Tuesday, May 22, 2018

ලෝක ජෛව විවිධත්ව දිනය - 2018 මැයි 22


ලෝක ජෛව විවිධත්ව දිනය අද (22)ට යෙදී තිබේ. පෘථිවිය තුළ ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතය. ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්, ශාක හා සතුන්ගේ විවිධත්වයයි.

ජෛව විවිධත්වය යන්නට එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වන්නේ, "ජෛව විවිධත්වය යනු 'භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි'. තව ද, 'ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය වේ" යන්නයි.

එය තව දුරටත් පැහැදිලි කළහොත්, ජීවීන් සතුව ඇති අපරිමිත විවිධාත්මකභාවය ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වයි. නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්, ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය, පරිසර පද්ධතිවල විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙස හදුනාගත හැකිය.

ජෛව විවිධත්ව දිනය ප්‍රකාශයට පත් කර අදට වර්ෂ 25ක් සම්පූර්ණ වී ඇත. ජෛව විවිධත්ව දිනය සම්බන්ධයෙන් තොරතුරු සොයන්නන්ගේ පහසුව පිණිස  මෙම සමුළුවට සහභාගි වූ රිසර හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුනිල් සරත් පෙරේරා  මහතා විසින්  2018 ජගත් ජෛව විවිධත්ව දිනය වෙනුවෙන් සිළුමිණ පුවත්පතට ඉදිරිපත් කරන ලද ලිපිය පහතින් උපටා දක්වා ඇත. 

ජෛව විවිධත්ව දිනය මැයි මස 22 දිනට යෙදී ඇත. මෙවර ජෛව විවිධත්ව දින මුඛ්‍ය තේමා පාඨය වී ඇත්තේ ‘මිහිමත ජීවය සුරකිමු’ ‘SAFEGUARDING LIFE ON EARTH’ ‘25 වසරක අත්දැකීම් බෙදා ගනිමු’ ‘LET’S SHARE OUR 25 YEARS EXPERIENCES’ යන්නයි. ජාතියක් වශයෙන්ද අමාත්‍යාංශයක් වශයෙන්ද ප්‍රායෝගිකව අප ලත් අත්දැකීම් සමුදාය සමාලෝචනයට හා සංකථනයට පාත්‍ර කිරීම ඓතිහාසික වශයෙන් වැදගත් වන්නක් ලෙස සලකයි. එමෙන්ම ඉදිරි ජෛව විද්‍යාත්මක ප්‍රතිපත්ති හා උපායමාර්ග සකසාගන්නා සැලසුම් සම්පාදකයාටද එය ප්‍රයෝජනවත් වන්නකි.

ඓතිහාසික මිහිතල සමුළුව UNITED NATIONS CONFERENCE ON ENVIRONMENT AND DEVELOPMENT 1992 ජූනි මස 03 දින සිට 14 දින දක්වා රියෝ ද ජැනෙයිරෝ නුවරදී පැවැත්විණි. රියෝ සමුළු අවස්ථාවේ අස්සන් කළ සම්මුති හා සන්ධාන අතර ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියද වෙසෙසි අවධානයට පාත්‍ර වූවකි.

එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ රියෝ සමුළුවට ශ්‍රී ලංකාව පිළිබඳ ජාතික වාර්තාව හා ජෛව විවිධත්වය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු වගකීම් රාශියක් පැවැරුණේ 1990 වර්ෂයේ අභිනවයෙන් ආරම්භ කළ පාරිසරික හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට ය.

