Sunday, February 2, 2025

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී ඇත | ලෝක තෙත්බිම් දිනය 2025

 ලෝක තෙත්බිම් දිනය අදට (පෙබරවාරි මස 02) යෙදී තිබේ. මෙවර එහි තේමාව “අපගේ අනාගතය සඳහා තෙත්බිම් ආරක්ෂා කිරීම – Protecting Wetlands for Our Common Future” යන්නයි. තෙත්බිම් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම පෙබරවාරි 02 වැනිදා ලෝක තෙත්බිම් දිනය මෙසේ සැමරුමට ලක්වේ. 1971 වසරේ පෙබරවාරි 02 වැනිදා ඉරානයේ රැම්සා නුවරදී රැස්වූ “තෙත්බිම් පාර්ශ්වකරුවන්ගේ සමුළුව” සහ එහිදී ජාත්‍යන්තර ගිවිසුමක් ලෙස සම්මත කරගත් “තෙත්බිම් පිළිබඳ රැම්සා සම්මුතියේ” සංවත්සරය ද සනිටුහන් කිරීම මෙම දිනය සැමරීමේ අරමුණක් වන නමුත් සැබැවින්ම ලෝක තෙත්බිම් දිනයක් පළමුව සැමරීමට ලක්වන්නේ 1997 වසරේදී පටන්ය. ඒ රැම්සා පාර්ශ්වකරුවන් ඇතුළත් තෙත්බිම් පිළිබඳ සම්මුතියේ ලේකම් කාර්යාලය මගිනි. එසේම, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනයක් ලෙස ලෝක තෙත්බිම් දිනය ප්‍රකාශයට පත්වන්නේ 2021 වසරේ අගෝස්තු 30 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගත් 75/317 යෝජනාව පරිදි ය. මේ අනුව පෙබරවාරි 2 වැනිදා “ලෝක තෙත්බිම් දිනය – World Wetland Day” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට කර ඇත.

ලෝක තෙත්බිම් දිනයේ වැදගත්කම

හඳුනාගෙන ඇත්තේ වනාන්තර විනාශයට වඩා තුන් ගුණයක වේගයෙන් තෙත් බිම් මේ වන විට අපට අහිමි වෙමින් පවතින බවයි. තෙත්බිම් යනු ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත්, දේශගුණික විපර්යාස අවමකිරීම සහ ඊට අනුවර්තනය වීමේ හැකියාව ඇති සහ වැඩි ජලය රඳවාගැනීමට ඉවහල් වන වටිනා පරිසර පද්ධතියක් ලෙසටය. තෙත්බිම් මගින් ලෝක ජල සුරක්ෂිතතාව ඇති කරමින් මිනිසා ඇතුළු ජීවීන්ට මිරිදිය ලබාගැනීමේ හැකියාව වැඩි කරන අතර ලෝක ආර්ථිකය වර්ධනය සහ මානව වර්ගයාගේ ජීවනෝපාය සලසන මහඟු සම්පතක් වන තෙත් බිම් තවත් බොහෝ දේ සඳහා දායක වන ඉතා වැදගත් පරිසර පද්ධතියකි.

තෙත් බිම් පිළිබඳ ජාතික හා ගෝලීය වශයෙන් දැනුවත් කිරීම හදිසි අවශ්‍යතාවක් වන්නේ ඒවායේ ශීඝ්‍ර විනාශය ආපසු හැරවීමට සහ ඒවා සංරක්ෂණය කිරීමට සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමට ක්‍රියාමාර්ග දිරිමත් කිරීම සඳහාය. එම නිසා ලෝක තෙත්බිම් දිනය සැමරීම ලෝක අවශ්‍යතාවක් වන අතර, ලෝක තෙත්බිම් දිනය සැමරීම මගින් මෙම තීරණාත්මක වැදගත් පරිසර පද්ධති පිළිබඳ මිනිසුන්ගේ අවබෝධය වැඩි කිරීමට සුදුසුම

