Wednesday, September 16, 2020

අද ජාත්‍යන්තර ඕසෝන් දිනයයි (2020 සැප්තැම්බර් 16)

 අන්තර්ජාතික ඕසෝන් දිනය අදට යෙදී තිබේ.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1987 අවුරුද්දේදී මෙම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

සූර්යයාගෙන් සිදුවන අහිතකර බලපෑම් මගහරවා ගැනීම සඳහා ඕසෝන් ස්ථරය ප්‍රධාන වශයෙන් පෘථිවි ගෝලයට වැදගත් වෙයි. විද්‍යාඥයන්ගේ දත්ත අනූව වායුගෝලයේ සියලුම වායු තරලයන්ට ඉහළින් ඕසෝන් ස්ථරය පිහිටා තිබේ. සූර්යයාගෙන් නිකුත් වන අහිතකර තරංග හා විකිරණ පෙරණයට ලක්කිරීම ඕසෝන් ස්ථරය මගින් සිදු කෙරේ.

නමුත් මිනිස් ක්‍රියාකාරකම් මගින් පරිසරයට මුදා හැරෙන විවිධ වායු වර්ග හේතුවෙන් ඕසෝන් ස්ථරය විනාශ වීමට පටන්ගෙන තිබේ. ඕසෝන් ස්ථරය විනාශයට පත් කෙරෙන සීඑෆ්සී වායුව හෙවත් ක්ලොරො ෆ්ලොරො කාබන් වැනි වායූන් නිර්මාණය වීමට මිනිස් ක්‍රියාකාරකම් බොහෝ සෙයින් දායක වී ඇති බව විද්‍යාඥයින් පවසයි.

හැකිතාක් කාබන් විමෝචනය සිදුවන යන්ත්‍රසූත්‍ර භාවිතය සඳහා විකල්ප යොදා ගැනීම හා අහිතකර වායු වර්ග භාවිතයෙන් ඉවත් වීම මගින් මෙම ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගත හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ. 'ජීවය සඳහා ඕසෝන්' මෙවර අන්තර්ජාතික ඕසෝන් දින සැමරු‍ෙමහි තේමා පාඨයයි.

පෘථිවිය මත පවත්නා ජීවය සඳහා ඕසෝන් තීරණාත්මක සාධකයක් වන බව මෙවර ඕසෝන් දින තේමා පාඨය තුළින් අරුත් ගැන්වේ.


ජීවයේ පැවත්ම සුරකින ඕසෝන් වියන සුරැකීමට ලෝක ප්‍රජාව දැනුවත් කිරීම මෙම ජාත්‍යන්තර දින සැමරුමෙහි ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙහි ජාත්‍යන්තර ඕසෝන් දින සැමරුම බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පරිසර අැමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්,අමාත්‍යශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ පරිසර සංවිධාන වල එකමුතුවෙන් අද (16) පැවැත්විමට නියමිතය.

උත්තර ධ‍්‍රැවයට ඉහලින් ඕසෝන් ස්තරයේ පැවති විශාල සිදුර මේ වන විට සම්පූර්ණයෙන් වැසී ගොස් ඇතැයි ලෝක කාළගුණවිද්‍යා සංවිධානය පවසනවා.

ඕසෝන් ස්තරයේ ‘‘ආක්ටික් සිදුර ’’ ලෙස ප‍්‍රකටව පැවති මෙය 2011 වසරෙන් පසු ඕසෝන් ස්තරයේ හදුනා ගැණුනු විශාලතම සිදුරද බවයි ලෝක කාළගුණවිද්‍යා සංවිධානය පවසන්නේ.

ඕසොන් ස්තරයේ පැවති මෙම සිදුර හේතුවෙන් ශීත සෘතුවේදී පෘථීවියේ උතුරු අර්ධ ගෝලයේ අසාමාන්‍ය සීතලක් පැවතී තිබෙනවා.

සිදුර වැසීයාමෙන් පසු දැන් එහි තත්ත්වය සාමාන්‍ය වී ඇති බවයි ලෝක කාළගුණවිද්‍යා සංවිධානය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් ඕසෝන් ස්තරයේ ‘‘ආක්ටික් සිදුර’’මෙලෙස වැසී යාම සහ නව කොරෝනා ව්‍යසනයක් සමග මිනිස් කි‍්‍රයාකාරකම් අඩු වී පරිසර දුෂණය අවම වීම අතර සම්බන්ධයක් නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.