Friday, June 7, 2019

කැඩුණු අස්ථි පැය දෙකෙන් හදන උළුපට්ටලේ ගෙදර විශ්මිත වෙදකම

පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකරගත් එමෙන්ම ඒ හැකියාවෙන් පිරිපුන් අපූරු තරුණයකු ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ ලොවට වැඩ සලසමිනි.

තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.

කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ.



නන්දසිරි වික‍්‍රමනායක ආරච්ච වෙද මහතා


දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය. එකළ එම පිරිවෙන ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වූ භාෂා හා ශිල්ප ශාස්ත‍්‍ර බෙදාදීමේ මධ්‍යස්ථානයෙන් කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගත් වික‍්‍රමනායක ආරච්චි නම් වෙද මහතෙක් කීඹියේ තරුණියක් හා විවාහ වී එම ගමේ පදිංචියට පැමිණෙන්නේ උ`එ පට්ටලේ ගෙදර වෙද පරපුර ආරම්භ කරමිනි.

ගාල්ලේ සිට මාපලගම මාර්ගයේ පැමිණ හිරිගල්කැටිය හන්දියෙන් හැරී කිලෝ මීටර තුනක් පමණ ගමන්ගත් විට මැද කීඹීයේ උළුපට්ටලේ ගෙදර හමුවෙයි.

උළු පට්ටලේ ගෙදර අන්ද්‍රයස් වික‍්‍රමනායක ආරච්චි වෙද මහතාටත් ඔහුගේ බිරිඳ වූ නබඳව විතානගේ කුසුමලතා මහත්මියටත් දියණියන් දෙදෙනකි. ඉන් අනතුරුව තුන්වැනි දරුවා ලෙස 1976 අගෝස්තු 25 වැනි දින පුත් කුමරකු උපත ලබන්නේ වෙදකම ඉදිරියට රැුගෙන යාමේ අන්ද්‍රයස් වෙද මහතාගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. මේ කුමරු නන්දසිරි නම් වූවේය.



බද්දේගම කි‍්‍රස්තුදේව පිරිමි විද්‍යාලයේ අධ්‍යාපනයට ගිය නන්දසිරි නිවසේ සිටින සෑම මොහොතකම සිය පියාගේ වෙද කමට හෙද කමෙන් සහය වූයේ එය මනාව අධ්‍යයනය කරමිනි. පාඩම් පොත්වලට අමතරව පැරණි වෙද පොත් කියවීමටත් ඔහු කාලය ගත කළේ ඒ පිළිබඳව තිබූ නොනිමි ආශාව හේතුවෙනි.

ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ නන්දසිරි පාසල් අධ්‍යාපනය හදාරා අවසන් වනවිටම වෙදකමට බැස්සේ පියා ජීවත්ව සිටියදීම ඔහුට යෝද ශක්තියක් වෙමිනි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය කුසුමා වික‍්‍රමනායක ආරච්චි තරුණිය ද සොහොයුරා සමග වෙදකම ආරම්භ කළාය.



ඔවුන්ගේ වෙදකම වූයේ සිංහල කැඩුම් බිඳුම් වෙදකමයි. ඊට අමතරව පීනස සුව කිරීම, නහරගත ආබාධ සුව කිරීම හා කාන්තා රෝග සුවපත් කිරීමත් පරපුරෙන් පැවත ආවේය. එහෙත් ඒ සියල්ල අභිබවමින් මතුවී තිබෙන්නේ විශේෂඥ විෂයක් වූ කැඩුම් බිඳුම් වෙදකමයි.


සිය පිය පරපුරෙන් ලැබුණු පැරණි පුස්කොළ පොත් ඇතුළු වෙද පොත් රැුසක් ද පැරණි වෙද වට්ටෝරු ද ඔහු අධ්‍යයනය කළේය. එමෙන්ම වර්තමානයේ බටහිර වෛද්‍ය ක‍්‍රමය අනුව ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන් එම ප‍්‍රතිකාරවලින් සුවපත් නොවී ඔහු සොයා පැමිණෙන විට ඒවා යළි සැකසීමේ ක‍්‍රමවේදයන් ද අධ්‍යයනය කිරීමට ඔහුටත් සොහොයුරියටත් සිදුව තිබේ.


වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බවයි.
උළු පට්ටලේ ගෙදර වෙද පරපුර කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කම් දැකුවූහ. එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.



ඔහු පවසන්නේ පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවන බවයි. එමෙන්ම උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ද මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා අප සමග කීවේය. ඔහු පවසන්නේ මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බවයි.


‘‘ එදා සිංහල වෙදකමට අනුව අවශ්‍ය වූ ඇත් දළ කුඩු, උරුලෑවාගේ අස්ථි කුඩු සහ ගව අඃ, හරක් අඃ ආදිය අද සොයා ගන්න දැන් හැකියාවක් නැහැ. ඒ නිසා පැයෙන් දෙකෙන් අස්ථි පිළිසකර කිරීමේ වෙදකම කිරීමනම් අපහසු දෙයක්. අපි දැන් කරන්නේ ගස්වල පොතු, කොළ ආදී පස් පංගුව යොදාගෙන අස්ථි වෙදකම කිරීමයි. ඒ සඳහා යම් කාලයක් ගතවනවා.’’


බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවද අස්ථි සම්බන්ධයෙන් නම් ශී‍්‍ර ලංකාවේ බහුතර ජනතාවක් තවමත් විශ්වාස තබන්නේ පැරණි සිංහල අස්ථි වෙදකමට බව නොරහසකි. ඇටයක් කැඩුණු විට, උළුක්කුවක් හෝ පෙරළීමක් සිදුවූ විට සිංහල වෙද මහත්තයකු සොයා යා යුතු යැයි සිතිවිල්ලක් බොහෝ අය තුළ තිබේ. එහෙත්  ඕනෑම අයකු අනතුරකදී කෙලින්ම යන්නේ රජයේ රෝහලටය. එහි ගිය විට යළි සිංහල වෙද ගෙදරට යාමට සිදුවන්නේ රෝගියාගේ කැමැත්තෙන් හෙවත් බලෙන් ටිකට් කපාගෙනය.


‘‘ බටහිර වෙදකම අනුව අස්ථි යළි සකස්කැර ගන්න ගිහින් ප්ලාස්ටර් දාගෙන, ඇණ සවිකරලා, එහෙමත් නැත්නම් අධාරක තහඩු ශරීරය ඇතුළට සවිකරගෙන පවා අවසානයේ අපේ ළ`ගට එනවා. ඇතැම් ඇයගේ අත පය ඇද වෙලා නැත්නම් කොට වෙලා සදාකාලික ආබාධිතයන් බවට පත්වෙලා තමයි එන්නේ. එවැනි රෝගීන් සුවකරන්න බැරි මට්ටමටම ආවට පස්සේ අපි ළගට එනවා. ඒත් අස්ථියක් කැඩුණු අළුතම අපි ළගට එනවානම්  ඕනෑම ආකාරයක කෙනෙක් සුවපත් කිරීමේ හැකියාව අපට තිබෙනවා. ’’

පත්තුවක්


වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ තම පියාගේ කාලයේ අකුරටියේ අමරවංශ හිමියන්ට අසීරු ප‍්‍රතිකාරයක් කැර ඇති බවයි. ඒ හිමියන් සහ ගනේගම සරණංකර හිමියන් වරක් රිය අනතුරකට ලක්ව තිබේ. එයින් බරපතළ තුවාල ලැබූ අකුරටියේ අමරවංශ හිමියන් මාර්ගයේ පසෙක හාන්සිකොට තබා ඇත්තේ ඒ හිමියන් අපවත්වී ඇතැයි සිතමිනි. ඒ අවස්ථාවේ හිමියන්ගේ පාදයක් යන්තමින් සෙළවෙන ආකාරය යමකු දැකීම හේතුවෙන් උන්වහන්සේ වහාම රෝහල්ගත කැරුණි.


