Thursday, June 4, 2015

ලෝක පරිසර දින සැමරුම - 2015

ජගත් පරිසර දින සැමරුම 1972 වසරේ සිට වසර 42ක් මුළුල්ලේ එළඹෙන සෑම වසරකම වර්ධනය වෙමින් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මගින් පරිසරය පිළිබඳ ලෝක ප්‍රජාවගේ විශේෂ අවධානය යොමු කරවිමට කටයුතු කරයි. සියලූ දෙනාට එකට එකතු වී තමන්ට හා ඉරිදි සියලූ පරම්පරාවන්ට පිරිසිදු, හරිතවත්, දීප්තිමත් අනාගතයක් උදාකරලීම වෙනුවෙන් ගමන් කිරීමට පරිසරය සම්බන්ධයෙන් දිනයක් ප්‍රකාශයට පත් කරමින් ඒ පිළිබඳ යම් ප්‍රබෝධාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පරිසරය සම්බන්ධයෙන් වන කෙටි කාලීන වූ ධනාත්මක ප්‍රයත්නයකි. එම ධනාත්මක වැඩපිළිවෙළ දිගුකාලීන වූ ඵලදායී වැඩපිළිවෙළක් බවට පත්කරලීම සඳහා ලෝක වාසී සමස්ත ජනතාව තුළ පරිසරය පිළිබඳ ළෙන්ගතු ආකල්පමය පරිවර්තනයක් කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙසේ දිනයක් නම් කර සිදුකෙරෙන්නේ ලෝකවාසීන්ගේ අවධානය පරිසරය කෙරෙහි යොමු කරවිමයි.

ඒ ඒ වර්ෂ වලදී ලෝක පරිසර දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් තේමාවන් නිකුත් කරයි. එහිදී ඒ වන විට අවධානය යොමු කළ යුතු විශේෂ සාධක කෙරෙහි අවධානය යොමු කරවනු ලබයි. ‍ 2015 වසරේ ලෝක පරිසර දින තේමාව වන්නේ : "Seven Billion Dreems. One Planet. Consume With Care." යන්නයි. එහි සිංහල පරිවර්ථනය "තිරසර භාවිතය - සුරකී මිහිතලය" ලෙසට ගෙන ඇත.

ලොවපුරා ඉහළ යමින් පවතින තිරසර නොවූ සම්පත් භාවිතය පිළිබඳ පණිවිඩය වඩා සක‍්‍රීය ලෙසත්, ප‍්‍රබල ලෙසත්, අන්තර්ජාතිකව, කලාපීයව හා ජාතික වශයෙන් සියලූ අංශ හා සමාජ කණ්ඩායම් වෙත අවබෝධ කරදීමට හා ඒ අනුව ක‍්‍රියාකරවීමේ  වඩා සක‍්‍රීය කිරීමක් මෙම පරිසර දින සැමරුම මගින් අරමුණු කර ඇත.


වාර්ෂිකව සිදුවන මෙම සැමරුම අරමුණු කරනුයේ ලෝකය පුරා සිදුකරනු ලබන ඉහළම සාධානීය පාරිසරික ක‍්‍රියාකාරකම්වලින් යුතු ජාත්‍යන්තර දිනය ලෙසිණි. ජුනි 05 වන දින පදනම් කරගත් ජගත් පරිසර සැමරුම් වසර පුරාම, ලෝකය පුරා වාර්ෂිකව පැවැත්වේ.

බිලියන 07 ක් වන ලෝක ජනගහනය (වසර 2050 දී එය බිලියන 9 ක් වේ යැයි අනුමාන කෙරේ) සඳහා අත්‍යවශ්‍ය සම්පත් ලඟා කර දීමට ලෝකය දරණ උත්සාහය තුළදී ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගණන් බැලීම්වලට අනුව ලෝක ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් (1/3) අපතේ යෑමට හෝ විනාශ වීමට භාජනය වේ. තත්වය මෙසේ තිබියදී සෑම හත්දෙනෙකුගෙන් එක් අයෙකු නින්දට යන්නේ බඩට අහරක් නොමැතිවය. ඒ සමගම ලොවපුරා වයස අවුරුදු පහකට අඩු ළමුන් 20,000 ක් දිනපතා බඩගින්න නිසා මිය යන බව සංඛ්‍යාලේඛන දක්වයි.

