Tuesday, September 16, 2014

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී ඇත

world-ozone-day-slogan-2014-theme-layer
2014 ඕසෝන් දින තේමාව

ජාත්‍යන්තර ඕසෝන් දිනය 2014 සැප්තැම්බර් මස 16 අගහරුවාදා වන අද දිනට යෙදී ඇත. 2014 වර්ෂයේ ඕසෝන් දින තේමාව වී ඇත්තේ “Ozone Layer Protection: The Mission Goes On” යන්නයි. ඕසෝන් වියන විනාශ කිරීම මිනිසාගේ ක්‍රියාකාරකම් තුළින් සිදු වූවා සේම එය සුරක්ෂිත කිරීමටද මිනිසාටම මුල් වීමට සිදු විය. ඒ අනුව ඕසෝන් වියන සුරක්ෂිත කිරිම සදහා ජාතයන්තර දිනයක් නම් කරගෙන, ඉටුකර ගත යුතු ඉලක්ක හඹා යාමට සිදුව ඇත. ඒසේ නම් ඕසොන් හා ඕසෝන් ස්ථරය පිළිබදව මෙසේ සාකච්ඡා කරමු.

ඕසෝන් ස්ථරය
වර්ථමානයේදී අප බහුලව කතා කරන ඕසෝන් ස්ථරය මිහිතලයේත් ජීවින්ගේත් පැවැත්ම තහවුරු කිරීම සඳහා සොබාදහම විසින් කරන ලද අපූරුනිර්මාණයක් වන මෙය මානවයාගේ අදූර දර්ශි ක‍්‍රියා කලාපය නිසා මේ වන විට විනාශ මුඛයට පත් වූ සම්පතකි. එය විනාශ වීම තුළින් තර්ජනයට ලක් වන්නේ ද මිනිසා ඇතුළු සමස්ථ පරිසරයයි.

අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක අතුරින් සුවිශේෂිත ග්‍රහලෝකය වන්නේ පෘථිවියයි. එයට ප්‍රධාන හේතුව වන්නේ මිහිමත ජීවය පැවතීමට සුදුසු වායුගෝලයක් අප පෘථිවිය සතුව තිබීමයි. මෙම වායුගෝලය සරල අණුවලින් සමන්විත වායු වර්ග ගණනාවක සම්මිශ්‍රණයකි. මෙම වායූන්ගෙන් සමහරක් ජීවයේ පැවැත්මට සෘජුව දායක වන අතර සමහර වායු වර්ග ජීවයේ පැවැත්මට අත්‍යාවශ්‍ය මෙන්ම ඒ සඳහා විශාල සහයෝගයක් දක්වයි. පෘථිවිය සතුවූ මෙම විශේෂිත වායුගෝලය සමන්විත වූ වායු හා ඒවායේ පරිමාව අනුව ඇති ප්‍රතිශතය පහත පහත පරිදි වේ.

වායුව                                          රසායනික සූත්‍රය                    පරිමාව අනුව ප්‍රතිශතය %
නයිට්‍රජන්                                                   N2                                      78.08
ඔක්සිජන්                                                   O2                                      20.95
ආර්ගන්                                                      Ar                                        0.93
කාබන්ඩයොක්සයිඩ්                                  CO2                                      0.03
නියොන්                                                    Ne                                        0.0018
හීලියම්                                                       He                                       0.00052
මීතේන්                                                      CH4                                     0.00014
ක්‍රිප්ටෝන්                                                 Kr                                         0.00010
නයිට්‍රස්ඔක්සයිඩ්                                        N2O                                     0.00005
ඕසෝන්                                                     O3                                       0.000007

