Wednesday, May 28, 2025

ලෝක දියබල්ලන්ගේ දිනය---2025 / World Otter Day---2025


ලෝක දියබල්ලන් ගේ දිනය වන්නේ සෑම වසරකම මැයි මස අවසන් බදාදා දිනය වේ.ඒ අනුව මෙම වසරේ මෙම දිනය යෙදී තිබෙන්නේ මැයි මස 28 වන දිනයට වේ.ලෝක දියබල්ලන්ගේ දිනය ශ්‍රී ලංකාවේදී සමරන බවට තොරතුරක් පසුගිය වසර වලදීවත් දැනගත නොහැකි විය.

ගන හතකට අයත් දියබල්ලන් විශේශ 13ක් ලෝකය පුරා විවිධ රටවල ව්‍යාප්ත වී තිබේ.ලෝක පුරා සිටින දියබල්ලන් අතුරින් විශේශ 12ක් මේ වන විට වඳවීයාමේ තර්ජනයට මුහුන පා තිබීම නිසා ඔවුන් කෙරේ අවධානය සහ ඔවුන් සංරක්ශනය සඳහා අවශ්‍ය අවධානය ලබාදීම සඳහාත්  International Otter Survival Fund (IOSF) නම් සංවිධානය විසින් ලෝක දියබල්ලන් ගේ දිනය ප්‍රකාශයට පත්කර ගැනීමට කටයුතු සිදු කර තිබේ.

ශ්‍රී ලංකාව තුල හමුවන්නේ යුරේසියානු දියබල්ලා / Eurasian Otter (Lutra lutra) ලෙස හඳුන්වනු ලබන එක් විශේශයකට අයත් වූවන් පමනකි.ප්‍රමානයෙන් මීටරයක පමන දිගකට වැඩෙන මෙම සත්වයා කිලෝග්‍රෑම් 08 පමන බරකින් යුක්ත විය හැක​.මිරිදිය ජලමාර්ගවල ජීවත්වන දියබල්ලා ප්‍රධාන වශයෙන් මත්ස්‍යයන් සහ උභයජීවීන් ගොදුරු කර ගන්නෙකි.නිසාචර ජීවන රටාව සහ ජලයේ වාසය කිරීම නිස මෙන්ම දියබල්ලා ස්වභාවයෙන් කුලෑටි සත්වයෙකු වීම නිසාත් බොහෝ දෙනාට දියබල්ලා නුහුරු සතෙකි.එසේ වුවත් දියබල්ලා ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී සිටින්නෙකි.මුහුදුබඩ ප්‍රදේශවල සිට ඉහලම කඳුකරය තෙක් පැතිරී සිටින දියබල්ලා හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පවා හමු වන්නෙකි.

ලෝක සංරක්ශන සංගමයේ (IUCN) රතු දත්ත ලේඛනයට (Red Data List) අනුව මෙන්ම ජාතික රතු දත්ත ලේඛනයටත් අනුව යුරේසියානු දියබල්ලන් වඳවීයාමේ තර්ජනයට  ලක්වීමට ආසන්න තත්වයේ හෙවත් තර්ජිත තත්වයට ආසන්න තත්වයේ (Near Threatened)(NT) විශේශයක් ලෙස දක්වා තිබේ.


දියබල්ලා ශ්‍රි ලංකාව තුල  ඉහලම නීතිමය රැකවරනයක් ලබාගෙන සිටී.

වන සත්ව සහ වෘක්ශලතේ ආරක්ශක ආඥා පනතේ 30(2) උප වගන්තිය යටතේ තිබෙන දෙවන උප ලේඛනයේ දියබල්ලා ඇතුලත් නිසා මේ සත්වයාද දැඩි ලෙස ආරක්ශිත​ (Strictly Protected) ක්ශීරපායී සතෙකු බවට පත්වී තිබේ.

කිසියම් තැනැත්තෙකු විසින් දියබල්ලන් පිලිඹඳව පහත දක්වා තිබෙන ක්‍රියාවන් සියල්ල මෙකී වගන්තිය අනුව වරදවල් වශයෙන් දක්වා තිබේ.

ඒවා වන්නේ:


* මරනයට පත්කිරීම

​,

*තුවාල කිරීම හෝ හානි කිරීම​,


* සජීවී හෝ මියගිය දියබල්ලෙකු හෝ කොටස් සන්තකයේ හෝ භාරයේ තබා ගැනීම​,


* දියබල්ලෙකු හෝ කොටස් විකිනීම හෝ විකිනීමට තැත් කිරීම​,


* ඉහත ඕනෑම කටයුත්තක් සඳහා යම් උපකරනයක්,මෙවලමක් හෝ ද්‍රව්‍යයක් භාවිතය,


වරදවල් වේ.


එමෙන්ම මේ සියලු වරදවල් සංඥේය සහ ඇපදිය නොහැකි වරදවල් බව පනතේ 67ආ වගන්තියෙන් දක්වා තිබේ. 


එනමුත් ශ්‍රී ලංකාව තුල දියබල්ලා චේතනාන්විතව මරනයට පත්කෙරෙන බවට කිසිඳු තොරතුරක් ලැබී නැත​.එමෙන්ම මෙරට දියබල්ලන් මුහුන දෙන ප්‍රධාන තර්ජනයන් වන්නේ පරිසර විනාශය​,පරිසර හායනය සහ ජල දූශනය නිසා සිදුවන වාසස්ථාන සහ ආහාර අහිමිවීම් වේ.

✍️ ආචාර්ය ජගත්ගුණවර්ධන 

Thursday, May 22, 2025

ලෝක ජෛව විවිධත්ව දිනය අදට යෙදී ඇත. 2025

 අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය අදට යෙදී තිබෙනවා.

ලොව ජෛවවිවිධත්වය කෙරෙහි එල්ල වී ඇති ගැටළු , අභියෝග තර්ජන මෙන්ම එහි වැදගත්කම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනුයි නම් කර ඇත්තේ.

“සොබාදහම සමඟින් තිරසර සංවර්ධනය” යන්න මෙම වසරේ ජෛවවිවිධත්වය සඳහා වූ අන්තර්ජාතික තේමාව වන අතර එමගින්  එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය, එහි තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ කුන්මින්ග් – මොන්ට්‍රියල් ගෝලීය ජෛවවිවිධත්ව රාමුවේ (Kunming Montreal Global Biodiversity Framework – KMGBF) ඉලක්ක අතර සම්බන්ධතා කෙරෙහි ගෝලීය අවධානය යොමු කර තිබෙනවා.