මේ අනුව ඉහත කී බරපතල තත්ත්වය හමුවේ ජන ජීවිතය ඉතා අසීරු අඩියකට භාජනය වන තත්ත්වයක් තුළ පරිසරයට එමගින් ඇතිවන බලපෑම පිළිබඳවද ඉලක්කකර ගනිමින් මෙවර පරිසර දින තේමාව මගින් අප සියලූ දෙනාටම හිතන්නට යමක් මෙන්ම ඒ පිළිබඳ දැනුම්වත් වීම තුළින් අපගේ රුචිකත්වය හා භුක්තිවිදීම තුළ ඇති පාරිසරික බලපෑම් මොනවාද යන්න තේරුම් ගෙන තෝරා ගැනීම්වලට යොමුවිය හැකිවනු ඇත. සම්පත් අධිභාවිතය හා අපතේ හැරීම යනු ස්වාභාවික සම්පත් විනාශ කර හරින ප‍්‍රධාන මාර්ගයක් වන අතරම පාරිසරික, ආර්ථික සහ මානුෂීය වශයෙන් සිදුවන බලපෑම්ලට ප‍්‍රධාන හේතුවක් ද වනු ඇත.


ශ‍්‍රී ලංකාවට එදා තිරසර භාවිතයක් සහිත සංස්කෘතියක් තිබිණි. එය සිංහල පැරණි නටබුන් පරීක්ෂා කිරීමේදි ඉතා පැහැදිලිය. විශේෂයෙන් අපගේ ආහාර සංස්කෘතිය තුළ ප‍්‍රමුඛස්ථානය වී ගොවිතැනට හෙවත් බත්පතට හිමි ව තිබේ. ඒ ආශ‍්‍රීතව ගොඩනැඟුණු අපේ සිරිත් විරිත් පිරිපුන් ජාතීන් හා කරින් කර සිටීමේ හැකියාව අප වෙත හිමි කර දී ඇත.

එලෙසම අප භාවිතාකරන සම්පත් ඉවත දැමීම පිළිබඳ සංකල්පය ඉතා අගනේය. ජලය පවා අප පරිහරණය කළ ආකාරය ඉතා ආදර්ශමත්ය. ආහාරගෙන් ඉතිරි ඉඳුල් පවා අප සතෙකු වෙත ලබා දුන්නේ සංස්කෘතිය තුළ ලබාදුන් පාරිසරික හික්මීම නිසාම ය. තමන්ට ඇති තරම් බෙදා ගැනීම, අපතේ නොහැරීම බෞද්ධ දර්ශනය හරහා අප වෙත ගෙන දී ඇති ශික්ෂණය ඉතා නිවැරදිය. ආහාර අපතේ හැරීම පවක් ලෙස සැළකීමට පෙළඹී ඇත්තේ මෙම හික්මීම නිසාය.

අප ජාතියක් රටක් වශයෙන් පාරිසරික සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම හෝ අපතේ හැරීම කළ අය නොවේ. එහෙත් අද දවසේ එකිනෙකා පරයා යාමේ ආර්ථික තරගයකට පත් වීම නිසාත් ඉදිරිපරම්පරා‍ වෙත භාවිතය සදහා සම්පත් හිගවනු ඇත. පාරිසරික අභියෝගයන් ජය ගැනීම සඳහා තනිපුද්ගල ක‍්‍රියාකාරීත්වයන් මෙන්ම පොදු කි‍්‍රයාකාරිත්වයන් ද ආශ‍්‍රය කර ගත යුතු ය.


මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍ය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුනිල් උඩුකුල මහතාගේ අදහස් පහතින් උපුටා දක්වා ඇත.

