Tuesday, October 17, 2017

විල්පත්තුව විනාශය පිළිබඳ කියැවෙන විස්තර (වීඩියෝ දර්ශණ සහිතයි)

විල්පත්තුව වන විනාශය පිළිබඳ පසුගිය කාලයේ බොහෝ කරුණු කතා විය. එ් පිළිබඳව උනන්දුවන අයගේ දැන ගැනීමට එ් පිළිබඳ විස්තර එම සබැඳිද සමග උපුටා දක්වා ඇත. එම ලිපි සහ වීඩියෝ/ඡායාරූප වල අයිතිය ඒවායෙහි මුල් අයිතිකරුවන් සතු වන අතර එහි ගෞරවටද ඔවුන් සතුය.
විල්පත්තුව පිළිබඳ අවධානය යොමු කරවන ලද හිරු සී අයි ඒ පුවත
Hiru TV CIA | Wilpaththu high sensitive zone also own permanent houses in Puthlam | 2015-05-23


ඒ පිළිබඳ සවිස්තරාත්මක හිරු පුවත් විකාශයක් 


විල්පත්තුව විනාශය පිළිබඳ ඔටාරා ගුණවර්ධන මහත්මියගේ පැහැදිලි කිරීම


විල්පත්තු වන විනාශයේ සැබෑව සහ මිථ්‍යාව – සජීව චාමිකර
උපුටා ගැනීම - http://www.vikalpa.org/?p=29264

 විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරු ඔයට මායිම් ව පිහිටන විල්පත්තු උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් 2010 වසරේ දී නීති විරෝධීව ආරම්භ කළ අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන විට විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, වන රක්ෂිත හතරක් පුරා පැතිර තිබේ. විල්පත්තු උතුරු අභය භූමිය එළි කර ජනාවාස පිහිටුවීමට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන එම නීති විරෝධී කි‍්‍රයාව නතර කළ ද වන රක්ෂිත විනාශ කරමින් සිදු කරන අලූතින් මහ පරිමාණ ජනාවාස පිහිටු වීමේ හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු නතර කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ නැතහොත් ජනාධිපති තුමන් යටතේ කි‍්‍රයාත්මක වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තවම නොහැකි වී ඇත.

මන්නාරම දිස්ති‍්‍රක්කයේ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ව මෙම රක්ෂිත හතර පිහිටා ඇති අතර එම සමස්ථ වනාන්තර ප‍්‍රදේශය කල් ආරු වනාන්තරය ලෙස හැදින්වේ. ඊට හේතුව එම වනාන්තරය ප‍්‍රධාන වශයෙන් ම කල් ආරු ඔයේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස පැවතීම ය. මෙම වන රක්ෂිත අතුරින් මරිච්චුකඞ්ඩි කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් වශයෙන් මෙම වන රක්ෂිත පද්ධතියෙන් වනාන්තර අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇත.

පසුගිය රජය පැවති සමයේ සිට මේ නීති විරෝධී කි‍්‍රයා දිගින් දිගට ම සිදු වෙද්දී ආණ්ඩුපක්ෂය හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රධාන රාජ්‍ය ආයතන මෙය නිවැරදි මාවතකට ගෙන එ්ම සඳහා මෙතෙක් කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් නොගැනීම විශාල ගැටලූවකි. 2010 වසරේ සිට නීතිවිරෝධී ව වන රක්ෂිත එළි පෙහෙළි කරමින් සිදු කරන මෙම ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන විට දේශපාලකයන් විසින් මහ පරිමාණ ඉඩම් අත්පත් කර ගැනීම දක්වා වර්ධනය වී ඇතත් එ් පිළිබඳව නිසි අවධානයක් යොමු නොවීම කණගාටුවට කරුණකි.

කෙසේ නමුත් මේ වන රක්ෂිත විනාශ කර මුස්ලිම් ජනතාව පදිංචි කර අලූතින් ජනාවාස පිහිටුවීම හේතුවෙන් මේ නීතිවිරෝධී හා පරිසර විනාශකාරී ක‍්‍රියාවට ජාතිවාදී මුහුණුවරක් ලබා දීමට බොහෝ පිරිසක් උත්සාහ ගනිති. මෙය ජාතිවාදී පැතිකඩකට ගෙන යාමට උත්සාහ දරණ බොහෝ පිරිසක් සූදානම් වන්නේ මෙම මහා වන විනාශය හා ඉන් ඇති වන හානි සාධාරනීකරණය කිරීමට ය. මේ නිසා ම මේ නීති විරෝධී ක‍්‍රියාවන්ට එරෙහිව වගකිව යුතු අංශ ක‍්‍රියාමාර්ග ගැනීමට මැලිකමක් දක්වන බව පෙනෙන්නට තිබේ.

ආණ්ඩුපක්ෂය ද මෙම නීතිවිරෝධී ක‍්‍රියාවට එරෙහිව කටයුතු කිරීම වෙනුවට ඇල්මැරුණු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ද මේ නිසා ය. ඉතාම පැහැදිලිව සඳහන් කළ යුතු දෙයක් ඇත. එනම් මේ ප‍්‍රශ්නයට ජාතිවාදී මුහුණුවරක් ලබා දීමෙන් සිදු වන්නේ මේ මහා වන විනාශය තව දුරටත් වර්ධනය කිරීමට අවස්ථාව ලබා දීම හා රටේ ජනතාවගේ සංහිදියාව බිඳ වැටීමය. එපමණක් නොව එ් නිසාම බලධාරීන්ගේ මේ මුණිවත රැකීමේ අහිතකර ප‍්‍රතිඵල විදින්නට සිදු වන්නේ පටු දේශපාලන උවමනාවන් මත පදිංචි කළ අහිංසක ජනතාවට හා තම අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නොනැගිය හැකි වන සතුන්ට ය.

මෙම අලූතින් ජනාවාස පිහිටුවීමේ ක‍්‍රියාවලිය හුදෙකලා සිදුවීමක් නොවේ. මෙය පසුගිය රජයේ දැවැන්ත ව්‍යාපෘතියක එක් කොටසක් පමණකි. කණගාටුවට කරුණ වන්නේ පසුගිය රජයේ විනාශකාරී කි‍්‍රයාකාරීත්වය පරාජය කරමින් බලයට පත් වූ වත්මන් යහපාලන රජය ද පසුගිය රජයේ හානි කර ප‍්‍රතිපත්ති, ක‍්‍රියාමාර්ග හා ව්‍යාපෘති ඒ අයුරින්ම අඛණ්ඩව ඉදිරියට සිදු කර ගෙන යාම ය.

2009 වසරේ දී යුද්ධය නිමවනවාත් සමග ම විල්පත්තු ජාතික වනෝද්‍යානයට මායිම් ව පිහිටි යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ මොල්ලිකුලම් හා මරිච්චික්කඞ්ඩි ගම්මාන දෙක අතුරින් මොල්ලිකුලම් ගම්මානය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් පසුගිය රජයේ විනාශකාරී ව්‍යාපෘතියේ පළමු පියවර තැබිණ. ඉන් පසුව විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ කල් ආරු වනාන්තරය දෙකඩකරමින් පුත්තලම මන්නාරම මාර්ගය ඉදිකිරීම (එලූවන්කුලමේ සිට සිලාවතුර දක්වා) එම සමස්ථ ව්‍යාපෘතියේ දෙවන පියවර විය. ඉන් පසුව 2010 වසර අවසානයේ දී රක්ෂිත තත්ත්වයට පත් කිරීමට ප‍්‍රථම කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටු වීමේ කටයුතු ආරම්භ කෙරිණ. එමගින් පසුගිය රජයේ බලාපොරොත්තුව වූයේ 2011 – 2030 ජාතික භෞතික සැලැස්මට අනුව මේ ප‍්‍රදේශයේ මහ පරිමාණ සංචාරක පුරවරයක් හා මහ පරිමාණ නගරයක් බිහි කිරීමේ ව්‍යාපෘතිය පියවරෙන් පියවර කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පදනම සකස් කර ගැනීමට ය. ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැයෙන් විශාල ධනස්කන්දයක් වෙන් කෙරිණ. ඊට සමගාමී ව රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා ද තම දේශපාලන හා පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් මේ ව්‍යාපෘතිය පසුගිය රජයේ අනුග‍්‍රහය හා ආශිර්වාදය යටතේ ක‍්‍රියාත්මක කෙරිණ.

එහි දී පළමු ව අදාළ ආමාත්‍යවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්වරයාට දැඩි බලපෑම් එල්ල කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර බිම් පාරිසරික නීතිරීති උල්ලංඝණය කරමින් වෙන් කර ගැනින. ඉන් පසුව දිස්ත‍්‍රික් ලේකම් වරයා හරහා එම භූමිය අක්කර භාගය බැගින් වූ ඉඩම් කැබලි වලට වෙන් කර යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නැවත පදිංචි වීම සඳහා ලබා දෙන බව සඳහන් කරමින් පුත්තලම, කල්පිටිය හා මන්නාරම ප‍්‍රදේශ වල ව්‍යාපාරිකයින් ඇතුළු ඉඩම් හිමි ජනතාවට හා සැබෑ ලෙසම අවතැන් වූ සුළු පිරිසකට බෙදා දෙනු ලැබුණි.

