Showing posts with label ලංකාවේ වකුගඩු රෝගය. Show all posts
Showing posts with label ලංකාවේ වකුගඩු රෝගය. Show all posts

Monday, August 13, 2018

ග්ලයිෆොසෙට් තහනම ඉවතට

ලංකාවේ වකුගඩු රෝගය සහ ග්ලයිෆොසෙට් පිළිබඳව කරුණු සොයන්නන්ගේ පහසුව පිණිස මෙම ලිපිය ලංකා සී නිවුස් වෙබ් අඩවියෙන් උපුටාගෙන ඵල කරන ලචද බව කරුණාවෙන් සලකන්න. මෙහි පුර්ණ අයිතිය මෙම ලිපියේ මුල් අයිතිකරුවන් සතු වේ.

මොන්සැන්ටෝ ලාභය උදෙසා ජනතාව උකසට තබා ග්ලයිෆොසෙට් තහනම ඉවතට..

වත්මන් රජය බලයට පත් වූ පසුව මෙරට ජනතාවගේ වත්මන් හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් ගන්නා ලද ඉතා ම වැදගත් තීරණයක් ලෙස ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්තිමය ප‍්‍රකාශයන්ට එකඟ ව කෘෂිකර්මාන්තයේ දී වල්නාශකයක් ලෙස භාවිත වන උග‍්‍ර විෂ සහිත ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය තහනම් කරන ලදී. නමුත් එය තහනම් කර වසර 3 ක් ඉක්ම යාමට ප‍්‍රථමයෙන් මෙම වල්නාශකයේ හිිමිකාරීත්වය දරන මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත රජයේ නිලධාරින් හා ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ජනතාවගේ වත්මන් හා අනාගත පැවැත්ම විනාශයට ලක් කරමින් කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කෙරිණ. මෙම තහනම ඉවත් කිරීමට ප‍්‍රථමයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ තේ හා රබර් වගාව සඳහා මාස 36 ක කාලයකට ග්්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බව ය. එහි දී ඔවුන්ගේ උත්සාහය වූයේ වැවිලි සමාගම්වල වුවමනාවන් ඉටු කිරීම සඳහා වතුකරයේ ජනතාව උකසට තැබීමට ය. යහපාලනය රට තුළ ස්ථාපිත කිරීමට ජනතාව සම`ග සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුව ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් නොව බහුජාතික සමාගම්වල වුවමනාවන් මත ඔවුන්ගේ ලාභාපේක්‍ෂාවන් වෙනුවෙන් පෙනී සිටින බව මේ මගින් මනා ව තහවුරු වේ.

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීමේ සමස්ත ක‍්‍රියාවලියේ දී මොන්සැන්ටෝ සමාගමේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරන්නේ ක්‍රොප්ලයිෆ් ශ‍්‍රී ලංකා (croplife Srilanka ) ආයතනය යි. ලංකාවට කෘෂි රසායනික ගෙන්වන සමාගම් එක් ව ගොඩනගා ගන්නා ලද මෙම සංවිධානයේ වත්මන් සභාපතිවරයා සීග්‍රෝ සිංගප්පූර් සමාගමේ (Zegro Singapore (pvt)ltd) රෝහිත නානායක්කාර ය. ක්‍රොප්ලයිෆ් ශ‍්‍රී ලංකා ආයතනය ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීමේ ක‍්‍රියාවලිය පිටුපස සිටින ප‍්‍රධාන හස්තය බවට තහවුරු වී ඇති අතර මෙම ආයතනය තම සමාජික සමාගම්වල ලාභය වෙනුවෙන් පෙනී සිටිමින් මෙරට ජනතාව උකසට තබමින් තම ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීම සඳහා රජයට විශාල බලපෑමක් සිදු කරයි.

ජනතාව රවටමින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම

වත්මන් රජය බලයට පත්වීමට ප‍්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘මාස හැටකින් අලූත් රටක් හදන පංච විධ ක‍්‍රියාවලියෙහි’’ හානි කර කෘෂි රසායනික පිළිබඳ ව විශේෂයෙන් අවධාරණය කර තිබිණ. එහි සඳහන් කර තිබෙන පරිදි පරිසරය සුරකින කාබනික ගොවිතැන මගින් හරිත නිෂ්පාදන සඳහා ඇති විදේශීය වෙළෙඳපොළ අල්ලා ගැනීමට උත්සාහ ගන්නා අතර රටෙහි ආහාර ස්වෛරීභාවය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ස`දහන් විය. මීට අමතර ව මිනිසාට හා පරිසරයට හානි කර මෙන්ම විශේෂයෙන් වකුගඩු රෝගයට හේතුවන බව සොයාගෙන ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම දින 100 තුළ තහනම් කළ බවත් එය තවදුරටත් ක‍්‍රියාත්මක වැඩපිළිවෙළක් ලෙස ක‍්‍රියාවට නංවන බවත් එහි සඳහන් කර තිබුණි. එපමණක් නොව වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමට ප‍්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘මෛත‍්‍රි පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ, වකුගඩු රෝගයට හේතු වන බවට හෙළිදරව් වූ කෘෂි රසායනික ගෙන්වීම හා බෙදාහැරීම වහා ම තහනම් කරන බව සඳහන් විය.

කෘෂි රසායනික භාවිතය හේතුවෙන් දිවයින පුරා ජනතාව නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වන බැවින් ග්ලයිෆොසෙට් ඇතුළු හානි කර කෘෂි රසායනික ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම සඳහා මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පදනම් කර ගෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2015 මැයි මස 27 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. එම අනුමැතිය පාදක කර ගෙන 1994 අංක 6 සහ 2011 අංක 31 දරන පනත් වලින් සංශෝධිත 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තියට අනුව බලපත‍්‍ර තහනම් කිරීම යටතේ පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් 2015 ඔක්තෝබර් මස 23 වන දින අංක 1937/35 දරන ගැසට් නිවේදනයෙන් සක‍්‍රීය ග්ලයිෆොසෙට් රසායනිකය අඩංගු සියලූ ම පළිබෝධනාශක සඳහා ලබා දී තිබු බලපත‍්‍ර අවලංගු කරන ලදී. ඊට ප‍්‍රථමයෙන් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3) උප වගන්තිය සහ 14 වන වගන්තිය මෙන් ම 20 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2015 ජුනි මස 11 වන දින අංක 1918/22 දරන ගැසට් නිවේදනයට අනුව ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් ම තහනම් කරන ලදී.

මේ ආකාරයෙන් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ගෙන්වීම සහ භාවිතය සඳහා වන බලපත‍්‍ර අහෝසි කිරීමට ප‍්‍රථමයෙන් පළිබෝධනාශක පනතේ 11 වන වගන්තියට අනුව පළිබෝධනාශක රෙජිස්ටාර් වරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2014 දෙසැම්බර් 22 වන දින අංක 1894/4 දරන ගැසට් නිවේදනය අනුව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල යන දිස්ත‍්‍රික්ක හතර තුළ හා බදුල්ල දිස්ත‍්‍රික්කයේ රිදීමාලියද්ද හා කන්දකැටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙක තුළ ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය හා විකිණීම තහනම් කර තිබුණි.

පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීම තහනම් කරන සියලූ ගැසට් නිවේදනවල ප‍්‍රධාන වශයෙන් ම අවධාරණය කර ඇත්තේ මහජනතාවගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් මත මෙම තහනම් කිරීම සිදු කරන බව ය. නමුත් පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තිය යටතේ පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2018 ජුනි 11 වන දින අංක 2079/37 දරන ගැසට් නිවේදනය මගින් ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීමේ බලපත‍්‍ර තහනම් කිරීම අවලංගු කර ඇති අතර මෙදින ම ප‍්‍රකාශිත අංක 2078/38 දරන ගැසට් නිවේදනය මගින් දිස්ත‍්‍රික්ක හතරක හා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීමේ තහනම ද ඉවත් කරන ලදී. මෙහි දී ද අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ මහජනයාගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්‍ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් පරිදි ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ බව ය. මෙම ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීමට ප‍්‍රථමයෙන් කිසි`දු ආකාරයක කැබිනට් අනුමැතියක් ලබා ගෙන නොමැත. කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට මෙම ගැසට් නිවේදන ප‍්‍රකාශයට පත් කිරීම සඳහා කෘෂි රසායනික සමාගම් වලින් රජයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ නිසා රජයට ජනතාව ගැන සිතීමට හෝ නීතිය පිළිබ`ද ව තැකීමට අමතක වී ඇත.

මෙම ගැසට් නිවේදන වල ස`දහන් වන ආකාරයට මහජනතාවගේ හිතසුව පිණිස උග‍්‍ර විෂ වල්නාශක භාවිත කිරීම හා විකිණීමේ අවසරය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි. ග්ලයිෆොසෙට් වල්නාශක අඩංගු බෝතල්වල ‘‘පළිබෝධනාශක අනතුරු සහිතයි ප‍්‍රවේශමෙන් පරිහරණය කරන්න’’ ලෙස සඳහන් වේ. එසේ තිබිය දී හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ප‍්‍රසිද්ධියේ සඳහන් කළේ ග්ලයිෆොසෙට් විෂ රහිත බවත් එය පානය කිරීමේ හැකියාව සහිත වල්නාශකයක් බවත් ය. මොන්සැන්ටෝ සමාගමේ වුවමනාවන් හා කොමිස් වෙනුවෙන් මේ ආකාරයේ වැරදි මතයන් සමාජ ගත කර සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් තහනම් වල්නාශක භාවිතා කිරීමේ අවස්ථාව නැවත ලබා ගන්නා ලදී.

1970 වසරේ සිට අද දක්වා රසායනික පළිබෝධනාශක 36 ක් මෙරට තුළ භාවිතය නීතියෙන් තහනම් කිරීම හා නියාමනය කිරීම සිදු කර ඇත. පළමු වතාවට නියාමන හා නීතිමය අයුරින් තහනම් කළ උග‍්‍ර විෂ වල්නාශකයක් නැවත තහනම ඉවත් කළ අවස්ථාව ලෙස ගල්යිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහන් කළ හැකි ය. මෙය මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත ජනතාව උකසට තබමින් සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් සමාගමෙන් ලැබෙන වරප‍්‍රසාද හා වරදාන වලට ඇති ගිජු බව නිසා ගත් තීරණයක් බව පැහැදිලි වේ. මේ නිසා රටේ ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වුව ද, පිළිකා හා දරු උපත් ආබාධ ඇති වුව ද, පරිසරය හා ජෛව පද්ධතීන් බිඳ වැටුණ ද නිලධාරින්ට හා අමාත්‍යවරුන්ට ගැටලූවක් නැත. ඔවුන්ට ගැටලූ මතුවන්නේ මොන්සැන්ටෝ සමාගමේ ලාභය අඩු වීම හා වැවිලි සමාගම්වල ලාභය අඩු වීම පිළිබඳව ය. එය භාවිතයෙන් ජනතාවට සිදුවන කිසි`දු අහිතකර ප‍්‍රතිවිපාකයක ගැටලූවක් මේ කිසිවකුට නැත.