අප මාතෘ භුමිය වන ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙස සැබෑ පාරිසරික දෘෂ්ටියකින් බලන විටදී දිනෙන් දින සිදුවෙමින් පවතිනුයේ පාරිසරික හානි ඉහළ යෑමකි. ශ්‍රී ලාංකේය භූ දේශපාලනික වපසරියෙන් ඔබ්බට ගොස් ලෝක තත්ත්වයන් සලකන විටදී ලොව බොහෝ තැන්හි ක්‍රියාකාරිත්වයන් විසින් ඇති කරනු ලබන ප්‍රතිඵලය වී ඇත්තේ මිහිතලය ජීවයේ පැවැත්මට නුසුදුසු තැනක් බවට පත් කිරීමයි. ජීව විද්‍යාත්මක මතය අනුව මිහිපිට ජීව විශේෂ 15ක් පමණ ජීවත් වන අතර ඉන් ප්‍රබලම ජීවියා වන්නේ මිනිසායි. ඒ බුද්ධිමය හැකියාව මිනිසාට පමණක් උරුමව තිබීම නිසාය. එසේ වුවත්, නූතන මානවයාගේ ක්‍රියාකාරිත්වය දෙස බලන විටදී ඒ බුද්ධිමත් බවේ මන්ද බුද්ධික ස්වභාවයක් පවතින බවද ප්‍රත්‍යක්ෂ වේ. අපේ පැරැණියන් නූගත් ජනතාවක් ලෙසත්, වත්මන් ජනතාව උගත් ජනතාවක් ලෙසත් පිළිගැනීම පොදු ව්‍යවහාරයේ සම්මතයකි. මහ බැංකු වාර්තාවට අනුව වර්ෂයෙන් වර්ෂය අපේ සාක්‍ෂරතා අනුපාතය ඉහළ යමින් පවතින අතර, 2014 සංඛ්‍යා දත්ත අනුව එය 92%කි. එය ලෝකයේ දියුණු රටවල පවතින සාක්ෂරතාවට සමාන තත්ත්වයකි. නමුත්, මේ උගත් බුද්ධිමත් යැයි සඳහන් වන නූතන මානවයා පිළිබඳ පවතින සමාජ විග්‍රහය කිසිසේත් පිළිගත නොහැක්කකි. එසේ නොවේ නම් බටහිර සංවර්ධන ආකෘතිය විසින් සමාජගත කරන ලද සංකල්පීය අදහස් හෝ ඊට භාවිත කරනු ලබන නිර්ණායකයන් හෝ වැරැදිය. මිනිසා මේ තරම් උගත් නම්, බුද්ධිමත් නම් අප ජීවත් වන මේ පරිසරයට මේ තරමට ඇස් පනාපිටම හානි කරන්නේ නැත. අද පරිසරයට කරන විනාශය පිළිබඳ ගැඹුරින් සලකන විටදී අප ක්‍රමයෙන් ම්ලේච්ඡ ජාතියක් බවට පත්වීමේ ප්‍රවණතාව පෙන්නුම් කර හමාරය. වත්මන් මානව විද්‍යාඥයන් මේ පිළිබඳ පුළුල් පර්යේෂණ සඳහා යොමුවීමේ සමකාලීන සමාජ අවශ්‍යතාව වටහා ගත යුතුය.


හුස්ම ගැනීමට තිබෙන පිරිසුදු වාතාශ්‍රය විනාශ කරන්නේ නම්, ජීවයට පදනම වූ ජල සම්පත අද වන විට බීමට, නෑමට නුසුදුසු තත්ත්වයට පත් කරන්නේ නම්, බැලූ බැලූ අත දෙනෙතට ප්‍රිය දසුන් මැවූ හරිත වටපිටාව තුළ දෙනෙතට ප්‍රිය නොවන දූෂිත දසුන් මවන්නේ නම්, දෙසවන් පිනවන මිහිරි ස්වාභාවික ශබ්දයන් වෙනුවට ඉතා පීඩාකාරී ඝෝෂාවලින් දෙසවන් පිරී යන්නේ නම්, අප කාටත් ආහාර සපයන ප්‍රධාන මූලාශ්‍රය වන පස හෙවත් මහපොළොව වස මිශ්‍ර වූ අනතුරුදායක තැනක් බවට පත් කරන්නේ නම් නූතන මිනිසාගේ උගත් බව, බුද්ධිමත් බව පිළිබඳ පවතිනුයේ මහා ප්‍රශ්නාර්ථයක් නොවේද? පෘථිවියට මේ තත්ත්වය උරුම කරමින් පවතිනුයේ සියැටල් පරපුරේ එවුන්වත්, ඇබොරිජන්ස් පරපුරේ එවුන්වත් හෝ උෟරුවරිගේ වන්නිලැත්තන්ගේ පරපුරේ එවුන් වත් නොව, උගත් බුද්ධිමත් යන ලේබලය අලවාගත් නූගත් මන්ද බුද්ධික අපි වන්නෙමු.