පෘථිවියේ සහ එහි ජීවීන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට, අනුගමනය කළයුතු මූලික ප්‍රතිපත්තිය තිරසාර සංවර්ධනය යන්න අවබෝධ කරගනිමින් ලොව නායකයන් විසින් 1992 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේදී පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව හෙවත් “මිහිකත සමුළුව” පවත්වනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජෛවවිවිධත්ව ප්‍රඳප්තිය බිහිවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව ද 1992 දී එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්ව සම්මුතියට අත්සන් තැබූ අතර එය 1993 දෙසැම්බර් 29 වන දින සිට බලාත්මක වී ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු එම සම්මුතියේ පාර්ශවකාර රටවල් මෙම අරමුණු සාක්ෂාත් කර  ගැනීම සඳහා ජාතික මට්ටමින් විවිධ ප්‍රතිපත්ති, උපායමාර්ග සහ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර වාර්ෂිකව විවිධ කාලෝචිත තේමාවන් ඔස්සේ ජෛවවිවිධත්ව සංරක්ෂණය සඳහා කටයුතු සිදු කරනු ලබනවා.

එක්සත් ජාතීන්ගේ ජෛවවිවිධත්වය පිළිබඳ සම්මුතියෙහි ජාතික කේන්ද්‍රස්ථානය ලෙස  පරිසර අමාත්‍යංශය කටයුතු කරන අතර ජෛවවිවිධත්ව අංශය එම සම්මුතියේ නියාමන කටයුතු සිදු කරනු ලබයි.

ආචාර්ය නීතීඥ ජගත් ගුණවර්ධන මහතා මේ පිළිබඳව සටහන් කරන්නේ පහත පරිදිය.


ලෝක ජෛව විවිධත්ව දිනය--2025 / World Biodiversity Day--2025


ඔබේ අවධානයට කරුනු කීපයක්


සෑම වසරකම මැයි මස 22 දිනය ලෝක ජෛව විවිධත්ව දිනය වශයෙන් නම්කර තිබේ.මෙම දිනය නම්කර සැමරීම ආරඹ්හ වූයේ වසර 2000 සිට බැවින් මෙවර ලෝක ජෛව විවිධත්ව දිනය ලෙස මෙදින සම්ජරනු ලබන්නේ 25 වන වරට වීම විශේශත්වයකි.

වෙනත් රටවල් බොහොමයක් මෙන්ම ශ්‍රී ලංකාවේද ලෝක ජෛව විවිධත්ව දිනය සැමරීම වසර 2000 මැයි මස 22 දිනයේ සිට පුරා විසිපස් වසරක් මුලුල්ලේම සිදුවී තිබේ.ඒ නිසා මෙම වසරේ තේමාව කුමක් වුවත්,අපට රටක් ලෙස ආපසු හැරී බලා අසන්නට තිබෙන්නේ ඇත්තෙටම අපට මෙම දිනය සතුටින් සමරන්නට පුලුවන් වේද යන්නයි.

ජෛව විවිධත්වයේ ප්‍රධාන මට්ටම් තුන වන පරිසර පද්ධති විවිධත්වය,ශාක සහ සත්ව විශේශවල විවිධත්වය සහ එක් ජීවී විශේශයක් තුල පෙන්නුම් කරන ප්‍රවේනික විවිධත්වය හෙවත් ජානමය විවිධත්වය මිනුම් දඬු ලෙස ගෙන බලන කල මෙම තත්වය ඉතා හොඳින් පැහැදිලි වේ.

මෙරට පරිසර පද්ධතීන් එකිනෙක බැඳුනු අන්තරායන් තුනකට මුහුනදී තිබේ.ඒවා වන්නේ පරිසර පද්ධති විනාශය​,හායනය සහ ඛඬනය වශයෙනි.මෙම තත්වය අතීතයේදී මෙන්ම තවමත් සිදුවන බවට නිදසුන් බොහොමයකි.කහල්ලා -පල්ලෙකැලේ අභය භූමියේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම මීට තිබෙන ආසන්නතම නිදසුන වේ.

සත්ව ශ ශාක විශේශ විනාශ වීයාමේ අනතුරට තව තවත් ලක්වීම විශේශ විවිධත්වයට තිබෙන අන්තරාය පෙන්නුම් කරන නිදසුන් වේ.විශේශයෙන් දැනටත් වඳවී යාමේ දැඩි තර්ජනයට ලක්ව සිටින විශේශ පොදුවේත්,ආවේනික විශේශයන් විශේශිතවත්,ස්ථානීය ආවේනික විශේශ මේ සියල්ලේත් ප්‍රමුඛයන් ලෙස බලන කල සත්ව ශ ශාක විශේශ මුහුනපාන තර්ජන මැනවින් විද්‍යමාන වේ.

එසේම ආක්‍රමනික සතුන් සහ ශාක මර්ධනය සහ නව විශේශ ශ්‍රී ලංකාව තුලට ගෙන ඒම හරිහැටි නියාමනය නොවීමත් මෙරට ජෛව විවිධත්වයේ මට්ටම් තුනටම හානිකර තත්වයන් අතර තිබේ.

එක් ශාක හෝ සත්ව විශේශයක් තුල තිබෙන ප්‍රවේනි හෙවත් ජානමය වෙනස්කම් සලකා බැලීමේදී වනජීවීන් මෙන්ම වගාකරන ශාක සහ ගෘහශ්‍රිත සතුන් තුල තිබෙන ප්‍රවේනික විවිධත්වයත් සැලකිල්ලට ලක්විය යුතු වේ.විශේශයෙන් ආවේනික මිරිදිය මත්ස්‍ය විශේශ තුල තිබෙන විවිධතාවයන් හඳුනාගෙන ඒවා සුවිශේශී ගහනයන් ලෙස ආරක්ශා කිරීමට තවමත් අසමත්ව තිබීමේ සිට  බෝගවල ප්‍රභේද සංරක්ශනය දක්වා නිදසුන් රාශියක් තිබේ.

