Monday, July 31, 2017

ලෝක ජනගහණ දිනය (ජුලි 11)

2017 වසරේ ජනගහන දිනයේ තේමාව 'සැලසුම්සහගත පවුලක්‌ - තිරසාර හෙටක්‌' යන්න වේ.

1800 දී මිලියන එකක්‌ව තිබූ ලෝක ජනගහණය 1963 වන විට දෙගුණයක්‌ වී තිබේ. 1987 දී එය 40% කින් වර්ධනය වී බිලියන 5 ක්‌ බවට පත් වී තිබේ. පළමු ලෝක ජනගහණ දිනය පැවැත්වීමට මුල් වී ඇත්තේ එම කාරණයයි. එදා පටන් සෑම වසරකම තෝරාගත් මාතෘකාවක් ඔස්සේ මෙම දිනය සමරනු ලබයි.

එයින් බලාපොරොත්තු වන්නේ ලෝක ජනගහනයේ වර්ධන පිළිබඳ පරීක්ෂාවෙන් කටයුතු කිරීමටය.  මෙම සැමරුම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාලන කවුන්සලය විසින් පිහිටුවන ලදී.

දැනට සෑම වසරක ම දශලක්‌ෂ 78 ක්‌ පමණ ජනතාවක්‌ ලෝක ජනහගණයට එකතු වීමෙන් ස්‌වභාවික සම්පත් වලට ඇති ඉල්ලුම වැඩිවීමෙන් අප ජිවත් වන පෘථිවියට වැඩි පීඩනයක්‌ ඇති කරවයි. දරිද්‍රතාවය, අසාමනතාවය සහ සම්පත් කෙරෙහි ඇති පීඩනය වැඩිවීම ජනගහණය වැඩිවීමේදී ඇතිවන අභියෝගයන් වන අතර ලෝකය පෙර නොවු ආකාරයට එකට සම්බන්ධව වී ඇති නිසා මෙම ප්‍රශ්න සෑම රටකටම බලපායි. ලෝකයේ ජනගහණය වැඩිවීමත් සමග අද ජීවත් වන සහ අනාගත පරම්පරාව සඳහා අසාමානතා අඩුකිරීමටත් ජීවන මට්‌ටම නගා සිටුවීමටත් නව චින්තනයක්‌ සහ ගෝලීය සහයෝගීතාවයක්‌ අවශ්‍ය වේ. මෙහිදී තරුණ ජනයා බලගැන්වීමත් ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය වර්ධනය කිරීමත්, ස්‌ත්‍රින්ගේ අයිතිවාසිකම් සුරැකීමත් සියලු දෙනාගේ පැවැත්මට තිබෙන ස්‌වභාවික සම්පත් ආරක්‌ෂා කිරීමත් කළ යුතු වේ.

ලෝක ජනගහණය වර්ධනය පිළිබඳව අදහසක් ලබා ගැනීමට Population clock නැතිනම් ජනගහණ ඔරලෝසුව වැදගත් වේ. එවැනි අඩවි කිහිපයක් අධ්‍යයනය කළ මා හට පෙනී ගියේ ඒවා එකිනෙක වෙනස්කම් දක්වන බවයි. ඒ එම අඩවිය ගණනය කරන ආකාරය අනුව සිදුවන්නකි. ඒ අනුව එය නිවැරදිම නොවේ. එවැනි අඩවි කිහිපය 04ක සබැඳි පහතින් දක්වා ඇති අතර අවශ්‍ය කෙනෙකුට එය බලාගතහැකිය.
01. http://www.geography.learnontheinternet.co.uk/populationclock.html
02. http://galen.metapath.org/popclk.html
03. http://www.worldometers.info/world-population/
04. https://www.census.gov/popclock/


පසුගියදා නිකුත් වූ එක්‌සත් ජාතීන් ගේ වාර්ෂික ජනගහන සමීක්‌ෂණය වාර්තාවට අනුව 2023 දී එනම් තව අවුරුදු හයකින් ලෝක ජනගහනය බිලියන 8 ඉක්‌මවනු ඇත. එම ලෝක ජනගහනයෙන් අටෙන් එකක්‌ එනම්, බිලියනයක්‌ ම වයස අවුරුදු 60 ඉක්‌මවූ අය වනු ඇති අතර 2023 වන විට දැනට පවතින අනුපාතයට වඩා ඉහළ අනුපාතයකට පිරිමි ජනගහනය වර්ධනය වනු ඇත. වාර්තාවට අනුව මෙම පරතරය 2023 දී තවත් ඉහළ යන බව පෙන්වා දී ඇත. 1966 දී ලෝක ජනගහණ වර්වධනය 2%ක්‌ ව පැවතිණු  අතර මේ වන විට එය 1.2%කි. ලෝක ජනගහණ වර්වධන වේගයත් සමග කරණ ලද ගණන් බැලීම් අනුව  2050 වසරේ දී ලෝක ජනගහනය බිලියන 9.8ක්‌ දක්‌වා වර්ධනය වන බව ද පෙන්වා දී ඇත. එසේම  එය 2100 දී බිලියන 12.3 දක්වා ඉහළ යන බව දක්වා ඇත.  රටවල් 223ක ජනවර්ග දහසක් පමණ ඊට අයත්.