මේ සඳහා පළමු පරිසර ඇමැතිවරයා වූ ඇම්. වින්සන්ට් පෙරේරා මැතිතුමා ලබා දුන් නායකත්වය හා අමාත්‍යාංශ නිලධාරීන් දැක්වූ කැප කිරීම හා බුද්ධිමය නායකත්වය පිළිබඳ මතක සටහනක් තැබීමට මෙය අවස්ථාව කරගනිමි. පළමු පරිසර හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වූයේ පරිණත පරිපාලන නිලධාරියකු වූ නීල් ප්‍රනාන්දු මහතාය. එතුමා රාජ්‍ය පරිපානයට අදාළ ග්‍රන්ථ කීපයක්ම ලියා තිබේ. ජගත් මහා සමුළුවක් ඉදිරියේ තබාගෙන එතුමා දැමූ ඥානාන්විත අඩිතාලම වෙසෙසින් සඳහන් කළ යුත්තකි. ආචාර්ය ගාමිණී කොරයා වැනි වියතුන්ගේ සහාය මේ සඳහා එතුමා ලබාගත හැකි විය. ‘ධරණීය සංවර්ධනය’ පිළිබඳ ගාමිණි කොරයා ඉදිරිපත් කළ ලෝක බුද්ධිමතුන්ගේ අවධානයට පාත්‍ර වූ ආන්දෝලනාත්මක මතිමතාන්තර මවිසින් සංස්කරණය කළ ‘සොබා’ පරිසර සඟරාවට ඇතුළත් කළේ නීල් ප්‍රනාන්දු මහතා සහ ආචාර්ය ගාමිණි කොරයා අතර ඇති වූ සංවාදයක ප්‍රතිඵලයක් ලෙසය. නීල් ප්‍රනාන්දු මහතාගෙන් පසු අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් වූයේ ප්‍රාමාණික බුද්ධිමතකු හා මහත් අනතිමානී චරිතයක් ලෙස මා දකින ආචාර්ය දේවනේසන් නේසයියා මහතාය.

රියෝ සමුළුවට අප ඉදිරිපත් කළ ජාතික පරිසර වාර්තාව සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. එය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සංකථනයට භාජන කළ අර්ථාන්විත ලේඛනයක් බවට පත් විය. මෙයට සමුළු නිලධාරී ලෙස්ලි සී. ද එස්. විජේසිංහ මහත් කැපවීමෙන් කටයුතු කළේය. ඔහු නොබෝදා අප අතරින් වියෝ විය. ලෙස්ලි විජේසිංහ මහතා වන සංරක්ෂණ ක්‍රියාවලියට සම්බන්ධ වූ අයෙකි. ජෛව විවිධත්වයට විශේෂිත කරුණු රාශියක් පරිසර වාර්තාවට අන්තර්ගත කිරීමට ඔහුගේ කිසියම් බලපෑමක් තිබිණි. ඔහු ඓතිහාසික රියෝ සමුළුව වෙත ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ ජාතික පරිසර වාර්තාව පිළියෙල කිරීමේදී නිහඬ සේවයක් කළ විද්වතෙක්ද වෙයි. පරිසර අමාත්‍යාංශයේ කටයුතුවලට සම්මුඛ වීමට පෙර වන සංරක්ෂණ දොපර්තමේන්තුවට සම්බන්ධ වී කටයුතු කර ඇති ඔහු අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශයේ හා පසුව ඇති කළ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ කටයුතුවලදී මහඟු මඟපෙන්වීමක් කළේය. අමාත්‍යාංශය ස්ථාපිත කරන ලද ජාතික ජෛව විවිත්ව ප්‍රවීණයන්ගේ කමිටුවේ සභාපතිත්වය වසර 5ක් ඔහු විසින් දරන ලදි.

ලෙස්ලි විජේසිංහ මහතාගෙන් පසු ජාතික ජෛව විවිධත්ව ප්‍රවීණයන්ගේ කමිටුවේ සභාපතිත්වයට පත් වූයේ මහාචාර්ය සරත් කොටගම මහතාය. ඔහුගෙන්ද ජාතික ජෛව විවිධත්ව ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙවරක් සිදු විය. ආචාර්ය කොටගම වසර 5ක් පමණ ජාතික ජෛව විවිධත්ව ප්‍රවීණයන්ගේ කමිටුවේ සභාපති ධුරය හෙබවීය.

ලෙස්ලි විජේසිංහ මහතා I UCN ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙසද පසු කලෙක කටයුතු කළේය.

