Thursday, April 22, 2021

ජගත් මිහිතල දිනය අදයි (2021-04-22)

 

මුලුමහත් පෘතුවියමටම බලපාන පරිසර ගැටළු කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ”ජගත් මිහිකත දිනය” නම් කොට තිබේ.  

ජගත් මිහිතල දිනය නම් කිරීමේ පුරෝගාමී වූවෝ

මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට පුරෝගාමී වූයේ ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ සෙනෙට් සභික ගේලෝඩ් නෙල්සන් මහතාය. එකල වියට්නාම යද්ධය සිදු වූ අවධිකයි. එහිදී විවිධ පාරිෂවයන් විසින් වියට්නාම යුද්ධයට එරෙහිව හඬ නැඟුවද, එම යුද්ධයෙන් සිදු වන පරිසර විනාශය ගැන කිසිවෙකු අවධානය යොමු නොකෙරිණි. ඒ බව දුටු ගේලෝඩ් නෙල්සන් මහතා, තෙල් වැගිරීම්, කෘමිනාශක, දුමාරය වැනි දෙයින් පෘථිවියට බලපෑම් ඇති වන ආකාරය මහජන අවධානයට ලක් කරන්නට වෑයම් ‍කෙරිණි. එම වෑයමේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රථම වතාවට 1970 අප්‍රේල් මස 22 දා සැමරූ මිහිතල දිනයට ඇමරිකානුවන් මිලියන 20ක් සහභාගි වූ බව  තොරතුරු සඳහන් වේ. 

සාර්ථක සැළසුමක්

මිහිතල දිනය වශයෙන් අප්‍රේල් 22 යොදාගැනීමට සැළසුම් කර ඇත්තේ නෙල්සන් සහ සරසවි සිසුවෙකු වූ ඩෙනිස් හේස් විසිනි. ඩෙනිස් හේස් යනු හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනිකව ක්‍රියාකාරී සරසවි සිසුවෙකි.   ඊට හේතුව මේ දිනය සරසවි සිසුන්ගේ වසන්ත නිවාඩුව සහ අවසාන විභාග අතර යෙදෙන දිනයක් වීම තුළින් වියට්නාම යුද්ධයට එරෙහිව දේශපාලනිකව ක්‍රියාකාරී වූ සරසවි සිසුන්ගේ වැඩි අවධානය මිහිතල දිනය දෙසට යොමු කරවාගැනීම, මෙහි අරමුණ වී ඇත. 

ලෝකයටම ව්‍යාප්ත කළා

මිහිතල දිනය ඇමරිකාවේ ආරම්භ වූවත් පසුව ලොව දසත ව්‍යාප්ත වුණු සංකල්පයක්. එහිදී   ඩෙනිස් හේස් විසින් මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ලෝක මිහිතල දිනය 1990 වන විට ලොව රටවල් 141ක පුද්ගලයන් මිලියන 200ක පිරිසකගේ සහභාගිත්වයෙන් සැමරෙන දිනයක් බවටපත් වී ඇත. 2000 වසර වන විට ලෝකයේ පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක ලෝක මිහිතල දිනය සැමරා ඇත.  Earth Day (මිහිතල දිනය) නම් වුණු මේ දිනය 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින් International Mother Earth Day නමින් නම් කෙරුණා.

මෙවර තේමාව

 ඒ අනුව එම දිනය සැමරුම මේ දක්වා සිදු කෙරෙනවා. මේ එහි 51 වන සංවත්සරයයි. 

මෙවර ජගත් මිහිතල දිනයේ තේමාව වී ඇත්තේ "පෘථිවිය යථා තත්ත්වයට පත් කරමු (Restore our Earth)" යන්නයි. 

මෙම වසරේ තේමාව අවධානය යොමු කරන්නේ ස්වාභාවික ක්‍රියාවලීන්, නැගී එන හරිත තාක්ෂණයන් සහ ලෝකයේ පරිසර පද්ධති යථා තත්වයට පත් කළ හැකි නව්‍ය චින්තනයන් ය.

මෙහිදී අපේ සමස්ත පෘථිවි තලයටම බරපතළ හානියක් කරන ප්ලාස්ටික් හා පොලිතින්වලින් මිහිතලය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව විශේෂ අවධානය යොමු කර ඇත.

ඔබ කළ යුතු දේ

ඔබට පුළුවන් ගෙදර ඉඳගෙන ම ලෝක මිහිතල දිනය වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරන්න. පුංචි පැලයක් හිටවන්න, ගෙදරට ගෙන එන පොලිතීන් ප්ලාස්ටික් අවම කරන්න, එම අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර නොකර නැවත නැවත භාවිතය හා භාවිතයෙන් පසු ඉවතලන දේ ප්‍රතිචක්‍රීකරණයටම යොමු කරන්නට මේ මිහිතල දිනයේදී ආරම්භ කරන්නට හැකිනම් මිහිතලයට ඔබ යමක් එක්කලා යැයි සතුටු විය හැකිය.

ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාව ද පොලිතීන් ප්ලාස්ටික් අවම කිරීම සඳහා විටින් විට විවිධ පියවරයන් ගනිමින් සිටිනවා. ඒ අතර පොලිතීන් ප්ලාස්ටික් නිෂ්පාදනය හා භාවිතය සීමා කිරීම් හා තහනම් කිරීම් සඳහා ගෙන ඇති නීති වැදගත් තැනක් ගනී. ආසන්නතම නීති ක්‍රියාවට නැංවීම 2021වසරේ මාර්තු 31 දින සිදු වෙනවා. ඒ 2021 ජනවාරි 21 දිනැති ගැසට් නිවේදනයෙන් ෂැසේ පැකට්, කොටන්බඩ් සමහා හුලං පිරවූ සෙල්ලම්බඩු භාවිතය තහනම් කිරීමෙනි. අදාල ගැසට් නිවේදනයේ ඡායාරූපය පහතින් දක්වා ඇත.


Google බ්‍රවුසරයේ පිවිසුම් පිටුව තුළ මිහිතල දින පණිවිඩය පහත විඩියෝවෙන් දක්වා තිබුණා.

https://www.youtube.com/watch?v=hAxqygRdM4g&t=2s



මූලාශ්‍ර - https://www.yamu.lk/si