Monday, September 4, 2017

පොලිතීන් තහනම (ගැසට් නිවේදනය සහිතයි)

පොලිතීන් සහ ඒ ආශ්‍රිත භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීමට අදාල ගැසට් නිවේදන 06ක් රජය විසින් සැප්තැම්බර් 01 දා   නිකුත් කර තිබේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව අදාල ගැසට් නිවේදන 06 නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදන වලට අනුව 

01. මයික්‍රෝන 20 හෝ ඊට අඩු පොලිතීන් හෝ පොලිතීන් නිෂ්පාදන නිපදවීම, විකිණිම, නොමිලේ ලබාදීම සහ භාවිතය -  අංක 2034/33 ගැසට් නිවේදනය


 02. ආහාර දවටන හෙවත් ලන්ච් ෂීට්  නිපදවීම, විකිණිම, නොමිලේ ලබාදීම, හෝ භාවිතය  - අංක 2034/34 ගැසට් නිවේදනය


03. වැඩි ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගෙන මළු නිෂ්පාදනය, විකිණිම, නොමිලේ ලබාදීම, ප්‍රදර්ශනය කිරිම හෝ භාවිත කිරිම -  අංක 2034/35 ගැසට් නිවේදනය


04. කිසිදු තැනැත්තෙකු ප්ලාස්ටික් අඩංගු කසල හෝ පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍ය එළිමහනේ පිළීස්සීමට ඉඩ සැලැස්වීම හෝ ඊට අවසර ලබාදීම  -  අංක 2034/36 ගැසට් නිවේදනය


05. සියලුම ආකාරයේ පොලිඑතිලින්, පොලිප්රොටපිලින්,පොලිඑතිලීන් නිෂ්පාදන හෝ පොලිප්රො,පිලින් නිෂ්පාදන දේශපාලන, සාමාජියීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවලදී සැරසිලි සදහා භාවිතය. -  අංක 2034/37 ගැසට් නිවේදනය


06. ප්‍රසාරිත පොලිස්ටයිරින් වලින් ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප, හා හැඳි නිෂ්පාදනය සහ රට තුළ විකිණීම, විකිණිම සඳහා අපර්ණය, නොමිලේ ලබා දීම, ප්‍රදර්ශනය හෝ භාවිතය - අංක 2034/38 ගැසට් නිවේදනය


යන්න තහනම් කර ඇත.
මෙම ගැසට් නිවේදන මගින් 2017 සැප්තැම්බර් 01 දින සිට පොලිතීන් භාවිතය තහනම් කළ ද එළඹෙන 2018 ජනවාරි මස 01 වනදා දක්වා සහන කාලයක් ලබා දී ඇති බව සඳහන් වේ. 


පොලිතීන් තහනම පිළිබඳව පසුගිය වකවානුවේ වෙබ් අඩවි වාර්තා කළ කරුණු පහතින් දක්වා ඇත.



ලෝකෙ වටේ පොලිතීන් බෑග් තහනම් කරපු හැටි

1994 ඩෙන්මාකය බෑග් වලට බද්දක් - භාවිතය හරි අඩකින් අඩු වීම යුරෝපා සංගමයේ බෑග් අඩුවෙන්ම භාවිතා කරන රට බවට පත් විය
89 – 98 ගංවතුර ගැලිම් වලදී කාණු අවහිරවීම නිසා ගංවතුර හානි වැැඩි වුනා. 1991දී බෑග් තහනම් කළ පළමු රට බවට බංගලාදේශය පත්වුණා. ඒත් මිල අඩු ආදේශක නොවිම සහ නීතිය ක්‍රියාත්මක නොවීම තුළ තවමත් භාවිත වේ.
2008 ඔලිම්පික් උළෙලට කලින් චීනයේ තහනම් කළා. ඔවුන්ට අනුව භාවිතය 60% අඩුවෙලා. තෙල් ටොන් මිලියන 4.8ක් ඉතිරි ඇති බව කියයි.
---------------------------------------------------------------------------------------------------------------
ලංකාදීප පුවත්පත

ලන්ච් ෂීට් කෝටි දෙකක් දිනපතා පරිසරයට
(විනීතා එම් ගමගේ)

කෑම එතීම සඳහා භාවිතා වන තුනී පොලිතින් (ලන්ච් ෂීට් ) කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයක් දිනපතා පරිසරයට එකතුවන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.  ශ්‍රී ලංකාවේ ජනගහණයද කෝටි දෙකක් වුවත් එක්පුද්ගලයකු දිනකට තුන්වේලක් හෝ ඊට වැඩි ගණනක් ආහාර ගැනීමේදී මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 
මෙරට එක් පුද්ගලයෙකු වසරකට භාවිතා කර ඉවතලන පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5.72 ක් වන බවත් කොළඹ දී එම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 7.5 ක් වන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා එම අධිකාරියේ අද (12) පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. රටේ ජනනය වන සමස්ත කසල ප්‍රමාණයෙන් 10% ත් 15% අතර ප්‍රමාණයක් පොලිතින් සහ ප්ලාස්ටික් වන බවත් හෙතෙම සඳහන්  කළේය.
2016 වසරේ ආනයනය කළ පොලිතින් සෑදිමේ අමුද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 113500 ක් වූ  බව කී සභාපතිවරයා ඒ  සඳහා විදේශ විනිමය රුපියල් කෝටි දෙදහසක් වැය වී ඇතැයි ද පැවැසීය. එමෙන්ම ආනයනය කරන පොලිතින් අමුද්‍රව්‍ය ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවෙමින් ඇතැයි ද ප්‍රකාශ කළේය. 
මෙසේ  කසලවලට එක්වන පොලිතින් ප්ලාස්ටික් වසර සියයක් ගියත් නොදිරන තත්ත්වයක් ඇතැයි කී සභාපතිවරයා නව නීති හා තහනම ගෙන එන්නට හේත-ු වූයේ මෙම තත්ත්වයන් යැයි ද සඳහන් කළේය

-------------------------------------------------------------------------------------------------------

2017-07-12 දිනැති පුවත
දිනමිණ කතුවැකිය

අපට දැන් සිදු වී ඇත්තේ පොලිතින් හා ප්ලාස්ටික්වලින් ජීවිතය ඉල්ලා සිටින්නට ය. මේ ද්‍රව්‍ය දෙක ඒ තරමට ම අපේ ජීවිත ආක්‍රමණය කර තිබේ. අපේ බත්පත ඇත්තේ පොලිතීන් කොළයක් මත ය. ඖෂධ, සුවඳ විලවුන් පමණක් නොව; බීම වර්ග පවා ඇත්තේ ප්ලාස්ටික් බෝතල් තුළය. නැතහොත් එම රඳවන මත ය. පානීය ජලය පවා ප්ලාස්ටික් බෝතලයක බහා ඉදිරිපත් කිරීම අලුත් තාලය වී තිබේ. එහෙත් හොඳින් කල්පනා කර බලන විට පෙනී යන්නේ මාරයා අප ළඟට ම පැමිණ අපේ ඇ‍ඟේ දැවටෙන බව ය. පොලිතීන් හා ප්ලාස්ටික් යනු මිනිස් සංහතිය හා පරිසර පද්ධතිය විනාශ කරන ප්‍රධාන සාධකයක් බව හඳුනාගෙන බොහෝ කල් ය.

