Wednesday, August 9, 2017

ලෝක ආදිවාසී දිනය (අගෝස්තු 09)

ලෝක ආදිවාසී දිනය අද (09)ට යෙදී ඇති අතර ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම අරමුණු කරගෙන සෑම වසරකම අගෝස්තු 9 වන දින ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබයි.

ලොව පුරා සිටින ආදිවාසීන්ගේ අයිතිවාසිකම් සුරැකීමත් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ආදිවාසීන් නොනැසී පවත්වාගෙන යාමත් අරමුණු කරගෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1994 වසරේ පටන් සෑම වසරක ම මෙම දිනය සමරනු ලබයි.

2015 වර්ෂයේ ආදිවාසී දිනය වෙනුවෙන් සකස් කරන ලද ලිපිය සඳහා සබැඳිය භාවිතා කරන්න - http://isiwaraya.blogspot.com/2015/09/09.html. ලංකාවේ වෙසෙන ආදිවාසීන් පිළිබඳවා වැඩිදුර තොරතුරු දැන ගැනීමට දිවයින අතිරේකයෙන් උපුටා දක්වා ඇති පහත ලිපිය පරිශිලනය කරන්න.


ශ්‍රී ලංකාවේ වැදි ජනයාගේ ඉතිහාසය

ප්‍රාථමික ජන කොටස්‌ හැඳින්වීම සඳහා ආදිවාසීන් යන්න භාවිතා කිරීම නොමඟ යවන සුළු බවත්, ආදිවාසී සමාජයන් සඳහා ප්‍රාථමික සමාජ යනුවෙන් භාවිත කිරීම වඩා තර්කානුකූල බවත්, මහාචාර්ය ජේ. ඩබ්ලිව්. ඩී. සෝමසුන්දර ප්‍රකාශ කරයි. (සෝමසුන්දර, 2008) ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රාථමික ජන කොටසක්‌ ලෙස 'වැද්දන්' හඳුන්වනු ලබයි. මේ නිසා මෙහිදී ම විසින් ශ්‍රී ලංකාවේ ආදිවාසීන් යනුවෙන් අර්ථකථනය කරනු ලබන්නේ වැදි ගෝත්‍රික සමාජයයි.... වැද්දන් ඔවුන්ව හඳුන්වා ගන්නේ වැද්දන් යන නාමයෙන් නොව 'වන්නිලැත්තන්' යන නාමයෙනි. 'වැදි' යන සිංහල වචනය පාලි භාෂාවෙන් 'ව්‍යාධ' හෙවත් 'විදින්නා' යන අර්ථයෙන් බිඳී ආවකි (සෝමසුන්දර( 2006, පිටුව 77,). ව්‍යාධ දෙවියා යනු දඩයක්‌කරුවාගේ දෙවියා ය. මේ අනුව වැද්දා යනු දඩයක්‌කරුවා යන අර්ථය ගෙන දෙයි. 'වැදි' යන්න 'වන චාරි' හෙවත් 'වනයේ හැසිරෙන්නා' යන අර්ථය ද ගෙන දෙයි. අතීත වැද්දා සතුන් හීලෑ කරගත් හෝ ශාක වගාකර ගත් හෝ නිවහන් තනාගත් පුද්ගලයෙකු නොවේ. මේ නිසා වැද්දා යනු 'ප්‍රාථමික මානවයා' යන අරුත ද ගෙන දෙයි. වැද්දා හැඳින් වීම සඳහා පුලින්ද, සබර, නිශාද, වන සරණ, වනපස, වනදරු, මිලක්‌ඛ, කිරාත යන නාමයන් ද භාවිත වී තිබේ, දුන්නෙන් විද සතුන් මරණ නිසාත්, දුනු දරා සිටින නිසාත්, 'වැද්දා' යන්න ව්‍යාවහාර වූ බව පෙනීයයි. මෙම ප්‍රාථමික ජන කොටස වැද්දන් යනුවෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ පමණි. වෙනත් කිසිදු රටක වැද්දෝ නොමැත. අතීත වැද්දා සත්ව හා ශාක ගෘහස්‌ථකරණයෙහි යෙදුණු පුද්ගලයෙකු නොවේ. නිශ්චිත භූමි සීමාවක්‌ තුළ පූර්ණ කාලීනව සතුන් දඩයම් කිරීමේ හා වන ද්‍රව්‍ය රැස්‌කිරීමේ යෙදුණු පිරිසකි. එසේ වුවද අද ජීවත් වන වැදි ජනයා ජීවන වෘත්තියක්‌ ලෙස සතුන් දඩයම් කිරීම නොකරයි. බොහෝ දෙනා වන ද්‍රව්‍ය රැස්‌කිරීමටත්, ගොවිතැනටත්, හුරු වී සිටිති. වැද්දන් ඔවුනට ම ආවේනික වූ මානව ලක්‍ෂණ හා සංස්‌කෘතික ලක්‍ෂණ ඇති ජන කොට්‌ඨාසයකි. ශ්‍රී ලංකාවේ වැදි ජනයා පිළිබඳ පළමු වරට සවිස්‌තරාත්මක පර්යේෂණ අධ්‍යයනයක්‌ සිදුකර ඇත්තේ වර්ෂ 1911 දී සී. ජී. සෙලිග්මාන් හා සිය බිරිඳ වූ බ්‍රෙන්ඩා ඉසඩ් සෙලිග්මාන් යුවළ විසිනි. ඔවුන් විසින් රචිත The Veddas ග්‍රන්ථයෙහි වැද්දෝ වර්ග තුනකට වෙන් කරයි. එනම් වැද්දෝ, ගම් වැද්දෝ හා වෙරළබඩ වැද්දෝ යනුවෙනි (සී. පී. සෙලිග්මාන් පිටුව, 29). ඔවුන්ගේ ගවේෂණයට භාජන වූ වැදි ජනාවාස 12 සඳහන් කොට තිබේ. එනම් බණ්‌ඩාරදූව. බුදුගහලදෙන, දඹාන. ගොඩතලාව, කොවිල්වනමේ, ළිඳගල, නිල්ගල, උන්නිච්ෙච්, සේන්කඩ, තමන්කඩුව. උණුවතුර බුබුල සහ සීතලවන්නියයි (සෙලිග්මාන්, පිටු 257-306). දහනව වන සියවසේ මුල් භාගයේ දී පමණ අමුඩය ගැසූ වැද්දන් හා උඩුකය නිරාවරණය කොට විලි පමණක්‌ වසාගත් වැද්දන්ගේ ඡායා රූප සමූහයක්‌ එම ග්‍රන්ථයෙන් දැකගත හැකිය.

වර්ෂ 1963 දී වැදි ජනවාස පිළිබඳ ගවේෂණයක යෙදුණු ආචාර්ය සුගතපාල ද සිල්වා දුටුවේ ඉහත සඳහන් ස්‌ථාන අතුරින් තුනක්‌ හැර අන් සියලු ජනාවාස අභාවයට ගොස්‌ ඇති බවයි. දඹාන, බුලුගහලදෙන හා තමන්කඩුව ඒ ඉතිරි වී ඇති ජනාවාස තුනයි (සුගතපාල ද සිල්වා - පිටුව, 10). දිගාමඩුලු, බින්තැන්නේ වැදි ජනයා අතර සුදුහුරා නමින් ප්‍රසිද්ධ දොස්‌තර ආර්. එල්. ස්‌පිට්‌ල් වැදි ජනයා පිළිබඳ සොයා බැලූ තවත් ශ්‍රෝෂ්ඨ පුද්ගලයෙකි. වර්ෂ 1925 දී ලියන ලද 'Wild Ceylon' නමැති ග්‍රන්ථයත්, වර්ෂ 1930 දී ලියන ලද 'Far off Things' නමැති ග්‍රන්තයත්, වර්ෂ 1939 ලියන ලද 'Vanished Trails' නමැති ග්‍රන්ථයත්, වර්ෂ 1945 දී ලියන ලද 'Savage Sanctuary' නමැති (වන සරණ-සිංහල පරිවර්තනය) ග්‍රන්ථයත්, 1950 අවසන් වරට ලියන ලද 'Life Story of Wannaku Thisahamy' නමැති ග්‍රන්ථයත් වැද්දන් පිළිබඳ ලියන ලද සවිස්‌තාරාත්මක කරුණු ඇතුළත් ග්‍රන්ථ ලෙස සඳහන් කළ හැකිය.