මෙවර (2025) ලෝක තෙත්බිම් දිනය විශේෂයෙන් වැදගත් වන්නේ එය තෙත්බිම් පිළිබඳ සම්මුතියේ පාර්ශ්වයන්ගේ සමුළුවේ 15 වැනි රැස්වීමට (COP15) ද සමගාමී වන බැවිනි. එනම්, තෙත්බිම් සංරක්ෂණය සහ ඒවා තිරසර භාවිතය පිළිබඳ සාකච්ඡා කිරීමට සහ ඉදිරි වසර තුන සඳහා වන වැඩසටහනට එකඟවීමට සෑම වසර තුනකට වරක්ම පාර්ශ්ව රාජ්‍යවල නියෝජිතයන් රැස්වේ. මෙවර එම පාර්ශ්වකරුවන්ගේ සමුළුව සිම්බාබ්වේ හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාව සහ තෙත්බිම්

ශ්‍රී ලංකාව තෙත්බිම්වලින් අනූන රාජ්‍යයකි. මුහුදින් වටවුණු දූපතක් වන නිසාම නොගැඹුරු මුහුදු සහ වෙරළාශ්‍රිත තෙත්බිම්වලින් ශ්‍රී ලංකාවට අඩුවක් නැත. එසේම ඔය සහ ගංගා 103 කට වැඩි ප්‍රමාණයක් රටේ සතර දිග්භාගයෙන් මුහුද දක්වා ගලා බසිනා නිසා කලපු, ඩෙල්ටා සහ ගංගා මෝය වැනි වෙරළාශ්‍රිත තෙත්බිම් සමූහයක් පෝෂණය කරනවා හැරෙන්නට අභ්‍යන්තර තෙත්බිම් රාශියක් ද ඒ මගින් පෝෂණය කරයි. අමතරව ස්වාභාවික විල්ලු, පොකුණු යනාදිය ද සෑහෙන පමණ රට තුළ පිහිටා ඇත. තෙවනුව සලකා බලන කල ශ්‍රී ලංකාව වූ කලී සමකයාසන්නව පිහිටි කෘෂිකාර්මික රටක් වන බැවින් සහ විශිෂ්ට වාපි සංස්කෘතියකින් හෙබි රටක් වන බැවින් මිනිසා විසින් නිර්මාණය කරන ලද වැව් 35,000 ක් සහ අක්කර ලක්ෂ 6 කට වැඩි කුඹුරු සහ පහත්බිම් ගොවිතැන් පිහිටා ඇති රටකි. එනම්, ලෝක වර්ගීකරණයට ලක්වන තෙආකාර තෙත්බිම් ශ්‍රී ලංකාවේදී ඉතා ඉහළින් දක්නට ලැබෙන බැවින් ශ්‍රී ලංකාව පූර්ණ තෙත් බිම් රාජ්‍යයක් ලෙස හැඳින්වීමද නිවැරදිය.


එසේ නැතත්, කොළඹ නගරය ලෝක තෙත්බිම් නගරයක් ලෙස රැම්සා සම්මුතිය මගින් ප්‍රකාශයට පත්කර ඇත. කොළඹ නගරයේ පවතින තෙත්බිම් වටිනාකම නිසාම 2018 වර්ෂය අවසානයේ ඩුබායිහිදී පැවති රැම්සා පාර්ශ්වකරුවන්ගේ සම්මුතියේ 13 වැනි සැසි වාරයේදී (Cop13) ශ්‍රී ලංකාවේ කොළඹ නගරය නාගරික තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අවැසි යෝජනාව සම්මත කරගන්නා ලදි. කොළඹ අවට පවතින තෙත් බිම් මගින් සිදු වන පාරිසරික සේවාවේ ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් මෙසේ කොළඹ තෙත් බිම් නගරයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තීරණය විය. එහිදී කොළඹ නගරයේ පාරිසරික වටිනාකමත්, පරිසරය සහ මහජනතාව අතර සහජීවනයට ලැබෙන දායකත්වය පිළිබඳවත් සැලකිල්ලට ගෙන ඇත. මෙම සැසිවාරය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ රැම්සා සම්මුතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනය වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සමුළුව සඳහා සහභාගිත්වය සනිටුහන් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ කොළඹ අවට ව්‍යාප්තව ඇති නාගරික තෙත් බිම් පිළිබඳව සහ ඒවායේ වැදගත්කම පිළිබඳව ද ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසට මෙම අවස්ථාව අප රටට ලබාගැනීමට හැකි විය. කොළඹ නාගරික තෙත් බිම ප්‍රකාශයට පත් කිරිමට සම්මත වූ යෝජනාවට සමගාමීව ලොව පුරා තවත් එබඳුම නාගරික තෙත් බිම් 18 ක් ප්‍රකාශයට පත්කිරීම ද එදිනම සිදු කෙරිණි.