සොබා දහම විසින් ශ්‍රී ලාංකේය අපට උරුම කරනු ලැබ තිබෙන අති පාරිශුද්ධ වූ ජල ද්‍රෝණි 103කින් සමන්විත අරීය ජලවහන රටාවක් හිමි ජල සම්පතට අද වන විට සිදු කරමින් පවතින හානිය ජල සම්පතට අධිපති වරුණ දෙවියන්වත් උහුලන්නේ නැති මහා අපරාධයකි. බීමට පිරිසුදු ජලය නොමැති වූ විට එතැනින් එහාට ජීවය පැවැත්මේ ස්ථිරතාව පිළිබඳ සහතිකයක් දිය නොහැකිය. ශ්‍රී පාදස්ථානය ආශි්‍රත පරිසර පද්ධතියෙන් මෙරට ප්‍රධාන ජල මූලාශ්‍ර 05ක් ආරම්භ වන අතර ඒවා, සියල්ලම තිඹිරිගෙය තුළදීම දූෂණයට ලක් කිරීම අද මේ ප්‍රදර්ශනාත්මක වන්දනාකරුවන් සිදු නොකරන්නේද? මුහුදු මට්ටමේ සිට මීටර් 2243ක් උස ශ්‍රීපාද මළුව ප්‍රදේශයට වන්දනා සමයේදී දිනපතා එකතු කරන විවිධ ස්වභාවයේ වූ අපද්‍රව්‍ය හේතුවෙන් එකී ජල මූලාශ්‍ර සියල්ලම දූෂණය කරන්නේය. ශ්‍රීපාද මළුව ප්‍රදේශයට එකතු වන මහා ජනතාව විසින් පරිසරයට බැහැර කරනු ලබන මල, මුත්‍රා ඇතුළු ශාරීරික අපද්‍රව්‍ය සීත ගඟුලේ ජලයට එකතු නොවන්නේද? මළුවේ සිට නල්ලතන්නිය දක්වා එන විටදී හමුවන අපද්‍රව්‍ය තොගය කොතරම්ද? පොලිතීන්, ප්ලාස්ටික් වැනි දෑ ඉඳුල්, වීදුරු බෝතල් කටු..... ආදී වශයෙන් මිනිසා විසින් බැහැර කරනු ලබයි. ලෝක උරුම පරිසර පද්ධතියක් වන ශ්‍රී පාදස්ථානය ආශි්‍රත පරිසරයට මිනිසුන් විසින් මේ කරනු ලබන මහා අපරාධය නොදැනෙන්නේ, නොහැඟෙන්නේ නූගතුන් නිසා නොවේද? බුද්ධිමත් බවේ මන්ද බුද්ධික බවක් නිසා නොවේද?