වෛද්‍යවරුන් පැවසුවේ ස්ථාන කිහිපයකින් කැඞී ගිය හිමියන්ගේ පාදය කිසිදා සුව කළ නොහැකි වනු ඇති බවයි. අවිදීමට පමණක් නොව ඇඳෙන් බැසීමට පවා නොහැකිව සිටි අමරවංශ හිමියන්ට පිහිටට ආවේ වික‍්‍රමාරච්චි මහතාගේ පියා සහ ඔහුගේ සොහොයුරෙකි. මේ දෙදෙනා ගොස් විද්‍යාලෝක පිරිවෙනේ දී අමරවංශ හිමියන්ට ප‍්‍රතිකාර කළහ. කිසිදා පය බිමතබා ඇවිදීමට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරු කියා සිටි අමරවංශ හිමියෝ දින 13 න් පාද බිම තැබූහ. මාසයක් ගතවීමට පෙර ඇවිද ගියහ.


තවත් බරපතළ රෝගියකු වූයේ බද්දේගම මාකුරුගොඩ ප‍්‍රදේශයේ නාවික හමුදා සෙබළෙකි. දබරයකදී ඔහු යකඩ පොලූ වලින් පහරකා ආබාධිත වී සිටියේය. රෝහලට ගෙන යන විට ඔහුගේ එක්පාදයක දිවිත්ව අස්ථියක් කැඞී ගොස් තිබේ. එහි ඇතුළත කුහරයක් ද හටගෙන තිබිණි.


‘‘ අපෙ තාත්තා ඒ කුහරයට බෙහෙත් තෙල් කාලක් විතර පුරවනවා. මාස එකහමාරක් ප‍්‍රතිකාර කරනකොට ඒ ඇට පෑහිලා කුහරය නොපෙනී ගියා රෝගියා ටික දිනකින්ම සුව වුණා. ඒ කාලේනම් වැඩිපුරම එන්නේ ගස්වලින් වැටිලා එන කට්ටිය දැන් එන්නේ රිය අනතුරු වලට ලක්වීමෙන් අත් පා අහිමි වූ පිරිස. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා දැන් වැඩිපුරම එන්නේ රිය අනතුරුවලට ලක්වූ අය. ඇතැම් අය එනවිට කකුලේ විශාල තුවලා පවා තියෙනවා. මේ තුවාල සුවපත් කිරීමේ හැකියාව අපේ වෙද පරපුරෙන් උරුම වුණත්. දැන් ඒවාට අවශ්‍ය බෙහෙත් වර්ග සොයා ගැනීම ඉතාමත්ම අපහහසුයි. ඒ නිසා දැන් එවැනි තුවාල ඉක්මණින් සුවපත් කරන ආලේපන වර්ග සකස් කරන්නේ නැහැ. ’’


වෙද මහතා පවසන්නේ සිංහල වෙදකමට අනුව ඉතාමත් අත්‍යාවශ්‍ය ඖෂධයක් වන කලාඳුරු පවා නොමැති බවයි. කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එවැනි ශාක සොයාගත නොහැකි වීම සිංහල වෙදකමට බරපතළ හානියක් බව ද හෙතෙම කියයි. මුවකීරිය, ලූණු වරණ වැනි අස්ථි පෑහීමට ගන්නා ශාක වර්ග මෙන්ම රත්නෙටොල් ද සොයා ගැනීම ඉතාමත්ම අසීරු වී තිබේ. අස්ථි බිඳුම් සඳහා ඖෂධ සෑදීමට යොදා ගන්නා ගොනිකා කොල මේ වනවිට සොයා ගැනීමට නොහැකි තරමටම වඳවී ගොසිනි. වෙද මහතා පවසන්නේ ගොනිකා කොළ වෙනුවට වෙනත් ආදේශක යොදා ගන්නා බවයි.


තෙල්, ගුලි, කල්ක , චූර්ණ ආදී සියල්ල සකසන උළුපට්ටලේ ගෙදර අතීතයේ සිට භාවිතා කළ සමපාක හෙවත් හිසෙන් ඉහළ ගල්වන තෙල්, කරපාක හෙවත් හිසෙන් පහළ ගල්වන තෙල් හා ශරීර අභයන්තරයට ගල්වන තෙල් වර්ග තුනකි. වර්තමානයේ ඒවා සකසා ගන්නේ ද වෙද මහතාගේ පූර්ණ අධීක්ෂණයෙනි.

‘‘ අස්ථියක් බිඳෙනවිට අස්ථිය සමග එන ස්නායු බිඳීම්, අස්ථිය සමග ඇති පටක තුවාල වීම් තිබෙනවා. මේ තුවාල වේලෙන්න කසාය දෙනවා. කසාය කියන්නේ ශරීරය ඇතුළේ තුවාල වේලීම ඉක්මන් කරන්න දෙන බෙහෙතක්. මේ සිය`එ දේ යොදාගෙන තමයි අපි වෙදකම කරගෙන යන්නේ. ’’



අස්ථි කෑලි වලට කැඞී වෙන්වී ගිය ද ඒවා එකතුකොට රෝගියා යළි ඇවිද්දවීමට පවා සමත්වන මේ සිංහල වෙද මහතා පවසන්නේ ලෙඩාගේ තත්ත්වය, ඔහුගේ නිරෝගී ස්වභවාය හා ඖෂධ භාවිතා කරන පිළිවෙල හා රෝගියාට ලැබෙන සාත්තුව අනුව සුවවීමට ගතවන කාලය තීරණය වන බවයි.
වෙද මහතා හමුවීමට ගොස් සිටි කාලයේදී අපට පෙනී ගියේ වසර ගණනාවක් පැරණි කැඩුම් බිඳුම් සහිත රෝගීන් පවා එහි ගෙන එන බවයි. එමෙන්ම උකුළු ඇටය කැඞී ගිය රෝගීන් පවා පැමිණ සුවපත් වී සිටින අයුරු ද දක්නට ලැබිණි. පාදය කපා ඉවත් කිරීමට තීරණය කැර තිබූ රෝගීන් පවා මේ වෙදගෙදරින් ප‍්‍රතිකාර ලබා ඇවිද යති.