දිනකට එක නිවෙසක කුණු මුල්ලේ ගොඩ ගැසෙන පොලිතින් තොගය කොපමණ ද? ප්ලාස්ටික් තොගය කොපමණ ද? දිනකට ශ්‍රී ලංකාව තුළ සිලි බෑග් මිලියන විස්සක් භාවිත වන බව කියති. දිනකට ශ්‍රී ලංකාව තුළ ලන්ච් සීට් මිලියන පහළොවක් භාවිත වන බව ද කියති. අපේ ජීවිතත්; පරිසර පද්ධතියත් විනාශ වීමට මේ ධාරිතාව හොඳට ම ප්‍රමාණවත් ය. අපි වරෙක මේවා ආනයනය කරන්නෙමු. තව වරෙක නිෂ්පාදනය කරන්නෙමු. තවත් වරෙක ඒවායින් ප්‍රති - නිෂ්පාදන ඇති කරන්නෙමු. මේ සියල්ලෙන් ම සිදුවන්නේ මිනිස් සංහතියේ විනාශයට පාර කැපීම ය. විශේෂයෙන් පොලිතින් හා ප්ලාස්ටික් දහනයෙන් මතුවන විෂ වායුව පිළිකා ඇතුළු රෝග ගණනාවකට හේතුකාරක වන බව සොයාගෙන තිබේ.

වත්මන් ජනාධිපතිවරයා පරිසරය ගැනත් මිනිසාගේ සෞඛ්‍යය ගැනත් බලවත් සේ උනන්දු වන රාජ්‍ය නායකයෙකි. එතුමාගේ මඟ පෙන්වීම යටතේ පරිසර හිතකාමී නීති - රීති ගණනාවක් මෑතක සිට ක්‍රියාත්මක වෙයි. එම නීති - රීති ගණනාවට අලුතින් එකතුවන්නේ ලන්ච් සීට් හා සිලි කවර තහනම් කිරීම ය. සැප්තැම්බර් පළමුවන දා සිට ක්‍රියාත්මක වන නීතියට අනුව මයික්‍රෝන 20 හා ඊට අඩු පොලිතීන් හා ප්ලාස්ටික් වර්ග භාවිතය තහනම් ය. මේ ප්‍රමිතිය හඳුන්වා දී ඇත්තේ නොදිරන අපද්‍රව්‍ය මගින් මිනිස් ජීවිතවලට හා පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ය. අපහසුවෙන් වුව ක්‍රියාවට නංවා ගතහොත් බොහෝ ප්‍රතිඵල උදාකර ගත හැකි ය. රජය පෙන්වා දෙන අන්දමට මෙය දිගුකාලීන වැඩසටහනකි. එය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වේ.

පළමු අදියර ක්‍රියාත්මක වන්නේ කඩිනම් වැඩසටහනක් ලෙස ය. ඊට අදාළ කරුණු හා සාධක දොළහක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ලන්ච් සීට් තහනම් ය. සිලි බෑග් ද තහනම් ය. ඒවා නිෂ්පාදනය කිරීම ද අත්හිටවනු ලැබේ. පහසුවෙන් දිරන නිසි ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරන ලන්ච් සීට් හා සිලි බෑග් වෙනුවෙන් ද පරිසර අධිකාරියෙන් අනුමැතියක් ලබාගත යුතුය. මෙය වැදගත් පියවරකි. මෙතෙක් එබඳු නිෂ්පාදන සම්බන්ධයෙන් කිසිදු ආයතනයක් වගකීම ගත්තේ නැත. ව්‍යාපාරිකයන් තම අභිමතයට අනුව අදාළ භාණ්ඩ නිෂ්පාදනය කර තිබේ. අවම ලෙස මේ සම්බන්ධයෙන් ප්‍රමිතියක් ඇති කිරීම වුව අතිශය වැදගත් පියවරක් සේ සැලැකිය හැකි ය.

අන්තර්ජාතික පර්යේෂණ ආයතනයක් මෑතක දී කළ පර්යේෂණයක වාර්තාවකින් දක්වා ඇත්තේ දකුණු ආසියාවේ මුහුදට කසළ මුදාහරින ප්‍රධාන රටක් හැටියට ශ්‍රී ලංකාව සැලැකිය හැකි බව ය. අප මෙලෙස මුහුදට අත හරින කසළවලින් වැඩි ප්‍රමාණය පොලිතීන් හා ප්ලාස්ටික් වන්නට පුළුවන. ප්ලාස්ටික් බෝතලයක් දිරන්නට වසර දහස් ගණනක් ගතවන බව පර්යේෂණවලින් හෙළිදරව් වී තිබේ. එසේ දිරාපත් වීමට ලක්වන්නේ වුව පොලිතින් හා ප්ලාස්ටික් මුළුමනින් ම විනාශ නොවන බව සොයාගෙන තිබේ. ඊජිප්තුවේ පර්යේෂණ කණ්ඩායමක් ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණුවකු පිළිබඳ පර්යේෂණයක නිරත වුව එය සාර්ථක වූ බවක් පෙනෙන්නට නැත. දැනට ගත යුතු බුද්ධිමත් ම තීරණය වන්නේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් වැළකීම පමණි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය කියා සිටින්නේ මේ ද්‍රව්‍ය දෙක හානිකර බව ඉඳුරා පිළිගන්නේ වුව ඊට අදාළ විකල්ප ද්‍රව්‍ය හඳුනා නොගැනීම නිසා ඉහත තහනම ඔස්සේ පාරිභෝගිකයා අපහසුවට පත්වන බව ය. මේ තර්කය පිළිගත නො හැකිය. පොළට, කඩයට, සුපර්මාර්කට් එකට යන පාරිභෝගිකයාට පන් මල්ලක් හෝ හම් මල්ලක් හෝ පාවිච්චි කළ හැකි ය. බත් එතීම සඳහා කෙසෙල් කොළ හෝ වෙනත් දේවල් භාවිත කළ හැකි ය. පිඟානක් තවත් පිඟානකින් වසා රෙදි කඩකින් බැඳගෙන කාර්යාල වෙත කෑම රැගෙන එන ක්‍රමයක් අදටත් භාවිත වෙයි. ඕනෑම දෙයක පහසුව ගැන පමණක් නොව; ප්‍රතිඵලය ගැන ද බැලිය යුතුය. මේ තහනම නිසා පාරිභෝගිකයා බලවත් අසීරුවට පත්වන්නේ යැයි සිතිය නො හැකි ය.

කෑගල්ල යනු රටේ ප්‍රධාන නගරයකි. දිනපතා දහස් ගණනක් විවිධ කටයුතු සඳහා නගරයට කඩා වදිති. එහි හෝටල් හා කඩ රාශියක් ද පවතී. මේ කිසිදු හෝටලයක ලන්ච් සීට් හා සිලි බෑග් භාවිත නොකරන බව කියති. කෑගල්ල නගරය එබඳු තීන්දුවකට පැමිණ ඇත්තේ මහජන අභිමතය පරිදි බව ද දැනගන්නට ලැබේ. මෙය ආදර්ශයක් ලෙස ගත හැකි ය. කෑගල්ලට ලන්ච් සීට් එපා නම්; අනෙක් නගරවලට ද ඒ ක්‍රමය අනුගමනය කළ හැකිය. නගරයෙන් - නගරයට මේ ක්‍රමය ක්‍රියාත්මක වුවහොත් පොලිතීන් ගැටලුව ඉබේ ම විස‍ඳෙනු ඇත. මහජනයාගේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කළ හැකි මෙබඳු තවත් වැඩසටහන් ගැන සොයා බැලීම වැදගත් ය.

පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය ව්‍යාප්ත වූයේ විවෘත ආර්ථිකයත් සමඟ ය. ආර්ථිකය පුළුල් වෙත් ම පරිභෝජනය ද සංකීර්ණ විය. එය නැවැත්විය හැකි ක්‍රියාවලියක් නොවේ. එහෙත් භාණ්ඩවල ගුණාත්මක භාවය විමැසීමේ දී එහි අසුරන හා දවටන ගැන වුව විමසා බැලෙන ක්‍රමයක් දැන් පවතී. දියුණු රටවල පාරිභෝගිකයා භාණ්ඩයක් මිලට ගනු ලබන්නේ ඒ සියල්ල විමැසීමෙන් පසු ය. අපේ රටේ ද සිදුවිය යුත්තේ පාරි‍භෝගිකයා දැනුවත් කිරීම යැයි සිතන්නට පුළුවන. ඒ අතර සිදුවෙමින් පවතින මහා විනාශය වැළැක්වීම සඳහා අලුත් නීති - රීති ද අවශ්‍ය වේ. සැප්තැම්බර් 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත අලුත් නීතියට මහජන සහයෝගය අවශ්‍ය වේ.

------------------------------------------------------------------------------------------------------------

2017-07-04 ලිපිය 
විදුසර විශේෂාංග

පොලිතින් තහනමෙන් මෙවර වත් පලක්‌ වෙයි ද?

මයික්‍රෝන 20ට අඩු පොලිතින් වර්ග භාවිතය 2016 ජනවාරි 01 සිට නැවතත් තහනම් කරනු ලැබ තිබේ. මෙහි දී නැවතත් යන විශේෂණය යොදන ලද්දේ මේ තහනම මීට පෙර ද ක්‍රියාත්මක වූ බැවිනි. 2006 ඔක්‌තෝබර් 10 වැනි දා අඟහරුවාදා අංක 1465/5 දරන අතිවිශේෂ ගැසට්‌ නිවේදනය මගින් මේ තහනම ක්‍රියාත්මක කර තිබේ. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

"ඝනකමින් මයික්‍රෝන 20ක්‌ හෝ ඊට අඩු පොලිතින් හෝ පොලිතින් නිෂ්පාදනයක්‌ දේශීය භාවිතයට නිෂ්පාදනය විකිණීම හෝ භාවිතය තහනම් කෙරේ". 

පොලිතින් යන්නෙන් හැම ස්‌වරූපයක ම පොලිඑතිලින්, පොලිප්‍රොප්ලින්, පොලිස්‌ටයිරින්, පොලිවයිනයිල් ක්‌ලෝරයිඩ්, පොලිඑතිලින් ටෙරිප්තලේට්‌ හෝ වෙනත් සමාන අමුද්‍රව්‍ය භාවිතය, රැගෙන යැම, ඇසිරීම, එතීම හෝ ඇසුරුම් කිරීම සඳහා නිපදවනු ලබන නිෂ්පාදන ද ඇතූළත් වේ. ඝනකම අඩු පොලිතින් අලෙවිය හෝ වෙළෙ¹මේ දී පාවිච්චිය දඩුවම් ලද හැකි වරදකි. එයට දඩුවම එක්‌කෝ දෙවසරක සිරදඩුවමකි. නැත්නම් රුපියල් දස දහසක දඩයකි. සමහර විට මේ දඩුවම් දෙක ම ලබා දිය හැකි වේ. 

කෙසේ වෙනත් 2006 දී ගැසට්‌ කරන ලද මේ නීතිය දිගින් දිගට ම ක්‍රියාත්මක නො වී ය. එයට හේතුව පාරිභෝගිකයකු විසින් පවරන ලද නඩුවකි. එම නඩුව පවරන ලද්දේ වෙළෙඳ ආයතනයක්‌ උක්‌ත තහනම හේතු කොටගෙන නොමිලයේ බඩු ඇසුරුම් කර දීම ප්‍රතික්‌ෂේප කළ හෙයිනි. එනම් අවසාන ඇසුරුමේ දී කිසියම් මුදලක්‌ අය කිරීම හේතුවෙනි. එම නඩුව විසඳීමේ දී උපදෙස්‌ දෙනු ලැබුවේ භාණ්‌ඩ ඇසුරුම් කර දීම වෙළෙඳ ආයතනයේ යුතුකමක්‌ බවයි. එසේ ම පාරිභොගිකයා ගේ කැමැත්තකින් තොර ව මල්ලක්‌ සඳහා මිලක්‌ අය කිරීම වැරැද්දක්‌ බව ද පෙන්වා දෙන ලදි. එසේ වුව ද ගරු අධිකරණය කිසි විටක මයික්‍රෝන 20 නීතියට එරෙහි ප්‍රතිපාදනයක්‌ ඉදිරිපත් කර තිබුණේ ද නැත. 

එය එසේ වුව ද වානිජ ප්‍රජාව මෙය අර්ථකථනය කළේ තමන් ගේ වාසියට ලබා දුන් තීන්දුවක්‌ ලෙස ය. එයින් පසු මේ නීතිය ක්‍රියාත්මක වීම නිසි ලෙස සිදු නො වූ අතර වෙළෙන්දොa රිසි රිසි සේ පොලිතින් භාවිත කරන්නට වූ හ. 

ගරු අධිකරණය ඉතා ම නිරවද්‍ය ලෙස ක්‍රියාත්මක ව ඇතත් වෙනත් පාර්ශ්වයන් විසින් ලබා දෙන ලද සාවාද්‍ය අර්ථකථන මෙන්ම සිදු කරන ලද නුසුදුසු හෝ ප්‍රයෝගකාරී හෝ මන්දගාමී ක්‍රියා නිසා පොලිතින් ගැටලුව දිගින් දිගට ම ඉදිරියට ආවා මිස විසඳුමක්‌ ලැබුවේ නැත. එනිසා මේ වතාවේ හෝ නිවැරැදි ව විසඳුම ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය වේ. 

ඇතැමෙක්‌ මේ නව නීතිය ද එතරම් ඵලදායි දෙයක්‌ නො වන බවට ද එය අලුත් ගැටලු ජනිත කරවීමට හේතු වන බවට ද තර්ක කරති. එවැනි එක්‌ තර්කයක්‌ වන්නේ ඝනකම වැඩි පොලිතින් පාවිච්චි කර නිපදවූ මලු ස්‌කන්ධයෙන් අධික නිසා පෙරට වඩා ස්‌කන්ධය අතින් වැඩි පොලිතින් ප්‍රමාණයක්‌ (සමහර විට පෙර මෙන් දෙගුණයක ස්‌කන්ධයක්‌) පරිසරයට එක්‌ වීම ය. ස්‌කන්ධයෙන් වැඩි පොලිතින් අමුද්‍රව්‍ය ආනයනයට වැඩි විදේශ විනිමයක්‌ වැය වීම ගැන ද ඔවුහු සඳහන් කරති.

