Monday, January 29, 2024

තිරසර ආර්ථිකයකට මග කියන ඔයිල් ෆාම් හෙවත් කටුපොල් වගාව

 තිරසර ආර්ථිකයකට මග කියන ඔයිල් ෆාම් වගාව.



ඔයිල් ෆාම් හොවත් කටුපොල් වගාව සම්බන්ධයෙන් විවිධ මතවාද පළබවී ඇත. එහිදී එයට පක්ෂවසහවිපක්ෂව කරුණු ඉදිරිපත් වී ඇත. එක් පාර්ෂවයක් කටුපොල් වගාවෙන් පාරිසරික ව්‍යසනයක් සිදු වන බව පෙන්වා දෙන අතර තුර තවත් පාරෂවයක් එය එසේ නොවන බව පෙන්වා දෙමින් එහි ඇති ආර්ථිකමය වාසිිිිපෙක්කවා දි ඇත.


මේ ඒ පිළිබඳ රුහුණු සරසවියේ කෘෂි පීඨයේ මහාචාර්ය අරුණ කුමාර මහතාගේ අදහසයි.


ලංකාව කෘෂිකාර්මික රටක් වශයෙන් හඳුනාගන්නා බොහෝ දෙනා එය දූපතක් ද වන බව අමතක කරයි. දූපතක මූලිකම සීමාකාරි සාධකය භූමියයි. එබැවින් සීමිත භූමිය වඩාත් ඵලදායි වගාවන් සඳහා යොදා ගැනීම අප කාගේත් වගකීමයි. වගාවක් වශයෙන් කටුපොල්වල ඇති යෝග්‍යතාවය සලකා බැලීම මෙම ලිපියේ අරමුණයි. ලොව එළවළු තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා කටුපොල්ය. ලෝක එළවළු තෙල් පරිභෝජනයට කටුපොල්වලින් ලැබෙන දායකත්වය 40%ක් තරම්ය. එතරම් විශාල දායකත්වයක් සැපයුව ද කටුපොල් වගාව සඳහා යොදාගෙන ඇත්තේ ලෝකයේ තෙල් භෝග සඳහා යොදාගෙන ඇති සමස්ත භූමි ප්‍රමාණයෙන් 5 – 5.5%ක් තරම් අඩු ඉඩකි. එමඟින් සනාථ වන්නේ තෙල් භෝග අතුරින් ඒකීය භූමි ප්‍රමාණයකින් වැඩිම අස්වැන්නක් ලබාදෙන භෝගය කටුපොල් බවයි. එම අස්වැන්න හෙක්. ටොන් 1.9 – 4.8ක් තරම් ඉහළය. සෝයා බෝංචි ලබා දෙන්නේ හෙක්.තෙල් ටොන් 0.4 – 0.8කි. රටකජු සහ සූරියකාන්තවලින් ලබාදෙන අස්වැන්න පිළිවෙළින් ටොන් 0.5 – 0.8 හා 0.5 – 0.9 තරම් ප්‍රමාණයකි. ඔලිව්වලින් ටොන් 0.3 – 2.9 දක්වා අස්වැන්නක් ලබා ගත හැකිය. ලංකාවේ ප්‍රධානම තෙල් භෝගය වන පොල්වලින් ලබා ගත හැක්කේ තෙල් ටොන් 0.4 – 2.4 අතර අස්වැන්නකි.


