Wednesday, October 11, 2017

උමාඔය පිළිබඳව පල වූ ලිපි එකතුව

අපට හානිවන තරමට සමාගමේ ලාභය ඉහළයි - රවීන්ද්‍ර කාරියවසම්
තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

උමා ඔය ව්‍යාපෘතියෙන් ඇතිවන විනාශය වැඩිවන තරමට එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වූ ෆරබ් නම් ඉරාන සමාගමට රක්ෂණායතන මගින් මුදල් ලැබෙන බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.

ව්‍යාපෘතිය විනාශකාරීව සිදු කරන නිසා මේ වනවිට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජල උල්පත් රැසක් සිඳී ගොස් තිබෙන බව ද ඔහු පවසයි.

‘‘ජලය නොමැති කමින් ඉඩම් අක්කර දහස් ගණනක වගා කටයුතු අතහැර දැමීමට ගොවීන්ට සිදුව තිබෙනවා.   බණ්ඩාරවෙල නගරයේ දම්රෝ ගොඩනැගිල්ල,  කුමාරි ගොඩනැගිල්ල සහ අලුතෙන් ඉදිකරමින් පවතින මහල් හතකින් යුත් ගොඩනැගිල්ල ආශ්‍රිත කලාපය දැඩි ගිලාබැසීම්වලට ලක්වෙලා. ඉදිරියේදි දැවැන්ත ගිලා බැසීමක ලකුණු දැනටමත් මෙම ප්‍රදේශයේ පෙනෙන්නට තිබෙනවා.

බණ්ඩාරවෙළ  උඩ පේරුව,  පහළ පෙරුව, මැද පේරුව,  අම්පිටිය,  පල්ලේපේරුව,  කරගහවෙල,  බොරලන්ද, රජ කොටුව,  පුහුල්පොල,  දික්පිටිය,  ඉහළකොටවර,  පහළ කොටවර,  මඩුවේ ගෙදර,  අඔ දණ්ඩා ගම,  අභයපුර,  කන්දේකැටිය ආදි ප්‍රදේශ රැසක ජනතාවට බීමට දිය පොදක් නොමැති තරමට ළිං හිඳිලා.  දැනට මෙම ප්‍රදේශවලට වතුර ලීටර් 180000 ක් දිනකට සපයනු ලබන්නේ  බණ්ඩාරවෙල ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ මැදිහත් වීමෙනි. යහමින් ජලය තිබූ මධ්‍යම කදුකරයේ දැනට දැවැන්ත ජල හිඟයක් උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය විසින් අත්පත් කර දී තිබෙනවා.  ෆරාබ් ඉරාන සමාගම  උමා ඔයේ කැණිම් කිරීම හා භූගත ජල නළය කණින විට විටින් විට සිදු වූ ජල කාන්දුවීම් නිසා මධ්‍යම කදුකරයේ ජල උල්පත් දහස් ගණනක් මේ වනවිට සිදී ගොස් අවසන්.

පසුගිය වසරේ හා මේ  වසරේ උමඟ කැනීම් අතරතුර මෙරට ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරා ලීමට හා ගහ කොළ සතා සිව්පාවාගේ ප්‍රයෝජනයට ගැනීමට තිබූ ජල ලීටර් කෝටි ගණනාවක් අපතේ ගියා. උමග විදින විට මෙම ජල උල්පත් හා භූගත ජල තැටි හමුවන බව එම සමාගම දැන සිටිය යුතුයි.   උමඟ කණින මාර්ගය සම්බන්ධව අධ්‍යයන වාර්තා මගින් අදහස් ලබා ගන්න ඕනෑ. නමුත් මෙරට ජල සම්පත පිළිබද තුට්ටුවකට ගණන් නොගත් මෙරට පරිසර අධිකාරිය හා අනෙක් ආයතනත් මැති ඇමැතිවරුනුත්   මධ්‍යම කදුකරයේ ජල උල්පත් හා භූගත ජලය විනාශ කිරීමට   ඉරාන සමාගමට අවසර දුන්නා.  මධ්‍යම කඳුකරයේ ජල උල්පත්  ජලය සැපවූයේ බණ්ඩාරවෙල හා අවට ප්‍රදේශවලට පමණක් නොවෙයි,  මධ්‍යම කදුකරයේන්   ගලන ගංගා එකසිය තුනට හා දියකදුරු දහස් ගණනකටයි.

වැස්සෙන් වැටෙන ජලය පස තුළ ඇති කුහර තුළට හා මව් පාෂාණය හා මතුපිට පාෂාණය අතරත් මව් පාෂණය තුළත් ගබඩා වෙනවා.    එම ජලය පහළ ස්ථානවලින් උල්පත් ලෙස ගංගා ඇළදොළවලටත් ළිංවලටත් එකතු වෙනවා. ජල ගබඩාවන් හරහා උමං හාරන විට ජල ගබඩාව සිදුරු වෙලා  ජලය සියල්ල උමං මාර්ග දිගේ එළියට යනවා.

ස්වභාවයෙන්ම මධ්‍යම කඳුකරය සිදුකරන්නේ වැස්සේන් වැටෙන ජලය   ගබඩාවක් ලෙස ආරක්ෂා කර තබාගන වැසි නෙමැති කාලවල එය ගංගාවන්ට නිදහස් කිරීමයි.   ඒ ආකාරයට නිදහස් කිරීමට තිබූ ජල ගබඩාවන්ගේන් සැලකිය යුතු ප්‍රමාණයක් දැනට සිදුවන ජල කාන්දු නිසා සහ සමස්ත උමා ඔය ව්‍යාපෘතිය නිසාත් විනාශ වුණා.  උමා ඔය ව්‍යාපෘතිය නිසා පැන නගින   ජල හිඟය පළමුව බණ්ඩාරවෙලට බලපෑවත්  දෙවනුව හා තෙවනුව සමස්ත රටටම බලපානවා. මෙය බණ්ඩාර වෙල මිනිසුන්ගේ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. මෙය රටේ සෑම දෙනාගේම ප්‍රශ්නයක්.   .

මාතැටිල්ල ඔය අසලින් ආරම්භ වී රාවණා ඇල්ලට පහළින් මතු වන කිලෝමීටර් 23 දිග උමං මාර්ගය සැකසීම සඳහා මෙරට  උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වු ඉංජිනේරුවන්   ග්‍රිල් ඇන්ඞ් බලාස්ට් ක්‍රමය    හා ග්‍රිලිං  ක්‍රමය යොදාගෙන තිබෙනවා.  කුමන ක්‍රමවේදයක් යොදාගත්ත ද අඩු වැඩි වශයෙන් දෙදරීම් සිදුවෙනවා.  කඳුවල සිදුවන දෙදරීම් නායයෑම්වලට මූලික හේතුවක්.    ලෙව පුරා එවන් අත්දැකීම්  විශාල සංඛ්‍යාවක් තිබෙනවා. කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතියේ උමඟ කැනීම ආරම්භ වූ දා පටන් ඩයබරා, මාතැටිල්ල ඔය ඉවුරු හා ඒ ආසන්න ප්‍රදේශවල විශාල වශයෙන් නායයෑම ආරම්භ වුණා.   බණ්ඩාරවෙල ආශ්‍රිත ප්‍රදේශය මේ වනවිට කුඩා නායයෑම්වලට ලක්වෙමින් තිබෙනවා.   තව වසර කිහිපයක් ඇතුළත බණ්ඩාරවෙල අශ්‍රිත ප්‍රදේශ ගණනාවක් නාය ගොස් මිනිස් ජීවීත විනාශ වීම වළකාලිය නොහැකියි. 19 වැනි සියවස  මුල් මුල්භාගයේ කළ මෙවන් ව්‍යාපෘතීන් නිසා ප්‍රංශයේ නැගෙනහිර ප්‍රදේශයේ නායයෑමෙන් මිනිසුන් 450 ට වැඩි ප්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත් වු අතර ගම්මාන ගණනාවක් විනාශ වී ගියා.  20 වැනි සියවසේ මුල් භාගයේ ඉතාලියේ වාජෝන් ගම්මානයට ආසන්නව සිදුකරමින් තිබුණු උමං හෑරීම සහ ජලාශ්‍රිත ඉදිකිරීම් නිසා නායයෑම්වලින් 2500 ට වැඩි පිරිසක් මිය ගියා.  පැනමා ඇළ කැනීමේ දී ඒ අවට කඳුපන්ති හැටහය වතාවක් නාය ගොස් තිබෙනවා.

ෆරාබ් සමාගම ඉරානයේ විනාශකාරී ව්‍යාපෘති සිදු කළ සමාගමක්. ජලය හා බලශක්තිය සම්බන්ධව සිය ව්‍යාපෘති දියත් කරන මෙම සමාගම   ලෝකයේ රක්ෂණ සමාගම්වල රක්ෂණය කර තිබෙනවා.  එමෙන්ම ෆරාබ්  සමාගමට අයිතිවාසිකම් කියන ඉරානයේ තෙහෙරාන් නුවර   ෆරාබ්  රක්ෂණ සමාගමක් තිබෙනවා. ලොව පුරා උමා ඔය වැනි ව්‍යාපෘති සියල්ල Insurenc Exper Farab රක්ෂණය කර තිබෙනවා. එම රක්ෂණ සමාගම වෙනත් රක්ෂණ සමාගම්වල නැවත රක්ෂණය කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතිය නිසා හානි සිදුවන සෑම මෙහොතක ව්‍යාපෘතියට සිදු වූ හානිය වෙනුවෙන්   වන්දි ලබා ගන්නවා . ඒ  නිසා ලංකාවට    පරිසරයත්, ජනයාට  තම  ජීවිතත් අහිමි වන වාරයක් වාරයක් පාසා තෙහෙරාන් නුවර සාහිද් සාමති අංක 41 පිහිටි ව්‍යාපාරික ස්ථානයට මුදල් ගලා එනවා.  එයින් කෙටසක් ලංකාවේ  විනාශය යට ගැසීමට කොමිස් ලෙස ගෙවනවා.