ඉහත සටහන අනුව වායුගෝලයේ පවතින සමස්ථ වායු ගෝලයේ පරිමාවෙන් 0.0000007% ක් ඕසෝන් වායුව නියෝජනය කරන බව පැහැදිලිය. ඕසෝන් වායුව සෑදි ඇත්තේ ඔක්සිජන් (O) පරමාණු තුනකිනි (O3). නැතහෝත් ඔක්ෂිජන් අණුවක් සහ ඔක්ෂිජන් පරමාණුවක් එකතු වීමෙනි. ඉහල වායුගෝලයේදී සූර්යයාගෙන් පැමිනෙණ පාරජම්බුල කිරණ හේතුවෙන් ඔක්ෂිජන අණු බිද වැටී ඕසෝන් අණු සෑදීමත්, එම කිරණ හේතුවෙන්ම ඕසෝන් අණු බිද වැටී ඔක්ෂජන් අනු සෑදිමත් ස්වභාවික තුළනයක් යටතේ අඛණ්ඩව සිදු වේ.
ඕසෝන් වායුව ඉතා ප්‍රතික්‍රයාශීලි වායුවක් වන අතර කටුක ගන්ධයකින් යුක්තය. රසායනාඝාරයක් තුළදී මෙම වායුව අධික පීඩනයකට ලක්කොට වායු සරාවක් තුල අන්තර්ගත කලවිට දුබල නිල්පැහැයෙන් දිස්වේ. ඉහල වායුගෝලයේ වැඩි වශයෙන් ඇති ඕසෝන් වායුව පහල වායුගෝලයේ ඇත්තේ ඉතා සුළු වශයෙනි. එමෙන්ම මෙම ඕසෝන් වායුව පහළ වායුගෝලයේ පැවතිය හොත් මිනිස් ශ්වසන පද්ධතියට හානිකර වායු දුෂකයක් ලෙස ක්‍රියා කරයි. 

ස්වාභාවික වායු කලාපයේ ඕසෝන් (O3) ස්ථර ගෝලයක් ලෙස පිහිටා ඇත. ඕසෝන්  ස්ථරය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ  සිට 10Km හා 50Km අතර දුර ප්‍රමාණයකය.මෙම කලාපයේ ඕසෝන් අණු බහුල ලෙස පවතින නිසා පොදුවේ “ඕසෝන් වියන” හෝ “ඕසෝන් ස්ථරය” ලෙස හඳුන්වයි. දැඩි හිරු රශ්මිය පවතින ඝර්ම කලාපිය රටවල ඉහළ අහසේ බහුලව නිපදවන ඕසෝන් වායුව, වායුගෝලීය චලනයත් සමග ධ්‍රැව ප්‍රදේශ වලට ගසා ගෙන යයි.

අප පෘථිවියේ වායුගෝලයේ උෂ්ණත්වය මුහුදු මට්ටමේ සිට ඉහලට යනවිට ක්‍රමයෙන් යම් යම් වෙනස්වීම් වලට ලක්වේ. මෙලෙස උෂ්ණත්වයේ සිදුවන වෙනස්කම් සලකා බලා විද්‍යාඥයින් විසින් එය ප්‍රධාන කොටස් 5 කට බෙදා ඇත. ඒවා නම්,

පරිවර්තී ගෝලය (Troposphere)  -මුහුදු මට්ටමේ සිට 10 Km දක්වා පමණ
 ස්ථර ගෝලය (Stratosphere )     - 10 Km -50 Km දක්වා පමණ
 මධ්‍ය ගෝලය (Mesosphere)       - 50 Km -80 Km දක්වා පමණ
තාප ගෝලය (Thermosphere)     - 80 Km -200 Km දක්වා පමණ
අයන ගෝලය (Ionosphere)          - 200 Km සිට ඉහලට


මේ අනුව බලන කල ඕසෝන් ස්ථරය පිහිටා ඇත්තේ ඉහල වායුගෝලයේ ස්ථර ගෝලයට අයත් ප්‍රදේශයකය. 

ඕසෝන් බිහිවීම හා එහි කාර්ය.
ඕසෝන් ස්ථරය ඇති වීම හා පෘර්‍ථවිය මත ජීවය ආරම්භ වීම අතර ඝෘජු සම්බන්ධතාවක් ඇත.පෘර්‍ථවිය ආරම්භයේ සිට වර්ෂ බිලියන 4.6 ක් වන තෙක් වායු ගෝලයේ ඕසෝන් වියන නිර්මාණය වී නොතිබුණි. එම නිසා ජීවයට තර්ජනයක් වූ පාරජම්බුල කිරණ වලින් නැහැවෙමින් තිබුණු පෘථිවි පෘෂ්ඨයට ජීවයට පැමිණිමට නොහැකි විය.එබැවින් ජීවින් සීමා වුයේ සාගරයේ ඉතා ගැඹුරු කොටස් වල ය.අධික ශක්තියකින් යුත් UV කිරණ සාගරයේ නොගැඹුරු ප්‍රදේශ කරා ද ගමන් කරන බැවින් එම කලාප ද ජීවය රහිත කලාප විය.