නමුත් ඔවුන් ජනතා වරමින් බලයට පත් වූ බවත් ජනතාව සමඟ සම්මුතිගත වූ බවත් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන බවත්, ජනතාව වෙනුවෙන් යහපත් තීන්දු තීරණ ගැනීමට පමණක් බලය පවරා ඇති බවත් අමතක කරති. බලයට පත් වූ විට හා නිල බලයන් හිමි වූ විට නිලධාරින් හා අමාත්‍යවරුන් සිතන්්නේ තමන් සේවය කරන්නේ සමාගම්වල ලාභය වෙනුවෙන් බව ය. මේ නිසා ඔවුන් ට දැනෙන්නේ ග්ලයිෆොසෙට් තහනම් කිරීම කිසි`දු විද්‍යාත්මක පදනමක් මත සිදු නොවු ක‍්‍රියාවලියක් ලෙස ය. මේ නිසා ම ජනතාවගේ හිතසුව පිණිස ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බවට ගැසට් නිවේදනයේ සඳහන් කිරීමට ඔවුන්ට අපුලක් නොමැත. අචාරධර්ම හෝ ජනතා සම්මුතීන් හෝ නීතිය හෝ උල්ලංඝනය කිරීමට ඔවුන්ට ගැටලූවක් මේ නිසා නැත.

සමාගම වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන් ද?

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම පිටුපස මොන්සැන්ටෝ සමාගමේ වරදාන ලබන ආචාර්ය බුද්ධි මාරඹේ, ආචාර්ය පරාක‍්‍රම වෛද්‍යනාථ, මහාචාර්ය ඔලිවර් ඞී. ඉලේපෙරුම, ආචාර්ය කමල් ගම්මන්පිල, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර් ඇතුළු කණ්ඩායම සිටිති. ඔවුන්ට ග්ලයිෆොසෙට් භාවිතය නිසා ලෝකයේ රටවල ජනතාව භුක්ති විඳිමින් සිටින හානි හෝ ග්ලයිෆොසෙට් භාවිතයේ හානි කර ප‍්‍රතිිවිපාක පිළිබඳව සිදු කර ඇති පර්යේෂණවල ප‍්‍රතිඵල හෝ නොපෙනෙති. ඔවුන් හිතාමතා ම බොහෝ දේ සමාජයෙන් සැඟවීමට උත්සාහ ගනිති. මොන්සැන්ටෝ සමාගමේ ඍජු හා වක‍්‍ර මෙහෙයවීම යටතේ සිදු කළ බොහෝ පර්යේෂණවල ප‍්‍රතිඵල සමාජ ගත කරන මොවුන් ඉන් සිදු වන හානිය පිළිබඳ ව අපක්‍ෂපාතී විද්‍යාඥයින් විසින් සිදු කළ පර්යේෂණවල ප‍්‍රතිඵල සමාජ ගත නොකරති. ඒ අනුව ග්ලයිෆොසෙට් එතරම් විෂ කෘෂි රසායනයක් නොවන බවත් ග්ලයිෆොසෙට් හානි කර බව පර්යේෂණ මගින් තහවුරු කර නොමැති බවත් ස`දහන් කරමින් ග්ලයිෆොසෙට් පිළිබ`ද ව සමාජය තුළ යහපත් ආකල්පයක් ඇති කිරීමට උත්සහ ගනිති. නමුත් ඔවුන් මේ සියල්ල කරන්නේ මොන්සැන්ටෝ සමාගමේ ඍජු මෙහෙය වීම යටතේ බව බොහෝ දෙනෙක් නොදනිති.

ග්ලයිෆොසෙට්වල අයිතිය

දෙවන පරම්පරාවේ වල්නාශකයක් වන ගල්යිෆොසෙට් පළල් පත‍්‍ර ශාක හා තෘණ කුලයේ ශාක යන සියලූ වල්පැළෑටි නසන වල්නාශකයක් ලෙස ක‍්‍රියාත්මක වේ. මේ මඟින් ශාකයේ ප්‍රෝටීන නිෂ්පාදනය අඩාල කර වල් පැලෑටි මරා දැමීම සිදු කරයි. මෙම සංයෝගය පළමු වරට සංස්ලේෂණය කරනු ලැබුවේ 1950 වසරේ දී ස්විස් ජාතික රසායනික විද්‍යාඥයකු වන හෙන්රි මාර්ටින් (Henry Martin) විසිනි. නමුත් මේ පිළිබඳ ප‍්‍රකාශයට පත් නොවුන ද 1970 දී ඇමෙරිකානු එක්සත් ජනපදයේ මොන්සැන්ටෝ සමාගමේ රසායනික විද්‍යාඥයකු වන ජොන් ඊ. ෆ්රාන්ස් (John E.Franz)විසින් නැවත මෙම සංයෝගය සංස්ලේෂණය කරන ලදී. මෙම සංයෝගය වල්නාශකයක් ලෙස භාවිතයට ගත හැකි බව ද සොයාගන්නා ලදී. ඒ සඳහා පේටන්්ට් අයිතිය ද මෙම සමාගම හිමි කර ගත් අතර 1974 වසරේ දී රවුන්ඞ්අප් (Roundup) වෙළෙඳ නාමයෙන් වල්නාශකයක් ලෙස වෙළෙඳපොළට යොමු කෙරින. 2000 වසරේ දී මෙම ග්ලයිෆොසෙට් සංයෝගය සංස්ලේෂණය හා වල්නාශකයක් ලෙස භාවිත කිරීමේ හැකියාවට ලබා ගත් වාණිජ පේටන්්ට් බලපත‍්‍රයේ කල් ඉකුත් වීම සිදු විය. ලෝකයේ 5 වන විශාලතම කෘෂි රසායනික නිෂ්පාදනය පමණක් නොව ලෝකයේ විශාලතම කෘෂි බීජ නිෂ්පාදන අයිතිය ද හිමි මොන්සැන්ටෝ සමාගම විසින් අද වන විට ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක නිෂ්පාදනයේ දී විවිධ බාහිර සංඝටක එක් කර එහි ප‍්‍රබලතාවය වැඩි කරමින් සිටී. ඊට හේතුව ඔවුන්ට මේ වල්නාශකය නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත‍්‍රය මඟින් හිමි ව තිබූ ඒකාධිකාරය 2000 වසරේ දී පේටන්ට් බලපත‍්‍රයේ කල් ඉකුත් වීමත් සමගම අහිමි වීම ය. වෙළෙඳපොළ ඉල්ලූම ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට හා අනෙක් සමාගම් සමඟ තරග කරමින් ඔවුන්ගේ ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශකවල ඉල්ලූම පවත්වාගෙන යාම සඳහා විවිධ අමතර ආධාරක සංයෝග හා බැර ලෝහ වර්ග එක් කරමින් වල්නාශකවල ප‍්‍රබලතාව වැඩි කරමින් සිටී. මේ නිසා අද වන විට ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතා කිරීමේ දී පසට, ජලයට එක් වන රසායනික අපද්‍රව්‍ය ප‍්‍රමාණය අධික වෙමින් පවතී.

ග්ලයිෆොසෙට්වල ක‍්‍රියාකාරීත්වය

ග්ලයිෆොසෙට් රසායනය නිපදවා ඇත්තේ උසස් ශාකවල සහ ක්‍ෂුද්‍ර ජීවීන් තුළ පමණක් හමුවන (5-enolphyruvylshikimate-3-phosphote-EPSP) එන්සයිමය නිෂ්පාදනය නිශේධනය කිරීමට ය. මෙම ෑඡුීඡු එන්සයිමය තයිරොසීන්, ටි‍්‍රප්ටොපෑන් හා පීනයිල්ඇලනීන් වැනි ඇමයිනෝ අම්ල නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වෙයි. ෑඡුීඡු එන්සයිමය පිළිබඳ ව තවදුරටත් සලකා බැලූවහොත් එය ශාක හොමෝනයක් වන ඔක්සීන නිපදවීමට, ෆෝලික් අම්ලය හා ලිග්නීන් නිපදවීමට ද අවශ්‍ය වේ. ග්ලයිපොසෙට් අඩංගු රසායනික ද්‍රව්‍යයන් ශාකයකට යෙදිය යුත්තේ ශාක පත‍්‍ර මතට පමණක් වන අතර, පොළොවට යෙදීමෙන් ශාකයට සිදු වන හානිය අවම ය. මෙහි දී සංස්ථානික වල්නාශකයක් ලෙස ග්ලයිෆොසෙට් ශාක පත‍්‍ර මතින් ශාකයට ඇතුළු වන අතර ප්ලෝයම පටක ඔස්සේ ශාකය පුරා ම පරිවහනය වී මුල් දක්වා ද ගමන් කරයි. බහුල වශයෙන් ශීඝ‍්‍රයෙන් විභාජනය වන පටකවල, නොමේරු ශාක පත‍්‍රවල සහ පොළොව යට තිබෙන ශාක පටකවල ග්ලයිපොසෙට් තැන්පත් වෙයි.

ග්ලයිෆොසෙට් අංශු පොළොවට වැටුනහොත් ඒවා ඉතා ඉක්මනින් පස් අංශු අතර ට බැඳෙයි. ඉන් පසු පස් අංශු අක‍්‍රිය අංශු බවට පත් වන අතර ඉතා ඉහළ කාබනික ද්‍රව්‍ය පවතින පසක ඉතා හොඳින් ග්ලයිෆොසෙට් අවශෝෂණය වෙයි. එසේ ම ගල්යිෆොසෙට් පස තුළ සාපේක්‍ෂව සංක‍්‍රමණය වන්නේ අල්ප වශයෙනි. එනම් පස මතට පතිත වු ග්ලයිෆොසෙට් එම ස්ථානයේ ම වියෝජනය නොවී පැවතීමට හැකියාවක් ඇත. එසේ ම ග්ලයිෆොසෙට් සහ පසෙහි අකාබනික පොස්පේට් අයන පාංශු උපස්තර සඳහා තරග වදින අතර පසේ පවතින අකාබනික පොස්පේට් අයන ප‍්‍රමාණය කොපමණ මට්ටමකින් ග්ලයිෆොසෙට් පාංශු උපස්තරවලට බැඳගනු ඇති ද යන්න තීරණය කරනු ලබයි. මෙමගින් සිදුවන්නේ අකාබනික පොස්පේට් අයන අඩු මට්ටමක් පවතින විටක දී ග්ලයිෆොසෙට් යෙ¥ විට තවදුරටත් පොස්පරස් පෝෂකය ඌණ පසක් බවට පත් වීම යි. නමුත් ග්ලයිෆොසෙට් පස මත ක‍්‍රියාකාරී ව පවතින කාලයට වඩා වැඩි කාලයක් මතුපිට ජල ප‍්‍රභව මත පවතින අතර මේ නිසා ජලජ ක්‍ෂුද්‍ර ජීවීන්ට, මත්ස්‍යයින්ට, මිරිදිය ඉස්සන්, මිරිදිය කකුළුවන්, මිරිදිය බෙල්ලන් හා ජලජ අපෘෂ්ඨවංශීන්ට බලපෑම් එල්ල වේ.