ලංකාවේ ව්‍යවස්ථාවට අනුවත් පරිසරය ආරක්ෂා කිරීමට රටක් ලෙස රජය බැඳී සිටිනවා . උමා ඔය ව්‍යාපෘතිය කියන්නේ මෙරට අසාර්ථකම ව්‍යාපෘතියක්.  නමුත් තව දුරටත් පරිසරය හා ජන ජීවිතය විනාශ කරමින් එය ඉදිරියට කරගෙන යාමට ආණ්ඩුව උපකාර කරමින් ඉන්නවා.  සියලු පරිසර නිතී මෙහිදී උල්ලංඝනය කර තිබෙනවා. මෙය පරාජය කරන්න සියලු දෙනාම එකා වගේ එකතු වෙන්න ඕනෑ. ‘‘
උපුටා ගැනීම - ලංකාදීප 2017-07-05 එසැණ පුවත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සම්මානිත භූගෝලවිද්‍යා මහාචාර්ය ජිනදාස කටුපොත

උමා ඔයෙන් පෝෂණය වන උමා ඔය නිම්නය මධ්‍ය කඳුකරයේ සරුසාර භූමි ප්‍රදේශවලින් එකකි. වර්ග කිලෝමීටර් හත්සිය විස්සකින් සමන්විත උමා ඔය; බොඹුරුඇල්ල ඔය, කුඩා ඔය, අඹේවෙල ඔය, මාතැටිල්ල ඔය, මාදොළු ඔය යන අතු ගංගා එකතු කරගනිමින් කිලෝමීටර් 75ක් දුර ගෙවා රන්ටැඹේ දී මහවැලි ගඟට එකතු වේ. මෙහි අක්‌කර සීයකට නොවැඩි වාරි ව්‍යාපෘති බොහාමයක් ක්‍රියාත්මක වන අතර, උමා ඔය ද්‍රෝණියේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය අක්කර 28,000කට ආසන්නය. එයින් අඩක්ම අක්කර සීයය ට අඩු බිම් ය. මෙහි පවතින කුඹුරු වැඩි ප්‍රමාණයකට ජල හිඟය නිසා යල කන්නයේ දී වගා කටයුතු කිරීමට පවා නොහැකිය. මීට අමතරව එළවළු බෝග වගා කෙරෙන විශාල ගොඩ ඉඩම් ප්‍රමාණයකට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි මෙමඟින් ලබාගත නොහැකිය.

එසේම කිරිගව පාලනය වැඩිපුරම කෙරෙනුයේද උමා ඔය නිම්නයේ ය. අනෙක් අතට උමා ඔය නිම්නය ආර්ථික උල්පතකි, රටට මහත් සම්පතකි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ උමා ඔය නිම්න සංවර්ධනය ද එකතු වූයේ එහි ප්‍රථිඵලයක් වශයෙනි. ඒ අනුව මහියංගන රොටලවෙලදී මහවැලි ගඟ හරස්‌කර ජලාශය ඉදිකිරීම, මිනිපේ ඇළ අඹන් ගඟ දක්‌වා ගෙන ගොස් කවුඩුල්ල දක්‌වාත් දිගු කිරීම, මාදුරු ඔය දකුණු ඉවුර මගින් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට ජලය සැපයීම, උමාඔයේ ඉහළ ජල විදුලිබලාගාරය (මෙගාවොට් 25) සහ උමා ඔය පහළ ජල විදුලි බලාගාරය (මෙගාවොට් ‌30) ඉදිකිරීම ද මීට අයත්වේ. එසේ හෙයින් උමා ඔය පාරිසරික කලාපය මෙරට හදවත බඳුව රැක ගත යුතුවේ.

උමා ඔය, එහි ස්වාභාවික ගමන් මඟෙන් බැහැරට ගෙන කිරිඳි ඔය නිම්නයට හරවා මොණරාගල හා දකුණු පළාතට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය ලබාදීම, කලක සිට සාකච්ඡා වූ මාතෘකාවකි. එහෙත් මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව නම් උමා ඔය හැරවීම ප්‍රයෝගිකව සිදු කරන්නේ කෙසේද යන්නය.

එය පොළොව මතුපිටින් හැරවීම කෙසේවත් කළ නොහැකිය. එනිසා වැලිමඩ, පුහුල්පොළ සිට බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගයට යටින් ඉදිකෙරෙන භූගත උමං මාර්ගයකින් ජලය ගෙනයාම වඩා යෝග්‍ය බව තීරණය කෙරුණි. එසේ දකුණට ගෙනයනු ලබන ජලයෙන් හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ, ක්‍රීඩාංගණ, සංචාරක හෝටල්, කර්මාන්ත ප්‍රදේශ සඳහා ජලය ලබා දීමටත්, කිරිඳි ඔය නිම්නයේ වගා ඉඩම් හෙක්‌ටයාර් 8,000-10,000 කට ජලය සැපයීමටත්, මෙගාවොට්‌120ක ජලවිදුලිය නිෂ්පාදනය කිරීමටත් ඒ අනුව යෝජනා විය.

උමා ඔය විනාශය

මේ සඳහා වැලිමඩ පුහුල්පොළදී ඔය හරස්‌කොට එක් ජලාශයක් හා වැලිමඩ ඩයරබා හිදී මාතැටිල්ල ඔය හරස්‌කොට තවත් ජලාශයක්‌ ඉදි කර, පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශයට කිලෝ මීටර් 3.5ක දිගකින් යුත් හා මීටර් 4.1ක් පළල උමඟක්‌ ඉදිකිරීමත්, ඩයරබා සිට කුරුකුදේගම, බිඳුණු වැව, හීල් ඔය, අඹදණ්ඩේගම යන ගම්මාන යටින් කරඳගොල්ල දක්වා කිලෝ මීටර් 19 පමණ දිගින් හා මීටර් 4.3 පළලින් යුත් උමං මාර්ගයක් ඉදිකිරීමත් යෝජනා විය.

මීට අමතරව ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වැල්ලවායට මායිම්ව භූගත විදුලි බලාගාරයක් ඉදිකිරීම හා එහි සිට අලිකොට ආර දක්‌වා කිලෝ මීටර් 3.3ක් දිගින් යුත් හා මීටර් 4.1ක් පළලින් යුත් ජලය පිට කිරීම සඳහා උමගක් ඉදිකිරීම ද, විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කිලෝ මීටර් 1.5 කින් යුත් උමගක්‌ ඉදිකිරීම හා විදුලි බලාගාරයේ සිට බදුල්ල උපපොළ දක්‌වා අධිබලැති විදුලි රැහැන් මාර්ග ඉදිකිරීමට ද මෙමගින් යෝජනා විය. භූ විද්‍යාත්මකව බලන කල, ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ ගිනිකොණ බෑවුම ආශ්‍රිතව, ඉහළ ඌවේ කඳුකරය යටින් උමං මාර්ග ඉදිවීම එම ප්‍රදේශවල ජල මුලාශ්‍රවලට විශාල තර්ජනයක් වනවා පමණක් නොව, ඉදිරියේදී නාය යෑම් තත්ත්ව උග්‍ර වීමටද එය අනිවාර්ය සාධකයක් බවට පත්වේ. දැන් සිදුවී තිබෙන්නේ එහි ආරම්භයයි.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට නිවාස 7,000ක පමණ ඉරිතලා, පුපුරා, ගිලාබැස හානියට පත්ව ඇති අතර, බොහෝ නිවාස මුළුමනින්ම විනාශ වී ඇත. ළිං, පෝෂක උල්පත්, දියකඳුරු 3,500 ක් පමණ සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත. වැලිමඩ පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා කිලෝමීටර් 3.5 උමං මාර්ගය සැකසීම සඳහා විශාල ගල් පර්වත කඩා ඉවත් කිරීම සඳහා ගල් වෙඩි යෙදීම හේතුවෙන් පුහුල්පොළ, ලුණු වත්ත, කොන්කණුවෙල යන ප්‍රදේශවල නිවාසවලට විශාල වශයෙන් හානි සිදුව ඇත.

මීට සමගාමීව ඩයරබා ජලාශයේ සිට කරඳගොල්ල දක්වා උමං මාර්ගය තැනීම හේතුවෙන් ගම්මාන රාශියකම ළිං දිය උල්පත් සිඳී යෑම නිසා පානීය ජල අවශ්‍යතාවයවත් සපුරා ගත නොහැකි තත්ත්වයට ජනතාව පත්ව ඇති අතර, උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය විසින් මේ වන විට ගැටලු රාශියක් ජනිත කර ඇත. දැනට මෙම ප්‍රදේශවලට ජල අවශ්‍යතා සපයනු ලබන්නේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ය.

එය දිනකට ලීටර් 180,000 පමණ වේ. එසේම බණ්ඩාරවෙල හා ඒ අවට ගම්මාන රාශියක්ම මේ වන විට අවදානම් කලාප බවට හඳුනාගෙන ඇත. බණ්ඩාරවෙල නගරයේ දම්රෝ ගොඩනැඟිල්ල, කුමාරි ගොඩනැඟිල්ල සහ අලුතෙන් ඉදිකරමින් පවතින මහල් හතකින් යුත් ගොඩනැඟිලි බොහෝ ප්‍රමාණයක් මේ වන විට ගිලාබැසීම්වලට ලක් ව ඇත.

පසුගිය රජය යටතේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ඉතාම බරපතළ තත්ත්වයක් පෙන්නුම් කළේය. ඒ හාරමින් තිබූ උමග තුළට ජලකාන්දු වීමට පටන් ගැනීම නිසා ය. ඒ සමගම ගෙවල් ඉරිතලාගොස් ගිලාබැසීමේ තත්ත්වයක්ද ඇති විය. එසේම ළිංවල ජලයද සිඳීයෑමට පටන් ගත්තේය. මේ පිළිබඳව වත්මන් රජයට දැනුම් දීමෙන් අනතුරුව 2015 මාර්තු මාසයේදී රජය විසින් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළේය.