තෙත්බිම් දින සැමරුම

ලෝක තෙත්බිම් සැමරුම එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් හා රැම්සා සම්මුති ලේකම් කාර්යාලය මගින් දියත් කෙරෙන අතර ශ්‍රී ලංකාවේ ද වසරක් පාසා සැමරීම සිදු කෙරේ. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය මගින් වසරක් හැර වසරක් මෙම අවස්ථාව සංවිධානය කරනු ලබයි. ඒ අනුව මෙවර වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවස්ථාව උදාවී ඇති අතර, මෙම ආයතන දෙක සඳහාම මෙවර ඇත්තේ එකම අමාත්‍යාංශයක් බැවින් පරිසර අමාත්‍යාංශයේ “සොබා දම් පියසේදී” සැමරුම් උළෙල සංවිධානය කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ තෙත් බිම් සංරක්ෂණයේ වත්මන් තත්ත්වය


රටේ කුමන ප්‍රදේශයක තෙත් බිම් පැවතියද, ඒවා සංරක්ෂණය කිරීමේ නීතිමය බලතල වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතන සතුය. මේ අතර කොළඹ තෙත්බිම් සංරක්ෂණය කර, ඒවායේ ජෛව විවිධත්වය ආරක්ෂා කර තහවුරු කිරීම, තෙත් බිම්වල වටිනාකම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, තෙත්බිම් ආශ්‍රිත ප්‍රජාවගේ ආර්ථිකය සවිබල

ගැන්වීම හා වැඩිමනත් පුරන් කුඹුරු නැවත අස්වැද්දීම මගින් හා එම කුඹුරු කෘෂි රසායන භාවිතයෙන් තොරව වගාකිරීම යනාදිය අරමුණු කරගනිමින් මේ දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පිහිටි තෙත්බිම් මූලික කරගනිමින් වැදගත් ප්‍රජා මූල සංරක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (United Nations Development Programme- UNDP) සුළු මූල්‍යාධාර වැඩසටහන (Small Grant Programme- SGP) මගින් ජගත් පාරිසරික පහසුකම් (Global Environmental Facility-GEF) මූල්‍යාධාර (අධියර 7) යටතේ පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ තෙත් බිම් පරිසරයේ ජෛවවිවිධත්ව සංරක්ෂණය, භූමි හායනය අවම කිරීම සහ දේශගුණික විපර්යාසවලට අනුහුරුවීම යන ලෝකය මුහුණ පා ඇති ප්‍රධාන පාරිසරික අර්බුද තුනක් මුල්කරගෙන තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා මෙම වැඩසටහන කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකා රජයේ පූර්ණ අනුදැනුම යටතේ හා පරිසර අමාත්‍යාංශය, කොළඹ දිස්ත්‍රික් ලේකම් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5 ක, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය මත, හා ප්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධානවල සහභාගිත්වයෙන් මෙම තෙත් බිම් සංරක්ෂණ වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.


මෙසේ ක්‍රියාවට නැගෙන සම්පූර්ණ වැඩසටහන මගින් කොළඹ තෙත්බිම් භූ දර්ශයේ (Landscape) පරිසර සංරක්ෂණ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් ඉටුකිරීම සඳහා සංවිධාන 6 ක් තෝරාගෙන ඇත. ප්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් ක්‍රියාත්මක වන මෙම සංවිධාන තේරීපත්වී ඇත්තේ එම සංවිධාන මගින් තෙත්බිම් සංරක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනා සැලකිල්ලට ගනිමිනි. මේ මගින් තෙත්බිම් සංරක්ෂණය හා ඒ ආශ්‍රිත ප්‍රජාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම මගින් තෙත්බිම් සංරක්ෂණයට ඔවුන් දායක කරගැනීම ලෙස සරලව මෙම කොළඹ තෙත්බිම් සංරක්ෂණ වැඩසටහන හඳුන්වා දිය හැකිය.

