Saturday, March 23, 2024

ලෝක ජල දිනය 2024 (මාර්තු 22)


1993 දි පටන් සෑම වසරකම මාර්තු 22 දිනදී ලෝක ජල දිනය සමරනු ලබයි. ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මාර්තු 22 දින "ජලය සඳහා ලෝක දිනය" වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුවය.


මෙම දිනය පළමුවෙන් උපචාරානුකූලව යෝජනා කරනු ලැබුවේ, 1922 දී බ්‍රසීලයේ, රියෝ ඩි ජෙනීරොහී පැවති එක්සත් ජාතීන්ගේ පරිසරය හා ප්‍රවර්ධනය පිළිබඳ සම්මේලනය (UNCED) අතරතුර න්‍යාය පත්‍රය 21 මගිනි.


මෙවර එහි තේමාව වන්නේ "𝑳𝒆𝒗𝒆𝒓𝒂𝒈𝒊𝒏𝒈 𝒘𝒂𝒕𝒆𝒓 𝒇𝒐𝒓 𝒑𝒆𝒂𝒄𝒆" ("සාමය සඳහා ජලය ආධාර කරගනිමු") යන්නයි. ඉන් අදහස් වන්නේ මෙලොව ඇති ජල සම්පත සාමකාමීව භාවිතාකොට සාමය වැඩි කරගත යුතුය යන්නයි. 


මෙහිදී සාමය වර්ධනය කරගන්නේ කා සමගද යන්න ඇතිවන ප්‍රශ්නයකි. මානවයා, අනෙක් ජල පරිභෝජකයින් වන ශාක හා සත්ව ප්‍රජාව අතර සාමය සඳහා ජලය උපයෝගී කරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ. එසේම මිනිසුන් මිනිසුන් අතරත් රට රටවල් අතරත් ජලය සාමයෙන් භාවිතය පිළිබඳව අවධානය යොමු විය යුතුය.


 අපගේ අවධානය එතරම් ලක් නොවූවද ජලය යනු ලෝකයේ පවතින සීමිත සම්පතකිි. ඒ නිසා ඒ  පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු කර ජල ගැටළු සඳහා විසඳුම් සෙවීමටත්, ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇතිකරමින් විසඳුම් ක‍්‍රියාමාර්ග සඳහා කඩිනමින් යොමු වීමට ක්‍රියාකිරීම ආදිය මෙම දිනයේ ප්‍රධාන අරමුණු වේ. 


මානව ශිෂ්ටාචාරයේ පදනම මෙන්ම ජීවයේ උපත වන්නේද ජලයයි. ජලයෙන් තොර කිසිවකට කිසිවිටෙක පැවැත්මක් නොමැත. 


පෘථිවියේ හතරෙන් තුනක් ජලයෙන් වැසී පැවතියත් ඉන් බීමට ගත හැකිවන්නේ 3% ත් වඩා අඩු ප්‍රමාණයකි. එනම් පෘථිවියේ සමස්ත ජල ප්‍රමාණය ඝන සැතපුම් මිලියන 332.5 ක් පමණ වන අතර ඉන් 97% ක් ම ඇත්තේ සාගරයේ හෙවත් කරදියයි. ග්ලැසියර හා අයිස් වැස්මක් ලෙස සියයට 2.58 ක් පමණ ප්‍රමාණයක් හා ගංගා විල් පොකුණු ආදියෙහි ඇත්තේ 0.6% ක් තරම් ඉතා කුඩා ජල ප්‍රතිශතයකි. ලෝකයේ ජල පරිභෝජනයෙන් සියයට 70 ක් කෘෂිකාර්මික කටයුතුවලටද සියයට 20 ක් කාර්මික කටයුතු සදහාද යොදා ගන්නා අතර ගෘහස්ථ පරිභෝජනය සඳහා යොදා ගැනෙනුයේ සියයට 10ක පමණ ප්‍රතිශතයකි.