කෙසේ හෝ නැවතත් මෙම උමා ඔය ව්‍යාපෘතියට අදාළ කැණීම් කටයුතු ආරම්භ කරන ලද අතර, ඒ හේතුවෙන් මධ්‍යම කඳුකරයේ භූගත ජලය විශාල වශයෙන් කාන්දු වන්නට පටන් ගත්තේය. එවකට එය තත්පරයට ජලය ලීටර් 875 ක් හෙවත් දිනකට ජලය ලීටර් මිලියන 75-80 කට ආසන්න ප්‍රමාණයක් වූ අතර, උමග තුළින් විශාල වශයෙන් ජලය බැහැර විය.

2017 මැයි/ජූනි වන විට පනංගල ප්‍රදේශයෙන් උමඟ තුළට තප්පරයට ලීටර් 976 ක ප්‍රමාණයකින් ජලය කාන්දුවන බව සොයා ගත් අතර, මෙය දිනකට ලීටර් මිලියන 84 පමණ අපතේ යාමක් බව වාර්තා විය. බෝතල් කළ උල්පත් ජල ලීටරය රුපියල් 80/- කට මිලදී ගන්නා රටක, දිනකට ජල ලීටර් මිලියන 84 පමණ අපතේ යාම පිළිබඳව තක්සේරු කරන්නේ කවර අගයකින්ද යන්න ජනතාව වන ඔබම කල්පනා කර බැලිය යුතුය.

ඇස්තමේන්තු වෙනස් කිරීම

මෙම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – 2006 දී සකස් කරනු ලැබුවේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගමය. එම ඇස්තමේන්තුවට අනුව උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍ර‍මය සදහා වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 155 ක් විය. කැනඩාවේ ඩබ්ලින් උපදේශන සමාගම ඇස්තමේන්තු කිරීමෙන් වසර 3 කට පසුව මෙම ව්‍යාපෘතිය ඉරානය සමාගමකට පැවරීමට පසුගිය රජය කටයුතු කළේ කුමන හේතුවකින්ද යන්න අදටත් ගැටලුවකි.

කෙසේ හෝ ඉරාන ‍තෙල් සමාගමක් වන ෆරාබ් (FARAB) ආයතනය මෙම ව්‍යාපෘතියට මැදිහත් විය. 2008 අප්‍රේල් මස ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පිඹුරුපත් සකස් කර තිබුණු අතර එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාට එම ගිවිසුම අත්සන් කිරීමට බලය පවරා තිබුණි.

ඊට ඔහු දැඩිව විරෝධය පෑවේ නියමිත ශක්‍යතා අධ්‍යයනයකින් යුතු වාර්තාවක් නොමැතිව තමාට එය අත්සන් තැබිය නොහැකි බවත් පවසමින් බව පැවසේ. පසුව ඇස්තමේන්තු කිරීමේ කොන්දේසිය සමග ‘හිස් ගිවිසුමක්’ ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අත්සන් තබා ඇත. මේ අතර ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු මුදල ඉහළ නංවන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවේ දී ලංකා රජයේ නිලධාරීන්, ඉංජිනේරුවන් මෙයට වඩා වැඩි මුදලක් මේ ව්‍යාපෘතියට වැය කිරීමට එරෙහි විය.

කෙසේ නමුත්, 2008 දෙසැම්බර් මස ලංකාවේ අන්ත දුෂිත නිලධාරීන් පිරිසක් ද ඉරාන විශේෂඥයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ද එක්ව සකස් කරන ලද ඇස්තමේන්තුව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 548කි. එය ශ්‍රී ලංකාවේ වාරි ඉංජිනේරුවන් එකඟ වූ මුදලට වඩා ඇමරිකානු ඩොලර් මඟින් 248 ක වැඩි වීමකි. වැඩිවීම ආසන්න වශයෙන් රුපියල් මිලියන 76,320 කි. එයින් 85%ක් ඉරාන රජය මඟින් ද, 15% ක් ශ්‍රී ලංකා රජය මඟින් ද දැරීමට ගිවිසුම අනුව දෙරට එකඟත්වය පළ කරනු ලැබීය.

ඇස්තමේන්තු කර ඇති 1,670ක සේවක සංඛ්‍යාවෙන් බහුතරය, එනම් 1334ක් ම කම්කරුවන් ය. එම කම්කරු රැකියාවලින් 1,197ක් ශ්‍රී ලංකාවේ සේවකයන් ඉංජිනේරු රැකියා ඇතුළු ඉතිරි වන අතර පුරප්පාඩු සියල්ල ඉරාන ජාතිකයන්ගෙන් පිරවීමට තීරණය වී තිබිණ.මේ පිළිබඳව ද අපක්ෂපාතීව කරුණු සොයා බැලිය යුතුය.

ඉරානයට බාර දීම

ව්‍යාපෘතිය සඳහා පැමිණි වෙනත් රටවල් හා වෙනත් මුල්‍ය ආයතන මෙම ව්‍යාපෘතිය භාර නොගත් අතර, මහින්ද රාජපක්ෂ රජය 2009 වර්ෂයේ අප්‍රේල් මාසයේ 29 වන දින ඉරාන රජයේ දායකත්වයෙන් ඉරානයේ අපනයන සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර(ණය ආධාර) සහිතව FARAB Consultant සමාගමට මෙහි කටයුතු නිලවශයෙන් භාර කළේය. ඒ අනුව ශ්‍රී ලංකා හා ඉරාන ජනාධිපතිවරුන් ගේ සහභාගීත්වයෙන් තොරව යටතේ උමාඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2009 අප්‍රේල් මස 29 දින සිට ආරම්භ කෙරිණි. එහිදී කිසිදු සක්‍යතා අධ්‍යනයක් හෝ පාරිසරික ඇගයීම් වාර්තාවක් හෝ අධ්‍යනයක් නොකළ බව සඳහන් වේ.

අන්තර්ජාලයේ ඇති දත්ත අනුව ඉරානයේ ෆරාබ්(FARAB) සමාගම ජල උමං කැණීම සඳහා වූ පුරෝගාමී ආයතනයක් නොවේ. ඇතැම් විට මේ සඳහා යෝග්‍ය වෙත් සමාගම් ඉරානයේ තිබෙන්නට ඇත. කෙසේ නමුත් අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු අනුව ෆරාබ් (FARAB) සමාගම මේ වන විට මෙවැනි බලශක්ති ව්‍යාපෘති 35ක් පමණ සිදු කර ඇති අතර, එයින් 26ක්ම ඉරානය තුළ කළ ඉඳිකිරීම් ය. අනෙක් ඉඳිකිරීම් නවය සිදු කර ඇත්තේ අසර්බයිජාන්, ඉරාකය, කෙන්යාව, තජිකිස්තාන්, පාකිස්තාන් හා ආර්මෙනියා යන රාජ්‍යන් තුළය.

වැඩ නොදන්නා සමාගමක්

එසේම ඉහත සඳහන් ව්‍යාපෘති 35න් 19ක්ම භුමිය මතුපිට කළ ඉඳිකිරීම් ය. එසේම භූගත උමං මාර්ග කැණීම් 8ක් පමණ මේ ව්‍යාපෘති අතර තිබේ. නමුත් ඒ එකක්වත් අප රටේ භූ පිහිටීම් හා කිසි ලෙසකින්වත් සමාන භූමිවල සිදු කළ ව්‍යාපෘති නොවේ. මේ අනුව ප්‍රත්‍යක්ෂ ලෙසම කිව හැක්කේ මෙම සමාගම උමං කැණීම සදහා නොර්වේ, ස්වීඩන්, ජර්මන්, චීන, ජපන් විද්‍යාඥයින් තරම් නිපුණ වූවන් නොවන බවය.

අපේ රට නිවර්තන කලාපීය රටක් වන අතර අපේ භූස්කන්ධය ප්‍රාග්කේම්බ්‍රීය පාෂාණවලින් සමන්විත විපරීත අවසාදිත/ විපරීතආග්නේය පාෂාණ වුව ද මේවා අවුරුදු මිලියන 1500- 2000 හෝ ඊටත් වඩා පැරණිය. භූ විද්‍යාත්මකව මධ්‍යම කඳුකරයේ පිහිටි පාෂාණවල තත්ත්වය සලකා බැලීමේ දී කුස්තුර, විවර, ව්‍යාකෘති කලාප (shear zones) බෙහෙවින් පිහිටා ඇත. විවිධ ඛණිජ වර්ගවල ඒකරාශී වීම්, පිහිටීම් රටා හා ජීර්ණයට භාජනය වීම් සලකා බැලීමේදී දුර්වල පාෂාණ ව්‍යුහයන් භූ තලය මතුපිට සිට අභ්‍යන්තරයට විහිදී යන බව පෙනේ. ශ්‍රී ලංකාවේ පැවැති පැරණි දේශගුණික වෙනස්කම් අනුව ඇතැම් විට මීටර් සිය ගණනක් ගැඹුරට ඒවා විහිදී යයි.

ඒවා තුළ අභ්‍යන්තර ජලවහන ලක්ෂණ, ජල ගබඩා ඇත. මේ පිළිබඳව උමා ඔය ව්‍යාපෘතියෙදී භූවිද්‍යාත්මක ගවේශණ නොකළේ මෙම සමාගම උමං කැණීම සදහා නොර්වේ, ස්වීඩ්න්, ජර්මන්, චීන, ජපන් විද්‍යඥයින් තරම් නිපුණ වූවන් නොවන නිසා බව මෙමගින් ප්‍රත්‍යක්ෂ වේ. එසේම යෝජිත උමගට මතුපිටින්, උමං ලක්ෂ (tunnel points) යොදා ගනිමින් භූගත ජල මට්ටම් සොයා ඇත්තේ කුමන හේතුවක් මත ද යන්න අදටත් නොවිසඳුණු ගැටලුවකි.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යයනාංශය යන අංශ වලින් මෙම ව්‍යාපෘතියට කුමන දායකත්වයක් දුන්නාදැයි කොතැනකවත් පැහැදිලි කිරීමක් නැත. ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල මූලාශ්‍ර පිළිබඳව දත්ත ද තිබියදී මෙරටේ භූව්‍යුහය පිළිබඳව කිසි අවබෝධ නැති ‘ෆරාබ්‘ සමාගම වැනි සමාගමක් ලවා නියමිත සක්‍යතා අධ්‍යයන හා පරිසර බලපෑම් ඇගයීම් වාර්තා නොමැතිව වැල්ලවාය, අලිකොටආර ප්‍රදේශයේ දී “උමාඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය” ආරම්භ කිරීමේ රහස කුමක්ද ?.

මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට පමණක් වියදම් කළ මුදල රුපියල් ලක්ෂ 260ක් හෙවත් මිලියන 26ක් බව වාර්තා වේ. මුල්ගල් තබා වසර 03 ක් ‌ගත වූ මොහොතේ ලංකා ඉතිහාසයේ වැඩිම ලිඛිත විරෝධතා ප්‍රමාණයක්‌ ඉදිරිපත් කර තිබියදී, රාජපක්ෂ ආණ්ඩුව 2012 අප්‍රේල් මස 12 වන දින පරිසර වාර්තාවට අනුමැතිය ලබාදී මෙම ව්‍යාපෘතිය කිරීම යෝග්‍ය බව ප්‍රසිද්ධ කළේ මන්ද? මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට වහා දඩුවම් කළ යුතු සේම එම ක්‍රියාව සිදු කළ දේශද්‍රෝහීන්, ජනතා ද්‍රෝහීන් රටට අනාවරණය කළ යුතුය. එපමණක් නොව නතර කළ ව්‍යාපෘතිය ආරම්භ කර මෙවැනි ව්‍යසනයකට මඟ පෑදූ වත්මන් ආණ්ඩුවට සම්බන්ධ මේ පිටුපස සිටින වගකිවයුතු පාර්ශ්ව කරුවන්ද රටට හෙළි කළ යුතුය.

තිබෙන සම්පතින් වැඩක් නොගැනීම

මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක දෙකට ද උග්‍ර ජල හිඟයක්‌ පවතින බව සත්‍යයකි. එම දිස්ත්‍රික්ක දෙකෙහි ජනතාවට ජලය සැපයීම ද අත්‍ය අවශ්‍ය කාරණාය. නමුත් කිරිඳිඔය නිම්නයේ ජලහිඟය පියවීමට, උමාඔයට හැකියාවක්‌ නැත. ඊට හේතුව වන්නේ මෙම නිම්න දෙකටම වර්ෂාව ඇති වන්නේ සහ පායන්නේ එකම කාලයක නිසා ය.

උමා ඔය සහ කිරිඳි ඔය නිම්නයට වර්ෂාව ලැබෙනුයේ ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟය. මේ නිසා කිරිඳි ඔය නිම්නයට ජලය හිඟ වන විට උමා ඔය නිම්නයටද ජල හිඟ වේ. වැස්ස සහ පෑවිල්ල එකම කාලයක සිදුවන බැවින්, කිරිඳි ඔයට ජලය හිඟ වූ විට උමාඔයෙන් ලබාදීමට තරම් ජලයක් උමා ඔයේ ඉතිරි වන්නේ නැත. එබැවින් මෙම නව ව්‍යාපෘතිය මගින් කිරිඳි ඔය නිම්නයේ ජල හිඟයට විසඳුමක් කිසිසේත්ම ‌ලැබෙන්නේ නැත.

අනෙක් අතට මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක හරහා මුහුදට ගලා යන ගංගා ගණනාවකි. ඒවායෙන් තවමත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායාමට ඉඩහැර ඇති ජලධාරිතාව ද අතිවිශාලය. රජයේ වාර්තා අනුව නිල්වලා ගඟෙන් 40% ක්‌ද කිරිඳි ඔයෙන් 30% ක්‌ද මැණික්‌ ගඟෙන් 33% ක්‌ද, කුඹුක්‌කන් ඔයෙන් 36% ක්‌ද කිරම ඔයෙන් 33.5% ක්‌ද, උරුබොක්‌ක ඔයෙන් 27% ක්‌ද, වලවේ ගඟෙන් 22% ක්‌ද ගල්ඔයෙන් 31% ක්‌ද මුහුදට ගලා බසින්නේ මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක හරහා ය. මෙම ජලය ප්‍රයෝජනයට ගත හැකි පරිදි කළමනාකරණය කරන්නේ නම්, රුපියල් කෝටි ගණන් වියදම් කරමින් උමාඔයෙන් වතුර හැරවීමට අවශ්‍ය තාවයක් මතුනොවේ.

එසේම උමා ඔය ව්‍යාපෘතියට මුල්ගල තැබීමෙන් පසු හම්බන්තොට සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශය සඳහා පානීය ජලය සැපයීමට යැයි පවසමින් “රුහුණු පුර ජල ව්‍යාපෘතිය” නමින් තවත් මහා පරිමාණ ව්‍යාපාතියක්‌ රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර අලුතින් අරම්භ කළේය. එසේ රුහුණු පුර ජල ව්‍යාපෘතිය මගින් හම්බන්තොට සහ කිරිඳි ඔය නිම්නයට ජලය සපයන්නේ නම් උමා ඔය හරවන්නේ ඇයි? යන ප්‍රශ්නය මතුවේ.

දකුණට ජලය සැපයීමට යයි පවසමින් ඇරඹු උමා ඔය ව්‍යාපෘතිය අවසාන වන්නටත් ප්‍රථම, දකුණට ජලය දෙන්නට අලුතෙන්ම “රුහුණු පුර ව්‍යාපෘතිය” පටන් ගැනීම මඟින් බලධාරීන් නිහඬවම පිළිගෙන ඇත්තේ උමාඔය ව්‍යාපෘතියේ අසාර්ථකත්වය නොවේ ද? එය එසේ නොවේ නම් අයථා අන්දමින් මුදල් සොරාගැනීමේ තවත් එක් උපායක් ද?. කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතියෙන් ජලය දකුණට හැරවීම හේතුවෙන් ඉහළ ඌවේ ජල ගැටලුව තවත් උග්‍ර වනු ඇත.

ඒ එසේ වුවද මෙම ව්‍යාපෘතිය දැන් නතර කිරීමෙන් කිසිඳු පලක් නොවේ. සිදු නොවිය යුතුව තිබුණු විනාශය මේ වන විටත් සිදු වී හමාරය. මෙම ව්‍යාපෘතිය යථාතත්වයට පත්කිරීමට පිට සක්වලින් විශේෂඥයින් පැමිණියද දැනට භුමියට, භූසම්පත්වලට, ආර්ථිකයට හා ජන ජීවිතය ට කර ඇති හානිය සිදු වී හමාරය.

උපුටා ගැනීම - රසික කොටුදුරගේ දිනමිණ විශේෂාංග - 2017-07-10
උමා ඔය ගැන කතා කරන්න පෙර කියවිය යුතු ලිපි
උමා ඔය ව්‍යාපෘතිය මේ වනවිට බරපතලම සමාජ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

පිදුරුතලාගලින් ආරම්භ වන උමා ඔය රන්ටැඹේ දී මහවැලි ගඟට එක්වනවා.


එතැන් සිට නව ජල විදුලි බලාගාරයක් ද හරහා වැල්ලවාය ඔස්සේ හම්බන්තොට ප්‍රදේශයට ජලය රැගෙන යාම ව්‍යාපෘතියේ අරමුණ බවයි කියවෙන්නේ.


සත්‍ය කාරණාව නම් බදුල්ල, වැලිමඩ ප්‍රදේශයේ දී හරවන ජල කඳ උමගක් ඔස්සේ බණ්ඩාරවෙල නගරයට යටින් කිරිඳි ඔය දක්වා රැගෙන යාමයි.


මේ වනවිට බණ්ඩාරවෙල නගරයේ බහුතර ළිං ප්‍රමාණයක් සිඳී ගොස් ඇති අතර ගොඩනැගිලි බහුතරයක් ඉරිතැලී ගොස් තිබෙනවා.


මෑතකාලයේ අතිවිශාල ජන සහභාගීත්වයකින් පැවති සැබෑ ජනතා සටනක් ලෙස බණ්ඩාරවෙල හර්තාලය අපට හදුන්වා දිය හැකියි.


උමා ඔය පිළිබද සහ එම ව්‍යාපෘතිය පිළිබඳ ඇසෙන කතා අතර ෆේස් බුක් ගිණුම් දෙකක සටහන් කර තිබූ උමා ඔය පිළිබඳ කියැවීම් 2ක් අප ඔබට මෙසේ ඉදිරිපත් කරනවා.


ඉන් පළමුවැන්න දිනේෂ් තරංග විසින් මෙලෙස සිය ෆේස් බුක් ගිණුමට ඇතුළත් කර තිබුණා.


පළමු උපුටාගැනීම ඔහුගේ ගිණුමෙන්.


එමෙන්ම තවත් ලිපියක් “නොතිර සසර ” වෙබ් පිටුවෙහි වෙනත් කෝණයකින් එය විග්‍රහ කර තිබුණා.


මෙම මත දෙක ම අප ඔබ වෙත මෙලෙස ඉදිරිපත් කරන අතර උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව ඉදිරියේ දී සවිස්තර පැහැදිලි කිරීමකට ආණ්ඩුව සූදානමින් සිටින බව ද වාර්තා වනවා.


පළමු  උපුටාගැනීම.


පොලව නුහුලන මේ අපරාධය කරන්නේ ඇයි ?