වැද්දන්ගේ ජීවන පැවැත්ම, පරිසරය හා සංස්‌කෘතික ලක්‍ෂණ අනුව ගල් වැද්දන්, මස්‌ වැද්දන්, නිරි වැද්දන්, කල වැද්දන්, මූදු වැද්දන්, කෝවුල් වැද්දන්, ගම් වැද්දන් හා දෙමළ වැද්දන් යනුවෙන් වර්ගවාදීව වැදි ජනයා හඳුන්වතත් පොදුවේ ගත් කළ මොවුන්ගේ ඇත්තේ එකම ජීවන රටාවකි. ලෝකයේ ප්‍රාථමික මානවයන් හා සසඳන විට අතීතයේ දී වැද්දන් නිර්වස්‌ත්‍රව සිටින්නට ඇතැයි සිතිය හැකිය. පසුව කොළ අතු, හම්, පට්‌ටා වලින් විලි වසාගත් බවට සාහිත්‍ය මූලාශ්‍ර වල තොරතුරු හමුවේ. ගල්ඔය ව්‍යාපාරය නිසා යට වූ පෙදෙස්‌ හි වැදි ජනයාගේ වාසය සඳහා අලුත් වැදි ජනාවාස දෙකක්‌ පොල්ලෙබැද්ද හා රතුගල මේ වනවිට ඇරඹී තිබේ. වර්තමානයේ දඹාන හා ගුරුකුඹුර ප්‍රදේශවල සිටි වැදි ජනයාගෙන් වැඩි පිරිසක්‌ මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ගිරාඳුරුකෝට්‌ටේ නව කොළණි ජනපද වල පදිංචි කරවා ඇත. වර්තමාන 'වැදිරට' ඌව බින්තැන්නට හා දිගා මඩුලු බින්තැන්නට අයත් සීමිත ප්‍රදේශයකට සීමා වුවද, අතීත ශ්‍රී ලංකාවේ වැදි ජනාවාස මෙයට වඩා විශාල ප්‍රදේශයක පැතිරී තිබුණු බවට බොහෝ සාධක තිබේ.

'පුලින්ද' හෙවත් 'වැදි' යන අර්ථයෙන් යෙදෙන 'සබර' යන නාමය සහිත සබරගමුව ප්‍රදේශය වැද්දන්ගේ නිජ භූමිය ලෙස සැලකේ. සබරුන් හෙවත් වැද්දන් බහුලව වාසය කළ නිසා සබරගමුව වී යෑයි මතයකි. සබරගමුව යන්නෙන් තේරුම දඩයක්‌කාරයාගේ හෙවත් වැද්දාගේ ගම යනුය. මේ නම දරන එකම පළාත මෙයයි. (නන්දදේව විඡේසේකර, 1986( පිටුව, 56). සපරක්‌ග්‍රාම සපරගමුව වී වාර්තමානය වන විට සබරගමුව යනුවෙන් ව්‍යවහාර වෙයි. සබරගමු පළාතේ වැද්දන් වාසය කළ බවට දැනට ශේෂව ඇති ප්‍රධාන සාධක වන්නේ කලවාන ප්‍රදේශයේ වැද්දාගල ගමත්, වේලිඔය නිම්නයේ වාසය කළ කෙවුල් වැද්දා හෙවත් ඕ වැද්දාත්, සබරගමු බින්තැන්නට අයත් බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මුල්ගල ග්‍රාමයේ වාසය කළ කෙරතල වැද්දාත්, මහ පෑලැස්‌සේ වාසය කළ මහ වැද්දාත් යන වැද්දන් තිදෙනා පිළිබඳ තොරතුරු පමණි. මේ හැර සබරගමු පලාතේ කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ රඹුක්‌කනට නොදුරු පදවිගම්පොළ 'ශිලා මඤ්චකය' (ගල් මැස්‌ස / කොනාටුව) වැද්දන් වාසය කළ ස්‌ථානයක්‌ ලෙස සැලකේ. සබරගමුව, වැදි ජනවාස නිසා ඒ නම ලැබුණු බව පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමියෝ 'සබර' යනු 'වැද්දා' වුවත් 'සබරගමුව' වැද්දන්ගෙන් පැවත එන්නෝ ය." යන්න, අර්ථ දක්‌වීමට මැලි බවක්‌ දක්‌වති. (ඤාණවිමල හිමි, 1942 - පිටු 2-3) සපරගමුව මහා සංඝ සභාව මගින් 1995 වර්ෂයේදී ප්‍රකාශනයට පත්කර ඇති 'සපරගමු' සඟරාවේ ලිපියක සබරගමු නාමය ඇතිවීම සම්බන්ධව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි මෙවැනි අදහසක්‌ ඉදිරිපත් කර තිබේ. "සබර-පොලිස්‌, දිසාපති - සබර, යන වාක්‍ය යෙදූ වාහන මා නිතර දැක ඇත. මේ යෙදුම් වලින් අදහස්‌ කරන්නට ඇත්තේ 'සපරගමු පොලිසිය, දිසාපති සපරගමුව' යන කරුණු විය හැකි නමුත් ඉන් වෙනත් අර්ථයක්‌ ද කියෑවෙයි. 'සබර' යනු 'වැද්දා' හෝ 'ම්ලේච්ඡායා' යන තේරුම ගෙන දෙයි. මේ යෙදුම්වල ඇති වරද ගැන නොයෙක්‌ විට සිතුවෙමි. මෙය 1815 න් පසුව බහුල වශයෙන් සිදු වී ඇති වරදකැයි සිතමි. මෙය සත්‍ය වශයෙන් නිවැරදි කළ යුත්තකි". (විපුලතිස්‌ස හිමි, ඉන්දරතන හිමි 1995, 1 පිටුව).

සබරගමුව අතීතයේ සිට ම වැදි ජනයා වාසය කරන ලද හෙයින් සබරගමුව වී යෑයි ඇති අර්ථකථනයට එකඟ නොවන බවට කරුණු ඉදිරිපත් කරන එල්ලාවල මේධානන්ද හිමියෝ වැද්දන් නොසිටි ප්‍රදේශයක්‌ මේ දිවයින තුළ නිර්නය කළ නොහැකි බවත්, විජයගේ දරුවන් සමනළ අඩවියට පැමිණි බව මහාවංසයේ දක්‌වන අතර ඔවුන්ගෙන් පුලින්දයන්ගේ සම්භවය සිදු වී යෑයි ප්‍රකාශ කරතත් 'සබර' හෝ 'ශබර' නොයොදා 'පුලින්ද' යන වචනය යෙදුවේ කවර හෙයින් දැයි පැහැදිලි නැති බව ප්‍රකාශ කරති. පුලින්ද යනු ව්‍යාධවාචී පදයකැයි සලකා ඇති අතර පුලින්ද යන වචනය මෙන්ම ශබර යන වචනය ද සංස්‌කෘත ශබ්දකෝෂවල හඳුන්වා ඇත්තේ චණ්‌ඩාල විශේෂයක්‌ හැඳින්වීමට බව පැහැදිළිව ම පෙනෙන කරුණක්‌ බවත්, විජයගේ දරුවා වූ ජීවහත්ථ සිය නැගෙනිය පාවා ගැනීම නිසා ඔවුන් පහත් තත්ත්වයකට වැටුණු බවත්, ඔවුනට පුලින්ද යන වචනය යෙදීමෙන් මෙය වඩාත් පැහැදිලි වන බවත්, මේ හිමියෝ වැඩිදුරටත් පැහැදිළි කරති.

සිංහල සිරිත් විරිත් අනුගමනය කරමින් අද දින සිංහලයන් ලෙස පෙනී සිටින නමුත් සිය වැදි පාරම්පාරිකත්වය අද පවා සිහිපත් කරන්නේ අභිමානයෙනි. වැදි ජනයා තමා උසස්‌ කුල පරම්පරාවකින් පැවත එන බව දඹානේ ආදීවාසීහු ප්‍රකාශ කරති. ලක්‌දිව පැරණිම ආදීවාසීන් ඔවුන් බවත්, වැද්දන්ගේ කුල පරම්පරා 12 ඇති අතර එයිනුත් ප්‍රධාන කුල පහක්‌ වන ඌරුවරිගේ උනාපාන වරිගේ, තලාවරිගේ, නඹුඩන් වරිගේ, බණ්‌ඩර රූගම් වරිගේ අතර සහ සම්බන්ධතා වැඩියෙන් පවතින බව දඹානේ ආදිවාසීන්ගෙන් දැනගන්නට ලැබුණි (බිනරගම, 2008 පිටු 79-80.

වර්ෂ 1914 දී වැදි භාෂාව පිළිබඳ ගවේෂණයක යෙදු. විල්හෙම් ග්‍රයිගර්ගේ අදහස වූයේ වැද්දෝ අභිමානවත් ජනතාවක්‌ බවයි. ඔවුහු දේශයේ මුල් අයිතිකරුවන් ලෙස සිංහලයන්ගේ ගෞරවයට ප්‍රාත්‍ර වන්නෝය යනුයි. (Wilhelm Geiger - 1914).

මෙම කරුණු අනුව වැදි ජනතාවගේ සැබෑ උප්පත්ති කථාව හෙවත් මූලාරම්භය කෙසේ සිදු වී දැයි විමර්ශනාත්මකව බැලීමක්‌ මෙයින් සිදුකෙරේ.