ප්‍රභාසංශ්ලේෂණය කර ආහාර නිපදවන ජීවින් බිහි වුයේ වසර මිලියන 600කට පෙර ය. එහි දී ලැබුණු ඔක්සිජන් නිසා වායු කලාපයේ ඕසෝන් නිපදවිම සිදුවිය. මෙම ක්‍රියාවලිය වසර දශලක්ෂ ගණනක් සිදු වී අහිතකර පාරජම්බුල කිරණ පෙරීම සිදු කරන ඕසෝන් වියන නිර්මාණය විය. මේ ආකාරයට පාරජම්බුල කිරණ පතිත වන ප්‍රමාණය අඩු වීමත් සමඟ භූ තලය පුරා ජීවය ව්‍යාප්ත විය. මෙසේ වැඩිපුර ඔක්සිජන් නිපදවීම තුලින් ජීවින්ට හිතකර වායු ගෝලයක් පරිවර්ති ගෝලය තුල නිර්මාණය කරන අතර ඕසෝන් වියනත් ස්ථර ගෝලයත් නිර්මාණය විය.

ඕසෝන් වියන පෘථිවිය මත ජීවියා රකින පලිහකි. ස්ථර ගෝලය, ලෝක කාලගුණික හා දේශගුණික තත්වය අද තිබෙන තත්වයට පත් කිරිමට හේතු වි ඇත. සුර්යයාගේ සිට විවධ ශක්තීන්ගෙන යුක්ත විකිරණ පෘථුවියට ලගා වන අතර මේව අතුරින් අධික ශක්තියක් සහිත පරජම්බුල විකිරණයේ B හා C ප්‍රභේද ඕසෝන් වියන මගින් අවශෝෂණය කරගෙන ජීවීන්ට හිතකර කිරණ පමණක් පෘථුවියට පැමිණීමට සලස්වමින් පෙරණයක් සේ ක්‍රියා කරයි.