ඇමෙරිකා එක්සත්් ජනපදයේ ගල්යිෆොසෙට් භාවිතය හේ්තුවෙන් මිරිදිය කකුළුවන්ට සිදු වන හානි පිළිබඳ ව අධ්‍යයන කර තිබේ. මෙම රසායනිකයට නිරාවරණ වූ කකුළු පැටවුන් මිය යාම හා රූපාන්තරණයට ගත වන කාලය අඩු වන බව සොයගෙන ඇත. ගෙම්බන්ගේ වර්ධනයේ මුලික අදියර යාමනය කරනු ලබන හෝමෝන යාන්ත‍්‍රණය වෙනස් කිරීම සහ උපතින් විකෘති සහිත සතුන් බිහි වීමටත්, ඉස්ගෙඩියන්ගේ කරමලෙහි රූපකායේ වෙනස්කම් ඇති කිරීමටත් රූපාන්තරණයේ වෙනස්කම් සිදු කිරීමටත් ග්ලයිෆොසෙට් රසායනිකය බලපාන බව සොයාගෙන ඇත. මිරිදිය මත්ස්‍ය විශේෂවල අක්මාවට හානි සිදු කිරීම ග්ලයිෆොසෙට් රසායනික මගින් සිදු වෙන බව සොයාගෙන ඇති අතර එම සතුන්ගේ විෂහරණ පටක නැවත ගොඩනැගීමේ හැකියාව ද මෙම රසායනික හේතුවෙන් අවම කරන බව සොයා ගෙන තිබේ. මෙම රසායනිකයට ගොදුරු වන මත්ස්‍යයින්ගේ ඇසිටයිල්කෝලීන් නම් එන්සයිමයේ ක‍්‍රියාකාරීත්වය බිඳ වැටීම හේතුවෙන් ප‍්‍රජනන චර්යාවලට බලපෑම් ඇති කරන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. ග්ලයිෆොසෙට් වලට නිරාවරණය වන ගොළුබෙල්ලන්ගේ විකෘතිතාවන් ඇති වන බව ද පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ.

මීට අමතර ව ජලජ පරිසරවල ග්ලයිෆොසෙට් බහුල ව සාන්ද්‍රගත වීම හේතුවෙන් ජලජ ශාකවල පැවැත්මට ඉතා හානි කර බලපෑම් ඇති වන බව සොයා ගෙන ඇති අතර බොහෝ ජලජ ශාක විශේෂ ව`දවීමට මෙන් ම එම ජලජ ශාක ආශ‍්‍රිත ව බෝ වීම සිදු වන ජීවි විශේෂවල පැවැත්මට මේ නිසා බලපෑම් එල්ල වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

ග්ලයිෆොසෙට් රසායනය මගින් පස තුළ ජීවත් වන නයිට‍්‍රජන් තිරකරන බැක්ටීරියාවල පැවැත්මට ඉතා අහිතකර බලපෑම් සිදු කරන අතර සමස්තයක් ලෙස පාංශු ක්‍ෂුද්‍ර ජීවීන්ට ග්ලයිෆොසෙට් අහිතකර ය. පස තුළ ජීවත්වන විවිධාකාර වු ක්‍ෂුද්‍රජීවී ප‍්‍රජාවන් විනාශ වී යාම නිසා පසේ පෝෂක සමතුළිතතාව බිඳ වැටී නිසරු, ව`ද පසක් බවට ග්ලයිෆොසෙට් භාවිතා කළ බෝග සහිත පස පරිවර්තනය වෙයි.

ග්්ලයිෆොසෙට් රසායනය අඩංගු වල්නාශක සෑම වර්ගයක ම ඒක වාර්ෂික හා බහුවාර්ෂික, පළල් පත‍්‍ර තෘණ හා පන් වර්ග විනාශ කරනු ලබයි. නමුත් මේ වන විට ග්ලයිෆොසෙට් රසායනය අඩංගු වල්නාශකවලට එරෙහිව ප‍්‍රතිරෝධීතාවක් ගොඩන`ගාගත් වල්පැළෑටි බිහි වී ඇත. ශ‍්‍රී ලංකාව තුළ දී බිහි වු ප‍්‍රතිරෝධී වල් පැළෑටි වලට උදාහරණ ලෙස ගැටකොළ, වල් රබර් සහ ඩෙරිස් නම් වැල් වර්ගයක් හ`දුනා ගෙන ඇත. මෙය කාලයත් සම`ග නිර්මාණය වූ පරිසරයට අහිතකර වු තත්වයකි. මෙවැනි වල් පැළෑටි විශේෂයන් සුපිරි වල් පැළෑටි (Super Weeds) ලෙස හ`දුන්වනු ලබයි. මෙවැනි ප‍්‍රතිරෝධකතාවයන් සහිත සුපිරි වල් පැළෑටි ප‍්‍රභේදයක් මුලින් ම වාර්තා වුයේ 1996 දී ඕස්ටේ‍්‍රලියාවේ දී ය. එය නමින් රිජිඞ් රයි නම් තෘණ විශේෂයයි. මීට අමතර ව ගෝලීය වශයෙන් මේ වන විට ග්ලයිෆොසෙට් රසායනයට ප‍්‍රතිරෝධී වල් පැළෑටි විශාල ප‍්‍රමාණයක් විවිධ රටවල් වලින් වාර්තා වී ඇත.

තම ලාභ අපේක්‍ෂාව මුලික අරමුණ කරගත් මොන්සැන්ටෝ සමාගමේ තවත් විනාශකාරී නිර්මාණයක් ලෙස ග්ලයිෆොසෙට් ප‍්‍රතිරෝධී බෝග හ`දුන්වාදිය හැකිි ය. එම බෝග හ`දුන්වන්නේ ‘‘රවුන්ඞ්අප් රෙඩි ක්‍රොප්ස්’’ (Roundup Ready Crops) නමිනි. එහි දී ජාන ඉංජිනේරු තාක්‍ෂණය යොදාගනිමින් ග්ලයිෆොසෙට් වලට සුදානම් වු ජානයක් ශාක ෙසෙලයට ඇතුළු කරනු ලබයි. ඉන් පසු එම ජානය මගින් වෙනස් වු බෝගය ග්ලයිෆොසෙට් වල්නාශකයට ප‍්‍රතිචාර නොදක්වයි. එවිට කිසිදු බාධාවකින් තොරව වගා ක්‍ෂේත‍්‍රයට ග්ලයිෆොසෙට් යෙදිය හැකි අතර එමගින් අදාළ බෝගය හැරුණු විට අනෙක් සියලූ ම පැළ මර්දනය වේ. මේ මගින් බීජ ඒකාධිකාරය ද සමාගම් සතු කර ගැනීම පහසු වේ.

ග්ලයිෆොසෙට් මගින් මානව සෞඛ්‍යයට එල්ල වන බලපෑම

ග්ලයිෆොසෙට් මගින් මානව සෞඛ්‍යයට එල්ල කරන බලපෑම ආකාර කිහිපයකින් සිදු වේ. එක් බලපෑමක් වන්නේ ග්ලයිිෆොසෙට් සංයෝගයෙන් සිදු කරන බලපෑම ය. අනෙක ග්ලයිෆොසෙට් භාවිතා කර වල්නාශක නිෂ්පාදනයේ දී එක් කරන ආධාරක රසායනික නැතහොත් අමතර සංඝටක මගින් ඇති කරන බලපෑමයි. මේ දෙක ම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

ග්ලයිෆොසෙට් ශරීරගත වීම ආකාර කිහිපයකින් සිදු වේ. ජලය මගින්, ආහාර මගින්, ශරීරයේ තැවරීමෙන් හා ආග‍්‍රානයෙන් ග්ලයිෆොසෙට් ශරීර ගත වේ. මේ කුමන ආකාරයෙන් ශරීරයට ග්ලයිෆොසෙට් එක් වුව ද ඇති කරන බලපෑම ඉතා ම දරුණු ය.

අපගේ ශරීරයේ ඇති ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය නැතහොත් එන්සයිමයට පොස්පේට් අණුවක් එක් වූ විට ග්ලයිසීන් පොස්පේට් නැතහොත් ගලයිෆොසෙට් සැකසේ්. ඒ අනුව ශරීරයට ග්ලයිෆොසෙට් එක් වූ විට ශරීරයේ දී ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය වෙනුවට ග්ලයිෆොසෙට් ආදේශ වී ඉතා හානි කර බලපෑම් ශරීරයේ ක‍්‍රියාකාරීත්වයට ඇති කරයි. මතක ශක්තිය අඩු වීම හා වකුගඩු ආබාධ ඇති කිරීමට මේ තත්වයන් බලපානු ලැබේ. ග්ලයිෆොසෙට් හා දියවැඩියා රෝගය අතර සම්බන්ධයක් පවතින්නේ අග්න්‍යාශයේ ලැන්ගහෑන් ද්විපිකා ෙසෙල මගින් නිකුත් වන එන්සයිමවල ක‍්‍රියාකාරීත්වය වෙනස් කිරීම හේතුවෙනි. මේ නිසා ශරීරයේ සීනි මට්ටම වෙනස් වී දියවැඩියා රෝගී තත්වයන් ඇති කිරීමට ග්ලයිෆොසෙට් දායක වේ.

ග්ලයිෆොසෙට් ආහාර මාර්ගයට එක් වූ විට අන්ත‍්‍රයේ (බඩවැල්වල) සිටින හිතකර බැක්ටීරියා විනාශ කරන අතර මේ නිසා අහිතකර බැක්ටීරියා වර්ධනය වේගවත් වේ. මේ නිසා ආමපිත්ත රෝගයෙන් පෙළෙන අයට ඉතා ම දරුණු අහිතකර බලපෑම් ඇති වේ.

ඇල්කොහොල් නොවන අක්මා රෝගය නැතහොත් අක්මාව දියවීමේ රෝගය (Lung alcoholic liver deceases) ඇති වීමට ග්ලයිෆොසෙට් ඍජුව ම බලපායි. මේ බව මීයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණ මගින් තහවුරු වී . ජර්මනියේ (Federal Institute for Risk Assesment) ආයතනය මගින් ගල්යිෆොසෙට් රසායනික පිළිබඳ ව කරන ලද අධ්‍යයන මගින් අනාවරණය වී ඇත්තේ පිළිකා ඇති වීමට මෙම රසායනිකය ඍජු ව දායක වන බව ය. ඒ අතුරින් වසාගැටිති ආශ‍්‍රිත ව ඇති වන non-hodkin lymphoma නම් පිළිකා තත්වය ඇති වන අතර ගෙල ප‍්‍රදේශයේ වසාගැටිති ආශ‍්‍රිත ව ඇති වන පිළිකා බහුල ව ගල්යිෆොසෙට් ශරීරගත වීම නිසා සිදු වේ.

යුරෝපා රසායනික ආයතනය(European chemical agency ) විසින් සිදු කරන ලද පර්යේෂණ මගින් සොයාගෙන ඇත්තේ ඇස් ආබාධ ඇති කිරීමට ප‍්‍රබල බලපෑමක් ග්ලයිෆොසෙට් මගින් සිදු කරන බව ය.

2015 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා රෝග පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණායතනය (International Agency for Reseach cencer) විසින් ග්ලයිෆොසෙට් මිනිසාට පිළිකා ඇති කිරීමට හේතුවන රසායනික සංයෝගයක් ලෙසට නම් කරන ලදී. නමුත් මොන්සැන්ටෝ සමාගමෙන් ප‍්‍රතිලාභ ලබන විද්‍යාඥයින්ගේ දැඩි බලපෑම මත එම තත්වය වෙනස් කිරීමට පවා පසුගිය කාලයේ බලපෑම් එල්ල කෙරිණ.