=====================================
පිදුරුතලාගල කදු මුදුනින් ආරම්භ වී වර්ග කිලෝමීටර 720 ක ද්‍රෝණියක් ආවරණය කරමින් රන්ටැඹේදී මහවැලි ගගට වැටෙන උමා ඔය දිගින් කිලෝමීටර 75 කි.
බොඹුරුඇල්ල ඔය , කුඩා ඔය ,මාතැටිල්ල ඔය ,මාදොළු ඔය ,හීල් ඔය ආදී විශාල අතු ගංගා ගණනාවකින් පෝෂණය වන උමා ඔය නිම්නය තුල මෙම ජල දහරාවේ ආධාරයෙන් අක්කර 100ට අඩු ප්‍රදේශයක් වගා කරන වාරි ව්‍යාපෘති 1024 ක් පිහිටා තිබේ.
අක්කර 500ට අඩු ව්‍යාපෘති 16 කි.
අක්කර 500ට වැඩි ව්‍යාපෘති ගණන 6 කි.
ඒ අනුව උමා ඔය ජලයෙන් සම්පූර්ණ අක්කර 27,622 ක භූමි ප්‍රමාණයක කෘෂිකාර්මික කටයුතු සිදු කෙරෙන බවට ගණන් බලා ඇත.
1968 දී ආරම්භ කල මහවැලි මහ සැලැස්මටද අයත් වාරි ව්‍යාපෘතියක් වන උමා ඔයේ තවමත් ඉදිකිරීමට නියමිත ව්‍යාපෘති ඇත.
රොටලවෙල ජලාශය සහ ජාතික විදුලිබල පද්දතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක් කරන උමා ඔය ඉහල විදුලි බලාගාරය සහ මෙගාවොට් 30 ක් නිපදවන උමාඔය පහල විදුලිබලාගාරය එලෙස යෝජිත ව්‍යාපෘති වේ.
මේ සියල්ල නිම කිරීමට නියමිතව තිබුණේ පිදුරුතලාගල සිට රන්ටැඹේ දක්වා ස්වභාව ධර්මයා විසින් දායාද කල මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ උමා ඔය ඔස්සේය.
2005 වසරේදී බලයට පත් මහින්ද රාජපක්ෂ රජය මෙම ගමන් මාර්ගය වෙනස් කිරීමට තීන්දුවක් ගත් අතර රන්ටැඹේදී මහවැලි ගගට එකතු වන උමා ඔය ජල දහරාව වැලිමඩදී හරවා ඩයබරා ,බිදුණුවැව , අඹදණ්ඩේගම හරහා කිරිදිඔයේ අතු ගංගාවක් වන අලිකොට ආර දක්වා භූගත මාර්ගයකින් ජලය ගෙනයෑම ඔවුන්ගේ අභිප්‍රාය විය.
එම ව්‍යාපෘතියට තැබූ නම වූයේ උමා ඔය බහුකාර්‍ය ව්‍යාපෘතියයි.
වැලිමඩ පුහුල්පොලදී උමා ඔය හරස්කොටද , මාතැටිල්ල ඔය හරස්කොට ඩයබරාහීදීද ජලාශ දෙකක් ඉදිවන අතර පුහුල් පොල ජලාශයේ සිට ඩයබරා දක්වා භූගත උමගේ දිග කිලෝමීටර 4 කි.
ඩයබරා සිට බිදුණුවැව , අඹදණ්ඩේගම ගම්මාන යටින් කිලෝමීටර 15.2 ක් ගමන් ගන්නා ජල ප්‍රවාහය භූගත විදුලිබලාගාරයට එකතු වන අතර විදුලි බලාගාරයේ සිට පිටතට දමන ජලය තවත් කිලෝමීටර 3 ක් මහපොලව යටින් ගමන් කොට අලිකොට ආර හරහා කිරිදි ඔය නිම්නයට එකතු වේ.
2006 දී මෙහි මූලික ඇස්තමේන්තුව සකස් කල කැනඩාවේ ඩබ්ලින් සමාගම මෙයට ඇස්තමේන්තු කල මුදල වූයේ ඩොලර් මිලියන 155කි.
පසුව ඉරාන ණය ආධාර යටතේ ඉදිකිරීමට තීරණය කල මෙම ව්‍යාපෘතියට ඉරානය විසින් ඇස්තමේන්තු කල මුදල ඩොලර් මිලියන 548 කි.
රාජපක්ෂවරුන්ට ඩොලර් මිලියන 155 මදිවුණාද ??
ලංකාව ලෝකයාට ණය කරමින් කිසිදු පල ප්‍රයෝජනයක් නැති ව්‍යාපෘතියකට මුල පිරුවාට අමතරව තවත් වැඩිපුර ඩොලර් මිලියන ගනනක් කාගේ කාගේ සාක්කු වලට ගියාදැයි දැන් ඔබ වටහාගත යුතුය.
අවසානයේ වැඩි මුදලකට ඇස්තමේන්තු කල මෙම ව්‍යාපෘතියේ සිදුවන සහගහන මුදල් මංකොල්ලය දුටු එවකට සිටි වාර්මාර්ග අමාත්‍යංශයේ ලේකම් ඒ ඩී එස් ගුණවර්ධන මහතා පිටකොන්ද ඇති නිලධාරියෙක් ලෙස තව දුරටත් මෙම කොල්ලකෑම දෙස බලා නොඉද ඉල්ලා අස්වී ගෙදර ගියේය.
ඔහු මෙම වාරි ව්‍යාපෘතියට අනුමැතිය දීමට එකග නොවුණි.
ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර පරිසර ඇගයීම් වාර්තා සකස් කිරීම ලෝකයේ පිලිගත් ක්‍රමය වුවත් ලෝකයේ පිලිගත් ක්‍රම මෙම ව්‍යාපෘතියට අදාල නොවුණි.
ඉදිකිරීම් ආරම්භ කර කලක් ගතවන විට පරිසර සංවිධානවලින් එල්ලවන විරෝධය හමුවේ 2011 අප්‍රේල් 12 වන දා පරණ අවුරුද්දේදී පරිසර ඇගයීම් වාර්තාවක් නිකුත් විය.
ත්‍රිවිධ හමුදාව , පොලීසිය සහ රෝහල් හැරුණු විට අමාත්‍යංශද පරණ අවුරුද්දේ වැඩ කරන වග අප දැනගත්තේ එදාය .
සාක්කුවට ලැබෙන දොල පිදේනි වලට ප්‍රේත බැල්ම හෙලා සිටි අමනුස්සයින් විසින් මහජන ජීවිත අනතුරේ වැටීම තඹයකට මායිම් කර නොතිබිණි.
එදා ජවිපෙ වැනි දේශපාලන පක්ෂද පරිසර සංවිධානද මෙම ව්‍යාපෘතියට එරෙහිව මහා හඩක් නැගුවද එවකට තිබූ රජය එය සත පහකට ගනන් ගත්තේ නැත.
එයට මූලිකම හේතුව වූයේ ප්‍රදේශවාසී ජනතාවගේ වූ උදාසීන භාවයයි.
යුධ ජයග්‍රහණයත් සමග දේවත්වයට ආරෝපණයවී තිබූ රාජපක්ෂ නාමය ඉදිරියේ ජනතාවගේ මනස නිවුට්‍රල් වී තිබිණි.
එදා සමන්ත විද්‍යාරත්නලා ජනතාව දැනුවත් කිරීමට ගම්බිම්වලට යනවිට එම හඩට ඇහුන්කන් දෙන්නට බල්ලෙකුවත් සිටියේ නැත.
සමහර ගම්මානවලදී සමන්ත ඇතුළු පිරිසට හූ කියා එලවාගත් අතර එදා හූ කියූ ජනතාවම පහුගිය 28 දා බණ්ඩාරවෙලදී සමන්තට අත්පුඩි ගැසූ ආකාරය දෛවයේ සරදමකි.
ජනතාවට සුරංගනා ලෝක මවා තිබුණි....
ආසියාවේ ආශ්චර්‍ය දෑස් ඉදිරිපිට අලවා තිබුණි.
මිනිසුන් සිටියේ සිහිනයක් දකින අන්ධයින් ගාණටය.
2014 දෙසැම්බර් 26 පලමු ජල කාන්දුව උමග තුල සිදුවන විට මහපොලව උඩ සිටි සියලු දෙනාට ඇස් ඇරෙන්නට ගත්තේය .
එවිට උමග කිලෝමීටර 4 ක් හාරා තිබූ අතර උමග තුලින් තත්පරයට ලීටර 700 ක ජල දහරාවක් කාන්දු වෙන්නට පටන් ගත්තේය.
මදක් කල්පනා කර බලන්න.
ඔබගේ නිවසේ තිබෙන ජල ටැංකිය ලීටර 500 ක් නම් එය උමා ඔයේ ජල කාන්දුවට එවකට ඇල්ලුවා නම් පිරීමට ගතවෙන කාලය තත්පරයකටත් අඩුය.
මහපොලව අභ්‍යන්තරයේ තිබූ ජලය උමග තුලට කාන්දු වීමට පටන් ගත් පසු ළිං හිදෙන්නට විය , ගොවිබිම් වේලි ඉරිතලා ගියේය , නිවාස ගිලා බැස්සේය ...
ජනතාවට සිදුවූ විනාශය දැනෙන්නට වූයේ එවිටය.
අද වනවිට උමා ඔය උමග තුල සිදුවන ජල කාන්දුව තත්පරයට ලීටර 2500කි.
ඒ අනුව දිනකට ලීටර මිලියන 222 කි.

මකුල් ඇල්ල පන්සල , එගොඩගම පන්සල, හීල් ඔය පන්සල , කුරුදුගොල්ල පන්සල , පල්ලේපේරුව මුස්ලිම් පල්ලිය වැනි පූජනීය ස්ථානද 

මකුල් ඇල්ල පාසල , බණ්ඩාරවෙල අධිකාරම් පාසල , ධර්මාශෝක ජාතික පාසල වැනි අධ්‍යාපන ආයතනද නිවාස දහස් ගණනක්ද ඉරිතලා ගිලා බැස ඇත.
ජනතාව රාත්‍රියට නිදාගන්නේද , දරුවන් පාසලේ අකුරු කරන්නේද මාරයා හිස මත තබාගෙනය.
ඉරිතලා ඇති බිත්ති ඇද වැටී කොයි මොහොතේ ජීවිත හානියක් වේ දැයි කියන්නට දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි

මේ හෙණ ගහන අපරාධය කලේ ඇයි ?

