2012- 16%  ක්  ලෙස වැඩි වෙමින් පවතී.

එසේනම් මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා  පැවතිය යුතු ආකාරය පිළිබඳ ආයුර්වේදය මෙසේ දක්වයි. අන්නාසි, අච්චාරු, බලමාළු, කකුළුවන්, දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින ලෙසද ඒවා ආහාරයට ගැනීමෙන් මුත්‍ර ප්‍රදාහය ඇතිවීමට හැකියාව ඇති බවද දේශිය වෛද්‍ය ක්‍රමයේදී පෙන්වා දේ. පොල්පලා , නීරමුල්ලිය වැනි ඖෂධීය ශාක තම්බා බීමෙන් මුත්‍ර ප්‍රදාහය වළක්වා ගත හැක.එසේම දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුලින් වකුගඩු රෝගය ඉතා හොදින් පාලනය කරගැනීමට හැකියාව ඇති බවද ඔප්පුකර ඇත.
ක්ෂණික ආහාර වල ඇති E කාණ්ඩයට අයත් රසකාරක වකුගඩු ආශ්‍රිත රෝග හා පිළිකා ඇතිකිරීමට හේතුවන හෙයින් එම ආහාර ගැනීමෙන් වැලකී සිටිම තුලින් මෙම රෝග හට ගැනීමේ ඉඩකඩ අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එසේනම් හෙට දවසේ කාලීන වකුගඩු රෝගය අප රටින් තුරන් කිරීමට අප සැවොම එක්ව කටයුතු කල යුතුය. ඒ සඳහා  රෝගය පැතිර යන ප්‍රදේශවලට පිරිසිදු ජලය ලබා දීමට පියවර ගැනීම, විෂ රසායන ද්‍රව්‍ය වලින් තොර  ආහාර භෝග වගා කිරීමට අවශ්‍ය සහාය ලබා දීම රජයේ වගකීම වන අතර  මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත්  කිරීම අපගේ යුතුකම වන්නේය.  


බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරින් සකස් කලේ -අමිතා  ප්‍රසන්ති
උපුටා ගැනීම - news.lk වෙබ් අඩවිය, 2015-08-03
There was an error in this gadget

R C D