Wednesday, June 16, 2021

ලෝක කැස්බෑ දිනය අදට යෙදී ඇත. (ජුනි 16) World Turtle Day

මුලින්ම ඇමරිකාවේ ජීවත්වන ඉබ්බන් විශේෂ ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් එම සමාජය කතිකාවක් ඇති වීම නිසා 2000 වසරේ සිට වාර්ෂිකව සෑම ජුනි 16 වෙනිදා දිනකම සැමරෙන ලෝක කැස්බෑ දිනයේ  (World Turtle Day) අරමුණ වී ඇත්තේ කැස්බෑවන් සහ ඉබ්බන්( turtles and tortoises)පිළිබඳ දැනුම හා ගෞරවය  ලෝක ප්‍රජාව හමුවේ වැඩි කිරීම සහ ඔවුන්ගේ පැවැත්මට සහ දියුණුවට හේතුවන ක්‍රියාකාරකම් සඳහා මිනිස් ප්‍රජාව දිරිමත් කිරීමයි. කැස්බෑ සංරක්ෂණය වෙනුවෙන් සිය දිවියම කැප කළ “මුහුදු කැස්බෑ ජීව විද්‍යාවේ පියා” Dr. Archie Carr(1909-1987)  ගේ උපන් දිනය ලෝක කැස්බෑ සංරක්ෂණ දිනය ලෙස නම් කර ඇත.

කැස්බෑවන් වෙනුවෙන් දිනයක් වෙන්කිරීමට තරම් ලෝක ප්‍රජාව මූලික වූයේ එම සතුන් වඳීයාමේ තර්ජනයට මුහුණදී සිටීම හේතුවෙනි. 

ජුරාසික් යුගයේ සිට එනම් වසර මිලියන 100ක පමණ ඉතිහාසයක සිට කැස්බෑවුන් මෙලොව ජීවත් වන බවට අනුමාන කෙරෙන   මෙම සත්ත්වයින් පරිසර විශේෂඥයින් හඳුවන්වන්නේ "සජීවී පොසිල" ලෙසය. ඇතැම් කැස්බෑවන් වයස අවුරුදු 400ක් පමණ ජීවත් වන අතර ඔවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර 80-120ක් ලෙස සැලකේ. 

 මිනිස් ක්‍රියාකාරකම් නිසා කැස්බෑ විශේෂ ගණනාවක් වඳ වී ගොස් ඇති අතර දැනට ලොව ජීවත් වන්නේ කැස්බෑ විශේෂ හතක් පමණි. එයිනුත් විශේෂ හයක්ම ලෝක රතු දත්ත පොතට ඇතුළත් කර ඇත. මෙම විශේෂ හත අතරින් පහක්ම ලංකාව අවට මුහුදේ ජීවත් වීම විශේෂත්වයකි. ඒ ගල් කැස්බෑවා, බටු කැස්බෑවා, දාර කැස්බෑවා, පොතු කැස්බෑවා සහ ඔලුගෙඩි කැස්බෑවා යන විශේෂයන්‍ ය.

මිනිසා විසින් සිදු කරනු ලබන නොමිනිස් ක්‍රියා කාරකම් හේතුවෙන් ලොව පුරා කැස්බෑවුන් මිය යමින් සිටී. වසරකදී ලොවපුරා රටවලින් මුහුදට එක් කරනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන අටක් බව පැවසෙන අතර මුහුදේ ජීවත් වනු ලබන කැස්බෑවුන්, ජෙලිෆිෂ් වැනි ආහාරයක් යැයි වරදවා වටහාගෙන ප්ලාස්ටික් හෝ පොලිතින් ආහාරයට ගැනීමෙන් මිය යයි.

ලෝක කැස්බෑ දිනය ගැන ශ්‍රී ලංකාවේ අපි සාකච්ජා කරන්නේ පරිසර පද්ධතියේ ජීවත්වන කැස්බෑවන් ගේ ජීවිත දැඩි අභියෝගකට ලක්ව ඇති පසුබිමකය. ඒ එක්සප්‍රස් පර්ල් නවුකාව කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගෙන මුහුදුබත් වීම සහ ඒ ආශ්‍රිතව පැන නැගුණ පරිසර හානිය හේතුවෙන් කැස්බෑවන් මියයාම දිවයිනේ විවිධ වෙරළ තීරවලින් වාර්තා වීමයි. 

