Friday, September 19, 2014

දේශීය වෙදකමෙන් බයි පාස්‌ සැත්කමට අභියෝගයක්‌


https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10402545_508901635909470_2308409312979478225_n.jpg?oh=adb652a11bb8a4f4246ffb93e7e5059f&oe=54D01261&__gda__=1422333885_863b551c3dcc0dad891449819ebfd1e0
ඔබට බයි පාස්‌ සැත්කමක්‌ කරන්න සිදුවේවි යෑයි යමෙකුට, වෛද්‍යවරයකු පැවසුවහොත් ඔහුගේ හෝ ඇයගේ මානසිකත්වය හා ජීවිතය පිළිබඳ අනියත බිය මෙතකැයි කියා අපට වචනයෙන් විස්‌තර කළ නොහැක. මෙතුළින් පැහැදිලිවන්නේ මෙම සැත්කමේදී තමන්ට දැරීමට සිදුවන ජීවිත අවදානම හා අනතුරුදායක බව නොවේද.

මෙයට දශක කිහිපයකට පෙර හදවත් සැත්කම් කිරීමට හැකිවූයේ ඉන්දියාවේ ඇපලෝ රෝහලෙන් පමණි. මෙරට රෝහල්වල එවැනි සැත්කම් නොකිරීම ඊට හේතුවී තිබුණෙන් තමන්ගේ ජීවිතය රැක ගැනීමට අතමිට සරු බොහෝ පිරිස්‌ ඉන්දියාවට යමින් ලක්‍ෂ තුනහතරක්‌ වියදම් කර ප්‍රතිකාර ගත්තත් නැති බැරි අයට ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය.
පසුකාලයේ ශ්‍රී ලංකාවේද හදවත් සැත්කම් කිරීමට රජයේ රෝහල් පෙරමුණ ගත්තේය. එහෙත් එය කරගැනීමට නම් අඩුමතරමේ වසර කිහිපයක්‌වත් පොරොත්තු ලේඛනවල සිටිය යුතුය. එසේ නොමැති නම් පෞද්ගලික රෝහල්වලින් තම හදවත් රෝගයට ප්‍රතිකාර ගැනීමට අඩුතරමේ රුපියල් ලක්‍ෂ හතක්‌ අටක්‌ වැය කිරීමට සිදුවන බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක්‌ නොවේ.
එහෙත් මෙවැනි හදවතේ ඇතිවන ආබාධ වලට සැත්කම් නොකර හෙළ වෙදකම මහා බල සම්පන්න යෝධයකු ලෙස පෙරමුණ ගෙන ක්‍රියා කරන්නේ නම් එය අපට විශ්වාස කළ නොහැකි තරමට පුදුම සහගත බවක්‌ උසුලන්නේය.
නවීන ලෝකයේ සුවිශාල විප්ලවයකට තුඩුදී තිබෙන බටහිර වෛද්‍ය විද්‍යාවේ ආරම්භය දේශීය වෙදකම හා ආයුර්වේදය බව නොරහසකි. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවේ තිබෙන තාක්‍ෂණික සුව පහසුව ලබාදෙන ක්‍රම නිසා දේශීය වෙදකම හා ආයුර්වේදය ආපස්‌සට තල්ලුවෙමින් එය පොත පතට හා ගමේ ගොඩේ වෙද මහතාට පමණක්‌ සීමා වෙමින් තිබේ.

එහෙත් මෙම තත්ත්වයට අභියෝග කරමින් හදවත් සැත්කම් නොකර දේශීය වෙදකමෙන් ඉතා කෙටි කලකදී සුවය ලබාදීමට හැකි වෙදැදුරුවරියක්‌ සිටිනවා යෑයි කීවොත් එය විශ්වාස කළ නොහැකි තරමට පුදුම සහගත විය හැක.

හෘද වස්‌තු=වේ ලේ ගමන් ගන්නා නහර වල ලේ ගමන අවහිරවනු ලබන්නේ රුධිරයේ තැන්පත් වී තිබෙන මේද කැටි ගැසීමෙනි. "බයිපාස්‌" නමැති එම සැත්කම කරනු ලබන්නේ එම මේද කැටි තිබෙන නහර කපා ඉවත් කොට ඒ වෙනුවට අලුතින් නහරයක්‌ බද්ධ කිරීමය. නමුත් දේශීය වෙදකමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය මෙයට හාත්පසින්ම වෙනස්‌ මගක්‌ ගන්නා බව නොරහසකි.

එවකට පොලොන්නරුව කදුරුවෙල නව නගරයේ පදිංචිව සිටි රන්බණ්‌ඩා වෙදැදුරු පැරැණි දේශීය වෙද පරම්පරාවකට නෑකම් කියූ දක්‍ෂ හෙළ වෙදැදුරුවරයෙකි. පැරණි පුස්‌කොළ පොත් ඉතා ඉවසීමෙන් හා බුද්ධිමත්ව පරිශීලනය කරමින් පැරණි දේම සොය සොයා ඔහු මෙම හදවත් රෝගවලට මහෝෂධයක්‌ සොයා ගැනීමට හැකිවී තිබේ. ඔහු ඉන් නොනැවතී එයට තව තවත් ඖෂධ එකතු කරගනිමින් හදවතේ මොනම තත්ත්වයක ආබාධ ඇතිකළත් ඊටද නිසි ප්‍රතිකාරයක්‌ කිරීමට තරම් හැකිවන පරිදි එම ඖෂධ වැඩිදියුණුකර ගත්තේ දිගුකාලීන පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ වශයෙනි.