ඕසෝන් වියනට හානිවීමේ විපාක
මෙම පෘථුවි ජීවීන් සුකින පලිහක් බදු ඕසෝන් ස්ථරයට හානි සිදු වීම තුළින් සුර්යයාගෙන් නිකුත් වන පාරජම්බුල කිරණ සෘජුවම පොළෝ තලය මතට පතිත වීම තුළින් මෙලෙස මිනිසාට හානි කර තත්ත්වයක් ඇති වන බවයි විද්‍යාඥයින් පවසා සිටින්නේ. මෙමඟින් මිනිසාට නොයෙකුත් සමේ රෝගයන්ට හා පිළිකාවන්ට මුහුණ දීමට සිදු වේ.මෙම හානි කර තත්ත්වය පිළිබඳ මුලින්ම සොයා ගනු ලැබුවේ 1985 දී ඇන්ටාටික් ප‍්‍රදේශයට ඉහළින් ඇති ඕසෝන් ස්ථරයට සිදුවු විනාශයත් සමඟයි. මෙහිදී මුලික වශයෙන් නයිට්රික් ඔක්සයිඞ්, මිතේන් හා ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් වැනි වායු වර්ග  ඕසෝන් ස්ථරයට හානි සිදු කරන බව සොයා ගැණිනි.
පෘථිවිය මත ජීවින්ගේ පැවැත්මට හිරු එළිය අත්‍යවශ්‍ය වන බව අප සියල්ලම දන්නා කරුණකි. එමෙන්ම අප භාවිතයට ගන්නා බොහෝ ශක්තීන්ගේ ප්‍රාථමික ශක්ති ප්‍රභවය වන්නේද සූර්යයාය. සූර්යයා තුළ සිදුවන න්‍යෂ්ටික විලයනය ක්‍රියාවේ හේතුවෙන් නිපදවන ශක්ති විකිරණය මාර්ගයෙන් පෘථිවිය වෙත ලඟාවේ. මෙම විකිරණයන් පෘථිවියට පැමිණෙන්නේ විවිධ තරංග ආයාමයන් සහිත විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණියක් ලෙසය. ඒ ඒ තරංග ආයාමයන්ට නිශ්චිත ශක්තියක් ඇති අතර ඒ අනුව සූර්යයාගෙන් පැමිණෙන විකිරණ ප්‍රධාන කොටස් කීපයකට බෙදිය හැක. උදාහරණයක් ලෙස අධික ශක්තියන් ඇති  (ගැමා කිරණ) X කිරණ,  පාරජම්බුල කිරණ (Ultra Violet-UV) කිරණ මෙන්ම අඩු ශක්තියක් ඇති අධෝරක්ත (Infra Red -IR) කිරණ ,ක්ෂුද්‍ර තරංග හා රේඩියෝ තරංග දැක්විය හැකිය. මෙම ශ්‍රේණියේ සාපේක්ෂ ලෙසට මැදට වන්නට අපගේ ඇස සංවේදී දෘෂ්ඨි වර්ණාවලිය පිහිටයි.  එමෙන්ම ප්‍රභාසංස්ලේෂණය සඳහා අවශ්‍ය ශක්තිය ලැබෙන්නේද දෘෂ්‍ය වර්ණාවලිය (ආලෝකය) කොටසට අයත් විකිරණයෙනි. සුර්යයාගේ සිට වැඩිම ශක්තියක් පෘථිවිය වෙත ගෙනඑනු ලබන්නේ මෙම දෘෂ්‍ය ආලෝකය ලෙසය. දෘෂ්‍ය ආලෝකයට වඩා වැඩි ශක්තියකින් හා කෙටි තරංග ආයාමයකින් යුත් පාරජම්බුල කිරණ ඕසෝන් ස්ථරය සමග ඉතා සමීප සම්බන්ධතාවයක් පෙන්වයි. මෙම පාරජම්බුල කිරණ අඩු සිට වැඩිවන පිලිවෙලට සකසා උප කොටස් 3 ක් UV-A UV-B UV-C ලෙසට බෙදා හඳුනා ගත හැකිය. මින් UV-B UV-C පෘථිවිය මත ඇති ජීවයට ඍජුවම තර්ජනයක් වන අතර සාපේක්ෂව අඩු ශක්තියකින් යුත් දෘෂ්‍ය ආලෝකයට ආසන්න UV-A වලින් ජීවයට තර්ජනයක් එල්ල නොවේ.

ඕසෝන් ස්ථරයේ විනාශය අවබෝධ කර ගනිමු


මිනිසා විසින් නිෂ්පාදනය කරනු ලබන යම් යම් රසායනික ද්‍රව්‍ය නිසා ඕසෝන් ස්ථරය විනාශවෙමින් පවතී. දැනට ලැබී ඇති විද්‍යාත්මක තොරතුරු අනුව මෙලෙස ඕසෝන් වියනේ විනාශයට වැඩිවශයෙන් වගකිව යුතුයැයි හඳුනාගෙන ඇති රසායන ද්‍රව්‍ය නම් හැලජනීකෘත හයිඩ්‍රොකාබන්ය.පොදුවේ මෙම රසායන ද්‍රව්‍ය ඕසෝන් ක්ෂයකාරක හෝ ඕසෝන් ප්‍රහීනකාරක ද්‍රව්‍ය (Ozone Depleting substances -ODS) ලෙස හඳුන්වයි. විශේෂිත කරුණ නම් මෙම හැලජන කාණ්ඩ හෝ කාණ්ඩයන් ක්ලෝරීන් හෝ බ්‍රෝමීන් වීමයි. දැනට ඕසෝන් ස්ථරයට අහිතකර රසායන ද්‍රව්‍ය 96 ක් පමණ සොයාගෙන ඇත

