Monday, June 17, 2024

ලෝක කාන්තාරීකරණ වැළැක්විමේ දිනය අදයි

ලෝක කාන්තාරීකරණය වැළැක්වීමේ සහ නියඟය පිටුදැකීමේ දිනය අදට යෙදී ඇත. 


වර්තමාන ලෝකයේ පවත්නා තවත් ප්‍රබල පාරිසරික ගැටලුවක් වී ඇත්තේ කාන්තාරීකරණයයි. කාන්තාරීකරණය යන්නෙන් අදහස් වනනේ ලෝකයේ කාන්තාර නොවන වගාබිම් ඇතුළු වෙනත්බිම් කාන්තාර බවට පත්වීමේ ක්‍රියාවලියයි. ඒ අනුව ශුෂ්ක හා අර්ධ ශුෂ්ක ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත් භූමිය, වගාකළ නොහැකි තත්වයට පත්වීම කාන්තාරීකරණය ලෙස සරළව දැක්විය හැකිය.


 එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසමේ ගණනය කිරීම් වලට අනුව කාන්තාර ලෙසට ස්ථිර ලෙසම පිරිහී ඇති භූමිය වාර්ෂිකව හෙක්ටයාර් මිලියන 6 බැගින් වර්ධනය වේ.


ලෝක කාන්තාරීකරණ වැළැක්වීමේ දින තේමාව

කාන්තිරීකරණය වැළැක්වීමේ අරමුණ ලෝක වාසීන්ගේ අවධානයට යොමු කිරීම සඳහා සෑම  වර්ෂයකම විශේෂ තේමාවක් මුල්කරගෙන මෙම දිනය  සැමරීම සිදුකරනු ලබයි. 2024 ලෝක කාන්තාරීකරණය වැළැක්වීමේ දින තේමාව වී ඇත්තේ “United for Land. Our Legacy. Our Future” යන්නයි.


කාන්තාරීකරණයේ ප්‍රබල බලපෑම්


කාන්තාරීකරණය ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ ව්‍යාප්තව ඇති මුත් ඉතාම විනාශකාරී තත්වයට පත්වී ඇත්තේ අප්‍රිකාව, ආසියාව හා ලතින් ඇමරිකානු රටවල වියළිබිම් ආශ්‍රිතවයි. කාන්තාරීකරණය කෙතරම් දරුණු තත්වයට පත්වී තිබේදයත් ලෝකයේ ගොඩබිම් ප්‍රමාණයෙන් 1/3ම කාන්තාරීකරණයට ගොදුරු වී ඇත.මේ තත්වය ලෝක ජනසංඛ්‍යාවෙන් මිලියන 850ට බලපායි. කෙසේවෙතත් කාන්තාරීකරණය පැතිරුණු ප්‍රධාන ප්‍රදේශය ලෙස අප්‍රිකාවේ "සාහෙල්" කලාපය දැක්විය හැකියි.ඒ ප්‍රධාන ලෙසම මානව කටයුතු හේතුවෙන් සිදුවන කාන්තාරීකරණයකි.


කාන්තාරීකරණයට හේතු

කාන්තාරීකරණය ස්වභාවික හා මානුෂික සාධකවල සාමූහික ඒකාබද්ධතාවයක ප්‍රතිඵලයකි.ඒ සඳහා බලපාන සෘජු සාධක කීපයකි. එනම්,

ගෝලීය උණුසුම් වීම / නියඟය.
තෘණ භූමිවල ප්‍රමාණය ඉක්මවා සතුන් ඇති කිරීම.
වගා බිම්වල ප්‍රමාණය ඉක්මවා වගා කිරීම.
දුර්වල ඉඩම් කළමනාකරණය හා නුසුදුසු වගාක්‍රම අනුගමනය කිරීම.
වන විනාශය.
ආන්තික බිම් ප්‍රයෝජනයට ගැනීම.
අධික ජන සංඛ්‍යා ඝනත්වය.
දරිද්‍රතාවය.
වෙනත් සමාජ ආර්ථික තත්වයන්.
ගෝලීය වශයෙන් සිදුවන වායුගෝලීය තාපවත් වීම හා නියඟය කාන්තාරීකරණය සඳහා හේතුවන ප්‍රධාන සාධකයන් වේ. ඉහත දැක්වූ සාධක නිසා ඉතියෝපියාව, මාලි, නයිගර්, චැඩ් හා සුඩානය වැනි ප්‍රදේශ දෙසට සහරා කාන්තාරය ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබේ. මේ ආකාරයට සහරා කාන්තාරය වාර්ෂිකව උතුරු හා දකුණු දිශා වලට‍ හෙක්ටයාර් 100,000 ක් පමණ පැතිරී යන බවට ඇස්තමේන්තු කර තිබේ.