ලෝක ජෛව විවිධත්ව දිනයේදී සාම්ප්‍රදායික ලෙස සැමරුම් කටයුතු සිදු කරන්නේද නැතහොත් කලයුතු කටයුතු අතරින් ප්‍රමුඛතාවය ලබාදිය යුතු කටයුතු නිර්නය කර ඒවාට කඩිනමින් සහ අනෙක්වාට මධ්‍ය කාලීන්ව හෝ විසඳුම් ලබා ගැනීමට කඩිනමින් ඉදිරිපත් වීම මේ මොහොතේ කලයුතු අත්‍යාවශ්‍ය කරුන ලස සලකා ක්‍රියාත්මක වීමට තීරනය කල යුත්තකි.


ඡායාරූප පිලිවෙලින්:

4 ගැටහොඹු කටුස්සා (Lyriocephalus scutatus)

3 හොරවැල් ශාකය (Stemanoporus mooni)

2 (Lagenandra wayamba) නම් කෙටල විශේශය 

1 Ebony Gem නම් ඉරටුකූරා


** මේ සියලුදෙනා ශ්‍රී ලංකාවට ආවේනික ජෛව විඔවිධත්වයට අයත් වේ.ඡායාරූප සියල්ල ගන්නා ලද්දේ මවිසිනි.

ආචාර්ය ජගත් ගුණවර්ධන










Tuesday, May 20, 2025

අද ලෝක මී මැසි දිනය

ලෝක බිඟු දිනය--2025 / World Bee Day--2025


සෑම වසරකම මැයි මස 20 දා ලෝක බිඟු දිනය යෙදී තිබේ. මෙම දිනයේ අරමුන වන්නේ ලොව පුරා සිටින බිඟුන් පරිසරයට සහ කෘශිකර්මයට ලබාදෙන අතිශයින් වටිනා කාර්භාරය සහ මෙහෙවර අගය කිරීමටත්,බිඟුන් මුහුණ  දෙන තර්ජන සහ ඔවුන් ආරක්ශා කිරීමේ අත්‍යාවශ්‍ය අවශ්‍යතාවය පිලිඹඳව අවධානය යොමු කිරීමටත් වේ.

ලෝක බිඟු දිනය එක්සත් ජාතීන් ගේ මහා මන් ඩලය විසින් ප්‍රකාශයට පත්කරන ලද අතර 2018 මැයි මස 20 දින සිට සෑම වසරකම එය එසේ සමරා තිබේ.

ලෝක බිඟු දිනය මැයි මස 20 දිනට යොදා ගන්නේ 18 වන සියවසේදී ස්ලොවේනියාවේ සිටි ඇන්ටන් ජැන්සා (Anton Jansa) වෙනුවෙනි.චිත්‍ර ශිල්පියෙකු වූ ජැන්සා පවුවේ කර්මාන්තයක් වූ මී මැස්සන් ඇති කිරීම කුඩා කල සිට පුහුනු වූ අයෙකු විය​.ඔහු චිර්ත ශිල්පයේ නියැලීමට අමතරව වැඩිම කාලයක් ගතකර තිබෙන්නේ මී මැසි පාලනය ජනප්‍රිය කරලීම වෙනුවෙනි.ඔහු විසින් මී මැසි පාලනය පිලිඹඳ ජර්මන් බසින් ග්‍රන්ථ දෙකක් පලකර තිබේ.මින් දෙවන ග්‍රන්ථය නිකුත්වී තිබෙන්නේ ඔහුගේ මරනයෙන් දෙවසරකට පසුය​.මේ නිසාම ඔහුව එවකට ඕස්ට්‍රියානු අධිරාජ්‍යය යටතේ තිබූ සියලු ප්‍රදේශවල මී මැසි පාලන පුහුනුකරු ලෙස ඕස්ට්‍රියානු රජය විසෛන් පත්කර තිබේ.ඇන්ටන් ජැන්සා වයස 39දී අභාවප්‍රාප්ත වුවත්,ඔහු විසින්  කල මී මැසි පාලනය එම කලාපය පුරා ජනප්‍රියතාවය ලබාගෙන තිබේ.


ශ්‍රී ලංකාව තුල කුල හතරකට අයත් බිඟු විශේශ 159ක් සිටින අතර මින් විශේශ 22 මෙරටට ආවේනික වේ.නමුත්,මෙරට බිඟුන් හඳුනා ගැනීම පිනිස මාර්ගෝපදේශක ග්‍රන්ථයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත​.මේ නිසාම මෙරට බිඟුන් සහ ඔවුන් මුහුනදෙන තර්ජන වැනි කරුනු පිලිඹඳ සොයා බැලීමේ ඉඩකඩ ජනතා විද්‍යාඥයන්ටත් අහිමිවී තිබේ.එසේම පසුගිය වකවානු පුරා පරිසර අමාත්‍යාංශයෙන් පිලියෙල කල ජාතික රතු දත්ත ලේඛන වලද බිඟුන් පිලිඹඳව කිසිම විටකදී සමාලෝචනයක් සිදු කෙරී නැත​.


 මෙරට හමුවන කිසිඳු බිඟු විශේශයකට මෙතෙක් කිසිම ආකාරයක නීතිමය ආරක්ශාවක් හිමි වී නොමැත​.මීටම අදාල තවත් කරුනක් වන්නේ අවම වශයෙන් විනාශකාරී ආකාරයට මී පැනි ලබා ගැනීම වලක්වා ලීමට හෝ කිසිඳු ආකාරයකින් නීතිමය ප්‍රතිපාදන නොමැති වීමයි.


ලොව පුරා බිඟුන් වඳ වී යාමට තුඩුදෙන හේතු වන පරිසර විනාශය සහ පරිසර හායනය​,විශ රසායනික ද්‍රව්‍ය පරිසරයට වැඩි වැඩියෙන් එකතු වීම​,පරිසර දූශනය​,ආක්‍රමනික සහ පලිබෝධක සතුන් නිසා වන විනාශය යන සියලුම අහිතකර සාධකයන් ශ්‍රී ලංකාවේ බිඟුන්ටත් බලපාන තර්ජනයන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලොවේ වන ශාක වලින් 90%ක් සහ කෘශි භෝග වලින් 35%ක් පරාගනය කරන්නේ බිඟුන් විසින් බවය​එසේ වුවත්,ලොවේ බොහෝ රටවල් බිඟුන් කෙරේ නිසි අවධානය යොමු කර තිබෙන බවක් නොපෙනෙන්නකි.ඒ අතරට​  ශ්‍රී ලංකාවත් ඇතුලත් බව කනගාටුවෙන් වුවත් පිලි ගැනීමට සිදු වන්නකි.