CFC වර්ගයේ රසායනික ද්‍රව්‍ය මුල්වරට සොයාගනු ලැබුවේ 20 වන සියවසේ 3 වන දශකයේදීය. මෙම ද්‍රව්‍ය සතු කර්මාන්ත භාවිතයට අතිශයින්ම යෝග්‍ය වූ රසායන සහ භෞතික ලක්ෂණ නිසා සීඝ්‍ර ලස කර්මාන්ත වල ප්‍රචලිත විය. මේ අනුව මෙට්‍රික් ටොන් දස දහස් ගණනින් නිෂ්පාදනය විය. CFC වර්ගයේ රසායනික ද්‍රව්‍ය සතු වූ නිශ්ක්‍රීය ස්වභාවය (Innert) ගඳක් සුවඳක් නැති බව (Order less) වස විස නැති බව (Non Toxic) වැනි කරුණු මේවායේ සීඝ්‍ර ප්‍රචලිතවීමට හේතු සාධක විය. එමනිසා මෙම වායුව සොයාගත් කාලයේදී එය පුදුම වායුව (Wonder Gass) ලෙස හා දෙවියන් දුන් වායුව ලෙස හැඳින්වේ. භාවිතය අවසානයේදී මෙම ප්‍රතික්‍රියාශීලි නොවන වායුව අප අවට වායුගෝලයට ටොන් දස දහස් ගණනින් එක්විය.

1970 දශකයේදී ඕසෝන් විනාශවීම නිරීක්ෂණය කරන ලද අතර නයිට්‍රස් ඔක්සයිඩ් මෙයට හේතුව ලෙස ආචාර්ය පෝල් කර්ට්සන් මතයක් ඉදිරිපත් කලේය. මෙයට මූලික හේතුව වූයේ ඒ වනවිට ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් ගන්නා යානා (Super Sonic Jets) තරමක් ඉහල ආකාශයේ ගමන් කිරීමයි. නමුත් පසු කලෙකදී මෙම ප්‍රතික්‍රියාවට වඩා ඉතා විශාල ලෙස ක්ලෝරීන් පරමාණු මගින් ඕසෝන් වායුව විනාශවන බව සොයාගන්නා ලදී. පහල වායුගෝලයේදී අවට වායුගෝලයට කිසිදු තර්ජනයක් එල්ල නොකරන මෙම වායුවට සිදු වන්නේ කුමක්දැයි යන්න කුතුහලයෙන් යුත් විද්‍යාඥයන්ගේ පරීක්ෂණයට ලක්විය. ඕසෝන් වියනට CFC වර්ගයේ රසායන ද්‍රව්‍ය වල ඇති ක්ලෝරීන් පරමාණු සම්බන්ධවීම පිලිබඳ යාන්ත්‍රණයක් ලොවට මුලින්ම ඉදිරිපත් කලේ කැලි‍‍‍‍ෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් දෙපලක් වන ආචාර්ය මරියෝ මොලීනා හා අචාර්ය ෂර්වුඩ් රෝලන්ඩ්ය. මෙම විද්‍යාත්මක අනාවරණය කිරීම් වලට අනුව ලෝකයේ විද්‍යාඥයින් හා සාමානය ජනතාවගේ දැස් ඕසෝන් ස්ථරය වෙත යොමුවිය. වැඩි වශයෙන් මෙම අංශයේ පර්යේෂණ පැවැත්වූ අතර දැනුම සම්භාරයක්ද එකතු විය. ඕසෝන් වියනේ විනාශය සම්බන්ධයෙන් මුලින්ම ලොවට කරුණු හෙලිකල විද්‍යාඥයින් වන ආචාර්ය මරියෝ මොලීනා අචාර්ය ෂර්වුඩ් රෝලන්ඩ් හා ආචාර්ය පෝල් කර්ට්සන් යන තිදෙනාම 1995 වර්ෂයේ රසායන විද්‍යාව උදෙසා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ඔවුන්ගේ මෙම සුවිශේෂී සොයා ගැනීම සඳහාය.