‘මිහිතල සමුළුව’ ලේකම් ‍මොරිස් ස්ට්‍රොන්ග් (MAURICE STRONG) කැනඩාව, අපේ ජාතික වාර්තාව පුර්වා දර්ශනයක් කොට ගත හැකි වාර්තාවක් ලෙස සමුළු රැස්වීම් ශාලාවේදී හුවා දැක්වීම මෙහිලා සඳහන් කළ යුත්තකි.

මිහිතල සමුළු පරිශ්‍රයේ කෝපි අවන්හලකට වින්සන්ට් පෙරේරා ඇමැතිතුමාත්, ආචාර්ය ගාමිණී කොරයා මහතාත් මමත් ගොඩ වීමු. එක් අයකු අත රැඳී තිබුණ ආසියානු තෙත්බිම් පිළිබඳ A DIRECTORY OF ASIAN WETLANDS - ග්‍රන්ථයේ ඇතුළත් කරුණු ජෛව විවිත්ව සංරක්ෂණයට ප්‍රදේහ කරගනිමින් සාකච්ඡාවක නිරත වී සිටියේය. මෙහිදී නිතර ආචාර්ය සරත් කොටගම මහතාගේ නම කියවිණ. එයට සවන් දී සිටි වින්සන්ට් පෙරේරා ඇමතිතුමා හඬ නඟා පැවසුවේ මේ කියන්නෙ අපේ කොටා ගැන නේද යන්නයි.

මෙම ග්‍රන්ථය එස්.ඩබ්ලිව්. කොටගම, ලෙනාර්ඩ් පින්ටු සහ ජයම්පති අයි. සමරකෝන් යන පර්යේෂකයන් විසින් සකස් කරන ලද්දකි. මෙයින් පැහැදිලි වන්නේ ජෛව විවිධත්ව ගිවිසුම අත්සන් කෙරුණ කාලයටත් පෙර අපේ පරිසරවේදීන් ජෛව විවිධත්ව ක්ෂේත්‍ර ගැන දැක්වූ ගැඹුර සංකථනවල ස්වරූපයයි.

ජෛව විවිධත්ව සම්මුතියේ 8 (J) වගන්තිය අනුව පාරම්පරික දැනුම සංරක්ෂණයටත් එම දැනුම ඥානාන්විතව භාවිතයටත් බැඳී සිටිමු. ජෛව විවිධත්ව සම්මුතිය සක්‍රීය වීමත් සමඟ ජෛව විවිධත්වය හා පාරම්පරික ඥානය තේමා කොට සමුළු හා වැඩමුළු ගණනාවක ජාත්‍යන්තර හා ජාතික වශයෙන් පවත්වා ඇත. 8 (J) වගන්තිය සහ ආශ්‍රිත විධිවිධාන (ජෛව විද්‍යාත්මක විවිධත්වය පිළිබඳ සම්මුතිය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන) යට‍ෙත් 2002 වසරේ කැනඩාවේ මොන්ට්‍රියල් නුවරදිත් 1997 ස්පාඤ්ඤයේ මෙද්ජිද් නුවරදිත් 2000 ස්පාඤ්ඤයේ සෙවිල් නුවර පැවති සමුළු කීපයකටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමේ අවස්ථාව මටද ලැබිණි.

ජෛව විවිධත්වයට අදාළ පාරම්පරික ඥානය ගවේෂණය හා බෙදා හදා ගැනීම පුළුල් වශයෙන් මෙම සමුළුවල සාකච්ඡා කෙරුණු අතර මෙහිදී ප්‍රබල හඬක් නැගීමත් ලෝකයේ එම රටවලට අයත් ආදිවාසී ජනගෝත්‍ර එකම කණ්ඩායමක් ලෙස සංවිධානාත්මකව කටයුතු කිරීමත් කැපී පෙනෙන ලක්ෂණයක් විය. 1997 දෙසැම්බර් මස ස්පාඤ්ඤයේ මෙද්රිද් නුවර පැවති සමුළුවේදී ජෛව විවිධත්වයට අදාළ තොරතුරු ගවේෂණය හා බෙදාහදා ගැනීමට උපකාරී වන සන්නිවේදන ආකෘතියක වැදගත්කම පෙන්නුම් කරන යෝජනාවක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මවිසින් ඉදිරිපත් කරන ලදී. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට රට රටවල නියෝජිතයන් මෙන්ම ආදි වාසී නියෝජිත සේවා ද උනන්දුවෙන් පෙලඹුණහ.