නීති විරෝධී වනාන්තර විනාශයට නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දීම

2010 වසරේ සිට 2013 වසර දක්වා නීතිවිරෝධි ලෙස කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කර සිදු කළ ජනාවාස පිහිටු වීමේ කි‍්‍රයාවලියට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් නීත්‍යානුකූල මුහුණු වරක් ලබා දීම සිදු කෙරුනේ 2013 වසරේ දී ය. ඊට හේතු වූයේ මෙම නීති විරෝධී පරිසර විනාශකාරී කි‍්‍රයාවන්ට එරෙහිව පරිසරවේදීන් දැඩි හඬක් නැගීමයි. එම වසරේ ජනවාරි 15 වන දින එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුර්දීන් මහතාගේ ප‍්‍රධානත්වයෙන්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා විසින් යොමු කළ අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති ඉඩම් නිදහස් කිරීමයනුවෙන් දැක්වෙන ලිපියේ සදහන් කර ඇති පරිදි හිටපු වන සංරක්ෂණ ජනරාල් කේ. පී. ආරියදාස මහතා විසින් මන්නාරම දිස්ති‍්‍රක් ලේකම් වරයා වෙත යොමු කරන ලද 2013 පෙබරවාර 14 දින අංක EMDL/04/02/08/11/2012 දරණ ලිපිය මගින් හා ඉන් පසුව ද වන රක්ෂිත දෙකකට අයත් වනාන්තර ජනතාව පදිංචි කිරීම සඳහා නිදහස් කෙරින.

ඒ අනුව මන්නාරම දිස්ති‍්‍රක්කයේ මරිච්චුකඞ්ඩි සිලාවතුර මාර්ගයේ 23 හා 29 යන කිලෝමීටර් කණු අතර මීටර් 250 ක් පළල වනාන්තර තීරයක්, කූලන්කුලම්, තම්බදා, මුසලික්කාඩු, මෙතන්වැලි, පන්ඩාරවේලි, පූනච්චිකුලම්, පූතුවේලි, මුසාලි හා කායකුලි යන ගම්මාන වල අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට හා පිච්චායි වන්නියාකුලම් මාර්ගය ආසන්නයේ පිහිටි ගම්මානය ආශි‍්‍රත ව මිටර් 200 ක් පළල වනාන්තර තීරුවක් අහත්තිමුරිප්පු, පිච්චායි, වන්නියාකුලම්, පොට්කර්නි, වෙප්පන්කුලම් යන ගම්මාන වල අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට ලබා දී ඇත. මෙසේ ලබා දුන් වනාන්තර ඉඩම් අතුරින් මරිච්චුකඞ්ඩි සිලාවතුර මාර්ගය දෙපස පිහිටි ඉඩම් මරිච්චුකඞ්ඩි කරඩික්කුලි වන රක්ෂිතයටත් පිච්චායි වන්නියාකුලම් මාර්ගය ආසන්නයේ පිහිටි ඉඩම් විලත්තිකුලම් වන රක්ෂිතයටත් අයත් වේ.

මීට අමතර ව පලායිකුලි, මරිච්චුකඞ්ඩි හා කරඩික්කුලි ගම්මාන තුනෙන් අවතැන් වූ පවුල් 940 ක් පදිංචි කිරීම සඳහා තවත් ඉඩම් අක්කර 280 ක් මරිච්චුකඞ්ඩි කරඩික්කුලි වන රක්ෂිතයෙන් ලබා දීම සිදු කර ඇත. මෙසේ ලබා දුන් ඉඩම් වලට අමතර ව මරිච්චුකඞ්ඩි සිලාවතුර මාර්ගය දෙපසින් වනාන්තර අක්කර 770 ක් හා පිච්චායි වන්නියාකුලම් මාර්ගයට යාබදව අක්කර 650 ක් වශයෙන් මරිච්චුකඞ්ඩි කරඩික්කුලි වන රක්ෂිතයට හා විලත්තිකුලම් වන රක්ෂිතයට අයත් තවත් වනාන්තර අක්කර 1420 ක් නැවතත් අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට ලබා දී තිබේ. මේ අයුරින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන රක්ෂිත වලට අයත් වනාන්තර අක්කර 1700 ක් අවස්ථා කිහිපයක දී ලබා දී ඇති අතර එම භූමියට අමතර ව තවත් වනාන්තර අක්කර 1700 ක් පමණ කිසිදු අනුමැතියකින් හෝ නිර්දේශයකින් තොරව මේ වන විට බලහත්කාරයෙන් එළි පෙහෙළි කර ඇත.

නැවත පදිංචි කිරීමක් නොවන බවට හා ජනාවාස නොතිබුණු බවට සාධක



වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීති විරෝධී ව රක්ෂිත වනාන්තර වලට අයත් ඉඩම් වෙන් කර ගෙන අලූතින් ජනාවාස පිහිටුවීම සිදු කරන නමුත් රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා දිගින් දිගට ම සදහන් කරන්නේ අවතැන් වූ ජනතාවගේ ඉඩම්වල ම ඔවුන් ව පදිංචි කරන බවත් මේ ප‍්‍රදේශ යුද්ධය පැවති සමයේ දී වනාන්තරයෙන් වැසී ගොස් ඇති බවත් ය. එම ප‍්‍රකාශ සියල්ලම සාවද්‍ය ප‍්‍රකාශයන් ය. අමාත්‍යවරයා විසින් යොමු කළ ලිපිවල පැහැදිළිව ම සදහන් කර ඇත්තේ මේ වනාන්තර ප‍්‍රදේශ වලින් පරිබාහිර ගම්මාන වල අවතැන් වූ ජනතාව අලූතින් පදිංචි කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිදහස් කර දෙන ලෙස ය. එම කාලවකවානුවේ දී මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහභාගී වු කිසිදු රැස්වීමක දී මේ ඉඩම්වල පෞද්ගලික හිමිකාරීත්වයක් පිළිබද ව ස`දහන් කර නොමැත. අමාත්‍යවරයා දිගින් දිගට ම ඉල්ලා ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ජනතාව පදිංචි කිරීමේ කාර්යය සදහා ලබා දෙන ලෙසට ය. මේ ප‍්‍රදේශයේ ජනතාව පදිංචිව සිටි ගම්මාන ලෙස පැවතියේ නම් හෝ යුද්ධය පැවති කාලය තුළ දී අතහැර දමා තිබුණේ නම් එ්වායේ නැවත පදිංචි වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලීම හා ඉඩම් නිදහස් කර ගැනීමට කටයුතු කළේ කුමන හේතුවක් නිසා දැයි අමාත්‍යවරයාට අද වන විට අමතක වී ඇත. ඊට අමතර ව මිනිසුන් පදිංචිව සිටි ඉඩම් රක්ෂිත බවට ප‍්‍රකාශයට පත් කර ඇත්නම් ඊට එරෙහිව කටයුතු නොකළේ කුමන හේතුවක් නිසා දැයි ප‍්‍රශ්න කළ යුතු ය. එසේ නමුත් අද වන විට ඔහු මෙම ඉඩම් අවතැන් වූ ජනතාවට අයත් බව පවසමින් කිසිදු බියකින් තොරව අසත්‍ය කරුණු සමාජ ගත කරති. එම කරුණු පිළිබඳ ව කිසිදු සොයා බැලීමකින් තොරව රජයේ සමහර අමාත්‍යවරුන් හා සමහර සිවිල් සංවිධාන නියෝජිතයින් එම සාවද්‍ය කරුණු සනාථ කරන ප‍්‍රකාශ නිකුත් කරමින් ඔවුන් වගකීම් විරහිතව, කරුණු නිසි පරිදි සොයා නොබලා ප‍්‍රකාශ නිකුත් කරන පුද්ගලයින් බවට සමාජය ඉදිරියේ තහවුරු කරති.

එපමණක් නොව 1938 වසරේ සිට මේ දක්වා ප‍්‍රකාශයට පත් ව ඇති සියලූම සිතියම් පරිශීලනය කිරීමේ දී ද මේ ප‍්‍රදේශයේ කිසිදු ආකාරයක ජනාවාස නොපැවති බවත් වනාන්තර පද්ධතියක් ලෙස පැවති බවත් තහවුරු වී තිබේ. අගලේ සිතියම්, 1:50000 සිතියම්, ගුවන් ඡායාරූප හා ගූගල් සිතියම් පරිශීලනය කිරීමේ දී මේ බව ඉතා හොදින් තහවුරු වේ. එම සිතියම් සියල්ල පරිශීලනය කිරීමේ දී පෙනී යන්නේ 2010 වසරේ සිට මේ ප‍්‍රදේශයේ වනාන්තර විනාශ කර අලූතින් ජනාවාස ඇති කිරීම ආරම්භ කර ඇති බව ය.

මේ අනුව පෙනීයන්නේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා විසින් මුලූමහත් සමාජය ම මුලා කිරීමට කටයුතු කළ බව ය. එපමණක් නොව ඇමති වරප‍්‍රසාද භාවිතා කරමින් කිසිදු බියකින් තොරව සාවද්‍ය කරුණු සමාජ ගත කිරීම ද සිදු කරණ බව ය.

සැබෑ ලෙසම සාම්ප‍්‍රදායික ගම්මාන වල පිහිටීම

මෙම සාවද්‍ය කරුණු සමාජ ගත කිරීමට සැබෑ සම්ප‍්‍රදායික ගම්මාන වල ඡායාරූප හා තොරතුරු රක්ෂිත වනාන්තර තුළ ජනාවාස පිහිටි බව තහවුරු කිරීමට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා භාවිතා කරනු ලැබේ. විල්පත්තු ජාතික වනෝද්‍යානය මායිමේ සත්‍ය වශයෙන් ම සාම්ප‍්‍රදායික ගම්මාන දෙකක් පිහිටා තිබේ. එකක් මුහුදු සීමාවේ සිට රට අභ්‍යන්තරය දක්වා ව්‍යාප්ත ව ඇති මොල්ලිකුලම් ගම්මානයයි. මෙම ගම්මානයේ රෝමානු කතෝලික ආගම අදහන දමිල ජනතාව ජීවත් විය. අක්කර 3000 ක පමණ භූමියක් පුරා පැතිරුණු මෙම ගම්මානයේ වෙරළ තීරයේ අක්කර 525 ක් පමණ ව්‍යාප්තව ඇත. 2007 වසර වන විට මෙම ගම්මානයේ පවුල් 310 ක් පදිංචිව සිටි අතර ග‍්‍රාම නිලධාරී ලේඛනයේ පවුල් 265 ක් ලියාපදිංචිව සිට ඇත. මෙම ගම්මානයේ ජනතාව ප‍්‍රධාන වශයෙන් ම කෘෂි කර්මාන්තයේ නිරතව ඇති අතර කොටසක් ධීවර කර්මාන්තයේ නිරතව ඇත. මීට අමතරව මීගමුව හා හලාවත ආදී ප‍්‍රදේශ වලින් සංක‍්‍රමණය වන ධීවරයින් ද මෙම ප‍්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නිරතව ඇත.

