Tuesday, June 4, 2019

හාර දහසක් දරු සම්පත් දුන් අනුරාධපුර එප්පාවල මැඩියාවේ වෙද මහත්තයා



දරුවන් නොමැතිවීම නිසා බොහෝ දෙනකු මහත් මානසික පීඩාවට පත්ව සිටින බව නොරහසකි. ඇතැම්හු දහස් ගණන් මුදල් වැය කරමින් දේවාල ගානේ ගොස් පුද පූජා පවත්වති. වෛද්‍ය විද්‍යාවේ පිහිට ලබා ගැනීමට දහස් ගණන් මුදල් වැය කළද ඉන් සාර්ථකත්වයක් නොලැබූ පිරිස අති විශාලය. දරුවන් නොමැතිව සිය බලා‍පොරොත්තු අතහැරගෙන සිටි දහස් ගණනකට තමාට පාරම්පරිකව උරුම වූ දේශීය වෛද්‍ය ක්‍රම ඔස්සේ ප්‍රතිකාර කර දරුවන් ලබා දුන් මැඩියාවේ වෙද මහත්තයා බොහෝ දෙනකු අද සිහිපත් කරන්නේ දැඩි ගෞරවයකිනි.


අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් එප්පාවල, සුන්දර මැඩියාව ගම්මානයේ, ගම්පති නිවසේපදිංචිව සිටින දිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා මහතා රටේ විශාල පිරිසක් හඳුන්වනු ලබන්නේ මැඩියාවේ වෙද මහත්තයා ලෙසිනි. ඒ ඔහු පදිංචිව සිටින ගමේ නමිනි. රටේ බොහෝ දෙනකු ඔහු දන්නේද ඒ නමිනි. මැඩියාවේ වෙද මහත්තයා අද වන විට අනූ එක් වන (91) වියෙහි පසුවන්නේය. ඉතා නිරහංකාර අයෙකු වූ මැඩියාවේ වෙද මහත්තයා කොයි කාගේත් මහත් ආදර ගෞරවයට ලක්වූ අයෙකි. දිනපතා විශාල පිරිසක් මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. ඒ අතර, විදෙස් රටවලින් පවා පැමිණෙන අයද සිටිති. මුදලට වඩා වෙදකමට මුල්තැන දුන් ඔහු ප්‍රදේශයේ සමාජ සේවකයෙකුද වේ. මුළු දිවයිනටම සාමවිනිසුරුවරයෙකි.
මම ගම්මුලාදෑනියෙකු ලෙස පත්වීම ලැබුවේ 1952 වසරේදීයි. අවුරුදු 11 ක් ගම්මුලාදෑනි තනතුර සිදු කළා. ඊට පස්සේ ග්‍රාම සේවක ලෙස කටයුතු කළා. ඊට පස්සේ 1984 අවුරුද්දේ විශ්‍රාම ගියා. මට දෙමාපියන්ගෙන් උරුම වුණු මේ වෙදකම පටන් ගත්තේ 1991 වසරේ සිටයි. යැයි මැඩියාවේ වෙද මහතා පවසන්නේය.
මගේ අම්මාගේ, අප්පච්චිගේ පරම්පරාවේ සියලු දෙනාම දේශීය වෙදකමයි සිදුකළේ. ඔවුන් දේශීය වෛද්‍යවරුයි. ඔවුන් සියලු රෝගවලට ප්‍රතිකාර කටයුතු සිදු කළා. මම අයිති වන්නේ ඔවුන්ගේ හයවැනි පරම්පරාවටයි. මම ප්‍රතිකාර කරන්නේ දරුවන් නොමැතිව මහත් මානසික පීඩාවට පත්ව සිටින පිරිසටයි. මේ අය බොහෝමයක් කලිසම් අඳින මහත්වරුයි. සරම් අඳින එක්කෙනෙක් වත් එන්නේ නෑ. මොකද ඔවුන්ට දරුවන් ඉන්නවා.යැයි ටිකිරි බණ්ඩා වෙද මහතා පවසන්නේය.
ටිකිරි බණ්ඩා කුඩා කාලයේ සිටම දුටුවේ සිය දෙමාපියන් ගම්වාසීන්ට වෙදකම් කරන අයුරුය. ඒ නිසා දේශීය බෙහෙත් සෑදීමේ කටයුතුවලදී, රෝගීන්ට ප්‍රතිකාර කරන කටයුතුවලදී ඔහු සිය දෙමාපියන්ට උදව් පදව් කළේය. කැලයට ගොස් බෙහෙත් පැළෑටි සොයාගෙන ආවේය. මේ නිසාම පාසල් අවදියේ සිටම ඔහුට දේශීය වෙදකම පිළිබඳව මනා අවබෝධයක් තිබුණේය. නමුත් ඔහු ගම්මුලාදෑනියෙකු ලෙස පත්වීම ලැබිමෙන් පසු වෙදකමේ නියැළීමට අවස්ථාවක් ලැබුණේ ඉතා අඩුවෙනි. එහෙත් ඔහු සිය පාරම්පරික වෙදකමට මහත් ආදරයක්, ගෞරවයක් දැක්වූවේය.
