Friday, October 16, 2015

ලෝක ආහාර දිනය අදයි (2015 ඔක්තෝබර් 16)

ලෝක ආහාර දිනය අදට (2015 ඔක්තෝබර් 16) යෙදී ඇත. 1979 වර්ෂයේදී ප්‍රථම වරට ලෝක ආහාර දිනය සමරමින් කුසගින්නෙන් පෙළෙන්නන් සඳහා විවිධාකාර ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත .
විවිධ තේමාවන් යටතේ ලෝක ආහාර දිනය  එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් වාර්ෂිකව සමරනු ලබන අතර මෙවර ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ "සමාජ අරක්ෂණය සහ කෘෂිකර්මය ග්‍රාමීය දිළිඳු බවේ චක්‍රය බිඳ දැමීම" යන්නයි.

සෑම වසරකදීම ලෝක ජනගහනයෙන් මිලියන 180ක ජනයා කුසගින්නෙන් පෙළෙන ජනගහනයට එක්වන බව වාර්තා වේ. ඒ අතරට ලෝක කාන්තා ජනගහනයෙන් 60%ක් ඊට ඇතුළත් බව සදහන් වේ. ඒසේම ලෝක ළමා ජනගහනයෙන් සෑම වසරක ම මිලියන 5ක පමණ ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.


2013 වසර සඳහා ලෝක ආහාර දිනය තේමාව වූයේ "ආහාර සුරක්ෂිතභාවය සහ පෝෂණය සඳහා තිරසාර ආහාර ක්‍රමවිධිය" යන්නයි.

 අද ශ්‍රී ලංකාව තුළ ආහාර සම්බන්ධයෙන් පවත්නා ගැටළුකාරී තත්වය http://sinhala.sritvnews.lk/ හි ඵලවූ ලිපිය ඔබගේ දැනුම් වර්ධනය සදහා පහතින් උපුටා දක්වා ඇත.

ඔක්තෝබර් 16 වැනිදාට යෙදී තිබෙන ලෝක ආහාර දිනය සැමරීමට බලධාරීන් විවිධ වැඩසටහන් දියත් කළද, මෙරට ජනතාවට වසවිසෙන් තොර ආහාර ලබාගත හැකි ජාතික වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකිමේ සංවිධානය සඳහන් කරයි.

වර්තමානයේදී රට තුළ මිය යන පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 07 දෙනෙකු මියයන්නේ බෝනොවන රෝගවලින් බවට සෞඛ්‍ය අංශ සොයාගෙන තිබෙන බවත්,බෝනොවන රෝග ඇති වීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ පිළිකාකාරක අඩංගු රසකාරක සහ ක්ෂණික  කෙටි ආහාර වර්ග ශීඝ්‍ර ලෙස මෙරට තුළ ව්‍යාප්ත වීම නිසා බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

මේ නිසා වහාම රට තුළ ක්‍රියාත්මක කළහැකි ජාතික ආහාර ප්‍රතිපත්තියක් වහාම සකස් කරන ලෙසත්, එම ප්‍රතිපත්තියට අනුව රටට ආගන්තුක රසකාරක වර්ග, ක්ෂණික කෙටි ආහාර වර්ග පාලනයට අවශ්‍ය නීතිද ඇතුළත් කළ යුතු බවත් ඔහු පවසා සිටියේය.

හෘද රෝග,කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය ඇතුළු රෝග විශාල ප්‍රමාණයකට මෙරට ජනතාව ආහාරයට ගන්නා ආහාරවල තිබෙන විවිධ කොටස් බලපා තිබෙන බවත්,මේ නිසා ශීඝ්‍රයෙන් පැතිර යන බෝනොවන රෝග වළක්වා ගැනීම සඳහා ආහාර රටාව විධිමත් වීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

Monday, October 12, 2015

ජල සනීපාරක්ෂාව හා ස්වස්ථතාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අද (2015 ඔක්තොබර්12)

දකුණු හා නැගෙනහිර ආසියානු රටවල ජල, සනීපාරක්ෂාව හා ස්වස්ථතාව පිළිබඳ අත්දැකීම් හුවමාර කර ගැනීමේ ජාත්‍යන්තර සමුළුවක් අද සිට ලබන 16 වැනි දා දක්වා පැවැත්වේ. (2015 ඔක්තොබර්12 සිට 16)

එහි සමාරම්භක උත්සවය හෙට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත් වේ.