තම වර්ගයාගේ උප්පත්ති කථාව පොල්ලෙබැද්දේ තලාබණ්‌ඩලාගේ හීන්කයිරලැත්තෝ (වයස අවු. 70 යි, 2008 අගෝස්‌තු 09 වැනි දින ලෝක ආදිවාසී දින පොල්ලේ බැද්දේදීය). පැවසුවේ මෙසේය. "විජය රජ්ජුරුවන්ගෙන් පැවත එන වැද්දන් කියන්නේ අපටයි. විජය රඡ්ජුරුවෝ නිසා කුවේනියට දරුවන් ලැබුණා. රඡ්ජුරුවෝ නිදා ඉන්න වේලාවේ කුවේනි යස්‌සනීට රඡ්ජුරුවන්ව කන්න හිතුවා. ඒ වෙලාවේ විජය රජ්ජුරුවෝ ඇහැ ඇරිලා කඩුවෙන් කෙටුවා. යස්‌සනීව මැරුවා. ඒ වෙලාවේ කුවේනි යස්‌සනීගේ පුතයි දුවයි කැලේට දිව්වා. කැලේ පලවැල කකා මේ දෙන්න ලොකු වුණා. අයියයි නංගියි. ඉතිං අයියා නංගිව භාර්යාව කර ගත්තා. ඒ හින්දා තමයි කියල තියෙන්නෙ රජාටයි වැදැටයි නෑකම් ගැන සැලකිල්ලක්‌ නෑ කියල. ඉතිං ඔය දෙන්නගෙන් පැවත එන වන්නියෑලැත්තෝ කියන්නේ අපි තමා. රජ වංසෙත් වැදි වංසෙත් එකයි කියන්නේ ඒකයි". වැදි ජනයා අතර පවතින මේ ජනප්‍රවාදය මහාවංස ග්‍රන්ථයේ එන විජය කුවේණි කතා පුවත හා බෙහෙවින් සමානය. මහාවංස ප්‍රවෘත්තිය මෙසේය. 'සියලු ඇමැතියෝ රැස්‌ව ඒ කුමාරයාට ස්‌වාමීනිá රාජ්‍යයෙහි අභිෂේක කරවයි කීවාහුය. මෙසේ කියන ලද රජ කුමාර තෙමේ ක්‍ෂත්‍රීය කන්‍යා මෙහෙසියකගේ අභිෂේකයක්‌ නැතියෑයි අභිෂේක නොකැමැති විය. ඉක්‌බිති නැවත ඒ ඇමැතියෝ ස්‌වාමීහුගේ අභිෂේකයෙහි ආදර කරන්නාහු...... ස්‌වාමියා කෙරෙහි භක්‌ති ඇත්තාහු ස්‌වාමී වූ විජය කුමාරයාට පඬිරජ දියණියන් පිණිස ද ඇමැති වර්ගයාට අන්‍යයන්ගේ දුක්‌ පිණිසත් මණි මුක්‌තාදී මහාසාර බොහෝ වූ පණණකාර ගන්වා මධුරාපුරයට දූතයන් යෑවූහ. .......ඒ සියලු මහජන තෙමේ නැවින් අවුත් මහා තීර්ථයෙහි ගොඩ බැස්‌සාහුය. විජය කුමාරයාට දා ඒ යකින්නියගේ පුතෙක්‌ ද, දුවක්‌ ද වූහ. විජය කුමාර තෙමේ රාජ කන්‍යාවගේ ආගමනය අසා යකින්නියන්ට සොඳුර මනුෂ්‍යයෝ නම් අමනුෂ්‍යයන්ට සදාකල්හි ම බාන සුල්ලාහ. එබැවින් දරු දෙදෙනා තබා දැන් යව යි කීය. ඒ අසා යක්‍ෂ බයින් බියපත් වූ ඒ යකින්නට 'තිට දහසකින් බලි දානය කරවමි, ශෝක නොකරව යි කීයේය. බියපත් වූ ඕ තොමෝ නැවත නැවතත් ඔහු ඇයද දරු දෙදෙනා රැගෙන වෙන යායුතු අතක්‌ නැති බැවින් ලංකාපුරයට ම ගියාය. පුතුන් බැහැර හිඳුවා ඕ තෝමෝ නුවරට වන්නීය. ලංකාපුරයෙහි වූ යක්‌කු ඒ යකක්‍ෂනිය හැඳින 'සෙරය' යි සංඥ බියපත් වූවෝ කැලඹුණාහුය. එක්‌ සහාසික යක්‍ෂයෙක්‌ වූ කලී එක්‌ අතුල් පහරකින් ම යකින්නිය මරාදැමීය. ඇයගේ මයිල් යක්‍ෂ තෙමේ නුවරින් නික්‌ම යන්නේ ඒ දරු දෙදෙනා දැක 'තෙපි කවුරුන්ගේ දරුවෝ දැයි' විචාළේය. 'කුවේණියගේ යෑයි අසා' 'මෙහි දී තොපගේ මවු මරන ලද්දීය. මෙහි විසීනම් තොපත් දැක මරනු ලබති. වහා පලායෙත්වා' යි කීයේ ය. ඔවුහු එයින් වහා පලා ගොස්‌ සමන්තකූඨ නම් පර්වතපාදයට ගියාහුය. ඒ දෙටු තෙමේ වැඩිවියට පැමිණියේ නැගෙනියන් සමඟ වාසය කළේය. ඔවුහු දූ පුතුන්ගෙන් වැඩී 'මේ මාගේ දරුවෝ සෙත්වා ඒ යහපති' යි කරන ලද රජහුගේ ආඥවෙන් ඒ කඳුරට ම විසූහ.' මේ වැද්දන්ගේ උත්පත්ති කතාවයි (මහාවංසය - ගෛයිගර් පරිවර්තනය, 68 ගාථාව).

වැද්දන්ගේ ප්‍රභවය ගැන තවත් ජනප්‍රවාදයක්‌ ඇත. විජය රජුගේ බෑණනුවන් වූ පණ්‌ඩුවාසදේව රජු ගේ දිවිදොස්‌ නැසීමට මල රජුගේ පාරම්පාරිකයන් රාහු විසින් එවන ලද බව එහි සඳහන් වේ. ඒ කථා පුවත මෙසේ ය. 'මලය දේශයේ මල රජු ලංකාවට ගෙන ඒමට රාහු කැමැති විය. ඔහු ඌරෙකුගේ වෙස්‌ ගෙන මල රජුගේ උයන පාළු කළේය. ඌ දුනු හී වලින් මරා දැමීම පිණිස රජ මාළිගයට එවන්නට යයි රජතුමා මිනිසුන්ට නියෝග කළේය. එසේ කරන ලදී. එහෙත් රජුගේ විදමනට අසු නොවූ ඌරා දුවන්නට පටන් ගති. පිරිවර සහිත රජු ඌ ලුහු බැන්දේය. මෙසේ මුදු කඳු ඇළ දොළවල් පසු කරගෙන ගොස්‌ හන්තානේ දී කඩුවෙන් ඌරා තුවාල කරන ලදී. ඌ කන්දක්‌ බවට පෙරළුණිය. ශක්‍ර දිව්‍ය රාජයා පෙනී සිට ඔහු ලංකාවට එවීමට හේතුව දැක්‌විය. කොහොඹ යක්‌ නැටුම නටා පණ්‌ඩුවාසදේවගේ රෝගය සුව කොට පිරිවර බොහොමයක්‌ මෙහි නවතා හේ පෙරළා මලය දේශයට ගියේ ය. පණ්‌ඩුවාස රජ ඒ ජනයාට දඩයම් කිරීම පිණිස කැලෑ දුන්නේය. වැද්දෝ ඔවුන්ගෙන් පැවතෙන්නෝ යයි කියති, තුන්වැනි ජනකථාවක සඳහන් පරිදි මෙරට ක්‍රෑර රජෙක්‌ සිය මිනිසුන් කා දැමීම නිසා ඉතිරි වූ මිනිසුන් මේ රජු කැලයට පලවා හරින ලදින් ඒ අය පසුව වැද්දෝ වූහ. (නන්දදේව විජේසේකර - වැද්දන්ගේ විකාශන ක්‍රමය, පිටු 32-33) මහාවංසකථාවට අනුව විජය රජු ඉන්දියාවේ ලාට රට සිංහබාහු රජු හා සිංහසීවලී බිසවගේ පුතා ය. කුවේණිය මෙරට රජ කළ යක්‍ෂ ගෝත්‍රික රජ කෙනෙකුගේ දියණියකි. වැදි ජනතාව ඉහළ ජන්මයක්‌ ඇති ගෝත්‍රයකි. යක්‍ෂ, නාග, දේව, අසුර ආදී ගෝත්‍ර වර්ගයා ප්‍රාග්බෞද්ධ යුගයේ ලංකාවේ වාසය කළ බවට වංසකථාව තොරතුරු හෙළි කරයි. ප්‍රාග්-මානව යුගයේ දඩයම මිනිසාගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයයි. දෙවනපෑතිස්‌ රජතුමා පවා මුව දඩයමේ යෙදුණේ දඩයම විනෝද ක්‍රීඩාවක්‌ වශයෙන් සිදුකළ නිසාය. බෞද්ධාගම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් පසු ප්‍රාණ ඝාතය සිංහලයන් විසින් හෙළා දකින ලදී. එහෙත් බෞද්ධාගම වැළඳ නොගත් වැද්දෝ දිගටම ජීවනෝපාය ලෙස සතුන් දඩයම් කිරීම සිදු කළහ. මේ නිසා බෞද්ධ වූ සිංහලයන් විසින් වැද්දන් පහත් ජීවිකාවක යෙදෙන්නන් ගණයේ ලා සැලකීමක්‌ ද සිදු වේ. මේ නිසා වැද්දන්ගෙන් සිංහලයන් පැවත එතැයි යන්න පැවසීමට සිංහලයෝ මැලි බවක්‌ දක්‌වති. වැද්දන් කෙරේ සිංහලයන් තුළ ඇත්තේ දෙබිඩි පිළිවතකි.

