Sunday, February 2, 2025

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී ඇත | ලෝක තෙත්බිම් දිනය 2025

 ලෝක තෙත්බිම් දිනය අදට (පෙබරවාරි මස 02) යෙදී තිබේ. මෙවර එහි තේමාව “අපගේ අනාගතය සඳහා තෙත්බිම් ආරක්ෂා කිරීම – Protecting Wetlands for Our Common Future” යන්නයි. තෙත්බිම් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම පෙබරවාරි 02 වැනිදා ලෝක තෙත්බිම් දිනය මෙසේ සැමරුමට ලක්වේ. 1971 වසරේ පෙබරවාරි 02 වැනිදා ඉරානයේ රැම්සා නුවරදී රැස්වූ “තෙත්බිම් පාර්ශ්වකරුවන්ගේ සමුළුව” සහ එහිදී ජාත්‍යන්තර ගිවිසුමක් ලෙස සම්මත කරගත් “තෙත්බිම් පිළිබඳ රැම්සා සම්මුතියේ” සංවත්සරය ද සනිටුහන් කිරීම මෙම දිනය සැමරීමේ අරමුණක් වන නමුත් සැබැවින්ම ලෝක තෙත්බිම් දිනයක් පළමුව සැමරීමට ලක්වන්නේ 1997 වසරේදී පටන්ය. ඒ රැම්සා පාර්ශ්වකරුවන් ඇතුළත් තෙත්බිම් පිළිබඳ සම්මුතියේ ලේකම් කාර්යාලය මගිනි. එසේම, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනයක් ලෙස ලෝක තෙත්බිම් දිනය ප්‍රකාශයට පත්වන්නේ 2021 වසරේ අගෝස්තු 30 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගත් 75/317 යෝජනාව පරිදි ය. මේ අනුව පෙබරවාරි 2 වැනිදා “ලෝක තෙත්බිම් දිනය – World Wetland Day” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට කර ඇත.

ලෝක තෙත්බිම් දිනයේ වැදගත්කම

හඳුනාගෙන ඇත්තේ වනාන්තර විනාශයට වඩා තුන් ගුණයක වේගයෙන් තෙත් බිම් මේ වන විට අපට අහිමි වෙමින් පවතින බවයි. තෙත්බිම් යනු ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත්, දේශගුණික විපර්යාස අවමකිරීම සහ ඊට අනුවර්තනය වීමේ හැකියාව ඇති සහ වැඩි ජලය රඳවාගැනීමට ඉවහල් වන වටිනා පරිසර පද්ධතියක් ලෙසටය. තෙත්බිම් මගින් ලෝක ජල සුරක්ෂිතතාව ඇති කරමින් මිනිසා ඇතුළු ජීවීන්ට මිරිදිය ලබාගැනීමේ හැකියාව වැඩි කරන අතර ලෝක ආර්ථිකය වර්ධනය සහ මානව වර්ගයාගේ ජීවනෝපාය සලසන මහඟු සම්පතක් වන තෙත් බිම් තවත් බොහෝ දේ සඳහා දායක වන ඉතා වැදගත් පරිසර පද්ධතියකි.

තෙත් බිම් පිළිබඳ ජාතික හා ගෝලීය වශයෙන් දැනුවත් කිරීම හදිසි අවශ්‍යතාවක් වන්නේ ඒවායේ ශීඝ්‍ර විනාශය ආපසු හැරවීමට සහ ඒවා සංරක්ෂණය කිරීමට සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමට ක්‍රියාමාර්ග දිරිමත් කිරීම සඳහාය. එම නිසා ලෝක තෙත්බිම් දිනය සැමරීම ලෝක අවශ්‍යතාවක් වන අතර, ලෝක තෙත්බිම් දිනය සැමරීම මගින් මෙම තීරණාත්මක වැදගත් පරිසර පද්ධති පිළිබඳ මිනිසුන්ගේ අවබෝධය වැඩි කිරීමට සුදුසුම

මෙවර (2025) ලෝක තෙත්බිම් දිනය විශේෂයෙන් වැදගත් වන්නේ එය තෙත්බිම් පිළිබඳ සම්මුතියේ පාර්ශ්වයන්ගේ සමුළුවේ 15 වැනි රැස්වීමට (COP15) ද සමගාමී වන බැවිනි. එනම්, තෙත්බිම් සංරක්ෂණය සහ ඒවා තිරසර භාවිතය පිළිබඳ සාකච්ඡා කිරීමට සහ ඉදිරි වසර තුන සඳහා වන වැඩසටහනට එකඟවීමට සෑම වසර තුනකට වරක්ම පාර්ශ්ව රාජ්‍යවල නියෝජිතයන් රැස්වේ. මෙවර එම පාර්ශ්වකරුවන්ගේ සමුළුව සිම්බාබ්වේ හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාව සහ තෙත්බිම්