උපුටා ගැනීම - news.lk

Thursday, October 1, 2015

උතුරු මැද පළාතේ පරිසර නියමුවෝ ප්‍රථම වතාවට ජනාධිපති පදක්කම් ලබති

මධ්‍යම පරිසර අධිකාරිය 1984 වර්ෂයේ මාළිගාවත්ත ප්‍රදේශයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්ඹ කරන ලද, "පරිසරය අප රකියි - රකිමු අප පරිසරය" ආදර්ශ පාඨය කර ගත් පරිසර නියමු වැඩසටහන පදක්කම් 05ක ක්‍රියාවලියකි. එය පරිසර නියමු, හරිත වර්ණ, රජත වර්ණ, ස්වර්ණ වර්ණ හා ජනාධිපති පදක්කම ලෙසින් දිනාගත යුතු වේ.  06 ශ්‍රේණියෙන් වැඩසටහන වෙත ඇතුළත් වන දරුවෙකුට ජනාධිපති පදක්කම 10 හෝ 11 ශ්‍රේණියේදී දිනාගත හැකිය.

පරිසර නියමුවා යනු අනාගතය සදහා බිහිවන පරිසර හිතකාමි මිනිසාය.

උතුරු මැද පළාතේ පරිසර නියමු වැඩසටහන කාලයක පටන් ක්‍රියාත්මක විය. ඒ හරහා පරිසර නියමුවන් සැළකිය යුතු ප්‍රමාණයක් ස්වර්ණ පදක්කම දිනාගෙ තිබුණද ජනාධිපති පදක්කම දිනා ගැනිමට කිසිවෙක් සමත් වී තිබුණේ නැත. මේි සදහා විවිධ හේතු දුෂකරතා බලපාන්නට ඇත.

සියලු දුෂ්කරතා පසෙකලමින්, සියලුදෙනාටම ආදර්ශයක් සපයමින්  අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පදවිය අධ්‍යාපන කොට්ඨාශයේ  පදවි ඊ යාය 5 කණුව විද්‍යාලයේ පරිසර නියමුවෝ සය දෙනෙකු පසුගිය දා පැවති ජනාධිපති පදක්කම් පරික්ෂණයෙන් සමත් වූහ. මෙම ජයග්‍රහණය මෙම කණ්ඩායමේ කාර්යභාර නිළධාරි වශයෙන් කටයුතු කළ එම විද්‍යාලයේ ඒ.එම්.ඒ.සි.ජයලක්ෂ්මි ගුරු මහත්මියගේ  අපරිමිත උත්සාහයේ  ප්‍රථිපළයකි. එතුමිය නොසිටින්නට මෙය තවත් වර්ෂයක පමණ සිහිනයක් වන්නට තිබුණි. මේ සදහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්.පී.එම්.එම්. විජේසූරිය මහතගේ මග පෙන්වීම සහ සහයෝගයද විද්‍යාලයේ අනෙකුත් ගුරු භවතුන්ගේ සහයෝගයද ලැබුණි. එසේම මේ පැමිණි ගමනට පරිසර නියමුවන්ගේ දෙමාපියන්ගේ නොමද සහාය නිරතුරුව ගුරුතුමියට ලැබිම, මෙම ගමන පහසු කිරීමට ඉමහත් ශක්තියක් විය.

2015 ඔක්තොබර් 22 දින අති ගරු ජනාධිපතිතුමා අතින් ජනාධිපති පදක්කම් පළදින මොහොත උදාවන තෙක් ඇගිලි ගනිමින් බලා සිටින, මේ සදහා ඇප කැප වූවෝ, එය බලා, එදිනට සතුටු කදුළු වගුරුවණු ඇත. 

වැදගත් අවස්ථාවල ඡායාරූප කිහිපයක් පහතින් දක්වමින්, ජනාධිපති පදක්කම් ලබන්නාවූ පරිසර හිතකාමී මිනිසුනි ඔබට අපගේ හද පිරි උණුසුම් සුබපැතුම් එක්කරන්නෙමු.

පරීක්ෂණයට මුහුණ දීමට සූදානම් වූ පරිසර නියමුවන්



පරීක්ෂණ මණ්ඩලය පිළිගනිමින්


පදක්කම් පරීක්ෂණය සදහා මුහුණ දෙමින්.









විදුහල්පතිතුමා සහ කාර්යභාර නිළධාරිතුමිය සමග පරීක්ෂණය සමත් නියමුවෝ 


පරීක්ෂණ මණ්ඩලය විදුහලින් නික්ම යාමට පෙර නියමුවන් සමග