වෙද මහතා පවතින්නේ බොහෝ දෙනා රෝහලට ගොස් ප‍්‍රතිකාර ලබාගෙන ගැට`එ ඇතිකරගෙන එන බවයි. කකුල පසාරු කරගෙන යන උණ්ඩයක් වැනි දෙයක් පවා බෙහෙත් බැඳ ඉවත් කිරීමේ හැකියාව සිංහල වෙදකමේ තිබෙන බව ද ඔහු පවසයි.


කකුලක හෝ අතක බිඳුණු අස්ථියක් යළි සකස් කිරීම සඳහා ශරීරයට ලෝහමය ආධාරක ඇතුළු කිරීම බටහිර වෙදකමට අනුව සිදුකරන්නකි. එසේ සිදුකළ අවස්ථාවේදී අස්ථිවලට බෙහෙත් යෙදුව ද එය සාර්ථක නොවන බව ද වෙද මහතා පවසයි. එවැනි තහඩු යොදා නොමැතිනම් වැරදි ලෙස ඇති අස්ථිය යළි බුරුල් කිරීම සඳහා හමට පිටින් බෙහෙත් බැඳ යළිත් අස්ථිය නිසි පරිදි සකස්කොට බෙහෙත් බැඳ සුවකරයි.


උ`එපට්ටලේ ගෙදර වික‍්‍රමනායක ආරච්චි වෙද පරපුර සිංහල කැඩුම් බිඳුම් වෙදකම කරගෙන යන්නේ ව්‍යාපාරයක් ලෙසින් නොවේ. ජනතාව වෙනුවෙන් කරන සේවාවක් වෙනුවෙනි. ඔවුන් පවසන්නේ ඖෂධ සෑදීම වෙනුවෙන් වැයවන සුළු මුදලක් පමණක් තමන් අයකරන බවයි.


පැරණි පුස්කොල පොත් කිහිපයක්


උදේ සිට සවස් වනතුරුම රෝගීන් විශාල පිරිසක් නිරන්තරවම පැමිණෙන මේ වෙද ගෙදර නිතරම පිරී ගොසිනි. තරුණ පරපුර සිංහල වෙදකමෙන් ඈත්වන යුගයක එය තම උරුමය පමණක් නොව යුතුකම ද ලෙස සළකා එහිම යෙදී සිටින නන්දසිරි වික‍්‍රමාරච්චි වෙද මහතා සිය ජීවනෝපාය සොයා ගන්නේ ඉඩම් වගා කිරීමෙනි. ඒ වෙනුවෙන් ඔහු කාලය කලමණාකරණය කරගන්නේ අසීරුවෙනි. ඔහු පවසන්නේ තම පරපුරෙන් උරුම වූ සිංහල වෙදකම තවත් සියවස් ගණනක්කල් නොනැසී පවත්වාගැනීම තම යුතුකම හා වගකීම වන බවයි.


විශේෂ ස්තූතිය අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතාට


වෙද ගෙදර


වෙද මහතා රෝගියකුට ප‍්‍රතිකාර කරන ආකාරය
 උපුටා ගත්තේ - ලංකාදීප http://www.lankadeepa.lk

Thursday, June 6, 2019

බලශක්ති සංරක්ෂණයට ජාතික වැඩසටහනක්

බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳව ජාතික වැඩසටහන හඳුන්වාදීමට රජය අවධානය යොමු කර තිබේ.

මේ වැඩසටහනෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 300ක බලශක්තියක් ඉතිරි කරගැනීමට අපේක්ෂිතය. එය ශ්‍රී ලංකාවේ දින දහයක සමස්ත විදුලිබල ඉල්ලුමට සමානවේ. ඒ අනුව මේ ජාතික වැඩසටහන යටතේ බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතයෙන් සියලුම රජයේ කාර්යාලවල පෙර වර්ෂයට සාපේක්ෂව 10%කින් විදුලිය සහ ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීම ඉලක්ක කර තිබේ.

ඉදිරියේ දී ඇති විය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වන විට රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව රාජ්‍ය ආයතනවල බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර, බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳව ජාතික වැඩසටහන හඳුන්වාදීමෙන් රාජ්‍ය සේවයකයන් තුළ ඒ පිළිබඳව පෙළඹවීමක් මෙන්ම යොමු කරවීමක් සිදු කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.

ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව ආරම්භ කරන මේ ක්‍රියාවලියට සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහභාගි කරගැනීමට අදහස් කර තිබේ. ඒ අනුව ඉහත සඳහන් සෑම ආයතනයක් ම බලශක්ති කළමණාකරුවෙක් පත් කර, ඔහුගේ සහාය වෙනුවෙන් බලශක්ති සංරක්ෂණ කමිටු පිහිටුවීමට අදහස් කෙරේ. මේ කමිටුවෙන් තම ආයතනයේ බලශක්තිය පරිහරණය කරන ආකාරය පිළිබඳව සොයා බලා, කාර්යක්ෂම භාවිතයක් සහ සංරක්ෂණයක් වෙනුවෙන් තම ආයතනය හැඩගැස්වීම කරනු ලබයි.

දෛනිකව වර්ධනය වන ජනගහනය හමුවේ බලශක්තියට ඇති ඉල්ලුම ද නිරන්තරයෙන් වර්ධනය වේ. ඒ අනුව පවතින සීමිත සම්පත් හේතුවෙන් බලශක්ති උත්පාදනයට බාධා එල්ල වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සීමිත සම්පත් සහිත රටකට ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමේ දී ගැටලු කිහිපකයට මුහුණදීමට සිදුවේ.

අවම මිලක් සහිත විදුලිබල උත්පාදනය සිදු කළ හැක්කේ ජලයෙන් වුවත්, මේ වන විට ඒ සඳහා යොදා ගත හැකි සියලු ජල පෝෂකයන් අවසන් වී තිබීමෙන්, විදුලි උත්පාදනය වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමට ජාතික අපනයන ආදායමෙන් 25%ක් වැනි මුදලක් වාර්ෂිකව වැය කිරීමට ශ්‍රී ලංකා රජයට සිදු වී තිබේ. එමෙන්ම ජනතාවගේ අකාර්යක්ෂම භාවිතය නිසා 25% අපතේ යන බව ද වාර්තා වේ.