ශ්‍රී ලංකාව තෙත්බිම්වලින් අනූන රාජ්‍යයකි. මුහුදින් වටවුණු දූපතක් වන නිසාම නොගැඹුරු මුහුදු සහ වෙරළාශ්‍රිත තෙත්බිම්වලින් ශ්‍රී ලංකාවට අඩුවක් නැත. එසේම ඔය සහ ගංගා 103 කට වැඩි ප්‍රමාණයක් රටේ සතර දිග්භාගයෙන් මුහුද දක්වා ගලා බසිනා නිසා කලපු, ඩෙල්ටා සහ ගංගා මෝය වැනි වෙරළාශ්‍රිත තෙත්බිම් සමූහයක් පෝෂණය කරනවා හැරෙන්නට අභ්‍යන්තර තෙත්බිම් රාශියක් ද ඒ මගින් පෝෂණය කරයි. අමතරව ස්වාභාවික විල්ලු, පොකුණු යනාදිය ද සෑහෙන පමණ රට තුළ පිහිටා ඇත. තෙවනුව සලකා බලන කල ශ්‍රී ලංකාව වූ කලී සමකයාසන්නව පිහිටි කෘෂිකාර්මික රටක් වන බැවින් සහ විශිෂ්ට වාපි සංස්කෘතියකින් හෙබි රටක් වන බැවින් මිනිසා විසින් නිර්මාණය කරන ලද වැව් 35,000 ක් සහ අක්කර ලක්ෂ 6 කට වැඩි කුඹුරු සහ පහත්බිම් ගොවිතැන් පිහිටා ඇති රටකි. එනම්, ලෝක වර්ගීකරණයට ලක්වන තෙආකාර තෙත්බිම් ශ්‍රී ලංකාවේදී ඉතා ඉහළින් දක්නට ලැබෙන බැවින් ශ්‍රී ලංකාව පූර්ණ තෙත් බිම් රාජ්‍යයක් ලෙස හැඳින්වීමද නිවැරදිය.


එසේ නැතත්, කොළඹ නගරය ලෝක තෙත්බිම් නගරයක් ලෙස රැම්සා සම්මුතිය මගින් ප්‍රකාශයට පත්කර ඇත. කොළඹ නගරයේ පවතින තෙත්බිම් වටිනාකම නිසාම 2018 වර්ෂය අවසානයේ ඩුබායිහිදී පැවති රැම්සා පාර්ශ්වකරුවන්ගේ සම්මුතියේ 13 වැනි සැසි වාරයේදී (Cop13) ශ්‍රී ලංකාවේ කොළඹ නගරය නාගරික තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අවැසි යෝජනාව සම්මත කරගන්නා ලදි. කොළඹ අවට පවතින තෙත් බිම් මගින් සිදු වන පාරිසරික සේවාවේ ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් මෙසේ කොළඹ තෙත් බිම් නගරයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තීරණය විය. එහිදී කොළඹ නගරයේ පාරිසරික වටිනාකමත්, පරිසරය සහ මහජනතාව අතර සහජීවනයට ලැබෙන දායකත්වය පිළිබඳවත් සැලකිල්ලට ගෙන ඇත. මෙම සැසිවාරය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ රැම්සා සම්මුතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනය වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සමුළුව සඳහා සහභාගිත්වය සනිටුහන් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ කොළඹ අවට ව්‍යාප්තව ඇති නාගරික තෙත් බිම් පිළිබඳව සහ ඒවායේ වැදගත්කම පිළිබඳව ද ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසට මෙම අවස්ථාව අප රටට ලබාගැනීමට හැකි විය. කොළඹ නාගරික තෙත් බිම ප්‍රකාශයට පත් කිරිමට සම්මත වූ යෝජනාවට සමගාමීව ලොව පුරා තවත් එබඳුම නාගරික තෙත් බිම් 18 ක් ප්‍රකාශයට පත්කිරීම ද එදිනම සිදු කෙරිණි.

තෙත්බිම් දින සැමරුම

ලෝක තෙත්බිම් සැමරුම එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් හා රැම්සා සම්මුති ලේකම් කාර්යාලය මගින් දියත් කෙරෙන අතර ශ්‍රී ලංකාවේ ද වසරක් පාසා සැමරීම සිදු කෙරේ. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය මගින් වසරක් හැර වසරක් මෙම අවස්ථාව සංවිධානය කරනු ලබයි. ඒ අනුව මෙවර වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවස්ථාව උදාවී ඇති අතර, මෙම ආයතන දෙක සඳහාම මෙවර ඇත්තේ එකම අමාත්‍යාංශයක් බැවින් පරිසර අමාත්‍යාංශයේ “සොබා දම් පියසේදී” සැමරුම් උළෙල සංවිධානය කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ තෙත් බිම් සංරක්ෂණයේ වත්මන් තත්ත්වය


රටේ කුමන ප්‍රදේශයක තෙත් බිම් පැවතියද, ඒවා සංරක්ෂණය කිරීමේ නීතිමය බලතල වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතන සතුය. මේ අතර කොළඹ තෙත්බිම් සංරක්ෂණය කර, ඒවායේ ජෛව විවිධත්වය ආරක්ෂා කර තහවුරු කිරීම, තෙත් බිම්වල වටිනාකම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, තෙත්බිම් ආශ්‍රිත ප්‍රජාවගේ ආර්ථිකය සවිබල

ගැන්වීම හා වැඩිමනත් පුරන් කුඹුරු නැවත අස්වැද්දීම මගින් හා එම කුඹුරු කෘෂි රසායන භාවිතයෙන් තොරව වගාකිරීම යනාදිය අරමුණු කරගනිමින් මේ දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පිහිටි තෙත්බිම් මූලික කරගනිමින් වැදගත් ප්‍රජා මූල සංරක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (United Nations Development Programme- UNDP) සුළු මූල්‍යාධාර වැඩසටහන (Small Grant Programme- SGP) මගින් ජගත් පාරිසරික පහසුකම් (Global Environmental Facility-GEF) මූල්‍යාධාර (අධියර 7) යටතේ පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ තෙත් බිම් පරිසරයේ ජෛවවිවිධත්ව සංරක්ෂණය, භූමි හායනය අවම කිරීම සහ දේශගුණික විපර්යාසවලට අනුහුරුවීම යන ලෝකය මුහුණ පා ඇති ප්‍රධාන පාරිසරික අර්බුද තුනක් මුල්කරගෙන තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා මෙම වැඩසටහන කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකා රජයේ පූර්ණ අනුදැනුම යටතේ හා පරිසර අමාත්‍යාංශය, කොළඹ දිස්ත්‍රික් ලේකම් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5 ක, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය මත, හා ප්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධානවල සහභාගිත්වයෙන් මෙම තෙත් බිම් සංරක්ෂණ වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.