දින කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවට අහිමි වී ගිය මුහුදු කැස්බෑවන් ගණන 50 කට ආසන්න බව පරිසරවේදීන් මාධ්‍ය වාර්තා කර ඇත.බටහිර වෙරළේ මුන්දලම දක්වාත් දකුණේ වෙරළේ තංගල්ල රැකව ප්‍රදේශ දක්වාත් කැස්බෑවන්ගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබී ඇත. 

ලොව වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති පොතු කැස්බෑවන් පස්දෙනකුම එලෙස පරිසර පද්ධතියට අහිමිවීම ඇත. 


Saturday, May 22, 2021

ජෛව විවිධත්ව දිනය අදයි.(2021-05-22)

ලෝක ජෛව විවිධත්ව දිනය අදට (22)ට යෙදී ඇත. "We’re part of the solution (අපි විසඳුමේ කොටසකි)" යන්න මෙවර තේමාව වී තිබේ.වර්ෂ1992දි බ්‍රසීලයේ රියෝද ජෙනිරෝහි පැවති පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව මුල්.කරගනිමින් ආරම්භ වූ ජෛවවිවිධත්වය පිළිබද අන්තර්ජාතික සම්මුතියේ නයිරෝබි කෙටුම්පත සම්මතවූ දිනය සිහිපත්කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සෑම වසරකම මැයි 22 දිනය අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

වැඩිදුර තොරතුරු දැන ගැනීහට පෙර ලිපිය සඳහා මෙතනින් යන්න.

Thursday, April 22, 2021

ජගත් මිහිතල දිනය අදයි (2021-04-22)

 

මුලුමහත් පෘතුවියමටම බලපාන පරිසර ගැටළු කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ”ජගත් මිහිකත දිනය” නම් කොට තිබේ.  

ජගත් මිහිතල දිනය නම් කිරීමේ පුරෝගාමී වූවෝ

මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමට පුරෝගාමී වූයේ ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ සෙනෙට් සභික ගේලෝඩ් නෙල්සන් මහතාය. එකල වියට්නාම යද්ධය සිදු වූ අවධිකයි. එහිදී විවිධ පාරිෂවයන් විසින් වියට්නාම යුද්ධයට එරෙහිව හඬ නැඟුවද, එම යුද්ධයෙන් සිදු වන පරිසර විනාශය ගැන කිසිවෙකු අවධානය යොමු නොකෙරිණි. ඒ බව දුටු ගේලෝඩ් නෙල්සන් මහතා, තෙල් වැගිරීම්, කෘමිනාශක, දුමාරය වැනි දෙයින් පෘථිවියට බලපෑම් ඇති වන ආකාරය මහජන අවධානයට ලක් කරන්නට වෑයම් ‍කෙරිණි. එම වෑයමේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රථම වතාවට 1970 අප්‍රේල් මස 22 දා සැමරූ මිහිතල දිනයට ඇමරිකානුවන් මිලියන 20ක් සහභාගි වූ බව  තොරතුරු සඳහන් වේ. 

සාර්ථක සැළසුමක්

මිහිතල දිනය වශයෙන් අප්‍රේල් 22 යොදාගැනීමට සැළසුම් කර ඇත්තේ නෙල්සන් සහ සරසවි සිසුවෙකු වූ ඩෙනිස් හේස් විසිනි. ඩෙනිස් හේස් යනු හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනිකව ක්‍රියාකාරී සරසවි සිසුවෙකි.   ඊට හේතුව මේ දිනය සරසවි සිසුන්ගේ වසන්ත නිවාඩුව සහ අවසාන විභාග අතර යෙදෙන දිනයක් වීම තුළින් වියට්නාම යුද්ධයට එරෙහිව දේශපාලනිකව ක්‍රියාකාරී වූ සරසවි සිසුන්ගේ වැඩි අවධානය මිහිතල දිනය දෙසට යොමු කරවාගැනීම, මෙහි අරමුණ වී ඇත. 