අද වන විට මෙම වෙදැදුරු ජීවිතයෙන් සමුගෙන තිබුණත් මීට දශක කිහිපයකට පෙර මෙරටෙහි හදවත් සැත්කම් නොතිබුණ යුගයක එවැනි රෝගීන් සිය ගණනක්‌ සුවකර තිබුණේ බුලත්කොළයකට පමණක්‌ සීමාවෙමින් තිබූ මුදලකින් පමණක්‌ සෑහීමකට පත්වෙමිනි.

මෙම ප්‍රතිකාරයේදී ඔහුට අවශ්‍ය වී තිබුණේ හෘදය වස්‌තුවේ ඊ. සී. ජී. වාර්තාවක්‌ පමණි. එය පරීක්‍ෂාවකින් පසු හෘද වස්‌තුවට පිටින් බෙහෙත් ප්ලාස්‌ටරයක්‌ යොදමින් කළ ප්‍රතිකාරය වැරදුණ පුද්ගලයකු නම් නොවීය.
දුර්ලභ ගණයේ ඖෂධ ඇතුළත් මෙම බෙහෙත් ප්ලාස්‌ටරය හෘදය වස්‌තුවේ ඇතුළත ලේ නහරවල තිබෙන මේදය පමණක්‌ නොව පිටතින් වැසී තිබෙන මේදයද දියකර හැරීමේ මහා ශක්‌තියක්‌ ගැබ්වී තිබිණි.
සාමාන්‍ය රෝගියකුට මෙම ප්ලාස්‌ටරය යොදනු ලබන්නේ මාසයක පමණ කාලයක්‌ තුළ දින තුනක්‌ වැනි කෙටි කාලයකි. රෝගී තත්ත්වයේ බරපතළකම අනුව තවත් කෙටි කාලයක්‌ ගත වූවත් ප්‍රතිඵලය අති සාර්ථක බවක්‌ උසුලා තිබිණි.

මෙම දක්‍ෂ ඉසිවරයා අප ජාතියෙන් සමුගන්නේ එවැනිම දක්‍ෂකමින් හෙබි දියණියක්‌ රටට ජාතියට බිහිකර සිය යුතුකම නොපිරිහෙලා ඉටු කිරීමේ පරම පවිත්‍ර ෙච්තනාවෙන්ම විය යුතුය.
පසුගිය දිනෙක මෙම වෙදැදුරුවරිය සොයා අප පොලොන්නරුව නව නගරයේ වසුන්දරා මාවතේ සුව මැදුරට ගියෙමු. ඒ වන විටත් රෝගීන් රැසකට ප්‍රතිකාර කරමින් සිටි ඇය තරමක කාර්ය බහුල තත්ත්වයක පසුවෙනවා පෙනුණෙන් අසල සිටි රෝගීන් කිහිප දෙනකු හා සම්බන්ධ වෙමින් මෙම වෙදැදුරුවරියගේ ප්‍රතිකාර පිළිබඳව සොයා බැලුවෙමු.

පළමුවෙන්ම අප හා විස්‌තර සැපයීමට ඉදිරිපත් වූයේ මැදි වයසේ පුද්ගලයෙකි. තම අනන්‍යතාව හෙළිකිරීමට තරමක්‌ අකමැත්තක්‌ ප්‍රකාශ කළ ඔහු තමාගේ හදවතේ රෝගයට රජයේ රෝහලින් සැත්කමක්‌ කිරීමට නියම කර තිබුණත් ඒ සඳහා අඩුතරමේ වසරක කාලයක්‌ ගතකිරීමට සිදුවන බව තමන්ට දැනුම් දුන් බවත් මෙය පෞද්ගලික රෝහලකින් කර ගැනීමට මුදල් නොමැති නිසා තමන් ඉතා අසරණ තත්ත්වයකට පත්වූ බවත් එනිසාම ජීවත්වීමේ අපේක්‍ෂාවන් අත්හැරි බවත් පැවැසීය.

"මුලින්ම මට බයිපාස්‌ සැත්කමක්‌ කරන්න සිදුවෙලයි කියල වෛද්‍යවරු කියපු දවසෙ මගේ ජීවත් වීමේ ආසාව කඩාගෙන වැටුණා. කොටින්ම මරණ බයක්‌ ඇතිවුණා. මේකෙ අවදානම් පැත්ත අහල දැකල තියන නිසයි මට එහෙම ඇතිවුණේ. අනික මගේ හිත මිතුරන් කිහිපදෙනකුම අද වන විට සමු අරගෙන තියෙනවා මේ සැත්කම් කරන්න ගිහිල්ලා. අන්තිමේදී මේ වෙදනෝන ගැන අපට අහන්න ලැබුණෙ සුවවෙච්ච හදවත් රෝගියකුගෙන්.