එවැනි තවත් එක්‌ ගැටලුවක්‌ නම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආකාරයෙන් නිෂ්පාදන බිහි වුව ද එම නිෂ්පාදන භාවිතයෙන් පසු ප්‍රතිචකී්‍රකරණ මධ්‍යස්‌ථානවලට ළගා වේ ද යන්නයි. මන්ද යත් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්‌ථානවලට පොලිතින් භාර දෙන්නේ හෝ වර්ගීකරණය කළ කුණු බඳුන්වලට පොලිතින් දමන්නේ හෝ පාරිභෝගිකයන් ගෙන් ඉතා ම සුළු ප්‍රතිශතයක්‌ පමණක්‌ වන බැවිනි. 

මේ තර්කවලට අනුව මහත් වෙහෙසක්‌ දරා හා විශාල මුදලක්‌ ද වැය කරමින් ඝනකම වැඩි පොලිතින් භාවිත කිරීම අපේක්‌ෂිත ජයග්‍රහණ අත් කර දේ ද යන්න තවමත් ගැටලුවකි. මන්ද යත් ඝනකම පොලිතින් පවා සෘජු ව ම කුණු කඳු වෙත ළගා වන්නේ නම් සිදු වන්නේ කලින් සිදු වූ අනර්ථය ම ය. අප දන්නා දරමින් බොහෝ ප්‍රාදේශීය සභාවලට මේ කුණු වර්ගීකරණය කරන්නට නිශ්චිත සැලසුම් නැත. එහෙයින් නිෂ්පාදනවල තත්ත්වය වෙනස්‌ කිරීමෙන් නො නැවතී එම පොලිතීන් බහුතරය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්‌ථානවලට ළගා කරගැනීමේ වැඩපිළිවෙළක්‌ ද දියත් කළ යුතු ය. 

තව ද අප හා කතා කළ ප්‍රතිචක්‍රීකරණ කටයුතුවල නියෑළෙන ව්‍යාපාරිකයන් කියා සිටියේ මේ ව්‍යාපාරයෙන් ලැබන්නේ ඉතා අඩු ලාබයක්‌ බවත් එනිසා ම බොහෝ දෙනා මේ ව්‍යාපාරයෙන්a ඉවත් වන්නට ද ඉඩ ඇති බවත් ය. මේ දුබලතා අප පෙන්වා දෙන්නේ පවත්නා නව නීතියට එරෙහි ව නො ව එහි අපේක්‌ෂා වඩාත් ඉහළ මට්‌ටමෙන් සපුරාගැනීමේ අපේක්‌ෂාවෙන් බව ද කිව යුතු ය.

එසේ ම මයික්‍රෝන ප්‍රමාණයේ ප්‍රශ්නයට අමතරව මිශ්‍ර පොලිතින් ලන්ච් ෂීට්‌ නිපදවීමට යොදාගැනීම වැළැක්‌වීමට කටයුතු යෙදිය යුතු බව පරිසරයට ආදරය කරන්නන් ගේ අදහසයි. එනම් ඇතැම් පුද්ගලයන් නොඉඳුල් පොලිතින් වෙනුවට බාල, මිශ්‍ර කරන ලද පොලිතින් භාවිත කරන බව පෙනේ. මයික්‍රෝන 20 නීතිය ක්‍රියාත්මක වුව ද මේ බාල පොලිතින් වෙළෙඳපොළට එන්නේ නම් ප්‍රයෝජනයක්‌ අත් වන්නේ නැත. 

එසේ ම මයික්‍රෝන 20 යන අගය සම්බන්ධයෙන් ද ගැටලු පවතී. ඇතැම් රටවල මේ සීමාව මයික්‍රෝන 40 හෝ 50 වේ. නිදසුනක්‌ දක්‌වත හොත් ඉන්දියාවේ මෙය 40කි. එසේ තිබිය දීත් අපේ රටේ එය 20 තරම් අඩු අගයක්‌ නියම කර ඇත්තේ ඇයි දැයි ඇතැමෙක්‌ විමසති. ආරම්භයක්‌ ලෙස මෙය සුදුසු වුවත් මෙතැනින් නො නැවතී මේ අගය ද සංශෝධනය කළ යුතු බව පරිසර හිතවාදීන් ගේ අදහස වේ. 

පොලිතින් තහනම් කළ යුත්තේ ඇයි?

බැලූ බැල්මට පොලිතින් උරයක්‌ යනු අපට උදව් වන, සමහර විට නැති ව ම බැරි ඉතා සුන්දර පෙනුමක්‌ ඇති, වරදක්‌ සිදු කරතැයි සිතිය නොහැකි දෙයකි. 

එහෙත් මේ අහිංසක පොලිතින් බරපතළ සෞඛ්‍ය ගැටලු මෙන්ම සමාජ ගැටලු ද ජනිත කරන්නට මුල් ව තිබේ. පොලිතින් දිරාපත් නො වීම පරිසර හා සෞඛ්‍ය ගැටලු ජනිත කිරීමට මූලික හේතුවයි. පොලිතින් දිරාපත් වීමට වසර 400-450ක්‌ පමණ ගත වේ. ඇතැම් පොලිතීන් වර්ග වසර 700ක්‌ ගිය පසු වත් දිරාපත් නො වේ. දිරාපත් නො වීම නිසා මේවා කුණු කඳු බවට පත් වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. 

පසුගිය කාලයේ දී ප්‍රාදේශීය සභාවක්‌ ඉදිරියට පැමිණි කුණු ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව උද්ඝෝෂණය කළ ආකාරය ඔබ රූපවාහිනි නාළිකාවලින් දැකගන්නට ඇත. එහෙත් එවැනි උද්ඝෝෂණ කුඩා මට්‌ටමේ රණ්‌ඩු සරුවල්වලට හෝ මාධ්‍ය සංදර්ශනවලට හෝ සීමා වෙයි. 

පොලිතීන්, වායුගෝලය, භූමිය හා ජලය යන ත්‍රිවිධාකාරයේ ම පරිසරය දූෂණය කරයි. පොලිතින් නො දිරන නිසා බොහෝ දෙනා කරන්නේ ඒවා එක්‌ කොට ගිනි තැබීම ය. එහි දී කාබන් ඩයොක්‌සයිඩ්, ඩයොක්‌සීන හා කාබන් මොනොක්‌සයිඩ් ඇතුළු විෂ වායු 

රැසක්‌ පරිසරයට එක්‌ වේ. 

පොලිතින් උවදුරෙන් මිදෙන්නට උපයෝගී කරගන්නා දෙවැනි ක්‍රමය වන්නේ ඒවා බිම් පිරවීමට යොදාගැනීමයි. (Land filling). බිම් පිරවීමට පොලිතීන් යොදාගැනීම එතරම් සුදුසු ක්‍රමයක්‌ නො වන බව හෙළි වී ඇති අතර එය හානිකර රසායන ද්‍රව්‍ය නිකුත් වීමට හේතු වන බව අනාවරණය වී ඇත. එසේ ම පුරවන ලද වගුරුබිම් ආදියෙහි (විශේෂයෙන් ම පොලිතීන් පිරවුම් සහිත) වාසය කිරීම රෝගවලට හේතු වන බව ද හෙළි ව තිබේ. කුණුගොඩවල් මතින් හෝ සෘජු ව ම හෝ පරිසරයට එක්‌ වන පොලිතීන් ජල මාර්ග අවහිර කළ අවස්‌ථා ගැන ද වාර්තා වී තිබේ. 

පොලිතින් අනතුරු ඇති කරන්නේ මිනිසාට පමණක්‌ නො වේ. 