සාමාන්‍යයෙන් ලෝකයේ වසරකට එක් පුද්ගලයෙක් ජලය ඝනමීටර 1700කට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන බවට ගණනය කර ඇත. ලෝක ජනගහනයෙන් මිලියන 663කට පමණ පිරිසිදු ජලය නොලැබෙන අතර ඒ නිසා හට ගන්නා රෝග හේතුවෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව මිලියන 1.4 ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේම මිලියන 74ක පමණ ජනතාවගේ ආයු අපේක්ෂාව අපිරිසිදු ජලය හේතුවෙන් පහළ යන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.  සෑම වසරකම ලෝක ජල ඉල්ලු‍ම 1%කින් පමණ ඉහළයන බව ඇස්තමේන්තු කර ඇති අතර මිනිස් දේහයෙහි 55% සිට 78% දක්වා ප්‍රමාණයක් සමන්විත වී තිබෙන්නේ ද ජලයෙනි. 


ඒ අනුව මිනිසකුට ජලය නොමැතිව ජීවත්විය හැක්කේ දින 03ක් වැනි කෙටි කාලයකි.  අනාගත ලෝකයේ ජාතීන් අතර යුද්ධ ඇතිවීමේ ප්‍රධාන සාධකයක් ලෙසද ජල ගැටළුව හඳුනාගෙන ඇති අතර ලොව අඛණ්ඩ පැවැත්මට ජල සම්පත රැක ගැනීම අතිශයින්ම වැදගත් ය.


ලෝකයේ ජල හිඟයට බලපා ඇති ප්‍රධාන හේතු කිහිපයක් ලෙස ජල උල්පත් සිඳීයාම, ජල සංරක්ෂණයට ක්‍රියාමාර්ග නොගැනීම, ජල දූෂණය හා ජල පරිහරණ දුර්වලතා දැක්විය හැකි අතර පවතින සීමිත ජලය ප්‍රමාණය දූෂණය වීම වැළැක්වීමත් ජල සංරක්ෂණය කීරීමත් මනා ජල පරිහරණය සඳහා ජනතාව යොමු කිරීමත් ආදිය කළ යුතුය.


ශ්‍රී ලංකාවේ අප අතිතයේ සිටම ජලය දේවත්වයෙන් සැලකූ අතර ජල පරිහරණයේ මෙන්ම ජල කළමනාකරණයේ හොඳම නිදසුන වනුයේ අතීත රජවරුන් වියළි කළාපයේ තැනූ වාරි පද්ධතියයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය 1975 ජනවාරි මාසයේ පාර්ලිමේන්තු පනතක් මඟින් ආරම්භ කර ඇති අතර එය ශ්‍රි ලංකාව තුළ ආරක්ෂිත පානීය ජලය සැපයීමේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය වේ.

 ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ වෙසෙන ජනගහනයෙන් 80%කටත් වැඩි දෙනා පානීය ජලය ලබා ගන්නේ කැලණි ගංඟාවෙන් වන අතර පර්යේෂණ මඟින් සනාථ වී ඇත්තේ එයට මල අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය හා බැර ලෝහ අධික ලෙස මුසු වී ඇති බවය. මෙසේ දූෂණය වුණු ජලය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමට පිරිපහදු කිරීම අතිශය වියදම් සහිත කටයුත්තකි.


ජලය සංරක්ෂණය කිරීමේ වැදගත්කම අන් කවරදාකටත් වඩා ලෝකය  හමුවේ ඇති අභියෝගයක් වන අතර ජලයේ වටිනාකම තේරුම් නොගෙන ක්‍රියාකරන්නේ නම් ජල ගැටළු සඳහා සාර්ථක පිළියම් සෙවීම දුෂ්කර කාර්යයක් වනු ඇත. අප හැකි සෑම මොහොතකම සොබාදහම ලබාදුන් අනගි දායාදයක් වන ජල සම්පත සුරක්ෂිත කරන්නට වගකීමෙන් කටයුතු කළ යුතු වේ. 

තව දුරටත් විස්තර සඳහා පෙර ලිපියක්

https://isiwaraya.blogspot.com/2016/03/22.html



No comments:

Post a Comment