Friday, March 24, 2017

වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය (මාර්තු 21)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නිවේදනය කරන ලද 'වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය' මාර්තු මස 21වැනි දිනට යෙදී ඇත. 

වනාන්තරයන්ගේ ඇති අගය පිළිබඳ හා විවිධාකාර වූ වනාන්තර පරිසර පද්ධතීන්ගේ ඇති වැදගත්කම පිළිබඳ ලොව පුරා ජනතාවගේ අවධානය යොමු කරවාගනිමින් සමාජ දැනුවත් කිරීමක් හරහා වනාන්තර සුරැකීම කෙරෙහි නැඹුරුතාවක් ඇති කිරීම මෙම දිනයේ අරමුණ වී ඇත.

ලෝකයේ දේශගුණික විපර්යාස කෙරෙහි බලපාන, වන විනාශයෙන් සහ වනාන්තර හායනයෙන් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සාමූහිකත්වය හා එක්ව ජීවයේ පැවැත්ම උදෙසා නැවුම් ජල මූලාශ්‍ර සුරැකීම සහ වන සම්පත රැකගැනීමේ ඇති වැදගත්කම අවධාරණය කිරීමෙහිලා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැරසෙයි.

වනාන්තර ස්වභාවික ජල පෙරහන් ලෙස ක්‍රියා කරනු ලබන්නේ මිනිසා විසින් නිපදවන ලද සියලුම පෙරහන් පද්ධති අභිභවා යමිනි. වනාන්තර තිරසර ලෙස කළමාකරණය කිරීමෙන් පාංශු ඛාදනය අවමකොට නාය යෑම් හා ගංවතුර තත්ත්වයන් නිසා ඇතිවන අවදානම් තත්ත්වයන් වැනි ස්වභාවික ව්‍යවසනයන් අවම කිරීමෙහිලා දායක වන්නේ ස්වභාවික ජල මූලාශ්‍රයන්ද ආරක්ෂා කරගනිමිනි. පස ගිලා බැසීම් හා නායයාම් අවදානම ඇති කඳූකර ප්‍රදේශ වැනි බිම් ආරක්ෂා කරගැනීම කෙරෙහි වනාන්තරයන් වෙතින් ඉටුවන මෙහෙයද අපමණය.

ගෘහශ්‍රිත, කෘෂිකාර්මික හා වෙනත් පාරිසරික අවශ්‍යතා සඳහා පහසුවෙන් නැවුම් ජලය ලබාගත හැකි ජල මූලාශ්‍රවලින් 75%ක ප්‍රතිශතයක් පවතින්නේ වනාන්තරාශ්‍රිත ජලාශ්‍ර හා වගුරුබිම් ආශ්‍රිතවය. වනාන්තරාශ්‍රිත ජලාශ්‍ර කළමනාකරණය යනු එක් එක් භූමි ප්‍රදේශයන්හි පැතිර පවතින ස්වභාවික ජල මූලාශ්‍ර සුරැකීමෙහිලා අනුගමනය කෙරෙන තිරසර ක්‍රමවේදයකි.

උසස් තත්ත්වයේ නැවුම් ජලය රැඳි තෙත්බිම් ආරක්ෂා කරගැනීම ජෛව විවිධත්වය සුරැකීමට හා මානව සංහතියේ උන්නතිය උදෙසා වැදගත් වේ. සංවර්ධිත රටවල්වල සිට තුන්වන ලෝකයේ රටවල්වල සුවිසල් නගර දක්වා සිය පානීය ජල අවශ්‍යතා සපුරාගැනීමේ මූලාශ්‍ර ලෙස භාවිතා කරනු ලබන්නේ වනාන්තරාශ්‍රිත ප්‍රදේශයන්ය. දිනෙන් දින නාගරීකරණය වීම හා ජනගහනය වර්ධනය වීම සිදුවුවද ඒ හා සාපේක්ෂව අදාළ ජල මූලාශ්‍ර රැඳි වනාන්තර ප්‍රදේශ වර්ධනය නොවීම සලකා බැලිය යුතු කරුණක් බවට පත්ව තිබේ.

සංවර්ධනය වන රටවල වැඩි දියුණු කළ ජල මූලාශ්‍ර කළමනාකරන ක්‍රමවේද භාවිතා කිරීම මගින් සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් දැකගත හැකි වේ. ඒ සඳහා සිදු කෙරෙන ආයෝජනයන් හරහා ලබා ගත හැකි සෘජු වාර්ෂික ආදායම 200% සිට 4005 ක ඉහළ අගයක් දක්වා පුළුල්ව පැතිර පවතියි.

වනාන්තර, දේශගුණ විපර්යාසයන් හා ඉන් සිදුවන හානිවලින් මානව සංහතිය හා මුළුමහත් ලෝකයම රැක ගැනීම උදෙසා පෙරමුණ ගන්නා ආරක්ෂිත ආවරණයකි. වාෂ්පීභවන ක්‍රියාවලිය හරහා ස්වභාවික ආකාරයෙන් පරිසරයට සෙවණක් හා සිසිලසක් එක් කිරීම කෙරෙහි වනාන්තරාශ්‍රිත ජල මූලාශ්‍රයන් නිහඬ මෙහෙවරක යෙදී සිටියි. වනාන්තර ගහණය ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුකොටගෙන කාලගුණ විපර්යාස නිසා ඇතිවන ගං වතුර, නියං තත්ත්වයන්, නාය යෑම් යනාදී ස්වභාවික ව්‍යවසනයන්ගෙන් ලොවට සිදුවන හානි දිනෙන් දින ඉහළ යාමේ තත්ත්වයක් දැක ගතහැකිය. ලොව පුරා සිදුවන මහා පරිමාණ වන විනාශය අනාගත ගැටලු රැසක මූලාරම්භය වනු ඇත.

ලොව වසා සිටින ශාක ආවරණය වෙත කිනම් ආකාරයේ හානියක් සිදුවුවද එය අහිතකර ලෙස බලපාන්නේ ජල මූලාශ්‍ර වියැකී යාම කෙරෙහි බැව් අප විසින් පිළිගත යුතු සත්‍යයකි. අධික වර්ෂාපතනයක් ඇති කාලයන්හිදී ගංවතුර අවදානම මෙන්ම වර්ෂාව අඩු කාලයන්හීදී උග්‍ර නියං තත්ත්වයන්ද ඇතිවීම කෙරෙහි එය බලපායි. ලොව පුරා තෙත් බිම් ආශ්‍රයෙන් පාරිසරික සමතුලිතතාවය පවත්වාගැනීම කෙරෙහි සිදුවන ස්වභාවික මෙහෙවර මේ

තත්ත්වය යටතේ තවදුරටත් අපේක්ෂා කළ නොහැක. පරිසර පද්ධතීන් ආශ්‍රිත සේවාවන්ගේ වටිනාකම මුදලින් තක්සේරු කළ නොහැක.

No comments:

Post a Comment