වර්තමාන ජනසංගණන කටයුතුවලදී 'වැද්දන්' ලෙස වර්ග වී ඇත්තේ පාරම්පාරික වැදි සිරිත් විරිත් දිගට ම පවත්වාගෙන එන්නන් පමණි. 1881 ජන සංගණනයේ දී වැද්දන් 2,200 ක්‌ සිටින බව ගණන් ගැණුන අතර එදා රටේ මුළු ජනගහනය 27,00,000 ක්‌ පමණක්‌ වූයේ ය. එහෙත් රටේ මුළු ජනගහනය 1,05,00,000 ක්‌ වූ 1963 වන විට වැද්දන්ගේ සංඛ්‍යාව 400 දක්‌වා පහත වැටී තිබුණි. (මහවැලි වංශය, 2.1985 - කේ. එන්. ඕ. ධර්මදාස - වැදි ජනයා පිටුව, 608-609) දඹානේ වර්තමාන ආදීවාසී වැදි නායක වන්නියලැත්තන් සමඟ සිදු කළ සාකච්ඡාවකින් ලබාගත් තොරතුරු වලට අනුව දඹානේ පවුල් 350 ක්‌ පමණ ද, දළුකානේ පවුල් 35 ක්‌ පමණ ද, පොල්ලේබැද්දේ පවුල් 190 ක්‌ පමණ ද, නිල්ගල පවුල් 60 ක්‌ පමණ ද, ඇති බවත්, මුළු දිවයිනේ ආදිවාසී වරිගේ ඇත්තන්ගේ පවුල් 1500 වඩා නැති බවත් ඔහු ප්‍රකාශ කරයි. (බිනරගම 2008). අපේ ආදිවාසීන් පිළිබඳ අතීතයේ සඳහන් ව ඇති කරුණු අනුව ඔවුන් අතර දෙපිරිසක්‌ සිටි බව පිළිගත හැකි ය. එක්‌ පිරිසක්‌ පිටස්‌තරයන් සමඟ කිසිදු ඇසුරකට මැළි ව හුදෙක්‌ වනචාරී ජීවිතයක්‌ ම ගත කරන අතර අනෙක්‌ පිරිස පිටස්‌තර උදවිය සමඟ සහ සම්බන්ධතා පවත්වමින් ජීවත්වෙති. මොවුහු පිළිවෙළින් 'ගල් වැද්දෝ' සහ 'ගම් වැද්දෝ' යනුවෙන් හඳුන්වා තිබේ. ගල් වැද්දන් විසින් පරිහරණය කරන ලද ගල්ගුහා කිහිපයක්‌ ඒවායේ ඇති චිත්‍ර අනුව අඳුනාගෙන තිබේ. යාල අභය භූමිය තුළ පිහිටා ඇති මුදුන්තලාව ගල්ගේ, නැගෙනහිර පළාතේ මැද ගල්ගේ සහ උතුරු මැද පළාතේ මිල්ලෑව ගල්ගේ මොණරාගල උස්‌සාගල ගල්ගේ යන ස්‌ථානයි. කෙසේ නමුත් අද වන විට ශ්‍රී ලංකාවේ ගල් ගුහාවල පැවැති වැදි චිත්‍ර බොහෝමයක්‌ විනාශයට පත්ව ඇත.

අපේ ආදිවාසී වැදි ජනයා විශේෂ ජන කොට්‌ඨාසයක්‌ ලෙස සැලකීමට බලපා ඇති කරුණු කාරණා කවරේදැයි පැහැදිළි කළ යුතුය. ඉන් පළමු වැන්න මොවුන්ට ප්‍රාග් ඉතිහාසය දක්‌වා ඈතට දිවෙන සංස්‌කෘතික හා මානව ඉතිහාසයක්‌ තිබීමයි. දෙවැන්න නම් මානව විද්‍යානුකූලව ඔවුන් තුළ දැකිය හැකි කායික හා ශාරීරික විශේෂ මානව ලක්‍ෂණයන් ය. සිංහල ජනයාගෙන් වෙනස්‌ වූ මානව ලක්‍ෂණ වැදි ජනයා තුළින් පෙන්නුම් කරනබව ගවේෂණයන් ගෙන් ඔප්පු වී ඇත. (පණ්‌ඩුල ඇඳගම, 2003,) (ආචාර්ය ශිරාන් දැරණියගල, ප්‍රාග් ඓතිහාසික සබරගමුව( පිටු 148-234). වැදි ජනයා තුළ 'නිග්‍රෝ' හා 'ඔස්‌ට්‍රොaලොයිඩ්' මානව ලක්‍ෂණ ඇති බව හෙළි වී ඇත. ඔවුන්ගේ රුධිර පරීක්‍ෂණයේදී ඔවුන් වෙනත් රුධිර ගණයකට අයත් බව ද ප්‍රත්‍යක්‍ෂ වී ඇත. තෙවැන්න වන්නේ ඔවුනට ම ආවේනික වූ භාෂාවක්‌ හා සිරිත්විරිත් ඇතුළත් වූ විශේෂ සංස්‌කෘතියක්‌ තිබීමයි. ලේඛනයකින් තොරව ඔවුන්ගේ සියලු සංනිවේදන අවශ්‍යතා ඉටුකර ගැනීමට එම භාෂාව මඟින් හැකි වී තිබේ. ඇතැම් වැදි ජනයා එක්‌ දහස්‌ නවසිය හතළිස්‌ ගණන් වන තෙක්‌ ම ගල් ගුහාවන් හි විසූ බව දොස්‌තර ස්‌පිට්‌ල් මහතා සඳහන් කර තිබේ. (R. L. Spittell - Wild Ceylon 1925). (මැකීගිය දඩමං, 1963 පිටුව, 291).

ඔවුන්ගේ විශාල ගල් ගෙයක පවුල් ජීවිත ඉතා සාර්ථක ලෙස ගතකළ බව ඔවුන් පිළිබඳ කරුණු සෙවූවන්ට පැහැදිලි වූ එක්‌ වැදගත් කරුණකි. වැදි ස්‌වාමිපුරුෂයා හා භාර්යාව අතර පති පතිනි වෘත ආරක්‍ෂාව ඉතා හොඳින් සිදු වූ බව නිරීක්‍ෂකයන් ඉමහත් ප්‍රසාදයෙන් වාර්තා කොට තිබේ. මේ අතර ඔවුන් දරුවන් කෙරෙහි දක්‌වන සෙනෙහස ද නිරීක්‍ෂකයන්ගේ සැළකිල්ලට භාජන වූ තවත් වැදගත් කරුණකි. දරුවකු ඉල්ලූ දෙයක්‌ නිතර ම ඔහුට ලැබුණි. හැමවිට ම දරුවන්ට තමාගේ ශක්‌ති ප්‍රමාණයෙන් හොඳම ආහාර සපයා දීමට වැදි දෙමාපියෝ උනන්දු වූහ. මේ අයුරින් වැදි පවුල ඉතා උතුම් ගුණාංග අනුව හැඩගැසුනක්‌ බව පැහැදිළිය. විශාල ගල් ගෙයක විසූ වැදි පවුල් අතර සමාජ ජීවිතය ද ඉතා ආචාර සම්පන්න ආකාරයෙන් පවත්වා ගෙන එන ලදී. එක්‌ එක්‌ පවුල තමාට නියමිත බිම් කොටසින් ඔබ්බට නොයැමට විශේෂයෙන් පරිස්‌සම් වූහ. ආහාර සම්පාදනයේ දී හා බුක්‌ති විඳීමෙහි දී පොදු බව ම ක්‍රියාත්මක විය. ආහාර සෙවීම ඉතා වැර වීරියෙන් කළ යුත්තක්‌ වූ නමුත් කිසි විටෙකත් එසේ සොයා ගත් ආහාර පෞද්ගලිකව භුක්‌ති වින්ද යුතු සේ නොසැලකිණි, ගල්ගෙයි වෙසෙන්නන්ට අයත් ආයුධ ද එකිනෙකා ළඟ වෙන වෙනම තබා ගැනුනේ නැත. ඒ සියල්ල පොදු 'ආයුධ ගබඩා' ස්‌ථානයක තැන්පත් විය. ආහාර සෙවීමේදී පුරුෂයන් දඩයමේ යැමත් 'කදාර්නිගේ දියතන' (මී පැණි) සෙවීමත් කළ අතර ස්‌ත්‍රීහු 'කොබ්බි' (කැලෑ අල) සෙවීමේ යෙදුනාහ. ආහාර පිස ගත්තේ ගින්නෙන් පිළිස්‌සීමෙන් හෝ වළඳක ලා තැම්බීම මගිනි. 'කන්කුණාගේ මච්කන' 'කබරාගේ වච් කන' (ගෝණ මස්‌ හා මුව මස්‌) කල් තබා ගැනීම සඳහා ගලක්‌ මත තබා අව්වේ වේලාගෙන ළිපට උඩින් දුම් ගැසෙන ලෙස එල්ලා තබන ලදී. ආහාර සෙවීම පිණිස වනයේ ඈතට යන විට හෝ අලුත් මසක්‌ නොලද විට දී හෝ ආහාරයට ගනු ලැබුවේ මේ 'වේලි මාළු'ය. මස්‌ කල් තබා ගැනීමේ තවත් ක්‍රමයක්‌ වූයේ සුදුසු ගස්‌ බෙනයක්‌ සකස්‌ කොට එහි මී පැණි පුරවා ඊට මස්‌ දමා එම සිදුර මැටියෙන් මනාසේ වසා තිබීමයි, මේ අයුරින් මස්‌ බොහෝ කාලයක්‌ ආරක්‍ෂාවීම ද රසයෙන් ගුණයෙන් අධික වීම ද සිදු වූ බවට සැකයක්‌ නැත. වනයෙන් ලැබිය හැකි ආහාර හිඟ වර්තමාන අවධියෙහි වැදි ජනයාගේ ආහාරය වන්නේ බත් සහ හේන් වගාවන්ගෙන් ලැබෙන මඤ්ෙÆක්‌කා, ඉරිගු, මෙනේරි වැනි දේය.