ඕසෝන් වියන නයිට්‍රස් ඔක්සයිඩ් මඟින් හානි විය හැකි බව බව මුලින්ම අණාවරණය කර ගනු ලැබුවේ 1970දී ය.එසේම කලෝරෝෆ්ලෝරෝ (CFC) මඟින්ද හානි විය හැකි බව 1974දී අණාවරණය විය.වැදගත්ම කරුණ වූයේ ඇන්ටාටිකාවට ඉහළ අහසේ ඕසෝන් වායුව තුනී වී සිදුරක් නිර්මාණය වී ඇති බවය(1985).2003 වසරේ දී ඇන්ටාටිකා  අහසේ සිදුර ප්‍රමාණාත්මක  ලෙස විශාල වී තිබේ.

එය වර්ග කිලෝමීටර මිලියන 29කි.ඕසෝන් සිදුරක් යනු වායු ගෝලයේ යම් ස්ථානයක සමස්ත ඕසෝන් කුළුනේ ඕසෝන් වායු ඝනත්වය ඩොබ්සන් ඒකක DU 220ට අඩු වු ප්‍රදේශයකි..

ඕසෝන් ස්ථරයේ අස්ථාවරත්වය ඇති කිරීමට තුඩු දෙන ද්‍රව්‍ය
1.ක්ලෝරෝෆ්ලෝරෝ කාබන්(CFC)
                ශීතකරණ හා වායු සමීකරණ
                තීන්ත ද්‍රව්‍ය
                සුවඳ විලවුන්
                පළිබෝධ ඉසින කාරක
                ෆෝමින් වර්ග නිෂ්පානයේදී


2.මෙතිල් බ්‍රෝමයිඩ්(MeBr)
               පළිබෝධනාශක භාවිතයේදී
               පුස්තකාල දූමකරණයේදී
3.කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්
              ගිනි නිවන උපකරණ භාවිතයේදී
              ද්‍රාවකයන් හා පිරිසිඳු කාරකයන්

4.මෙතිල් ක්ලෝරෝෆෝම්
             පිරිසිඳු කාරක

ඕසෝන් ස්ථරය විනාශ වීමෙන් ඇති වන විපාක

1.පාරජම්බූල කිරණ නිසාසම රැළි වැටීම,සම වියළීම,සමේ පිළිකා ඇතිවීම,සම පිළිස්සීම.
2.මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ට හානි පැමිණීම.
3.ඇසේ සුද ඇති වීම හා ඒ ආශ්‍රිත පිළිකා ඇතිවීම.
4.මිනිසාගේ ස්වසන පද්ධතියට හානි වීම.
5.ජාන විකෘති වීම් හා ඒ ආශ්‍රිත පිළිකා
6.මතස්‍ය හා උභය ජීවීන් විනාශ වීම‍ෙ
7.ශාක ප්ලවාංග විනාශ වීමෙන් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම.ො
8.භෝගවල ඵලදාව අඩුවීම හා ශාක වර්ධනය හීන වීම.ෙ
9.ජෛව භූ රසායන ක්‍රියාවලිය වෙනස් වීම.

ඕසෝන් හානිකර ද්‍රව්‍ය වෙනුවට ආදේශක

        1.ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් වෙනුවට, ශීතකරණ වලදී හයිඩ්‍රොෆ්ලෝරෝ කාබන්(HFC 134a)ඇමෝනියා භාවිතය, ෆෝමින් නිෂ්පාදනයේදී හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝ කාබන්(HCFC) භාවිතය,
ඉසිනකාරක ලෙස හයිඩ්‍රො කාබන් භාවිතය,
ඇසුරුම් කාරක ලෙස ඍජුෆෝ වෙනුවට ස්වභාවික ඇසුරුම් භාවිතය,


        2.ගිනි නිවන උපකරණ භාවිතයේ දී,
CO2 ,ජලය හා නිෂ්ක්‍රිය වායු භාවිතය.