ඇමෙරිකාවේ හා යුරෝපයේ සිදු කරන ලද අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ මව් කිරිවලට ද ග්ලයිෆොසෙට් රසායනිකය එක් වී ඇති බව ය.

එපමණක් නොව ග්ලයිෆොසෙට් ඉතා අවම මාත‍්‍රාවකින් භාවිත කළ ද මිනිසාගේ සමෙහි ෙසෙල මරාදැමීමට සමත් වන බව සොයා ගෙන ඇත. සමේ ෙසෙල තුළ පිහිටි මයිටකොන්ඩි‍්‍රයාවල බිත්තිය ඔක්සිකරණයෙන් බිඳ දැමීමට ග්ලයිෆොසෙට් රසායනිකය උත්පේ‍්‍රරණය කරන බවත් පළුදු වූ සමේ ෙසෙල පිළිකාජනක තත්වයට පත් කිරීමට ග්ලයිෆොසෙට්වලට හැකියාව ඇති බවත් හ`දුනාගෙන ඇත.

සාමාන්‍යයෙන් ග්ලයිෆොසෙට් වල්නාශකය නිර්දේශිත මාත‍්‍රාවෙන් 450 ගුණයක් තරම් තනුක සාන්ද්‍රණයකට මිනිත්තු 20 ක් නිරාවරණය වුවහොත් මිනිස් මුඛයේ ෙසෙලවල වර්ණදේහ හානියට ලක් කරන බව සොයාගෙන ඇත. එපමණක් නොව මෙම රසායනික ආඝ‍්‍රාණය කිරීමෙන් මුඛය තුළ හා ස්වසන පටකවල ෙසෙල තුළ පිහිටන වර්ණදේහ හානියට ලක් කරන බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇත.

අධ්‍යයන කිහිපයකින් අනාවරණය වී ඇත්තේ පාකින්සන් රෝගයට ග්ලයිෆොසෙට් රසායනිකය ඍජු සම්බන්ධයක් ඇති බව ය. ග්ලයිෆොසෙට් රසායනිකයෙන් ඩිපැමිනජික් නම් ස්නායුවල බිඳවැටීම සිදු කර පාකින්සන්් රෝගයට හේතුසාධක ගොඩනැංවෙන බව අනාවරණය වී තිබේ.

බර්ලින්වල ග්ලයිෆොසෙට් සමග ඍජු සම්බන්ධතාවක් නොමැති ජනතාව යොදාගෙන කරන ලද අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ එම ජනතාවගේ මුත‍්‍රාවල ග්ලයිෆොසෙට් රසායනිකය වාර්තා වූ බව ය. ඊට හේතුව ලෙස එම පර්යේෂණයෙන් නිිගමනය කර ඇත්තේ ග්ලයිෆොසෙට් රසායනික තැවැරුණු ආහාර කෑමට ගැනීමෙන් ග්ලයිෆොසෙට් රසායනිකය ශරීරගත වී ඇති බව ය.

හිතාමතා ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ශරීරගත කර ගැනීම හේතුවෙන් වාර්තා වූ සිද්ධීන්ට අනුව ශ‍්‍රී ලංකාවේ 887 දෙනෙකුගෙන් 21 දෙනෙක් මරණයට පත් වී ඇත. ආජන්ටිනියානු වෛද්‍යවරු වාර්තා කරන ආකාරයට ග්ලයිෆොසෙට් වල්නාශකය ට කෙටිකාලීන ව නිරාවරණය වීම නිසා ස්වශනාබාධ, පාචනය, වමනය සහ සම මත කුෂ්ඨ ඇති වීම මෙන් ම දිගුකාලීන ව පිළිකා, ව`දභාවය, ගැබ් ගැනීම් සම්බන්ධ ප‍්‍රශ්න, උපත් ගැටලූ සහ ස්වශන රෝග ඇති වන බව ද හ`දුනාගෙන ඇත.

ආජන්ටිනාවේ චැකෝ ප‍්‍රදේශයේ රජය ප‍්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කර ඇත්තේ කෘෂිකාර්මික ප‍්‍රදේශවල පිළිකා වැළදීම ඉතා ඉහළ මට්ටමක පවතින අතර මෙම ප‍්‍රදේශයේ අනපේක්ෂිත ළමා පිළිකාවල තෙගුණයක පමණ ඉහළ යාමක් වාර්තා වී ඇති බව ය. මෙලෙස වර්ධනය වී ඇති පිළිකා ලෙස ලිවුකේමියා, ලිම්ෆෝමා සහ මස්තිෂ්ක ඉදිමුම හ`දුනාගෙන ඇත. මෙම කෘෂිකාර්මික ප‍්‍රදේශවල ජාන වෙනස් කරන ලද බෝග වගාව පමණක් නොව අධික ලෙස ග්ලයිෆොසෙට් වල්නාශකය භාවිත කිරීම ද සිදු වන බව ස`දහන් කර ඇත. මේ පිළිබ`ද ව රසායනාගාර අධ්‍යයන වලින් පැහැදිලි වී ඇත්තේ ග්ලයිෆොසෙට් රසායනිකය මෙම පිළිකා ඇති වීම සමඟ සෘජු සම්බන්ධතා පවතින බව ය. අජන්ටිනාවේ චාකෝ ප‍්‍රදේශයේ 2000 සිට 2009 කාල පරාසවල දී උපත් ඌනතාවන් ආසන්න වශයෙන් 4 ගුණයකින් ඉහළ යාමට හේතු ලෙස ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි හා වී වගාවට ඉතා විශාල වශයෙන් ග්ලයිෆොසෙට් වල්නාශකය යෙදීම හේතු වී ඇති බව ද සොයාගෙන ඇත.

පැරගුවේ රටෙහි දිගුකාලීන ව ග්ලයිෆොසෙට් භාවිතා කරන ප‍්‍රදේශවල ජනතාවගේ මොළයෙහි විකෘති ඇති වීම, හිස්කබල කුඩා වීම හා හිස් කබලේ විකෘති ඇති වීම සිදු වී තිබෙන බව අනාවරණය වී තිබේ. මේ තත්ත්වයට හේතු ලෙස ගර්භණී සමයේ දී ස්නායු නාල වැසීමට අපොහොසත් වීම බව හ`දුනාගෙන ඇත. මෙම විකෘතිතාවන් ග්ලයිෆොසෙට් ශරීරගත වීමෙන් සිදු වී ඇති අතර ජාන වෙනස් කළ සෝයා බෝංචි වගාවන්ට ග්ලයිෆොසෙට් බහුල ව භාවිත කිරීම ඊට හේතුව බව හ`දුනාගෙන තිබේ.

ග්ලයිෆොසෙට් වලට නිරාවරණය වූ පිිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම 35% කින් අඩු කරන බවත් වෘෂණ කෝෂවල නිර්නාල ග‍්‍රන්ති බිඳ වැටීම මගින් ජීවි ශුක‍්‍රාණු ෙසෙලවල විකෘති වර්ණ දේහ මට්ටම ඉහළ යාමත් සිදු වී ඇති බව සොයාගෙන ඇත.

පසට තදින්් අවශෝෂණය වන ග්ලයිෆොසෙට් රසායනිකය බැර ලෝහ සම`ග සම්බන්ධ වීමේ වැඩි හැකියාවක් පවතින බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

මොන්සැන්ටෝ සමාගම ග්ලයිෆොසෙට් පිළිබ`ද ව ව්‍යාජ වෙළෙද දැන්වීම් පළ කිරීමේ ප‍්‍රතිඵල

ඇමෙරිකාවේ කෘෂිකාර්මික බිම්වල පමණක් නොව ගෙවතුවල බහුල ව භාවිත කරන වල්නාශකයක් ලෙස ග්ලයිෆොසෙට් භාවිතයට ගෙන ඇත්තේ මොන්සැන්ටෝ සමාගම එරට මාධ්‍යවල පළ කළ වෙළෙඳ දැන්වීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ය. 2007 වසර වනවිට ඇමෙරිකාවේ බහුල ව ම භාවිත කරන වල්නාශකය ලෙස ග්ලයිෆොසෙට් පත් විය. මේ නිසා ඇමෙරිකාවේ මෙම රසායනිකට ගොදුරු වූ ගොවීන් බොහෝමයක් පිළිකා ඇතුළු ව රෝග බොහෝමයක් හේතුවෙන් මිය ගොස් තිබේ. එසේ මිය ගිය අයගේ ඥාතීන් විසින් මොන්සැන්ටෝ සමාගමට එරෙහිව නඩු පවරා ඇත්තේ ව්‍යාජ වෙළෙඳ දැන්වීම් පළ කර ගොවි ජනතාව මුලා කර ඔවුන් ව රෝගාබාධ වලට ගොදුරු කර මරණයට පත් කිරීමට මෙම සමාගම වගකිව යුතු බවට අධිකරණය තීන්දු කළ යුතු බව ය. 1996 වසරේ දී ඇමෙරිකාවේ නිව්යෝක් මහාධිකරණයේ විනිසුරුවන් විසින් මොන්සැන්ටෝ සමාගම වැරදි ලෙස ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සැකසීම පිළිබඳ ව දඩ ගැසීම සිදු කර ඇත. මීට අමතර ව බ‍්‍රසීලයේ ද මෙලෙස වැරදි වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරය කර ජනතාව මුලා කර ග්ලයිෆොසෙට් භාවිතයට හුරු කිරීමට එරෙහිව අධිකරණය මොන්සැන්්ටෝ සමාගමට දඩ නියම කර තිබේ. අද වන විට ඇමෙරිකාවේ අධිකරණවල මොන්සැන්ටෝ සමාගමට එරෙහිව ජනතාව විසින් ගොනු කළ නඩු 1000 කට වැඩි ප‍්‍රමාණයක් විභාග වෙමින් පවතී.

2001 වසරේ දී නිත්‍යනුකූල නොවන ලෙස කොලොම්බියානු හා ඉක්වදෝර දේශසීමාවේ කොකෝවා වගා බිම් වලට ගුවනින් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක යෙදීම නැවැත්වීමට කොලොම්බියානු අධිකරණය තහනම් නියෝගයන් නිකුත් කර ඇත. එසේ ම ඊශ‍්‍රායලයේ නිගුව් නම් ප‍්‍රදේශයේ ගොවියන්ගේ බෝග සඳහා ග්ලයිෆොසෙට් භාවිතය 2002 වසරේ දී අධිකරණ නියෝගයක් මගින් තහනම් කර ඇත. ඉන් පසුව 2010 වසරේ දී අරාබි මානව හිමිකම් කණ්ඩායමක් සහ ඊශ‍්‍රායලයේ විද්‍යාඥයින් පිරිසක් පෙන්වා දී ඇත්තේ සත්ව පාලනයේ දී තෘණ භූමි නඩත්තු කිරීම සඳහා යොදන ග්ලයිෆොසෙට් රසායනිකය හේතුවෙන් මිනිස් මරණ, ගබ්සාවීම් හා රෝගි තත්වයට පත් වීම් වර්ධනය වී ඇති බව ය. 2010 වසරේ දී ආජන්ටිනාවේ ප‍්‍රාදේශීය අධිකරණය ෆැන්ටාෆී පළාත තුළ ජනගහනය අධික ප‍්‍රදේශවල ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක යෙදීම තහනම් කර ඇත. 2012 වසරේ දී කායික වෛද්‍යවරුන් 160 දෙනෙකුගෙන් සමන්විත ජාලයක් සෞඛ්‍ය සේවකයන් හා පර්යේෂකයන් පිරිසක් ආජන්ටිනාවේ ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධනාශක වගා බිම් වලට ගුවනින් හෙළීම තහනම් කිරීම සඳහා ඉල්ලීම් කර ඇත. මෙහි දී ඔවුන් ග්ලයිෆොසෙට් ප‍්‍රතිරෝධී ජාන විකරණය කරන ලද සෝයා බෝංචි නිසා පිළිකා ඇති වීම ඉහළ යාම සහ අනෙකුත් රෝගී තත්වයන් පිළිබඳ ව ද සාක්ෂි ඉදිරිපත් කර ඇත.