පොලිතින් මලු හේතු කොටගෙන වසරකට මිය යන අහිංසක සතුන් ගේ සංඛ්‍යාව 100,000 ද ඉක්‌මවයි. ඩොල්µsන්, කැස්‌බෑවන්, තල්මහ, පෙන්ගුයින්, වඳුරන්, අලින් හා කුරුල්ලන් වර්ග රාශියක්‌ ඒ අතර වේ. එවැනි සතුන් ගේ මරණයට මූලික හේතුව ඔවුන් ඒවා ආහාර ලෙස වරදවා වටහාගෙන ගිල දැමීමයි. කුරුල්ලන් විශාල ලෙස මරණයට පත් වීමට පොලිතිSන් ගිලීම හේතු වී තිබේ. 

පොලිතීන් පරිසර දූෂණ කාරකයක්‌ වනවාට අමතරව පොලිතීන් නිපදවීම ශක්‌ති සංරක්‌ෂණ ක්‍රියාවලියට අහිතකර බලපෑම් ඇති කරයි. එයට හේතුව පොලිතින් නිපදවීමට පෙට්‌රෝලියම් අවශ්‍ය වීමයි. 

ශ්‍රී ලංකා රේගු දත්තවලට අනුව 2005 වසරේ ආනයනයට වඩා 2006 පොලිතින් ආනයනය සියයට තුනකින් ඉහළ ගොස්‌ ඇත. කෙසේ වෙතත් 2006 සිට 2007 දක්‌වා කාලය තුළ එය ඉහළ නැග ඇත්තේ සියයට එකකිනි. ඇතැමුන් තර්ක කරන්නේ 2006 දී පනවන ලද නීතිය හේතු කොටගෙන මේ ආනයන ප්‍රතිශතය ඉහළ යැමේ වේගය අඩු වූ බවයි. එහෙත් අධ්‍යයනයක්‌ මගින් පෙනී ගොස්‌ ඇත්තේ එසේ සමස්‌ත ආනයනය පහළ ගොස්‌ නැති අතර පොලිතින් භාවිතය ද ඉහළ ගිය බවයි. 

2005 සිට 2012 දක්‌වා කාලය අතර පොලිතින් ආනයන වියදම පිළිබඳ දත්ත විශ්ලේෂණයේ දී පෙනී යන්නේ 2009 දී එය විශාල ලෙස අඩු වී ඇති බවයි. 2009 සිට 2010 දක්‌වා සුළු ඉහළ යැමක්‌ සිදු වුව ද යළි 2011 දී එය සුළු වශයෙන් පහළ ගොස්‌ ඇත. මෙලෙස වියදම පහළ ගිය ද එයින් හැඟවෙන්නේ ගෙන්වන ලද පොලිතින් ප්‍රමාණය අඩු වූ බව නො වේ. 2009 දී ලෝක වෙළෙඳපොළේ පොලිතින් මිල අඩු වීම නිසා ආනයන වියදම අඩු වූ අතර අනෙක්‌ සියලු කාලවලට වඩා වැඩි පොලිතින් ප්‍රමාණයක්‌ එම වසරේ දී ආනයනය කොට ඇත. 

අධ්‍යයනය මගින් හෙළි ව ඇත්තේ මෙරට තුළ පොලිතින් අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කෙරෙන ප්‍රධාන ම ක්‍රමය වන්නේ පිළිස්‌සීම බවයි. සමහර දිස්‌ත්‍රික්‌කවල පොලිතින් ප්‍රතිචක්‍රිකරණය ගැන ජනතා උනන්දුව හා සහභාගිත්වය ඉතා ඉහළ ය. නුවර, ගම්පහ, මාතර, ගාල්ල වැනි දිස්‌ත්‍රික්‌ක ඊට නිදසුන් ය. එහෙත් මොණරාගල, බදුල්ල වැනි දිස්‌ත්‍රික්‌කවල මේ කාර්යය හොඳින් සිදු නො වේ. අධ්‍යයනයකට අනුව පොලිතින් අලෙවිය හා භාවිතය ඉහළ ම වන්නේ බස්‌නාහිර පළාතේ ය. විශාල ජනගහනයක්‌ 

රැකියා හා වෙනත් කටයුතු සඳහා උදේ සිට රාත්‍රිය දක්‌වා හා බස්‌නාහිර නගරවලට ඒකරාශි වීම ඊට හේතුවයි. වැඩි ම ප්‍රමාණයක්‌ පොලිතින් ලන්ච් ෂීට්‌ (ආහාර දැවටුම් පොලිතින්) එක්‌ වන්නේ කොළඹ නගරයේ ය. 

දිනකට ශ්‍රී ලාංකිකයන් විසින් ඉවත දමනු ලබන ලන්ච් ෂීට්‌ ප්‍රමාණය මිලියන 15ත් 16ත් අතර වේ. ඉවත ලන ෂොපිං බෑග් ප්‍රමාණය මිලියන 20-22ත් අතර වේ. එසේ ම සැෂේ පැකට්‌ ප්‍රමාණය මිලියනයකි. මේ බව හෙළි වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් කරන ලද අධ්‍යයනයකිනි. එසේ ම වසරකට මෙරටට ආනයනය කරන පොලිතින් ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් 500,000 ද ඉක්‌මවයි. කොළඹ මහනගර සභාව විසින් දිනකට එකතු කරනු ලබන කසළ ප්‍රමාණය ටොන් 700ක්‌ වන අතර ඉන් සියයට 6ක්‌ ම පොලිතින් ය. පසුගිය දශක කීපය තුළ දී ශ්‍රී ලංකාවේ පොලිතින් පාරිභෝජනය දිගින් දිගට ම ඉහළ ගොස්‌ ඇති බව පෙනේ. 

චර්යාත්මක වෙනස්‌කම්

පොලිතින් උවදුර මර්දනයට නීති පමණක්‌ ප්‍රමාණවත් නො වේ. ඒ සඳහා ජනතාව ගේ චර්යාත්මක වෙනස්‌කම් ද අවශ්‍ය වේ. පොලිතින්වල ගැටලුව අවබෝධ කරගෙන ජනතාව පොලිතින්වලින් දුරස්‌ වන තුරු මේ ගැටලුව විසඳීම අපහසු ය. එනිසා ම මධ්‍යම පරිසර අධිකාරිය වැනි නියාමන ආයතන ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ගැන ද අවධානය යොමු කළ යුතු ය. මෙහි දී මහවැලි හා පරිසර අමාත්‍යංශය සාධනීය පියවර කිපයක්‌ ම ගෙන ඇති බව කිව යුතුය. දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය අමාත්‍යංශ අටක පොලිතින් භාවිතය සපුරා තහනම් කිරීමට කටයුතු යොදා තිබේ. නිදසුනක්‌ දක්‌වත හොත් ඒ අමාත්‍යංශවල භෝජනාගාරවල බත්පතට යටින් අනිසි ආකාරයේ පොලිතින් ආවරණයක්‌ තැබීම පවා තහනම් කර ඇත. 

පරිසරයට පොලිතීන්වලින් වන හානිය පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සඳහා පෝස්‌ටරයක්‌ නිර්මාණය කර මුද්‍රණය කිරීම හා ප්‍රවර්ධන ස්‌ටිකර්ස්‌/ වාහන ස්‌ටිකර්ස්‌/ ප්‍රවර්ධන බෑග්/ ප්‍රවර්ධන ටී ෂර්ට්‌ නිර්මාණය කර මුද්‍රණය කිරීම සිදු ව ඇත. 

මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂක හා පාරිසරික පොලිස්‌ නිලධාරීන් ගෙන් සමන්විත කණ්‌ඩායමක්‌a මගින් වෙළෙඳ ආයතනවල මයික්‍රෝන 20ට අඩු පොලිතීන් නිෂ්පාදන, ආහාර සඳහා භාවිත කරන උපකරණ ප්‍රතිචක්‍රීයකරණය ලද ප්ලාස්‌ටික්‌වලින් නිපදවා තිබේ ද යන්න සොයා බලයි. 

එසේ ම දැන් දිවයින පුරා වෙළෙඳසල්වලට පැන පොලිතින් සම්බන්ධ වැටලීම් සිදු කෙරේ. තව ද දිනපතා ප්‍රවෘත්ති පත්‍රවල මේ පොලිතින් තහනම පිළිබඳ දැන්වීම් පළ කෙරේ. එසේ ම සතිපොළවල් හා සුපර් මාර්කට්‌ ආශ්‍රිත ව වීදි ප්‍රචාරක වැඩසටහන් පැවැත්වේ. ඒ, තවමත් අපේ පාරිභෝගිකයන් පොලිතින්වලින් ඈත් වන්නට කැමැති බවක්‌ පෙනෙන්නට නැති බැවිනි. අද කඩයකට යන පාරිභෝගිකයා ලුණු කිලෝවක්‌ (පොලිතින්වලින් ම පැකට්‌ කළ) මිල දී ගෙන එය ගෙදර ගෙන යැමට තව පොලිතින් උරයක්‌ ඉල්ලාගනී. එසේ ම ඒ සමඟ කුඩා චොකලට්‌ එකක්‌ මිල දී ගත හොත් එය අර මල්ල තුළ දමාගෙන ඒමට ඔහු/ඇය කැමැති නැත. ඒ සඳහා තවත් කුඩා ප්‍රමාණයේ හෝ පොලිතින් මල්ලක්‌ ඔහු/ඇය අපේක්‌ෂා කරයි. ගැමියන් මෙන්ම නාගරිකයන් ද නිවසට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රැගෙන ඒමට ගෙදරින් මලු රැගෙන යැම මීට දශක කිහිපයකට පෙර සිරිතක්‌ ලෙස සිදු විය. දුප්පත් ජනයා පන් මල්ලක්‌ රැගෙන ආ අතර කොළඹ හතේ නෝනලා ඉතා වටිනා මලු හෝ ලස්‌සන වේවැල් කූඩ ගෙන ආ හ. අද මේ පන් මලු, වේවැල් මලු දක්‌නට හෝ නැත. ගෙදරින් මලු රැගෙන ඒම කරදරයක්‌ බව බොහෝ අය කියති. එහෙත් කරදර යෑයි කියා කවුරුන් වත් වැස්‌සට ඉහළන කුඩය 

රැගෙන යැමට අකැමැති වන්නේ නැත. මෙය පොලිතින් මානසිකත්වය පිළිබඳ ගැටලුවකි. පොලිතින් නැති ව බැරි ය යන මානසිකත්වය අප ගේ චින්තනය ආක්‍රමණය කොට ඇත. එනිසා මෙය පාරිසරික ගැටලුවක්‌ පමණක්‌ නො ව සංස්‌කෘතික ගැටලුවක්‌ ද වන්නේ ය.

සමාගම් මුහුණ දෙන ගැටලුවක්‌ වන්නේ මයික්‍රෝන විස්‌සේ නීතියට අදාළව පොලිතින් නිපදවීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හිඟකමයි. මෙතෙක්‌ කලක්‌ පවත්වාගෙන ආ කර්මාන්තශාලා වසා දමන්නට ද ඔවුන්ට නොහැකි ය. 

කෙසේ වෙතත් අප හා කතා කළ ඇතැම් මුල් පෙළේ දේශීය පොලිතින් නිෂ්පාදකයන් කියා සිටියේ රජය ගෙන ආ නව නීතිය ඉතා ම හොඳ එකක්‌ බවයි. නිදසුනක්‌ දක්‌වත හොත් ප්‍රමුඛ පෙළේ පොලිතින් නිෂ්පාදන ආයතනයක්‌ නියෝජනය කරමින් චන්ද්‍රිකා ගුණසේකර මහත්මිය අප හා කියා සිටියේ රජයේ නව නීතිය පරිසරයට මෙන්ම ජනතා සෞඛ්‍යයට ද ඉතා ම හිතකර ක්‍රියාවක්‌a වන බවත් ඉතා ගෞරවයෙන් ඊට හිස නමන බවත් ය.

ලන්ච් ෂීට්‌ සේදීමත් ගැටලුවක්‌ විය හැකියි

ලන්ච් ෂීට්‌ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්‌ථාන කීපයක්‌ ම බස්‌නාහිර පළාතේ පිහිටුවා ඇත. එහෙත් ගැටලුව වී ඇත්තේ මේ ෂීට්‌ ප්‍රතිචක්‍රීකරණයට පෙර පිරිසිදු කළ යුතු වීමයි. ඒවායේ ආහාර අපද්‍රව්‍ය හා වෙනත් අපද්‍රව්‍ය ඇලී පවති. කෑම ගැනීමෙන් පසු කවුරුන් වත් මේ ෂීට්‌ සෝදන්නේ නැත. කලකට ඉහත දී මේවා ප්‍රතිචක්‍රීකරණයට පෙර ජල මාර්ග අසල දී සේදීමට බඳුන් කළ අතර එය තවත් පරිසර හානියකට මඟපෑදී ය. දැන් රජය මේවා පවිත්‍ර කිරීමට සේදුම් මධ්‍යස්‌ථාන හඳුන්වා දී තිබේ. බැඳී ඇති අපද්‍රව්‍ය හැරුණු විට පොලිතින් ප්‍රතිචක්‍රීකරණයේ දී මතු වන තවත් ගැටලුවක්‌ වන්නේ ඒවා සමග වර්ණක (dyes) බැඳී තිබීමයි. මේ වර්ණක ශරීරගත වීම විවිධ පිළිකා ඇති වීමට හේතු වේ.

ජෛවහායක ප්ලාස්‌ටික්‌ හා පොලිතින්

Petrochemicals මගින් නිපදවන ජෛව හායන ආකලන ඇතුළත් ප්ලාස්‌ටික්‌ ස්‌වාභාවිකව දිරාපත් වීමට ලක්‌ වේ. ඇලිපැටික පොලියෙස්‌ටර මීට හොඳ ම නිදසුනකි. එසේ ම සෙලියුලෝස්‌ එස්‌ටර, සෙලියුලෝස්‌ ඇසටේට්‌ නයිට්‍රොසෙලිසුලොස්‌ ආදිය ද දිරාපත් වේ. මේ සියලු ම දේවල් ක්‌ෂුද්‍රජීවීන්ට සිය පරිවෘත්තිය ක්‍රියා මගින් බිඳ දමන්නට හැකි ය. කෙසේ වෙතත් ඇතැමුන් පවසන්නේ මෙවැනි ජෛවහායන හැකියාවක්‌ සහිත පොලිතින් ද පූර්ණ ලෙස දිරාපත් නො වන බව හා දිරීමට ඉතා දිගු කලක්‌ ගන්නා බව ය. මේ අතර පොලිතින් හා ප්ලාස්‌ටික්‌ දිරාපත් කරවන සුවිශේෂී බැක්‌ටිරියා වර්ග නිපදවීම කෙරෙහි ද විද්‍යාඥයන් ගේ උනන්දුව යොමු වී පවතී. මීට කලකට පෙර හඳුන්වා දුන්නා Flavobacteria ඊට හොඳම නිදසුනකි. මේ බැක්‌ටීරියාවට නයිලෝන් ජීරණය කරන්නට පුළුවන. එසේ ම 2015 වසර මුල දී බෙයිජිංහි බෙයිහැං විශ්වවිද්‍යාලයයේ Jun Yang ඇතුළු පිරිස පොලිඑතිලින් ජීර්ණයට සමත් දළඹුවකු (wax worm) හා ඊට උදව් වන බැක්‌ටීරියා වර්ග කීපයක්‌ හඳුනාගත් හ. එම බැක්‌ටීරියා අතරින් වඩා වැදගත් කාර්යක්‌ කළේ EEnterobacter asburiae ය. මේ අධ්‍යයනය ගැන තොරතුරු Environmental Science and Technology ජර්නලයේ පළ ව තිබේ. 
මනෝඡ් රත්නායක - ලිපිය