       3.ද්‍රාවක ලෙස ආදේශක ඕසෝන් භාවිතය,

      4.මෙතිල් බ්‍රොමයිඩ් වෙනුවට කෘෂිකර්මාන්තයේදි,
 සමෝධානිත පළිබෝධ කළමණාකරණය.
සුර්යතාපනය.
ඕසෝන් හිතකාමි පළිබෝධනාශක(මෙටාම් සෝඩියමි,ඩැසෝමේට්) භාවිතය

ඔබට වැදගත් ඕසෝන්  ඉතිහාසය  හා අනාගත විත්ති

වසර මිලියන 600කට ඉහතදී ඕසෝන් වියන නිර්මාණය විය
1830 - ක්‍රිස්ටියන් ස්ක්‍රෝබියන් විසින් ඕසෝන් වායුව මුල්වරට විද්‍යාගාරය තුළදී හදුනා ගන්නා ලදි. 1881  වොල්ටර් හාට්ලි විසින් ඕසෝන් වියන මගින් උරාගන්නා බව පෙන්වා දීම.
1924 - ජි.එම්.බී. වොඩ්සන් විසින් වර්ණාවලි මානය මගින් ඕසෝන් ඝණත්වය මැනිම
1928 -තෝමස් මිඩ්ජ්ලි විසින් ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් නිෂ්පාදනය කිරීම
1950 -  ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් සීඝ්‍ර ලෙස ව්‍යාප්ත විය.
1969 - ආචාර්ය පෝල් කෘෘට්සන් විසින් නයිට්‍රස් ඔක්සයිඩ් චක්‍රය සොයාගන්නා අතර නයිට්‍රස් ඔක්සයිඩ්ඕසෝන් විනාශයට හේතු වන බවද සොයා ගනී.
1974 - ආචාර්ය ෂර්වුඩ් රෝලන්ඩ් විසින් සහ ආචාර්ය මාරියෝ මොලීනා යන අය විසින් ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ඕසෝන් වියනේ විනාශයට හේතුවන බව සොයා ගැනීම
1985 - ඕසෝන් වියන සුරැකීම පිළිබද වියානා සම්මුතිය පිහිටු වීම
1985 - ආචාර්ය පෝල් කෘෘට්සන්, ආචාර්ය ෂර්වුඩ් රෝලන්ඩ්,ආචාර්ය මාරියෝ මොලීනා යන අය රසායන විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිම
1987 - සැප්තැම්බර් ඕසෝන් ක්ෂයකාරන ද්‍රව්‍ය සදහා වූ මොන්ට්‍රියල් සංධානය බිහිවීම.
1989 - දෙසැම්බර් වියානා සම්මුතියට සහ මොන්ට්‍රියල් සංධානය ශ්‍රී ලංකාව අත්සන් තැබීම
1994 - ජුලි අද, ඕසොන් ඒකකය ලෙස හදුන්වන් ලබන මොන්ට්‍රියල් සංධාන ඒකකය ලංකාව තුළ පිහිටුවීම
–           - මොන්ට්‍රියල් සංධානය ක්‍රියාත්මක කරනු ලබන ජාතික ආයතනික යාන්ත්‍රණය ශක්තිමත්                  කිරීම.
–             - CFC සහිත උපකරණ ඕසෝන් හිතකාමී උපකරණ බවට පරිවර්ථන කරගැනීමට අවශ්‍ය                  තාක්ෂණය ලබා දීම

–             -  ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.
      2004 - ශ්‍රී ලංකාව ජාතික ඕසෝන් වසර ලෙස නම් කිරීම
      2008 - එක්සත් ජාතීන්ගේ පරිසරය පිලිබද ඒජන්සිය මගින් ඕසෝන් වියන රැක ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව                 ඇගයීමට ලක්වීම.
2010  - ලොව පුරා ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් භාවිතය අත්හිටුවයි

2030 - ලොව පුරා හයිඩ්‍රෝක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් භාවිතය නැවැත්වීම
2065 - ඇන්ටාටිකාවට ඉහලින් පිහිටි ඕසොන් ස්තරය නැවත යතා තත්වයට පත්වනු ඇති බවට පරිසර විද්‍යාඥයින් විසින් අනාවැකි ඵලකර ඇත.

