Wednesday, May 28, 2025

ලෝක දියබල්ලන්ගේ දිනය---2025 / World Otter Day---2025


ලෝක දියබල්ලන් ගේ දිනය වන්නේ සෑම වසරකම මැයි මස අවසන් බදාදා දිනය වේ.ඒ අනුව මෙම වසරේ මෙම දිනය යෙදී තිබෙන්නේ මැයි මස 28 වන දිනයට වේ.ලෝක දියබල්ලන්ගේ දිනය ශ්‍රී ලංකාවේදී සමරන බවට තොරතුරක් පසුගිය වසර වලදීවත් දැනගත නොහැකි විය.

ගන හතකට අයත් දියබල්ලන් විශේශ 13ක් ලෝකය පුරා විවිධ රටවල ව්‍යාප්ත වී තිබේ.ලෝක පුරා සිටින දියබල්ලන් අතුරින් විශේශ 12ක් මේ වන විට වඳවීයාමේ තර්ජනයට මුහුන පා තිබීම නිසා ඔවුන් කෙරේ අවධානය සහ ඔවුන් සංරක්ශනය සඳහා අවශ්‍ය අවධානය ලබාදීම සඳහාත්  International Otter Survival Fund (IOSF) නම් සංවිධානය විසින් ලෝක දියබල්ලන් ගේ දිනය ප්‍රකාශයට පත්කර ගැනීමට කටයුතු සිදු කර තිබේ.

ශ්‍රී ලංකාව තුල හමුවන්නේ යුරේසියානු දියබල්ලා / Eurasian Otter (Lutra lutra) ලෙස හඳුන්වනු ලබන එක් විශේශයකට අයත් වූවන් පමනකි.ප්‍රමානයෙන් මීටරයක පමන දිගකට වැඩෙන මෙම සත්වයා කිලෝග්‍රෑම් 08 පමන බරකින් යුක්ත විය හැක​.මිරිදිය ජලමාර්ගවල ජීවත්වන දියබල්ලා ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන් සහ උභයජීවීන් ගොදුරු කර ගන්නෙකි.නිසාචර ජීවන රටාව සහ ජලයේ වාසය කිරීම නිස මෙන්ම දියබල්ලා ස්වභාවයෙන් කුලෑටි සත්වයෙකු වීම නිසාත් බොහෝ දෙනාට දියබල්ලා නුහුරු සතෙකි.එසේ වුවත් දියබල්ලා ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී සිටින්නෙකි.මුහුදුබඩ ප්‍රදේශවල සිට ඉහලම කඳුකරය තෙක් පැතිරී සිටින දියබල්ලා හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පවා හමු වන්නෙකි.

ලෝක සංරක්ශන සංගමයේ (IUCN) රතු දත්ත ලේඛනයට (Red Data List) අනුව මෙන්ම ජාතික රතු දත්ත ලේඛනයටත් අනුව යුරේසියානු දියබල්ලන් වඳවීයාමේ තර්ජනයට  ලක්වීමට ආසන්න තත්වයේ හෙවත් තර්ජිත තත්වයට ආසන්න තත්වයේ (Near Threatened)(NT) විශේශයක් ලෙස දක්වා තිබේ.


දියබල්ලා ශ්‍රි ලංකාව තුල  ඉහලම නීතිමය රැකවරනයක් ලබාගෙන සිටී.

වන සත්ව සහ වෘක්ශලතේ ආරක්ශක ආඥා පනතේ 30(2) උප වගන්තිය යටතේ තිබෙන දෙවන උප ලේඛනයේ දියබල්ලා ඇතුලත් නිසා මේ සත්වයාද දැඩි ලෙස ආරක්ශිත​ (Strictly Protected) ක්ශීරපායී සතෙකු බවට පත්වී තිබේ.

කිසියම් තැනැත්තෙකු විසින් දියබල්ලන් පිලිඹඳව පහත දක්වා තිබෙන ක්‍රියාවන් සියල්ල මෙකී වගන්තිය අනුව වරදවල් වශයෙන් දක්වා තිබේ.