අප අහන එකම පැනය එයයි.....
සාක්කුවට වැටෙන ඩොලරයට ,යුරෝ එකට කෑදර කමේ උපන් නූපන් මහා දරු පරම්පරාවකට පෝෂණය වීමට තිබූ මධ්‍යම කදුකරයේ ජල දහරාව මෙලෙස විනාශ කලේ ඇය ?
මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම අසාර්ථක ව්‍යාපෘතියකි.
එයට හේතුව කිරිදිඔය සහ උමා ඔය නිම්නය යන දෙකම ඊසාන දිග මෝසමෙන් වැසි ලෙබන ප්‍රදේශ දෙකකි.
එම නිසා කිරිදි ඔය නිම්නයට වැසි ලැබෙන විට උමා ඔය නිම්නයටද වැසි ලැබේ..
එම කාලයට කිරිදි ඔය නිම්නයේ පවතින හදපානාගල ජලාශය ආදිය වාන් දමයි...
මේ කාලයට උමා ඔයෙන් වතුර කිරිදි ඔයට ගෙනගියොත් සිදුවන්නේ විනාශයකි....
මොණරාගල සහ හම්බන්තොට ජනතාවට සිදුවන්නේ පීන පීන සිටීමටය.
අනෙක් කාලයට කිරිදි ඔය නිම්නයට පායන විට උමා ඔය නිම්නයද පෑවිල්ලට හසුවෙයි ..
දීමට වතුරක් උමා ඔයේ එම කාලයට නැත.

මෙම කාලකණ්නි ව්‍යාපෘති අනුමත කලේ ඇයි ?

ඊලගට තවමත් උමා ඔය හරවා නැති නිසා බත්මැඩිල්ල වැනි ගොවි ව්‍යාපාරවලට මෙම ප්‍රශ්නය දැනී නැත.
තවමත් උමා ඔයේ වතුර ලැබෙන බත්මැඩිල්ලේ මිනිසුන් ජූනි , අගෝස්තු , සැප්තැම්බර් මාසවල සිටින්නේ ජල හිගයට මුහුණ දෙමිනි.
උමා ඔය තිබියදී එලෙස නම් උමා ඔය හරවා වතුර නැතිවූ විට බත්මැඩිල්ලේ මිනිසුන්ට වෙන්නේ වහ කෑමටය.

උමා ඔය තබා අඩුම බදුල්ල දිස්ත්‍රික්කයවත් සියැසින් නොදුටු සමහරුන් කොලඹට වී තම දේශපාලන මති මතාන්තර අනුව මෙම ව්‍යාපෘතිය සාධාරණීකරනය කරනවා මෙම කාලයේ දැක ගැනීමට ඇත.

ඔවුන්ට ඇති ගැටලුව වන්නේ මෙම ව්‍යාපෘතියේ හානිය නොව තමන් කර තබාගෙන යන දේශපාලන පක්ෂය බේරා ගැනීමයි .
එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා හෝ ජවිපෙට පහර දීමයි.

මහත්වරුනි ජල අවශ්‍යතාවයට යූඇන්පී ,ශ්‍රි ලංකා ,ජේවිපී භේදයක් නොමැති බව ඔබ වටහා ගන්නේ කවදාද ?

රටට බත සපයන දැවැන්ත ගොවි ව්‍යාපාර අනතුරක් අභියස සිටියදී තමන්ගේ දේශපාලන කදවුරු වෙනුවෙන් මෙය සාධාරණීකරණය කරන්නේ ඔබ බත් කන අයෙක් නොවන නිසාද ?

මුලු මහත් මධ්‍යම කදුකරයම අනතුරට වැටුණු පසු ඔබ අප සියළු දෙනාගේම දරු පරම්පරාවන් අනතුරේ වග වටහා නොගැනීමට තරම් ඔබ නරුමද ?


කරුණාකර ඔබේ දේශපාලන මතය ඉවත හෙලන්න.

මේ විනාශය වටහා ගන්න.
මහපොලව සුරැකීමට දැගලීම ජේවීපීකාරයන්ගේ වැඩක් ලෙස නොදැක සියළු දෙනාගේ වගකීමක් ලෙස සිතන්න.

අප නැවත නැවතත් කියන්නේ...

ඔබ කැමති කෙනෙකුට ඡන්දය දෙන්න.
විනාශයට එරෙහිව එකට ඉන්න.

( From Ananda Sumith )


------------------------------------------------


දෙවන උපුටාගැනීම.


උමාඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු..

------------------------------------------------------------
උමා ඔය වතුර ගෙනියන්නෙ හම්බන්තොටට, උමා ඔයේ තියන ගොවි ව්‍යාපාර වලට වතුර නැති වෙනවා.. දැනටත් උමාඔය කාලෙකට හිදෙනවා.. එහෙම තියෙද්දි කොහොමද තවත් වතුර හම්බන්තොටට යවන්නෙ?? 
උමා ඔය වතුර බිංදුවක්වත් හම්බන්තොටට යවන්නෙ නෑ.. උමාඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්.. සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩාඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවරවෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි..හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ.. අලුතෙන් ජලාශ හදන්නෙ කුඩාඔය අලිකොටාර හඳපානාගල (අලිකොට ආර වැල්ලවායට උඩින්, කුඩා ඔය හදපානාගල තණමල්විලට කිලෝමීටර් විස්සක් විතර උඩින් ).. තව පායන කාලෙට හිඳෙන පොඩි වැව් 127කට වතුර දෙනවා.. ඒවයින් වගාකරන්නෙ තණමල්විලට එනතුරු තියන ඉඩම්.. ඔක්කොම අලුතෙන් හෙටයාර 3800ක් වගා කරනවා.. ඊට අමතරව දැනට වතුර හිඟකමින් එක කන්නයක් විතරක් වවන කුබුරු හෙක්ටයාර 1500කට කන්න දෙකම වගාකරන්න වතුර දෙනවා.. දැනට ගංජා,හේන් ගොවිතැන් කරන තණමල්විල මිනිස්සුන් ඒකෙන් මුදවලා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමත් සිද්ද වෙනවා මේ එක්කම.. ගංගා ද්‍රෝණියකට වතුර වැටුනම ඒක මුළු ද්‍රෝණිය පුරාවටම යන එක වගේම ඒකෙ ජල මට්ටම ඉහල යන එක සිද්ද වෙනවා.. ඒ වගේම කුඹුරු වලින් එන අපජලය (ඩ්‍රෙනේජ් වෝටර්) කොහොමත් ද්‍රෝණියෙ පහළට ගිහින් මුහුදට වැටෙනවා..ඒ ඇරෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයෙ එක අඟලකට මේ වතුර ඩිරෙක්ට් යවන්නෙ නෑ.. එහෙම කියන්න අය කියන්නෙ මේක මහින්ද හම්බන්තොටට වතුර ගෙනියන්න කරන වැඩක් කියන මතය හදලා කිසිම පදනමක් නැති විරෝධයක් ගොඩනැගීමේ තුච්ඡ අරමුණින් විතරයි.. දැන් ඒක හරිනේ.. ආයෙ කවුරුහරි කිව්වොත් උමාඔයේ වතුර හම්බන්තොටට ගෙනියනවා කියලා කණට දෙකක් ගහලා මේක පෙන්නන්න..

ඊළඟ කතාව උමාඔය පහළ අයට වතුර නැති වෙනව කියන එක.. උමා ඔය පෝශක ප්‍රදේශය ව.කි.මි.720ක්.. මේ වතුර දැන් යන්නෙ රන්ටැඹේට.රන්ටැඹේ කියන්නෙ රන්දෙණිගලින් එලියට දාන වතුර එන ඉතාම කුඩා ජලාශයක්.. මුලු කැපෑසිටි එක 11mcm.. ඒකෙනුත් බාගෙකට වඩා වැලි පිරිල නිසා හැමදාම සෙඩිමන්ට් ප්‍රශ්නෙට මුහුණදෙන ලංකාවෙ වැඩිම තර්ජනයකට ලක්වුණු ජලාශය.. මේකෙ තියන අඩු ධාරිතාව නිසා උමාඔයෙන් වැහිකාලෙට එන වතුර ගබඩා කරන්නවත්, එයින් ඇතිවෙන ගංවතුර තත්වයන් පාලනය කරන්නවත් රන්ටැබේට හැකියාවක් නෑ..ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් විදියට උමාඔය ඉහලින් ජලාශ කිහිපයක අවශ්‍යතාව 1950 ඉදන් කරපු හැම අධ්‍යනයකම අවධාරණය කළා වගේම රන්ටැඹේ සෙඩිමන්ට් ප්‍රශ්න එද්දි ඒ අවධාරණයන් තව තවත් තීව්‍ර වුණා.. ඒ ජලාශ දෙකතමයි පුහුල්පොල ඩයරබා වල දැන් හැදෙන්නෙ.. මීට පහලින් උමාඔයේම තියන බත්මැඩිල්ල ඇතුළු වාරි ව්‍යාපාර වල ජල අවශ්‍යතාවය(25mcm)වෙනුවෙන් සහ රන්ටැඹෙන් පහල මහවැලි කලාපවල අවශ්‍යතාවය වෙනුවෙන්(40mcm)අවශ්‍ය ජලය පුහුල්පොල ඩයරබා දෙකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව යවනවා වගේම ප්‍රමුඛතාව දෙන්නෙත් ඒ දෙකට.. මේ ප්‍රමාණය දීලා ඉතිරියෙනුත් 150mcm විතරයි හරවලා යවන්නෙ... උමාඔය වාර්ශික වර්ශාපතනය 2000-2500mmක්.. මේක විශාල අගයක්..ඒත් මේ වැස්ස ලැබෙන්නෙ අවුරුද්දෙ එක කාලයකට වැඩි බරක් ඇතුව... අදටත් අපේ තියන අනෙක් ජලවිදුලි බලාගාර වලිනුත් හැමදාම එකම විදියට විදුලිය නිපදවන්න බෑ.. එහෙම වතුර අඩු කාලයකදි ටර්බයින් දෙකෙන් එකක් නවත්වයි.. ඒත් බැරිනම් දෙකම නවත්වයි.. ඒක අදටත් අනෙක් බලාගාරවලත් සිදුවෙන දෙයක්..ඒක එහෙමයි, පහල වාරි ව්‍යාපාර වලට මෙයින් සිද්දවෙන්නෙ හානියක් නෙවෙයි වාසියක්.. මොකද බත්මැඩිල්ල ඇතුලු අනෙක් ව්‍යාපාර තුනම අමුණු.. අමුණකින් කරන්න පුළුවන් එන වතුරක් හරවල යවන එක විතරයි, ගබඩා කරල තියාගන්න බෑ.. එතකොට වතුර නැති කාලෙට මොකද වෙන්නෙ?? මේ ජලාශ දෙකට අමතරව තවත් ජලාශයක් හැදෙනවා තල්පිටිගල.. ඒක හුදෙක්ම වාරි අවශ්‍යතා වෙනුවෙන්ම කෙරෙන ජලාශයක් බත්මැඩිල්ලට උඩින්...ඉතින් මෙච්චර කාලයක් බත්මැඩිල්ලෙ අමුණෙන් කරගන්න බැරි වුණු කාලවලටත් උමාඔය නිම්නයේ ඉඩම් වලට වතුර ලැබෙනවා..