ශ්‍රී ලංකාව තුල ලෝක බිඟු දිනය වෙනුවෙන් නිල කටයුතු කිසිත් කිසිවිටකත් සිදු නොවුවද මෙරට මීමැස්සන් ආරක්ශා කිරීම වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන සහ්‍ය පරිසර සංවිධාන මෙම දිනය මීමැස්සන් කෙරේ මෙන්ම පොදුවේ බිඟුන් කෙරේත් අවධානය සහ බිඟුන් ආරක්ශා කිරීමේ අවශ්‍යතාවය පෙර්න්වා දීමටත් යොදාගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ.

අචාර්ය ජගත් ගුණවර්ධන

Thursday, March 20, 2025

ලෝක චටක දිනය-2025 / ලෝක ගේ කුරුලු දිනය-2025 / World Sparrow Day-2025

 


ලෝක චටක දිනය-2025 / ලෝක ගේ කුරුලු දිනය-2025 / World Sparrow Day-2025


ගේ කුරුල්ලන් සහ චටකයන්--සොබාදහමේ කුඩා පනිවුඩකරුවන් රැක ගැනීම


මෙවර ලෝක ගේ කුරුලු දිනයේ හෙවත් ලෝක චටක දිනයේ තේමාව වී තිබෙන්නේ " සොබාදහමේ කුඩා පනිවුඩකරුවන්ට උපහාරයක් (A tribute to Nature's tiny messangers)" යනුවෙනි.මෙවර ලෝක චටක දිනයේ තේමාව අන් කවරදාටත් වඩා ශ්‍රී ලංකාවේ අපට අදාල වන්නේ ශ්‍රී ලංකාවේ ගේ කුරුල්ලන් අඩ සියවසක් පුරාවටම අපට කියාපාන නමුත් අප තවමත් වටහා නොගත් එම පනිවුඩය කුමක් වේද යන්න කෙරෙහි අවධානය යොමුවිය යුතු නිසාවෙනි.

මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වල ගේ කුරුල්ලා විශාල වශයෙන් අඩුවී ගොස් තිබෙන බව පෙනේ.මහනුවර සහ නුවර එලිය වැනි ඇතැම් නගරවල සහ කොලඹ යම් ප්‍රදේශවල තවමත් ගේ කුරුල්ලා සුලභව හමුවුවත්,මේවා ව්‍යාතිරේක අවස්ථාවන් මිස සාමාන්‍ය තත්වය පෙන්නුම් නොකරයි.

සෑම වසරකම මාර්තු මස 20 වන දින ලොක චටක දිනය වශයෙන් නම්කර තිබේ.මුලින්ම ලෝක ගේ කුරුලු දිනය ලෙස 2010 ආරඹ්හ වූ මෙම දිනය පසු කලෙකදී ලොව පුර සිටින චටකයන් සහ එම කුලයේ සිටින ප්‍රකටම සාමාජිකයන් වන ගේ කුරුල්ලන් සියල්ලන්ටම අදාල දිනයක් බවට පත්කරන ලදී. ලෝක චටක දිනයේ පරමාර්ථය වන්නේ ලොව පුරා සිටින චටකයන් ඉටු කරන පරිසර සේවාවන් ඇගයීමට ලක් කිරීමටත් ඔවුන් සංරක්ශනය කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමටත් වේ.

ඉන්දියාවේ “Birds Forever Society”නම් සංගමයේ යෝජනාවක් අනුව ක්රියාත්මක වුනු මෙම දිනය ලොව ප්‍රථම වරට සැමරීම  වෙනුවෙන් ඉන්දියාව විසින් 2010දී ගේ කුරුල්ලා පෙන්නුම් කරන මුද්දරරයක් පවා නිකුත් කර තිබේ.

එසේ වුවත් ගේ කුරුල්ලා වඳවීයාමක් මුලින්ම වාර්තා කල ශ්රී  ලංකාව තුල ලෝක ගේ කුරුලු දිනය හෝ ලෝක චටක දිනය කෙරේ තවමත් වැඩි අවධානයක් යොමු වී නැත​.

ශ්රීශ ලංකාවේ නිත්යතවාසී චටකයන් ලෙස සිටින්නේ ගේ කුරුල්ලා පමනකි. කොලඹ පෝට් සිටී තුල ප්‍රජනනය කරමින් බෝවන Eurasian Tree Sparrow පක්ශියාගේ ගහනයක් 2022 වසරේදී සොයාගන්‍නා ලද මුත්,මොවුන් මෙම ප්‍රදේශයට විදේශයක සිට මෑතකදී පැමිනියවුන් විය හැක.මේ හැර නම් පක්ශියා ශ්‍රී ලංකාවෙන් දෙවරක් පමනක් වාර්තා වී තිබේ.මේ නිසා ලෝක ගේ කුරුලු දිනය ලෝක චටක දිනය ලෙස පුලුල් වූවත්,ශ්රීී ලංකාවේ අපට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නට වන්නේ ගේ කුරුල්ලා වෙත පමනකි.

ගේ කුරුල්ලා අතීතයේදී මෙරට සිටි සුලභම කුරුල්ලෙකු වූ අතර සෑම නිවසකම පාහේ මොවුන් දකින්නට සිටීම සුලභ දසුනක් විය.එසේ වුවත්,ගේ කුරුල්ලා ක්රපමයන් වඳවී යන බව මවිසින් පසුගිය දශක පහක් කාලයක් පුරාවටම දැකගත් දෙයකි. ගේ කුරුල්ලන් වඳවීයාම මවිසින් මුලින්ම දුටුවේ 1976 වසරේදී එවකට අප පදිංචිව සිටි අම්පාර නිවසේ ගේ කුරුල්ලන් අඩුවී යාම සමගිනි.1980 වන විට ඔවුන් එම නිවසින් මුලුමනින්ම වඳවීගොස් හමාරවී තිබුනි.අප දැනට පදිංචි නිවසේ කිසි විටකත් ගේ කුරුල්ලෙකු වාසය ලකර නොමැත.මවිසින් පුරා දශක හතරක් තිස්සේ කර තිබෙන නිරීක්ශන මගින් ගේ කුරුල්ලන් මෙරට දිස්ත්රික්ක 18 තුල වඳවී යාමට ලක්ව තිබෙන බව අනාවරනය විය.