ඒවා වන්නේ:


* මරනයට පත්කිරීම

​,

*තුවාල කිරීම හෝ හානි කිරීම​,


* සජීවී හෝ මියගිය දියබල්ලෙකු හෝ කොටස් සන්තකයේ හෝ භාරයේ තබා ගැනීම​,


* දියබල්ලෙකු හෝ කොටස් විකිනීම හෝ විකිනීමට තැත් කිරීම​,


* ඉහත ඕනෑම කටයුත්තක් සඳහා යම් උපකරනයක්,මෙවලමක් හෝ ද්‍රව්‍යයක් භාවිතය,


වරදවල් වේ.


එමෙන්ම මේ සියලු වරදවල් සංඥේය සහ ඇපදිය නොහැකි වරදවල් බව පනතේ 67ආ වගන්තියෙන් දක්වා තිබේ. 


එනමුත් ශ්‍රී ලංකාව තුල දියබල්ලා චේතනාන්විතව මරනයට පත්කෙරෙන බවට කිසිඳු තොරතුරක් ලැබී නැත​.එමෙන්ම මෙරට දියබල්ලන් මුහුන දෙන ප්‍රධාන තර්ජනයන් වන්නේ පරිසර විනාශය​,පරිසර හායනය සහ ජල දූශනය නිසා සිදුවන වාසස්ථාන සහ ආහාර අහිමිවීම් වේ.

✍️ ආචාර්ය ජගත්ගුණවර්ධන 

Thursday, May 22, 2025

ලෝක ජෛව විවිධත්ව දිනය අදට යෙදී ඇත. 2025

 අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අදට යෙදී තිබෙනවා.

ලොව ජෛවවිවිධත්වය කෙරෙහි එල්ල වී ඇති ගැටළු , අභියෝග තර්ජන මෙන්ම එහි වැදගත්කම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනුයි නම් කර ඇත්තේ.

“සොබාදහම සමඟින් තිරසර සංවර්ධනය” යන්න මෙම වසරේ ජෛවවිවිධත්වය සඳහා වූ අන්තර්ජාතික තේමාව වන අතර එමගින්  එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය, එහි තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ කුන්මින්ග් – මොන්ට්‍රියල් ගෝලීය ජෛවවිවිධත්ව රාමුවේ (Kunming Montreal Global Biodiversity Framework – KMGBF) ඉලක්ක අතර සම්බන්ධතා කෙරෙහි ගෝලීය අවධානය යොමු කර තිබෙනවා.

පෘථිවියේ සහ එහි ජීවීන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට, අනුගමනය කළයුතු මූලික ප්‍රතිපත්තිය තිරසාර සංවර්ධනය යන්න අවබෝධ කරගනිමින් ලොව නායකයන් විසින් 1992 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේදී පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව හෙවත් “මිහිකත සමුළුව” පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජෛවවිවිධත්ව ප්‍රඳප්තිය බිහිවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව ද 1992 දී එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්ව සම්මුතියට අත්සන් තැබූ අතර එය 1993 දෙසැම්බර් 29 වන දින සිට බලාත්මක වී ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු එම සම්මුතියේ පාර්ශවකාර රටවල් මෙම අරමුණු සාක්ෂාත් කර  ගැනීම සඳහා ජාතික මට්ටමින් විවිධ ප්‍රතිපත්ති, උපායමාර්ග සහ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර වාර්ෂිකව විවිධ කාලෝචිත තේමාවන් ඔස්සේ ජෛවවිවිධත්ව සංරක්ෂණය සඳහා කටයුතු සිදු කරනු ලබනවා.

එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්වය පිළිබඳ සම්මුතියෙහි ජාතික කේන්ද්‍රස්ථානය ලෙස  පරිසර අමාත්‍යංශය කටයුතු කරන අතර ජෛවවිවිධත්ව අංශය එම සම්මුතියේ නියාමන කටයුතු සිදු කරනු ලබයි.