මම මේ පෙන්නල තියෙන්නෙ ජල ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනට උමාඔය ආශ්‍රිතව තියන වාරි පද්ධති තිරසාරව පවතින්නත්, අපතේ යන වැසි ජලය කෘශිකාර්මිකව වගේම විදුලිබලය නිපදවන්නත්,රන්ටැඹේ ආශ්‍රිතව තියන රොන්මඩ ගැටලුවලට විසදුම් දෙන්නත් උමාඔය ව්‍යාපෘතිය මොනතරම් සාධණීය කාර්‍යයක් කරනවද කියන එක. උමාඔය කියන්නෙ සතපහකට වැඩකට නැති මහා ව්‍යසනකාරී ව්‍යාපෘතියක් කියන එක පට්ටපල් බොරුවක්...!!!


ඊළඟ පට්ටපල් බොරුව ෆරබ් කියන්නෙ තෙල් ලිං ගහන කොම්පැනියක්‍ ය. උන් කවදාවත් මේ වගේ ප්‍රොජෙක්ට් කරල නැතිය..කියන එක.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2000MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා.. ඒ අතරෙ බරගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්.. ෆරබ්ලා කරපු කරුන් 3 (Karun 3) ජලවිදුලිබලාගාරයෙ ධාරිතාව 2000MWක්.. ලංකාවෙ වික්ටෝරියා(210MW),රන්දෙණිගල(201MW),රන්ටැඹේ(52MW) ඇතුළු සියළුම ජලවිදුලිබලාගාර වල උත්පාදනය ගත්තත් 1500mwට අඩුයි. මේ තියෙන්නෙ ෆරබ් වෙබ් සයිට් එක.. මේකට ගිහින් බලන්න පුලුවන් මුන් කරල තියන උමං සහිත මහාපරිමාණ ජලවිදුලි බලාගාර ගැන විස්තර.. ඒක හරිනේ දැන්..


ඊලගට පරිසර සංවිධාන කියන හමස්පඩංගු හැමදාම වගේ මේකටත් කෑගහනවා... උන්ට අනුව ගෙදර වත්තෙ පස්පිඩල්ලක් කපන එකෙනුත් කූඹි,ගැඩවිල්ලු මැරිලා ගෝලීය උශ්ණත්වය ඉහළ ගිහින් ලංකාවෙන් බාගයක් මුහුදට යටවෙනවා.. ඒවා දැන් ඕන දේටයි එපා දේටයි හැමදේටම කියල කිසිකෙනෙක් ගණන් නොගන්න තත්වෙට ඇවිල්ලනේ තියෙන්නෙ..පරිසරයට "හානියක්" නොකර කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න බෑ පැහැදිලිවම... සංවර්ධනේ කියන්නෙ අපිට ගෙයක් දොරක් හදන්නත් බෑ, ඒකෙනුත් පරිසර සමතුලිතතාව බිඳවැටෙනවා.. ඒ නිසා හානි නොවෙන්නෙ නෑ වෙනවා.. අවම කරන එකයි කරන්න ඕන.. මොරගහකන්දෙ වතුර පුරවද්දි බෝට්ටුවලින් ගිහින් වතුරට කොටුවෙන්න ගිය හූනො,කටුස්සො, තලගොයි,නයි,පොළොන්ගු ඇල්ලුව දැක්කනේ.. ඒ වගේ අවම කරන්න පුලුවන් හානිය..

ඊලඟ එක නැවත පදිංචිකිරීම්... මේ කාරණාව තරම් ලංකාවෙ සංවර්ධනයට, නිකන් නෙවෙයි තිරසාර සංවර්ධනයට, බාධාවක් වුණු දෙයක් නැති තරම්.. ඒ වගේමයි මීඩියාකාරයින්ට මිනිස්සු අඬවලා නිව්ස් මවන්නත් මීට වඩා හොඳ පොයින්ට් එකක් වෙන නෑ.. අනික තමයි වන්දි කියන ඒවා හරියට තක්සේරුකරල දුන්නත් කොච්චර ලැබුනත් මදි.. ආයෙ ඇහුවත් කියන්නෙ මොකුත් ලැබුණෙ නෑ කියලා.. කැළණි ගග දෙපැත්තෙ මිනිස්සුන්ට ගංවතුර ආධාර බෙදනකොට වගේ තමයි... මේවා අද ඊයෙ නෙවෙයි හැමදාම හැම ප්‍රොජෙක්ට් එකකම වෙන දේවල්.. වික්ටෝරියාවලදි තෙල්දෙණිය ටවුමක්ම නැවත පදිංචිකලා, මොරගහකන්ද-කළුගඟට ලග්ගල-පල්ලෙගම ටවුමම යට වුණා.. අලුතෙන් පාරවල් හැදුවා... ඒවා අසාමාන්‍ය නෑ.. සංවර්ධන ව්‍යාපෘතිවල සාමාන්‍ය දේවල්.. බොහොම සාමාන්‍යයි..
අනෙක් මහාපරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ජලාශවලට යටවෙන ප්‍රදේශයෙන් ඉවත් කරන්න වෙන ප්‍රමානය සාපේක්ශව ඉතාම අඩු ගණනක් මේ ව්‍යාපෘතියෙ.. සංඛ්‍යාත්මකව නම් සම්පූර්ණයෙන්ම යටවෙන ප්‍රමානය ගෙවල් 200ක්. මේක අනෙකුත් මහාපරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ඉතාම අඩු ගණනක්..

පට්ටපල් බොරු ප්‍රශ්න තමයි උඩින් කිව්වෙ, හැබැයි උමාඔය ප්‍රොජෙක්ට් එකේ ඇත්තටම ප්‍රශ්නයක් තියනවා...දැන් එමු ප්‍රශ්නෙට.. ප්‍රශ්නෙ එන්නෙ ටනල් හාරන්න යද්දි.. මේකෙ ටනල් 3යි. ඒ තුනෙන් පුහුල්පොල-ඩයරබා යාකරන ලින්ක් ටනල් එක හදලා ඉවරයි.. ඒකෙ දිග කිලෝමීටර් 4යි.. ඒක හදද්දිත් වතුර කාන්දු වුනා.. ඒ කාන්දු නවත්වගෙන සීල් කරගෙන ටනල් එක හදල ඉවර කලා.. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.. තව ටනල් දෙකක් තියනවා හෙඩ්‍රේස් ටනල් එක සහ ටේල්රේස් ටනල් එක...හෙඩ්‍රේස් කියන්නෙ ඩයරබා වලින් විදුලි බලාගාරෙට වතුර ගෙනියන්න හදන මේ ටනල් එකේ දිග කිලෝමීටර් 15ක්, ටේල් රේස් එකෙන් බලාගාරෙ ඉදන් අලිකොටආරට වතුර ගෙනියනවා ඒකෙ දිග කිලෝමීටර් 3.3ක්.. මේකෙන් ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ හෙඩ්‍රේස් එකේ.. ප්‍රශ්නෙ තමයි හාරද්දි භූගත ජලය කාන්දුවෙනවා ඒ නිසා ටනල් ට්‍රේස් එක උඩ තියන ප්‍රදේශවල භූගත ජලමට්ටම පහල යනව සහ ඒ නිසා පසෙහි සිදුවන වෙනස්කම් නිසා ඉහල පාංශු ස්ථරයේ ඉරිතැලීම් සිද්ද වෙනවා.. මේ භූගත ජල කාන්දු වලක්වන්න පුලුවන් වගේම නිවැරදි අධ්‍යනයක් කළා නම් මේ තත්වෙට නොගිහින් වළක්වගන්නත් තිබුණා.. මේකෙ වගකීම සම්බන්ධයෙන් ගත්තම විවිධ පාර්ශව වලට චෝදනා වෙනවා.. එතනින් ප්‍රධානම එකක් වෙන්නෙ ව්‍යාපෘතිය කඩිනම් කරන්න එවකට පැවති දේශපාලන අධිකාරියට තිබුණු හදිස්සිය හේතු වුණා කියන එක.මේක බැහැර කරන්න බැරි කාරණාවක්..!!! ඊලග දේ ටනල් ට්‍රේස් එක ගැන දත්ත අඩු අවස්ථාවක TBM (tunnel boring machine) එක යන්න කලින් ඉදිරි කලාපය ගැන දත්ත ගන්න අධ්‍යනයන් කරන්න ඕන..ඒක කරලත් නෑ...!! මේ වෙද්දි අවස්ථා දෙකකදි දුර්වල පාංශු ස්ථර හමුවීම නිසා සැලකියයුතු ප්‍රමාණයෙන් භූගත ජලය කාන්දු වුණා. පළවෙනි කාන්දුව අවම කරල තියෙන්නෙ.. (100%ක් ම වහන්න බෑ..) දැන් තියන කාන්දුවත් අවම කරන්න කටයුතු කරගෙන යනවා.. ඒවා ඉතාම වියදම් අධික ක්‍රියාවලි... සරලව කිව්වොත් මූලික අධ්‍යනයන් නොකර වගේම ටනල් එක හාරද්දි කරන්න ඕන අධ්‍යනයන් නොකිරීමෙන් ඇතිවෙලා තියන තත්වය පාලනය කරන්න යන වියදම අධික වීම නිසා ව්‍යාපෘතියෙ වියදම ඇස්තමේන්තුගත වියදම ඉක්මවා යන්න පුළුවන්... ටනල් එක හදලා ඉවර වෙද්දි භූජලවිද්‍යාත්මකව නැවත ඉහල ජල ස්ථරය යථා තත්වයට පත්වෙනවා.. ඒත් ඒ වෙනතුරු ආපදාවට ලක්වෙලා ඉන්න ප්‍රදේශවලට අදාළ වන්දි ලබාදීම වගේම ජල පහසුකම් ලබාදෙන්න ඕන.. ඉහල බිම් සදාකාලිකව නිසරු වෙන්නෙ නෑ මොන හේතුවකටවත්... මේක තාවකාලික තත්වයක්..!! 