අතීතයේ පටන් ගේ කුරුල්ලාට මෙරට තුල නීතියෙන් ආරක්ශාවක් ලබාදීමට කටයුතු කර නොතිබුනේ එම පක්ශියාගේ සුලභත්වය නිසාය.එසේ වුවත්,අප විසින් කල කරුනු දැක්වීම් නිසාවෙන් ගේ කුරුල්ලා ආරක්ශිත පක්ශියෙකු ලෙස නම් කිරීමට පරිසර අමාත්යාංශය 2007දී එකඟතාවය පලකල අතර ඒ අනුව වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 2009 අංක 22 දරන සංශෝධනයේදී ගේ කුරුල්ලා  31 වන වගන්තියේ පලමු උප-වගන්තිය යටතේ ඇති අනාරක්ශිත පක්ශීන් ඇතුලත් කර තිබෙන තුන්වන උපඏඒඛනයෙන් ඉවත් කරන ලදී.ඒ අනුව ගේ කුරුල්ලා වර්තමානයේදී ආරක්ශිත පක්ශියෙක් වී සිටින්නෙකි.

ගේ කුරුල්ලන් අම්පාර ප්රදේශයේ නිවෙස් වලින් වඳවීයාම පිටුපස නිවෙස්වලට මැලේරියා මර්ධන රසායනික ද්රව්යයක් ලෙස මැලතියොන් යොදා ගැනීමත් සමඟ සිදුවූ දෙයක් බව එකල මතයක් තිබිනි.එම වකවානුවේදී තෙත් කලාපීය ප්රදේශවල බරවා මර්ධන වැඩ පිලිවෙල යටතේ මැලතියොන් යොදා ගැනිනි.

ගේ කුරුල්ලා ඌව,දකුනු සහ මධ්යම පලාත් වලින් විශාල ලෙස වඳවීයාම මදුරු දඟර ප්රචලිත වූ 1990 දශකය අග භාගයේ සිට සිදු වන්නකි.මේ මදුරු දඟර වල ක්රියාකාරී රසායනිකය වන්නේ කෘතිම පයිරිත්රොයිඩ් සංයෝගයන් වේ.මේවා පක්ශීන්ගේ බිත්තර නිපදවීම කෙරේ අහිතකර බලපෑම් එල්ල කරන බව සොයා ගැනුනේ 1980 දශ්කයේදීය.

මේ වන විට ශ්‍රී ලංකාවේ නගරවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ බහුතරයකින් ගේ කුරුල්ලා වඳවීගොස් සහ ඉතා දුලබ තත්වයට පත්වූ පක්ශියෙක් වී හමාරය​.

දවසේ වැඩිම වේලාවක් අප සමඟ ගතකරන මෙන්ම විශේශයෙන්ම නිවෙස් තුල සහ අවට පරිසරයේ සැරිසරන පක්ශියා වන්නේ ගේ කුරුල්ලාය.එබැවින්, ගේ කුරුල්ලා වඳවීම පිටිපස අප නිවෙස් තුල තිබෙන තත්වයන් පිලිඹඳ හෝඩුවාවක් ලබාදී තිබේ.

වෙනත් ලෙසකින් දක්වතොත්,ගේ කුරුල්ලා අප අවට පරිසරයේ වෙනස්කම් පිලිඹඳව අපගේ අවධානය යොමුකරන,අපටත් මුහුනදීමට සිදුව තිබෙන මුත් මෙතෙක් නොදුටු අවදානම් පිලිඹඳවත් දර්ශකයකි.

මේ නිසා ලෝක චටක දිනයේදී ගේ කුරුල්ලාට සිදු වන්නේ කුමක්ද කියා මෙන්ම ගේ කුරුල්ලා රැක ගැනීම වෙනුවෙන් කල යුත්තේ කුමක්ද කියා සිතනවාට අමතරව ගේ කුරුල්ලා අපට දශක ගනනාවක් මුලුල්ලේ පෙන්වා දෙන්නට උත්සාහ කරන පනිවුඩය කෙරේත් විශේශයෙන් අවධානය යොමු කිරීම ගේ කුරුල්ලා වෙනුවෙන් පමනක් නොව අපගේ පැවැත්ම වෙනුවෙනුත් ඉතා වැදගත් වනු ඇත.

✍️ අචාර්ය නීතීඥ ජගත් ගුණවර්ධණ

Sunday, March 2, 2025

ලෝක වනජීවී දිනය 2025

 


මාර්තු මස 03 වන දින ලෝක වනජීවී දිනය සැමරීම නිමිත්තෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්‌තමේන්තුව විදුසර පුවත්පතේ මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන ලෝක වනජීවී දින කාටුන් චිත්‍ර හා කෙටි වීඩියෝ චිත්‍රපට තරගාවලිය.


ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ජීවී විශේෂයන්ගේ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියට (CITES ) වසර 40ක් සපිරීම නිමිත්තෙන් 2013 වර්ෂයේ දී CITES සම්මුතියේ පාර්‌ශවීය රටවල සහභාගීත්වයෙන් බැංකොක් නුවර පැවැති සමුළුවේදී සිදුකළ යෝජනාවකට අනුව ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවීන් වෙනුවෙන් අන්තජාතික දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තිරණය කෙරිණි. 

ඒ අනුව ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ජීවී විශේෂයන්ගේ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියට(CITES ) අත්සන් තැබු 1973 මාර්තු 03 වන දිනය සිහිගන්වමින් මාර්තු 03 "ලෝක වනජීවී දිනය” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිත්‍ය වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.


මෙවර 2025 ලෝක වනජීවී දින තේමාව ලෙස "වනජීවී සංරක්ෂණය මිනිසා සහ පෘථිවියේ අනාගත" ( Wildlife Conservation Finance Investing in People and Planet) යන්න නම් කර ඇත.

