Thursday, March 21, 2024

ලෝක වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි (2024. 03. 21)

 


ලෝක වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි (2024. 03. 21)

වර්ෂ 2012 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයේදී මාර්තු මස 21 වන දින ලෝක වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප්රකාශයට පත්කරන ලදී. 2013 වර්ෂයේ සිට සෑම වසරකම මාර්තු මස 21 වන දින ලෝකවාසී ජනතාව වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි. 2014 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවද වනාන්තර දිනය සමරනු ලබයි.


එක් එක් වර්ෂයන් තුල විවිධ වූ තේමාවන් යටතේ වනාන්තර දිනය සමරනු ලබන අතර වනාන්තරයේ ඇති අගය පිළිබඳව හා විවිධාකාර වනාන්තර පරිසර පද්ධතීන්ගේ ඇති වැදගත්කම පිිළිබඳ ලොව පුරා ජනතාවගේ අවධානය යොමු කර ගනිමින් සමාජ දැනුවත් කිරීම හරහා වනාන්තර සුරකීම සඳහා නැඹුරුතාවයක් ඇති කිරීම මෙම දිනයේ අරමුණ වී ඇත.


     පෘථිවියේ සමස්ත ජීවීන්ගේ පැවැත්මට වනාන්තර ඉතාමත් වැදගත්ය. හුස්ම ගන්නා ඔක්සිජන් වලින් 20% ක්, ප්‍රාශ්වාසයේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය, බීමට හා අනෙකුත් බොහෝ අවශ්‍යතා සඳහා ජලය, ආහාර, වාසස්ථාන, ආරක්ෂාව,මානසික සුවය, ඇතුළු අසීමිත දෑ නිස්සරණද්‍යාසයෙන්ම ලබාදෙන සුරභිදෙනයි. ඇය දේශගුණික, කාලගුණික රටා ස්ථාවර කරයි.


          2014 වනවිට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර භූමි ප්‍රමාණයෙන් 26% කට ආසන්න  ප්‍රමාණයක්  වනාන්තර ලෙස පැවතියද අද වන විට එය අනවරතයෙන් ඉතා භයානක ලෙස හායනයට ලක්වී ඇත.

 (වනාන්තර පරිසර උෂ්ණත්වය , අර්ද්‍රතාව හා වර්ෂාපතනය පාලනය කරමින් පරිසර සමතුලිතතාවය රැක දෙයි. 

නමුත් මෙම වනාන්තර දිනෙන් දිනම මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් පවතී.) මෙම හේතුව නිසාම පාරිසරික උෂ්ණත්ව රටාවන්, වර්ෂාපතන රටාවන් වෙනස් වී අප මුහුණ දෙන කාලගුණික,දේශගුණික විපර්යාස ප්‍රමාණයද වැඩි වී ඇත. 

      ලෝක වනාන්තර දිනය මෙම වටිනා ස්වාභාවික සම්පත සැමරීමට හා එය ආරක්ෂා කිරීමට පියවර ගැනීමට අගනා අවස්ථාවකි.  

වනාන්තර කෙරෙහි සාමූහික ධනාත්මක බලපෑමක් ඇති කරන හැසිරීම් දිරිගැන්වීමෙන් මිලියන සංඛ්‍යාත ජනතාවගේ දැනුවත්භාවයට බලපෑම් කිරීමට උත්ප්‍රේරකයක් ලෙස ලෝක වනාන්තර දිනය යොදා ගතහැක.

      එසේ නම් අද දින පමණක් නොව හුස්මක් ගන්නා මොහොතක් පාසා අපට පිරිසිදු වාතය ලබා දෙන වනාන්තර ආරක්ෂා කිරීම ඔබගේ මගේ යුතුකම මෙන්ම වගකීම වියයුතුය. එමෙන්ම වගකීමට පමනක් සීමා නොකර ඒවා රැක ගැනීම යුතුකමක් කොට සලකා මෙම වටිනා සම්පත සුරැකීමට අදිටන් කරගමු.

           එමගින් නූපන්  අනාගත පරම්පරාවේ නිදහසේ හුස්ම ගැනීමට ඇති අයිතිය සුරකිමු. 


No comments:

Post a Comment