මොල්ලිකුලම් ගම්මානයේ කෘෂි කර්මාන්තය සඳහා වැව් නවයකින් ජලය ලබා ගැනින. මෙම වැව් සියල්ලටම මෝදරගං ආරු හා යෝධ වැවෙන් ජලය ලැබෙයි. පුලියංකුලම්, පෙරියතනක්කකුලම්, සින්නතනක්කකුලම්, පාවෙලිකුලම්, සින්නවියායඩිකුලම්, අඩප්පන්කුලම්, පූදුක්කුලම්, පාලයඩිකුලම් හා අලසන්කුලම් යන වැව් නවය යටතේ කුඹුරු අක්කර 2200 කට වැඩි බිම් ප‍්‍රමාණයක් වගා කෙරින.

1650 වසරේ දී පමණ මෙම ගම්මානය ආරම්භ කර ඇත. මෙහි පිහිටි රෝමාණු කතෝලික පල්ලිය ඉදිකිරීම සඳහා මුල්ගල තබා ඇත්තේ 1825 වසරේ දීය. 1950 වසරේ දී එහි වැඩ නිම කර ඇත. මෙම පල්ලිය අසලම මොල්ලිකුලම්, රෝමාණු කතෝලික දෙමල විද්‍යාලය පිහිටා තිබේ.

යුද්ධය පැවති සමයේ දී අවස්ථා හතරක දී මෙම ගම්මානයේ ජනතාව ඉවත් වී ඇත. ඔවුන් ඉන්දියාව, කායාකුලි හා මන්නාරම ආදී ප‍්‍රදේශ වල පදිංචි වී සිට ඇත. යුද්ධය නිමවනවාත් සමඟම මොල්ලිකුලම් ගම්මානය සම්පූර්ණයෙන් ම නාවික හමුදාවේ ග‍්‍රහනයට නතු විය. මෙහි තිබූ ගෙවල් කිහිපයක් කඩා ඉවත් කර ඇති අතර ජනතාවගේ නිවාස 31 ක් පමණ මේ වන විට නාවික හමුදාව භාවිතා කරයි. ඊට අමතරව ජනතාව භාවිතා කළ සුසාන භූමියේ මේ වන විට නාවික හමුදාව විසින් හෝටලයක් ඉදි කර පවත්වාගෙන යයි.

මේ තත්ත්වය පිළිබඳ ව 2012.12.26 වන දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සමඟ මැල්කම් රංජිත් බිෂොප් තුමා හා ගම්වාසීන් අතර පැවති සාකච්ඡාවේ දී තීරණය කර ඇත්තේ මෙම ගම්මානයට යාබදව පිහිටි වනාන්තර කොටස් ඉවත් කර ජනතාව පදිංචි කිරීම හා නාවික හමුදාව යටතේ ඇති ගම්මානයේ පිහිටි වැව් දෙකක් නිදහස් කර දෙන බව ය. එ් අනුව අවතැන් වූ පවුල් 125 ක් පදිංචි කර ඇති අතර ඉතිරි පිරිස තවම අවතැන් ව සිටී. ලබා දෙන බව සඳහන් වැව් දෙක අතුරින් ගම්මානයේ පිහිටි විශාලතම වැව වන පුලියංකුලම් වැව පමණක් කුඹුරු ඉඩම් අක්කර 500 ක් සමඟ ජනතාවට නාවික හමුදාවෙන් මේ වන විට නිදහස් කර ඇත. ගම්මානයේ ඉතිරි සියල්ල නාවික හමුදාව යටතේ පාලනය වේ.

මෙම ගම්මානයට යාබදව ගොඩබිම ප‍්‍රදේශයට වන්නට මරිච්චිකඞ්ඩි ගම්මානය පිහිටා තිබේ. මෙම ගම්මානයේ මුස්ලිම් ජනතාව ජීවත් වේ. යුද්ධයෙන් පසුව මේ ගම්මානය ජනතාවට පදිංචි වීමට ලබා දී ඇති අතර කිසිදු අවස්ථාවක මෙම ගම්මානය ආරක්ෂක අංශ ග‍්‍රහනයේ නොපැවතුනි. මෙම ගම්මානයේ පවුල් 175 ක් පමණ පදිංචිව සිට ඇති අතර මරිච්චිකඞ්ඩිකුලම් හා ආනපාපාකුලම් යන වැව් දෙක යටතේ කුඹුරු ගොවිතැන සිදු කර ඇත. මෙය තරමක් කුඩා ගම්මානයක් ලෙස ව්‍යාප්තව පැවති අතර මොල්ලිකුලම් ගම්මානයේ කුඹුරු වල පිටාර ජලයෙන් ද මෙම ගම්මානයේ කුඹුරු වලට ජලය ලබා ගෙන තිබේ. මෙහි ඉපැරණි මුස්ලිම් පල්ලිය හා පාසැල පිහිටා ඇති අතර හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පාලන සමයේ දී මෙම ගම්මානය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු බොහොමයක් සිදු කර ඇත.

රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා විසින් දිගින් දිගටම සාවද්‍ය ප‍්‍රචාර ගෙන යනු ලබන්නේ මෙම ගම්මානයේ ඡායාරූප, අලූතින් වනාන්තර එළි කර වන රක්ෂිත වල පිහිට වූ ගම්මාන වල ඡායාරූප බව හුවා දක්වමිනි. ජනතාව ඇතුළු ව බොහෝ පිරිසක් මේ ලෙසට අමාත්‍යවරයා විසින් මුලා කර ඇත. සැබෑ ලෙසම අවතැන් වූ ජනතාව තවම අවතැන් ව සිටිය දී අලූතින් ජනාවාස ඉදි කර වෙනත් පිරිසක් පදිංචි කිරීමෙන් රජය බලාපොරොත්තු වන ජාතීන් අතර සංහිදියාව ගොඩනැංවිය හැකි ද යන්න සිතා බැලිය යුතුය.

රටේ ජනතාව මුලා කරමින්, ආගම් හා ජාති භේද ඇති කරමින් රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා පටු දේශපාලන හා පෞද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා රටේ වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් වෙන් කළ වන රක්ෂිත විනාශ කිරීමට ඉඩ දිය යුතු නැත.

කළ යුතු වන්නේ සැබෑ ලෙසම අවතැන් වූ ජනතාවට ඔවුන්ගේ නිජ බිම් වල පදිංචි වීමට පහසුකම් ඇති කිරීම ය. ආරක්ෂක අංශ යොදා ගෙන පසුගිය රජයෙන් බලහත්කාරයෙන් අත්පත් කර ගත් ජනතාවගේ ඉඩම් කඩිනමින් එම ජනතාවට නැවත ලබා දිය යුතු ය. ඊට අමතර ව තවත් නිවාස හා වගා බිම් අහිමි ජනතාව සිටී නම් ඔවුන් ව දැනට පවතින ගම්මාන ආශි‍්‍රත ව යටිතල පහසුකම් ලබා දිය හැකි සුදුසු ස්ථාන වල පදිංචි කළ යුතු ය. එසේ නොමැතිව සංහිදියාව ඇති කළ නොහැකිය. බලහත්කාරයෙන් සංහිදියාව ඇති කිරීමට උත්සාහ දැරීම වෙනුවට කළ යුත්තේ යුද්ධයෙන් අතැන් වූ සියලූ ජනතාවට සමානව සැලකීමයි.

ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීමය. එසේ නොමැතිව එක් අමාත්‍යවරයකුට පමණක් රිසි පරිදි නැවත පදිංචි කිරීම් කටයුතු මෙහෙයවීමට ඉඩ ලබා නොදිය යුතු ය. ඉන් සිදුවන්නේ ජාතීන් අතර සංහිදියාව දරුණු ලෙස පලූදු වීමකි.

වනාන්තර විනාශ කර ජනතාව පදිංචි කිරීම නීති විරෝධී බවට වන සාධක

දේශපාලන උවමනාවන් මත වනාන්තර විනාශ කර අලූතින් ජනාවාස පිහිටුවීම සාදාරණීකරණය කිරීමට මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයා ද පළමු ව සාවද්‍ය ප‍්‍රකාශ බොහොමයක් සිදු කෙරින. ඔහු පළමු ව සදහන් කළේ අලූතින් ජනාවාස පිහිටු වීම සිදු කළ කල් ආරු වනාන්තරය තමන් යටතේ පාලනය වන රජයට අයත් භූමියක් බව ය. එබැවින් තමන් විසින් අක්කර භාගය බැගින් අවතැන් වූ ජනතාව අතර මේ ඉඩම් බෙදාදුන් බව ඔහු සදහන් කෙරින. නමුත් 2001 වසරෙන් පසුව දිස්ති‍්‍රක් ලේකම් වරුන්ට අයත් වනාන්තර නොමැති බව මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයා දැන නොසිටීම කණගාටුවට කරුණකි. වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් 2001 අගෝස්තු 10 වන දින නිකුත් කළ 05/2001 අමාත්‍යංශ චක‍්‍රලේඛණයට අනුව ලංකාවේ සියලූම දිස්ත‍්‍රික් ලේකම් වරුන්ට හා ප‍්‍රාදේශීය ලේකම් වරුන්ට දැනුම් දී ඇත්තේ රජයට අයත් සියලූම අවශේෂ කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරණ බව ය. ඒ අනුව මෙම වනාන්තර පාලනය වන්නේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ ය. එසේ තිබිය දී මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයා විසින් සිදු කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝණය කරමින් වනාන්තර ඉඩම් බෙදා දීම හා එම වනාන්තර ඉඩම්වල නීතිවිරෝධී ක‍්‍රියාවල නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ය.