මෙසේ ක්‍රියාවට නැගෙන සම්පූර්ණ වැඩසටහන මගින් කොළඹ තෙත්බිම් භූ දර්ශයේ (Landscape) පරිසර සංරක්ෂණ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් ඉටුකිරීම සඳහා සංවිධාන 6 ක් තෝරාගෙන ඇත. ප්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් ක්‍රියාත්මක වන මෙම සංවිධාන තේරීපත්වී ඇත්තේ එම සංවිධාන මගින් තෙත්බිම් සංරක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනා සැලකිල්ලට ගනිමිනි. මේ මගින් තෙත්බිම් සංරක්ෂණය හා ඒ ආශ්‍රිත ප්‍රජාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම මගින් තෙත්බිම් සංරක්ෂණයට ඔවුන් දායක කරගැනීම ලෙස සරලව මෙම කොළඹ තෙත්බිම් සංරක්ෂණ වැඩසටහන හඳුන්වා දිය හැකිය.

කොළඹ සමස්ත නාගරික තෙත්බිම් සංකීර්ණය වර්ග කිලෝමීටර් 121.5 ක් පුරා පැතිර ඇත. ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 5 ක් යටතට ගැනෙන මෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 29,200 කි. එනමුත් වැඩසටහන ක්‍රියාවට නැගෙන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ වන්නේ කොළොන්නාව, කඩුවෙල, ශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේ, කැස්බෑව සහ හෝමාගම යි. පෙර සඳහන් කරන ලද සංවිධාන 6 වර්තමානයේ මෙහි ඇති

තෝරාගන්නා ලද තෙත්බිම් සංරක්ෂණය සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇත. එමගින් මෙම තෙත්බිම්වල සෞන්දර්යය ඉහළ යාම ද නිරායාසයෙන්ම සිදුවේ. එය රජය මගින් ක්‍රියාත්මක කෙරෙන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ද මහත් පිටුබලයකි.

මෙම තෙත්බිම් සංරක්ෂණ වැඩසටහන් අතර වර්තමානයේ සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින “ගොතටුව තෙත්බිම් උද්‍යානය” ස්ථාපිත කිරීමේ කටයුතු කැපී පෙනෙන්නකි. ඒ සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඉතා ඉහළ කාර්යයක් සිදුකරනු ලබයි. මෙම උද්‍යානය සංවර්ධනය කිරීමෙන් අනතුරුව “බැද්දගාන තෙත්බිම් උද්‍යානය”, “දියසරු උද්‍යානය” වැනි සංවර්ධිත කොළඹ තෙත්බිම් හා සමාන වටිනාකමක් ඊටද ලැබෙන අතර, ඉතා ඉහළ අලංකාරයක්ද, ජෛව විද්‍යාත්මක සහ පාරිසරික වටිනාකමක්ද අත්කරගනු ඇත. එසේ හෙයින් මෙවර ලෝක තෙත්බිම් දින සැමරුම සඳහා UNDP-GEF-SGP ආධාර ලබන කණ්ඩායම් කිහිපයක්ද මීට එකතුවෙමින් ක්‍රියාකාරකම් රැසක් අදට (02) යෙදෙන තෙත්බිම් දිනයේදී එහි සංවිධානය කර ඇත. ඒ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කාර්යභාරයට UNDP-GEF-SGP දායකත්වය ද සනිටුහන් කරමිනි. එනම්, ලෝක තෙත්බිම් දිනය වන අද රට පුරා සිදුකෙරෙන සැමරුම් උළෙල හා සමගාමීව යමින් ඉහත ආයතන සහ සංවිධාන විසින්ද අද ලෝක තෙත්බිම් දිනය සමරනු ලබයි. කොළඹ තෙත්බිම් භූ දර්ශයේ දැනුම කළමනාකරණය සිදුකරන “සුරක්ෂි” සංවිධානය, ලස්සන කොලොන්නාව සංවිධානය සහ Centre for Citizen Science සංවිධානය 2025 තෙත්බිම් දින සැමරුම සංවිධානය කිරීමට අත්වැල් බැඳගනිමින් කටයුතු කරයි. ඒ අනුව විශේෂයෙන් තරුණ-තරුණියන් සහ ළමුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වැඩසටහනක් ලෙස මෙවර තෙත්බිම් සැමරුම සිදුකරන ඔවුහු, සහභාගිවන්නන් සඳහා තෙත්බිමේ අසිරිය විඳගැනීමේ පා ගමන් සංචාරයක් (Nature Walk), දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම පාරිසරික ක්‍රියාකාරකම් ලෙස, ආක්‍රමණික පැලෑටි ඉවත් කිරීම, නොදිරන කසළ එකතුකිරීම සහ කළමනාකරණය, රුක් රෝපණය, තෙත් බිම් සංරක්ෂණයට අදාළව චිත්‍ර තරගයක් පැවැත්වීම යනාදිය සිදුකරනු ලබයි.