ආචාර්ය නීතීඥ ජගත් ගුණවර්ධන මහතා මේ පිළිබඳව සටහන් කරන්නේ පහත පරිදිය.


ලෝක ජෛව විවිධත්ව දිනය--2025 / World Biodiversity Day--2025


ඔබේ අවධානයට කරුනු කීපයක්


සෑම වසරකම මැයි මස 22 දිනය ලෝක ජෛව විවිධත්ව දිනය වශයෙන් නම්කර තිබේ.මෙම දිනය නම්කර සැමරීම ආරඹ්හ වූයේ වසර 2000 සිට බැවින් මෙවර ලෝක ජෛව විවිධත්ව දිනය ලෙස මෙදින සම්ජරනු ලබන්නේ 25 වන වරට වීම විශේශත්වයකි.

වෙනත් රටවල් බොහොමයක් මෙන්ම ශ්‍රී ලංකාවේද ලෝක ජෛව විවිධත්ව දිනය සැමරීම වසර 2000 මැයි මස 22 දිනයේ සිට පුරා විසිපස් වසරක් මුලුල්ලේම සිදුවී තිබේ.ඒ නිසා මෙම වසරේ තේමාව කුමක් වුවත්,අපට රටක් ලෙස ආපසු හැරී බලා අසන්නට තිබෙන්නේ ඇත්තෙටම අපට මෙම දිනය සතුටින් සමරන්නට පුලුවන් වේද යන්නයි.

ජෛව විවිධත්වයේ ප්‍රධාන මට්ටම් තුන වන පරිසර පද්ධති විවිධත්වය,ශාක සහ සත්ව විශේශවල විවිධත්වය සහ එක් ජීවී විශේශයක් තුල පෙන්නුම් කරන ප්‍රවේනික විවිධත්වය හෙවත් ජානමය විවිධත්වය මිනුම් දඬු ලෙස ගෙන බලන කල මෙම තත්වය ඉතා හොඳින් පැහැදිලි වේ.

මෙරට පරිසර පද්ධතීන් එකිනෙක බැඳුනු අන්තරායන් තුනකට මුහුනදී තිබේ.ඒවා වන්නේ පරිසර පද්ධති විනාශය​,හායනය සහ ඛඬනය වශයෙනි.මෙම තත්වය අතීතයේදී මෙන්ම තවමත් සිදුවන බවට නිදසුන් බොහොමයකි.කහල්ලා -පල්ලෙකැලේ අභය භූමියේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම මීට තිබෙන ආසන්නතම නිදසුන වේ.

සත්ව ශ ශාක විශේශ විනාශ වීයාමේ අනතුරට තව තවත් ලක්වීම විශේශ විවිධත්වයට තිබෙන අන්තරාය පෙන්නුම් කරන නිදසුන් වේ.විශේශයෙන් දැනටත් වඳවී යාමේ දැඩි තර්ජනයට ලක්ව සිටින විශේශ පොදුවේත්,ආවේනික විශේශයන් විශේශිතවත්,ස්ථානීය ආවේනික විශේශ මේ සියල්ලේත් ප්‍රමුඛයන් ලෙස බලන කල සත්ව ශ ශාක විශේශ මුහුනපාන තර්ජන මැනවින් විද්‍යමාන වේ.

එසේම ආක්‍රමනික සතුන් සහ ශාක මර්ධනය සහ නව විශේශ ශ්‍රී ලංකාව තුලට ගෙන ඒම හරිහැටි නියාමනය නොවීමත් මෙරට ජෛව විවිධත්වයේ මට්ටම් තුනටම හානිකර තත්වයන් අතර තිබේ.

