Friday, May 29, 2015

"පිවිතුරු පරිසරය පුජනීයයි"
පොසොන් පාරිසරික සත්කාරය - 2015
මධ්‍යම පරිසර අධිකාරිය

දඹදිව දේශයේ සිට ශ්‍රී ලංකා ද්වීපයට අනුබුදු මිහිඳු හිමිඳු හිමියන් විසින් බුදු දහම රැගෙන එමින් මෙරට ධර්ම ද්වීපයක් බවට පත්කරලීමේ ඓතිහාසික සිදුවීම සමරමින් වර්ෂයක් පාසා අනුරාධපුර නගරය කේනද්‍ර කර ගනිමින් පොසොන් උත්සවය සැමරීම සිදුවේ. මිහින්තලේ මිස්සක පව්ව ආශ්‍රිතව සිදුවු මෙම ආගමික, සංස්කෘතික හා සමාජීය පරිවර්තනයට මුල පිරූ එම ඓතිහාසික ගමන අති උත්කර්ෂවත් ආකාරයෙන් මෙරට සිදුකරන ජාතික උත්සවයක් වශයෙන් රාජ්‍ය නායකත්වයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංස්කෘතික හා ආගමික මංගල්‍යයක් බවට පත්වී ඇත.

අනුරාධපුර මහමෙවුනාව, මිහින්තලේ රජමහාවිහාරය සහ තන්තිරිමලේ රජමහා විහාරය යන ස්ථානයන්ට අති විශාල බැතිමතුන් ප්‍රමාණයක් පැමිණෙන අතර මෙම පුජා භූමිවල පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් "පිවිතුරු පරිසරය පුජනීයයි" යන තේමාව යටතේ විශේෂ පොසොන් පාරිසරික සත්කාරක වැඩසටහන ජුනි 02, 03 යන දිනවල මෙවර ද සංවිධානය කර ඇත.

මේ සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. එච්. බී. හේරත්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩි.පි.ජි. කුමාරසිරි යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් හා අනුරාධපුර සියලු රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානින් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම පාරිසරික සත්කාරක වැඩසටහන පැවැත්වීමට නියමිතය.  

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි සහ අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. මුතුකුඩආරච්චි යන මහත්වරුන්ගේ පුර්ව මාර්ගෝපදේශකත්වය යටතේ සංවිධානය කර ඇති "පිවිතුරු පරිසරය පුජනීයයි" යන තේමාව ප්‍රමුඛ කර ගත් පොසොන් පාරිසරි සත්කාරක වැඩසටහන තුළ අංග ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු මැද පළාත් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම පොසොන් පාරිසරික සත්කාරයට පහත අංග ඇතුළත් කර ඇත.

Ø  මහමෙවුනාව උයන හා පෙත්මග  දෙපස කසළ බදුන් 60 ක් ස්ථානගත කිරීම.
Ø  පරිසර නියමුවන් 500 කගේ සහභාගීත්වයෙන් අනුරාධපුර මහමෙවුනාව උයන හා පෙත්මග ආශ්‍රිතව, තන්තිරිමලේ සහ මිහින්තලේ පුජා භූමි ආශ්‍රිතව බැතිමතුන් දැනුවත් කිරීමේ හා මාර්ගෝපදේශ ලබාදීමේ වැඩසටහන් කිරීම.
Ø  එම ස්ථාන ත්‍රිත්වයේම පරිසර ආදර්ශ පාඨ ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කිරීම.
Ø  වීදි නාට්‍ය 05 ක් සංවිධානය කිරීම.
Ø  පරිසර හිතකාමී පාඨ සහිත ටී ෂර්ට් සහ හිස්වැසුම් පැළඳි පරිසර නියමුවන් හා අනුරාධපුර රාජ්‍ය ආයතන නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
Ø  මහමෙවුනා උයනේ ස්ථානගත කර ඇති දන්සැල්, තාවකාලික වෙළඳසල්, වෙළඳ කුටි පිළිබඳ සමීක්ෂණ වාර්තා ලබාගැනීම සහ එම ජනතාව විධිමත් කසළ කළමනාකරණය සහ පුදබිමේ පවිත්‍රතාවය පිළිබඳ දැනුවත් කිරීම.
Ø  එකතුවන කැලි කසළ විධිමත් පරිදි බැහැර කිරීම පිළිබඳව විමසිලිමත් වීම සහ පළාත් පාලන ආයතන මඟින් ඒවා සම්බන්ධීකරණය කිරීම.
Ø  රජරට ගුවන් විදුලිය හා අනෙකුත් ප්‍රාදේශීය මාධ්‍ය මඟින් පොසොන් පාරිසරික සත්කාරයට අදාළ පණිවුඩ හා කෙටි වැඩසටහන් වරින් වර ප්‍රචාරය කිරීම .... ආදියයි.


මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට ප්‍රමුඛ ආගමික හා සංස්කෘතික මංගල්‍යයන් පැවැත්වෙන සෑම ප්‍රදේශයක්ම කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන පරිසරය ආරක්ෂා කර ගැනීමේ විවිධ වැඩසටහන් අතර පොසොන් පාරිසරික සත්කාරක 2015 වැඩසටහන ප්‍රමුඛ වැඩසටහනක් වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසීය. 

Media Unit (EE&A)-Central Environmental Authority-0112873449
Web - www.cea.lk

No comments:

Post a Comment