බුද්ධිමය දේපළ සංරක්ෂණය යටතේ දියුණු වන ලෝකයේ සාම්ප්‍රදායික ඥානය වෙසෙසින් ම සාම්ප්‍රදායිකව ගොවීන්ගේ ඥානය දියුණු රටවල සමාගම්වල බුද්ධිමය දේපොළ යටතට නතු කර පේටන්ට් කිරීම හා සොරා ගැනීම ගැන ආදිවාසී ජන කණ්ඩායම්වල වෙසෙස් අවධානයට යොමුවිය. සමස්ත ජනතාව මෙතෙක් භුක්ති විඳි අයිතියක් සුළුතරයකගේ පැවැත්ම උදෙසා පවරා දීම කිසිසේත් නෛතික හෝ සදාචාරාත්මක හෝ නොවන බව ඇතැම් කණ්ඩායම් තරයේ පෙන්වා දුන්හ.

ලෝක ආදි වාසී කණ්ඩායම් එකමුතුව මෙම සමුළු ශාලාව පැවති ඔවුන්ගේම ලේකම් කාර්යාලයක් ද පවත්වාගෙන ගියහ. ස්කැන්ඩිනේවියානු රටවල සහ රුසියාව හා චීනයේ ද බහුල වශයෙන් ව්‍යාප්තව පැවති “සාමි” ආදිවාසී නායකයික් සමඟ සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන යෑමට මට හැකි විය.

මවිසින් ඉදිරිපත් කළ යෝජනාවට පෙරවරුවේ නිහඬව සවන් දී සිටි “සාමි” සංවිධානයේ නායකයා ඇතුළු ආදිවාසී ජන කොටස් කරුණු අවබෝධ වීමෙන් අනතුරුව සවස් භාගයේ පැවති අවසන් සැසියේදී මගේ යෝජනාවට සහය පළ කළහ.

1997 නොවැම්බර් 24 - 28 දක්වා ස්පාඤ්ඤයේ මෙද්රිද් නුවර පැවති එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳ සමුළුවේදී සම්මත වූ (අවසන් සමුළු වාර්තාවට ද අන්තර් ගතවූ) සන්නිවේදන ආකෘති පිළිබඳ යෝජනාව අනුව පාරම්පරික ඥානය හා තොරතුරු ඒ ඒ ආදි වාසී අවසරය මත එක් රැස් කර, හුවමාරු කිරීමේ එකඟත්වයකට එළඹුණු වාර්තා ගත යෝජනාව පහත සඳහන් අයුරින් සමුළු අවසන් වාර්තාවේ පළ විය.

EXCHANGE AND DISSEMINATION OF INFORMATION

58. ENHANCE EXCHANGE AND DISSEMINATION OF INFORMATION ON TRADITIONAL KNOWLEDGE THROUGH EXISTING MECHANISMS IN PARTICULAR THE CLEARING HOUSE MECHANISM AND OTHER POSSIBLE COMMUNICATION MODELS WITH PRIOR INFORMED CONSENT OF INDIGENOUS AND LOCAL COMMUNITIES .

(SRI LANKA, ELEMENT US)

ජෛව විවිධත්ව සම්මුතියේ 8 (J) වගන්තිය අනුව අපේ පාරම්පරික දැනුම සංරක්ෂණයටත් එම දැනුම ඥානාන්විතව බෙදා හදා ගැනීමටත් අදාළ මහඟු මෙහෙවරක් පරිසර අමාත්‍යාංශය යටතේ වූ ජෛව විවිධත්ව අංශයෙන් සහ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයෙන් ද සිදුවිය. මේ අනුව ජෛව විවිධත්වය හා බැඳුණු සංස්කෘතික විවිධත්වය රැක ගැනීමේ හා ඥානාන්විතව භාවිතා කිරීමේ කාර්ය‍යේදී අලුත්ව යමක් හිතා බැලීමටත් එහි ප්‍රතිපාදන වලින් පල ලබා ගැනීමටත් අපට හැකි විය.