ඒ අනුව බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳව ජාතික වැඩසටහන හඳුන්වාදීමෙන් විදුලි පාරිභෝගික ජනතාව අපතේ යෑමෙන් තොර කාර්යක්ෂම විදුලිබල පරිභෝජන රටාවකට හුරුවීමෙන් සහ බලශක්ති සංරක්ෂණයට යොමුවීමෙන් අනාගතයේ දී මුහුණදිය හැකි බලශක්ති අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

මෙම ලිපියේ පිටපතක් අවශ්‍ය කෙනෙක් වෙතොත් ඊමේල් මගින් ඉල්ලන්න

උපුටා ගැනීම - දිනමිණ Wednesday, ජුනි 5, 2019 - 01:00

Tuesday, June 4, 2019

හාර දහසක් දරු සම්පත් දුන් අනුරාධපුර එප්පාවල මැඩියාවේ වෙද මහත්තයා



දරුවන් නොමැතිවීම නිසා බොහෝ දෙනකු මහත් මානසික පීඩාවට පත්ව සිටින බව නොරහසකි. ඇතැම්හු දහස් ගණන් මුදල් වැය කරමින් දේවාල ගානේ ගොස් පුද පූජා පවත්වති. වෛද්‍ය විද්‍යාවේ පිහිට ලබා ගැනීමට දහස් ගණන් මුදල් වැය කළද ඉන් සාර්ථකත්වයක් නොලැබූ පිරිස අති විශාලය. දරුවන් නොමැතිව සිය බලා‍පොරොත්තු අතහැරගෙන සිටි දහස් ගණනකට තමාට පාරම්පරිකව උරුම වූ දේශීය වෛද්‍ය ක්‍රම ඔස්සේ ප්‍රතිකාර කර දරුවන් ලබා දුන් මැඩියාවේ වෙද මහත්තයා බොහෝ දෙනකු අද සිහිපත් කරන්නේ දැඩි ගෞරවයකිනි.


අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් එප්පාවල, සුන්දර මැඩියාව ගම්මානයේ, ගම්පති නිවසේපදිංචිව සිටින දිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා මහතා රටේ විශාල පිරිසක් හඳුන්වනු ලබන්නේ මැඩියාවේ වෙද මහත්තයා ලෙසිනි. ඒ ඔහු පදිංචිව සිටින ගමේ නමිනි. රටේ බොහෝ දෙනකු ඔහු දන්නේද ඒ නමිනි. මැඩියාවේ වෙද මහත්තයා අද වන විට අනූ එක් වන (91) වියෙහි පසුවන්නේය. ඉතා නිරහංකාර අයෙකු වූ මැඩියාවේ වෙද මහත්තයා කොයි කාගේත් මහත් ආදර ගෞරවයට ලක්වූ අයෙකි. දිනපතා විශාල පිරිසක් මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. ඒ අතර, විදෙස් රටවලින් පවා පැමිණෙන අයද සිටිති. මුදලට වඩා වෙදකමට මුල්තැන දුන් ඔහු ප්‍රදේශයේ සමාජ සේවකයෙකුද වේ. මුළු දිවයිනටම සාමවිනිසුරුවරයෙකි.
මම ගම්මුලාදෑනියෙකු ලෙස පත්වීම ලැබුවේ 1952 වසරේදීයි. අවුරුදු 11 ක් ගම්මුලාදෑනි තනතුර සිදු කළා. ඊට පස්සේ ග්‍රාම සේවක ලෙස කටයුතු කළා. ඊට පස්සේ 1984 අවුරුද්දේ විශ්‍රාම ගියා. මට දෙමාපියන්ගෙන් උරුම වුණු මේ වෙදකම පටන් ගත්තේ 1991 වසරේ සිටයි. යැයි මැඩියාවේ වෙද මහතා පවසන්නේය.
මගේ අම්මාගේ, අප්පච්චිගේ පරම්පරාවේ සියලු දෙනාම දේශීය වෙදකමයි සිදුකළේ. ඔවුන් දේශීය වෛද්‍යවරුයි. ඔවුන් සියලු රෝගවලට ප්‍රතිකාර කටයුතු සිදු කළා. මම අයිති වන්නේ ඔවුන්ගේ හයවැනි පරම්පරාවටයි. මම ප්‍රතිකාර කරන්නේ දරුවන් නොමැතිව මහත් මානසික පීඩාවට පත්ව සිටින පිරිසටයි. මේ අය බොහෝමයක් කලිසම් අඳින මහත්වරුයි. සරම් අඳින එක්කෙනෙක් වත් එන්නේ නෑ. මොකද ඔවුන්ට දරුවන් ඉන්නවා.යැයි ටිකිරි බණ්ඩා වෙද මහතා පවසන්නේය.
ටිකිරි බණ්ඩා කුඩා කාලයේ සිටම දුටුවේ සිය දෙමාපියන් ගම්වාසීන්ට වෙදකම් කරන අයුරුය. ඒ නිසා දේශීය බෙහෙත් සෑදීමේ කටයුතුවලදී, රෝගීන්ට ප්‍රතිකාර කරන කටයුතුවලදී ඔහු සිය දෙමාපියන්ට උදව් පදව් කළේය. කැලයට ගොස් බෙහෙත් පැළෑටි සොයාගෙන ආවේය. මේ නිසාම පාසල් අවදියේ සිටම ඔහුට දේශීය වෙදකම පිළිබඳව මනා අවබෝධයක් තිබුණේය. නමුත් ඔහු ගම්මුලාදෑනියෙකු ලෙස පත්වීම ලැබිමෙන් පසු වෙදකමේ නියැළීමට අවස්ථාවක් ලැබුණේ ඉතා අඩුවෙනි. එහෙත් ඔහු සිය පාරම්පරික වෙදකමට මහත් ආදරයක්, ගෞරවයක් දැක්වූවේය.
ටිකිරි බණ්ඩා වෙද මහතාගේ පවු‍ලේ හත් දෙනෙකි. ඔහුගේ ආදරණීය බිරිඳ අසූ පස්වැනි වියෙහි පසුවන්නීය. ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් දියණිය ගුරු වෘත්තියේ නියැළී සිටින්නීය. දෙවන දියණිය හෙදියකි. බාලම පුතා වෛද්‍යවරයෙකි. ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ සේවය කරන්නේය. එක් පුතෙකු සිය පියාගේ වෙද හෙදකම් කටයුතුවලට සහාය දක්වන්නේය.
මගේ තාත්තාත් ආරච්චි මහත්තයෙක්. ගොඩාක් අය මට කිව්වා තාත්තා ඝෘෂිවරයෙක් වගේ මිනිස්සුන්ට වෙදකම් කළානේ. ඇයි ඔබ වෙදකම් දැනගෙනත් ඒවා නොකරන්නේ කියලා. මට ඒක හිතට තදින් කාවැදුණා. මම හිතුවා සමාජයේ මිනිස්සු වැඩි වශයෙන් මුහුණ දෙන රෝග තත්ත්වයකට ප්‍රතිකාර කළ යුතුයි කියලා. මට පරම්පරාවෙන් උරුම වුණු ‍පොත් පත් රැසක් තිබෙනවා. ඒවායේ තියෙන්නේ දේශීය වෙදකම ගැනයි. මම මේ ‍පොත් බලද්දී මුලින්ම අතට අසුවුණේ එක්දහස් හත්සිය ගණන්වලදී ලියපු ‍පොතක්. ඒකේ තිබුණේ දරුවන් නොමැති අයට ප්‍රතිකාර කිරීම සම්බන්ධවයි. මේ වෙදකම කිරීම ගැන අද මම විශාල සතුටක් ලබනවා. අනෙක් අය වෙදකම් කරන්නේ ජීවත් වෙලා ඉන්න අයටනේ. මම වෙදකම් කරන්නේ අලුත් මිනිස් ජීවිතයක් ලබාදීමටයි. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය. මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිස අතර වෛද්‍යවරුද සිටිති. ජාති ආගම් බේදයකින් තොරව විශාල පිරිසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. සෑම දිනකම පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා ඔහු ප්‍රතිකාර කටයුතු කරන්නේය.
ආගමික කටයුතුවලට මුල්තැන දෙන ඔහු සිය දින චර්යාව අරඹන්නේ අලුයම තුනටය. අනූ එක්වන වියෙහි පසු වූවද ඔහු සෑම දිනකම අලුයම තුනට අවදි වී තුන් සූත්‍රය සජ්ඣායනා කර බුදු ගුණ සිහිපත් කරන්නේය. රාත්‍රී දහයට පමණ ඔහු නින්දට යාමට පෙරද පිරිත් සජ්ඣායනා කරන්නේය.
සෑම මාසයකදීම 250 ක් 300 ක් පමණ මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. මැඩියාවේ වෙද මහතාගේ පාරම්පරික දේශීය වෙදකම ඔස්සේ ප්‍රතිකාර ලබාගත් හාරදහසකට අධික පිරිසක් දරුවන් ලබා සතුටින් සිටිති. ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අයගෙන් සියයට අසූවක්ම දරුවන් නොසිටින අයය. එක් දරුවෙකු සිටින අය සියයට දහයක් පමණ පැමිණේ. ඒ තවත් දරුවෙකු බලා‍පොරොත්තුවෙනි.
මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිස අතර වෛද්‍යවරුද සිටිති. ජාති ආගම් භේදයකින් තොරව විශාල පිරිසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. සෑම දිනකම පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා ඔහු ප්‍රතිකාර කටයුතු කරන්නේය.
1991 අවුරුද්දේ සිට මේ දක්වා කාලය තුළදී හයදහසකට ආසන්න පිරිසකට මම ප්‍රතිකාර කරලා තියෙනවා. මම වෙදකම් කරපු ඇතැමුන්ට දරුවන් දෙදෙනකු ලැබුණු අවස්ථාත් තිබෙනවා. නිවුන් දරුවන් ලැබුණු අවස්ථාත් තිබෙනවා. බලන්න අද බොහෝ පවුල්වල ඉන්නේ දරුවන් එක්කෙනයි නැත්නම් දෙන්නයි. එහෙමත් පවුලක තමයි තුන් දෙනෙක් ඉන්නේ. අපේ ජාතිය දැන් සුළු ජාතියක තත්ත්වයට පත්වේගෙන එනවා. ඒක මට නම් හරි වේදනාවක්. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය.
මැඩියාවේ වෙද මහතා පවසන පරිදි කාන්තාවන් සහ පිරිමින් යට ඇඳුම් සහ කලිසම් ඇඳගෙන දිගු කාලයක් ගත කිරීමද දරුපල නොමැති වීමට බලපාන්නේය. මාස් ශුද්ධියට අදාළ කාරණාද බලපාන්නේය. ඇතැම් කාන්තාවන් වැඩි වියට පත්වීමේදී සිදුවන ඇතැම් දෝෂ තත්ත්වයන්ද බලපාන්නේය. එයට ශාන්ති කර්මයක් සිදුකළ යුතු බව වෙද මහතා පවසන්නේය.
ගණකමින් යුතු ඇඳුම් යටට ඇඳීම නිසා උෂ්ණත්වය ඉහළ යනවා. මේ නිසා වෘෂණ කෝෂවල නිෂ්පාදනය වන ශුක්‍රාණු විනාශ වෙනවා. පිරිමින්ගේ වඳ භාවයට මෙය එක හේතුවක් වෙනවා. වඳ භාවයට ප්‍රතිකාර ගැනීමේදී වෛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. ඊට කාලයක් ගත වෙනවා. වඳ තත්වයේ සිටින කාන්තාවන් තරමටම පිරිමින්ද සිටිනවා. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය.
දරුවන් නොමැතිවීම කියන කාරණයේදී ඇඟේ ඌෂ්ණය බලපානවා. මම බෙහෙත් කිරීමේදී ඇඟේ ඌෂ්ණය අඩුවීමට බෙහෙත් දෙනවා. අනෙත් කාරණය තමයි ඒ අයට කෑම සහ බිම රටාව පිළිබඳව උපදෙස් දෙනවා. ලෙඩාට හොයා ගන්න ඕනේ දලු වැනි අමු බෙහෙත් වර්ග විතරයි. අනෙක් බෙහෙත් වර්ග මම ලබාදෙනවා. සමහරුන්ට ගර්භාෂයේ ගෙඩිත් තියෙනවානේ. ඒ අයටත් බෙහෙත් දෙනවා. ඉස්පිරිතාලෙන් කරන්නේ ශල්‍ය කර්මයකින් ඒවා ඉවත් කිරීමයි. නමුත්, ඒවා යළි හැදෙන්න පුළුවන්. දේශීය වෙදකමෙන් ඒවා සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ගර්භාෂයේ ගෙඩි නැවත හැදෙන්නේ නෑ. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය.
බෙහෙත් සහ උපදෙස් හරියට කරනවා නම් සමහරුන්ට මාස දෙකෙන් හරියනවා. සමහරුන්ට මාස තුනක් යනවා. දරුවන් ලැබෙන්න ඉද්දී කළු කුමාර දෝෂ තත්ත්වය තිබුනොත් මාස දෙකයි දවස් විස්ස වෙද්දී ඇබෝෂන් වෙනවා. ඒකට ශාන්ති කර්මයක් කරද්දී හරියනවා. රාත්‍රී නින්දට යද්දී බුදු ගුණ සිහිපත් කරනවා නම් රතන සූත්‍රය සජ්ඣායනා කරනවා නම් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. යැයි මැඩියාවේ වෙද මහතා පවසන්නේය.
වෙන ආගම්වල හඳහන් නෑනේ. නමුත් ඔවුන්ට දරුවන් ඉන්නවානේ. මම මේ කටයුතුවලදී හඳහන් බැලීම ආදිය කරන්නේ නෑ. සමහරු හඳහන් බලලා කියනවා ඔයාලට දරුවෝ නැත්තේ ඒරාෂ්ඨකයක් තියෙන නිසා කියලා. ඒකෙන් වෙන්නේ ඔවුන් තවත් මානසිකව වැටීමයි. යමෙක් ඉපදෙනකොට මේ ලෝකෙට හොඳ නරක කියලා දෙකක් ගේනවා. ඒ අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. යැයි ඔහු පවසන්නේය.
දේශීය ඖෂධ වර්ග අද හරි මිලයි. ඇතැම් ඒවා විසි තිස් දාහක් විතර වෙනවා. බෙහෙත් හදන්න විශාල මුදලක් වැය වෙනවා. දේශීය බෙහෙත් වර්ග සහන මිලකට ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කෙරෙනවා නම් ඉතා වටිනවා. යැයි මැඩියාවේ වෙද මහත්තයා කියන්නේය.
ටිකිරි බණ්ඩා වෙද මහතා සමාජය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් ඔහු සම්මාන රැසකින් ඇගයීමට පාත්‍රවී ඇත. උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් 2002 වසරේදී සංවිධානය කරන ලද රජරට දේශීය වෛද්‍ය කෞශල්‍ය පූර්ණ කුසලතා සහතිකපත් ප්‍රදානයේදී ඔහු ඇගයීමට ලක්ව ඇත. සේවා සරණි සම්මානයෙන්ද, ජනාධිපති සම්මානයෙන්ද ඔහු ඇගයීමට ලක්ව ඇත.
දුරකථන අංකය - 025-2249342
උපුටා ගැනීම - අපේ රට