පවුල් සැලසුම් කිරීම මානව අයිතිවාසිකමක්‌ වන අතර 2030 වසරේ දී තිරසර සංවර්ධන අරමුණු ළඟා කරගැනීම සඳහා මෙය ද වැදගත් ඉලක්‌කයක්‌ ලෙස සැලකේ. මෙමගින් කාන්තාවට තමන් ගර්භණීභාවයට පත් විය යුතු ද, එසේ නම් ඒ කුමන අවස්‌ථාවේ දී ද සහ කොපමණ වතාවක්‌ ද යන්න තීරණය කිරීමට අවස්‌ථාව ලබා දේ. පවුල් සැලසුම් මගින් කාන්තාවට, ඇය ගේ ශරීරය සහ ඇගේ අනාගතය පිළිබඳව දැනුවත් ව තීරණ ගැනීම සඳහා සවිබල ගැන්වීම තුළින් සෞඛ්‍යවත් සහ ආරක්‌ෂාකාරී ජීවිතයක්‌ ගත කිරීමටත්, ජාතික ආර්ථිකයේ සංවර්ධනයට තම දායකත්වය ලබා දීමටත් අවස්‌ථාව උදා කර දේ.

පවුල් සැලසුම් කිරීමේ වැදගත්කම හඳුනාගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ ජාතික පවුල් සැලසුම් වැඩසටහනේ පළමු සමාලෝචන වාර්තාව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දී ජූලි 10 දින එළිදක්‌වනු ලැබී ය.

1965 වසරේ දී ශ්‍රී ලංකාවට පවුල් සැලසුම් වැඩසටහන් හඳුන්වා දීමෙන් පසුව සිදු කරන ලබන පළමු සමාලෝචනය මෙය වේ. ජූලි 11 වැනි දින ලෝකය පුරා ලෝක ජනගහන දිනය සමරන අවස්‌ථාවේ දී මේ සමාලෝචනය සිදු කෙරිණි. එය ඉතා කාලෝචිත වාර්තාවක්‌ ලෙස සැලකිය හැකි.

ජනගහණ දිනය පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගි වූ කොළඹ විශ්වවිද්‍යාලයයේ ප්‍රජා විද්‍යා අධ්‍යයන අංහයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා මාධ්‍යයට අදහස් දක්වා ඇත්තේ අපේ ජනගහනය වැඩි වීමට හේතුව මෑත දී කතුන් ගේ සඵලතාව බවයි. ලංකාවේ වයස අවුරුදු පනහේ දී කාන්තාවක ලබා සිටින දරුවන් ගණනෙහි සාමාන්‍යය සමස්‌ත සාඵල්‍යතා අනුපාතය (Total Fertility Rate – TFR) 2.42කි. 1950 දී TFR අගය 3.4ක්‌ විය. 1998 දී එය 1.9ක්‌ විය. ලංකාවේ දැන් Living together ක්‍රමය (විවාහ නොවී එකට ජීවත්වීම) ද ඉස්‌මතු වන බව පෙනී යන්නේ යෑයි ඔහු සඳහන් කරයි. යුද්ධයෙන් පසු රටේ ජනගහනය අඩු වූවා යෑයි සිතමින් එය පියවාගත යුතු යෑයි සිතන පිරිසක්‌ ද දැන් බිහි ව ඇත. අපේ මඳසරුභාවට අදාළ ප්‍රතිකර්ම ද වර්ධනය වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයද මිලියන 21 ඉක්මවා ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනය 2042 දී මිලියන 25කට වඩා ඉහළ යන බව මහාචාර්ය ඉන්ද්‍රලාල් මහතා පෙන්වා දී ඇත. මේ තත්ත්වය අනුව පෙනී යන්නේ නිසි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නො කළ හොත් අනාගතයේ දී මෙරට ජනගහන පිපිරුමක්‌ ඇති වීමේ අවදානමක්‌ පවතින බව ය.



අන්තර්ජාලයේ ලිපි, ප්‍රවෘති අඩවි, ලිපිවල කරුණු අශ්‍රය කර ගනිමින් සකස් කරන ලදි.

No comments:

Post a Comment