අද එසේ ශ්‍රී ලංකාවේදී සිදුවන තෙත්බිම් සංරක්ෂණයට අදාළ වැඩසටහන් පෙළගැස්ම සඳහා අපගේ “හරිත” තීරය වෙන්කරනු ලබන අතර, තවත් ‘සංචාරේ’ වැඩසටහනකින් මේ පිළිබඳ සවිස්තර තොරතුරු කතා කරන්නට අපි අපේක්ෂා කරන්නෙමු.

✍️ සැරිසර – ජගත් කණහැරආරච්චි


Saturday, December 14, 2024

සිරිපාදෙ යන අයට ගැසට් එකක්

 


අදින් ආරම්භ වන ශ්‍රීපාද වන්දනා සමය තුළ මහජනතාව දැඩි ලෙස පිළිපැදිය යුතු මාර්ගෝපදේශ පිළිබඳ දැනුවත් කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.


එම ගැසට් නිවේදනය පරිදි සිරිපා මළුව ප්‍රදේශයේ හෝ අම්බලම්, විශ්‍රාම ශාලා ප්‍රදේශයේ කිසිම තැනක දී යාචකයන් විසින් හිඟමන් ඉල්ලීම හෝ ලබා ගැනීම ද කිසිවකු විසින් හිඟමන් දීම හෝ බෙදාදීම ද නොකළ යුතුය.


දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන මගින් හඳුනාගෙන නම් කර ඇති ආරක්ෂිත ස්ථාන වල දී හැර දිය නෑම හෝ රෙදි සේදීම නොකළ යුතු වේ.


පෞද්ගලික ආයතන මගින් දිය නෑම හෝ රෙදි සේදීම සඳහා පහසුකම් සැලසීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් විධිමත් පූර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතුය.


ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතනය විසින් වෙන්කර ඇති ස්ථානවල හැර වෙනත් ස්ථානවල වාහන ගාල් කිරීම හෝ ඇතුළු කිරීම නොකළ යුතු අතර වන්දනා සඳහා වෙන්කර ඇති ප්‍රධාන මාර්ග වන්නේ රජමාවත (පලාබද්දල මාර්ගය), හැටන් නල්ලතන්නිය මාර්ගය හා කුරුවිට එරත්න මාර්ගයයි.


වන්දනා මාර්ගයේ හෝ සිරිපා මළුව පරිශ්‍රයේ හෝ විශ්‍රාම ශාලා අවට හෝ පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් පරිදි බැහැර කිරීම නොකළ යුතු අතර ශ්‍රී පාද අඩවිය තුළ කිසිම හේතුවක් නිසා ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල සැකසීම හෝ ගිනි දැල්වීම සිදු නොකළ යුතුය.

තවත් තොරතුරු සඳහන් එම ගැසට් නිවේදනය පහත දැක්වෙයි.





Monday, September 16, 2024

ජාත්‍යක්තර ඕසෝන් දිනය අදයි

 



සූර්ය කිරණවල හානිකර කොටසෙන් පෘථිවිය ආරක්ෂා කරන වායු පලිහක් වන ඕසෝන් ස්ථරය පිළිබඳ සමරන ඕසෝන් දිනය අදයි


එමඟින් පෘථිවියේ ජීවය ආරක්ෂා කිරීමට උපකාරීවන නිසාම ඕසෝන් ස්ථරය රැක ගැනීම අප සියළු දෙනාගේ වගකීමක් .


මෙවර ඕසෝන් දිනයේ තෙමාව වන්නේ, "දේශගුණික ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම" යන්නයි.


ඕසෝන් ක්ෂය කරන ද්‍රව්‍ය භාවිතය ක්‍රමානුකූලව ඉවත් කිරීම සහ ඒ ආශ්‍රිත අඩු කිරීම් පිළිබඳව කාගේත් අවධානය යොමු තිබීමත් අගය කළ යුත්තක්.


ඒ මගින් අනාගත පරම්පරාව සඳහා ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමට උපකාරීවනවා පමණක් නොව, දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේ ගෝලීය ප්‍රයත්නයන්ට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා.


පෘථිවියට ළඟා වන හානිකර පාරජම්බුල කිරණ සීමා කිරීමෙන් මිනිස් සෞඛ්‍යය සහ පරිසර පද්ධති ආරක්ෂා කිරීමටත් මේ ඕසෝන් ස්ථරය වැදගත්.


කෙසේවෙතත්, 1970 ගණන්වල අගභාගයේදී, මානව ක්‍රියාකාරකම් ඕසෝන් ස්ථරය විනාශ කරන බව විද්‍යාඥයන් වටහා ගත්තා.


බොහෝ විට වායු සමීකරණ, ශීතකරණ ආදියෙහි දක්නට ලැබෙන ඕසෝන් ක්ෂය වන වායූන් නිසා ඇති වූ සිදුරක් ඔවුන් සොයා ගෙන තිබුණා.


මෙම ඕසෝන් ස්ථරය ක්ෂය වීම පෘථිවියේ ජීවයට බලපා ශාක හා පරිසර පද්ධති විනාශ වීම, සමේ පිළිකා වැඩි වීම යනාදීය නිසාම ඕසෝන් ස්ථරයේ වැදගත්කම සහ එය සංරක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවය ඉස්මතු වූවා.


ඒ අනුව 1985 දී රටවල් 28 ක් විසින් ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා වූ වියානා සම්මුතිය සම්මත කර අත්සන් කළ අතර එය සියළු දෙනා එක්ව ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා කළ විධිමත් ප්‍රකාශයක්.


1987 සැප්තැම්බර් මාසයේදී ඕසෝන් ස්ථරය ක්ෂය කරන ද්‍රව්‍ය පිළිබඳ මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය කෙටුම්පත් කරන කෙරුණ අතර රටවල් සිය උත්සාහයන් එකමුතු කිරීමට සහ ඕසෝන් ක්ෂය කරන සියලුම ද්‍රව්‍යවලින් 99% ක් ඉවත් කිරීමට එකඟතාව පළ කළා.