අතීතයේ දී වැදී දරු උපත් ගල් ගෙයිදීම සිදුවිය. දරුවන් ඇති අම්මලා ගැබිනි මවට උපකාර කළෝය. පෙකණි වැල කපන ලද්දේ ඊතලයකිනි. කැපූ තැන සුව වීමට අළු තබා රෙදි කඩකින් බඳින ලදී, සිංහල ජනයා අතර මෙන් උපත, කාන්තාවන් වැඩිවියට පැමිණීම හා මරණය යන සිද්ධීන් සම්බන්ධව 'කිළි' අදහසක්‌ පැරණි වැද්දන් අතර තිබුණේ නැත. එහෙයින් දරුවන් ලැබූ අම්මලා වෙන් කොට තැබුමක්‌ නොවීය. දරුවෙකුට නම් තැබීම උපත සිදු වී මාසයක්‌ පමණ කාලය තුළදී සිදුවිය. එහෙත් දරුවා පිරිමියෙකු නම් 'ගොරකා' යනුවෙන් ද, ගැහැනියක නම් 'ගොරකි' යනුවෙන් ද හැඳින්විණි. නම් තැබූ පසුද වයස හතර පමණ වන තෙක්‌ තබන ලද නමින් ඇමතීමක්‌ සිදු නොවීය. මේ අවධියේදී පිරිමි දරුවෙකු නම් 'තුටා' යනුවෙන් ද, ගැහැනු දරුවෙකු නම් 'තුටී' යනුවෙන් ද අමතන ලදී. බොහෝ කොට යොදුණු පිරිමි නම වූයේ පොරමොලා, සුල්ලියා, කරකොළයා, ගොඹිරා, ගොඹිල, මිල්ලෑව, කයිරා, වන්නකු ආදියයි. සුලභ ගැහැණු නම් වූයේ යුදී. සුවදී, පිංචි, කළු, කබලී. සෙල්ලි, කලති, කඹඩී ආදී නම්ය. එහෙත් වර්තමානය වන විට සිංහල හා ද්‍රවිඩ නම් වලට සමාන නාමයන් තැබීමට හුරු වී ඇත. වැද්දෙකු මළ විට එය එම ගල්ගෙයි ම වියළි කොළ වලින් වසා ඈත ගල්ගේකට යැම අතීත සිරිත විය. යළිත් එම ගල්ගේ පාවිච්චියට ගැණුනේ නම් ඒ වර්ෂ ගණනාවකට පසුවය. බට දොඹ ලෙන, පාහියංගල, රාවණ ඇල්ල, බෙලිගල්ගේ කැණීම් වලින් සොයාගෙන ඇති මානව සාධක මෙයට සාක්‍ෂි සපයයි. මරණයක්‌ සිදු වූ පසු 'නෑ යකුන්' සඳහා වතාවත් සිදු කිරීම එදා මෙන්ම අදත් සිදුකරයි, එහිදී සාමාන්‍ය ආහාර වේලක්‌ 'අඩුක්‌කු' පිළියෙල කර 'නෑ යකුන්ට' පුද දෙනු ලැබේ. වැදි ජනාවාසයක නෑ යකුන් සඳහා ඇරුණු දෙවොලකි. මෙය මැස්‌සක්‌ සහිතව සාදන ලද පැල්පතකි. මැස්‌ස මත, පැදුරක්‌, මල්ලක්‌, කැක්‌තක්‌, මුට්‌ටියක්‌, මාලයක්‌ ආදිය තබා ඇත. නෑ යකුන්ගේ ප්‍රධානියා 'කන්දේ යකාය' ඔහුගේ මල්ලී 'බිළිදි යකා'ය ස්‌ත්‍රී පක්‍ෂයෙන් 'කුවේණි යක්‍ෂණී' හෙවත් 'මහ ලොකු කිරි අම්මිලැත්තී' හා උනාපාන කිරි අම්මිලැත්තී දඹානේ ආදිවාසීන්ගේ ප්‍රධාන යක්‍ෂණියන් වන අතර පොල්ලේ බැද්ද හා රතුගල ආදිවාසීන් 'ඉදිගොල්ලේ යක්‍ෂණී' හෙවත් 'ඉදි ගොල්ලේ කිරි අම්මා' අදහනු ලබයි. කිසිවෙකු මළ කල්හි නෑ යකුන් අතරට යන බව ඔවුන් ගේ විශ්වාසයයි. වැදි ජනතාව අතර පුද පූජාවන්ට භාජන වන දොළොස්‌ කට්‌ටුවක්‌ යක්‍ෂයන්ට අමතරව හතළිස්‌ කට්‌ටුවක්‌ යක්‍ෂ, යක්‍ෂණී හා දේවතා පිරිවර සිටී.

වැදි ජනතාවගේ ආගමික වතාවත් අතර ඉතා ප්‍රසිද්ධ වන්නේ 'කිරි කොරහ' යාගයයි. නැතහොත් කිරි කොරෙස්‌ පොඡ්ජ ඔටා දැමීමයි. සාමාන්‍යයෙන් වසරකට වරක්‌වත් එය පැවැත්වීම ඔවුන්ගේ සිරිතයි. ලෙඩ දුක්‌ වැනි ආපදා අවස්‌ථාවලදී මෙන්ම සතුන් දඩයමට නොලැබෙන අවස්‌ථාවලදී කිරි කොරහ යාගය පැවැත්වීමෙන් නෑ යකුන් සතුටු වී අපල උපද්‍රව වැළකී දඩයමට සතුන් හමුවන බව ඔවුන්ගේ විශ්වාසයයි. රාත්‍රියක්‌ පුරා පැවැත්වෙන කිරි කොරහ යාගය සිදුකරන්නේ තුන් දෙබලයක්‌ මත තබන ලද කොරහකට පොල්ගෙඩි කිහිපයක කිරි මිරිකා එයට සුවඳ දුම් අල්ලා ඇදුරුහුරලැත්තන් විසින් යාතිකා කොට කිරි කොරහ වටා කණ්‌ඩායමක්‌ නැටීමයි. රැයක්‌ පුරා පැවැත්වෙන යාගය උදය වරුවේ අවසන් වේ. කිරි කොරහේ කිරි වලක්‌ හාරා වලට දමනු ලැබේ. පුරාණ නෑයන්ට පිදූ ශුද්ධ වස්‌තුවක්‌ වන එය ඉඳුල් නොවීමට වග බලා ගැනීම මෙහි පරමාර්ථයයි. කොරහ ගවයන් සිටින කාන්තාවකට දෙනු ලැබේ.

ලාංකික වැද්දන් ගැන කරුණු සෙවූ සෙලිග්මාන්ගේ මතය අනුව වැදි භාෂාවේ ඇතැම් වචන සිංහල භාෂාව හා සම්බන්ධයක්‌ නැති ඉන්දු ආර්ය භාෂාවක ආභාෂයෙන් ආ ඒවා බවයි. දොළොස්‌ වන ශත වර්ෂයේ දී පවා වැද්දන් බලවත් ජන කොටසක්‌ බවට පත්ව සිටි බව මහාවංසය සඳහන් කරයි. එකල පළමුවන පරාක්‍රමබාහු රජුගේ යුද කාර්යයේදී වැදි සේනාවගේ සහාය ලබාගෙන ඇත. ඉන් පසු දාහත්වැනි ශත වර්ෂයේදී දෙවැනි රාජසිංහ රජතුමා යුද කටයුතුවලදී වැදි සේනාවන්ගේ සහාය ලබාගත් බව රොබට්‌ නොක්‌ස්‌ පවා සඳහන් කර ඇත. රොබට්‌ නොක්‌ස්‌ විසින් ලියන ලද "එදා හෙළ දිව" නමැති ග්‍රන්ථයෙහි වැද්දන් පිළිබඳ දීර්ඝ විස්‌තරයක්‌ සඳහන් කොට ඇත. "මේ ජාතිය වූ කලී, වනචාරී මනුෂ්‍යයෝ ය, ශීලාචාර මනුෂ්‍යයෝ යෑයි දෙකොටසකට බෙදෙති. මේ දෙකොටස අතුරින් මා වාසය කෙළේ පසුව කී ශීලාචාර කොටස සමඟ ය. වනචාරී මනුෂ්‍යයෝ වනාහි වනයේ වාසය කරන සිවුපා සතුන් මෙන් ම වනචර ය. බිම් තැන්න නම් ප්‍රදේශ වූවන්ගෙන් ආකීර්න මහ කැලෑවෙන් වැසුණේ ය. පූර්වෝක්‌ත වනචාරී මනුෂ්‍යයෝ කැලෑවල වාසය කරති. ඔවුන්ගේ නාමය "වැද්දෝ" ය. වැද්දන් වෙසෙන වනගත ප්‍රදේශාසන්නයේ සෙසු කිසිවෙක්‌ වාසය නොකරති. සිංහල භාෂාව කථා කරන ඔව්හු මුවන් මරා ගින්නේ ලා මස්‌ වියළා ගනිති. ගම් වැසියෝ එම මස්‌ මිල දී ගනිති. මේ වැද්දෝ කිසි විටෙක ගොවිතැන් නොකරන්නාහු දඩයමෙන් ම දිවි පෙවෙත රකිති. දුන්න අරඹා විදීමෙහි දක්‍ෂයන් වූ ඔව්හුá මී වද කඩා ගැනීමට රුක්‌ බෙණ සිදුරු කිරීම සඳහා කෙටි කෙටේරියක්‌ පසෙක එල්ලා ගෙන සිටිති. මොවුන් හට නිවාස නැත. ගම් නැත. ජලාශ අසල හා ගස්‌යට වාසය කරති. සිව්පා සතෙකු ඔවුන්ගේ තුරු අසලින් පැමිණෙන විට ඒ බව ශබ්දයෙන් දැන ගැනීමට පුළුවන් වන පරිද්දෙන් ඔව්හු ගස්‌ යට වියළි කොළ අතු බහා තබති. (රොබට්‌ නොක්‌ස්‌)