Monday, June 3, 2019

වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයට කළුතෙල් ගොඩ ගසයි

වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයේ තෙල් තට්ටුවක් පවතින බැවින් එම මුහුදු තීරය පාවිච්චි කිරීමේදී සැළකිලිමත් වන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ප්‍රදේශයේ මුහුදු ජලය  කළු පැහැති තෙල් තට්ටුවක් නිසා අපවිත්‍ර වී ඇති අතර එම මුහුදු තීරයේ මෙන්ම මුහුදු ජලයේද කළු පැහැති තෙල් තට්ටුවක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් එම වෙරළ තීරයේ ව්‍යායාම්වල නිරතවීමට අද උදෑසන පැමිණි පිරිස්ද දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබුනා.

කෙසේ වෙතත් හදිසියේම මුහුදු ජලයට මෙලෙස තෙල් එක්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා කිහිපයක් මේ වනවිටත් අදාළ මුහුදු ප්‍රදේශවල පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ. එසේම  කිසියම් නෞකාවක් මගින් අනවසරයෙන් ඉන්ධන මුදාහැර ඇති බවට සැක පළ කරන බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

උපුටා ගැනීම - http://nethgossip.lk

හෙළ වෙදකම මුළු ලොවටම කියාදෙන නිකවැරටිය කොට්ටයාවත්ත වෙද ඉසිවරයාණෝ

කෝට්ටයාවත්ත රාජකීය වෙදකම නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යන වෛද්‍ය විශාරද සඳුන් සරත් කෝට්ටයාවත්ත වෙද ඉසිවරයාණෝ පාරම්පරික කෝට්ටයාවත්ත වෙදකමෙහි දස්කම් විස්කම් ලොවට කියා දෙති.

රාවණා යුගය විසින් ශ්‍රී ලංකාවේ මනාව රෝපණය කළ පාරම්පරික හෙළවෙද පරපුර අතරින් අද ඉතිරිව ඇත්තේ ඉතාමත් අතළොස්සක් දෙනෙකි.

පාරම්පරික හෙළ වෙදකම පරපුරෙන් පරපුර විකාශනය වීමට අද සියලු කටයුතුවලදී රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යය. වර්තමානයේදී ගැමි ජනතාව වෙනත් වෙදකම් පිළිබඳ යොමුවීමත් හා ස්වභාවික සිදුවන පරිසරය විනාශ වීම නිසා බටහිර වෛද්‍ය ක්‍රමවලට අත්‍යාවශ්‍ය වන ඔසු වර්ග හිඟවීම විදේශ රටවලින් ආනයනය සඳහා විදේශ විනිමය විශාල වශයෙන් වැයවීම වැනි හේතු සාධක බලපා ඇති නිසා හෙළ වෙදකමින් මදක් දුරස් වී ඇත.

එහෙත් මෙහි පැමිණ ඇති බාධක අභිබවා වසර දෙදහසකටත් වැඩි අතීතයක් ඇති ඈතට දිස්වෙන වෙද පරපුරක් අදටත් අප රට වෙනුවෙන් ඉමහත් කැපවීමකින් මහඟු සේවාවක් සැපයීම ප්‍රශංසනීය පිනකි.

අනුරපුර යුගයේදී වැඩ විසූ මලියදේව මහරහතන් වහන්සේටත් වැළඳුණු ‍බඩේ අජීර්ණයකට ඔසු කැඳක් සාදා දී සුවපත් කළ සුළුගුලුවෙද පරපුරෙන් ආරම්භ වූ මෙම වෙද පරපුර නිකවැරටිය කෝට්ටයාවත්ත රාජකීය වෙද පරපුරයි. එදා මහරහතන් වහන්සේට එම ඔසු කැඳ සාදාදුන් මෙම පරපුරෙහි වත්මන් වෙද පරපුර ඉදිරියට පැවතෙයි.

ගම් නියම් ගම් සිසාරා විහිදගියා වු ඉමහත් ප්‍රසිද්ධියක් සහිත කෝට්ටයාවත්ත රජ පරපුර ලොව පුරා ගෙන ගිය වෛද්‍ය චක්‍රවර්තී ඩබ්.එම්. රංබණ්ඩා වෙද ඉසිවරයා‍ණන් මෙලොව හැර ගියද එම නාමය රැකගෙන කටයුතු කරන පුත්‍රයා වන ඩබ්.එම්. ජයතිලක වෙද ඉසිවරයාණන් විසින් කරගෙන යනු ලබන්නේද ඉමහත් සේවාවකි. මෙය පිය පුතු දෙපළගේම ආශිර්වාදයෙන් මෙම කෝට්ටයාවත්ත වෙදකම ගමෙන් නගරයටත් නගරයෙන් මුළු ලොවටම බෙදා හැරෙන තවත් වෙද ඉසිවරයෙක් එම පරපුරෙන් බිහිවී ඇත. එම ඉසිවරයාණන් වන්නේ වෛද්‍ය සඳුන් සරත් ඉසිවරයාණෝය.

කෝට්ටයාවත්ත රාජකීය වෙදකම නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යන වෛද්‍ය විශාරද සඳුන් සරත් කෝට්ටයාවත්ත වෙද ඉසිවරයාණෝ පාරම්පරික කෝට්ටයාවත්ත වෙදකමෙහි දස්කම් විස්කම් ලොවට කියා දෙති. හෙළ වෙද අසපුවේ හා මහාචාර්ය නලින්ද සිල්වා මහතා වැනි වියතුන් හා එක්ව විවිධ පර්යේෂණ කරමින් නාගරික ජනතාවට මහත් සේවයක් සපයන 'වෛද්‍ය සඳුන් සරත්' කෝට්ටයාවත්ත ඉසිවරයාණන් හෙළ වෙදකමෙහි එදා මෙදා තුර පිළිබඳ ප්‍රකාශ කළේ මහත් අභිමානයකින් යුතුවය.

හෙළ වෙදකම පිළිබඳ පැහැදිලි කරන වෛද්‍ය සඳුන් සරත් මහතා,

මා හෙළ වෙදකම ආරම්භ කළ වසර 5 කාලය තුළ 12000කට බෙහෙත් කර තිබෙනවා. ඒ කාලය තුළ ඍෂි භාවිතය අනුව යමින් අත්දුටු ප්‍රත්‍යක්ෂ හා ඖෂධ බලය යොදාගෙන කරන වෛද්‍ය ක්‍රමයක් මම කරන්නේ. ආරම්භය අධ්‍යාත්මික හා ප්‍රත්‍යක්ෂතාවය යොදාගනිමින් ඍෂිවරුන් තුන්කල් බලා සියලුම සත්ත්වයාගේ නිරෝගීතාවය වෙනුවෙන් ගුණ නුවණ ප්‍රඥාව දිවැස යන ඍෂි ගුණයන්ගෙන් ප්‍රතිඵලයකි.