එක් ශාක හෝ සත්ව විශේශයක් තුල තිබෙන ප්‍රවේනි හෙවත් ජානමය වෙනස්කම් සලකා බැලීමේදී වනජීවීන් මෙන්ම වගාකරන ශාක සහ ගෘහශ්‍රිත සතුන් තුල තිබෙන ප්‍රවේනික විවිධත්වයත් සැලකිල්ලට ලක්විය යුතු වේ.විශේශයෙන් ආවේනික මිරිදිය මත්ස්‍ය විශේශ තුල තිබෙන විවිධතාවයන් හඳුනාගෙන ඒවා සුවිශේශී ගහනයන් ලෙස ආරක්ශා කිරීමට තවමත් අසමත්ව තිබීමේ සිට  බෝගවල ප්‍රභේද සංරක්ශනය දක්වා නිදසුන් රාශියක් තිබේ.

ලෝක ජෛව විවිධත්ව දිනයේදී සාම්ප්‍රදායික ලෙස සැමරුම් කටයුතු සිදු කරන්නේද නැතහොත් කලයුතු කටයුතු අතරින් ප්‍රමුඛතාවය ලබාදිය යුතු කටයුතු නිර්නය කර ඒවාට කඩිනමින් සහ අනෙක්වාට මධ්‍ය කාලීන්ව හෝ විසඳුම් ලබා ගැනීමට කඩිනමින් ඉදිරිපත් වීම මේ මොහොතේ කලයුතු අත්‍යාවශ්‍ය කරුන ලස සලකා ක්‍රියාත්මක වීමට තීරනය කල යුත්තකි.


ඡායාරූප පිලිවෙලින්:

4 ගැටහොඹු කටුස්සා (Lyriocephalus scutatus)

3 හොරවැල් ශාකය (Stemanoporus mooni)

2 (Lagenandra wayamba) නම් කෙටල විශේශය 

1 Ebony Gem නම් ඉරටුකූරා


** මේ සියලුදෙනා ශ්‍රී ලංකාවට ආවේනික ජෛව විඔවිධත්වයට අයත් වේ.ඡායාරූප සියල්ල ගන්නා ලද්දේ මවිසිනි.

ආචාර්ය ජගත් ගුණවර්ධන










Tuesday, May 20, 2025

අද ලෝක මී මැසි දිනය

ලෝක බිඟු දිනය--2025 / World Bee Day--2025


සෑම වසරකම මැයි මස 20 දා ලෝක බිඟු දිනය යෙදී තිබේ. මෙම දිනයේ අරමුන වන්නේ ලොව පුරා සිටින බිඟුන් පරිසරයට සහ කෘශිකර්මයට ලබාදෙන අතිශයින් වටිනා කාර්භාරය සහ මෙහෙවර අගය කිරීමටත්,බිඟුන් මුහුණ  දෙන තර්ජන සහ ඔවුන් ආරක්ශා කිරීමේ අත්‍යාවශ්‍ය අවශ්‍යතාවය පිලිඹඳව අවධානය යොමු කිරීමටත් වේ.

ලෝක බිඟු දිනය එක්සත් ජාතීන් ගේ මහා මන් ඩලය විසින් ප්‍රකාශයට පත්කරන ලද අතර 2018 මැයි මස 20 දින සිට සෑම වසරකම එය එසේ සමරා තිබේ.

ලෝක බිඟු දිනය මැයි මස 20 දිනට යොදා ගන්නේ 18 වන සියවසේදී ස්ලොවේනියාවේ සිටි ඇන්ටන් ජැන්සා (Anton Jansa) වෙනුවෙනි.චිත්‍ර ශිල්පියෙකු වූ ජැන්සා පවුවේ කර්මාන්තයක් වූ මී මැස්සන් ඇති කිරීම කුඩා කල සිට පුහුනු වූ අයෙකු විය​.ඔහු චිර්ත ශිල්පයේ නියැලීමට අමතරව වැඩිම කාලයක් ගතකර තිබෙන්නේ මී මැසි පාලනය ජනප්‍රිය කරලීම වෙනුවෙනි.ඔහු විසින් මී මැසි පාලනය පිලිඹඳ ජර්මන් බසින් ග්‍රන්ථ දෙකක් පලකර තිබේ.මින් දෙවන ග්‍රන්ථය නිකුත්වී තිබෙන්නේ ඔහුගේ මරනයෙන් දෙවසරකට පසුය​.මේ නිසාම ඔහුව එවකට ඕස්ට්‍රියානු අධිරාජ්‍යය යටතේ තිබූ සියලු ප්‍රදේශවල මී මැසි පාලන පුහුනුකරු ලෙස ඕස්ට්‍රියානු රජය විසෛන් පත්කර තිබේ.ඇන්ටන් ජැන්සා වයස 39දී අභාවප්‍රාප්ත වුවත්,ඔහු විසින්  කල මී මැසි පාලනය එම කලාපය පුරා ජනප්‍රියතාවය ලබාගෙන තිබේ.