ලෝකයටම ව්‍යාප්ත කළා

මිහිතල දිනය ඇමරිකාවේ ආරම්භ වූවත් පසුව ලොව දසත ව්‍යාප්ත වුණු සංකල්පයක්. එහිදී   ඩෙනිස් හේස් විසින් මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ලෝක මිහිතල දිනය 1990 වන විට ලොව රටවල් 141ක පුද්ගලයන් මිලියන 200ක පිරිසකගේ සහභාගිත්වයෙන් සැමරෙන දිනයක් බවටපත් වී ඇත. 2000 වසර වන විට ලෝකයේ පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක ලෝක මිහිතල දිනය සැමරා ඇත.  Earth Day (මිහිතල දිනය) නම් වුණු මේ දිනය 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින් International Mother Earth Day නමින් නම් කෙරුණා.

මෙවර තේමාව

 ඒ අනුව එම දිනය සැමරුම මේ දක්වා සිදු කෙරෙනවා. මේ එහි 51 වන සංවත්සරයයි. 

මෙවර ජගත් මිහිතල දිනයේ තේමාව වී ඇත්තේ "පෘථිවිය යථා තත්ත්වයට පත් කරමු (Restore our Earth)" යන්නයි. 

මෙම වසරේ තේමාව අවධානය යොමු කරන්නේ ස්වාභාවික ක්‍රියාවලීන්, නැගී එන හරිත තාක්ෂණයන් සහ ලෝකයේ පරිසර පද්ධති යථා තත්වයට පත් කළ හැකි නව්‍ය චින්තනයන් ය.

මෙහිදී අපේ සමස්ත පෘථිවි තලයටම බරපතළ හානියක් කරන ප්ලාස්ටික් හා පොලිතින්වලින් මිහිතලය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව විශේෂ අවධානය යොමු කර ඇත.

ඔබ කළ යුතු දේ

ඔබට පුළුවන් ගෙදර ඉඳගෙන ම ලෝක මිහිතල දිනය වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරන්න. පුංචි පැලයක් හිටවන්න, ගෙදරට ගෙන එන පොලිතීන් ප්ලාස්ටික් අවම කරන්න, එම අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර නොකර නැවත නැවත භාවිතය හා භාවිතයෙන් පසු ඉවතලන දේ ප්‍රතිචක්‍රීකරණයටම යොමු කරන්නට මේ මිහිතල දිනයේදී ආරම්භ කරන්නට හැකිනම් මිහිතලයට ඔබ යමක් එක්කලා යැයි සතුටු විය හැකිය.

ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාව ද පොලිතීන් ප්ලාස්ටික් අවම කිරීම සඳහා විටින් විට විවිධ පියවරයන් ගනිමින් සිටිනවා. ඒ අතර පොලිතීන් ප්ලාස්ටික් නිෂ්පාදනය හා භාවිතය සීමා කිරීම් හා තහනම් කිරීම් සඳහා ගෙන ඇති නීති වැදගත් තැනක් ගනී. ආසන්නතම නීති ක්‍රියාවට නැංවීම 2021වසරේ මාර්තු 31 දින සිදු වෙනවා. ඒ 2021 ජනවාරි 21 දිනැති ගැසට් නිවේදනයෙන් ෂැසේ පැකට්, කොටන්බඩ් සමහා හුලං පිරවූ සෙල්ලම්බඩු භාවිතය තහනම් කිරීමෙනි. අදාල ගැසට් නිවේදනයේ ඡායාරූපය පහතින් දක්වා ඇත.


Google බ්‍රවුසරයේ පිවිසුම් පිටුව තුළ මිහිතල දින පණිවිඩය පහත විඩියෝවෙන් දක්වා තිබුණා.

https://www.youtube.com/watch?v=hAxqygRdM4g&t=2s



මූලාශ්‍ර - https://www.yamu.lk/si


Tuesday, February 2, 2021

ලෝක තෙත්බිම් දිනය අදට යෙදී ඇත. (2021 පෙබරවාරි 02)



ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී ඇති අතර “තෙත්බිම් සහ ජලය”  (“Wetlands and water”)  මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව වී තිබේ. වාරෂිකව මෙම තේමාව රැම්සාර් මහලේකම් කාර්යාලය විසින් නම් කරනු ලබයි.