මෙම සාර්ථක උත්සාහයන් නිසා ඕසෝන් ස්ථරය සුවපත් වෙමින් පවතින බවයි විද්‍යාඥයින් පවසන්නේ.


මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය අත්සන් කිරීම සැමරීම සඳහා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1994 දී සැප්තැම්බර් 16 වන දින ඕසෝන් ස්ථරය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Monday, June 17, 2024

ලෝක කාන්තාරීකරණ වැළැක්විමේ දිනය අදයි

ලෝක කාන්තාරීකරණය වැළැක්වීමේ සහ නියඟය පිටුදැකීමේ දිනය අදට යෙදී ඇත. 


වර්තමාන ලෝකයේ පවත්නා තවත් ප්‍රබල පාරිසරික ගැටලුවක් වී ඇත්තේ කාන්තාරීකරණයයි. කාන්තාරීකරණය යන්නෙන් අදහස් වනනේ ලෝකයේ කාන්තාර නොවන වගාබිම් ඇතුළු වෙනත්බිම් කාන්තාර බවට පත්වීමේ ක්‍රියාවලියයි. ඒ අනුව ශුෂ්ක හා අර්ධ ශුෂ්ක ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත් භූමිය, වගාකළ නොහැකි තත්වයට පත්වීම කාන්තාරීකරණය ලෙස සරළව දැක්විය හැකිය.


 එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසමේ ගණනය කිරීම් වලට අනුව කාන්තාර ලෙසට ස්ථිර ලෙසම පිරිහී ඇති භූමිය වාර්ෂිකව හෙක්ටයාර් මිලියන 6 බැගින් වර්ධනය වේ.


ලෝක කාන්තාරීකරණ වැළැක්වීමේ දින තේමාව

කාන්තිරීකරණය වැළැක්වීමේ අරමුණ ලෝක වාසීන්ගේ අවධානයට යොමු කිරීම සඳහා සෑම  වර්ෂයකම විශේෂ තේමාවක් මුල්කරගෙන මෙම දිනය  සැමරීම සිදුකරනු ලබයි. 2024 ලෝක කාන්තාරීකරණය වැළැක්වීමේ දින තේමාව වී ඇත්තේ “United for Land. Our Legacy. Our Future” යන්නයි.


කාන්තාරීකරණයේ ප්‍රබල බලපෑම්


කාන්තාරීකරණය ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ ව්‍යාප්තව ඇති මුත් ඉතාම විනාශකාරී තත්වයට පත්වී ඇත්තේ අප්‍රිකාව, ආසියාව හා ලතින් ඇමරිකානු රටවල වියළිබිම් ආශ්‍රිතවයි. කාන්තාරීකරණය කෙතරම් දරුණු තත්වයට පත්වී තිබේදයත් ලෝකයේ ගොඩබිම් ප්‍රමාණයෙන් 1/3ම කාන්තාරීකරණයට ගොදුරු වී ඇත.මේ තත්වය ලෝක ජනසංඛ්‍යාවෙන් මිලියන 850ට බලපායි. කෙසේවෙතත් කාන්තාරීකරණය පැතිරුණු ප්‍රධාන ප්‍රදේශය ලෙස අප්‍රිකාවේ "සාහෙල්" කලාපය දැක්විය හැකියි.ඒ ප්‍රධාන ලෙසම මානව කටයුතු හේතුවෙන් සිදුවන කාන්තාරීකරණයකි.


කාන්තාරීකරණයට හේතු

කාන්තාරීකරණය ස්වභාවික හා මානුෂික සාධකවල සාමූහික ඒකාබද්ධතාවයක ප්‍රතිඵලයකි.ඒ සඳහා බලපාන සෘජු සාධක කීපයකි. එනම්,

ගෝලීය උණුසුම් වීම / නියඟය.
තෘණ භූමිවල ප්‍රමාණය ඉක්මවා සතුන් ඇති කිරීම.
වගා බිම්වල ප්‍රමාණය ඉක්මවා වගා කිරීම.
දුර්වල ඉඩම් කළමනාකරණය හා නුසුදුසු වගාක්‍රම අනුගමනය කිරීම.
වන විනාශය.
ආන්තික බිම් ප්‍රයෝජනයට ගැනීම.
අධික ජන සංඛ්‍යා ඝනත්වය.
දරිද්‍රතාවය.
වෙනත් සමාජ ආර්ථික තත්වයන්.
ගෝලීය වශයෙන් සිදුවන වායුගෝලීය තාපවත් වීම හා නියඟය කාන්තාරීකරණය සඳහා හේතුවන ප්‍රධාන සාධකයන් වේ. ඉහත දැක්වූ සාධක නිසා ඉතියෝපියාව, මාලි, නයිගර්, චැඩ් හා සුඩානය වැනි ප්‍රදේශ දෙසට සහරා කාන්තාරය ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබේ. මේ ආකාරයට සහරා කාන්තාරය වාර්ෂිකව උතුරු හා දකුණු දිශා වලට‍ හෙක්ටයාර් 100,000 ක් පමණ පැතිරී යන බවට ඇස්තමේන්තු කර තිබේ.

