Monday, March 5, 2018

වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වාර්තාගත මට්ටමකට

පෘථිවි වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 2016 වසරේ දී වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී ඇති බව විද්‍යාඥයෝ පවසති.
ලෝක කාලගුණ විද්‍යා ආයතනය කියා සිටියේ මිනිස් ක්‍රියාකාරකම් සහ 'එල්නීනෝ' කාලගුණ සංසිද්ධිය ඒ සඳහා බලපා ඇති බවය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර වසර ලක්ෂ අටකින් දැක නොමැති මට්ටමකට එය ළඟා වී ඇති බව ලෝක කාලගුණ විද්‍යා ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
පසුගිය දශකය තුළ වායු ගෝලයේ පැවති කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය හා සැසඳීමේ දී 2016 වසර තුළ එම අගය 50% ඉහළ ගොස් තිබේ.
'එල්නීනෝ' තත්ත්වය හමුවේ නියඟයට මුහුණ දී ඇති කලාප තුළ ශාක වර්ධනය සීමා වේ
'එල්නීනෝ' සංසිද්ධිය හේතුවෙන් ඇති වන නියං හමුවේ ශාකවලට කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමට ඇති හැකියාව සීමා වන බැවින් මෙවැනි තත්වයක් බලාපොරොත්තු වූ බව පර්යේෂකයෝ පවසති.
නමුත් වායු ගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ඉහළ යාමේ ප්‍රමාණය පුදුමයට පත්කරවන සුළු බව පර්යේෂකයෝ වැඩිදුරටත් කියා සිටිති.

උපුටා ගැනීම - www.bbc.com/sinhala - 2017 ඔක්තෝබර් 30

ලෝක වනජීවී දිනය ( මාර්තු 03)


ලෝක වනජීවී දිනය මාර්තු 03 දිනට යෙදී තිබේ. ලෝකයේ තර්ජනයට ලක්වූ ජීවි විශේෂයනගේ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතිය වන ‘‘සයිට්ස්’’ සම්මුතියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් 2013 වසරේ මාර්තු 03වනදා බැංකොක් නුවර පැවැති සමුළුවකදි මාර්තු 03 ලෝක වන ජීවි දිනය ලෙස නම් කිරිමට යෝජනා කෙරුණා. ඒ අනුව, එම වසරේ දෙසැම්බර් මාසයේදී මාර්තු 03වනදා ලෝක වන ජිවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කෙරුණා. ලෝකයේ වෙසෙන සියලු සත්ත්ව හා ශාකවල සුරක්ෂිතතාවය සළකමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්තු 03 දින ලෝක වනජීවී දිනය ලෙස නම් කර ඇත.

2018 වසරේ  ලෝක වන ජීවි දිනය ලෝකයේ තර්ජනයට ලක්ව ඇති විලෝපිකයන් වන විශාලතම බිලාළයන් ආරක්ෂා කර ගැනීමේ තේමාවක් මුල්කර ගනිමින් සැමරුණි. එය  “Do one thing today to help protect these magnificent creature” මේ අනගි සත්වයා අරක්ෂා කර ගැනීම වෙනුවෙන් අද එක් දෙයක් කරමු” යන්න තේමාව වේ.

බොහෝ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වී තිබෙන බව පරිසරවේදීන් පෙන්වා දෙයි. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මෙම සත්ත්ව විශේෂවල වාසභූමී ආක්‍රමණය වෙමින් පවතී. පසුගිය කාලය තුළ  කොටි ගහනය හා අප්‍රිකානු සිංහ ගහනය අඩු වී ඇති බව ලෝක වනජීවී වෙබ් අඩවි වාර්තා කරයි.
මේ හේතුව නිසා ලෝක වනජීවී දිනයේ දී ලෝකයේ වනාන්තරවල වෙසෙන බළල් විශේෂවල ආරක්ෂාව  සම්බන්ධයෙන් අවධානය යොමුව පවතී.


දිනමිණ පුවත්පතෙහි මේ සම්බන්ධයන් ඵලවූ ලිපිය අවශය අය වෙනුවෙනු පහතිනි උපුටා දක්වා ඇත.
Saturday, මාර්තු 3, 2018 - 01:00