2012 මැයි මාසයේ දී යුරෝපයේ Pestiside Action Network ආයතනය සහ ග‍්‍රීන්පීස් සංවිධානය විසින් යුරෝපා එකමුතුවෙන් සාමාන්‍ය අධිකරණයේ කොමිසමක් මගින් ග්ලයිෆොසෙට් නැවත ඇගයීම අවුරුදු 3 කින් පමා කිරීමට ලබා දුන් තීරණය අභියෝගයට ලක් කරමින් පැමිණිල්ලක් ගොනු කර ඇත. මෙහි දී ග්ලයිෆොසෙට් භාවිතය හේතුවෙන් මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයන් වලින් අනාවරණය වූ පිළිකාකාරක ගුණය, ජන්මානු ෙසෙලවල වර්ණදේහ වලට සිදු කරන හානිය හා උපත් අවම වීම වැනි සෞඛ්‍ය බලපෑම් ගැන සාක්ෂි නොසළකා හැරීම පිළිබඳ ව ඔවුන්ගේ කනස්සල්ල පළ කර ඇත

.ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කර ඇති රටවල්

මේ වනවිට ලොවපුරා රටවල් ගණනාවක් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය තහනම් කිරීමට හා සීමා කිිරීමට පියවර ගෙන ඇත. යුරෝපා රටක් වන මෝල්ටා ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කර තිබේ. මැදපෙරදිග රටවල් වන සවුදි අරාබිය, කුවෙට්, එක්සත් අරාබි එමිරේට්ස්, කටාර්, බහරේන් හා ඕමාන් යන රටවල් හයෙහි ග්ලයිෆොසෙට් වල්නාශකය භාවිතය තහනම් කර තිබේ. ප‍්‍රංශය ඉදිරි වසර තුන තුළ දී ග්ලයිෆොසෙට් තහනම් කිරීමට පියවර ගැනීමට තීරණය කර ඇත. යුරෝපා පාර්ලිමේන්තුව විසින් යුරෝපා සංගමයට අයත් රටවල් 28 ම ග්ලයිෆොසෙට් භාවිතය ඉදිරි වසර 5 තුළ තහනම් කිරීමටත් ගෙවතුවල භාවිතය තහනම් කිරීමට කඩිනමින් පියවර ගැනීමටත් තීරණය කර තිබේ.

ජර්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මේ වසරේ අපේ‍්‍රල් මාසයේ දී ග්ලයිෆොසෙට් භාවිතය අඩු කිරීම සඳහා වන නියෝග මාලාවක් සකස් කර අවසන් කර තිබේ. බෙල්ජියම, ආජන්ටිනාව, බර්මුඩා, කොලොම්බියාව, නෙදර්ලන්තය, ඉතාලිය, පෘතුගාලය, එල්සැල්වදෝරය වැනි රටවල් ග්ලයිෆොසෙට් භාවිතය සීමා කිරීමට, ගෙවතුවල භාවිතය තහනම් කිරීමට, තෝරාගත් නගරවල හා පොදු ස්ථානවල භාවිතය තහනම් කිරීමට සහ වාණිජ වගාවන් සඳහා පමණක් භාවිත කිරීමට නීති පනවා ඇත.

මේ සියලූ තත්වයන් පාදක කරගෙන ග්ලයිෆොසෙට් තහනම නැවත ගෙන ආ යුතු ය. මේ වනවිට දේශීය සුළු පරිමාණ ගොවි ජනතාව මොන්සැන්ටෝ ඇතුළු බහුජාතික සමාගම්වල වෙළෙඳ මාෆියාවට හසු වී කෘෂි රසායනිකවල දැඩි ගොදුරක් බවට පත් ව සිටී. ඒ හේතුවෙන් අවශ්‍යතාව මත පමණක් නොව පුරුද්දට කෘෂි රසායනික භාවිතා කරන සමාජයක් තත්වයට අද වන විට කෘෂිකර්මාන්තයේ නිරත ජනතාව පත් කර ඇත. මේ නිසා දකුණු ආසියාවේ විශාලත ම වකුගඩු රෝහල ලංකාවේ ස්ථාපිත කිරීමටත්, පිළිකා රෝහල වසරින් වසර පුළුල් කිරීමටත් සිදු ව තිබේ. එපමණක් නොව අද වනවිට අපනයන කෘෂි වෙළෙඳපොළ සීමා වීමට ද අප රටේ සිදු කෙරෙන අධික කෘෂි රසායනික භාවිතය හේතු වී තිබේ. විශේෂයෙන් තේ වගාව සඳහා යොදන අධික කෘෂි රසායනික හේතුවෙන් සමහර රටවල තේ වෙළෙඳපොළ අප රටට අහිමි වීමේ ආසන්න අවස්ථාවක පවතී.

අප රටේ ගොවියා අධික ලෙස කෘෂි රසායනික භාවිතයට ගොදුරු කළ බහුජාතික කෘෂි රසායනික සමාගම් අද වන විට වැඩි දියුණු කළ හා ජාන තාක්‍ෂණයෙන් නිපද වූ බීජ වර්ග අප රට තුළ ස්ථාපිත කරමින් සිටී. මේ නිසා සාම්ප‍්‍රදායික ගොවිතැනේ පැවති ඊළඟ කන්නය සඳහා බීජ ඉතිරි කර ගැනීම වැනි පුරුදු ද නතර වී තිබේ. මේ නිසා අද වන විට සුළු පරිමාණ ගොවි ජනතාවට වගා කිරීම සඳහා අමතර යෙදවුම් විශාල ප‍්‍රමාණයක් වගා බිම් වලට යෙදවීමටත් මේ නිසා ම ප‍්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමටත් නොහැකි වී ඇත.

එපමණක් නොව කෘෂි රසායනික සමාගම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙයවන තත්වයට පරිවර්තනය වී ඇත. ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යාංශයේ සේවකයින් කෘෂි රසායනික සමාගම්වල වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ කෘෂි රසායනික ප‍්‍රචලිත කිරීමේ කාර්යයේ යෙදී සිටී. මෙය සම්පූර්ණ නීති විරෝධී ක‍්‍රියාවකි. නමුත් අද වනවිට අප රට තුළ මෙය සාමාන්‍යකරණය වී ඇත.

මේ නිසා අප අවධාරණය කරන්නේ ග්ලයිෆොසෙට් ඇතුළු ව සියලූ කෘෂි රසායනික අප රට තුළ භාවිතය තහනම් කර මෙරට කෘෂිකර්මාන්තය පාරිසරික ගොවිතැනක් බවට පරිවර්තනය කර සුළු පරිමාණ ගොවි ජනයා ශක්තිමත් කර රටේ ආහාර සුරක්‍ෂිතාව, ආහාර ස්වෛරීභාවය ඇති කර සෞඛ්‍යසම්පන්න පරපුරක් බිහි කිරීමට පියවර ගන්නා ලෙස ය.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
http://lankacnews.com/ 

Tuesday, January 24, 2017

වකුගඩු රෝගය ගැන දැනගත යුතු දෑ - වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර මහතා සමඟ කරන ලද සාකච්ඡාවක්


වර්මානයේ සමාජීය වශයෙන් බරපතල ප්‍රශ්නයක් බවට පත් වී ඇති වකුගඩු රෝගය මේ වන විට උතුරු මැද පළාතේ ප්‍රබලම සෞඛ්‍යමය ගැටළුව බවට පත්වී ඇත.  ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශවලින් රෝගීන් විශාල වශයෙන් හමුවීම තුලින්  මෙම රෝගය  ලංකාවේ අනෙකුත් පළාත් වලද  පැතිරී  පවතින බවද පැහැදිලි වේ.

බටහිර රටවල සිදුවන්නේ මේ රෝගය හදුනාගත් දින සිට වකුගඩු බද්ධ කිරීමට සිදුවන දිනය දක්වා වු කාලය දිර්ඝ කිරීම සදහා ඖෂධ පද්ධති උපයෝගී කර ගැනීමය.මෙහිදී මුත්‍ර පෙරීමේ ප්‍රවණතාවය ( GFR අගය ) ක්‍රමයෙන් අඩුවන අතර අවසානයේ රෝගියා ජිවත් කරවීම සදහා වකුගඩු බද්ධ කිරීම සිදුවේ.මේ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇත.

නමුත් මේ රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට වැය වන්නේ ඉතා සුළු මුදලකි. නමුත් මෙය නිවැරදිව ක්‍රියාත්මක නොවීම තුළ රෝගීන් වැඩි වීම ඉතා කණගාටුදායකය. Scrip Test  නමැති සරල මුත්‍ර පරීක්ෂණයේදී රෝගය හදුනාගන්නට වැය වන්නේ රුපියල් 10 කටත් අඩු මුදලක්. නමුත්ජනතාවගේ නොදැනුවත්කම තුළ මේ සඳහා යොමු නොවීම  මෙම ගැටළුව වැඩිවීමට හේතුවක් වී ඇත.

රෝගියා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයකට පෙර මුල් අවස්ථාවේදීම රෝගය හදුනා ගැනීම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට ඉතා පහසු කාරණයකි . එහෙයින් මෙම රෝගය පැතිරෙන ප්‍රදේශ හා ගොවිතැන් බහුලව සිදුකරන ප්‍රදේශවල නිරෝගී පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම ඉතා වැදගත් . මන්ද යත් රෝගය සාමාන්‍යයෙන් හදුනා ගැනීමට හැකි වන්නේ රෝගය ඇතිවී තුන්වන අවධිය පසුවුවාට පසුව එනම් රෝගියාගේ මුත්‍ර පෙරිම අවම වීම තුලිනි.

වකුගඩු රෝගයෙහි රෝගී ලක්ෂණ ලෙස  වමනය, හිසරදය, අධික මුත්‍ර පහවීම, අධික තෙහෙට්ටුව,  හිසරදය, ඇඟේ දුර්වලකම දැක්විය හැකිය.

රෝගයෙහි තුන්වන අවධියේදී රෝගියාගේ බාහිරව අත්පා ඉදිමීම, අධිරුධිර පීඩනය, ඇනීමියා තත්ත්වය ඇති වීම දක්නට ලැබේ. මෙහිදි හෘදයේ හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය අවමවීම තවත් රෝග ලක්ෂණයකි.