වසර 2050 වනවිට ලෝක එළවළු තෙල් සඳහා ඇති ඉල්ලුම 46% කින් පමණ ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. එම අවශ්‍යතාවය සපුරාලීමට නම් වාර්ෂික නිෂ්පාදනය ටොන් මිලියන 3.86කින් ඉහළ නැංවිය යුතුය. සෝයා තෙල්වලින් මෙම අවශ්‍යතාවය සපුරාගන්නේ නම් අවශ්‍යවන අතිරේක ඉඩම් ප්‍රමාණය හෙක්.මිලියන 179කි. නමුත් කටුපොල් සඳහා අවශ්‍ය වනුයේ හෙක්. මිලියන 31.3ක් පමණි. එනම් සෝයාවලට අවශ්‍ය ඉඩම් ප්‍රමාණයෙන් 1/6ක් පමණි. ලංකාවේ වාර්ෂික තෙල් සහ මේද අවශ්‍යතාවය ටොන් 270,000ක් පමණ වේ. ඉන් දේශීයව නිෂ්පාදනය කර ගත හැක්කේ 20%ක් තරම් සුළු ප්‍රමාණයකි. ඉතිරිය ආනයනය මඟින් සපුරා ගැනේ. තෙල් සහ මේද ආනයනය සඳහා 2021 දී පමණක් ඩොලර් මිලියන 166ක් වියදම් කිරීමට රටට සිදුවිය. ආහාර සහ ආහාර නිෂ්පාදන සඳහා අවශ්‍යවන තෙල් සහ මේදය ආනයනය මඟින් සපුරා ගැනීමට සිදුවීම ගැටලු සහගතය. එය එම නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියාවල යෙදී සිටින 350,000 ඉක්මවාලූ සේවක පිරිසක‍ගේ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුවක් ද වන්නේය. මේ සඳහා වැයවන විදේශ විනිමය ප්‍රමාණය රැකගෙන, රටට අවශ්‍යවන තෙල් සහ මේදය රට තුළම නිෂ්පාදනය කර ගැනීමට නම් පොල් වගාව අවම වශයෙන් තවත් හෙක්. 200,000කින් පමණ ව්‍යාප්ත කළ යුතුය. ඒ දැනට පොල් වගාකර ඇති හෙක්. 394,836ට අමතරවය. අවශ්‍යතාවය කටුපොල්වලින් සපුරා ගන්නේ නම් අවශ්‍ය වන්නේ තවත් හෙක්. 50,000ක් පමණි. මන්ද කටුපොල්වල තෙල් අස්වැන්න පොල්වල මෙන් සිව් ගුණයක් පමණ වන බැවිනි.


කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමට ඇති ප්‍රධානම ගැටලු වන්නේ එම වගාව පරිසරයට අහිතකර ලෙස බලපාන්නේ යැයි ගොඩනැඟී ඇති සමාජ මතයයි. වගාවක් යනු සැබවින්ම ස්වභාවික පරිසර පද්ධතිය වෙනස්කර මිනිසාගේ ඕනෑ එපාකම් සරිකර ගනුවස් ස්ථාපනය කරනු ලබන ශාකයන්ය. ඒ නිසා ඕනෑම වාණිජ වගාවකින් යම් හෝ ආකාරයක පරිසර හානියක් සිදුවන බව අවබෝධ කර ගත යුතුය. එසේ වුවත් මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනය වැනි අවස්ථාවලදී සුදුසු පරිදි පරිසරය සහ අවශ්‍යතාවය ගළපා ගත යුතුය. කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමේ දී ස්වභාවික වනාන්තරවලට සිදු වූ හානිය සුළුපටු නොවේ. විශේෂයෙන්ම ඉන්දුනීසියාව සහ මැලේසියාව සැලකීමේ දී මෙම තත්ත්වය වඩාත් කැපී පෙනෙයි. වසර 1972 සිට 2000 කාල වකවානුව තුළ කටුපොල් වගාව සඳහා අලුතින් යොදාගත් වපසරියෙන් 46%ක් වනාන්තර භූමීන්ය. සෙසු 54%ට ඇතුළත් වූයේ වෙනත් වගාවන් (උදා_ රබර් සහ පොල්) යටතේ පැවති ඉඩම් සහ තෘණ බිම්ය. එසේ වුවද මෑතක දී සිට එම තත්ත්වයේ පැහැදිලි අඩුවීමක් නිරීක්ෂණය කළ හැකිය. පර්යේෂණ දත්තවලට අනුව 2000 සිට 2013 දක්වා කාල වකවානුවේ දී කටුපොල් වගාව නිසා ලෝක වන ගහනයට සිදුවී ඇති හානිය 0.2%ක් තරම් අඩු අගයකි. ලෝකයේ ප්‍රධානම කටුපොල් වගාකරුවන් මේ වන විට Zero detorestation සම්මුතියකට පැමිණ ඇත.