භෞතික තත්ත්වය පමණක් අප පිළිගන්නේ නැහැ. ඍෂිවරුන් තුන්කල් බලා හෙළවෙදකම ලෝකයට දායාද කර තිබෙන්නේ පුස්කොළ පොත්වල රන්පත්වල ලිව්වේ. ශිෂ්‍ය වෛද්‍යවරුන්ට කියා දුන්නේ මොන ක්‍රමයට බැලුවත් පංච භූතයන්ගෙන් සැදුණු ශරීරය වා පිත් සෙම් එහි වෙනස්වීම මනාව හඳුනාගැනීමෙන් මිනිස් සිරුරේ රෝග ඇති හෝ නැති බව හඳුනාගත හැකි බවයි. දශවිද පරීක්ෂණ ක්‍රම මඟින් තමයි රෝග නිර්ණය කරන්නේ. ඒ අතර වෙද පරපුරේ වැඩි වශයෙන් භාවිතා වන්නේ නාඩි හා ආකාති ප්‍රශ්න හා තාරකා පරීක්ෂාවන් මඟින් වා පිත් සෙම් ගෙඩි නාඩි බැලීමේදී කෙතරම් දුරට කෝල සන්නි වලිප්පු සෑදී ඇත්දැයි බැලිය හැකි වෙනවා. වෙද මහතෙකුට හැරෙන්නට මේවා තේරුම් ගැනීම අපහසුයි. කොහොම වුවත් තාරකා පරීක්ෂණ ඉතා වටිනවා. ඔෟෂධ ලබාදී දින 14ක් හෝ දින 30කින් පසුව රෝගියා නැවත පරීක්ෂා කර බලා ඖෂධ ශරීරයට කෙසේ බලපානවාද කෙතරම් කාලයක් නිට්ඨාවට සුවවීමට ගත වෙනවාද සත්‍ය අසත්‍ය ගැන රෝගියා කෙතරම් ආරක්ෂා කරනවාදැයි දැනගත හැකි වෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමය සර්ව බලධාරි යැයි සිතා අධිකාරියක් ලෙස අප පිළිගන්න සූදානම් නැහැ. එයත් වර්තමානයේ ප්‍රයෝජනවත් වෛද්‍ය ක්‍රමයක් වේවි.

වර්තමානයේ විද්‍යාත්මක ක්‍රමය යම් යම් දේවලට උපයෝගි වෙනවා. නමුත් සුව කළ නොහැකියි. බෙහෙත් නැති රෝග අප සුවපත් කළත් කිසිදා ඔවුන් පිළිගන්නේ නැහැ. සාධාරණ විශ්ලේෂණයක් නොකර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. හෙළ වෙදකමෙන් රෝග සුවපත් නොවෙනවා කියන අයට අභියෝග කරන්න කැමතියි.

ඉංග්‍රීසි වෙදකම වෙනුවෙන් ඖෂධ එකකට වියදම් කරන මුදල වසර 10කට හෙළ වෙදකම වෛද්‍යවරුන්ගේ උපදෙස් මත වියදම් කරල අවස්ථාවක් දුන්නොත් මුළු ලෝකයටම ආදර්ශයක් දෙන්න පුළුවන් වෙනවා.

මෙම සේවාවෙන් හරිම තෘප්තියක් ලැබිය හැකි වෙනවා. නා උයනේ අරියධම්ම හිමි කොළඹ සම්බෝධි විහාරයේ අමිතා දසසිල් මාතාව ඇතුළු භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කර තිබෙනවා. තවද ඕවිටිගල ආරණ්‍යයේ 2015 වර්ෂයේ මහ හෙළ වෙදපති යනුවෙන් නස්නස් පත්‍රයක් අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් තවත් භික්ෂූන් වහන්සේලා 400 නමකගෙන් යුතුව පරිත්‍යාග කර තිබෙනවා.

තවද දසසිල් මාතාවක් වන අමිතා සිල් මාතාවට අසාධ්‍ය රෝගී තත්ත්වයෙදී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවක වෛද්‍යවරුන්ගේ ප්‍රකාශය වී තිබෙන්නේ අසනීපය සුව කරන්න අපහසුයි කියන අවස්ථාවක හෙළ වෙදකමින් සුවපත් වී අදටත් පිළිවෙත් පුරමින් සුවපත් දිවියක් ගත කරනවා.

විවාහ වී සිටින කාන්තාවන් 5000 අධික ප්‍රමාණයක ගර්භාෂ ආශ්‍රිත අසනීප. ඒ වගේම පාසල් ළමුන්ගේ හිසේ හට ගත් ගෙඩි සුවපත් කර ඇති සඳුන් සරත් මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම කටයුතුවලදී බිරිඳගෙන් නොමසුරු සහය ලැබෙන බවයි.

අද රටේ විශාල ප්‍රශ්නයක් වී තිබෙන වකුගඩු රෝගය ඇතුළුබොහෝ රෝගවලට මුල් වී තිබෙන වස විස භාවිතය පිළිබඳ අධ්‍යාපනික හා පරීක්ෂණ කළ ආචාර්ය නලින්ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් මඟින් නොයෙක් දේශන වලින් හා පොත් වලින් විශාල පරිශ්‍රමයක් දැරුවා එය අපද අගය කළ යුතු වෙනවා. එතුමාගේ සායනවලට දහසකටත් අධික පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. රෝගීන් සුවපත් කරනවා විනා වරප්‍රසාද කවර කළෙකවත් බලාපොරොත්තු වෙන්නේ නැති ආචාර්ය නලින්ද සිල්වා මහතා ජංගම වෛද්‍ය සායන තිබුණ. එහෙම අදහස් ඇති එවැනි අය අද බොහෝ අඩුයි. මෙවැනි අය පිළිබඳ සිහිපත් කළ යුතුව තිබෙනවා.

අද මෙම රෝගවලට බෙහෙත් වෙළෙඳ පළෙන් ලබා ගන්නට අපහසුයි. නමුත් නිකවැරටිය ප්‍රදේශයේ ඔසු උයන් බොහොමයක් තිබෙනවා. ඉඩම් අක්කර 100 පමණ භූමියක ඇති බෙහෙත් ඖෂධ ලබා ගන්නවා. එයින් නැවුම් පත්‍ර යුෂ මුල් යොදාගෙන කරන මේ ප්‍රතිකර්ම ක්‍රමය ස්වභාවධර්මයත් එක්ක මිනිසාට බද්ධ කරනවා.