මාර්තු 03 “ලෝක වනජීවී” දිනයයි. ලේකයේ තර්ජනයට ලක්වූ ජීවි විශේෂයන්ගේ අන්තර් ජාතික වෙළඳාම් පිළිබඳ සම්මුතිය වන CITES සම්මුතියට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් 2013 මාර්තු 03 දින බැංකොක් නුවරදී පැවති පාර්ශ්වකරුවන්ගේ 16 වන සම්මේලනයේදී මාර්තු 03 “ලෝක වනජීවී” දිනය ලෙස නම් කිරීමට යෝජනා විය. ඒ අනුව එම වසරේ දෙසැම්බර් මාසයේදී ජිනිවාහිදී පැවැති එක්සත් ජාතීන්ගේ 68 වන මහා සභාවේදී වනජීවීන් පිළිබඳව ලෝක අවධානය යොමුකිරීම සඳහා මාර්තු 03 ලෝක වනජීවී දිනය ලෙස නිත්‍ය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එක්සත් ජාතීන්ගේ වාර්ෂික දින දර්ශනයේ 2014 වර්ෂයේ සිට මාර්තු 03 වනජීවි දිනය ලෙස සටහන්ව ඇති අතර එදින වනජීවීන් පිළිබඳව ලෝක අවධානය යොමුකරවන සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂිතම දිනය බවට පත්ව ඇත.

වනජීවීන්ගේ නිසඟ වටිනාකම සහ ඔවුන්ගෙන් මිනිසාගේ පැවැත්ම උදෙසා ලැබෙන්නාවූ පාරිසරික, ජීවවිද්‍යාත්මක, සමාජීය, ආර්ථික, සංස්කෘතික, ආධ්‍යාත්මික, විනෝදාත්මක සහ සෞන්දර්යාත්මක දායකත්වයක් මෙහි වනජීවි දිනය ප්‍රකාශයට පත් කිරීමේදී විශේෂ අවධානයට යොමු විය. එසේම දිනකට ලෝකයේ වනජීවීන් දස දහදස් සංඛ්‍යාවක් මිනිසාගේ අවශ්‍යතාවයන් සඳහා ජීවිතක්ෂයට පත්වන අතර වනජීවීන් මිනිසාගේ ආහාර, ඉඳුම් හිටුම් (නිවාස), ඇඳුම් පැලඳුම්, බෙහෙත් හේත්, රූපලාවණ්‍ය කටයුතු, විනෝදාත්මක කටයුතු සඳහා යොදාගනු ලැබේ. එසේම ජාත්‍යන්තර වශයෙන් වනජීවීන් සහ සත්ව කොටස් විශාල වශයෙන් වෙළඳාම් වේ. මේ තත්ත්වය අවමකිරීම සඳහා ලෝක ජනතාව පෙළ ගැස්වීමද ලෝක වනජීවි දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු අතර වේ.

මෙවර වනජීවී දිනය ලෝකයේ තර්ජනයට ලක්ව ඇති විලෝපිකයන් වන විශාලතම බිලාලයන් (Big Cats – Predators Under Threat) තේමා කරගෙන සැමරීමට අදහස් කරන අතර “Do one thing today to help protect these magnificent creature” මේ අනගි සත්වයා අරක්ෂා කර ගැනීම වෙනුවෙන් අද එක් දෙයක් කරමු” යන්න තේමාව වේ.

මෙවර ලෝක වනජීවී දිනයේ අවධානය යොමුව ඇති විශාලතම බීලාල පවුල හෙවත් Big Cats විලෝපිකයික් ලෙස පිළිගැනෙන අතර මොවුන්ට පවත්නා තර්ජන හේතුවෙන් මුළු වනජීවි සංහතියටම සිංහයා, මුවා, හිම කොටියා සහ ව්‍යාඝ්‍රයා සැලකේ. මෙම සතුන් සියලු දෙනාම අද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව සිටිති. මූලික වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ගේ වාසස්ථාන හීන වී යාම, දඩයම, වනජීවි මිනිස් ගැටුම සහ දේශුගුණ විපර්යාස ආදිය මොවුන්ගේ ගහනය අඩුවීම කෙරෙහි බලපෑම් කර ඇත. එසේම නීති විරෝධි වෙළඳාම හරහාද මෙම සතුන්ගේ පැවැත්මට තර්ජන එල්ල වී තිබේ. පසුගිය ශතකයක පමණ කාලය තුළ ලෝකයේ ව්‍යාඝ්‍ර ගහනයෙන් 90%ක් පමණ අඩුවී ඇති අතර අප්‍රිකානු සිංහයාගෙන් 40%ක් පමණ පසුගිය 20 වසරක කාලය තුළ අඩුවී ගොස් තිබේ. අනෙකුත් විශේෂ වන කොටියා, ෂූමා, ජගුවර්, හිම කොටියා, චීටා ද මෙලෙසින්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත. ලෝකයේ විශාලතම බිලාල් පවුලේ සතුන් දැකගත හැකි ප්‍රදේශ ලෙස අප්‍රිකාව, ආසියාව, උතුරු, මධ්‍යම සහ දකුණු ඇමරිකාව සැලකිය හැකිය.