කටුපොල් වගාව නිසා ජෛව විවිධත්වය අඩුවේය යන්න දෙවැනි විරෝධතාවයයි. මෙහිලා කිසියම් වගා භූමියක ජෛව විවිධත්වයට බලපාන සියලුම සාධක එනම් භෝග වර්ගය, පැළ අතර පරතරය, වගාවේ වයස, පස සහ දේශගුණය, භෝග පාලන පිළිවෙත්, අවට පරිසරය ආදී සියල්ල එකට ගෙන සංසන්දනාත්මකව සලකා බැලිය යුතුය. එසේ නොමැතිව කටුපොල් වගා කළ පමණින් ජෛව විවිධත්වයට හානි වේ යැයි පැවසීම හුදු ප්‍රකාශයක් පමණි. මන්ද පොල් වගාව නිසා ද ජෛව විවිධත්වයට හානිවන බව සඳහන් පර්යේෂණ පත්‍රිකා ඇත. (උදා: Meijaard et al 2020) එසේ වුවද එම සීමාකාරි කම සලකා අප පොල් වගා නොකර සිටින්නේ ද? එලෙසින්ම තෙල් සඳහා වගාකරන වාර්ෂික‍ භෝග (උදා සෝයා වැනි) හා සංසන්දනය කරන විට කටු පොල් වගා බිමක ජෛව විවිධත්වය වැඩිය. එක් අධ්‍යයනයකට අනුව කටුපොල් වගා බිමක යටි වගාවේ ශාක විශේෂ 298ක් සහ කටු පොල් ක‍ඳේ පරිනාංග විශේෂ 15ක් හඳුනාගෙන ඇත. (Sato et al 1996)


කටුපොල් වගා කළ විට දිය උල්පත් සිඳී යන්නේ ද? එය එසේ නම් ඉන්දුනීසියාව සහ මැලේසියාව මේ වන විට කාන්තාර බවට පත්වී තිබිය යුතුය. ලංකාවේ කටුපොල් වගා වපරිසය හෙක්. 11,000කි. එය මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ පිළිවෙළින් හෙක්. මිලියන 5.9ක් සහ 14.5කි. එම දත්ත අනුවම කටුපොල් වගාව සහ දිය උල්පත් අතර පැහැදිලි සබඳතාවයක් නැති බව පැහැදිලිය. ලංකාවේ කටුපොල් වගාව ආරම්භ කර දැනට වසර 60ක් පමණ ගත වී ඇත. මෙම කාලය තුළ කිසිදු වගා බිමක් ආශ්‍රිතව දිය උල්පත් සිඳී යෑමක් වාර්තා වී නොමැත.


කටුපොල් සම්බන්ධයෙන් ඇති තවත් චෝදනාවක් වන්නේ එය හරිතාගාර වායු විමෝචනයට දායක වන බවයි. මෙවැනි කාරණා සැබවින්ම සලකා බැලිය යුතු වන්නේ සාපේක්ෂවය. එහිදී එම භෝගයෙන් ලැබෙන ආර්ථිකමය සහ අනෙකුත් වාසි සහගත තත්ත්වයන් මෙම පරිසර සාධක සමඟ ගළපා ගත යුතුය. හරිතාගාර වායු විමෝචනය සැලකූ විට ඒ සඳහා දායකවන ප්‍රධානම භෝගය වී වගාවයි. ඒ නිසා අපි වී වගාව නතර කර දමන්නේ ද? නැත. ලොව වී වගාව යටතේ ඇති සමස්ත භූමි ප්‍රමාණය හෙක්. මිලියන 165කි. කටුපොල් වගාව යටතේ ඇති සමස්ත භූමි ප්‍රමාණය හෙක්. මිලියන 25කි. ලංකාව සම්බන්ධයෙන් සැලකූ විට ද වැඩිම CO 2 ප්‍රමාණයක් විමෝචනය කරන භෝගය වී වගාවයි. වී වගා හෙක්ටයාරයකින් වසරකට විමෝචනය කරන CO 2 ප්‍රමාණය ටොන් 4.77 කි(Rathnayake & Mizunoya,2023). මහ කන්නයේ හෙක්. 800,000 කුත්, යල කන්නයේ හෙක්.500,000කුත් වී වගාව යටතේ පවතී. කටුපොල් වගාව ඇත්තේ හෙක්. 11,000 පමණි.


කරුණ එසේ හෙයින් දූපතක් වූ ලංකාවේ සීමිත ඉඩම්වලට වඩාත් සුදුසු වන්නේ හෙක්ටයාරක් සඳහා වාර්ෂික ලාභය රු.70,000ක් වූ රබර් ද, රු.280,000ක් වූ පොල් ද නැතහොත් රු.900,000 වූ කටුපොල් ද යන්න අප තීරණය කළ යුතුය. නොඑසේ නම් අප වගා කළ යුත්තේ භෝගයේ අවසන් නිෂ්පාදනය ටොන් එකක් සමඟ භූමියෙන් ඉවත්වන ජලය ප්‍රමාණය (Water footprint) ඝන මීටර් 12,923ක් වූ තේ ද, 10,548ක් වූ පොල් ද, නැතිනම් 3946ක් වූ කටුපොල් දැයි තීරණය කළ යුතුය.


Professor Aruna Kumara 

Faculty of Agriculture 

University of Ruhuna