කන්ද උඩරට රාජ්‍යයේ ඈත පළාත් වල, රට වැසියන් හා නිතර ගනුදෙනු කරන ගම් වැද්දනැයි. කියනු ලබන මදක්‌ ශීලාචාර වූ වැදි විශේෂයක්‌ වාසය කරති. එක්‌ වරක්‌ ලන්දේසීන් හට විරුද්ධව රාජසිංහ රජු සංග්‍රාමයක්‌ මෙහෙය වූ අවස්‌ථාවේ දී එක්‌ දිසාපති කෙනෙකු ගෙන ආ සේනාපයින්ඩයක්‌ වැදි සෙනඟකින් සමන්විත වූයේ ය. ඔව්හු, දුනු හී සරඹයෙහි පුහුණු වූ සෙබළුන් මෙන් ඉතා දක්‍ෂ ලෙස සටන් කළෝය. එහෙත් එම සටන දිනා පණ බේරාගෙන පෙරළා පැමිණි ගම් වැද්දෝ, නැවත වරක්‌ යුද්ධ හමුදාවේ සටන් කරන්නට යන්නට සිදු වේදෝ හෝයි භයින් මෙන්, එම පෙදෙස්‌ අත්හැර යළිත් මුලාදැනීන්ගේ ඇස්‌ මූ නොවන පරිද්දෙන් මහ කැලෑ ඇතුළින් ඇතුළට ගමන් කොට වාසය කරන්නට පටන් ගත්හ. ගම් වැද්දෝ හිසකේ නො කපති. හිස මුදුනේ කොණ්‌ඩය බඳිති. ඔවුන් අඳනා වස්‌ත්‍රය දිග හෝ පළල හෝ නැත. යන්තම් කටී ප්‍රදේශය ආවරණය වන තරම්ය. වනචාරී සෙසු ගම් වැද්දෝ සියලු දෙනා ම පාහේ ආගම අදහති. ඔවුන්ට ම නියම වූ හෙවත් වෙන් වූ දෙවි කෙනෙක්‌ ඇත. ශීලාචාර වූ ගම් වැද්දන් ආගම ඇදහීමට විහාරස්‌ථාන ගොඩනංවන අතර තවත් සමහරු ගස්‌ යට පුද පූජා පවත්වන්නාහ. එක්‌ පිරිසක්‌ මෙසේ පුද පූජා පවත්වන අතර ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂය ම එකතු වී ගස්‌ වටා නටන්නෝය. ගම් වැද්දෝ වනාන්තරය ද කොට්‌ඨාස වශයෙන් බෙදා සීමා ඉදිකරගෙන ඇත්තාහ. එක්‌ රංචුවකට අයත් වූ වන සීමාව ඇතුළත දඩයම් කරන්නට හෝ, මී කඩන්නට හෝ පල නෙලන්නට සෙසු කිසිවෙකුට අවසරයක්‌ නැත්තේ ය. මෙම වන සීමා වලට සැලකුණක්‌ වන පරිද්දෙන්, වැද්දෝ, මායිමේ කොස්‌ ගසක්‌ සිටුවති, එක්‌ කොටසකට අයත් වැද්දෙකු මෙම කොස්‌ ගසින් ගෙඩියක කඩනු යාබද කොටසෙහි වැද්දෙකු දුටුවහොත්, තමාට එහි කොස්‌ කඩන්නට අවසර නැතිබව පළමු වැද්දා දෙවැනි වැද්දාට කියන්නේ ය. එවිට අනෙකා, තමාට එහි කොස්‌ කඩන්නට පුළුවන් බව කියන්නේ ය. මෙයින් ඇතිවනුයේ බහින් බස්‌ වීමකි, එහි ප්‍රතිඵලය වනුයේ හීතල මාරුවකි. ඊට පසු ඇතිවන කලිකලහය අවසන් වන්නේ වැද්දන් විසි තිස්‌ දෙනෙකු හී වැද සිදුරු වී මිය ගිය පසු ය. ඉතා තියුණු ලෙසට හී තල තනවා ගැනීමට වැද්දෝ කැමැත්තෝ ය. වැද්දන් හට කොතරම් හොඳින් හී තළ තළා ගත යුතූ වන්නේ ද යත්? ඒ අතින් ඔවුන් තෘප්තියට පත් කිරීමට දක්‍ෂතම ආචාරියා පවා අසමත් වන්නේය. එක්‌ කලෙක වැද්දන් විසින් රජතුමාට කරන ලද උසස්‌ වූ සේවයක්‌ සම්බන්ධයෙන් පරිත්‍යාගයක්‌ කරනු කැමති රජතුමා ඔවුන් හට ඉතා හොඳින් තළන ලද හීතල වගයක්‌ දුන්නේ ය. එහෙත් එම හීතල වලින් තෘප්තියට පත් වන්නට වැද්දන් හට නුපුළුවන් විය. එම හී තළ රැගත් වැක්‌දෝ ගඟ අද්දර ගල් පර්වතයකට ගොස්‌ ඒවා ඊට වෙනස්‌ වන ලෙස තළා ගත්තෝ ය. මෙම වැදි ජනයා පාවිච්චි කරන හීතල සාමාන්‍ය ජනයා පාවිච්චි කරන හීතල වලට වඩා වෙනස්‌ ය. මස්‌ ආරක්‍ෂා කොට තබා ගැනීමේ එක්‌ විශේෂ ක්‍රමයක්‌ මේ වැද්දන්හට ඇත්තේ ය. පළමු කොට ඔරුවක කොටන ඔව්හු එහි මී පැණි මත මස්‌ පුරවා, පියන් පතක්‌ තබා ඇණ ගසා, ආහාර අහේනියේ දී පරිභෝජනය සඳහා ආරක්‍ෂා කර තබති.

ශීලාචාර වැද්දන් හැටියට සම්මත වූ වැද්දෝ ඔවුන් ගේ දෝනියෑන් දැ වරුන් දීගයේ දෙන කල්හි දායාද වශයෙන් බෑණාට දඩයම් බල්ලෙකු ප්‍රදානය කරති. ගෘහ විවාහ ආදිය හේතු කොටගෙන තම රට හා ඥති මිත්‍රයන් අත් හැර නන්නත්තාරේ යන සිංහල මිනිසුන් මෙම වැදි ජනපදවලට ගිය කල්හි, එව්හු එම ශීලාචාර වැදි සමාජයට ඇතුළත් කරගනු ලැබෙති. මෙම වැද්දන් මට දක්‌නට ලැබී නැත. (1696 දී ලියන ලද රොබට්‌ නොක්‌ස්‌ ගේ An Historical Relation of the Island of Ceylon (ලංකාද්වීපය පිළිබඳ ඓතිහාසික විස්‌තරය) නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය "එදා හෙළ දිව" ඩේවිඩ් කරුණාරත්න - පිටුව, 196-200) වැද්දන්ගේ සම්භවය හා විකාශනය පිළිබඳ මෙවැනි අදහසක්‌ ආචාර්ය නන්දදේව විෙ-සේකර ප්‍රකාශ කරයි." වැද්දන්ගේ මුල් මුතුන් මිත්තෝ විජය රජු නිසා කුවේණියට දාව ලැබුණු දුව හා පුතා යෑයි සලකනු ලැබෙත්. නමුත් නියම වශයෙන් වැද්දෝ අවුස්‌ත්‍රේලීය, මධ්‍යධරණීය හා නීග්‍රිටෝ වාර්ගිකයන්ගේ ද යක්‍ෂයන් හා නාගයන්ගේ ද සම්මිශ්‍රණය ලැබුවෝ ය. උතුරු ඉන්දීය මනුෂ්‍ය වර්ගයා අභිනව නම් ගෙන වෙනම සමාජ කොටස්‌ හැටියට ජීවත් වූ අතර වැද්දෝ ම්ලේච්ඡ වර්ගයක්‌ වශයෙන් මෙරට නිසරු පළාත්වල ඇබ්බැහි වූහ. මොවුහු අද වනතුරු සිටිති. එහෙත් ඔවුන් ගෙන් බොහෝ දෙනා සිංහල හා ද්‍රවිඩ ජන සමාජයට ශීඝ්‍රයෙන් එක්‌වන්නාහ". (වැද්දන්ගේ විකාශන ක්‍රමය - නන්දදේව විෙ-සේකර පිටුව, 17)