මෙයින් එක් වැදගත් නිදර්ශනයක් මෙහිලා සටහන් කර තබමි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මා සභාපතිත්වය දැරූ සමයේ ඇති කළ භාෂා විද්‍යාගාර සංකල්පය හා පාරම්පරික ඥානය හා කොත්මලේ ප්‍රදේශ බද ජනකවි හා පාරම්පරික දැනුම පටිගත කිරීමට යොදා ගත් (අංග සම්පූර්ණ පරිගණක මෙවලම් ද සමන්විත ට්‍රක් ත්‍රිරෝද රථය ද ප්‍රධාන ගුවන් විදුලි මධ්‍යස්ථානයේ අබලන්ව පැවති ගුවන් විදුලි මැදිරි දෙකක් ද නවීකරණය කර ඉදිකළ භාෂා විද්‍යාගාරයක් ද ජෛව විවිධත්වය සුරැකීමට නම් භාෂා විවිධත්වය සුරැකීමේ අවශ්‍යතාව පෙන්නුම් කරමින් ස්ථාපිත යාන්ත්‍රණයක් වශයෙන් පෙන්නුම් කළ හැකිය.

මේ සඳහා ප්‍රතිපාදන අපට ලබා දීමේදී ගාමිණී ගමගේ මහතා දුන් අනුග්‍රහය සදා අනුස්මරණීය එකකි.

කට වහරේ හා ජනශ්‍රැතියේ පවත්නා ජෛව විවිධත්වයට සම්බන්ධ පාරම්පරික දැනුම එක්රැස් කර ගැනීමට ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එහි නිලධාරීන් ගත් ප්‍රයත්නය අගේ කළ යුත්තකි. සමුළු ගණනාවක් හා පරිසර සාහිත්‍යයක් ද මේ අනුව ගොඩනැගී ඇත.

නිදර්ශන කීපයක් පමණක් මෙහිලා සටහන් කරමි. වෙළුම තුනකින් යුත් පාරම්පරික දැනුම් සංග්‍රහය කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍යායතනය හා එක්ව කළ 2010 පාරම්පරික දැනුම පිළිබඳ සම්මන්ත්‍රණයේ තොරතුරු පත්‍රිකා සහ පර්යේෂණ ලිපි සංග්‍රහයද මෙයින් කීපයකි.

පරිසර අමාත්‍යාංශය සංවිධානය කළේ සීගිරියේ පැවති සමුළුව මගේ මතකයේ පවත්නා කදිම අද්දැකීමක් වේ. වන ජීවී වනාන්තර, මිරිදිය හා සමුද්‍ර වෙරළ බඩ ජෛව විවිධත්වයට අදාළ පාරම්පරික දැනුමේ මුල් ප්‍රභවයන් ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ගැමි ජනතාවගෙන් ඍජුව ලබා ගත් ප්‍රයත්නයක් ලෙස ද අමාත්‍යාංශය සංවිධානය කළ වැඩ මුළු හා වෙළුම් තුනකින් යුත් පාරම්පරික දැනුම් සංග්‍රහයද අගැයිය හැකිය. ‍‍

වනජීවී දෙපාර්තමේන්තුව - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව - මධ්‍යම පරිසර අධිකාරිය ධීවර අමාත්‍යාංශය ඇතුළු රේඛීය රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙන් ම විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයෙන් ද ජෛව විවිධත්ව සංරක්ෂණයට හා පාරම්පරික ඥානය භාවිතයට ලැබුණු දායකත්වය වැදගත් ‍කොට සැලකිය යුතුය. මේ පිළිබඳ ගැඹුර අධ්‍යයනක් කර පරිශීලනය සඳහා තොරතුරු එක්රැස් කර තැබීමට දැන් කාලය පැමිණ තිබේ.