1971 වසරේ ඉරානයේ රැම්සාර් නුවරදී, ජාතීන් 21 ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කල දිනය, එනම් පෙබරවාරි 2 වන දිනය, ලෝක තෙත්බිම් සැමරුම් දිනය ලෙස තෝරා ගෙන තිබෙයි

ලොව ප්‍රථම වතාවට  1997 වර්ෂයේදීයී තෙත්බිම් දිනය සමරනු ලැබ ඇත. එතැන් පටන් සෑම වසරකදීම,  තෙත් බිම් වල වටිනාකම් හා ප්‍රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය සම්බන්ධ ලෝක ප්‍රජාව දැනුවත් කරමින් තෙත්බිම් සුරැකීම කෙරෙහි අවධානය යොමු කරවමින් සැමරම් වැඩසටහන් ක්‍රියාතමක කර ඇත. මේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා අදාල පාර්ශවයන් වෙත රැම්සාර් මහලේකම් කාර්යාලයද, අවශ්‍ය ආධාර සපයයි.

තෙත්බිම් පිළිබඳව කතා කිරීමේදී ශ්‍රී ලංකාව සුවිශේෂී වි ඇත්තේ 2018 වර්ෂයේ ඔක්තෝබරයේ දී රැම්සා සම්මුතිය විසින් කොළඹ නගරය ලෝකයේ ප්‍රථම තෙත් බිම් නගරය ලෙස නම් කිරීම හේතු කරගෙනය.

2021 හි ලෝක තෙත්බිමු දින තේමාව, තෙත්බිම් මිරිදිය ප්‍රභවයක් ලෙස අවධානය යොමු කර ඇති අතර ඒවා යථා තත්වයට පත් කිරීමට සහ ඒවායේ හායනයන් නැවැත්වීමට ක්‍රියා කිරීමට දිරිගැන්වීමේ අරමුණින් ප්‍රකාශයට පත් කර ඇත.

පෘථිවිය ජල ග්‍රහලොවක් ලෙස නම් කෙරේ. මෙයට හේතුව අභ්‍යාවකාශයේ සිට බලන විට එය නිල් පැහැයෙන් පෙනීමයි. මෙම පැහැයට හේතුව පෘථිවියෙන් 70% ක් පමණ පැතිරි සාගර ජලයයි. 

සමස්ත ගෝලීය ජල ප්‍රමාණයෙන් මිනිසාට ගත හැකි මතු පිට මිරිදිය ජලය ලෙස පවතින්නේ 1% පමනි.

පෘථිවියේ ජල ව්‍යාප්තිය

• සාගර ජලය (සාගර හා මුහුදුවල)
• භූතල ජලය (surface water) (භූමිය මතුපිට,ගංගා, ඇළදොළ, විල් සහ ජලාශවල)
• භූගත ජලය (Ground water) (භූමිය තුළ අන්තර්ගත)
• වායුගෝලීය ජලය (Atmospheric water) (වායුගෝලීය ආර්ද්‍රතාව)
• පාංශු ජලය (Soil water) (පස තුළ අන්තර්ගත)

ලොව සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 71% ජලයෙන් වැසී ඇත

සාගර ජලය 97.5% (කරදිය)
ගොඩබිම ජලය 2.5% (මිරිදිය)

ගොඩබිම ජලය

අයිස් තට්ටු හා ග්ලැසියර් 79%
භූගත ජලය 20%
ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය 01%

ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය(මිරිදිය)

විල් හා වැව්ජලය 52%
ගංගා ජලය 1%
පෘථිවියේ වසන සියලු ම ජීවීන්ගේ සිරුරුවල හා ශාකවල අඩංගු ජලය 01%
ජලවාෂ්ප 08%
පාංශු ජලය 38%

මිනිසුන්ට සහ අපේ පෘථිවියට තර්ජනයක් වන මිරිදිය අර්බුදයකට අපි මුහුණ දෙමු. සොබාදහම නැවත පිරවිය හැකි ප්‍රමාණයට වඩා අප මිරිදිය භාවිතා කරන අතර ජලය සහ සියලු ජීවීන් බොහෝ දුරට රඳා පවතින පරිසර පද්ධතිය විනාශ කරමින් සිටිමු - තෙත්බිම්.

2021 තෙත්බිම් දින තේමාව මගින් අපේ පෘථිවියේ මිරිදිය, ප්‍රමාණය හා ගුණාත්මකභාවය සඳහා තෙත්බිම්වල දායකත්වය ඉස්මතු කර ඇත. ජලය සහ තෙත්බිම් වෙන් කළ නොහැකි සහජීවනයකට සම්බන්ධ වී ඇති අතර එය ජීවිතයට, අපගේ යහපැවැත්මට සහ අපේ පෘථිවියේ යහපත් පැවැත්මට අත්‍යවශ්‍ය වේ.