ඉහත සතුන් සංකේත වාහන මෝස්තර සහ ක්‍රීඩා සමාජ ආදිය සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරනු දක්නට ලැබේ. සයිටීස් CITES ලේකම් කාර්යාලය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් සමඟ එක්ව විශාලම බිලාලයින් රැකගැනීම පිළිබඳව ලෝක අවධානය යොමුකර ගැනීම සඳහා එක්සත්ජාතීන්ගේ මූලස්ථානයේදී මාර්තු 02 ඉහළ පෙළේ වැඩසටහනක් සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාවේ විශාලතම විලෝපිකයා

බලල් පවුලේ ශ්‍රී ලංකාවේ විශාලාතම සත්වයා වන්නේ කොටියා (Panthera Pardus Kotiya) දළ වශයෙන් ශ්‍රී ලංකාවේ කොටි ගහනය දහසකට ආසන්නව ජීවත් වන බවට විශ්වාස කරනු ලැබේ. වියළි කලාපයේ මෙන්ම තෙත් කලාපයේද ජීවත් වන කොටියා බොහෝවිට දක්නට ලැබෙන්නේ යාල, විල්පත්තුව, කුමන සහ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයන්හිදීය. ජාන විකෘතියකින් බිහිවන කළු කොටි සිංහරාජ අඩවියේදී හමු වී ඇත. ආහාරදාමයේ ඉහළම පුරුක වන කොටියාගේ ගහනය මත අනෙක් සතුන්ගේ ගහනය තීරණය වන බැවින් කොටියා විලෝපිකයෙක් ලෙස පාරිසරික වශයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේද කොටි ගහනය සීඝ්‍රයෙන් වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබේ. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශයේ ජීවත් වන කොටි - මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය යාමට පටන් ගෙන ඇත. මෙහිදී මිනිසුන් විසින් වල් ඌරන් වැනි වෙනත් සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද උගුල්වලට හසුවීමෙන් කොටින්ගේ ගාත්‍රා තුවාල වීම බොහෝ විට සිදුවේ. එහිදී ඔවුන්ට ජවසම්පන්නව ගොදුරු සොයා ගැනීමට අපහසු වන බැවින් පහසුවෙන් ගොදුරු සොයා ගන ගමව්මානවලට කඩා වදිති. විශේෂයෙන්ම ගෘහ ඇශ්‍රිතව ඇති කරනු ලබන බල්ලන්, ගවයන්, කුකුළන්, එළුවන් ආදී සතුන් පහසුවෙන් දඩයම් කර ගැනීම ඔවුන්ගේ අභිලාෂය වේ. එහෙත් මෙසේ ගම්වදින කොටි නිසා බියට පත් වන ගැමියන් ඔවුන්ට විවිධ හිරිහැර කර පලවා හැරීමට උත්සාහ ගන්නා අතර ඇතැම් කොටින් මෙහිදී මියගිය අවස්ථා ගණනාවක්ද වාර්තා විය. මෙහිදී මිනිසුන්ගෙන් වන හිරිහැර හේතුවෙන් කොටි මිය යනවා මෙන්ම ඇතැම් අවස්ථාවලදී කොටින්ගෙන් මිනිසුන්ටද කරදර වේ. නොයෙකුත් සංවර්ධන ක්‍රියා හේතුවෙන් කොටින්ගේ වාසස්ථාන අහිමිවීමද කොටි ගම්වැදීමට එක හේතුවක් වී තිබේ. මිනිසුන් විසින් අවධිමත් ලෙස කැලෑ කපා විනාශ කිරීමෙන් කොටින්ගේ වාසස්ථාන අහිමි වේ. මෙය අද ඔවුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක්ව ඇත. මේ පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු වනවා මෙන්ම පාරිසරික සමතුලිතතාවය පවත්වාගෙන මිනිසාට ජීවත් විය හැකි යහපත් පරිසරයක් ගොඩනඟා ගැනීම සඳහා වනජීවීන්ගෙන් සිදුවන යහපත පිළිබඳව අවධානය යොමුකිරීමටත් ඔවුන් සංරක්ෂණය කිරීම සඳහා තම තමන් හැකි පමණින් කටයුතු කිරීම ද ජාතික යුතුකමක් ලෙස හැඳින්විය හැකිය.