ඓතිහාසික රියෝ සමුළුව කේන්ද්‍රකොට ගෙන අප විසින් නිර්මාණය කළ පරිසර සාහිත්‍යයක් පවතී, “සොබා” සඟරාව පුද්ගලයා පරිසරය හා සන්නිවේදනය (මහාචාර්ය විමල් දිසානායක සහ සුනිල් සරත් පෙ‍ෙර්රා) මහාචාර්ය ජේ.බී. දිසානායක සූරීන් විසින් ලියන ලද වොටර් ඉන් කල්චර් ග්‍රන්ථය ද ජාතික පරිසර වාර්තාව හා ජෛව විවිධත්ව ලේඛන උද්ග්‍රහණය දෙස් විදෙස් පරිසර වේදීන්ට නොමඳ ආශ්වාදයක් විය. මවිසින් දෙස් විදෙස්හි ලද අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද පරිසරය සහ සන්නිවේදනය පිළිබඳව ලියන ලද ග්‍රන්ථයේ ජෛව විවිධත්වය හා පාරම්පරික දැනුම 1999 පිළිබඳ වෙනම පරිච්ඡේදයක් ඇත. ‍

මගේ සංකල්පයක් අනුව බිහිවූ අමාත්‍යාංශ ප්‍රකාශය වූ සෝබා සඟරාව පරිසරය හා ජෛව විවිධත්ව ක්ෂේත්‍රවලට නවතම දැනුම ලබා දුන් ආලෝක ධාරාවක් විය. අලුත් කවුළුවක් ලෙස පරිසරවේදීන් හුවා දැක්වීම පුද්ගල සන්තෘෂ්ටියට හේතුවක් වෙයි. ආරම්භ කළ දිනයේ සිට එය පිළියෙල කිරීමට මුද්‍රණ කටයුතු වගකීමෙන් යුතුව අධීක්ෂණය කිරීමට අප අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකුව සිටි එච්.එම්.ආර්.බී. හේරත් මහතාගෙන් ලද සහාය මෙහිලා සටහන් කර තබමි.

ජෛව විවිධත්ව ගිවිසුම මෙන් ම එහි 8 (j) වගන්තිය යටතේ උද්ධෘත කොට දක්වන පාරම්පරික ඥානය සම්බන්ධ කරුණු ප්‍රතිගවේෂණයට හා නිරන්තර අවධානයට පාත්‍ර විය යුතුය. එමඟින් සලසා ගත හැකි නව සංවර්ධන උපාය මාර්ගද රැසකි.

සුනිල් සරත් පෙරේරා

Source - http://www.silumina.lk/
               https://www.cbd.int
               http://archive2.sinhala.news.lk/       

Tuesday, May 1, 2018

ප්ලාස්ටික් ප්‍රශ්නයට විසඳුමක්; ප්ලාස්ටික් දිරවන 'එන්සයිමයක්'

ස්වභාව ධර්මයේ පැවැත්මට බරපතල හානියක්ව ඇති ප්ලාස්ටික් ආහාරයට ගනු ලබන බැක්ටීරියාවක අන්තර්ගත 'එන්සයිමයක්' තව දුරටත් වර්ධනය කරමින් ප්ලාස්ටික් දිරාපත් කරවීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.

බෝතල් සෑදීම සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ 'PET' ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයක් වන අතර, එය දිරාපත් වීමට වසර සිය ගණනක් ගත වේ.

විද්‍යාඥයන් විසින් තව දුරටත් වර්ධනය කරමින් සිටින ඉහත කී එන්සයිමය 'PETase' යනුවෙන් නම්කර ඇති අතර, එය ක්‍රියාත්මක වී දින කීපයක් ඇතුළත ප්ලාස්ටික් දිරාපත් වීම ආරම්භ වනු ඇත.