ටිකිරි බණ්ඩා වෙද මහතාගේ පවු‍ලේ හත් දෙනෙකි. ඔහුගේ ආදරණීය බිරිඳ අසූ පස්වැනි වියෙහි පසුවන්නීය. ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් දියණිය ගුරු වෘත්තියේ නියැළී සිටින්නීය. දෙවන දියණිය හෙදියකි. බාලම පුතා වෛද්‍යවරයෙකි. ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ සේවය කරන්නේය. එක් පුතෙකු සිය පියාගේ වෙද හෙදකම් කටයුතුවලට සහාය දක්වන්නේය.
මගේ තාත්තාත් ආරච්චි මහත්තයෙක්. ගොඩාක් අය මට කිව්වා තාත්තා ඝෘෂිවරයෙක් වගේ මිනිස්සුන්ට වෙදකම් කළානේ. ඇයි ඔබ වෙදකම් දැනගෙනත් ඒවා නොකරන්නේ කියලා. මට ඒක හිතට තදින් කාවැදුණා. මම හිතුවා සමාජයේ මිනිස්සු වැඩි වශයෙන් මුහුණ දෙන රෝග තත්ත්වයකට ප්‍රතිකාර කළ යුතුයි කියලා. මට පරම්පරාවෙන් උරුම වුණු ‍පොත් පත් රැසක් තිබෙනවා. ඒවායේ තියෙන්නේ දේශීය වෙදකම ගැනයි. මම මේ ‍පොත් බලද්දී මුලින්ම අතට අසුවුණේ එක්දහස් හත්සිය ගණන්වලදී ලියපු ‍පොතක්. ඒකේ තිබුණේ දරුවන් නොමැති අයට ප්‍රතිකාර කිරීම සම්බන්ධවයි. මේ වෙදකම කිරීම ගැන අද මම විශාල සතුටක් ලබනවා. අනෙක් අය වෙදකම් කරන්නේ ජීවත් වෙලා ඉන්න අයටනේ. මම වෙදකම් කරන්නේ අලුත් මිනිස් ජීවිතයක් ලබාදීමටයි. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය. මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිස අතර වෛද්‍යවරුද සිටිති. ජාති ආගම් බේදයකින් තොරව විශාල පිරිසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. සෑම දිනකම පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා ඔහු ප්‍රතිකාර කටයුතු කරන්නේය.
ආගමික කටයුතුවලට මුල්තැන දෙන ඔහු සිය දින චර්යාව අරඹන්නේ අලුයම තුනටය. අනූ එක්වන වියෙහි පසු වූවද ඔහු සෑම දිනකම අලුයම තුනට අවදි වී තුන් සූත්‍රය සජ්ඣායනා කර බුදු ගුණ සිහිපත් කරන්නේය. රාත්‍රී දහයට පමණ ඔහු නින්දට යාමට පෙරද පිරිත් සජ්ඣායනා කරන්නේය.
සෑම මාසයකදීම 250 ක් 300 ක් පමණ මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. මැඩියාවේ වෙද මහතාගේ පාරම්පරික දේශීය වෙදකම ඔස්සේ ප්‍රතිකාර ලබාගත් හාරදහසකට අධික පිරිසක් දරුවන් ලබා සතුටින් සිටිති. ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අයගෙන් සියයට අසූවක්ම දරුවන් නොසිටින අයය. එක් දරුවෙකු සිටින අය සියයට දහයක් පමණ පැමිණේ. ඒ තවත් දරුවෙකු බලා‍පොරොත්තුවෙනි.
මැඩියාවේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිස අතර වෛද්‍යවරුද සිටිති. ජාති ආගම් භේදයකින් තොරව විශාල පිරිසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේය. සෑම දිනකම පෙරවරු අටේ සිට පස්වරු පහ දක්වා ඔහු ප්‍රතිකාර කටයුතු කරන්නේය.
1991 අවුරුද්දේ සිට මේ දක්වා කාලය තුළදී හයදහසකට ආසන්න පිරිසකට මම ප්‍රතිකාර කරලා තියෙනවා. මම වෙදකම් කරපු ඇතැමුන්ට දරුවන් දෙදෙනකු ලැබුණු අවස්ථාත් තිබෙනවා. නිවුන් දරුවන් ලැබුණු අවස්ථාත් තිබෙනවා. බලන්න අද බොහෝ පවුල්වල ඉන්නේ දරුවන් එක්කෙනයි නැත්නම් දෙන්නයි. එහෙමත් පවුලක තමයි තුන් දෙනෙක් ඉන්නේ. අපේ ජාතිය දැන් සුළු ජාතියක තත්ත්වයට පත්වේගෙන එනවා. ඒක මට නම් හරි වේදනාවක්. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය.