විජයාගමනයත්, ඉන් අනතුරුව සිංහල ජනපද පිහිටුවනු ලැබීමත්, නිසා උතුරු දිග තැනිතලාවේ හා ගිණිකොණ දිග තැනිතලාවේ සිංහල ජනාවාස ව්‍යාප්ත වන්නට පටන් ගැනුණි. මෙම අවස්‌ථාවේ දී වැදි ජනයාගෙන් ඇතමෙකු නව ශිෂ්ටාචාරය හා සම්බන්ධ වී ඇති බවට සාධක තිබේ. ක්‍රි. පූර්ව දෙවන සියවසට අයත් සෙල්ලිපි දෙකක එන "මිලක තිශ" සහ "මිලක පුශගුත" යන පුද්ගල නාම ගැන විස්‌තරයක්‌ සපයන මහාචාර්ය පරණවිතාන සූරීහු එම පුද්ගල නාම මුලින් ඇති "මිලක" යන්න විරුදය නාමයක්‌ විය හැකි බවත්, එය පාලි "මිලක්‌ඛ" (සංස්‌කෘත-ම්ලේච්ඡ) යන්නෙන් බිඳුනක්‌ විය හැකි බවත්, සඳහන් කරති. ඒ එසේ නම් ඉන් අදහස්‌ වන්නේ දිවයිනේ ප්‍රාථමික වැදි ජනතාව බවත්, ඔවුන් අතුරින් ඇතමෙකු නව ශිෂ්ටාචාරය වැළඳගත්තා පමණක්‌ නොව එම සමාජයේ ඉහළ තැන් වෙත පත්වුණු අයුරු ද ඉන් හෙළිවන බවත්, පරණවිතාන සූරීහු අදහස්‌ කරති. (S. Paranavitana Inscriptions of Ceylon Vol. 1:
Colombo. 1970; pp.xci-xcii). දහ අටවන ශත වර්ෂයේදීත් වැද්දන් මධ්‍යම කඳුකරයේ මෙන්ම ඌව පළාතේ ද බලවත් ව සිටි බව වර්ෂ 1818 උඩරට කැරැල්ලට සම්බන්ධවීමෙන් පවා පෙනේ.

වැද්දන්ගේ, පැරණි වාසභූමිය, වූයේ තන්තිරිමලේ, වන්නිහැලඹෑව, කටුකැලියාව. තිඹිරිවැව, රොටවැව, පුස්‌දිවුල් වැව, පොළොන්නරුව, අනුරාධපුර ප්‍රදේශ ඇතුළත් උතුරු මැද පළාත වේ. වර්තමානයේ වැදි ජනයා ජීවත්වන්නේ, මහියංගනය, සොරබොර, දඹාන, කොටබකිනිය, මහඔය, පොල්ලේබැද්ද, හේනේබැද්ද, සීතලවන්නිය. නුවරගල, හෙන්නානිගල, අත්බැද්දගල, රතුගල, නිල්ගල, දානිගල, දිඹුලාගල, බිංගොඩ, යක්‌කුරේ ප්‍රදේශ ඇතුළත් ඌව හා නැගෙනහිර පළාත් වල පමණි. වන්නිය හෙවත් මහවැදිරට ලෙස වර්තමානයේ මෙම ප්‍රදේශ හැඳින්වෙයි.

එසේ වුවද, සැබෑ වැදිරට හෙවත් මහ වන්නිය සබරගමුවයි. වන්නියලැත්තන් හෙවත් වැද්දන් යනුවෙන් හැඳින්වූයේ සබරගමුවේ ආදිවාසී වූ සබරුන් ය. මහ බින්තැන්න යනුවෙන් හැඳින්වූයේ මහියංගන බින්තැන්න නොව සබරගමු මහ බින්තැන්න වෙයි. මහපෑලස්‌ස, බෙල්ලන්බැඳිපෑලැස්‌ස, බඹරපෑලැස්‌ස, කහකුරුල්ලන්පෑලැස්‌ස, සීනුග්ගල, කලවැල්ගල, වැද්දාගල, කුකුලේගල, පොකුනුතැන්න ප්‍රදේශ අයත් වලව මධ්‍ය මිටියාවත වෙයි. ඌව, සබරගමුව, දකුණු පළාත් වලට අයත් දොරවක කන්ද, පාහියංගල, බටදොඹලෙන, බටතොට ලෙන, උඩුපියන් ගලගේ, අළුගල්ගේ, ලුණුගලගේ, රාවණ ඇල්ල, ආදී වශයෙන් දැනට ප්‍රාග් ඓතිහාසික මානව තොරතුරු එළිමහන් ප්‍රදේශවලත් මෙන්ම ගල්ලෙන්වලත් සොයා ගෙන තිබේ. එම ස්‌ථානවල ජීවත් වූ ප්‍රාථමික මානවයා අපේ ආදිවාසී සබරුන් හෙවත් පුලින්දයන් බව පැහැදිලි කරුණකි. මේ අනුව ඌව බින්තැන්න ප්‍රදේශවල දැනට වාසය කරන්නේ වැද්දන් හෙවත් වන්නියලැත්තන් ය. එහෙත් සබරගමු බින්තැන්නේ වාසය කර ඇත්තේ සබරුන් හෙවත් පුලින්දයන් ය. වැද්දන් හා සබරුන් යනු එකම ගෝත්‍රික පිරිසකින් බෙදී ගිය කොටසක්‌ නොවේ.

දැනට ශ්‍රී ලංකාවේ ප්‍රාග් මානව ඓතිහාසික ස්‌ථාන 108 ක්‌ සොයා ගෙන ඇත (ශිරාන් දැරණියගල, 1991 පිටුව(8) ප්‍රාග් ඓතිහාසික යුගයන්ට හෝ මූල ඓතිහාසික යුගයට අයත් යෑයි අනුමාන කරන වැදි චිත්‍ර ඇති ස්‌ථාන 35 ක්‌ දැනට සොයාගෙන ඇත. (බිනරගම, 2008) ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානව සාධක සොයාගෙන ඇති ස්‌ථාන අතරින් වැඩි තොරතුරු ප්‍රමාණයක්‌ සොයාගෙන ඇත්තේ තෙත් කලාපයෙනි. (ඇඳගම, 2003) එයිනුත් සබරගමු පළාතේ ගල්ලෙන් සුවිශේෂ වන අතර එලිමහන් ප්‍රදේශ ද, ඇත. මෙයින් පැහැදිළි වන්නේ වැද්දන්ගේ මුල් වාසභූමිය සබරගමු කඳු කලාපය බවයි.

සිංහල රජවරු අපේ පරපුරේ ඇත්තන්ගේ ජීවන රටාව හොඳින් හඳුනාගෙන තිබුණා. ඒ නිසා අපේ සංස්‌කෘතිය හා ජීවන රටාව පවත්වාගෙන යැම සඳහා මහ වැදිරට නමින් වනාන්තර ප්‍රදේශයක්‌ වෙන්කර දී තිබුණා. බින්තැන්න නමින් හැඳින් වුණෙත් එම කලාපයයි. යුරෝපීය පාලන කාලයේදී පවා කැළෑ පෝ-ජට සුදු හූරල අත තිබ්බේ නැහැ. සංවර්ධනය සඳහා කැළෑ එළි පෙහෙළි කළේ නැහැ. ආදිවාසී පරපුරට කැළෑවේ නිදහසේ ඉන්න ඉඩ දී තිබුණා. මේ නිදහස තිබුණේ 1931 වන තුරු පමණයි. වැදි නායකයන්ට තිබූ බලතල ප්‍රථම වරට අහිමි වී ගියේ 1951 දී මහ වැදි රටේ ආදිවාසී නායකයන්ට ගමරාළ තනතුරු පිරිනැමීමෙන් පසුවයි. 1952 දී ගමරාළ තනතුරු අවලංගු කළා. ඉන් පසුව ගම්මුලාදැනි ක්‍රමය රටේ ක්‍රියාත්මක වන්නට ගත් පසු වැදි නායකයන්ට ආණ්‌ඩුව තුළ බලතල අහිමි වී ගියා. රජයේ නිලධාරීන් 1947 සිට අපේ බිම් පෙදෙසට පැමිණීමෙන් අධ්‍යාපනයත්, සංවර්ධනයත් ලබා දෙන්නට යෑයි කියමින් කැළෑව කපා ගොඩනැඟිලි ඉදි කළා. අපේ ජීවන රටාව වෙනස්‌ වෙමින් සිත් පො-ජ අවුල් වන්නට පටන් ගත්තේ එතැන් සිටයි. මගේ පියා වන ඌරුවරිගේ තිසාහාමි ඒ කාලයේ සිටි ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට කැළේ වැනසීම පිළිබඳ විරුද්ධත්වය පළ කළත් ඵලක්‌ වුණේ නැහැ. ඔවුන් අපේ ඇත්තන්ට කියා ඇත්තේ හැකි තරම් කැළෑව කපා හේන් ගොවිතැන් කරන ලෙසයි. ඒ අනුව මහවැදිරටේ වැඩි කොටසක්‌ මුඩුබිම් බවට පත් වුණා. සොබා දහම සමඟ ජීවත් වූ අපේ ඇත්තන් බොහෝ දෙනෙක්‌ නුහුරු පැවැත්මකට ඇදවැටී ජනපදවලට කොටු කළා. අද මීයක්‌ කඩා ගන්න පවා කැළෑ පොජ්ජට මංගච්චන්න අපේ ඇත්තලන්ට තහංචි දාලා. (ආදිවාසී ඌරුවරිගේ වන්නියලැත්තෝ)

