Wednesday, November 19, 2014

ලෝක වැසිකිළි දිනය නොවැම්බර් 19 වන අද දිනට යෙදී ඇත. මේ පිලිබඳ පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ලොව සෑම ගැහැණු තිදෙනෙකුගෙන් එක් අයෙකුට ආරක්ෂිත වැසිකිලි පහසුකම් නොමැති බවයි.

මෙවර ලෝක වැසිකිළි දිනයේ තේමාව ”සමානාත්වය, අභිමානය සහ ස්තී‍්‍ර පුරුෂ භාවය පදනම් ප‍්‍රචණ්ඩත්වය සහ සනීපාරක්ෂාව අතර ඇති සම්බන්ධතාවය” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වා ඇත.

වර්තමානය වන විටද ලෝකයේ බිලියන 2.5ක ජනතාවකට නිසි ආකාරයේ සනීපාරක්ෂක පහසුකම් නොමැති බව සමීක්ෂණ මගින් අනාවරණය කරගෙන ඇත. තවද ලොව බිලියනයක ජනතාවක් තම ශරීර කෘත්‍ය සිදු කරන්නේ එළිමහනේ බව එක්සත් ජාතීන්ගේ වාර්තා වල දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් පණිවුඩයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී - මූන් මහතා කියා සිටින්නේ, කාන්තාවන්ට ආරක්ෂිත වැසිකිළි පහසුකම් නොමැතිවීමේ ප‍්‍රතිඵලය වන්නේ ඔවුන් එ් සඳහා සුදුසු ස්ථාන සොයා යාමේදී ලෙඩ රෝග, ලැජ්ජාවට සහ ඇතැම් විට ලිංගික අපයෝජනයටද ගොදුරු විය හැකි බවයි.

සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමෙන් ලොව පුරා වැඩිහිටි කාන්තාවන් සහ ගැහැණු ළමයින් බිලියන 1.25 වැනි විශාල පිරිසකට වඩාත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සහ වැඩි ආරක්ෂාවක් සැලසෙන බවද එකසත් ජාතීන්ගේ වාර්තා පවසයි.