කොටියා සහ සංචාරක කර්මාන්තය

ලෝකයේ වනජීවි ලෝලීන් අතර ශ්‍රී ලංකා කොටියා ඉතා ජනප්‍රිය ය. බොහෝ විදේශීය වනජීවී ලෝලීන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කොටි දැකබලා ගැනීමටය. ඒ සඳහා ප්‍රසිද්ධ ජාතික උද්‍යානයක් ලෙස යාල ජාතික උද්‍යාන පිළිගැනේ. යාල ජාතික උද්‍යානයේ කොටි ගහනය හේතුවෙන් එහි සංචාරක ආදායමද ඉහළ ගොස් ඇත. එහෙත් යාල සංචාරය කරනු ලබන සංචාරකයින්ගේ ඇතැම් නොහොබිනා අකටයුතුකම් හේතුවෙන් එම ජාතික උද්‍යානයටත් වන සතුන්ටත් හිරිහැර වන අවස්ථා එමටය. එබැවින් ඔබ යාල සංචාරය කිරීමට උනන්දු වන්නේ නම් කොටි නැරැඹීමට අදහස් කරන්නේ නම් ජාතික උද්‍යානයේ නීති රීති උල්ලංඝනය නොකර ශ්‍රේෂ්ඨ පරිසරවේදියකු ලෙස උද්‍යානය නරඹන්නේ නම් ඔබ අනාගත පරපුරටත් සත්ව ප්‍රජාවටත් විශාල සේවාවක් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ පාරිසරික සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීමේ අදහසින් ප්‍රකාශයට පත් කළ Top 7 නම් ප්‍රමුඛ ජීවි විශේෂ 7 අතර කොටියාද එක් විශේෂයක් ලෙස නම්කර ඇත. ඒ කොටියා ශ්‍රී ලංකාවේ විශාලතම විලෝපිකයා වන බැවිනි.

මෙවර ලෝක වනජීවි දිනය නිමිත්තෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දිවයින පුරා වනජීවි රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව මහජනතාව සහ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් දියත් කර ඇත.

www.dinamina.lk

Friday, March 2, 2018

ලෝක උරුම නකල්ස් පරිසර පද්ධතියේ පරිසර අධ්‍යයන අවස්ථා මහජනතාවට.

ලෝක උරුම නකල්ස් ආශ‍්‍රිතව පාරිසරික හා ජෛව විවිධත්ව අධ්‍යයන වැඩසටහන් සදහා මහජනතාවට අවස්ථාව ලබාදීමට දුම්බර මිතුරෝ පරිසර සංවිදානය තීරණය කරයි.පරිසර කදවුරු,පරිසර සංචාර,කදු නැගීම්,පාරිසරික ගවේශන, දියඇලි අධ්‍යන චාරිකා යනාදී අධ්‍යන චාරිකා රැසක් මේ වන විට සංවිධාන කර ඇතැයි දුම්බර මිතුරෝ පරිසර සංවිධානය සදහන් කරයි.
දුබිබර වන පෙතේ සංරක්ෂණය,ජෛව විවිධත්වය ඇගයීමට ඉඩ ලබාදීම,අවිදිමත් පරිසර සංචාර අවම කර සංචාරයන් සදහා පැමිණෙන පුද්ගලයින්ට අවශ්‍ය පාරිසරික දැනුම ලබාදීම සිය සංවිධනයේ අරමුණ බව එහි සභාපති නෙවින් මීවතුර මහතා සදහන් කළේය.
ඉහත වැඩසටහනට අමතරව රාත‍්‍රි කදවුරු මෙන්ම පාරිසරික ඡයාරූප පාඨමාලාවක් ද සැලසුම් කර ඇති බව සභාපතිවරයා සදහන් කළේය.
මේ සදහා සහබාගී විය හැක්කේ පරිසර හිතකාමි පිරිස් වලට පමණක් බවත් විශේෂයෙන් තරු ණහා විශ‍්‍රාමලත් පුරවැසියන් කෙරෙහි වැඩි අවස්ථාවක් ලබාදෙන බව ද නෙවිල් මී වතුර මහතා සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන් දුම්බර පරිසර කේන්ද්‍රය, දුම්බර මිතුරෝ පරිසර සහ සංස්කෘතික සංගමය, අංක 62, වලව්වත්ත, නිට්ටඹුව ලිපිනයට හෝ දුරකතන අංක 075-5347297, 071 -0526266 හෝ dumbaralk@yahoo.com ඊමේල් ලිපිනයෙන් වැඩිදුර විස්තර ලබාගත හැකි බව සගමය සදහන් කරයි.
– ඉන්දික අරුණ කුමාර
උපුටා ගැනීම

අන්තර්ගතය - March 1, 2018 at 2:08 am | lanka C news
පින්තූරය - www.sarasaviya.lk