Saturday, April 27, 2024

අන්තර්ජාතික කපුටන් ඇගයීමේ දිනය අදයි



අන්තර්ජාතික කපුටන් ඇගයීමේ දිනය අප්‍රේල් 27ට යෙදී ඇත.

( International Crow and Raven Appreciation Day )


ලොව පුරා වෙසෙන කපුටු විශේෂයන් සහ Raven පක්ෂීන් සිදු කරන පාරිසරික මෙහෙවර ඇගයීමට ලක් කිරීම සඳහා මේ දිනය නම් කර තිබේ.

මෙම පක්ෂීන් අතීතයේ පටන් විවිධ මත සහ මිථ්‍යාවන් නිසා බොහෝ රටවල ජනතාව විසින් අකමැති සහ බිය දනවන සුළු කොට්ඨාශයක් ලෙස සලකා ඇත. එසේම ඔවුන් විසින් අනෙකුත් සතුන් දඩයම් කිරීම නිසා තවත් අයගේ අකමැත්තට ලක් වී තිබේ.

එසේ වුවද මෙම පක්ෂීන් පරිසරයට එකතු වන සත්ත්ව මල සිරුරු, සත්ව කොටස්, ඉවතලන ආහාර ද්‍රව්‍ය සහ තවත් ශාක කොටස් යනාදිය මත යැපීම මත ඉතා වටිනා කසල ශෝධක කාර්ය භාරයක් ඉටු කර පරිසරය පිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන යාමට විශාල දායකත්වයක් ලබා දෙන්නන් වේ.

එසේම මොව්හු පරිසරයේ සිටින භෝග පලිබෝධකයන් වැනි අහිතකර සතුන් ගොදුරු කර ගැනීම නිසාත් විශාල සේවයක් සිදු කරයි.

ශ්‍රී ලංකාවේ කපුටන් කොහා හෙවත් කෝකිලයාගේ ධාරක පක්ෂීන් ලෙස එම පක්ෂියාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මෙහෙයක් ඉටු කරයි.

එසේ වුවද කපුටන් නිසා වෙනත් පක්ෂීන් මෙන්ම කුඩා සතුන් විනාශ වීම සහ නාගරික ප්‍රදේශවල මංමාවත් අපවිත්‍ර වීම වැනි අහිතකර තත්ත්වයන් පවතී. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ විවෘත අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා නාගරික ප්‍රදේශවල කපුටු ගහනය විශාල ලෙස ඉහළ යාමත් ඔවුන් එම නගරවල ඇති ගස් රාත්‍රී ලැගුම් ස්ථාන ලෙස භාවිතා කිරීම වේ. 

ශ්‍රී ලංකාවේ කපුටන් විශේෂ දෙකක් හමුවේ. නමුත් Raven පක්ෂීන් හමු නොවේ. ඒ නිසා අන්තර්ජාතික කපුටන් ඇගයීමේ දිනය වෙනුවෙන් අපට ඇගයීමට ලක් කළ හැකි වන්නේ පක්‍ෂි විශේෂ දෙකක කාර්ය භාරය ව


ශ්‍රී ලංකාවේ සිටින කපුටන් විශේෂ දෙකෙන් වඩාත් සුලභ සහ වැඩි ව්‍යාප්තියක් සහිත විශේශය වන කොලඹ කාක්කා හෙවත් කොලඹ කපුටා හෙවත් ගෙල අලු කපුටා (Grey-necked Crow / House Crow) දෙවන ඡායාරූපයේ දැක්වේ.


** මෙම දිනය වෙනුවෙන් ආකර්ෂණීය තේමා රූපයක් නිර්මාණය කළ විහගා නවරත්න මෙනවියට කෘතඥතාවය පිරිනමන්නෙමු.

✍️ආචාර්ය ජගත් ගුණවර්ධන (නීතීඥ / පරසරවේදී)

Thursday, April 25, 2024

වන්නිලඇත්තන්ගේ පරිසරය පිළිබඳ දැනුම

 


මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා.


මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු.


මගේ වයස අවුරුදු 65 යි. මේ 65 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.

එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.


අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.


ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.


ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැම තැනක්ම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.

අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.


අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. "අපි දඩයම් කළෙත් ක්‍රමේකට කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම."


"අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව." ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ.


වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.


අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.


මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵල  වලින් මිදෙන්න ක්‍රමයක්  හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.


"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.


ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා.


"මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා."


"පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්‍රකෝටි ගානක් මරනවා."


මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.


"මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා." ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ගහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.


දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.


දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් "මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි."

මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු.

"අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු."


අපි කරපු මෝඩකම් නොකර තමන් කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.


මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු.


"එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු."

ඌරුවරිගේ වන්නිලැත්තෝ

.

.

උපුටා ගැනීම පන්සිළු ටීවී පන්සිළු රේඩියෝ FM

Monday, April 22, 2024

ලෝක මිහිතල දිනය අදයි (2024 අප්‍රේල් 22)


ලෝක මිහිතල දිනය (World Earth Day)  අප්‍රේල් 22  දින වන අදට යෙදී අඅත.‘ප්ලාස්ටික් සහ ලෝකය’ (Planet Vs, Plastic) Cold මෙවර එහි තේමාව වේ.

2040 වන විට ප්ලාස්ටික් භාවිතය සියයට 60 කින් අඩුකිරීම අරමුණු කරමින් මෙවර මිහිතල දිනය සැමරෙන අතර ඇමෙරිකාව ඇතුළු ලෝ පුරා රටවල් 196 කට වැඩි ප්‍රමාණයක් මිහිතල දිනය සැමරීමට එකතු වේ.

ප්ලාස්ටික් දූෂණය වර්තමානයේ ලොව අංක එකේ පාරිසරික අර්බුදය බවට පත්ව ඇත. මේ යටතේ ලෝකයට තර්ජනයක් වී ඇති ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා ලෝක ජනතාවගේ අවධානය යොමු කරවා ඇත.

ප්‍රථම වරට මිහිතල සමුළුව 1970 අප්‍රේල් මස 22 වැනිදා ඇමෙරිකාවේ පවත්වන්නට යෙදුණු අතර ඊට සමගාමීව මිහිතල දිනය ප්‍රකාශයට පත්කරන කර ඇත.

මේ සඳහා පුරෝගාමී වී කටයුතු කරන ලද්දේ ඇමරිකානු සෙනෙට් සභිකයෙකු හා පරිසරවේදියකු වු ගේලෝඩ් නෙල්සන් නැමැත්තෙකි. ඔහු හා හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනිකව ක්‍රියාකාරී සරසවි සිසුවෙකු වූ ඩෙනිස් හේස් විසින් මිහිතල දිනය වශයෙන් අප්‍රේල් 22 යොදාගන්නා ලදි. ඔවුන් විසින් 1970 අප්‍රේල් මස 22 දින දහස් ගනන් ජනතාව විදීවලට ගෙන්වා ඇමරිකාවේ පැවති පරිසර විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවීමේ අරමුණින් මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රමදාන හා පෝස්ටර් ව්‍යාපාර ඇතුළුව සංවිධානය කරන ලද සාමකාමී පරිසර අරගලයක් ලෙස මිහිතල දිනය ආරම්භ කර ඇත. මෙහිදී එකල පැවති වියට්නාම් යුද්ධයෙන් සිදු වන පරිසර විනාශය පිළිබඳ ජනතාවගේ අවධානය යොමු නොවන බව දුටු ඔහු, දුමාරය,තෙල් වැගිරීම් හා කෘමිනාශක ආදීයෙන් පෘථීවියට සිදු වන හානිය සම්බන්ධයෙන් අවධානය යොමු කරවන ලදී. මේ සඳහා ඇමරිකානුවන් මිලියන විස්සක් පමණ සහභාගි වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර කිහිපයක් තුළ ඇමරිකාවේ පරිසර සංරක්ෂණයට අදාළ අණ පනත් ගණනාවක් ඇති වු අතර ඒ සඳහා වගකිව යුතු ආයතන කිහිපයක් ද ස්ථාපනය කිරීමට ද අවධානය යොමු කර ඇත.


1980 දශකයේ සිට සෑම වසරකම අප්‍රේල් මස 22 වන දිනය මිහිතල දිනය ලෙස සැමරීමට ලොව පුරා රටවල් රැසක් අවධානය යොමු කර ඇත. 

1990 වන විට ලොව පුරා රටවල් 141ක පුද්ගලයින් මිලියන 200ක පිරිසක් මෙම දිනය සැමරිමට එක් වී ඇත.

2000 වන විට ලොව පුරා පරිසර සංවිධාන 5000ක සහඵාගීත්වය ඇතිව රටවල් 184ක ලෝක මිහිතල දිනය සමරා ඇත.

එහෙත් මෙම දිනය එක්සත් ජාතීන් ගේ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ 2009 වර්ෂයේ සිටය. ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2009 වර්ෂයේ දී සම්මත කරන ලද යෝජනාවක් අනුව මෙම දිනය නම් කිරීමෙන් අනතුරුවය.