කාන්තාරීකරණයේ ප්‍රතිඵල

  • වගාබිම් අහිමි වීම
  • වගාබිම් වල ඵලදායීතාවය අඩුවීම
  • සාගතය පැතිරීම
  • කාන්තාර වර්ධනය වීම

කාන්තාරීකරණය වළක්වාගත හැකි ක්‍රියාමාර්ග

  • තෘණ භූමිවල ප්‍රමාණය ඉක්මවා සතුන් ඇති නොකිරීම.
  • වගා බිම් වල සීමාසහිත ප්‍රමාණයක් වගා කිරීම.
  • ඉඩම් කළමණාකරනය නිසිආකාරව සිදුකිරීම.
  • ඒ ඒ බිම්වලට උචිත වගා ක්‍රම නිවැරදිව යොදා ගැනීම.
  • මිනිසාගේ සමාජ තත්වයන් දියුණු කිරීමට රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම. (උදා-දුප්පත්කම අවම කිරීම, ජනසංඛ්‍යා වර්ධනය පාලනය කිරීම.)
  • ගෝලීය උණුසුම් වීම සම්බන්ධව මිනිසා දැනුවත් කිරීම.

Wednesday, June 5, 2024

ලෝක පරිසර දිනය අදයි - 2024 ජුනි 05


1972 ජුනි මස 5 වන දින සිට ජුනි 16 වන දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති පරිසරය සුරැකීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සමුළුවේ සමාරම්භක දිනය සනිටුහන් කිරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින ලෝක පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. 

එතැන් සිට දශක පහකට වැඩි කාලයක් පරිසරය ආරක්ෂා කර සංරක්ෂණය කිරීම පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමට හා දිනෙන් දින පැන නගින ගෝලීය පාරිසරික ගැටළු පිළිබඳව ලෝක නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින්, එක් එක් වර්ෂයන්හිදී විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබයි.


එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන විසින් මෙම වසරේ ජගත් පරිසර දින තේමාව ලෙස "Land Restoration, Desertification and Drought Resilience"  ගෙන ඇති අතර එය '' ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්” යන ජාතික තේමාව යටතේ මෙම වසරේ ජගත් පරිසර දිනය සැමරීම සිදු කරයි.


නියඟය සහ කාන්තාරකරණය වර්තමානය වන විට ලෝකයේ ප්‍රබල පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇත. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් 2021 වර්ෂය සඳහා නිකුත් කරන ලද ගෝලීය දේශගුණ තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව පසුගිය වසර 7, ලොව වාර්තාගත උණුසුම්ම කාලය ලෙස වාර්තා කර ඇත.

 එසේම එක්සත් ජාතීන්ගේ කාන්තාර කරණය පිටු දැකීමේ සම්මුතිය පෙන්වා දෙන පරිදි ර්වතමානය වන විට පෘථිවියේ භූමි ප්‍රමාණයෙන් 40%ක් පමණ හායනයට ලක් වී ඇති අතර, එය ලෝක ජනගහනයෙන් අඩකට සෘජුවම බලපෑම් ඇති කර තිබෙන බවත්, මෙහි මූල්‍යමය බලපෑම ලෙස ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩක් පමණ (ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 44ක්) බවට ගණන් බලා ඇත. 

නියඟ පවත්නා කාලසීමාවන් සැලකීමේදී 2000 ර්වෂයේ සිට මේ දක්වා එය 29%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන අතර, 2050 වන විට ලෝක ජනගහනයෙන් 3/4කට පමණ බලපෑම් ඇති කළ හැකි බවටද පුරෝකතනය කර ඇත.


ශ්‍රී ලංකාව තුළ ද භූමිය සීඝ්‍ර පිරිහීමට හා හායනයට තුඩු දෙන ප්‍රධානතම ගැටළු ලෙස හඳුනාගෙන ඇත්තේ වන විනාශය, අවිධිමත් කෘෂිකාර්මික කටයුතු, ධාරිතාව ඉක්මවා සිදු කෙරෙන කැණීම් කටයුතු හා අවිධිමත් කසළ බැහැර කිරීම මඟින් සිදුවන පරිසර දූෂණය වැනි කරුණුය. 

මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා බලපෑමට ලක් වූ භූමි ප්‍රතිසංස්කරණය තුළින් යථා තත්ත්වයට පත් කිරීම හා දැනට හානියට පත් නොවී පවතින පරිසර පද්ධති සංරක්ෂණය උදෙසා කටයුතු කිරීම මූලික වේ.

 ඒ අනුව, දේශගුණික විපර්සාසවලට අනුහුරු වීම, ජීවී විශේෂ වඳ වී යාමේ තර්ජනයට පිළියම් යෙදීම, ආහාර සුරක්‍ෂිතතාවය ඉහළ නැංවීම, පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සහ ජීවනෝපායන් පරිසර හිතකාමී ලෙස වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන ශ්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනය " ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක් '' යන තේමාව පෙරදැරි කරගෙන සැමරීම සිදු කරයි.


සැකසුම

 දිලිප්.සේනානායක,

ප්‍රාදේශීය පරිසර නිලධාරි.

#ලෝකපරිසරදිනය #worldenvironmentday

ලෝක පරිසර දිනය | World Environment Day 2024




Tuesday, May 21, 2024

ලෝක බිඟු දිනය 2024 / World Bee Day--2024

 


මැයි 20 දිනයට ලෝක බිඟු දිනය ලෙස නම් කර ඇත. මෙම දිනය නම් කිරීමේ අරමුණ වන්නේ ලොව පුරා සිටින බිඟුන් පරිසරයට සහ කෘෂිකර්මාන්තයට ලබාදෙන අතිශයින් වටිනා කාර්භාරය සහ මෙහෙවර අගය කිරීම වගේම බිඟුන් මුහුණ  දෙන තර්ජන සහ ඔවුන් ආරක්ශා කිරීමේ අත්‍යාවශ්‍ය අවශ්‍යතාවය පිලිබඳව අවධානය යොමු කිරීමටයි.