දැනට මම මාස කිහිපයක ඉඳල ප්‍රතිකාර ගන්නවා. වෛද්‍ය වාර්තාවලට අනුව තිබුණ අවදානම් තත්ත්වය පහවෙලා කියලා ඒ වාර්තාවල තිබුණා යෑයි පැවැසීය.
මේ වෙදැදුරුවරිය අන් කිසිවකු නොව එච්. ආර්. ටිකිරි බණ්‌ඩා වෙදැදුරුගේ දියණිය වූ එච්. ආර්. තමරා ප්‍රියන්ති මංගලිකාය.

පැයකට අධික කාලයක්‌ තුළ වෙද මැදුරෙහි රැඳී සිටි අපට ඇය හමුවීමට හැකි වූයේ තවත් රෝගීන් රැසකට ප්‍රතිකාර කිරීමට ඉතිරිව තිබියදීයි.
"ඔබේ පියා සර්වාංග රෝගවලට අමතරව සියලුම හදවත් රෝගවලට ඉතාමත් දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ කියල අපට අසන්නට ලැබුණා. මේ පිළිබඳව යම් තොරතුරක්‌ සොයා අපි ආවේ" මුලින්ම සාකච්ඡාවකට පිවිසෙමින් මම ඇසීමි.

අපේ අප්පච්චිගෙ දක්‍ෂකම ඇත්තටම මට වඩා පියාගෙන් ප්‍රතිකාර ගෙන සුවවූ රෝගීන්ම තමයි වැඩියෙන් දන්නෙ. මොකද දැනටත් ඒ අය ජීවත්වෙලා ඉන්න නිසා.
"ඒ හදවත් රෝගීන්ද"
"සාමාන්‍යයෙන් අනෙක්‌ රෝගවලට වඩා හදවත් රෝග විශේෂත්වයක්‌ ගන්නවනේ. මේ රෝගයේදී ජීවිත අවදානම වැඩියි. ඒ ජීවිත අවදානම ඉතාමත් වගකීමකින් යුක්‌තවයි මගේ අප්පච්චි භාරගත්තෙ.
ඒ කියන්නෙ ඔබේ අප්පච්චිට හදවත් රෝග සුවකරනව කියන එක ඒ තරම් ප්‍රශ්නයක්‌ නොවෙයි කියන එක.
ඇත්තටම නිවැරදියි. අප්පච්චි "බයිපාස්‌" කරන්න නියම වූ රෝගීන් විශාල ප්‍රමාණයක්‌ සුවකරල තියෙනවා. ඒ රෝගීන් කිහිපදෙනෙක්‌ අදටත් ජීවත්වෙලා ඉන්නවා.
හොඳයි මට ලැබුණ තොරතුරුවලට අනුව අප්පච්චිගේ ප්‍රතිකාරයන්ටත් එහා ගිය සාර්ථක ප්‍රතිකාරයක්‌ ඔබ සතුව තියෙනවා කියල දැනගන්න ලැබුණා. ඒ ගැන හොඳ සාක්‍ෂි කිහිපයකුත් අපට මෙතනදීම තහවුරු කර ගැනීමට හැකිවුණා ඒ ගැන යමක්‌ කිව්වොත්.
මගේ අප්පච්චිගෙ වෙදකමට එහා ගිය වෙදකමක්‌ මම කරනවාද කියල කියන්න මම දන්නෙ නැහැ. මොකද මමත් මේක ඉගෙන ගත්තෙ අප්පච්චිගෙන් නිසා. ඒ කොහොම වෙතත් මගේ අප්පච්චි දුන්න සියලු දේ මම ප්‍රගුණ කළා.
"බයිපාස්‌ සැත්කමට නියම වූ රෝගියෙක්‌ ඔබ ළඟට ආවොත්"
බයිපාස්‌ සැත්කමක්‌ නොවෙයි ඒ සැත්කම් කරන්න බැහැයි කියල රෝහල්වලින් ප්‍රතික්‍ෂේප කරන අයත් මා ළඟට ඇවිත් තියෙනවා. ඒ සෑම කෙනෙක්‌ගෙම ජීවිත අවදානම මම තුරන් කරල ඒ අභියෝගය භාරගෙන තියෙනවා.

විමලසිරි අගලකඩ - දිවයින
ලිපිය සැපයුවේ අජිත් ජයසූරිය

1 comment:

  1. නමුත් බොහෝ දෙනෙක් බටහිර ක්‍රමය ගැන තමයි පුර්ණ විශ්වාසය තියන්නේ.. නමුත් ඇත්තටම බටහිර ක්‍රමයට සුව කරන්න බැරි පිළිකා එහෙම සුව කරපු ආයුර්වේද වෙදදුරන් ඉන්නවා..

    ReplyDelete