තුන්වන අවදියේ සිට රෝගියාගේ අවසන් මොහොත දක්වා  අවධි 2 ක් පසුකළ යුතුය. 4 වන අවධියේ රුධිර පාරවිලයනය ද අවසන් අවස්ථාවේදී වකුගඩු බද්ධ කිරීමටද සිදු වේ. මේ නිසා රෝගියාට  හා පවුල්වල පුද්ගලයන්ට අධික වැය බරක් මේ සඳහා දරන්නට සිදු වේ.   වැඩි වශයෙන් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ඇත්තේ දරිද්‍රතාවයෙන් පෙලෙන ගොවිතැනෙහි යෙදි සිටින්නන්වීම නිසා බොහෝවිට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට හැකියාව නොලැබේ. මේ නිසා මෙය බරපතල සමාජ ගැටළුවක් බවට පත්වීමට හේතුවක් වී ඇත.

කැඩ්මියම්, ආසනික් , රසදිය වැනි  බැර ලෝහ මෙම රෝගයට හේතු කාරක වී ඇත. භෝග වගාවේදි අධික වශයෙන් කෘමි නාශක භාවිතයwell1 හේතුකොට ගෙන එම කෘමිනාශකවල ඇති අධිසාන්ද්‍රීය බැර ලෝහ පසට එක්වේ. මෙම පසෙහි කරන වගාවන්ට මෙම ද්‍රව්‍ය ඇතුළුවීමත් මිනිසාගේ සිරුරට එම ආහාර මගින් මේ විෂ රසායන ඇතුල්වීමත් සිදුවේ.

එපමණක් නොව මෙම රෝගය පැතිරී යන ප්‍රදේශවල ජලයේ ආස්‍රැත භාවය හේතුකොටගෙන සිරුරට අහිතකර කැල්සියම් ආසනේට් තත්ත්වයක් ඇතිවී එය මෙම බැර ලෝහ හා එක්වී  වකුගඩු අක්‍රිය කරන තත්ත්වයට පත් වේ.

එසේනම් ලංකාව පුරා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන නමුත් එම ප්‍රදේශවල පමණක් වකුගඩු රෝගය ඇතිවන්නේ ඇයිදැයි ඔබට ගැටළුවක් වනු ඇත.  සෑම කෙනෙක්ම ආහාරයට ගන්නේ විෂ රසායන ද්‍රව්‍ය ඇතුල්වු ආහාර වුවද එහි අඩංගු බැර ලෝහ හා ක්‍රියා කර වකුගඩු  අක්‍රිය කරන  ආස්‍රැත ජලය  අනෙක් ප්‍රදේශවල නොමැති වීමයි.

එසේ නම් අප මෙම රෝගය පැතිරියාම වැළැක්වීමට  කළ යුත්තේ කුමක්ද?

මෙහිදී අප පළමුව කළ යුත්තේ රෝගය වැලදීමට පෙර ඉන් ආරක්ෂා වීමට කටයුතු කිරීමයි .රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතරව නිරෝගී පුද්ගලයන් මේ පිළිබදව දැනුවත් කිරීම ඉතා වැදගත්.මෙහිදී රෝගය වැළදෙන කණ්ඩායම පිළිබඳව කරන ලද සමීක්ෂණ වලදී  අවුරුදු 20 ට අඩු රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින අතර වැඩිපුරම  රෝගය වැලදී ඇත්තේ අවුරුදු  35- 45 ත් අතර පුද්ගලයින්ට බව හදුනා ගෙන ඇත.  එහෙයින්  අවුරුදු 20 ට අඩු අය දැනුවත් කිරීම තුලින් අනාගතයේදී මෙම රෝගය ව්‍යාප්ත වීම් වලක්වා ගැනිමට හැකිවනු ඇත.

කෘමි නාශක භාවිතයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා නොකිරීම, කෘමිනාශක වැඩිපුර වැව්වලට එකතුවීම .එම වැව් ජලය ජනතාව පානය කිරිම,  මෙම රෝගය පැතිරීමට එක් හේතුවක් ලෙස සැලකිය හැකිය. මේ නිසා පිරිසිදු ජලය පාවිච්චි කිරිම ඉතා වැදගත්. එමෙන්ම රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශවලට මෙම බැර ලෝහ වලින් තොර ජලය ලබා දීම තුලින් මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට විශාල රුකුලක් වනු ඇත.

kidneyඑමෙන්ම වැව් ආශ්‍රිතව පවතින ජලජ ශාකයන් භාවිතයට ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. ජලය ආශ්‍රිතව වැවෙන නෙළුම්, කොහිල වැනි ශාකයන්ගේ අල වර්ග වල  මෙම බැර ලෝහ එක් වීමේ ප්‍රවනතාවය වැඩිය.  වියලි කාලයේදී වැව්වල ජලයේ ප්‍රමාණය අඩුවන හෙයින් එහි කෘෂි රසායනික සාන්ද්‍රණය වැ
ඩි වේ.

මීට අමතරව වැව් මාළු භාවිතයේදී මාළුන්ගේ කොරපොතු ඉතා හොදින් ඉවත් කර සෝදා භාවිතයට ගත යුතුය. මන්ද යත් ජලයෙහි ඇති රසායන ද්‍රව්‍ය මාළු කොරපොතු වල රැදෙන හෙයිනි.



අතීතයේදී අපේ පැරැන්නන් ජලය පිරිසිදු කරගැනීම සදහා නොයෙක් ක්‍රමවේදයන් භාවිතා කලද වර්තමාන සමාජයෙහි පවතින කාර්යබහුල ජීවන රටාව සමඟ එම ක්‍රමවේදයන් භාවිතා කිරීමට හැකියාවක් නොමැත. අද ඒ වෙනුවට ෆිල්ටර් භාවිතයට යොමුවී ඇත. සෑම ෆිල්ටරයකින්ම බැර ලෝහ පෙරීම සිදු නොවන හෙයින් බැර ලෝහ පෙරීමට හැකි  ෆිල්ටර්  පමණක් භාවිතයට ගැනීමට අප වගබලා ගත යුතුය. එමෙන්ම ඇළුමිනියම් භාජන වල ජලය පිරවිම හෝ ආහාර පිසීමෙන් වැලකීමෙන් රෝගී තත්ත්වයන් අවම කර ගැනීමට හැකි වේ. ඒ ජලයෙහි ඇති ආම්ලිකතාවය ඇළුමිනියම් සමඟ ක්‍රියාකිරීමෙන් ශරීරයට අහිතකර සංගටක නිපදවන හෙයිනි.  මැටි භාජන භාවිතා කිරීම තුලින් මෙය වළකා ගතහැකි වේ.   

බොහෝ විට වගාවන් වලදී වල් මර්ධනය,කෘමි පාලනය, නයිට්‍රජන් ඌනතාවය හා අධි අස්වැන්නක් සදහා  කෘෂි රසායන භාවිතය අත්‍යාවශ්‍ය  සාධකයක් බවට පත්වී ඇත. නමුත් කාබනික පොහොර හා පැරණි ක්‍රම භාවිත කරමින් ඉහත සාධක සියල්ල සපුරාලමින් වී  හා වෙනත් බෝග වර්ග  වගා කිරීමට බොහෝ ගොවීන් අද යොමුවී ඇති අතර එයින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව පෙනේ.   සුවදැල්, පච්චපෙරුමාල් වැනි වී වර්ග කාබනික පොහොර භාවිතකර වගා කිරීමෙන් කෙටි කාලයකින් අස්වැන්න ලබා ගැනීමට හැකි වී ඇත. මෙහිදීpachcha සිරුරට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඉතා හොදින් මෙම වී උපයෝගී කරගෙන ජනතාවට ලබා දීම තුලින් නිරෝගී ජනතාවක් සදහා අවශ්‍ය පරිසරය සැලසෙනු ඇත.

සාමාන්‍යයෙන් සිරුරට අවශ්‍ය වන ආසනික් ප්‍රමාණය ලීටරයකට මයික්‍රො ග්‍රෑම් 10 කි. නමුත් අද වෙළඳ පොලේ ඇති කෘෂි රසායන ද්‍රව්‍ය වල ලීටරයක මයික්‍රො ග්‍රෑම් 200 - 1500 දක්වා පරාසයක ආසනික් අඩංගුය. මෙම රසායන ද්‍රව්‍ය උපයෝගී කරගෙන වගා කිරීම තුල සහල් කි.ග්‍රෑම් 1කට මයික්‍රො ග්‍රෑම් 200 - 1000 දක්වා ඇතුල් වේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුව ආසනික්  පැවතිය යුත්තේ කි.ග්‍රෑම් 1 කට මයික්‍රො ග්‍රෑම් 150 ක් පමණී.

2012 දී කරන ලද සමීක්ෂණයකට අනුව  වකුගඩු රෝගයට ගොදුරුවී ඇති සංඛ්‍යාව  30000 ක් පමණ වෙතැයි ගණන් බලා ඇති අතර මේ වන විට දිනකට වකුගඩු රෝගීන් 13 ක් පමණ මිය යන බව වාර්තාවී ඇත. උතුරු මැද පළාතේ පමණක් දිනකට මියයන සංඛ්‍යාව 4 කි.  උතුරු මැද පළාතේ රෝගී ප්‍රතිශතය සලකා බලන විට එය 2000 - 2% , 2004 - 4%, 2008- 8%  , 2012- 16%  ක්  ලෙස වැඩි වෙමින් පවතී.

එසේනම් මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා  පැවතිය යුතු ආකාරය පිළිබඳ ආයුර්වේදය මෙසේ දක්වයි. අන්නාසි, අච්චාරු, බලමාළු, කකුළුවන්, දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින ලෙසද ඒවා ආහාරයට ගැනීමෙන් මුත්‍ර ප්‍රදාහය ඇතිවීමට හැකියාව ඇති බවද දේශිය වෛද්‍ය ක්‍රමයේදී පෙන්වා දේ. පොල්පලා , නීරමුල්ලිය වැනි ඖෂධීය ශාක තම්බා බීමෙන් මුත්‍ර ප්‍රදාහය වළක්වා ගත හැක.එසේම දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුලින් වකුගඩු රෝගය ඉතා හොදින් පාලනය කරගැනීමට හැකියාව ඇති බවද ඔප්පුකර ඇත.
ක්ෂණික ආහාර වල ඇති E කාණ්ඩයට අයත් රසකාරක වකුගඩු ආශ්‍රිත රෝග හා පිළිකා ඇතිකිරීමට හේතුවන හෙයින් එම ආහාර ගැනීමෙන් වැලකී සිටිම තුලින් මෙම රෝග හට ගැනීමේ ඉඩකඩ අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එසේනම් හෙට දවසේ කාලීන වකුගඩු රෝගය අප රටින් තුරන් කිරීමට අප සැවොම එක්ව කටයුතු කල යුතුය. ඒ සඳහා  රෝගය පැතිර යන ප්‍රදේශවලට පිරිසිදු ජලය ලබා දීමට පියවර ගැනීම, විෂ රසායන ද්‍රව්‍ය වලින් තොර  ආහාර භෝග වගා කිරීමට අවශ්‍ය සහාය ලබා දීම රජයේ වගකීම වන අතර  මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත්  කිරීම අපගේ යුතුකම වන්නේය.  


බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරින් සකස් කලේ -අමිතා  ප්‍රසන්ති
උපුටා ගැනීම - news.lk වෙබ් අඩවිය, 2015-08-03

Tuesday, September 1, 2015

ගොවි බිම්වල රසායනික පොහොර විෂ නැසීමට ජීව අගුරු

ගොවි බිම්වල රසායනික පොහොර විෂ නැසීමට ජීව අගුරුකෘෂි රසායන, පලිබෝධ නශක යෙදීමෙන් විනාශ වූ කුඹුරු ඇතුළු ගොවිබිම් වල ඇති විෂ නැසීමට ජීව අගුරු යොදා ගත හැකි බව සබරගමුව සරසවියේ කථිකාචාර්යවරයකු වන ආචාර්ය පී.අයි. යාපා මහතා පවසයි.
ජීව අගුරු යනු නිර්වායු තත්වයක් යටතේ (ඔක්සිජන් රහිතව) දර හෝ ශාක පත‍්‍ර පුළුස්සා ලබා ගන්නා අගුරුවේ.  අළු බවට පත් විමට පෙර ලබා ගන්නා අගුරු දැමීමෙන් පරිසරයේ ඇති බැරලෝහ එම අගුරුවලට උරාගන්නා බව මේ වන විට පර්යේෂණ මගින් ඔප්පු වී ඇතැයි ආචාර්ය යාපා පැවසීය.
දැනටමත් හානි වී ඇති ගොවි බිම්වලට ඉක්මණින් කාබන් යොදිය යුතු යැයි රජයට යෝජනා කළ බවත්, ශ‍්‍රී ලංකා රතු කුරුස සංගමය සමග එක්ව රජයට ඉදිරිපත් කිරීම සඳහා පුළුල් වාර්තාවක් සකස් කළ අතර අද හෙටම එය භාරදෙන බවත් ආචාර්යවරයා සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කුඹුරු ගොවිහු 300කට අධික පිරිසක් මේ වන විටත් ජීව අගුරු තම කුඹුරුවලට යොදන අතර ඔවුන්ගේ කුඹුරු මේ වන විට විස රහිත පරිසර හිතකාමී තත්වයට පත්ව ඇති බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

October 21, 2013 at 11:03 am | lanka C news

අපේ විද්වතුන් බ‍්‍රසීලයටත් උගන්වයි.. මොන්සැන්ටෝ රවුන්ඩ්-අප් තහනම් කරයි

අපේ විද්වතුන් බ‍්‍රසීලයටත් උගන්වයි.. මොන්සැන්ටෝ රවුන්ඩ්-අප් තහනම් කරයිග්ලිපොසෙට් රසායනය අඩංගු රවුන්ඩ් අප් ඇතුළු තවත් කෘෂි රසායන කිහිපයක් තහනම් කිරීමට බ්‍රසීලය සැරසෙන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත.
රවුන්ඩ් අප් තහනම් කිරීමට යෝජනා වී ඇත්තේ ශ්‍රී ලාංකික විද්වතුන් පිරිසක් සිදු කල පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස ද දක්වා ඇත.
බ්‍රසීලය යනු රවුන්ඩ් අප් රසායනය ලොව දෙවනියට වැඩියෙන්ම භාවිතා කරන රටයි.
මේ සම්බන්ධයෙන් සිදු කල විමසීමක දී රවුන්ඩ් අප් පිළිබද පර්යේෂණය සිදු කල කණ්ඩායමේ වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ තමන්ගේ පර්යේෂණයේ  ප්‍රතිපල පිළිබද එරට පලිබෝධ නාශක අධිකාරිය තමන්ගෙන් විමසීමක් කල බවත් මේ වන විට ලැබී ඇති ප්‍රතිපල පිලිබඳ විද්‍යාත්මක වාර්තාවක් බ්‍රසීල විද්‍යාඥයන්ට ලබා  දුන් බවත්ය.
කෙසේ වෙතත් ලංකාවේ පලිභෝධනාශක රෙජිස්ටාර්වරයාවරයා හෝ කිසිවකුත් තමන්ගෙන් එවැනි ඉල්ලීමක් වත් නොකළ බවත් ඒ වෙනුවට ඔහු තම කණ්ඩායම කල්පිතයක් පමණක් ඉදිරිපත් කර ඇති බව පවසමින් පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් පැවසීය.

උපුටා ගැනිම -  April 2, 2014 at 9:08 am | lanka C news

වල් නාශක වහාම තහනම් කරයි

මහ පින්කමට ජනපති අණ දෙයි.. වල් නාශක වහාම තහනම්
රජරට ප‍්‍රදේශය මූලිකව රට පුරා පැතිර යමින් ඇති වකුගඩු රෝගයට හේතු වන බවට ඔප්පු වී ඇති අඩංගු වල්නාශක වර්ග කිහිපයක් වහාම තහනම් කර ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇත.
පර්යේෂකයින් අනාවරණ කරන ලද තොරතුරු කෙරෙහි අවධානය යොමු කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයාට සහ කෘෂි රසායන පාලන අංශ වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස උපදෙස් ලබාදී තිබේ.
රට පුරා වේගයෙන් පැතිරී යන වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා කඩිනමින් ගත යුතු කි‍්‍රයාමාර්ග රැසක් දේශිය පර්යේෂකයින් විසින් ජනාධිපතිවරයා වෙත භාර දී තිබින.
ජනාධිපති තුමන්ගේ මේ තීරණය සම්බන්ධයෙන් ප‍්‍රසාදය පල කරන බව මේ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සඳහා මහත් දායකත්වයක් ලබා දුන් රජරට විශ්විවද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය, වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

උපුටා ගැනීම - February 27, 2014 at 1:26 pm | lanka C news

http://lankacnews.com/sinhala/main-news/111069/

නාථ දෙවියන්ගේ ආසනික් පරීක්‍ෂණය කැලිෆෝනියාවේ විශිෂ්ඨතම පරීක්‍ෂණය සම්මානයෙන් පිදේ

නාථ දෙවියන්ගේ ආසනික් පරීක්‍ෂණය කැලිෆෝනියාවේ විශිෂ්ඨතම පරීක්‍ෂණය සම්මානයෙන් පිදේ
ලංකාවේ පළාත් ගණනාවක පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට්-පුර්ණ වල් නාශකය ඍජුව සම්බන්ධ බව හෙළි කළ පර්යේෂණය 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත.
එම විශ්ව විද්‍යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු වන වෛද්‍ය සරත් ගුණතිලක මහතා සහ රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් මෙම පර්යේෂණයට සහභාගී වුහ.
ලොව කෘෂි රසායන දැවැන්තයකු වන මොන්සැන්ටෝ සමාගම නිපද වන ග්ලයිපොසේට් පිලිබඳ මෙම හෙළි කිරීම අන්තර්ජාතික ජනමාධ්‍ය සහ විද්‍යාඥයන්ගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත් මෙම කරුණ යටපත් කිරීමට ශ්‍රී ලංකාවේ කෘෂි රසායන මාෆියාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පලිබෝධනාශක තාක්ෂණික කමිටුව සහ මුදලට විකුනුණු විශ්ව විද්‍යාල ආචාර්යවරු කිහිප දෙනකු ප්‍රබල උත්සාහයක නිරත විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය ගුණතිලක මහතා පැවසුවේ තමන් කෘෂිකාර්මික වකුගඩු රෝගය සම්බන්ධයෙන් ඉදිරිපත් කලේ කල්පිතයක් පමණක් ද ඒ සදහා අවශ්‍ය විද්‍යාත්මක සාධක සතුව තිබේ ද යන්න පිළිබඳව මේ ගැන ප්‍රකාශ නිකුත් කල කිසිවකු විමසීමක්වත් නොකළ බවත්, හුදුකල්පිතවලට පමණක් හොදම පර්යේෂණය ලෙස සම්මාන ලැබෙන්නේ නැති බව මේ අය දැන ගත යුතු බවත්ය.
මෙම පර්යේෂණයට දායක වීම නිසා ලංකාවේ කෘෂි රසායන මාෆියාවේ සහ ඔවුන්ට සිය ආත්මය පාවා දුන් ඊනියා උගතුන්ගේ යටිකුට්ටු කුමන්ත්‍රණවලට ලක්වීමට ඇමෙරිකාවේ සිටිය ද තමන්ට සිදුව ඇති බව හෙතෙම සම්මානය බර ගනිමින් පැවත් වූ කතාවේ දී හෙතෙම පැවසීය.
**
මේ සම්බන්දයෙන් අදහස් දැක්වීම සඳහා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කල රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා සඳහන් කලේ ශ‍්‍රී ලංකාවේ ශීඝ‍්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගයට ප‍්‍රධානතම හේතුව කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය බවට කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලය මගින් සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බවයි.
කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක, රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් කළ මෙම පර්යේෂණයේදී පූර්ණ වල් නාශකවල අඩංගු ග්ලයිපොසේට්, ආසනික් සහ බැර ලෝහ සහ කිවුල් ජලයේ එකතුවෙන් කෘෂිකාර්මික වකුගඩු රෝගය හට ගන්නා බව හෙළි වී ඇතැයි ද මහාචාර්යවරයා කිය.
ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳව 2013 වසරේ සිදු කළ මෙම පර්යේෂණයට කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් විශිෂ්ඨතා සම්මානයක් හිමි වී තිබෙන බවද ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මේ වන විට දිවයිනේ වකුගඩු රෝගීන් 78,775 ක් හදුනාගෙන ඇතැයි ද, එයින් 16,275 ක්ම මෑතකදී සොයා ගෙන ඇතැයි ද සඳහන් කළේය.
මෙම කෘෂි රසායන භාවිතය හේතුවෙන් රජරට ප‍්‍රදේශයේ වකුගඩු රෝගයට අමතරව පිළිකා හා රක්තහීනතාවය වැනි රෝගාබාධ පවා දරුණු ලෙස වැඩි වී ඇතැයි ද ඔහු හෙළි කළේය.
ලොව කෘෂි රසායන දැවැන්තයෙකු විසින් නිපද වූ ලෝකයේ හොඳම වල් නාශකය ලෙස ප‍්‍රචාරණය සිදු කරන ග්ලයිපොසේට් පූර්ණ වල් නාශකය කෘෂිකාර්මික වකුගඩු රෝගයට සම්බන්ධ බවට කරුණු හෙළිවීමෙන් පසු මෙම නවතම පර්යේෂණයට විවිධ බලපෑම් හා චෝදනා එල්ල වන්නට පටන්ගෙන ඇතැයිද හෙතෙම කියා සිටියේය.
මෙම කරුණ වසන් කිරීමට හා නිවැරදි නොවන බව පැවසීමට මෙරට හා පිටරට ජනමාධ්‍ය ඔස්සේ පෙත්සම් ව්‍යාපාර මගින් ව්‍යාජ කරුණු එළිදක්වන්නටත්, මෙම පර්යේෂණය හුදු හිතළුවක් කල්පිතයක් බව හුවා දක්වන්නටත් වූ බවද ඔහු කීවේය.
කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලය සිදු කළ මෙම නවතම පර්යේෂණයට සහභාගි වූ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන (වකුගඩු රෝග පර්යේෂක* මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසිය.
‘මාස 3 ක් තිස්සේ සිදු කළ මෙම පර්යේෂණයෙන් වකුගඩු රෝගයට ප‍්‍රධානම හේතුව කෘෂි රසායන භාවිතය බවට නැවත වතාවක් සනාථ කර තිබෙනවා.
මෙහිදී පර්යේෂණය සිදු කළ මහාචාර්ය සරත් ගුණතිලක මහතාට මේ පිටුපස සිටින විවිධ පාර්ශවයන්ගෙන් බරපතල ගණයේ තර්ජන බලපෑම් එල්ල වී තිබෙනවා. කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයට පවා ශ‍්‍රී ලාංකිකයන්ගෙන් තර්ජන බලපෑම් එල්ල වෙලා.
රෝගීන්ගේ මුත‍්‍රාවල හා පානීය ජලයේ ග්ලයිපොසේට් පූර්ණ වල් නාශකය අඩංගු වී ඇති බව මෙම පර්යේෂණයෙන් ඔප්පු වුණා. ඒ බව ඇමෙරිකාවේ වෙබ් අඩවියක් පවා ප‍්‍රචාරය කර තිබෙනවා.channa-news
මේ රටේ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා ලෝකයෙන් ලැබුණු ඉහළම සම්මානය ලෙස මෙය සැලකිය හැකියි.
වකුගඩු රෝගය බහුලව පැතිර යන රජරට ප‍්‍රදේශයේ ජනතාව මෙම ව්‍යසනයෙන් බේරා ගැනීම සඳහා ග්ලයිපොසේට් පූර්ණ වල් නාශකය මෙම ප‍්‍රදේශවල භාවිතය අවම කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාරය ලැබුණත්, විද්වත්හු යැයි කියා ගන්නා පිරිසක් නිසා ඒ වෑයම අසාර්ථක වුණා.
මෙම පර්යේෂණය සඳහා ලැබුණු විශිෂ්ඨතා සම්මානය පිළිබඳව මෙතෙක් මෙහිදී කිසිදු ඇගයීමක් කර නැහැ. සිනමා පටයකට සම්මානයක් ලැබුණා නම් මාධ්‍යවලින් ඉහළම ප‍්‍රතිචාරයක් ලැබෙනවා. මේ රටේ ජාතික ව්‍යසනයක් පිළිබඳව කරන ලද පර්යේෂණයකට මෙවැනි අන්දමින් සැලකීම ගැන කණගාටු වෙනවා.
මේ වන විට දිවයිනේ 1/3 ක ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වෙලා. අලූතින්ම වාර්තා වන ප‍්‍රදේශ අතර ගිරාදුරුකෝට්ටේ, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ශ‍්‍රීපුර, විල්ගමුව, හෙට්ටිපොල, නිකවැරටිය, මහව, යාපහුව, ලූණුගම්වෙහෙර, තිස්සමහාරාමය, මොණරාගල, වැල්ලවාය, බුත්තල හැඳින්විය හැකියි’