2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක් එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ සදහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය සදහා අධිකරණය මගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.

එවන් තත්ත්වක් පවතිද් දී පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ආධාර හා අනුබල යටතේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ හා දිස්ති‍්‍රක් ලේකම් වරයාගේ මෙහෙය වීම මත නීතිවිරෝධී ලෙස කල් ආරු වනාන්තරය විනාශ කරමින් 2010 වසරේ සිට 2012 වසර දක්වා ම නව ජනාවාස පිහිටුවීම සිදු කෙරිණ. 2012 වසරෙන් පසුව මෙම වනාන්තර පද්ධතිය රක්ෂිත ප‍්‍රදේශ බවට ප‍්‍රකාශයට පත් කළ පසුව ද දිගින් දිගට ම නීති විරෝධීව වනාන්තර එළි පෙහෙළි කිරීම සිදු කෙරින. එම කාල වකවානුව තුළ නීති විරෝධීව වනාන්තර එළි පෙහෙළි කිරීමට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මේ නීති විරෝධි කි‍්‍රයා තව තවත් වර්ධනය විය.

වන සංරක්ෂණ ආඥා පනත පමණක් නොව ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන අනපනත් උල්ලංඝණය කරමින් මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හා අලූතින් ජනාවාස පිහිටු වීම සිදු කර ඇත. 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23ප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යපෘතියක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් හෝ පවුල් 100 කට වැඩි ප‍්‍රමාණයක් එක වර පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එවන් කිසිදු ක‍්‍රියාමාර්ගයකට මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් යොමු වී නොමැත. නමුත් ඊට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ද කිසිදු ක‍්‍රියාමාර්ගයක් මේ වන තුරුත් ගෙන නොමැත.

1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව පවුල් නැවත පදිංචි කිරීමට ප‍්‍රථම, හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම හා පදිංචිය සදහා නිවාස සංකීර්ණ ඉදිකිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සදහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියකින් තොරව කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් මහා පරිමාණ ජනාවාස පිහිටු වීමට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මේ වන තුරුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මේ අනුව පෙනී යන්නේ පසුගිය රජය පැවති සමයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ බලයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සියල්ල ම අකර්මන්‍යව සිටි බව ය. මේ නිසා දැවැන්ත විනාශයක් කල් ආරු වනාන්තර පද්ධතියට සිදු වී ඇත.

මෙලෙස නිසි බලපෑම් ඇගයීමකින් තොරව නුසුදුසු ප‍්‍රදේශයක ජනාවාස පිහිටුවීම නිසා විශාල පිරිසක් වර්ෂා කාලයේ දී ජල ගැලීම් වලින් පීඩා විදිති. මීට අමතර ව අලි මිනිස් ගැටුමෙන් හා ජල හිඟයෙන් දරුණු ලෙස පීඩා විදිති. මේ නිසා පදිංචි කළ බොහෝ පිරිසක් නිවාස අතහැර දමා ගොස් ඇත. නමුත් ජනතාව පදිංචි කරනවා වෙනුවට තවදුරටත් වනාන්තර එළිකරමින් ඉඩම් අත්පත් කර ගැනීම අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබේ.

කල් ආරු වනාන්තරය රක්ෂිත බවට පත් කිරීම

මේ අතරතුර කල් ආරු වනාන්තර පද්ධතියේ පවතින පාරිසරික, ජෛවවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හා ජල විද්‍යාත්මක වටිනාකම හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව 2012 ඔක්තෝම්බර් 10 වන දින අංක 1779/15 දරණ ගැසට් නිවේදනය යටතේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි කල් ආරු වනාන්තරයේ හෙක්ටයාර 6042 ක භූමි ප‍්‍රදේශයක් මරිච්චුක්කඞ්ඩෙයි කරඩික්කුලි වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මීට අමතර ව 2012 මැයි 21 වන දින අංක 1759/2 දරන ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 2108 ක් ලෙස අරුවි ආරු ඔයේ ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශ විලත්තිකුලම් වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. කල් ආරු ඔයේ ඉතිරි ජල පෝෂක වනාන්තර වේප්පායි හා මාවිල්ලූ වන රක්ෂිත ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ සියලූ රක්ෂිත ප‍්‍රදේශ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් වනාන්තර පද්ධතියක් ලෙස ව්‍යාප්තව තිබේ.

මෙම වනාන්තර ප‍්‍රදේශ රක්ෂිත තත්ත්වයට පත් කළ පසුව ද රිෂාඞ් බදියුර්දීන් අමාත්‍ය වරයාගේ මැදිහත්වීම මත වනාන්තර ඉඩම් වෙන් කර ගෙන, බලහත්කාරයෙන් එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු විය. මේ නීති විරෝධී කි‍්‍රයාවන්ට එරෙහිව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය කි‍්‍රයාත්මක නොකෙරින.

එම රක්ෂිත වනාන්තර සියල්ල ම එළිපෙහෙළි කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තිය උල්ලංඝණය කරමිනි. එම වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, එවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ සදහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරද කරුවකු වෙයි. එවන් වරදක් සදහා වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඬ මුදලකට ද යටත් කළ හැකි ය.

මේ අනුව මෙම වන රක්ෂිතය හතර එළි පෙහෙළි කරන පුද්ගලයන්ට හා ඒ සදහා ආධාර හා අනුබල ලබාදෙන රිෂාඞ් බදියුර්දීන් අමාත්‍ය වරයාට මෙන්ම මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයාට ද එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. එසේ නමුත් රක්ෂිත වනාන්තරය විනාශ කරමින් දේශපාලන උවමනාවන් මත ජනාවාස ව්‍යාප්ත කිරීමට එරෙහිව කිසිදු නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තව ම අපොහොසත් වී ඇත. රක්ෂිත වනාන්තරය අඛණ්ඩව එළි පෙහෙළි කරමින් තිබිය දී වන සංරක්ෂණ නිලධාරීන් ඇස් කන් නැත්තවුන් සේ මුනිවත රැකීම කණගාටුවකට කරුණකි. එම දෙපාර්තුමේන්තුව මගින් නීත්‍යානුකූල නොවන ලෙස හෝ නිදහස් කර ඇති වනාන්තර ප‍්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වනාන්තර රක්ෂිත භූමියෙන් මේ වන විට එළිිපෙහෙළි කර ඇතත් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තවම නිහඩව සිටින්නේ කුමන හේතුවක් මත ද යන්න ගැටළුවකි.

නැවත පදිංචි කිරීම් කටයුතු අවසන් කර ඇති බවට තහවුරු කිරීම

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ, ඉඩම් කොමසාරිස් ජනරාල්, ආර්. පී. ආර්. රාජපක්ෂ මහතා විසින් 2012.03.06 වන දින අංක ”3/සං/4/1/මුලතිව්දරන ලිපිය මඟින් තහවුරු කර ඇත්තේ එම කාල වකවාණුව වන විට උතුරු හා නැගෙනහිර පලාත් වල ඉඩම් බෙදා දීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බව හා එ් වන විට උතුරු හා නැගෙනහිර පලාත්වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් කර ඇති බවයි. එසේ තිබිය දී 2013 වසරේ දී රක්ෂිත වනාන්තර ඉඩම් ජනතාව පදිංචි කිරීමට නිදහස් කර ඇත්තේ කෙසේ දැයි පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

නමුත් අද වන විට වන සංරක්ෂණ ජනරාල්වරයා මේ වන විට පවසා සිටින්නේ පසුගිය රජය පැවති සමයේ දී බැසිල් රාජපක්ෂ මහතා හා රිෂාඞ් බදියුර්දීන් මහතා විසින් කළ දැඩි බලපෑම් හමුවේ මේ ඉඩම් නිදහස් කළ බව ය. නමුත් නීති විරෝධී ලෙස හෝ නිදහස් කර ඇති ඉඩම් ප‍්‍රමාණයට වඩා වැඩි වනාන්තර භූමියක් මේ වන විට මරිච්චිකඞ්ඩි කරඩික්කුලි, වේප්පායි, මාවිල්ලූ හා විලත්තිකුලම් යන වන රක්ෂිත වලින් එළි පෙහෙළි කර ඇති අතර එම කිසිදු හානිකර කි‍්‍රයාවකට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැත.


විල්පත්තු වනාන්තර පද්ධතියේ ඇති වැදගත්කම


මෙම රක්ෂිත වනාන්තර හුදෙකලා නොවූ වනාන්තර පද්ධතියක් ලෙස විල්පත්තු උතුරු අභය භූමිය හා විල්පත්තු ජාතික වනෝද්‍යාන සංකීර්ණය හා බැදී පැවතීමෙන් අලි ඇතුන්ගේ ප‍්‍රධාන නිජබිමක් වී ඇත. එපමණක් නොව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමෙන් ගලා බසිනා මෝදර ගං ආරු ඔයේ හා මෙම රක්ෂිත හරහා ගලා යන කල් ආරු ඔයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයකි. මීට අමතර ව අරුවි ආරු ඔයේ ජල පෝෂක ප‍්‍රදේශයක් ද වේ. මෙම වන රක්ෂිත වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර වලින් වැඩි ප‍්‍රමාණයක් සමන්විත වන අතර සුළු වශයෙන් කටු පදුරු සහිත ල`දු කැලෑ බිම්, ගංගාශි‍්‍රත වනාන්තර හා විල්ලූ පරිසර පද්ධති වලින් සමන්විත ය.