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම එන්සයිමය උපකාරී වන අතර, එමගින් ඒවා නැවත භාවිතා කිරීම වඩාත් එලදායී ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

කුණු ගොඩක සැඟවී තිබුණ 'එන්සයිමය'
PET වර්ගයේ ප්ලාස්ටික් දිරාපත්වීම සදහා උපකාරී වන මෙම එන්සයිමය සෑදෙන්නේ ප්ලාස්ටික් "ආහාරයට ගන්නා" බැක්ටීරියාවකින් වන අතර, එය පළමු වරට හඳුනා ගනු ලැබ තිබෙන්නේ ජපානයෙහිය.

'Ideonella sakaiensis' ජපන් ආයතනය තම ප්‍රධාන බලශක්තිය ලෙස ප්ලාස්ටික් භාවිතා කරයි.

ඔවුන්ට අයත් ස්ථානයක, ප්‍රතිචක්‍රීකරණය සදහා ගොඩ ගසා තිබූ ප්ලාස්ටික් බෝතල්වල තැවරුණ රොන් මඩවල තිබී 'PETase' එන්සයිමය අන්තර්ගත බැක්ටීරියාව සොයාගත් බව 2016 වසරේ නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

බෝතල් සෑදීම සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ PET ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයකි
පසුගිය අවුරුදු පනහ තුළ "PET ප්ලාස්ටික් භාවිතය විශාල වශයෙන් වැඩි විය. මිනිසුන් විසින් නිෂ්පාදනය කළ ද්‍රව්‍යයක් ආහාරයට ගන්නා බැක්ටීරියාවක් වර්ධනය වීමට මෙම කාලය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ" වර්තමාන පරීක්ෂණවලට සම්බන්ධ මහාචාර්ය ජෝන් මැක්ගීහන් පවසයි.

මේ තොරතුරුද දැනගන්න:

ප්ලාස්ටික් බෝතල් ජලය සෞඛ්‍යාරක්ෂිතද?
ප්ලාස්ටික් කන දළඹුවෝ;පරිසර දූෂණයට විසඳුමක්
PET අයත් වන ප්ලාස්ටික් කුලය පොලියෙස්ටර්, නැතහොත් 'පොලිතිලීන් ටෙරෙෆ්තාලේට්' ලෙස හඳුන්වන අතර, එයත් ස්වභාවික පරිසරයේ නිපදවෙන ද්‍රව්‍යයකි.

'පොලියෙස්ටර්' මගින් ගස්වල කොළ ආරක්ෂා කෙරෙනවා. අවුරුදු දශ ලක්ෂ ගණනක් එම බැක්ටීරියාව වර්ධනය වෙමින් පවතින්නේ ඒවා ආහාරයට ගන්න" යැයි පෝට්ස්මත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂකයෙක් පැවසීය.

නමුත් PETase එන්සයිමය PET ප්ලාස්ටික් ආහාරයට ගැනීම ආරම්භ කර ඇත්තේ "නොසිතූ වෙලාවක" වන අතර, එම ආහාර ජීර්ණය වීමට හේතුවන එන්සයිමයේ පරිණාමය පිළිබද තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සූදානමින් සිටිති.

ප්ලාස්ටික් ආහාරයට ගැනීම
ඉතා බලගතු 'එක්ස් රේ' කිරණ යොදා ගෙන එන්සයිමයේ ත්‍රිමාණ රූපයක් නිර්මාණය කිරීමට පරීක්ෂකයන් කණ්ඩායම සමත් විය.


PETase එන්සයිමයේ පිහිටීම හඳුනාගැනීමට මෙම ත්‍රිමාණ රූපය උපකාර විය
PETase එන්සයිමයේ පිහිටීම හඳුනාගැනීමට මෙම ත්‍රිමාණ රූපය උපකාර වෙයි. එහි පිටත පිහිටි සමහර කොටස් නැවත සකස් කිරීම තුළින් එන්සයිමයේ ක්‍රියාකාරීත්වය වැඩි කළ හැකි බව විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත.