Sunday, February 2, 2025

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී ඇත | ලෝක තෙත්බිම් දිනය 2025

 ලෝක තෙත්බිම් දිනය අදට (පෙබරවාරි මස 02) යෙදී තිබේ. මෙවර එහි තේමාව “අපගේ අනාගතය සඳහා තෙත්බිම් ආරක්ෂා කිරීම – Protecting Wetlands for Our Common Future” යන්නයි. තෙත්බිම් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම පෙබරවාරි 02 වැනිදා ලෝක තෙත්බිම් දිනය මෙසේ සැමරුමට ලක්වේ. 1971 වසරේ පෙබරවාරි 02 වැනිදා ඉරානයේ රැම්සා නුවරදී රැස්වූ “තෙත්බිම් පාර්ශ්වකරුවන්ගේ සමුළුව” සහ එහිදී ජාත්‍යන්තර ගිවිසුමක් ලෙස සම්මත කරගත් “තෙත්බිම් පිළිබඳ රැම්සා සම්මුතියේ” සංවත්සරය ද සනිටුහන් කිරීම මෙම දිනය සැමරීමේ අරමුණක් වන නමුත් සැබැවින්ම ලෝක තෙත්බිම් දිනයක් පළමුව සැමරීමට ලක්වන්නේ 1997 වසරේදී පටන්ය. ඒ රැම්සා පාර්ශ්වකරුවන් ඇතුළත් තෙත්බිම් පිළිබඳ සම්මුතියේ ලේකම් කාර්යාලය මගිනි. එසේම, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනයක් ලෙස ලෝක තෙත්බිම් දිනය ප්‍රකාශයට පත්වන්නේ 2021 වසරේ අගෝස්තු 30 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගත් 75/317 යෝජනාව පරිදි ය. මේ අනුව පෙබරවාරි 2 වැනිදා “ලෝක තෙත්බිම් දිනය – World Wetland Day” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට කර ඇත.

ලෝක තෙත්බිම් දිනයේ වැදගත්කම

හඳුනාගෙන ඇත්තේ වනාන්තර විනාශයට වඩා තුන් ගුණයක වේගයෙන් තෙත් බිම් මේ වන විට අපට අහිමි වෙමින් පවතින බවයි. තෙත්බිම් යනු ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත්, දේශගුණික විපර්යාස අවමකිරීම සහ ඊට අනුවර්තනය වීමේ හැකියාව ඇති සහ වැඩි ජලය රඳවාගැනීමට ඉවහල් වන වටිනා පරිසර පද්ධතියක් ලෙසටය. තෙත්බිම් මගින් ලෝක ජල සුරක්ෂිතතාව ඇති කරමින් මිනිසා ඇතුළු ජීවීන්ට මිරිදිය ලබාගැනීමේ හැකියාව වැඩි කරන අතර ලෝක ආර්ථිකය වර්ධනය සහ මානව වර්ගයාගේ ජීවනෝපාය සලසන මහඟු සම්පතක් වන තෙත් බිම් තවත් බොහෝ දේ සඳහා දායක වන ඉතා වැදගත් පරිසර පද්ධතියකි.

තෙත් බිම් පිළිබඳ ජාතික හා ගෝලීය වශයෙන් දැනුවත් කිරීම හදිසි අවශ්‍යතාවක් වන්නේ ඒවායේ ශීඝ්‍ර විනාශය ආපසු හැරවීමට සහ ඒවා සංරක්ෂණය කිරීමට සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමට ක්‍රියාමාර්ග දිරිමත් කිරීම සඳහාය. එම නිසා ලෝක තෙත්බිම් දිනය සැමරීම ලෝක අවශ්‍යතාවක් වන අතර, ලෝක තෙත්බිම් දිනය සැමරීම මගින් මෙම තීරණාත්මක වැදගත් පරිසර පද්ධති පිළිබඳ මිනිසුන්ගේ අවබෝධය වැඩි කිරීමට සුදුසුම

මෙවර (2025) ලෝක තෙත්බිම් දිනය විශේෂයෙන් වැදගත් වන්නේ එය තෙත්බිම් පිළිබඳ සම්මුතියේ පාර්ශ්වයන්ගේ සමුළුවේ 15 වැනි රැස්වීමට (COP15) ද සමගාමී වන බැවිනි. එනම්, තෙත්බිම් සංරක්ෂණය සහ ඒවා තිරසර භාවිතය පිළිබඳ සාකච්ඡා කිරීමට සහ ඉදිරි වසර තුන සඳහා වන වැඩසටහනට එකඟවීමට සෑම වසර තුනකට වරක්ම පාර්ශ්ව රාජ්‍යවල නියෝජිතයන් රැස්වේ. මෙවර එම පාර්ශ්වකරුවන්ගේ සමුළුව සිම්බාබ්වේ හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාව සහ තෙත්බිම්

ශ්‍රී ලංකාව තෙත්බිම්වලින් අනූන රාජ්‍යයකි. මුහුදින් වටවුණු දූපතක් වන නිසාම නොගැඹුරු මුහුදු සහ වෙරළාශ්‍රිත තෙත්බිම්වලින් ශ්‍රී ලංකාවට අඩුවක් නැත. එසේම ඔය සහ ගංගා 103 කට වැඩි ප්‍රමාණයක් රටේ සතර දිග්භාගයෙන් මුහුද දක්වා ගලා බසිනා නිසා කලපු, ඩෙල්ටා සහ ගංගා මෝය වැනි වෙරළාශ්‍රිත තෙත්බිම් සමූහයක් පෝෂණය කරනවා හැරෙන්නට අභ්‍යන්තර තෙත්බිම් රාශියක් ද ඒ මගින් පෝෂණය කරයි. අමතරව ස්වාභාවික විල්ලු, පොකුණු යනාදිය ද සෑහෙන පමණ රට තුළ පිහිටා ඇත. තෙවනුව සලකා බලන කල ශ්‍රී ලංකාව වූ කලී සමකයාසන්නව පිහිටි කෘෂිකාර්මික රටක් වන බැවින් සහ විශිෂ්ට වාපි සංස්කෘතියකින් හෙබි රටක් වන බැවින් මිනිසා විසින් නිර්මාණය කරන ලද වැව් 35,000 ක් සහ අක්කර ලක්ෂ 6 කට වැඩි කුඹුරු සහ පහත්බිම් ගොවිතැන් පිහිටා ඇති රටකි. එනම්, ලෝක වර්ගීකරණයට ලක්වන තෙආකාර තෙත්බිම් ශ්‍රී ලංකාවේදී ඉතා ඉහළින් දක්නට ලැබෙන බැවින් ශ්‍රී ලංකාව පූර්ණ තෙත් බිම් රාජ්‍යයක් ලෙස හැඳින්වීමද නිවැරදිය.


