Tuesday, August 18, 2015

අපවිත‍්‍ර වූ ගංගාවකින් විෂ අපද්‍රව්‍ය රොන් බොර නිව් මෙක්සිකෝවට ගලායයි -

නිරිතදිග කොලරාඩෝ ප‍්‍රාන්තයේ ගංගාවකට එක්වූ විෂ අපද්‍රව්‍ය ප‍්‍රාන්ත සීමාව පසුකරමින් නිව් මෙක්සිකෝ ප‍්‍රාන්තය කරා ගලා යමින් ඇතැයි වාර්තා වේ.

පසුගියදා ඇමරිකානු පරිසර ආරක්‍ෂණ ආයතනය ඉඩම් ගොඩකිරීම්, කැණීම් හා ආරක්‍ෂණය පිළිබඳ ආයතනය හා එක්ව ගෝල්ඞ් කිං පතලේ සිදුකළ පරීක්‍ෂණයකදී අපවිත‍්‍ර ජලය නවතා තිබූ අබලන් වේල්ලක් අත්වැරදීමකින් විනාශවීම මගින් ආසනික් හා ඊයම් ආදී විෂ රසායන අඩංගු අපවිත‍්‍ර ජලය ඇනිමාස් ගංගාවට එක්වීම ආරම්භ විය.

1923දී අතහැර දැමූ ගෝල්ඞ් කිං පතලේ සිරව තිබූ අපවිත‍්‍ර ජලය ආරක්‍ෂිතව ඉවත් කළ හැකි මාර්ගයක් සෙවීම මෙම පර්යේෂණයේ අරමුණ වූ බව පැවසේ.

කෙසේවෙතත් මේ වන විට විෂ අපද්‍රව්‍ය ගැලූම් මිලියනයකට අධික ප‍්‍රමාණයක් ජල ධාරාවට එක්ව ඇති අතර කහ පැහැති විෂ රොන් බොර නිව් මෙක්සිකෝහි ඇස්ටෙක් නගරය කරා ළගා වී ඇත.

ගංගාවෙන් ලබාගන්නා ජල සැපයුම් මේ වන විට අත්හිටුවා ඇති අතර ජනතාව එය කරා යාමද නවතා දමා ඇතැයි පැවසේ.

මෙම සිදුවීමෙන් ගංගාව කොතෙක් දුරට අපවිත‍්‍රවී ඇති දැයි සොයා බැලීම සඳහා මේ වන විට පර්යේෂණ අරඹා ඇතැයි පවසා ඇති පරිසර ආරක්‍ෂණ ආයතනය දක්වා ඇත්තේ මෙය බරපතල තත්වයක් වන බවයි.

ආසනික් අධික ලෙස ශරීරගත වීමෙන් අන්ධ බව, පක්‍ෂඝාතය සහ පිළිකා ඇතිවිය හැකි අතර ඊයම් විෂ වීමෙන් මාංශ පේශි හා දෘෂ්ටි ආබාධ ඇතිවිය හැකිය.

උපුටා ගැනීම -   lanka C news - August 18, 2015 at 3:25 am 

 See more at: https://lankacnews.com/sinhala/foreign-news/134854/#sthash.fdrfBEC9.dpuf

No comments:

Post a Comment