මෙම වනාන්තර පද්ධතිය විල්පත්තු ජාතික වනෝද්‍යානය හා අඛණ්ඩව බැදී පවතින අතර එහි ජෛව විවිධත්වයට සමාන ජෛව විවිධත්වයක් මෙම වන රක්ෂිතය තුළින් ද වාර්තා වේ. ඊට අමතර ව පුරා විද්‍යාත්මකව වැදගත් වන ප‍්‍රදේශයක් ලෙස ද මේ ප‍්‍රදේශය සැලකිය හැකි අතර ප‍්‍රධාන වශයෙන්ම මහා ශිලා යුගයට අයත් සාධක හමු වන වනාන්තර ප‍්‍රදේශයක් ලෙස සැලකිය හැකි ය.

නමුත් අද වන විට වන සතුන්ගේ වාසස්ථාන, පුරා විද්‍යාත්මකව වැදගත් වන ප‍්‍රදේශ, ජල පෝෂක වනාන්තර බිම් හා සුවිශේෂි පරිසර පද්ධති ඇතුළු ව අක්කර 3400 ක භූමියක් සම්පුර්ණයෙන්ම එළි පෙහෙළි කර තිබේ. එසේ එළි පෙහෙළි කර ඇත්තේ වන රක්ෂිතය ඛණ්ඩනය කරමිනි. ඊට අමතර ව තව දුරටත් වනාන්තර එළි පෙහෙළි කිරීම සදහා රක්ෂිත වනාන්තරය තුළ ට මාර්ග සකස් කිරීම ද සිදු කර තිබේ. මේ නිසා අලි ඇතුන් ඇතුළු ව බොහෝ සත්ත්ව ප‍්‍රජාවකගේ ගැවසුම් ප‍්‍රදේශ ඛණ්ඩනය වීමට හා ඇහිරීමට ලක් ව තිබේ.

වන රක්ෂිත තුළ හුදෙකලාව මෙම ජනාවාස පිහිටුවීමේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කර ඇති අතර එම ප‍්‍රදේශ වල පදිංචි කළ ජනතාවට අවශ්‍ය විදුලි බලය, මාර්ග පහසුකම් හා පානීය ජලය ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදු ව තිබේ. විශේෂයෙන්ම ජනාවාස පිහිටන සිලාවතුර ප‍්‍රදේශයට සැලකිය යුතු දුරකින් මෙම ජනාවාස හුදෙකලාව වනාන්තරය තුළ ස්ථාපිත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත ව තිබේ. මේ නිසා හුදකලාව පදිංචි කළ ජනතාවට අලි මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීමට සිදු වී ඇත. එපමණක් නොව මෙම ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා ගැනීමට ද විශාල වෙහෙසක් දැරීමට සිදු වනු ඇත. මීට අමතර ව විශාල ගැටලූවක් ලෙස පවතින්නේ පදිංචි කළ ජනතාවට අවශ්‍ය වගා බිම් ලබා දීමට තව තවත් රක්ෂිත වනාන්තර එළි පෙහෙළි කිරීමට සිදු වීම ය. දැනට පදිංචි කළ ජනතාවට ඇති ප‍්‍රධාන ගැටළුව ආදායම් උත්පාදන මාර්ග නොමැති වීම ය. ඔවුන්ගේ වගා කටයුතු සදහා අමතර ඉඩම් ලබා දෙන ලෙසට මේ වන විට ද පදිංචි කළ ජනතාව දැඩි බලපෑම් එල්ල කරති. ඊට අමතර ව අළුතින් පදිංචි වූ බොහෝ ජනතාව රක්ෂිත වනාන්තර තව දුරටත් එළි පෙහෙළි කරමින් හා රක්ෂිත වනාන්තරයේ මායිම් කණු ඉවත් කරමින් වගා බිම් ස්ථාපිත කිරීම සිදු කරමින් පවතී. මේ තත්ත්වය ඉදිරියේ දී තව දුරටත් වර්ධනය විය හැකිය.

මීට අමතර ව දඩයම, දැව ජාවාරම හා අලි ඇතුන් මරා දැමීම යන නීති විරෝධී ක‍්‍රියා වල වර්ධනයක් මේ ප‍්‍රදේශයේ දැක ගත හැකි ය. මේ සියළු තත්ත්වයන්ට හේතු වී ඇත්තේ නුසුදුසු ස්ථානයක, දේශපාලන උවමනාවන් මත පදනම් ව අලූතින් ජනාවාස පිහිටුවීම ය. විශේෂයෙන්ම රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාට අවශ්‍යව ඇත්තේ අලූතින් ජනතාව පදිංචි කරමින් මන්නාරම දිස්ති‍්‍රක්කයේ තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගැනීම හා ඉඩම් අත් පත් කර ගැනීම ය. ඊට අමතර ව යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරන මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා මුදල් ගෙන්වා ගැනීමේ දැවැන්ත ජාවාරමක ද රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා නිරතව සිටින බව මේ වන විටත් අනාවරණය වී තිබේ.

මේ නිසා පසුගිය කාලය පුරාම මෙම වන රක්ෂිත හතර එළි කර අලූතින් ජනාවාස පිහිටුවීම සඳහා විදේශ රට වලින් හා රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබුණු මුදල් ප‍්‍රමාණය හා එ්වා නිසි පරිදි පරිහරණය කර තිබේ ද යන්න පිළිබඳ ව පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍යය. එවිට මෙම අමාත්‍යවරයා විසින් යුද්ධයෙන් අවතැන් වූ ජනතාව පෙන්වමින් වංචනික ලෙස සිදු කර ඇති මුදල් වංචාවන් අනාවරණය කර ගත හැකි වනු ඇත.

රක්ෂිත වනාන්තර විනාශ කර නීති විරෝධී ව ජනාවාස ව්‍යාප්ත කිරීමට
ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ආධාර ලබා දීම


රක්ෂිත වනාන්තර විනාශ කරමින් නීති විරෝධී ලෙස දේශපාලන උවමනාවන් මත පදනම් ව සිදු කරන අලූතින් ජනාවාස පිහිටුවීමේ මෙම හානි කර දැවැන්ත ව්‍යාපෘතිය සඳහා වගකීම් විරහිතවAustralian Aid, European Union, Swiss Agency for Development and Cooperation යන රාජ්‍ය නොවන සංවිධාන මුදල් ආධාර ලබා දී තිබේ. එම ව්‍යාපෘති කි‍්‍රයාත්මකකරු ලෙස එක්සත් ජාතීන්ගේ නිවාස වැඩසටහන (UN Habitat) කි‍්‍රයා කර ඇත. මීට අමතර ව මැදපෙරදිග කටාර් රාජ්‍යයේ සංවිධාන වලින් ද විශාල ආධාර මුදල් ප‍්‍රමාණයක් මේ සඳහා ලැබී තිබේ. නමුත් මෙවන් දෑ සිදු වූයේ කුමන අයුරින් ද යන්න පිළිබඳ ව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම කණගාටුවට කරුණකි.

මේ තත්ත්වය මෙසේ පවතිද් දී රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා සතු ඡන්ද පදනම හේතුවෙන් යහපාලන රජය ද රක්ෂිත වනාන්තර වනසමින් සිදු කරන දැවැන්ත විනාශය දෙස තවම බලා සිටී. අනාගත හා වර්තමාන පරපුරට අයත් සියළු ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් වෙන් කළ මෙම වන රක්ෂිත එක් අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික උවමනාව මත විනාශ කිරීමට ඉඩ දිය හැකි ද යන්න ප‍්‍රධාන ගැටළුවකි.

පසු ගිය රජය සමයේ දී ආරම්භ වී වත්මන් රජය තුළ ද ක‍්‍රියාත්මක වන මෙම දැවැන්ත වන විනාශයට රජයන් දෙකම එක සේ ආධාර හා අනුබල ලබා දීම මෙන්ම නීතිය ක‍්‍රියාත්මක කිරීමට පසුබට වීම පිළිබදව අපට ඇත්තේ විශාල සැකයකි.

ගත යුතු කි‍්‍රයාමාර්ග

අප වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර හතරෙහි ජනාවාස පිහිටුවීම වහාම නතර කර මොල්ලිකුලම් හා මරිච්චිකඞ්ඩි ගම්මාන දෙකෙහි අවතැන් වූ ජනතාව එම ප‍්‍රදේශ වල ම නිසි පරිදි නැවත පදිංචි කිරීමට කටයුතු කරන ලෙස ය. දැනට වන රක්ෂිත වල එළි පෙහෙළි කර ඇති සියළු වනාන්තර නැවත එම වන රක්ෂිත වලට පැවැරීම හා එළි පෙහෙළි කළ ප‍්‍රදේශ වල නැවත වනාන්තර ප‍්‍රතිස්ථාපනය වීමට අවස්ථාව ලබා දීම සිදු කළ යුතු ය. එමගින් වනාන්තර පද්ධතියේ ඛණ්ඩනය වීම යතා තත්ත්වයට පත් කළ හැකි වන අතර එමගින් සියඑ ජීවීන්ගේ සුරක්ෂිතතාව හා ජල පෝෂක වල සුරක්ෂිතතාව ඇති කළ හැකි ය. එසේ නොවුනහොත් මෙම ප‍්‍රදේශයේ සාම්ප‍්‍රදායික ගම්මාන වල ජනතාවට හා සැබෑ ලෙසම අවතැන් වූ හා නැවත පදිංචි කළ ජනතාවට පානීය හා කෘෂි කාර්මික ජල අර්බුධ වලට සහ අලි මිනිස් ගැටුමට දරුණු ලෙස ගොදුරු වීමට සිදු වනු ඇත.