අද වන විට ලංකාවේ ප්‍රධාන ගංගාවන් වන කැලණි, කළු, වලවේ, නිල්වලා හා මහවැලි ගංගාවන් මෙන්ම ඊට සමගාමීව මුහුදට ගලා බසින සියලු ජල ද්‍රෝණි 103 සලකන විටදී දරුණු ලෙස ඒවා අපද්‍රව්‍ය ගොඩකරන කුණු ගොඩවල් බවට පත්කර ඇත. ජාතික ආර්ථිකය පොහොසත් කරනවා කියා ජනතාවට රැකියා සපයනවා කියා, මහා බොරුවක්, ප්‍රෝඩාවක් කරන ඇතැම් කර්මාන්තකරුවන් තම කර්මාන්ත ක්‍රියාවලිය විසින් ජනනය කරනු ලබන අපදියර, අපද්‍රව්‍ය මෙන්ම උපද්‍රවකාරි අපද්‍රව්‍ය ලෙසින් හඳුන්වන රසායනික අපද්‍රව්‍ය විශාල වශයෙන් ජීවයේ පදනම වන ජල සම්පතට දමනු ලබයි. ඇතැම් කර්මාන්තකරුවන් විසින් හොර රහසේ කර්මාන්තයේ සිට ගංගාවන් දක්වා නළ මාර්ග පොළොව යටින් දමා දූෂිත ජලය මුදා හරින අතර ඇතැම් කර්මාන්තකරුවන් අධික වර්ෂා සහිත අවස්ථාවලදී වර්ෂා ජලය සමඟ මිශ්‍ර කර ගංගාවන්ට එම අපජලය මුදා හැරීම කරනු ලබයි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සපයන කැලණි ගංගාවට කිතුල්ගල, මිරිස්වලතැන්න ප්‍රදේශයේ ගං ඉවුරේ ඉදිකර ඇති හෝටල් හෙවත් ලැගුම්හල්වල වැසිකිළි අපද්‍රව්‍ය සෘජුවම ගඟට මුදාහරින බව පසුගිය සමයේ දිගින් දිගටම වාර්තා විය. සමන් දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ ජල සම්පතට කරන මේ මහා අපරාධය දේව දඬුවමකට හේතු වනු නොඅනුමානය.


කටුනායක මහා කර්මාන්ත පුරය සමීපයෙන් ගලා බසින දඬුගම් ඔය අද ඉතා අපවිත්‍ර ජල පද්ධතියක් බවට පත්කර ඇත්තේ මේ කර්මාන්ත ක්‍රියාවලීන් නිසාය. තෙල් පිරිපහදු ආශි්‍රත සපුගස්කන්ද ප්‍රදේශයේ ගලා බසින ප්‍රධාන ඇළ මාර්ගයේ තෙල් මිශි්‍රත ජලය තනිකරම කළු පැහැ ගැන්වී ඇත. පසුගියදා වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ඇළට ඇඳුම් වර්ණ ගන්වන කර්මාන්තශාලාවකින් අප දියර දැමීම නිසා ඇළ මාර්ගයේ මසුන් මියයෑම වාර්තා විය. දැනට වසර කීපයකට පෙර ප්‍රදේශයේ ජනතාව නෑම සඳහා භාවිත කරන ලද එම ඇළ මාර්ගය අද වන විට වස මිශ්‍රිත ඇළ මාර්ගයක් බවට අදාළ කර්මාන්තකරුවන් පත්කර හමාරය. අකුරණ ප්‍රදේශයේ හරහා කටුගස්තොටින් මහවැලි ගඟට ගලා බසින පිඟාඔය, ජනයා අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ජල මූලාශ්‍රයක් බවට පත්කර ඇත. මහවැලි ගඟට තලවාකැලේ, කොත්මලේ, ගම්පොළ, ගෙලිඔය, පේරාදෙණිය, මහනුවර..... ආදී ප්‍රදේශවලින් එකතු කරන අපද්‍රව්‍ය ප්‍රමාණය දැවැන්තය. කටුගස්තොට පිහිටි ගොහාගොඩ කුණු කන්ද නිර්මාණ කරන ලද්දේ මහවැලි ගංගා ඉවුරේය. කළුතර දිස්ත්‍රික්කයේ රබර් වගාව බහුලව කෙරෙන අතර ෆෝමික් ඇසිඩ් මිශි්‍රත අප ජලය සෘජුවම සමීපයේ ජල මාර්ගවලට මුදාහැරීම සාමාන්‍ය දෙයක් බවට පත්කර ගෙන ඇත. රත්නපුර නාගරික අපද්‍රව්‍ය ඇළ මාර්ගයක් දිගේ විත් එක් කරනුයේ කළු ගංගාවටය.