කොළඹ සමස්ත නාගරික තෙත්බිම් සංකීර්ණය වර්ග කිලෝමීටර් 121.5 ක් පුරා පැතිර ඇත. ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 5 ක් යටතට ගැනෙන මෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 29,200 කි. එනමුත් වැඩසටහන ක්‍රියාවට නැගෙන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ වන්නේ කොළොන්නාව, කඩුවෙල, ශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේ, කැස්බෑව සහ හෝමාගම යි. පෙර සඳහන් කරන ලද සංවිධාන 6 වර්තමානයේ මෙහි ඇති

තෝරාගන්නා ලද තෙත්බිම් සංරක්ෂණය සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇත. එමගින් මෙම තෙත්බිම්වල සෞන්දර්යය ඉහළ යාම ද නිරායාසයෙන්ම සිදුවේ. එය රජය මගින් ක්‍රියාත්මක කෙරෙන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ද මහත් පිටුබලයකි.

මෙම තෙත්බිම් සංරක්ෂණ වැඩසටහන් අතර වර්තමානයේ සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින “ගොතටුව තෙත්බිම් උද්‍යානය” ස්ථාපිත කිරීමේ කටයුතු කැපී පෙනෙන්නකි. ඒ සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඉතා ඉහළ කාර්යයක් සිදුකරනු ලබයි. මෙම උද්‍යානය සංවර්ධනය කිරීමෙන් අනතුරුව “බැද්දගාන තෙත්බිම් උද්‍යානය”, “දියසරු උද්‍යානය” වැනි සංවර්ධිත කොළඹ තෙත්බිම් හා සමාන වටිනාකමක් ඊටද ලැබෙන අතර, ඉතා ඉහළ අලංකාරයක්ද, ජෛව විද්‍යාත්මක සහ පාරිසරික වටිනාකමක්ද අත්කරගනු ඇත. එසේ හෙයින් මෙවර ලෝක තෙත්බිම් දින සැමරුම සඳහා UNDP-GEF-SGP ආධාර ලබන කණ්ඩායම් කිහිපයක්ද මීට එකතුවෙමින් ක්‍රියාකාරකම් රැසක් අදට (02) යෙදෙන තෙත්බිම් දිනයේදී එහි සංවිධානය කර ඇත. ඒ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කාර්යභාරයට UNDP-GEF-SGP දායකත්වය ද සනිටුහන් කරමිනි. එනම්, ලෝක තෙත්බිම් දිනය වන අද රට පුරා සිදුකෙරෙන සැමරුම් උළෙල හා සමගාමීව යමින් ඉහත ආයතන සහ සංවිධාන විසින්ද අද ලෝක තෙත්බිම් දිනය සමරනු ලබයි. කොළඹ තෙත්බිම් භූ දර්ශයේ දැනුම කළමනාකරණය සිදුකරන “සුරක්ෂි” සංවිධානය, ලස්සන කොලොන්නාව සංවිධානය සහ Centre for Citizen Science සංවිධානය 2025 තෙත්බිම් දින සැමරුම සංවිධානය කිරීමට අත්වැල් බැඳගනිමින් කටයුතු කරයි. ඒ අනුව විශේෂයෙන් තරුණ-තරුණියන් සහ ළමුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වැඩසටහනක් ලෙස මෙවර තෙත්බිම් සැමරුම සිදුකරන ඔවුහු, සහභාගිවන්නන් සඳහා තෙත්බිමේ අසිරිය විඳගැනීමේ පා ගමන් සංචාරයක් (Nature Walk), දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම පාරිසරික ක්‍රියාකාරකම් ලෙස, ආක්‍රමණික පැලෑටි ඉවත් කිරීම, නොදිරන කසළ එකතුකිරීම සහ කළමනාකරණය, රුක් රෝපණය, තෙත් බිම් සංරක්ෂණයට අදාළව චිත්‍ර තරගයක් පැවැත්වීම යනාදිය සිදුකරනු ලබයි.


අද එසේ ශ්‍රී ලංකාවේදී සිදුවන තෙත්බිම් සංරක්ෂණයට අදාළ වැඩසටහන් පෙළගැස්ම සඳහා අපගේ “හරිත” තීරය වෙන්කරනු ලබන අතර, තවත් ‘සංචාරේ’ වැඩසටහනකින් මේ පිළිබඳ සවිස්තර තොරතුරු කතා කරන්නට අපි අපේක්ෂා කරන්නෙමු.

✍️ සැරිසර – ජගත් කණහැරආරච්චි


No comments:

Post a Comment