Thursday, June 6, 2019

බලශක්ති සංරක්ෂණයට ජාතික වැඩසටහනක්

බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳව ජාතික වැඩසටහන හඳුන්වාදීමට රජය අවධානය යොමු කර තිබේ.

මේ වැඩසටහනෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 300ක බලශක්තියක් ඉතිරි කරගැනීමට අපේක්ෂිතය. එය ශ්‍රී ලංකාවේ දින දහයක සමස්ත විදුලිබල ඉල්ලුමට සමානවේ. ඒ අනුව මේ ජාතික වැඩසටහන යටතේ බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතයෙන් සියලුම රජයේ කාර්යාලවල පෙර වර්ෂයට සාපේක්ෂව 10%කින් විදුලිය සහ ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීම ඉලක්ක කර තිබේ.

ඉදිරියේ දී ඇති විය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වන විට රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව රාජ්‍ය ආයතනවල බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කර, බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳව ජාතික වැඩසටහන හඳුන්වාදීමෙන් රාජ්‍ය සේවයකයන් තුළ ඒ පිළිබඳව පෙළඹවීමක් මෙන්ම යොමු කරවීමක් සිදු කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ.

ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව ආරම්භ කරන මේ ක්‍රියාවලියට සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහභාගි කරගැනීමට අදහස් කර තිබේ. ඒ අනුව ඉහත සඳහන් සෑම ආයතනයක් ම බලශක්ති කළමණාකරුවෙක් පත් කර, ඔහුගේ සහාය වෙනුවෙන් බලශක්ති සංරක්ෂණ කමිටු පිහිටුවීමට අදහස් කෙරේ. මේ කමිටුවෙන් තම ආයතනයේ බලශක්තිය පරිහරණය කරන ආකාරය පිළිබඳව සොයා බලා, කාර්යක්ෂම භාවිතයක් සහ සංරක්ෂණයක් වෙනුවෙන් තම ආයතනය හැඩගැස්වීම කරනු ලබයි.

දෛනිකව වර්ධනය වන ජනගහනය හමුවේ බලශක්තියට ඇති ඉල්ලුම ද නිරන්තරයෙන් වර්ධනය වේ. ඒ අනුව පවතින සීමිත සම්පත් හේතුවෙන් බලශක්ති උත්පාදනයට බාධා එල්ල වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සීමිත සම්පත් සහිත රටකට ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමේ දී ගැටලු කිහිපකයට මුහුණදීමට සිදුවේ.

අවම මිලක් සහිත විදුලිබල උත්පාදනය සිදු කළ හැක්කේ ජලයෙන් වුවත්, මේ වන විට ඒ සඳහා යොදා ගත හැකි සියලු ජල පෝෂකයන් අවසන් වී තිබීමෙන්, විදුලි උත්පාදනය වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමට ජාතික අපනයන ආදායමෙන් 25%ක් වැනි මුදලක් වාර්ෂිකව වැය කිරීමට ශ්‍රී ලංකා රජයට සිදු වී තිබේ. එමෙන්ම ජනතාවගේ අකාර්යක්ෂම භාවිතය නිසා 25% අපතේ යන බව ද වාර්තා වේ.

ඒ අනුව බලශක්ති සංරක්ෂණය සහ කාර්යක්ෂම භාවිතය පිළිබඳව ජාතික වැඩසටහන හඳුන්වාදීමෙන් විදුලි පාරිභෝගික ජනතාව අපතේ යෑමෙන් තොර කාර්යක්ෂම විදුලිබල පරිභෝජන රටාවකට හුරුවීමෙන් සහ බලශක්ති සංරක්ෂණයට යොමුවීමෙන් අනාගතයේ දී මුහුණදිය හැකි බලශක්ති අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

මෙම ලිපියේ පිටපතක් අවශ්‍ය කෙනෙක් වෙතොත් ඊමේල් මගින් ඉල්ලන්න

උපුටා ගැනීම - දිනමිණ Wednesday, ජුනි 5, 2019 - 01:00

No comments:

Post a Comment