ලී ආයුධ. සත්ව ඇට ආයුධ, ගල් ආයුධ, මැටි මෙවලම්, ලෙන් වාසස්‌ථාන හා ප්‍රාථමික නිවාස, අහරට ගන්නා දිය ගොඩ සතුන්, කෘමීන්, බෙල්ලන්, පක්‍ෂීන්, ශාක කොටස්‌, (අල. මුල්. කොළ. පොතු, දළු, ගෙඩි, ඇට, මද, කිරි) ඇඳුම්, අභිචාර විධි, රූ සටහන්, ශාන්ති කර්ම, ප්‍රජනනය හා වර්ගයා බෝ කිරීම, ශාරීරික සමානතා, පරිසර සබඳතා, සම අසමතා පෙන්වාදීම තුළින් දේශයට ම සුවිශේෂ වූ බළන්ගොඩ මානවයාගෙන් පැවත එන උරුම සම්බන්ධතාවක්‌ වැදි ජනතාවට ඇති අතර වැදි ජනතාව නොකඩවා පරවේනී සංතතිව සිය උරුම අනන්‍යතාවය රැක ගැනීමට හැකි වූයේ වැද්දන් බුදු දහම වැළඳ නොගැනීමත්, අධ්‍යාපනය නොලැබීමත්, සමාජානුයෝජනයට හසුවීමට දැක්‌වූ අකමැත්තත්, ලේඛනයකින් තොරව වාචික භාෂාවක්‌ පමණක්‌ උපයෝගි කර ගනිමින් සිය අදහස්‌ හුවමාරු කරගෙන දේශයේ වෙන් වූ වෙනම ගෝත්‍රික කණ්‌ඩායමක්‌ ලෙස මේ දක්‌වා සිය අනන්‍යතාව ආරක්‍ෂා කරගෙන සරල ජීවන රටාවක්‌ ගත කරන නිසා බව පැහැදිළිය.

ආශ්‍රිත මූලාශ්‍ර ග්‍රන්ථ

1. ඊ. ඇම්. රත්නපාල 'ලංකාවේ වැද්දෝ' - කරඳන - (1978), 2. චාල්ස්‌ ගොඩකුඹුර 'කොහොඹාකන්කාරිය' - කොළඹ - (1963), 3. ඩී. පී. වික්‍රමසිංහ 'මඟ දිගට ජනකතා' කොළඹ - (2002), 4. සුගතපාල ද සිල්වා 'දඹානේ වැදිබස්‌ - ගම්පහ (1964), 5. එච්. ඩී. ඇස්‌. අභයරත්න 'මහාවංශය (සිංහල පරිවර්තනය) - කොළඹ (1922), 6. මකුළුදූවේ පියරතන හිමි 'එළු අත්තනගලුවංසය' (සංස්‌කරණය) - (1955), 7. ආර්. ඇල්, ස්‌පිට්‌ල් 'මැකී ගිය දඩමං' - මහරගම (1963), 8. එච්. ඒ. පී. අභයවර්ධන 'කඩඉම් පොත් විමර්ශනය' - (1978), 9. ගයානි දීපිකා මද්දුමාගේ 'සබරගමු පහන්මඩුයාගය' - කොළඹ (2004), 10. රාජකීය පණ්‌ඩිත බැද්දේගම විමලවංස හිමි 'අපේ සංස්‌කෘතික උරුමය' - (2008), 11. විද්වත් මණ්‌ඩලයක්‌ මගින් සම්පාදිත 'මහවැලි වංශය ෂ හා ෂෂ කාණ්‌ඩය - (1984/1985), 12. ශිරාන් දැරණියගල 'ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය' පුරා විද්‍යා ග්‍රන්ථ මාලා ෂ - (1991), 13. අබේ රත්නායක 'සමාජ විද්‍යා මානව විද්‍යා න්‍යාය' - මහනුවර - (1991), 14. රොබට්‌ නොක්‌ස්‌ 'එදා හෙළදිව' (පරිවර්තක - ඩේවිඩ් කරුණාරත්න) කොළඹ (2005), 15. දයානන්ද සෝමසුන්දර (සංස්‌කරණය) 'ශ්‍රී ලංකාවේ ආදිවාසීන්' - (2006), 16. දයානන්ද සෝමසුන්දර (සංස්‌කරණය) 'හෙළදිව්වාසීන් සහ ආදිවාසීන්' - (2007), 17. නන්දදේව විෙ-සේaකර 'වැද්දන්ගේ විකාශන ක්‍රමය' කොළඹ - (1987), 18. නන්දදේව විෙ-සේaකර 'ලංකා ජනතාව' කොළඹ - (1989), 19. රැල්ෆ් පීරිස්‌ (පරිවර්තනය - කේ. ඒ. ඩී. පෙරේරා) බොරලැස්‌ගමුව - (2001), 20. මිරැන්ඩෝ ඔබේසේකර 'ශ්‍රී ලංකාවේ ප්‍රාග් - ඓතිහාසික උරුමය'- (2006), 21. මාහල්ලේ විපුලතිස්‌ස හිමි, අමුතාගොඩ ඉන්දරතන හිමි (සංස්‌() 'සපරගමු' - (1995), 22. පණ්‌ඬුල ඇඳගම (සංස්‌කාරක) 'සබරගමුව වංශ කථාව' - (2003), 23. සාරානන්ද (සංස්‌කරණය) 'පූජාවලිය' - (1981), 24. දයානන්ද බිනරගම 'සබරගමුව පැරණි රජ දහන' - (2006), 25. දයානන්ද බිනරගම( 'බළන්ගොඩ මානවයා සහ අපේ ආදීවාසී වරිගේ ඇත්තෝ' - (2008), 26. දයානන්ද බිනරගම( 'ශ්‍රී ලංකාවේ ප්‍රාථමික චිත්‍ර කළාව සහ ප්‍රාථමික ලේඛන කලාව' - (2008), 27. ෙ-. ඩබ්ලිව්. ඩී. සෝමසුන්දර, ප්‍රාථමික සමාජයන්ගේ සිට නූතන සමාජයන් දක්‌වා සමාජීය හා ආර්ථික වෙනස්‌වීම් (අප්‍රිකාවේ තෝරාගත් ජන සමාජයන් පිළිබඳ විශ්ලේෂණයක්‌) අමුද්‍රත ආචාර්ය උපාධි නිබන්ධනය - - (2008), 28.
S. Paranavitana 'Inscriptions of Ceylon Vol; 1'
- Colombo - (1970), 29. P. E. P. Deraniyagala
'The Hybridization of the Veddas with the
SInhalese' Spolia Seylanica Vol 30' pt; 1' -
(1963), 30. C. G. Selgdmann and B. Z.
Seigmann 'The Veddas': Cambridge University
Press (1911), 31. Hugh Neville. 'The
Taprobanian' Vol; 111. (1888), 32. Robert
Percival. 'An Account of The Island of
Ceylon'; London (1803), 33. K. N. O.
Dharmadasa. 'The CReolization of an
Aboriginal Languags; The Case of Veddas in
Sri Lanka'; Anthropological Linguistics: Vol.
16 No: 2 - (1974), 34. K.N.O. Dhramadasa.
Creolizon Legend and History An spect of the
History of Veddas Sri Lanka Journal of the
Humanities Vot: 1 - 1975 35. J. Bailey. 'Wild
Tribes o The Veddas of Ceylon' Transactions
of Ethnological Society Vol: III; - (1863), 36.
Bridet and Raymond Allchin. 'The Birth of
Indian Civilization' London: - (1968), 37. S.
Deraniyagala. 'Pre-Historic Ceylon': A
Summary in 'Ancient Ceylon: I - (1971), 38.
James Browe; Veddah Village of
Anuradhapura; The historical Anthropology of
a Community in Sri Lanka; London;
University of Washing on press - (1978), 39.
Henry Parker; Concerning a Vadda and a Bride
Village Tales of Ceylon - (1914), 40.
Description of the Bedahs of Veddahs in his an
Account of the Island of Ceylon London;
Balowin - (1805), 41. The Perhistory of Sri
Lanka Part; I' & II' Department of
Archaeological Survey; Colombo 7 - (1992),
42. R. L. Spittell: Wild Ceylon: - (1925)

දිවයින බදාදා අතිරේකය Online edition -  http://www.divaina.com/2011/08/31/badada04.html
දයානන්ද බිනරගම

No comments:

Post a Comment

There was an error in this gadget

R C D