බීබීසී විද්‍යා අංශයේ සංස්කාරක ඩේවිඩ් ෂුක්මන්ගේ විශ්ලේෂණය
"පෝට්ස්මත් විශ්ව විද්‍යාලයට සම්බන්ධ එම පරීක්ෂණ කණ්ඩායමට ආචාර්ය උපාධිය සඳහා හදාරන සිසුන් මෙන්ම සාමාන්‍ය උපාධි අපේක්ෂකයන්ද ඇතුළත් වෙයි. අදාළ පරීක්ෂණ පිළිබඳව කණ්ඩායම තුළ තිබූ අති මහත් උනන්දුව ඔවුන් හමු වීමට විද්‍යාගාරයට ගිය අවස්ථාවේ මම දුටුවෙමි"

ඩේවිඩ් ෂුක්මන් පහත දැක්වෙන සටහනද ලියා තබයි.

"දශ ලක්ෂ ගණනක් ප්ලාස්ටික් බෝතල් දිරාපත් කිරීමේ ක්‍රියාවලියට සහය දෙන එන්සයිමයක් නිර්මාණය කිරීම අති විශිෂ්ට කර්තව්‍යයක් බව ඔවුහු දැන සිටියහ. තමන් හැදී වැඩෙන්නේ ප්ලාස්ටික් භාවිතය ලෝකයටම තර්ජනයක් වී ඇති කාලයක වන හෙයින් මෙම සොයා ගැනීම පිළිබඳව ඔවුන් දැඩි ලෙස උනන්දු වන බව පෙනී යයි.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය ලෝකයට හඳුන්වා දීම විශාල අභියෝගයකි.

අවම මුදලක් වැය කර PETase එන්සයිමය වර්ධනය කර ගැනීම පළමුවෙනි අභියෝගය වන අතර, දෙවනුව එය කර්මාන්තයක් ලෙස වර්ධනය කර ගැනීමට වෙහෙසිය යුතුය.

මෙය ඉතා වේගවත් විද්‍යාත්මක ක්‍රියාවලියකි. ප්ලාස්ටික් ආහාරයට ගන්නා බැක්ටීරියාව දශක ගණනාවක සිට පරිණාමය වෙමින් පවතින අතර ඔවුන්ගේ ආහාර ජීර්ණය වීම සදහා අවශ්‍ය එන්සයිම හඳුනාගැනීමට හැකි වූයේ මෑතකදී වීම විශේෂත්වයකි.

නැවත සකසන ලද එන්සයිමවලින් වැඩි ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය. දිරාපත් නොවන ප්ලාස්ටික්වලින් ස්වභාව ධර්මයට වන හානිය නැවැත්වීමට මෙතෙක් සොයමින් සිටි විද්‍යාත්මක පිළිතුර මෙය වනු ඇත"
'එන්සයිම නිපදවීමේ කර්මාන්තයක්'
කර්මාන්තශාලාවල 'පොලියෙස්ටර්' නිපදවන්නේ පෙට්‍රෝලියම් භාවිතා කරමින් වන අතර, ප්ලාස්ටික් බෝතල් සහ රෙදි නිෂ්පාදනය කිරීමට ද එම අමුද්‍රව්‍ය භාවිතා කෙරෙයි.

PETase එන්සයිමය භාවිතා කිරීම තුළින් 'පොලියෙස්ටර්' නිෂ්පාදනයේ ආපසු හැරවීමක් සිදු වනු ඇත. එන්සයිමයේ ක්‍රියාකාරීත්වයෙන් දිරාපත් කෙරෙන ප්ලාස්ටික්, ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙන් පසු ඒවා නැවත නැවතත් භාවිතා කළ හැකි වීම ඊට හේතුවයි.

කෙසේවුවද, වර්ධනය කරන ලද එන්සයිමය කර්මාන්තයක් ලෙස එළි දැක්වීමට තවත් වසර කීපයක් ගත වනු ඇත.

උපුටා ගැනීම - www.bbc.com/sinhala - 2018 අප්‍රේල් 19