මේ ප්‍රොජෙක්ට් එක වගේම විදේශ ණය මත පදනම් වුණු සියළුම ව්‍යාපෘති වල තියන ප්‍රධානම ගැටලුවක් තමයි මේවා EPC(Engineering Procurement Contract) වීම.. එතනදි clientගෙ consultantට තියන බලය ඉතාම අවමයි. ඒ කියන්නෙ මේකට clientගෙ පැත්තෙන් ඉන්න CECB එකට ප්‍රොජෙක්ට් එකට අතදාන්න බෑ.. monitor කරන්න විතරයි පුළුවන්.. ඒක ලොකු පාඩුවක්.. මේ පාඩුව අපිට උමාඔය විතරක් නෙවෙයි මොරගහකන්ද,කතරගම රේල්වේ එකේ වගේම අනෙකුත් ව්‍යාපෘති වලත් මතුවෙනවා...මේ තත්වයෙදි රටේ දේශපාලන අධිකාරියත් කන්ට්‍රැක්ටර්ගෙ පැත්ත ගන්නව නම් උන්ව පාලනය කරන්න බැරිම තත්වෙකට එනවා.. උදාහරණෙකට කතරගම රේල්වේ එකේ CECB ටීම් ලීඩර් අයින් කරන්න පවා අපේ වත්මන් ජනාධිපති කටයුතු කරල තිබුණා.. සාපේක්ශව ගත්තම ඉරාන් වැඩ චීන්නුන්ට වඩා ගොඩක්ම හොඳයි.. මොකද චීන සයිට් බලන්න යන්නවත් CECB එකට දෙන්නෙ නෑ, ගහනවා.!! .ඔව්. ඒත් උමාඔය එහෙම තත්වයක් නෑ.. එතන තියන කන්ස්ට්‍රන්ශන් ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න කන්ට්‍රැක්ටර්ටම අව්ශ්‍යතාව තියනවා.. ඒකට හේතුව ඔවුන් ලෝකයෙ ජලවිදුලිය සම්බන්ධ නමක් තියන සමාගමක් වීම සහ මේ ප්‍රශ්න ඔවුන්ගෙ කීර්තිනාමයත් හානියක් වීම.. 
උමාඔය තියෙන්නෙ විසඳන්න බැරි ප්‍රශ්න නෙවෙයි.. ඔය කියන විදියට ටනල් ට්‍රේස් එක උඩ සදාකාලිකව නිසරුවීමක්වත් පෝශකප්‍රදේශ විනාශවීමක්වත් වෙන්නෙ නෑ.. ලෝකෙ කොහෙවත් ටනල් එකක් නිසා එහෙම වෙලත් නෑ, දැනට තියන ඉංජිනේරුවිද්‍යාත්මක දැනුමෙන් එහෙම වෙන්නෙත් නෑ. මේ ප්‍රශ්න තාවකාලිකයි..නමුත් ඉන් ආපදාවට ලක්වෙන මිනිස්සුන්ට වන්දි ලබාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි..!!

----------------------------


මේ අතර


'උමාඔය ඇස්තමේන්තුවෙන් ඩොලර් මිලියන 248 ක් ගිල්ලේ මෙහෙමයි." යන මැයෙන්  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ  කීර්ති තෙනේකෝන් මහතාගේ හෙළිදරව්වක් පහතින්....


බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව මාස 6 ක් තුල ඩොලර් මිලියන 248 කින් වැඩි කළ දේශපාලනඥයින් හා නිලධාරීන් උමා ඔය විනාශයට වග කිව යුතු යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සදහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – 2006 දී සකස් කරනු ලැබුවේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගම විසිනි. එම ඇස්තමේන්තුවට අනුව උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍ර‍මය සදහා වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 155 කි.


රාජපක්ෂ රජය උමා ඔය ව්‍යාපෘතියට ආකර්ශනය වන්නේ වැලිමඩ ජලය මොණරාගලට ගෙන යන්නට එමගින් අවස්ථාව ලැබෙන නිසාම නොවේ. සැබවින්ම වැලිමඩ ජලය හම්බන්තොට ගෙන යන කතාව මැතිවරණ වේදිකා කථාවක් පමණකි.


කැනඩා ඇස්තමේන්තුවෙන් වසර 3 කට පසුව ඉරානය මෙම ව්‍යාපාරයට මැදිහත් වේ. 2008 අප්‍රේල් මස ඉරාන ජනාධිපතිවරයා ලංකා සංචාරය අතර මෙම ව්‍යාපෘතිය ඇරඹීමට මේ අනුව සුදානම් වන අතර එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා ට එම ගිවිසුම අත්සන් කිරීමට බලය පැවුරුණි. ඔහු ගේ දැඩි විරෝධනය නිසාම ශක්‍යතා අධ්‍යයනයකින් පසුව ඇස්තමේන්තු කිරීමේ කොන්දේසිය සමග ‘හිස් ගිවිසුමක්‘ ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතර අත්සන් තබනු ලබයි. එවකට වාරිමාර්ග අමාත්‍යවරයා වූයේ චමල් රාජපක්ෂ මහතා ය.


මේ අතර ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු ඉහළ නංවන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවේ දී ලංකා රජයේ නිලධාරීන්, ඉංජිනේරුවන් මෙයට වඩා වැඩි මුදලක් මේ ව්‍යාපෘතියට වැය කිරීමට එරෙහි විය. කෙසේ නමුත්, 2008 දෙසැම්බර් මස ලංකාවේ අන්ත දුෂිත නිලධාරීන් පිරිසක් ද ඉරාන විශේෂඥයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ද සකස් කරන ලද ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 548 කි. එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එයට පක්ෂ නොවන වාර්තාවක් ද එයට සමගාමීව ඉදිරිපත් කරනු ලැබීය. (ගුණවර්ධන මහතා යනු පරාක්‍ර‍ම සමුද්‍ර‍ය කැඩී ගිය අවස්ථාවේ ඉතා කෙටි කලකින් එය ප්‍ර‍තිසංස්කරණය වාරි ඉංජිනේරුවරයා ය.)


එයින් 85% ක් ඉරාන රජය මගින් ද, 15% ක් ලංකා රජය මගින් ද දැරීමට ගිවිසුම අනුව දෙරට එකගත්වය පළ කරනු ලැබීය. වත්මන් උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව රුපියල් කෝටි 7632 කි.


ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට මෙම ගිවිසුමට අත්සන් තැබීම සදහා දේශපාලන බලපෑම් එල්ල වන්නේ මේ අවස්ථාවේ දී ය. එය ප්‍ර‍තිඑලය වූයේ 2009 ජනවාරි 9 දින අමාත්‍යාංශ ලේකම් ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ය. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපියේ ලියන්නේ ‘ලංකා රජයට අතිරේක ඩොලර් මිලියන 248 ක පිරිවැයක් දැරීමට සිදුවන ගිවිසුමකට මාගේ අත්සන යෙදිය නොහැකි බැවින් ඉල්ලා අස්වන බවයි.


වාරි මාර්ග අමාත්‍යාංශයේ පුරප්පාඩුව සදහා පත්වන්නේ අයිවන් සිල්වා මහතා ය. ඔහු දේශීය විශේෂඥයින්ගේ ද, ඌව ජනතාවට ද, පරිසර වේදීන් ද එක හඩින් එපා කියන උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේය. ඒ කැනේඩියානු ඇස්තමේන්තුවට වඩා සිව් ගුණයටක මදක් අඩු ඇස්තමේන්තුවකට ය. ලංකාවේ වාරි ඉංජිනේරුවන් එකග වූ මුදලට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 248 කට වැඩි මුදලකටය.


උමා ඔය ව්‍යාපෘතියට පරිසර ඇගයීම් වාර්තා අනුමැතිය ලබා දී ඇත්තේ 2011 අප්‍රේල් 12 දා ය. අලුත් අවුරුද්ද ලබන්නට පැය ගණනකට පෙර මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය ලංකාවේ මධ්‍ය කදුකරයේ නැගෙනහිර බෑවුමේ හදවත සිදුරු කරන්නට අවසර ලබාදීම පිටුපස ඇත්තේ ද දැවැන්ත අබිරහසකි. ජනතාව වීදි බැස හර්තාල් කරන සුන්දර බණ්ඩාරවෙල කාන්තාරයක් බවට පත් කොට ඇති උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එදා මෙදා තුර පාලකයින් වගකිය යුත්තේ මේ දැවැන්ත විනාශය නිසාමය.


රජිත් කීර්ති තෙන්නකෝන්

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ
හිටපු උපදේශක - දුෂණ විරෝධී පෙරමුණ

2017 ජූනි 30 
උපුටා ගැනීම
http://news24.lk/gossip/5373/Uma-Oya-Project

No comments:

Post a Comment