එසේ නැතත්, කොළඹ නගරය ලෝක තෙත්බිම් නගරයක් ලෙස රැම්සා සම්මුතිය මගින් ප්‍රකාශයට පත්කර ඇත. කොළඹ නගරයේ පවතින තෙත්බිම් වටිනාකම නිසාම 2018 වර්ෂය අවසානයේ ඩුබායිහිදී පැවති රැම්සා පාර්ශ්වකරුවන්ගේ සම්මුතියේ 13 වැනි සැසි වාරයේදී (Cop13) ශ්‍රී ලංකාවේ කොළඹ නගරය නාගරික තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අවැසි යෝජනාව සම්මත කරගන්නා ලදි. කොළඹ අවට පවතින තෙත් බිම් මගින් සිදු වන පාරිසරික සේවාවේ ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් මෙසේ කොළඹ තෙත් බිම් නගරයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තීරණය විය. එහිදී කොළඹ නගරයේ පාරිසරික වටිනාකමත්, පරිසරය සහ මහජනතාව අතර සහජීවනයට ලැබෙන දායකත්වය පිළිබඳවත් සැලකිල්ලට ගෙන ඇත. මෙම සැසිවාරය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ රැම්සා සම්මුතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනය වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සමුළුව සඳහා සහභාගිත්වය සනිටුහන් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ කොළඹ අවට ව්‍යාප්තව ඇති නාගරික තෙත් බිම් පිළිබඳව සහ ඒවායේ වැදගත්කම පිළිබඳව ද ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසට මෙම අවස්ථාව අප රටට ලබාගැනීමට හැකි විය. කොළඹ නාගරික තෙත් බිම ප්‍රකාශයට පත් කිරිමට සම්මත වූ යෝජනාවට සමගාමීව ලොව පුරා තවත් එබඳුම නාගරික තෙත් බිම් 18 ක් ප්‍රකාශයට පත්කිරීම ද එදිනම සිදු කෙරිණි.

තෙත්බිම් දින සැමරුම

ලෝක තෙත්බිම් සැමරුම එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් හා රැම්සා සම්මුති ලේකම් කාර්යාලය මගින් දියත් කෙරෙන අතර ශ්‍රී ලංකාවේ ද වසරක් පාසා සැමරීම සිදු කෙරේ. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය මගින් වසරක් හැර වසරක් මෙම අවස්ථාව සංවිධානය කරනු ලබයි. ඒ අනුව මෙවර වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවස්ථාව උදාවී ඇති අතර, මෙම ආයතන දෙක සඳහාම මෙවර ඇත්තේ එකම අමාත්‍යාංශයක් බැවින් පරිසර අමාත්‍යාංශයේ “සොබා දම් පියසේදී” සැමරුම් උළෙල සංවිධානය කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ තෙත් බිම් සංරක්ෂණයේ වත්මන් තත්ත්වය


රටේ කුමන ප්‍රදේශයක තෙත් බිම් පැවතියද, ඒවා සංරක්ෂණය කිරීමේ නීතිමය බලතල වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතන සතුය. මේ අතර කොළඹ තෙත්බිම් සංරක්ෂණය කර, ඒවායේ ජෛව විවිධත්වය ආරක්ෂා කර තහවුරු කිරීම, තෙත් බිම්වල වටිනාකම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, තෙත්බිම් ආශ්‍රිත ප්‍රජාවගේ ආර්ථිකය සවිබල

ගැන්වීම හා වැඩිමනත් පුරන් කුඹුරු නැවත අස්වැද්දීම මගින් හා එම කුඹුරු කෘෂි රසායන භාවිතයෙන් තොරව වගාකිරීම යනාදිය අරමුණු කරගනිමින් මේ දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පිහිටි තෙත්බිම් මූලික කරගනිමින් වැදගත් ප්‍රජා මූල සංරක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (United Nations Development Programme- UNDP) සුළු මූල්‍යාධාර වැඩසටහන (Small Grant Programme- SGP) මගින් ජගත් පාරිසරික පහසුකම් (Global Environmental Facility-GEF) මූල්‍යාධාර (අධියර 7) යටතේ පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ තෙත් බිම් පරිසරයේ ජෛවවිවිධත්ව සංරක්ෂණය, භූමි හායනය අවම කිරීම සහ දේශගුණික විපර්යාසවලට අනුහුරුවීම යන ලෝකය මුහුණ පා ඇති ප්‍රධාන පාරිසරික අර්බුද තුනක් මුල්කරගෙන තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා මෙම වැඩසටහන කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකා රජයේ පූර්ණ අනුදැනුම යටතේ හා පරිසර අමාත්‍යාංශය, කොළඹ දිස්ත්‍රික් ලේකම් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5 ක, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය මත, හා ප්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධානවල සහභාගිත්වයෙන් මෙම තෙත් බිම් සංරක්ෂණ වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.


මෙසේ ක්‍රියාවට නැගෙන සම්පූර්ණ වැඩසටහන මගින් කොළඹ තෙත්බිම් භූ දර්ශයේ (Landscape) පරිසර සංරක්ෂණ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් ඉටුකිරීම සඳහා සංවිධාන 6 ක් තෝරාගෙන ඇත. ප්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් ක්‍රියාත්මක වන මෙම සංවිධාන තේරීපත්වී ඇත්තේ එම සංවිධාන මගින් තෙත්බිම් සංරක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනා සැලකිල්ලට ගනිමිනි. මේ මගින් තෙත්බිම් සංරක්ෂණය හා ඒ ආශ්‍රිත ප්‍රජාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම මගින් තෙත්බිම් සංරක්ෂණයට ඔවුන් දායක කරගැනීම ලෙස සරලව මෙම කොළඹ තෙත්බිම් සංරක්ෂණ වැඩසටහන හඳුන්වා දිය හැකිය.