ඕසෝන් වියන කෙරෙහි ජගත් ප‍්‍රජාවේ අවධානය යොමු වීම
මේ පිළිබඳ ජගත් ප‍්‍රජාවේ අවධානය යොමු වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මඟින් ප‍්‍රථම වරට 1985 දී ඔස්ටියාවේ වියානා නුවර සමුළුවක් පැවැත් විය.

1997 වසරේ සැප්තැම්බර් මස 16 වන දා ජාත්‍යන්තර  ඕසෝන් දිනය ලෙස ප‍්‍රකාශයට පත් කරන ලද අතර එදා පටන් සෑම වසරකම සැප්තැම්බර් මස 16 වන දා ඕසෝන් ස්ථරය සුරැකීම පිළිබඳ ප‍්‍රජාව දැනුවත් කිරීමේ නොයෙක් වැඩසටහන් රාජ්‍යයන් විසින් ගනු ලබයි.

වර්ථමානය වන විට ඔසෝන් වියන යථා තත්වයට පත්වීමේ හොද ලකුණු පෙන්ව

1980 පමණ කාලයේ සිට දැඩි ලෙසින් ඔසෝන් වියනට හානි සිදු වූ අතර වැඩිම හානියක් සිදු වූයේ වායු සමීකරණ, ශීතකරණ, ස්ප්‍රේ කෑන් වල භාවිතා කරන රසායනික අහිතකර වායු සහ අභ්‍යවකාශ යානා මගින්ය. එසේ වූවද ඕසෝන් වියන සුරැකීම සදහා ජගත් ප්‍රජාවගේ කැපවීම මත මෑතකදී කල සමීක්ෂණයකින් හෙලිවන්නේ නැවත ඕසෝන් ස්ථරය යථා තත්වයට පත්වීමේ ගුණදායක නැඹුරුවක් ඇති බවයි. මෙය ප්‍රකාශකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ පරිසරය පිලිබද ඒජන්සිය මගිනි.එය මෙම ඡායාරූප අධ්‍යයනය තුළින් අවබෝධ කර ගත හැකිය.

මෙම ගුණදායක බවට හේතුවී ඇත්තේ ක්ලෝරොෆ්ලෝරොකාබන් (chlorofluorocarbon-CFC) භාවිතය තහනම් කිරීම සහ සීමා කිරීමයි. මෙමගින් විශාල ලෙසින් සිදුවීමට ගිය විනාශයක් මග හැරී ඇත. 2003 සිට 2013 දක්වා කාලය තුල පරීක්ෂකයන් 300ක ප්‍රමාණයක් මෙම පරීක්ෂණය සදහා සහභාගී වි ඇත. ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට පෘථිවියේ උත්තර අර්ධගෝලයේ තිබූ විශාල ඕසෝන් සිදුර දැනු නැවත යළුා ස්වභාවයට පත් වෙමින් පවතින බවයි. එහි ඝණකම 4% කින් වැඩිව ඇතිබව සොයාගෙන තිබෙනවා.

ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ මේ තත්වය මේ ආකාරයෙන් වර්ධනය වුව හොත් 2050 වන විට හොද සෞඛ්‍යමත් ඕසෝන් වියනක් අපට ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.

 ඕසෝන් වියන රැක ගැනීමට දායක වෙමින් අප ට හිමි වූ සොබාදම් මාතාව රැක ගනිමු.මන්දයත් අපගේ ‍දිවි රැකෙනුයේ ද ලෝකය රැකුනොත් පමණෙකි. කෙසේ වෙතත් පරිසරවේදීන්ගේ හා විද්‍යාඥයින්ගේ මතය බවට පත් වී ඇත්තේ මේ වන විටත් ඕසෝන් ස්ථරය රැක ගැනීම සඳහා මිනිසාගේ මැදිහත් වීම අවම මට්ටමක පවතින බවයි. ඒ අනුව අපත් සෑම විටම ඕසෝන් වියන සුරැකීමට හැකි උපරිම අයුරින් දායක විය යුතුය.


තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලය සහ ජාතික ඒසෝන් ඒකකයේ ප්‍රකාශණ ඇසුරින් ලබාන්නා ලදි.


No comments:

Post a Comment