කාන්තාරීකරණයේ ප්‍රතිඵල

  • වගාබිම් අහිමි වීම
  • වගාබිම් වල ඵලදායීතාවය අඩුවීම
  • සාගතය පැතිරීම
  • කාන්තාර වර්ධනය වීම

කාන්තාරීකරණය වළක්වාගත හැකි ක්‍රියාමාර්ග

  • තෘණ භූමිවල ප්‍රමාණය ඉක්මවා සතුන් ඇති නොකිරීම.
  • වගා බිම් වල සීමාසහිත ප්‍රමාණයක් වගා කිරීම.
  • ඉඩම් කළමණාකරනය නිසිආකාරව සිදුකිරීම.
  • ඒ ඒ බිම්වලට උචිත වගා ක්‍රම නිවැරදිව යොදා ගැනීම.
  • මිනිසාගේ සමාජ තත්වයන් දියුණු කිරීමට රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම. (උදා-දුප්පත්කම අවම කිරීම, ජනසංඛ්‍යා වර්ධනය පාලනය කිරීම.)
  • ගෝලීය උණුසුම් වීම සම්බන්ධව මිනිසා දැනුවත් කිරීම.

Wednesday, June 5, 2024

ලෝක පරිසර දිනය අදයි - 2024 ජුනි 05


1972 ජුනි මස 5 වන දින සිට ජුනි 16 වන දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති පරිසරය සුරැකීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සමුළුවේ සමාරම්භක දිනය සනිටුහන් කිරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින ලෝක පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. 

එතැන් සිට දශක පහකට වැඩි කාලයක් පරිසරය ආරක්ෂා කර සංරක්ෂණය කිරීම පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමට හා දිනෙන් දින පැන නගින ගෝලීය පාරිසරික ගැටළු පිළිබඳව ලෝක නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින්, එක් එක් වර්ෂයන්හිදී විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබයි.


එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන විසින් මෙම වසරේ ජගත් පරිසර දින තේමාව ලෙස "Land Restoration, Desertification and Drought Resilience"  ගෙන ඇති අතර එය '' ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්” යන ජාතික තේමාව යටතේ මෙම වසරේ ජගත් පරිසර දිනය සැමරීම සිදු කරයි.


නියඟය සහ කාන්තාරකරණය වර්තමානය වන විට ලෝකයේ ප්‍රබල පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් 2021 වර්ෂය සඳහා නිකුත් කරන ලද ගෝලීය දේශගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව පසුගිය වසර 7, ලොව වාර්තාගත උණුසුම්ම කාලය ලෙස වාර්තා කර ඇත.

 එසේම එක්සත් ජාතීන්ගේ කාන්තාර කරණය පිටු දැකීමේ සම්මුතිය පෙන්වා දෙන පරිදි ර්වතමානය වන විට පෘථිවියේ භූමි ප්‍රමාණයෙන් 40%ක් පමණ හායනයට ලක් වී ඇති අතර, එය ලෝක ජනගහනයෙන් අඩකට සෘජුවම බලපෑම් ඇති කර තිබෙන බවත්, මෙහි මූල්‍යමය බලපෑම ලෙස ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩක් පමණ (ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 44ක්) බවට ගණන් බලා ඇත. 

නියඟ පවත්නා කාලසීමාවන් සැලකීමේදී 2000 ර්වෂයේ සිට මේ දක්වා එය 29%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන අතර, 2050 වන විට ලෝක ජනගහනයෙන් 3/4කට පමණ බලපෑම් ඇති කළ හැකි බවටද පුරෝකතනය කර ඇත.


ශ්‍රී ලංකාව තුළ ද භූමිය සීඝ්‍ර පිරිහීමට හා හායනයට තුඩු දෙන ප්‍රධානතම ගැටළු ලෙස හඳුනාගෙන ඇත්තේ වන විනාශය, අවිධිමත් කෘෂිකාර්මික කටයුතු, ධාරිතාව ඉක්මවා සිදු කෙරෙන කැණීම් කටයුතු හා අවිධිමත් කසළ බැහැර කිරීම මඟින් සිදුවන පරිසර දූෂණය වැනි කරුණුය. 

මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා බලපෑමට ලක් වූ භූමි ප්‍රතිසංස්කරණය තුළින් යථා තත්ත්වයට පත් කිරීම හා දැනට හානියට පත් නොවී පවතින පරිසර පද්ධති සංරක්ෂණය උදෙසා කටයුතු කිරීම මූලික වේ.

 ඒ අනුව, දේශගුණික විපර්සාසවලට අනුහුරු වීම, ජීවී විශේෂ වඳ වී යාමේ තර්ජනයට පිළියම් යෙදීම, ආහාර සුරක්‍ෂිතතාවය ඉහළ නැංවීම, පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සහ ජීවනෝපායන් පරිසර හිතකාමී ලෙස වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන ශ්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනය " ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක් '' යන තේමාව පෙරදැරි කරගෙන සැමරීම සිදු කරයි.


සැකසුම

 දිලිප්.සේනානායක,

ප්‍රාදේශීය පරිසර නිලධාරි.

#ලෝකපරිසරදිනය #worldenvironmentday

ලෝක පරිසර දිනය | World Environment Day 2024