උපුටා ගැනිම - April 24, 2014 at 12:01 am | lanka C news

http://lankacnews.com/sinhala/main-news/114373/

cali-03cali-04

රට පුරා වකුගඩු රෝගීන් ලක්ෂය පනී.

රට පුරා වකුගඩු රෝගීන් ලක්ෂය පනී..මෙරට උතුරු මැද පළාත හා කුරුණෑගල හම්බන්තොට දිස්ත‍්‍රික්ක තුළින් වාර්තා වූ වකුගඩු රෝගය, වවුනියාව, මොනරාගල සහ මාතලේ දිස්ත‍්‍රික්කවලටද පැතිර ගොස් තිබෙන බවත්, වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට ලක්ෂය ඉක්මවා තිබෙන බවත් වකුගඩු රෝගය පිළිබද දේශීය පර්යේෂණ කණ්ඩායමේ සාමාජික රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවලට අනුව උතුරු මැද පළාත තුළ සහ කුරුණෑගල, හම්බන්තොට දිස්ත‍්‍රික්කවල වකුගඩු රෝගීන් 69,500ක් වාර්තා වන බව පෙන්වා දී ඇතැයිද ඔහු පවසා සිටියේය.
එහෙත් මේ වනවිට වවුනියාව දිස්ත‍්‍රික්කයේ වවුනියාව දකුණු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් සහ මාතලේ, මොනරාගල දිස්ත‍්‍රික්කය තුළින්ද වකුගඩු රෝගීන් වාර්තා වන බවත්, මේ අනුව මේ වනවිට වකුගඩු රෝගීන්ගේ ප‍්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන බවත් වෛද්‍ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.
වකුගඩු රෝගියෙකු ලෙස හදුනාගැනීමට හැකිවන්නේ වකුගඩු දෙකම 60% කට ආසන්න ප‍්‍රමාණයක් අකර්මණ්‍ය වූ පසු බවත්, මේ නිසා වකුගඩු රෝග වැලදීමේ අවදානමට විශාල පිරිසක් පත්ව ඇතැයි වාර්තා වන බවත් ඒ මහතා පවසා සිටියේය.

උපුටා ගැනීම -

September 18, 2014 at 8:35 am | lanka C news

වකුගඩු ලෙඩේ හැදෙන හැටි අපේ අය ලොවටම කියයි.

වකුගඩු ලෙඩේ හැදෙන හැටි අපේ අය ලොවටම කියයි…විසි වසරකට ආසන්න කාලයක්  ශ්‍රී ලංකාවේ ,ඉන්දියාවේ සහ මධ්‍යම ඇමරිකානු කලාපයේ ගොවි ජනතාව අතර පැතිර ගිය අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය සොයා ගැනීමට ශ්‍රී ලංකික  විද්‍යාඥයන්ට හැකි වී ඇත.
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆොර්නියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය සරත් ගුණතිලක සහ ප්‍රියන්තා සේනානායක මහත්මිය එක්ව මෙම සොයා ගැනීම සිදු කර ඇත. රෝගය පැතිර යන ප්‍රදේශවල බහුලව භාවිතා කරන පුර්ණ වල නාශකය (ග්ලයිපොසේට්) , කෘෂි රසායන ද්‍රව්‍ය මගින් එක්  වන ආසනික් සහ බැර ලෝහ, කිවුල වැඩි භූගත ජලය සමග එක්  වීමෙන් ඇති වන සංයෝගයක් හේතුවෙන් මෙම රෝගය ඇති වන බව ඔවුන් පැහැදිලි කර ඇත.kidn-02
මේ සම්බන්ධ ජාත්‍යන්තර විද්‍යා ප්‍රකාශනය ස්විට්සර්ලන්තයේ පලවන International journal of Environmental Research and Public Health සගරාවේ පල වී ඇත. මනුෂ්‍ය ශරීරයේ ඇතිවන රෝගාබාධයක් පිළිබද ශ්‍රී ලාංකිකයකු සිදු කල පැහැදිලි කිරීමක් අන්තර්ජාතිකව පිලි ගත් විද්‍යා සගරාවක පල වන පළමු අවස්ථාව ද මෙය වේ.
ශ්‍රී ලාංකික  විද්‍යාඥයන් සිදු කල මෙම සොයා ගැනීම පිලිබදව ලෝකයේ කෘෂිකාර්මික වකුගඩු රෝගීන් වැඩිම පිරිසක් සිටින රට වන මධ්‍යම  ඇමරිකාවේ  එල් සැල්වදෝර   සෞඛ්‍ය ඇමතිතුමිය සිය රටේ සුබ පැතුම් මේ වන විටත් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දන්වා  ඒවා ඇත.
එම පර්යේෂණ පත්‍රිකාව සදහා යොමු – 01 02 03 04

උපුටා ගැනීම -

February 21, 2014 at 8:50 am | lanka C news

Saturday, August 22, 2015

මොන්සැන්ටෝ ‘ග්ලයිපොසේට්’ රජරට වකුගඩු රෝගයට මුලයි

මොන්සැන්ටෝ ‘ග්ලයිපොසේට්’ රජරට වකුගඩු රෝගයට මුලයි‘ග්ලයිපොසේට්’ නමැති ගොවිතැනට පස  සැකසීමේදී බහුලව යොදාගන්නා රසායනිකය කිවුල් ජලය  ඇති ප‍්‍රදේශවල භාවිතා කිරීම කෘෂිකාර්මික වකුගඩු රෝගය ඇතිවීමට ප‍්‍රධාන හේතුවක් බව මේ වන විට සොයාගෙන ඇතැයි වකුගඩු රෝග පිළිබද පර්යේෂණ කණ්ඩායමේ වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
1964 දී මෙම රසායනය ලියාපදිංචි කළ ආයතනය මෙම රසායනිකය යොදාගෙන ඇත්තේ නාන කාමර වල කිවුල ඉවත් කිරීමට බවත් පසුව ඇමෙරිකාවේ මොන්සැන්වෝ  සමාගම 1970 දී එය වල්නාශකයක් ලෙස  ලියාපදිංචි කර ඇති බවත් හෙළි වී ඇතැයි චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවසීය.
කිවුල් ජලය ඇති ප‍්‍රදේශ වල කිවුල සමග ආසනික් හා බැර ලෝහ රදවා ගැනීමේ හැකියාව ඇති මෙම රසායනිකය යෙදීම හේතුවෙන් ආසනික් ඇතුළු බැරලෝහ වකුගඩු කරා ගෙන යන වාහකයා ලෙස මෙම ‘ග්ලයිපොසේට්’  රසායනිකය ක‍්‍රියා කරන බව දකුණු කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලය සමග එක්ව කළ පරීක්ෂණයකදී හෙළිවී යැයි ද වෛද්‍ය ජයසුමන මහතා ප‍්‍රකාශ කළේය.
මොන්සැන්ටෝ සමාගම මෙම රසායනිකය අලෙවි කිරීමේදී කිවුල් ජලය ඇති ප‍්‍රදේශවලට නොයොදන්නැයි කිසිවිටෙකත් කිසිදු රටක දැනුවත් කර නැතැයි ක ඒ මහතා මෙම රසායනිකය භාවිතා කළ ඉන්දියාවේ ආන්ද්‍රා හා  ඕරිස්සා ප‍්‍රාන්ත ද මධ්‍යම ඇමෙරිකානු රටවල් 5කද මෙ ආකාරයෙන්ම වකුගඩු රෝගය පැතිරී යන බව ද සදහන් කළේය.
2012 වසරේ පමණක් ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායනික වර්ග කිලෝග‍්‍රෑම් පනස්තුන් ලක්ෂයක් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර මෙයින් බහුතරය වන්නේ කෘෂිකාර්මික ප‍්‍රදේශ වූ රජරට ප‍්‍රදේශයේ බවත් එහි කිවුල සමග එක්වන එම රසායනිකය ජනතාවට වකුගඩු රෝග ගෙන එන බවත් ජයසුමන මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේය.

උපුටා ගැනීම - February 9, 2014 at 4:05 am | lanka C news
round-up