ලෝක බිඟු දිනය එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව 2018 මැයි මස 20 දින සිට සෑම වසරකම එය සැමරීම සිදු කරනු ලබයි.




ලෝක බිඟු දිනය මැයි මස 20 දිනට යොදා ගන්නේ 18 වන සියවසේදී ස්ලොවේනියාවේ සිටි ඇන්ටන් ජැන්සා (Anton Jansa) වෙනුවෙනි.චිත්‍ර ශිල්පියෙකු වූ ජැන්සා පවුවේ කර්මාන්තයක් වූ මී මැස්සන් ඇති කිරීම කුඩා කල සිට පුහුනු වූ අයෙකු විය.ඔහු චිර්ත්‍ර ශිල්පයේ නියැලීමට අමතරව වැඩිම කාලයක් ගතකර තිබෙන්නේ මී මැසි පාලනය ජනප්‍රිය කරලීම වෙනුවෙනි.ඔහු විසින් මී මැසි පාලනය පිලිබඳ ජර්මන් බසින් ග්‍රන්ථ දෙකක් පලකර තිබේ.මින් දෙවන ග්‍රන්ථය නිකුත්වී තිබෙන්නේ ඔහුගේ මරනයෙන් දෙවසරකට පසුය.මේ නිසාම ඔහුව එවකට ඕස්ට්‍රියානු අධිරාජ්‍යය යටතේ තිබූ සියලු ප්‍රදේශවල මී මැසි පාලන පුහුනුකරු ලෙස ඕස්ට්‍රියානු රජය විසින් පත්කර තිබේ. ඇන්ටන් ජැන්සා වයස 39දී අභාවප්‍රාප්ත වුවත්,ඔහු විසින්  කල මී මැසි පාලනය එම කලාපය පුරා ජනප්‍රියතාවය ලබාගෙන තිබේ. පලමු ලෝක යුද්ධයෙන් පසු ස්ලොවේනියාව යුගෝස්ලෝවියාව නම් නව රාජ්‍යයක කොටසක් වූ අතර එම රජය විසින් ජැන්සාට උපහාර මුද්දරයක් 1973 වසරේදී නිකුත් කර තිබේ. වර්තමානයේදී නිදහස් රටක් වන ස්ලොවේනියාවද 2018 ප්‍රථම බිඟු දිනය වෙනුවෙන් ඔහුට උපහාර මුද්දරයක් නිකුත් කර තිබේ.


එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලොවේ වන ශාක වලින් 90%ක් සහ කෘශි භෝග වලින් 35%ක් පරාගනය කරන්නේ බිඟුන් විසින් බවය.එසේ වුවත්,ලොවේ බොහෝ රටවල් බිඟුන් කෙරේ නිසි අවධානය යොමු කර තිබෙන බවක් නොපෙනීම අතිශය ශෝචනීය වන අතරම එම රටවල් අතරට ශ්‍රී ලංකාවත් ඇතුලත් බව කනගාටුවෙන් වුවත් පිලි ගැනීමට සිදු වන්නකි.

ශ්‍රී ලංකාව තුල කුල හතරකට අයත් බිඟු විශේශ 159ක් සිටින අතර මින් විශේශ 22 මෙරටට ආවේනික වේ.නමුත්,මෙරට බිඟුන් හඳුනා ගැනීම පිනිස මාර්ගෝපදේශක ග්‍රන්ථයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.මේ නිසාම මෙරට බිඟුන් සහ ඔවුන් මුහුනදෙන තර්ජන වැනි කරුනු පිලිඹඳ සොයා බැලීමේ ඉඩකඩ ජනතා විද්‍යාඥයන්ටත් අහිමිවී තිබේ.එසේම පසුගිය වකවානු පුරා පරිසර අමාත්‍යාංශයෙන් පිලියෙල කල ජාතික රතු දත්ත ලේඛන වලද බිඟුන් පිලිඹඳව කිසිම විටකදී සමාලෝචනයක් සිදු කෙරී නැත.මේ නිසාම මෙරට හමුවන කිසිඳු බිඟු විශේශයකට මෙතෙක් කිසිම ආකාරයක නීතිමය ආරක්ශාවක් හිමි වී නොමැත.මීටම අදාල තවත් කරුනක් වන්නේ අවම වශයෙන් විනාශකාරී ආකාරයට මී පැනි ලබා ගැනීම වලක්වා ලීමට හෝ කිසින්ඳු ආකාරයකින් නීතිමය ප්‍රතිපාදන නොමැති වීමයි.

ලොව පුරා බිඟුන් වඳ වී යාමට තුඩුදෙන හේතු වන පරිසර විනාශය සහ පරිසර හායනය,විශ රසායනික ද්‍රව්‍ය පරිසරයට වැඩි වැඩියෙන් එකතු වීම,පරිසර දූශනය,ආක්‍රමනික සහ පලිබෝධක සතුන් නිසා වන විනාශය යන සියලුම අහිතකර සාධකයන් ශ්‍රී ලංකාවේ බිඟුන්ටත් බලපාන තර්ජනයන් වේ.

එසේම මෙරට පරාග කාරකයන් ආරක්ශා කිරීම වෙනුවෙන් මීට දශකයකට පෙර එලි දක්වන ලද පරාගකාරකයින් සංරක්ශනය පිලිඹඳ ක්‍රියාකාරී සැලැස්ම පවා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත.එසේම පරිසර අමාත්‍යාංශයට මෙන්ම කෘශිකර්ම අමාත්‍යාංශයටද එකසේ වැදගත් ලෝක බිඟු දිනයද මෙතෙක් කිසිම අවස්ථාවකදී බිඟුන් පිලිඹඳව අවධානය ලබාදීම පිනිස යොදාගෙන හෝ නොමැත.