මෙම දැවැන්ත නීති විරොධී වන විනාශය සදහා දායක වූ හා ආධාර හා අනුබල ලබා දුන් සියලූ රජ්‍ය නිලධාරීන්ට හා දේශපාලකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු අතර වනාන්තරයට සිදු කළ හානියට වන්දි මුදලක් ද අය කර ගත යුතු ය. එම මුදල නැවත මෙම වනාන්තරය ප‍්‍රතිස්ථාපනය කිරීම ස`දහා යෙදවිය යුතු ය. එ් සඳහා නීත්‍යානුකූල හැකියාව ද ඇත.

එපමණක් නොව උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ නිවැරැදි ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු අතර එහි දී රක්ෂිත ප‍්‍රදේශ වල පැවැත්මට එල්ලවන බලපෑම් අවම කිරීමට හා එවායේ සුරක්ෂිත තාවය ඇති කිරීමට කි‍්‍රයාමාර්ග ගත යුතු ය. එපමණක් නොව නැවත පදිංචි කිරීමේ කටයුතු පටු දේශපාලන උවමනාවන් මත නොව පැහැදිලි විනිවිද භාවයකින් යුතු ව යථාර්තවාදීව සිදු කළ යුතු ව ඇති අතර එ් තුළින් ජාතීන් අතර සංහිදියාව තහවුරු කළ යුතු ය.
සජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය
උපුටා ගැනීම - http://www.vikalpa.org/?p=29264

විල්පත්තුවේ වන විනාශයක් සිදුවෙනවාද?
උපුටා ගැනීම - http://www.bbc.com/sinhala/sri-lanka-38810572 - 2017 ජනවාරි 31 

විල්පත්තු රක්ෂිතයේ හෝ ඒ අවට වනාන්තරයේ කිසිදු වන විනාශයක් සිදු නොවන බව විල්පත්තුවේ සංචාරයක යෙදුනු සිවිල් ක්‍රියාධරයන් පිරිසක් පවසති.
එහෙත් සිවිල් ක්‍රියාධරයන්ගේ එම ප්‍රකාශය, කරුණු නිසි ලෙස වටහා නොගෙන සිදුකරන්නක් බවට පරිසරවේදීහු චෝදනා කරති.
"මේක ඔඩු දුවපු තුවාලයක්, ආණ්ඩුවම කරපු දෙයක්"
විල්පත්තු වනෝද්‍යාන සීමාව තුළ පරිසර විනාශයක් නැහැ - ජනපති
විල්පත්තුව ගැන 'කැක්කුමක් තිබේද?'
වනාන්තර හෙළිකරමින් මුස්ලිම් ජනතාව පදිංචිවෙමින් සිටින එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශය, කොට්ටච්චි, සීලාවතුර යන ප්‍රදේශවල සංචාරය කළ අවස්ථාවේ තමන්ට දැකගැනීමට ලැබුන බව සංචාරයෙන් අනතුරුව සංදේශය සමග දහස් දැක්වූ පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය සඳහන් කළේය.
"විල්පත්තු වනයට අදාළ, ප්‍රදේශයට අදාළ කිසිම වන විනාශයක් මේ කියන ජනතාව නැවත පදිංචි කිරීම්වලදී සිදුවෙලා නෑ," ඔහු පැවසීය.
සිවිල් ක්‍රියාධරයන් ගම්වාසීන් සමග
"හැබැයි ජනතාව නැවත පදිංචි කරලා තියෙනවා, ඔවුන්ගේ පළමු ගම්බිම්වල. මේ ජනතාව මුස්ලිම්, දෙමළ සහ සිංහල. මේ කණ්ඩායම් තුනේම පාරම්පරික ගම් තියෙනවා විල්පත්තු වනයට පිටින්."
යුද්ධය සමයේ එල්ටීටී සංවිධානය විසින් එම ප්‍රදේශවල විසූ ජනතාව පළවා හැරි බව පවසන සමන් රත්නප්‍රිය, වසර විසිපහකට පමණ පසුව ඒ ජනතාව යළි සිය ගම්බිම් බලා එනවිට එම ප්‍රදේශවල කැලෑ වැවී තිබී ඇති බවත් සඳහන් කළේය.
මුතුරාජවෙල රක්ෂිතයේ 'පරිසර විනාශයක්'
'පරිසරය අපට ඔක්සිජන් දෙන්නේ ජාති භේදයකින් තොරවයි'
එම කැලෑ ප්‍රදේශ හෙළි පෙහෙළි කරමින් ඒ ජනතාව යළි පදිංචිවෙමින් සිටින්නේ බලධාරීන්ගේ නීත්‍යානුකූලව අවසරය සහිතව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ නමුත් විල්පත්තුවේ සංචාරයක යෙදීමෙන් අනතුරුව සිවිල් සහ වෘත්තීය සමිති ක්‍රියාධරයන් මතුකරන එම තර්කය තරයේ ප්‍රතික්ෂේප කරන බව පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර බීබීසී සංදේශයට පැවසීය.
විල්පත්තුව
විල්පත්තුව අවට කිසිදු වන විනාශයක් සිදු නොවන්නේය යන්න සිවිල් ක්‍රියාධරයන් කරුණු නොදැන කරන ප්‍රකාශයක් බවට චෝදනා කරන පරිසරවේදියා, විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර දෙකක තවමත් වන විනාශයක් සිදුවෙමින් පවතින බව අවධාරණය කරයි.
"විලච්චිකුලම් වන රක්ෂිතය වගේම මරිච්චිකට්ටි වන රක්ෂිතයත් හෙළි පෙහෙළි කරමින් තමයි මේ ජනාවාශ ව්‍යාප්ත කරන්නේ," ඔහු පැවසීය.
ඒ ආසන්නයේ මුස්ලිම් සහ දෙමළ ජනතාව සාම්ප්‍රදායිකව වාසය කළ ගම්මාන දෙකක් පවතින බව සඳහන් කළ සජීව චාමිර, ගැටලුව පවතින්නේ එම ගම්මාන පිළිබඳව නොවන බවත් පැවසීය.

විල්පත්තුව: අලුතින් සංරක්ෂිත වනාන්තරයක්
උපුටා ගැනීම http://www.bbc.com/sinhala/sri-lanka-39378861 - 2017 මාර්තු 24

විල්පත්තු වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර හතරක් සංරක්ෂිත කලාප ලෙස නම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනුමැතිය ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එක් කොට තනි සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ ගැසට් පත්‍රයට සිය රුසියානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා විසින් අද (මාර්තු 24) අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ අනුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාවිල්ලු, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතු කර වන සංරක්ෂණ ආඥා පනතේ "3අ" වගන්තිය යටතේ "මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය" ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
"මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය"
"එහි මායිම් වෙනස් කිරීමට අවශ්‍ය නම් වන සංරක්ෂණ ආඥා පනතට අනුව එය සිදු කළ හැක්කේ අදාළ විෂය භාර ඇමතිවරයා විසින් සාදන ලද නියමයක් ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලදුව පාර්ලිමේන්තුවේ සම්මත කොට එසේ සම්මත කළ දැන්වීම ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුවය" යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව උක්ත වනාන්තරය සඳහා උපරිම නීතිමය ආවරණය ලැබී එහි ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ගස් කැපුවේ ආණ්ඩුව -රිෂාඩ්
"මේක ඔඩු දුවපු තුවාලයක්, ආණ්ඩුවම කරපු දෙයක්"
විල්පත්තුවේ වන විනාශයක් සිදුවෙනවාද?
විල්පත්තු වනෝද්‍යානය හා ඊට යාබද වනාන්තර අනවසරයෙන් හෙළි පෙහෙළි කිරීම් ගැන පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පළ වුවත් 2012/2013 වර්ෂවල දී මුදාහැර ඇති වනාන්තර ඉඩම් හැරුණු කොට වෙනත් වනාන්තර හෙළි කිරීමක් සිදු වී නොමැති බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.
උපුටා ගැනීම http://www.bbc.com/sinhala/sri-lanka-39378861 - 2017 මාර්තු 24

විල්පත්තු උතුරේ - කල්ලාරු
වන විනාශය තවමත් එසේමය
උපුටා ගැනීම http://www.divaina.com/2015/07/05/feature01.html - Jul 5, 2015