--------------------------------------------------------------------------------------------------------------
දැනුම.lk ලිපිය
පොලිතින් පන්නන්න කෙසෙල් කොළ විකුණන්න පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
පොලිතින් පන්නන්න කෙසෙල් කොළ විකුණන්න
දෙදහස් හත වසරේ මුල සිට ආහාර ද්‍රව්‍ය වෙනත් දේ දැවටීමට ගන්නා තුනී පොලිතීන් වර්ග තහනම් කිරීමේ නව පනත නීතිගත වන බව මේ වනනවිට මුළු රට ම දනී. මෙම ආරංචිය අසා පරිසර හිතකාමීහු සතුටුවෙති. පරිසරයට කුමක් වුවත් තමන් පුරුදු වූ ඇබ්බැහිකම් අත්හැරීමට අකමැත්තෝ උරණ වෙති. පොලිතීන් තහනම නිසා ශී‍්‍ර ලාංකික ගොවි ජනතාව නගා සිටුවීමට පුළුල්ව විවෘත වන අවකාශයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ ය.ප්ලාස්ටික් භාවිතය ඇරඹී දැනට අවුරුදු හැට - හැත්තෑවක් ගත වී තිබේ. මෝටර්රථ සහ වෙනත් ආම්පන්නවල ඇතැම් කොටස් ප්ලාස්ටික්වලින් නිපදවීම ලාභදායක බව, කාර්මික අතින් දියුණු අමෙරිකාවේ, මහාබි‍්‍රතාන්‍යයේ සහ ජපානයේ කර්මාන්ත හිමියනට අවබෝධ විය.දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් පරාජිතව ආර්ථික වශයෙන් ශෝචනීය තත්වයකට ඇද වැටුණු ජපානය, "මාර්ෂල්" ක‍්‍රමයෙන් අත් වාරුව ලබාගෙන , නැගී සිටීමට යෝධ ප‍්‍රයත්නයක යෙදුණි. අමෙරිකාවෙන් නවීන තාක්‍ෂණය ලබාගත් ජපානය, කාර්මික අතින් දියුණු රටවල් සමඟ තරග කිරීමේ අපේක්‍ෂාවෙන් යාන - වාහන, ගුවන් විදුලි යන්ත‍්‍ර, වතුර පොම්ප ඇතුළු පාරිභෝගික මෙවලම් හැකිතාක් අඩු මිලට දීම සඳහා යකඩ, වානේ, තඹ, බෙලෙක්, ඇලුමීනියම් ආදී ලෝහ වර්ග වෙනුවට ෆයිබර් ග්ලාස් සහ ප්ලාස්ටික් යොදා ගැනීමට පටන් ගති. ඊට සමගාමීව ඇසුරුම් සඳහා තුනී ප්ලාස්ටික් භාවිතය ක‍්‍රමයෙන් දියුණු වී පොලිතීන් මල්ල බිහි විය. නවීන තාක්‍ෂණය තවදුරටත් යොදාගෙන, හැකිතාක් තුනී පොලිතීන් උර නිපදවීමට පියවර ගැනුණි. සව් කඩදාසියකටත් වඩා තුනී " ලන්ච් ෂීට්" හඳුන්වා දීමෙන් පසු අවහන්වල ආහාර ගැනීමේ දී ඒවා පිඟන්වලට එලීමටත්, ආහාර ගැනීමෙන් පසුව ඉතිරි වූ කොටස් සමඟ ගුලිකොට ඉවත ලෑමටත් නව භාවිතයක් ඇති වී තිබේ.අවන්හල්වල සේවකයෝ ඉඳුල් පිඟන් සේදීමේ අප‍්‍රසන්න කාර්යයෙන් මිදීමට " ලන්ච් ෂීට්" භාවිත කරති. ආහාර ගැනීමට පෙරත් පසුවත් පිඟන් කෝප්ප ආදිය සේදීමට අවම ලෙස ජලය අවශ්‍ය වීම ද වාසියකි.නමුත් පොලිතීන් භාවිතයෙන් සිදුවන පාරිසරික හානිය විශාල ය. අපද්‍රව්‍ය බැහැරලන තැන්වල ගැවසී "ලන්ච් ෂීට්" සහ "සිලි සිලි" බෑග් සමඟ දැවටුණු ආහාර අනුභවයට ගොස්, අලි, ඇත්, ගෝන, මුව, ගව ආදී සතුන් මරණයට පත් වීම ද, ඛේදජනක ය.ආහාර බඳුන්, පිඟන්, කෝප්ප ආදිය සේදීමට ජලය භාවිතා නොකිරීම නීති මගින් තහනම් කළ යුතු වැරදි පුරුද්දකි. පොලිතීන් තහනම සමඟ ලන්ච්ෂීට් එළීම ද ඉබේ ම අහෝසි වෙයි .ඊට සමගාමී ව ජලය භාවිතය නැවත ද ඉහළ යා හැකි ය. " ලන්ච්ෂීට්" හඳුන්වා දීමට පෙර ශතවර්ෂාධික කාලයක් හින්දු භක්තික හෝටල් සහ අවන්හල් හිමියන් විසින් කෙසෙල් කොළය භාවිත කරන ලදී. පිඟාන නැතිව කෙසෙල් කොළයට පමණක් කෑම බෙදන අවන්හල් ලංකාවේත්, ඉන්දියාවේත්, තවමත් දැකිය හැකි ය. හින්දු භක්තික නොවන අය ද කෙසෙල් කොළේ ආහාර ගැනීමට රුච් කරති. සමහර උසස් පන්නයේ හෝටල්වල විදේශික සංචාරකයිනටත් කෙසෙල් හෝ නෙළුම් කොළවල ආහාර ගැනීමට සලස්වන බව ප‍්‍රකට ය. ඔවුනට මෙය අමතක නොවන වටිනා අත්දැකීමකි.