Friday, April 22, 2016

මිහිතල දිනය (අප්‍රේල් 22)


  මිහිතල දිනය අප්‍රේල් 22 දිනට යෙදී ඇත. 1970 අප්‍රේල් මස 22 වැනි දින ආරම්භ වූ මිහිතල දිනයට 2016 වර්ෂයේ දී වසර 46ක්‌ සම්පූර්ණ වේ. 1970 වන විට ඇමෙරිකාවේ පැවැති පාරිසරික විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා වගකිවයුත්තන් ගේ අවධානය යොමු කරවීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ ලෙස මිහිතල දිනය ආරම්භ විය.

 ඒ ඇමෙරිකාවේ මිලියන 20 ක ජනතාවක්‌ එදින වීදි බැස පරිසරය පිරිසිදු කිරීම, රැළි, විරෝධතා ව්‍යාපාර, දේශන, වැඩමුළු ආදිය පවත්වමින් පරිසර ක්‍ෂේත්‍රයේ නව සන්ධිස්‌ථානයක්‌ එදින සනිටුහන් කළ නිසාය. 


මිහිතල දිනයේ පෙරැළිය ඇති කළ මිහිතල දින සමාරම්භකයා වශයෙන් සලකනු ලබන්නේ "ගේ ලෝඩ් නෙල්සන්" නමැත්තාය. ඔහු වින්කොන්සි ප්‍රාන්තයේ සෙනෙට්‌ සභිකයෙක්‌ද, ආණ්‌ඩුකාරයා වශයෙන්ද පත්වී පසුව ඇමෙරිකානු සෙනෙට්‌ මණ්‌ඩලයේ සභිකයකු සේද කටයුතු කළ පුද්ගලයෙකි.


ඔහුගේ නායකත්වයෙන් ඇරැඹි 1970 අප්‍රේල් 22 දා "පරිසර සංග්‍රාමය" ලෝකයට පරිසරය පිළිබඳ හිතන්නට මෙන්ම ක්‍රියාකරන්නටත් යමක්‌ ඉතිරි කළේය. අද දක්‌වාත් අප්‍රේල් 22 දාට මිහිතල දිනය සැමරෙන්නේ ඒ නිසාය.
මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ඉන් අනතුරුව ගත වූ වසර කිහිපයක කාලය ඇතුළත ඇමෙරිකාවේ පරිසර සංරක්‌ෂණයට අදාළ අණ පනත් ගණනාවක්‌ ඇති වූ අතර, ඒ සඳහා වගකිව යුතු ආයතන කිහිපයක්‌ ද ස්‌ථාපිත කිරීම සඳහා ඉන් සැලකිය යුතු බලපෑමක්‌ ඇති වූ බව පිළිගැනේ. මුල දී මිහිතල දිනය වැඩි වශයෙන්  ඇමෙරිකාවට අදාළ වුව ද පසුව 1980 දශකයේ පටන් සෑම වසරක ම අප්‍රේල් මස 22 වැනි දිනය මිහිතල දිනය ලෙස සැමරීමට ලෝකයේ රටවල් රැසක්‌ ක්රියා කර ඇත. 



මිහිතල දිනය ලෙස සැමරීම සඳහා ඒ ඒ වර්ෂ වලදී නිශ්චිත තේමා ද යොදාගෙන ඇති අතර මේ වර්ෂයේ දී යොදාගෙන ඇත්තේ Trees for the Earth යන්නයි එහි සිංහල තේරුම “මිහිතලය සුරැකීමට ශාක සුරකිමු”  යන්නයි.

 සමස්‌තයක්‌ ලෙස නූතන පරිසර සංරක්‌ෂණ ව්‍යාපාරයේ වැදගත් දිනයක්‌ ලෙස මිහිතල දිනය සැලකිය හැකි ය. 

මේ වසරේමිහිකත දිනය සැමරීම නිව්යෝර්ක්හි දී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සිදු කිරීමට නියමිත බවත් මේ වසරේ තේමාව සමග, එහි 50 වැනි සංවත්සරය වෙනුවෙන් එය ඉදිරි පස් වසර තුළ ගස් බිලියන 7.8 සිටුවීමේ ඉලක්කය සකස් කර ඇති බවත් එක්සත්ජාතීන්ගේ වෙබ් පිටුව තුළ සදහන් වේ.

තවද ගස් වැවීම තුළින් දේශගුණික විපර්යාස පාලනය කළ හැකි බව හා එම ගස් අපේ වායුගෝලයේ සිට අතිරික්ත හා හානිකර CO2 උරා ගනී. එක් වර්ෂයක් තුළ පරිණත ශාක අක්කරයක් සාමාන්‍යෙයන් මෝටර් රථටක් ධාවන සැතපුම් 26,000 මගින් නිෂ්පාදනය කරන CO2 ප්‍රමාණයට සමානව අවශෝෂණය කරගන්නා බව ද සදහන් වේ.

මිහිතලය සුරැකීමේ කර්යයේදී ශාක වලින් ලැබෙන දායකත්වය මෙතෙකැයි කිව නොහැකි බව සදහන් කළ යුතු මනාය. ඒ අනුව මෙවර තේමාව කාලෝචිතම තේමාවක් බව සදහන් කළ යුතුය.


පසුගිය වර්ෂ කිහිපයක තේමාවන් පහතින් දක්වා ඇත

2012 තේමාව - ‘මිහිතලය සුරැකීමට ලොව ම එක්රැස් කරමු’ 
2013 තේමාව - "දේශගුණ විපර්යාස ජයගනිමු"
2014  තේමාව - හරිතවත් නගරයක් 
2015 තේමාව - 'ජලය විස්‌මයජනක ලෝකයක්‌'  (Water Wonderful World). 

එක්සත්ජාතීන්ගේ වෙබ් පිටුව

No comments:

Post a Comment