එයින් කෙරෙන වෙදකමෙන් කිසිවිටෙකත් අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් මත පන්තිය රැකලා බෙහෙත් පාවිච්චි කළොත් සුව කරන්න අපහසුයි කියන අසනීප හෙළ වෙදකමින් නිශ්ඨාවට සුවපත් කරන්න පුළුවන් වෙනවා. එය ප්‍රත්‍යක්ෂයි. සත්‍යයි" යනුවෙන් වෛද්‍ය සඳුන් සරත් මහතා පැවසීය.

මෙම වෙද ක්‍රමයේදී අලුත් කොළ පොතු ඔසු උයන්වලින් ලබා ගන්නවා හැරෙන්නට අනෙකුත් ඖෂධ වර්ග රත්හිරිගල් මනෝසීල කස්තුරි ගොරෝචන ඇතුළු ඖෂධ කිහිපයක් ගෙන්වාගැනීමට කටයුතු කරනවා. මෙම හෙළ වෙදකමේ විශේෂය වන්නේ නැමුම් ඔසු වෙදපරපුරේ අය විසින්ම නිසි ක්‍රමයට සාදා ඇති ඖෂධ රෝගීන්ට ලබාදීමයි.

තවද නැකැත් අනුව ඖෂධ ලබාගෙන අධ්‍යාත්මික ශක්තියද මුසුව වෛද්‍යාචාර්ය මහතුන්ගේ අත්ගුණයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම තවත් විශේෂත්වයකි.

හෙළ වෙදකමෙහි ජනතාවගේ මතයක් තිබෙනවා මෙම ඖෂධීය වර්ගවලින් අක්මාව හා වකුගඩු නරක්වන බව. නොයෙක් මත දැරුවත් කවර කලකවත් නරක් නොවන බව පවසන සඳුන් සරත් මහතා කියා සිටින්නේ සීනි යොදලා පල් කරලා ඖෂධ වර්ග නිෂ්පාදනය නොකරන බවයි.

එවැනි හෙළ වෙදකම ලොවට කියන විට එය සවන් යොමන ගුණ නුවණ යුතුව ඇති මෙය ගැන ඇල්මක් දක්වන ජනතාව ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන කිහිපයක්ම ඇත. මෙම සායන කොළඹ 10, කඩවත, මිගමුව, අනුරාධපුරය ප්‍රදේශවල පැවැත්වේ.

මේ පිළිබඳ වැඩි විස්තර 0774135584/0775268782 දුරකතන අංක මඟින් ලබාගත හැකිය.

උපුටා ගැනීම - දිනමිණ  http://www.dinamina.lk/

දද, කුෂ්ඨ වණ, හිස්‌ හොරි සුව කරන නාඩි ප්‍රතිකාර

අපි කවුරුත් පිරිසිදු, පැහැපත් සමකින් යුක්‌තව ඉන්නට කැමැත්තෙමු. හොරි දද කුෂ්ඨ වැනි රෝග සහිත පුද්ගලයන් හමු වූ විට ඔවුන්ගෙන් ඈත් වන්නට මහත් උත්සාහයක්‌ ගන්නෙමු.

 වෛද්‍යතුමනි, හොරි දද වැනි සමේ රෝග ඇතිවීමට බලපාන හේතු පිළිබඳව සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ කෙසේද?

 හොරි, දද, කුෂ්ඨ වණ රෝගා බාධා මනුස්‌සා සත්ත්ත පීඩා සකල ඉන්ද්‍රිය භාගා කුදර්හි කයිනාමි ලෙසින් මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ මිනිසුන් මෙන්ම සිවුපා, සතුන් පක්‌ෂීන් උරගයන් ආදී සියලු සත්ත්වයන්ගේ සිරුරේ හොරි, දද, කුෂ්ඨ සහ වණ යන සමේ රෝග හටගන්නා මෙම රෝගවලට නිසි ප්‍රතිකාර නොකළ හොත් ඒවා උත්සන්න වී අවසානයේ ආසාදනවලට ලක්‌ව සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දක්‌වා ගමන් කර මරණයට පවා ලක්‌විය හැකි බව මහා සෘෂි වෛද්‍යවරු පවසා තිබේ.

 වෛද්‍යතුමනි මෙම රෝග හට ගැනීමට බලපාන හේතු මොනවාද?

 මෙම රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපිරිසිදුකමයි. අපිරිසිදු බව නිසා සම මත විෂ බීජ හටගන්නවා. ඒවා වර්ධනය වූ විට මෙම රෝග මතුවෙනවා.

 දද සම මත අපැහැදිලි පැල්ලම් ලෙස ඇතිවේ. එම පැල්ලම් මතුපිට කැසීමක්‌ හටගනී.

 වණ දද සම මත පැතිර ගිය අවස්‌ථාවද

 හොරි - සම පුරා පැතිර යති. තෙත දියර ගලායයි.

 කුෂ්ඨ - සම මත පැතිර යයි. අධික ලෙස කැසීමක්‌ ඇතිවේ.

 වර්තමානයේ දද සහ කුෂ්ඨ රෝග කාන්තාවන් සහ පිරිමින්ගේ ප්‍රජනන අවයව පිහිටා ඇති ප්‍රදේශවල සහ කිහිsලි, ඉකිලි යන නිතර දහ දියෙන් තෙත් වන ප්‍රදේශවල බහුලව මතුව ඇති බව ප්‍රතිකාර ලබාගැනීමට එන රෝගීන් දෙස බලනවිට පැහැදිලි වෙනවා.

 මෙවැනි රෝග සහිත පුද්ගලයන්ට නිතර කෝපය ඇතිවී නොසන්සුන් බව වැඩි වේ. දැඩි ලෙස වේදනාවකින් පෙළෙයි.

 වෛද්‍යතුමනි මෙම රෝග සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

 සෘෂි නාඩි වෛද්‍ය ක්‍රමයට අනුව බොහෝ ප්‍රතිකාර ඇත. ඒ අතර ඉතා පහසුවෙන් සාදාගත හැකි අත් බෙහෙතක්‌ සඳහන් කළ හැකිය.

 කොහොඹ කොළ, නික කොළ, දොඹ කොළ, මී කොළ, සියඹලා කොළ, කුප්පමේනියා සහමුලින්ම කිතුල් ගසේ සුඹුලු (කිතුල් කඳේ පොතු සූරාගැනීම) සමව ගෙන තම්බා කොටා ගන්න.

 රත්හඳුන් පිටි, පෙරුම්කායම්, පිටි, කොත්තමල්ලි පිටි, වියළි ගොඩපර ගෙඩි පිටි, සියඹලා මල් වියළා ගත් රතු වදමල් පොකුරු සමව ගෙන ඉහත තම්බා කොටාගත් ද්‍රව්‍යද මිශ්‍ර කර ගෙන තලතෙල් හා කොහොඹ තෙල් නිසි පමණට යොදා ආලේපයක්‌ සාදාගෙන දද කුෂ්ඨ, වණ, හොරි, ඇති ස්‌ථාන සබන් ගා නිවාගත් උණුවතුරින් හොඳින් සෝදා පිරිසිදු කර ගෙන උදේ සවස ආලේප කරන්න.

 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0776500677 අමතන්න.

උපුටා ගැනීම - දිවයින