මේ නිසා මෙවර ලෝක බිඟු දිනයේදී මෙරට පරිසර පද්ධතීන් පවත්වා ගැනීමට මෙන්ම කෘශිකර්මයටත් බිඟුන් ඉටුකරන අමිල මෙහෙවර සහ ඔවුන්ගෙන් ඉටුවන  අති විශාල පාරිසරික සේවාවන් කෙරේ එක් පසෙකින් අවධානය යොමු කිරීමටත්,අනෙක් පසින් බිඟුන් ආරක්ශා කරලීමට අවශ්‍ය පියවර ගැනීමට බලධාරීන්ට කරුනු දැක්වීමට සහ බලපෑම් සිදු කිරීමටත්,මේ අතර තුරදී බිඟුන් ඇතුලු පරාග කාරකයන්ට වර්තමානයේ තිබෙන තර්ජනයන් සහ ඔවුන් ආරක්ශා කිරීමට කටයුතු කිරීමටත් ඉටා ගත යුතු වේ.


Saturday, May 11, 2024

ලෝක පර්‍යටනික පක්ශී දිනය​ / World Migratory Bird Day --2024

 


සෑම වසරකම මැයි මස දෙවන සෙනසුරාදා දිනය සහ ඔක්තෝම්බර් මස දෙවන සෙනසුරාදා දිනයත් ලෝක පර්‍යටනික පක්ශී දිනය වශයෙන් නම්කර තිබේ.

මේ දින දෙකෙන් මෙරට තුල පර්‍යටනික පක්ශීන් බහුතරයක් රැඳී සිටින කාලයක සමරන්නේ  ඔක්තෝම්බර් මස දිනය වුවත්,මෙම දින දෙකම පක්ශීන් සංරක්ශනය උදෙසා යොදාගත හැකි වේ.

මෙම වසරේ ලෝක පර්‍යටනික පක්ශි දිනයේ තේමාව වන්නේ "කෘමීන් රැකගමු,පර්‍යටනික පක්ශීන් රැකගමු Protect Insects,Protect Birds " යන්නයි.පර්‍යටනික පක්ශී විශේශ රාශියක් කෘමි භක්ශකයන් බැවින් එම පක්ශීන් ගේ පැවැත්ම උදෙසා කෘමීන් පැවතීමේ සහ ඒ නිසා පක්ශීන් වෙනුවෙන් කෘමීන් රැකගැනීමේ අවශ්‍යතාවය ජනතාවට අවධාරනය කිරීම මෙවර ලෝක පර්‍යටනික දිනයේ තේමාව වේ.



වසරක් පාසා ශ්‍රී ලංකාවට පැමිනෙන සංක්‍රමනික පක්ශී විශේශ අතුරින් විශල සංඛ්‍යාවක් කෘමීන් ගොදුරු කර ගන්නන් වේ.මේ අතරට නිල් කුරුමිනි කුරුල්ලා, වැහි ලිහිනියා,ඔලෙයියන්,හැලපෙන් දන්,ඇතැම් කුරුලු ගොයින්,හම්බු කුරුල්ලන් මෙන්ම වේග ලිහිනියන් සහ ඇතැම් මුහුදු ලිහිනින් අයත් වේ.

මෙම පක්ශින් මෙරට තුල ගෙවන කාලය තුල මොවුන් ගේ ආහාර සඳහා භාවිතා කිරීම වෙනුවෙන් හොඳ කෘමි ගහනයක් පැවතිය යුතු වේ.එහෙත් මෙරටේ කරන නිරීක්ශන අනුව තවත් කරුනක් පසක් වේ.



එය වන්නේ පර්‍යටනික පක්ශීන් විසින් කෘමීන් ආහාරයට ගෙන විනාශ කිරීම තුලින් බෝග පලිබෝධකයන් සැලකිය යුතු ප්‍රමානයක් මර්ධනය වන බවයි.

මෙසේ කෘමි පලිබෝධකයන් මර්ධ්ජනය කිරීමේ ලා කුඹුරුවල ඉපනැල්ලේ සිටින පුරුක් පනුවන් වැනි කෘමි පිලවුන් ආහාරයට ගන්නා හැල පෙන් දන්,ඔලෙයියන්,පියාඹන සුහුඹුල් පලිබෝධකයන් ගොදුරු කර ගන්නා කුරුමිනි කුරුල්ලන්,වැහි ලිහිනින් සහ කාගුල් ලිහිනියා වැනි මුහුදු ලිහිනිනුත් අයත් වේ.එමෙන්ම වැල් බෝග සහ පලතුරු ශාක වලට හානි කරන කෘමීන් ගොදුරු කර ගන්නා පර්‍යටනික කොහා විශේශ සහ මාරාවන් අයත් වේ.


මේ අනුව බලන කල අපට මෙවර පර්‍යටනික පක්ශී දිනයේ තේමාව මෙන්ම හානික කෘමීන් මර්ධනය වෙනුවෙන් පර්‍යටනික පක්ශීන් සලසන මෙහෙවරත් ඇගයීමට ලක්කල හැකි වේ.මෙම දෙවන කරුන මීලඟ පර්‍යටනික පක්ශී දිනයේදීද අවධාරනය කල හැකි වන්නකි.

✍️ ආචාර්ය / නීතීඥ ජගත් ගුණවර්ධන (පරිසරවේදී)