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් විල්පත්තු උතුරු අභය භූමිය පටන් සිලාවතුර ප්‍රදේශය දක්‌වා කල්ලාරු මහා (සංරක්‍ෂිත) වනාන්තරයත් මඩු රක්‍ෂිත වනාන්තරයත් විනාශයට පත්කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අනුදැනුම මත කරනු ලබන නැවත පදිංචිකිරීමේ ව්‍යාපෘතිය සහ මහා වන විනාශය තවමත් නොවිසඳුණු, තවමත් අහවර නොවනු අර්බුදයකි. මේ පිළිබඳව මාධ්‍යවේදීන්, පරිසරවේදීන් හා බහුජන සංවිධාන කොතෙකුත් මේ පිළිබඳව වාර්තා කළත්, කරුණු කාරණා හෙළිදරව් කළත්, විරෝධතා ව්‍යාපාර දියත් කළත් විල්පත්තු මහ වනාන්තරයට උදාවූ සෙතක්‌ සාධාරණත්වයක්‌ නැත. "දැන් ඉතින් විනාශ වූ දේ විනාශවන්නට ඉඩ හරිනවා" යෑයි නියායෙන් බලධාරීන් කල්මරනවා විය හැකිය. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියන්නේ මෙම ඉඩම් තම මුස්‌ලිම් ජනතාව විසූ පාරම්පරික ඉඩම් බවත්, යුද්ධයෙන් පසු නැවත පදිංචිකිරීමේ කටයුතු සඳහා ඒවා භාවිත කළ බවත්ය. "බළල්ලුද දී කිරට සාක්‍ෂි" යෑයි කියන්නා සේ මන්නාරම් මහ දිසාපති නොහොත් දිස්‌ත්‍රික්‌ ලේකම් දේශප්‍රිය මහතාද මූලික විරෝධතා හමුවේ අවධාරණය කර සිටියේ මෙම නැවත පදිංචි ඉඩම් එම ජනතාවගේ පාරම්පරික ඉඩම්ව තිබූ බවකි. ඔවුන් වන සතුන් මරාගෙන කාපු ඉඩම් වන බවකි. මෙවන් තත්ත්වයක්‌ තුළ අපට අසන්නට ඇත්තේ මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා තරම් මෙරටේ පරිසර නීතිය, වනජීවී නීතිය පිළිබඳව හෝ සමාජ අධ්‍යයනය ගැනවත් නොදන්නා අඳබාල නිලධාරීන් කුමන හේතුවක්‌ සඳහා මෙවන් දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ තනතුරු සඳහා පත්කර ඇත්තේද යන්නය. මන්ද, වනසතුන් මරාගෙන කෑම 1938 වන සත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥපනත අනුව දැඩි දඬුවම් ලැබිය යුතු වරදක්‌ නිසාවෙනි. එසේම ඔහු එක්‌ තැනෙක සඳහන් කරන දිසාපතිවරයාට අයත් කැලෑ ඉඩම් මෙම කටයුත්ත සඳහා නිදහස්‌ කළේය යන කරුණද අතිශය වැරදිසහගත ප්‍රකාශයකි. මන්ද අතීතයේදී දිසාපතිවරුන්ට අයත් කැලෑ ඉඩම් තිබුණද 2001 වසරේ පටන් දිසාපතිවරුන්ට අයත් කැලෑ ඉඩම්ද වන ආඥ පනත යටතේ වන සංරක්‍ෂණ ජනරාල්වරයා වෙත ගැසට්‌ නිවේදනයකින් පවරා ඇති නිසාය. එනිසා මන්නාරම් මහ දිසාපතිවරයා වන හා වනජීවි නීතිය ගැන නොදන්නා අයකු වනවා සේම හේ මෙරටේ වනාන්තර විනාශයට අනුබල දෙන පුද්ගලයකු වශයෙන්ද අප හඳුන්වා දෙන්නෙමු.

මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ගලේ පහරපු බළලෙක්‌ ගාණට වැටුණු අවස්‌ථාවක්‌ ගැනද මෙහි සනිටුහන් කිරීම වටී. එනම්, කල්ලාරු කැලෑ විනාශය පිළිබඳව දිගින් දිගටම විරෝධතා පැන නැඟෙද්දී ඒ පිළිබඳව වහාම සොයා බලන්නට කමිටුවක්‌ පත්කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළේය. පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සමන්විත එම කමිටුවේ මූලික විමර්ශනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති අතර ඒ සඳහාද මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පැමිණ සිටියේය.

එහිදී සිද්ධිය පිළිබඳව හඳුන්වා දුන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වන සංරක්‍ෂක ජනරාල්වරයාට සැබෑ තත්ත්වය පහදා දෙන්නට අවස්‌ථාව ලබා දුන්නේය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් වන සංරක්‍ෂක ජනරාල් අනුර සතුරුසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගිය (මහින්ද රාජපක්‍ෂ) පාලන කාලයේදී නැවත පදිංචිකිරීමේ කාර්ය සාධක බළකායේ ඉල්ලීම පරිදි මෙසේ කල්ලාරු සහ මඩු රක්‍ෂිත වනාන්තරවලින් හෙක්‌ටයාර් 2500 ක්‌ නිදහස්‌ කරන්නට තම දෙපාර්තමේන්තුවට සිදුවූ බවයි. හිටපු වන සංරක්‍ෂක ජනරාල්වරයා ඒ සඳහා අනුමැතිය දී තිබිණි.

මෙම ප්‍රවෘත්තිය දැනුම් දෙනවිට මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ඊට යාබද ආසනයේ සිටි අතර ගලේ පහරපු බළලකු ගාණට වැටුණු ඔහුගේ හිස මතට තවත් මරාලයක්‌ කඩාගෙන වැටුණේය. ඒ අනිකක්‌ නොව මෙසේ හෙළි පෙහෙළි කරන ලද හෙක්‌ටයාර් 2500 ක වනාන්තර ප්‍රදේශවල පලු, වීර, බුරුත වැනි වටිනා දැවවලට සිදුවූයේ කුමක්‌ද යන්න මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්‌ථාවේදීය. වන සංරක්‍ෂක ජනරාල්වරයා මෙහිදී කියා සිටියේ විධිමත් රාජ්‍ය ක්‍රමවේදය අනුව අදාළ දැව, දැව සංස්‌ථාව මගින් ලබාගත යුතු වුවත් පසුගිය රජය නැවත පදිංචිකිරීමේ අවශ්‍යතාව ඉක්‌මන් කිරීම නිසා දැව සමඟම වනාන්තරය ජනාධිපති කාර්ය සාධක බළකායට නිදහස්‌ කළ බවකි. මෙය මහා අපරාධයකි. මහා දැව කොල්ලයකි. අහස පොළොව නුහුලනා වනාන්තර විනාශයකි. ලෝකයේ සිදුවූ සියවසේ අතිවිශාලතම වනාන්තර විනාශය මෙය ලෙස සලකන අතර, එයින් ඉවත්වූ දැව කළු කඩයේ විකුණා ගැනීමද අතිවිශාල ජාවාරමක්‌ම වෙයි. ඒ පිළිබඳව මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ විට හේ කියා සිටියේ තමන් ඒ ගැන නොදන්නා බවය. තමන් විටින් විට පොලිසිය දැනුවත් කළද කුමක්‌ සිදුවී දැයි තමන් නොදන්නා බව ඔහු එම පුවත්පත් සාකච්ඡාවේදී කියා සිටියේය. කල්ලාරු සහ මඩු වනාන්තරවලට සිදුවූයේ එවන් බලවත් අපරාධයකි.

නැවත පදිංචිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය ගැන අප හරිහැටි නොදන්නා මුත්, මෙම වනාන්තර විනාශය පිටුපස සිටි යෝධ හස්‌තය එවක නැවත පදිංචිකිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා රිෂාඩ් ඇමැතිවරයාගේ රැකවරණයට යෝධ සෙවණැල්ල සේ ක්‍රියා කළ අතර, මන්නාරම් මහ දිසාපති මොවුන්ගේ සෙවණැල්ලට පෑගුණු ලිලිපුට්‌ටකු පමණක්‌ විය. ඒ අපගේ විශ්වාසයයි.

දැනට හඳුනාගෙන ඇති පරිදි මෙසේ විල්පත්තුව උතුරේ කල්ලාරු - මරිච්චි කඩ්ඩි ප්‍රදේශයේ ඉඩම්ලාභී බහුතරය යුද්ධයෙන් අනාථ වූවන් නොවේ. පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ මුස්‌ලිම් බහුතරයකටද මෙම වනාන්තර ප්‍රදේශවලින් ඉඩම් ලබාදී තිබේ. ඒ අනුව අපට තර්ක කළ හැක්‌කේ හුදෙක්‌ අනාථයින් මුවාවෙන් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා තමන්ගේ ඡන්ද පදනම වැඩිකර ගැනීමට නොහොත් මුස්‌ලිම් ව්‍යාප්තවාදය උදෙසා අති විශාල ක්‍රියාමාර්ගයක්‌ ගෙන ඇති බවයි. එහෙත්, ගැටළුවකට ඇත්තේ මෙසේ රජයේ ගණ වනාන්තර බුල්ඩෝසර් කර වනසා දමමින් මහත් පරිසර විනාශයකට මඟ පාදමින් භූමිය අයථා ලෙස පටු අරමුණු වෙනුවෙන් භාවිතයට ගනිද්දී එය මධ්‍යම රජයේ කිසිදු බලධාරියකු, කමිටුවක්‌, හෝ ආයතනයක්‌ මගින් අධීක්‍ෂණයට ලක්‌ නොකිරීමය, අධීක්‍ෂණය කළ යුතු ප්‍රධාන පුද්ගලයා මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාය. එහෙත් ඔහු දෙබිඩි චරිතයකි. රජය වෙනුවෙන් පෙනී සිටිමින් හේ වනාන්තර, වනජීවීන්ගේ විනාශය හමුවේ අඳ ගොළු බිහිරකු සේ ක්‍රියාකර ඇති අතර ඒ මදිවාට ඒවා සාධාරණීයකරණය සඳහාද කටයුතු කරයි.

විල්පත්තු උතුරු අභය භූමියේ ඉඩම් අල්ලා ගැනීම මෙම නැවත පදිංචිකිරීම යටතේ සිදුවූ පළමු ඉඩම් කොල්ලයයි. එම අවස්‌ථාවේදීද රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා කීවේ එම ඉඩම් විල්පත්තුවේ නොවන බවකි. එසේම එවක වනජීවී ඇමැති විජයමුණි සොයිසාද එහි නිරීක්‍ෂණයක්‌ සිදුකර පැමිණ එය විල්පත්තුව නොවේ යෑයිද ඒවා වන සංරක්‍ෂණ ඉඩම් යෑයිද කීවේය. එහෙත් සැබෑව නම් අවසානයේදී වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදුවූයේ එය තමන්ගේ අභයභූමියක්‌ ලෙස පිළිගැනීමටය. එහි පදිංචිව සිටි පවුල් 30 කට අධික පිරිසක්‌ ඒ අනුව වනජීවී ආඥපනත යටතේ මන්නාරම් අධිකරණයේ නියෝගයෙන් ඉවත් කෙරිණි.