මැඩියාවේ වෙද මහතා පවසන පරිදි කාන්තාවන් සහ පිරිමින් යට ඇඳුම් සහ කලිසම් ඇඳගෙන දිගු කාලයක් ගත කිරීමද දරුපල නොමැති වීමට බලපාන්නේය. මාස් ශුද්ධියට අදාළ කාරණාද බලපාන්නේය. ඇතැම් කාන්තාවන් වැඩි වියට පත්වීමේදී සිදුවන ඇතැම් දෝෂ තත්ත්වයන්ද බලපාන්නේය. එයට ශාන්ති කර්මයක් සිදුකළ යුතු බව වෙද මහතා පවසන්නේය.
ගණකමින් යුතු ඇඳුම් යටට ඇඳීම නිසා උෂ්ණත්වය ඉහළ යනවා. මේ නිසා වෘෂණ කෝෂවල නිෂ්පාදනය වන ශුක්‍රාණු විනාශ වෙනවා. පිරිමින්ගේ වඳ භාවයට මෙය එක හේතුවක් වෙනවා. වඳ භාවයට ප්‍රතිකාර ගැනීමේදී වෛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. ඊට කාලයක් ගත වෙනවා. වඳ තත්වයේ සිටින කාන්තාවන් තරමටම පිරිමින්ද සිටිනවා. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය.
දරුවන් නොමැතිවීම කියන කාරණයේදී ඇඟේ ඌෂ්ණය බලපානවා. මම බෙහෙත් කිරීමේදී ඇඟේ ඌෂ්ණය අඩුවීමට බෙහෙත් දෙනවා. අනෙත් කාරණය තමයි ඒ අයට කෑම සහ බිම රටාව පිළිබඳව උපදෙස් දෙනවා. ලෙඩාට හොයා ගන්න ඕනේ දලු වැනි අමු බෙහෙත් වර්ග විතරයි. අනෙක් බෙහෙත් වර්ග මම ලබාදෙනවා. සමහරුන්ට ගර්භාෂයේ ගෙඩිත් තියෙනවානේ. ඒ අයටත් බෙහෙත් දෙනවා. ඉස්පිරිතාලෙන් කරන්නේ ශල්‍ය කර්මයකින් ඒවා ඉවත් කිරීමයි. නමුත්, ඒවා යළි හැදෙන්න පුළුවන්. දේශීය වෙදකමෙන් ඒවා සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. ගර්භාෂයේ ගෙඩි නැවත හැදෙන්නේ නෑ. යැයි මැඩියාවේ වෙද මහතා කියන්නේය.
බෙහෙත් සහ උපදෙස් හරියට කරනවා නම් සමහරුන්ට මාස දෙකෙන් හරියනවා. සමහරුන්ට මාස තුනක් යනවා. දරුවන් ලැබෙන්න ඉද්දී කළු කුමාර දෝෂ තත්ත්වය තිබුනොත් මාස දෙකයි දවස් විස්ස වෙද්දී ඇබෝෂන් වෙනවා. ඒකට ශාන්ති කර්මයක් කරද්දී හරියනවා. රාත්‍රී නින්දට යද්දී බුදු ගුණ සිහිපත් කරනවා නම් රතන සූත්‍රය සජ්ඣායනා කරනවා නම් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. යැයි මැඩියාවේ වෙද මහතා පවසන්නේය.
වෙන ආගම්වල හඳහන් නෑනේ. නමුත් ඔවුන්ට දරුවන් ඉන්නවානේ. මම මේ කටයුතුවලදී හඳහන් බැලීම ආදිය කරන්නේ නෑ. සමහරු හඳහන් බලලා කියනවා ඔයාලට දරුවෝ නැත්තේ ඒරාෂ්ඨකයක් තියෙන නිසා කියලා. ඒකෙන් වෙන්නේ ඔවුන් තවත් මානසිකව වැටීමයි. යමෙක් ඉපදෙනකොට මේ ලෝකෙට හොඳ නරක කියලා දෙකක් ගේනවා. ඒ අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. යැයි ඔහු පවසන්නේය.
දේශීය ඖෂධ වර්ග අද හරි මිලයි. ඇතැම් ඒවා විසි තිස් දාහක් විතර වෙනවා. බෙහෙත් හදන්න විශාල මුදලක් වැය වෙනවා. දේශීය බෙහෙත් වර්ග සහන මිලකට ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කෙරෙනවා නම් ඉතා වටිනවා. යැයි මැඩියාවේ වෙද මහත්තයා කියන්නේය.
ටිකිරි බණ්ඩා වෙද මහතා සමාජය වෙනුවෙන් කරන ලද සේවය වෙනුවෙන් ඔහු සම්මාන රැසකින් ඇගයීමට පාත්‍රවී ඇත. උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් 2002 වසරේදී සංවිධානය කරන ලද රජරට දේශීය වෛද්‍ය කෞශල්‍ය පූර්ණ කුසලතා සහතිකපත් ප්‍රදානයේදී ඔහු ඇගයීමට ලක්ව ඇත. සේවා සරණි සම්මානයෙන්ද, ජනාධිපති සම්මානයෙන්ද ඔහු ඇගයීමට ලක්ව ඇත.
දුරකථන අංකය - 025-2249342
උපුටා ගැනීම - අපේ රට

No comments:

Post a Comment