ශ්‍රී ලංකාව තුල කුල හතරකට අයත් බිඟු විශේශ 159ක් සිටින අතර මින් විශේශ 22 මෙරටට ආවේනික වේ.නමුත්,මෙරට බිඟුන් හඳුනා ගැනීම පිනිස මාර්ගෝපදේශක ග්‍රන්ථයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත​.මේ නිසාම මෙරට බිඟුන් සහ ඔවුන් මුහුනදෙන තර්ජන වැනි කරුනු පිලිඹඳ සොයා බැලීමේ ඉඩකඩ ජනතා විද්‍යාඥයන්ටත් අහිමිවී තිබේ.එසේම පසුගිය වකවානු පුරා පරිසර අමාත්‍යාංශයෙන් පිලියෙල කල ජාතික රතු දත්ත ලේඛන වලද බිඟුන් පිලිඹඳව කිසිම විටකදී සමාලෝචනයක් සිදු කෙරී නැත​.


 මෙරට හමුවන කිසිඳු බිඟු විශේශයකට මෙතෙක් කිසිම ආකාරයක නීතිමය ආරක්ශාවක් හිමි වී නොමැත​.මීටම අදාල තවත් කරුනක් වන්නේ අවම වශයෙන් විනාශකාරී ආකාරයට මී පැනි ලබා ගැනීම වලක්වා ලීමට හෝ කිසිඳු ආකාරයකින් නීතිමය ප්‍රතිපාදන නොමැති වීමයි.


ලොව පුරා බිඟුන් වඳ වී යාමට තුඩුදෙන හේතු වන පරිසර විනාශය සහ පරිසර හායනය​,විශ රසායනික ද්‍රව්‍ය පරිසරයට වැඩි වැඩියෙන් එකතු වීම​,පරිසර දූශනය​,ආක්‍රමනික සහ පලිබෝධක සතුන් නිසා වන විනාශය යන සියලුම අහිතකර සාධකයන් ශ්‍රී ලංකාවේ බිඟුන්ටත් බලපාන තර්ජනයන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලොවේ වන ශාක වලින් 90%ක් සහ කෘශි භෝග වලින් 35%ක් පරාගනය කරන්නේ බිඟුන් විසින් බවය​එසේ වුවත්,ලොවේ බොහෝ රටවල් බිඟුන් කෙරේ නිසි අවධානය යොමු කර තිබෙන බවක් නොපෙනෙන්නකි.ඒ අතරට​  ශ්‍රී ලංකාවත් ඇතුලත් බව කනගාටුවෙන් වුවත් පිලි ගැනීමට සිදු වන්නකි.


ශ්‍රී ලංකාව තුල ලෝක බිඟු දිනය වෙනුවෙන් නිල කටයුතු කිසිත් කිසිවිටකත් සිදු නොවුවද මෙරට මීමැස්සන් ආරක්ශා කිරීම වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන සහ්‍ය පරිසර සංවිධාන මෙම දිනය මීමැස්සන් කෙරේ මෙන්ම පොදුවේ බිඟුන් කෙරේත් අවධානය සහ බිඟුන් ආරක්ශා කිරීමේ අවශ්‍යතාවය පෙර්න්වා දීමටත් යොදාගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ.

අචාර්ය ජගත් ගුණවර්ධන