කර්මාන්ත ක්‍රියාවලියක් හේතුවෙන් මේ වන විට අපේ පද්ධතිවලට වගේම ස්වාභාවික පරිසර පද්ධතිවලට කර ඇති හානිය මහා ඛේදවාචකයකි. වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ ජල මූලාශ්‍ර දූෂණය වීම, හංවැල්ල, තුන්තාන ප්‍රදේශයේ මේ තත්ත්වය ඇතිවීම, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුලිච්චාකුලම ප්‍රදේශයට රසායනික විස සහිත ඊයම් බොර දිය තොග වශයෙන් දැමීම, යාපනය අර්ධද්වීපයේ චුන්නාකම් ප්‍රදේශයේ ජනතාව දිගු කලක පටන් හැඳින්වූ ඔයිල්කුලම නම් අපදියර බැහැර කිරීමක් මඟින් ප්‍රදේශයේ භුගත ජලයට එය මහත් බලපෑමක් ඇති කිරීම වැනි සිද්ධි වරින්වර වාර්තා වෙමින් පවතී. මේ ජනතා විරෝධී, පරිසර විරෝධී ක්‍රියාවලිය කරන්නේ මන්ද බුද්ධික වූවන් විනා සබුද්ධික ජනතාවගේ ක්‍රියාවක් නොවන බව පැහැදිලිය.


මෑත කාලීනව ශ්‍රී ලාංකික සමාජයේ උද්ගතව ඇති මේ විවිධ ස්වභාවයේ වූ පරිසර ප්‍රශ්න සලකන විටදී ඒවා පිටුදැකීම සම්බන්ධයෙන් විවිධ අංශ ගනු ලබන ක්‍රියාමාර්ග ඵලදායී වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. බොහෝ ඒවා බීරි අලින්ට වීණා වාදනය කරනවා වැනිය. පාරිසරික ප්‍රමිතීන්ට අනුගත නොවන කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ කර්මාන්ත ක්‍රියාවලීන් විසින් ඇතිකරනු ලැබ තිබෙන මහජන පීඩා අති ප්‍රබලය. පාරිසරික පීඩා සෘජුව දෘශ්‍යමාන නොවන මහා ඛේදවාචක මවන තත්ත්වයේ බරපතළ ඒවාය.

පරිසරයේ සැබෑ වටිනාකම පිළිබඳ කිසිදු තැකීමක් නොකරමින් බොහෝ පිරිස් පරිසර දූෂණය කරනුයේ හොරා, පොලිස් සෙල්ලමක් මෙනි. අප ජීවත් වන පරිසරයේ තිබෙන සොබාදහම විසින් උරුම කරනු ලැබ ඇති ජලය බොන්නට බැරිනම්, නාන්න බැරිනම්, ඒ තත්ත්වය උරුම කරන්නේ යම් කර්මාන්ත ක්‍රියාදාමයක් මඟින් නම්, ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා දුන්නත්, ඩොලර්, ඩිනාර්, පවුම් හෝ රුපියල් බිලියන ගණනින් ඉපැයුවත් පරිසර සාධකයත් සමඟ සාපේක්‍ෂව බලන විටදී ලාභ අලාභ ගිණුමේ ශේෂ පත්‍රය ඍණ එකකි. මන්ද ඩොලර්, ඩිනාර්, පවුම් හෝ රුපියල් සතවලට සුපිරිසුදු වූ විශ්වාසදායී වූ ගත සිත පිනවන ජලය මැවීමට නොහැකි බැවිනි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පසුගියදා පරිසර සුරැකුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය නායකයෙක් විසින් කරනු ලැබූ වටිනාම ප්‍රකාශය කෙළේය. එනම් තම විධායක බලය රටේ පරිසර සුරැකුම වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවය. මෙරටේ පරිසරය ගැන අවංකව උනන්දු වන නිලධාරීන් පන්තියකට, ජනතාවට සමාජ ක්‍රියාකාරීත්වයට එය මහත් උත්තේජනයකි. ජනාධිපතිතුමනි, මූලික වශයෙන් ජලය, වායුව, පස සමඟ වනාන්තර පරිසර පද්ධති සුරක්‍ෂිත කරන කල්පවත්නා පරිසර සංරක්‍ෂණ වැඩපිළිවෙළක් අපේ මාතෘ භූමියට උරුම කළ මැනවි.

සුනිල් උඩුකල

No comments:

Post a Comment