මෙවර මෙම ඉඩම් කොල්ලයට ගොදුරු වූයේ වන සංරක්‍ෂණය සතු ඉඩම්ය. පෙර පරිදිම රජයේ කැළෑ නොවේ යෑයි කියූ බලධාරීන්ම අවසානයේ මේවා ලිත ඉල්ලීම් මත ලිපියක්‌ මගින් නැවත පදිංචි කිරීමට පවරා දුන් ඉඩම් බවට පිළිගන්නා ලදී.

මෙවන් තත්ත්වයක්‌ තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වනාන්තරය හෙළි පෙහෙළි නොකරන ලෙසටත් නැවත පදිංචිය තාවකාලිකව නවතන ලෙසටත් නියෝගයක්‌ නිකුත් කළද, එවන් නියෝග පිළිගන්නට හෝ නියෝග ක්‍රියාත්මක කරන්නට හෝ නිලධාරියකු බලධාරියකු කල්ලාරු මරිච්චිකඩ්ඩි ප්‍රදේශයේ නැත. එම ප්‍රදේශයට බලපාන්නේ වෙනම නීතියකි. තවදුරටත් එහි වනාන්තර කපමින් දැවැන්ත දැව ජාවාරමක්‌ සිදුකරන අතර ඉඩම් අල්ලාගැනීම සහ අනවසර පදිංචියද දිගින් දිගටම සිදුකර ගෙන යයි. මේ බව අපට පසක්‌ වූයේ ඉකුත්දා විල්පත්තු උතුරු මරිච්චිකඩ්ඩි මොල්ලිකුලම හා සීලාවතුර ප්‍රදේශයේ කළ සංචාරයකදීය.

විල්පත්තු ජාතික වනෝදනයේ සීමාව කෙළවර වන්නේ මොල්ලිකුලම වනජීවී අඩිවි ආරක්‍ෂක කාර්යාලයට යාබද මෝදරගංආරු ඔයෙනි. එතැන් පටන් උතුරින් විල්පත්තුව උතුරු අභය භූමිය පිහිටා ඇත. මෙම අභ්‍ය භූමියද නැවත පදිංචියට ගොදුරු වුවත් දැන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් එය යළිත් තහවුරු කර තිබේ. මේ වනවිට ඊට අදාළ මායිම්ගල් දැමීම සිදුකරතත් එය සිදුවන්නේ ඉබි ගමනෙනි. ඒ සඳහා වාහන හා අනෙකුත් කම්කරු පහසුකම් හරිහැටි ලබා දෙන්නට වනජීවී දෙපාර්තමේන්තුව ක්‍රියාකර නැත.

උතුරු අභය භූමියෙන් උතුරට ඇත්තේ මොල්ලිකුලම ප්‍රදේශයයි. මෙතැන් පටන් උතුරු දෙසට මරිච්චිකඩ්ඩි ප්‍රදේශයේ මීට වසර හයකට පෙර තිබුණේ අති විසල් ගණ වනාන්තරයකි. එය විල්පත්තුව හා යාවුණු එකම වනාන්තරයකි. නොහොත් මේ සියල්ලම විල්පත්තු වනාන්තරයම විය. මරිච්චිකඩ්ඩි සිලාවතුර මාර්ගය අතිශය දුෂ්කර වල ගොඩැලිවලින් පිරි ගුරුපාරක්‌ වූ අතර මාර්ගයට දෙපසින් තිබුණේ වන අලින් ගැවසෙන මහා වනාන්තරයයි. එහෙත් දැන් එසේ නොවේ. මන්නාරමේ සිට සිලාවතුර හරහා විල්පත්තු බෝඩරය (සීමාව) දක්‌වාම පුළුල් කාපට්‌ මාර්ගයක්‌ තනා ඇත.

(පුත්තලම - එළුවන්කුලම විල්පත්තු මායිම දක්‌වා මාර්ගයද එසේමය.)

විදුලි රැහැන් පද්ධතියක්‌ද සහිත මෙම සමස්‌ථ ප්‍රදේශයම අද නගර සංකීර්ණයක්‌ තරමට පහසුකම් සපයාදී මුස්‌ලිම්වරුන් වෙනුවෙන් ප්‍රදානය කර ඇත. "ජාසිම් සිටි" නම් වන මෙම ප්‍රදේශයේ විදෙස්‌ ආධාර යටතේ ස්‌ථීර ගොඩනැගිලි නිවාස ඉදිකර දී ඇති අතර තවදුරටත් අලිමංකඩ හා වනරක්‍ෂිත විනාශ කරමින් තාවකාලික ටකරං ගෙවල් රැසක්‌ද තනාදී ඇත. එනම් ඉතිරි රක්‍ෂිත වනාන්තර හා අලිමංකඩද යන සියලු වනගත ඉඩම් පදිංචිය සඳහා යොදාගනු ලබන්නේ පරිසරය පිළිබඳ අබමල් රේණුවක තරම් වටිනාකමක්‌ ගැන නොසලකාය.

මෙම ප්‍රදේශයේ ගුවන් ඡායාරූප සහ ගූගල් සිතියම් මගින් මෙම දැවැන්ත වන විනාශය තේරුම් ගත හැකිය. එහෙත්, මෙතරම් ගෝලීය පාරිසරික විනාශයක්‌ සිදු වෙද්දීත් ජාතික හෝ අන්තර්ජාතික මට්‌ටමින් ඊට එරෙහිව පරීක්‍ෂණ සිදු නොවීම කණගාටුවට කරුණකි. යුද්ධය නිසා වසර 30 ක්‌ ආරක්‍ෂාවුණු මෙම වනාන්තර වසර හයක්‌ තුළ අතිශය බරපතල අයුරින් විනාශයට ලක්‌වී ඇති අතර එය තවදුරටත් සිදුවීම විශ්මයකි. පරිසරවේදීන්, මාධ්‍ය සහ බහුජන සංවිධාන කොතරම් හඬ නැඟුවත් විරෝධතා දියත් කළත් බලධාරීන් බිහිරන් සේ ක්‍රියාකරනු පෙනේ.

විල්පත්තු උතුරේ අප කළ සංචාරයේදී මේ පිළිබඳව ඉතා හොඳින් අප අධ්‍යයනය කළ අතර අපට දැනගන්නට ලැබුණේ වනාන්තර ඉඩම්වලින් වන්නාතරය දෙසට මාර්ග කපා පදිංචිකරුවන් නැතත් විදුලි වයර් කණු කැළෑව දෙසට ඇද විදුලිය පහසුකම් ලබාදී ඇති බවකි. එනම් තවදුටත් පදිංචිකරුවන් අපේක්‍ෂාවෙන් එහි ඉඩම් අතිරික්‌තයක්‌ තබාගෙන ඇති බවකි. එසේම මෙම වනාන්තරවලින් කිසිදු අවහිරයකින් බාධාවකින් තොරව දැව, පස්‌, වැලි කපා ට්‍රැක්‌ටර් හා ට්‍රක්‌රථ මගින් ගෙන යන ලබන බවකි. එසේම පිටතින් එහි පැමිණෙන පුද්ගලයින් කවුරුන්ද යන්න විමසීම සඳහා වෙනමම කණ්‌ඩායම් යොදවා ඇති බවද අප අත්දුටු සත්‍යකි.

මෙවන් අවසනාවන්ත තත්ත්වයකින් විල්පත්තු හා කල්ලාරු වනාන්තර අද පීඩා විඳී. එහෙත් එහි වෘක්‍ෂ දේවතාවන් අලි ඇතුන් වන සතුන් නඟන දුක්‌ඛ දොaමනස්‌සයන් අෙ¹aනාවන් අසන්නට කෙනෙකු අද ලක්‌දෙරණ තලය මත නැත. එහෙයින් මෙවන් විනාශයන්ට හෙණ ගෙඩි ඉල්ලා සිටින්නට අපට සිදුවන්නේ තිස්‌තුන් කෝටියක්‌ දෙවියන්ගෙනි.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප- හර්ෂන ජයතිලක, රජිත ප්‍රනාන්දු, රවීන්ද්‍ර ප්‍රේමලාල්
විශේෂ ස්‌තූතිය - උපාලි ගුණවර්ධන
උපුටා ගැනීම http://www.divaina.com/2015/07/05/feature01.html - Jul 5, 2015

විල්පත්තු විනාශය ගැන ජනපති කොමිසම අදහස් විමසයි
උපුටා ගැනීම - http://dinamina.lk 
මන්නාරම විල්පත්තු ජාතික වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිලධාරීන් මේ දිනවල මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිති.

ඒ එස්.බී.ඒ.බී. බොරලැස්සගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිසමේ නිලධාරීන් විසින්.

ඔවුන්ගේ මුල් ගම්බිම්වල අයිතිය තහවුරු කරවීම සඳහා වූ මුල් ඔප්පු ඇතුලු බොහෝ ලියකියවිලි කොමිසමේ නිලධාරීන් වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන් යුද්දෙට පෙර සිටම පරම්පරාගතව මෙම ප්‍රදේශවල ජීවත් වන හෙයින් එම අයිතිය තමන්ට ලබා දෙන ලෙසටයි.
උපුටා ගැනීම - http://dinamina.lk -  Monday, සැප්තැම්බර් 11, 2017 

No comments:

Post a Comment