කොළඹ සමස්ත නාගරික තෙත්බිම් සංකීර්ණය වර්ග කිලෝමීටර් 121.5 ක් පුරා පැතිර ඇත. ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 5 ක් යටතට ගැනෙන මෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 29,200 කි. එනමුත් වැඩසටහන ක්‍රියාවට නැගෙන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ වන්නේ කොළොන්නාව, කඩුවෙල, ශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේ, කැස්බෑව සහ හෝමාගම යි. පෙර සඳහන් කරන ලද සංවිධාන 6 වර්තමානයේ මෙහි ඇති

තෝරාගන්නා ලද තෙත්බිම් සංරක්ෂණය සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇත. එමගින් මෙම තෙත්බිම්වල සෞන්දර්යය ඉහළ යාම ද නිරායාසයෙන්ම සිදුවේ. එය රජය මගින් ක්‍රියාත්මක කෙරෙන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ද මහත් පිටුබලයකි.

මෙම තෙත්බිම් සංරක්ෂණ වැඩසටහන් අතර වර්තමානයේ සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින “ගොතටුව තෙත්බිම් උද්‍යානය” ස්ථාපිත කිරීමේ කටයුතු කැපී පෙනෙන්නකි. ඒ සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඉතා ඉහළ කාර්යයක් සිදුකරනු ලබයි. මෙම උද්‍යානය සංවර්ධනය කිරීමෙන් අනතුරුව “බැද්දගාන තෙත්බිම් උද්‍යානය”, “දියසරු උද්‍යානය” වැනි සංවර්ධිත කොළඹ තෙත්බිම් හා සමාන වටිනාකමක් ඊටද ලැබෙන අතර, ඉතා ඉහළ අලංකාරයක්ද, ජෛව විද්‍යාත්මක සහ පාරිසරික වටිනාකමක්ද අත්කරගනු ඇත. එසේ හෙයින් මෙවර ලෝක තෙත්බිම් දින සැමරුම සඳහා UNDP-GEF-SGP ආධාර ලබන කණ්ඩායම් කිහිපයක්ද මීට එකතුවෙමින් ක්‍රියාකාරකම් රැසක් අදට (02) යෙදෙන තෙත්බිම් දිනයේදී එහි සංවිධානය කර ඇත. ඒ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කාර්යභාරයට UNDP-GEF-SGP දායකත්වය ද සනිටුහන් කරමිනි. එනම්, ලෝක තෙත්බිම් දිනය වන අද රට පුරා සිදුකෙරෙන සැමරුම් උළෙල හා සමගාමීව යමින් ඉහත ආයතන සහ සංවිධාන විසින්ද අද ලෝක තෙත්බිම් දිනය සමරනු ලබයි. කොළඹ තෙත්බිම් භූ දර්ශයේ දැනුම කළමනාකරණය සිදුකරන “සුරක්ෂි” සංවිධානය, ලස්සන කොලොන්නාව සංවිධානය සහ Centre for Citizen Science සංවිධානය 2025 තෙත්බිම් දින සැමරුම සංවිධානය කිරීමට අත්වැල් බැඳගනිමින් කටයුතු කරයි. ඒ අනුව විශේෂයෙන් තරුණ-තරුණියන් සහ ළමුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වැඩසටහනක් ලෙස මෙවර තෙත්බිම් සැමරුම සිදුකරන ඔවුහු, සහභාගිවන්නන් සඳහා තෙත්බිමේ අසිරිය විඳගැනීමේ පා ගමන් සංචාරයක් (Nature Walk), දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම පාරිසරික ක්‍රියාකාරකම් ලෙස, ආක්‍රමණික පැලෑටි ඉවත් කිරීම, නොදිරන කසළ එකතුකිරීම සහ කළමනාකරණය, රුක් රෝපණය, තෙත් බිම් සංරක්ෂණයට අදාළව චිත්‍ර තරගයක් පැවැත්වීම යනාදිය සිදුකරනු ලබයි.


අද එසේ ශ්‍රී ලංකාවේදී සිදුවන තෙත්බිම් සංරක්ෂණයට අදාළ වැඩසටහන් පෙළගැස්ම සඳහා අපගේ “හරිත” තීරය වෙන්කරනු ලබන අතර, තවත් ‘සංචාරේ’ වැඩසටහනකින් මේ පිළිබඳ සවිස්තර තොරතුරු කතා කරන්නට අපි අපේක්ෂා කරන්නෙමු.

✍️ සැරිසර – ජගත් කණහැරආරච්චි


Saturday, December 14, 2024

සිරිපාදෙ යන අයට ගැසට් එකක්

 


අදින් ආරම්භ වන ශ්‍රීපාද වන්දනා සමය තුළ මහජනතාව දැඩි ලෙස පිළිපැදිය යුතු මාර්ගෝපදේශ පිළිබඳ දැනුවත් කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.


එම ගැසට් නිවේදනය පරිදි සිරිපා මළුව ප්‍රදේශයේ හෝ අම්බලම්, විශ්‍රාම ශාලා ප්‍රදේශයේ කිසිම තැනක දී යාචකයන් විසින් හිඟමන් ඉල්ලීම හෝ ලබා ගැනීම ද කිසිවකු විසින් හිඟමන් දීම හෝ බෙදාදීම ද නොකළ යුතුය.


දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන මගින් හඳුනාගෙන නම් කර ඇති ආරක්ෂිත ස්ථාන වල දී හැර දිය නෑම හෝ රෙදි සේදීම නොකළ යුතු වේ.


පෞද්ගලික ආයතන මගින් දිය නෑම හෝ රෙදි සේදීම සඳහා පහසුකම් සැලසීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් විධිමත් පූර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතුය.


ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතනය විසින් වෙන්කර ඇති ස්ථානවල හැර වෙනත් ස්ථානවල වාහන ගාල් කිරීම හෝ ඇතුළු කිරීම නොකළ යුතු අතර වන්දනා සඳහා වෙන්කර ඇති ප්‍රධාන මාර්ග වන්නේ රජමාවත (පලාබද්දල මාර්ගය), හැටන් නල්ලතන්නිය මාර්ගය හා කුරුවිට එරත්න මාර්ගයයි.


වන්දනා මාර්ගයේ හෝ සිරිපා මළුව පරිශ්‍රයේ හෝ විශ්‍රාම ශාලා අවට හෝ පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් පරිදි බැහැර කිරීම නොකළ යුතු අතර ශ්‍රී පාද අඩවිය තුළ කිසිම හේතුවක් නිසා ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල සැකසීම හෝ ගිනි දැල්වීම සිදු නොකළ යුතුය.

තවත් තොරතුරු සඳහන් එම ගැසට් නිවේදනය පහත දැක්වෙයි.