ලතින් අමෙරිකානු රටවල් සමහරක පැවති ආණ්ඩු " කෙසෙල් සමූහ ආණ්ඩු"   යන උපහාසාත්මක නාමයෙන් හදුන්වනු ලැබිණි. මහා පරිමාණ ලෙස කෙසෙල් වගා කිරීමට මෙම රටවල ජනයා පුරුදුව සිටිති. හින්දු භක්තිකයන් පමණක් නොව , සිංහල ජනතාව ද පාරම්පරිකව ආහාර සකස් කර ගැනීමේ දීත්, පන්සලට, කෙතට, මගුලට, අවමගුලට, නෑදෑ ගමන් යාමට ආහාර පෙට්ටිවල කුරිණිවල ඇසිරීමේදීත් මඳක් ගින්නට අල්ලා තවන ලද කෙසෙල් කොළ භාවිත  කළහ. කැවුම් බැදීමට පෙර සහල් පිටි, පැණි හා පදමට ලුණු මිශ‍්‍රණය තැවූ කෙසෙල් කොළවල හෝ ගන්සූූරිය, කැන්ද ආදී වෙනත් කොළවල වඩති. (තුනී කරති) කුරක්කන් හැලප සඳහා පිටි මිශ‍්‍රණය ද කැන්ද කොළේ තුනීකොට වණ්ඩුවේ තම්බා ගැනීම සිරිතකි." බත් ගෙඩිය " හෙවත් පුද්ගලයන් එක්කෙනෙකුට හෝ දෙතුන් දෙනෙකුට පාර්සලයක් සකස් කිරීමේ දී පුවක් මලක් ඉහිරුණු පසු ගැලවී වැටෙන පුවක් කොළය පිට පොත්ත ගලවා සකස් කොට භාවිතා කිරීමට ගැමියෝ පුරුදු වී සිටියහ.ළිංවලින් වතුර බෑමට ද පූවක් කොළයෙන් සකස් කරන ලද ගොට්ට මෑතක් වන තුරු ම පිටිසර ප‍්‍රදේශවලට භාවිතා විය.මෙම ලියුම්කරු විසින් ගැමි ජනතාව ආහාර සකස් කිරීමේ දී, පිටතට ගෙන යෑමට බඳුන්වල ඇසිරීමේ දී හා භුක්ති විදීමේදී, භාවිතයට ගැනුණු කොළ වර්ග හා වෙනත් ගස්වැල් ආශි‍්‍රත ද්‍රව්‍ය, මධ්‍යම පළාතට සාපේක්‍ෂකව සඳහන් කරන ලදී. සෙසු ප‍්‍රදේශවල මේ සඳහා වෙනත් ද්‍රව්‍ය භාවිත කරන්නට ඇත.ජාතක පොතේ එන මහිලාමුඛ ජාතකය මෙහි දී උදාහරණයට ගැනීම උක්ත කාරණය පැහැදිලි කිරීමට සුදුසු යයි සිතමි. අතීතයේ දඹදිව විසූ රජෙකු විසින් රාජකීය ගමන්වලට යොදාගත් මඟුල් ඇතෙක් හදිසියේ නොණ්ඩි ගසන්නට විය. ඊට හේතු පිරික්සීමේ දී මෑතක දී ඇතු බැලීමට නිල කරන ලද ඇත් ගොව්වා නොණ්ඩි ගසන නිසා ඇතා ද ඔහු අනුගමනය කරන බව අනාවරණය විය.සාමාන්‍ය පාරිභෝගිකයා ද උසස් පන්තියේ අයගේ ඇවතුම් පැවතුම් අනුගමනය කිරීමට කැමැත්තක් දක්වයි. ශතවර්ෂාධික කාලයක් නෙළුම් කොළ, කෙසෙල් කොළ, පුවක් කොළ සහ කැන්ද කොළ ආදිය භාවිතා කළ සිංහල ජනතාව උසස් පන්තිය අනුගමනය කරමින් මැටි වළෙඳන් පිඟන් – මැටි භාජනවලටත්, ඇළුමීනියම්, සුදුයකඩ සහ ප්ලාස්ටික් භාජනවලටත් මාරු වී මේ වන විට කෑම ගැනීම, අවසන් වූ වහා ම ගුලිකොට ඉවත දමන " ලන්ච් ෂීට්" එක දක්වා පැමිණ ඇත.ප්ලාස්ටික් සහ ඇලුමිනියම් භාජන සෞඛ්‍යයට අහිතකර බව විද්‍යානුකූලව අවබෝධවීම නිසා ඉහළ පන්තියට සේවය කරන හෝටල් පිසූ ආහාර මැටි භාජනවලට බහා පාරිභෝගිකයින්ට ඉදිරිපත් කිරීමේ නව සම්ප‍්‍රදායක් ආරම්භ විය. කෑම පාර්සල් එතීමේ දී කෙසෙල් කොළය භාවිතා කිරීමට ද උසස් පන්තියේ හෝටල නොබෝදා පියවර ගැනීම සතුටට කාරණයකි. ක‍්‍රමයෙන් දේශීය ඇවතුම් පැවතුම් හා මෙවලම් ජනතාව අතර ජනපි‍්‍රයවීමේ සුබවාදී ප‍්‍රවණතාවයක් ද දක්නට ඇත.තුනී පොලිතීන් තහනමත් සමඟම කෙසෙල් කොළයටද හොඳ වෙළඳපොලක් ඇති වේ. කැන්ද, නෙළුම්, ගන්සූූරිය සහ පුවක් ආදී කොළවලට ද වාණිජමය අගයක් ලබා දීමට රජයේ සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් කටයුතු යෙදිය යුතු ය. පාසලට සහ සේවා ස්ථානයට දිවා ආහාරය ඔතාගන යාමට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද, විවිධ වෘත්තීන් හි යෙදී සිටින අය ද පුරුදු වී සිටිති. ප්ලාස්ටික් අසුරනයක ආහාර ගෙන යාම වෙනුවට සෞඛ්‍යයට හිතකර සුදු යකඩ අසුරනයක ආහාර ගෙනයාම වඩා යෝග්‍යය. විවිධ ව්‍යාංජන වර්ග "ලන්ච් ෂීට්" වල ඔතා එකී භාජනයෙ හි අඩුක්කර ගැනීමට තිබූූ පුරුද්ද වෙනුවට කෙසෙල් හෝ වෙනත් ශාඛමය දැවටුමක ඔතා ගැනීම සෞඛ්‍යයට හිතකර ය. පොලිතීන් තහනම සමඟ ශාකම ය ආදේශකයකට ජනතාව පුරුදුවනු ඇත.පරිසර අමාත්‍යාංශය පොලිතීන් තහනම කි‍්‍රයාත්මක කරන අතරතුරේ කෘෂිකර්ම සහ කුඩාකාර්මාන්ත දෙපාර්තමේන්තු කෙසෙල්කොළ ආදී ශාඛමය දැවටුම් ද්‍රව්‍ය මහා පරිමාණයෙන් වගා කරවීමටත්, භාවිතයට සුදුසු පරිදි සකස් කිරීමටත් පියවර ගත යුතු ය. "චූල්ල සෙට්ටි " ජාතකයේ කුණු මීයෙකුගෙන් දියුණු ව ආරම්භ කොට සිටු තනතුරු ලැබූ ප‍්‍රඥාවත් දිරිය තරුණයකු පිළිබඳ සඳහන් වෙයි. පොලිතීන් තහනම ද ස්වයංරැකියා මගින් දියුණුව අපේක්‍ෂා කරන තරුණ තරුණියනට සහ අලුත් ව්‍යාපාරිකයන්ට දියුණුවේ රන්දොර විවෘත කරන රජතමය යතුරකි.
ජේ. ගුණදාස ජයවික‍්‍රම

No comments:

Post a Comment