තෙත්බිම් පිළිබඳව වැඩි දුර තොරතුරු සොයන්නෙකුට මා විසින් 2017 වර්ෂයේ ඵල කළ ලිපිය පරිශීලනය කළ හැක - https://isiwaraya.blogspot.com/2017/02/2017-02.html




Source  - https://medwet.org
                https://si.wikipedia.org
                https://www.e-thaksalawa.moe.gov.lk

Monday, February 1, 2021

කොරෝනා මඩින දේශීය ඔසුවක්, ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මියගෙන්... කමිටුවේ අනැමැතිය ද ලැබී ඇත.

කොරෝනා වෛරසය සුවපත් කරන ඖෂධයක් ගාල්ලේ අලුත්වල පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් හඳුන්වා දී ඇත.

එපිරෙපිස් නමින් හඳුන්වා දී ඇති මෙම ඖෂධය සඳහා යුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ඇය මීට පෙර ඩෙංගු රෝගය සඳහා ද දේශීය ඖෂධයක් නිපද වූ අතර ඒ සදහා පේටන්ට් බලපත‍්‍රයද හිමිව ඇත.

කොරෝනා සඳහා හඳුන්වාදෙන ලද නව ඖෂධය නුදුරේදීම රට පුරා ඖෂධ වෙළඳසැල් වලට යොමු කරන බව ද ඇය සඳහන් කළාය.

නමුත් දැනට විශාල පිරිසකට එකවර ඖෂධ නිකුත් කිරීමේ අපහසුතාව නිසා ඒ ගැන වැඩි ප්‍රචාරයක් ලබා නොදෙන බවද ඇය කියා සිටී.


මෙම ඖෂධය ඖෂධ අලෙවි සැල්වලට නිකුත් කිරීමට හැකියාව ඇති ලෙස අනුමැතිය දෙමින් සහතික ලැබී ඇතැයිද ඇය සදහන් කලාය.

උපුටා ගත්තේ -  February 1, 2021 at 9:20 am | lanka C news


Friday, November 13, 2020

තලුමසුන් රෑනක් පානදුර වෙරළට ඇවිත්

පසුගියදා (2020-11-02) පානදුර වෙරළට තල්මසුන් රෑනක් පැමිණි බව දැන ගන්නට ලැබුණි. ඒ පිළිබඳව පුවත්පත්වල ඵලවූ  ලිපි කිහිපයක් මෙසේ උපුටා දක්වමි.

අරුණ සිදුවීම වාර්තා කළේ පහත ආකාරයෙනි

 


ප්‍රේමයෙන් මුසපත්ව ගී ගයමින් තම බල ප්‍රදේශ ලකුණු කර ගන්නා යෝධ තල්මසුන් මුහුදු දිය දෙබෑ කරමින් එකිනෙකා පරයා වරින් වර ඉහළ පහළ යන්නේ, දියඹෙහි චමත්කාරජනක දසුන් මවමිනි. අපේ රටේ එවන් දර්ශනයක් නරඹන්නට නම් අපි එක්කෝ ගාල්ලෙන් නැව් නැග මිරිස්ස මුහුදට යා යුතුය. නැත්නම් කල්පිටියට හෝ තිරිකුණාමලයට යා යුතුය. ඒ සඳහා එක් අයකුට රුපියල් හාරපන්දහසක් දැරීමට ද සිදුවේ. ඒ ගියද අපිට වරකට දැක ගන්නට ලැබෙන්නේ එක් තල්මසෙකු හෝ දෙදෙනෙකු පමණි. ඒකත් පැය දෙක තුනක් මුහුදේ රස්තියාදු වීය. එහෙත් යෝධ තල්මසුන් රංචුවක් ම නොමිලයේම දැක බලා ගන්නට ඉකුත් සතියේදී පානදුර වෙරළවාසීන්ට නම් අරුමපුදුම අවස්ථාවක් හිමි විය. ඒ, තල්මසුන් විශාල සංඛ්‍යාවක් පානදුර වෙරළට ඉකුත් දෙවෙනිදා පස්වරුවේ හිටිහැටියේ පිහිනා ඒම නිසාය.

මේ සිද්ධිය සමග බොහෝ දෙනා මත පළ කළේ, මත්ස්‍යයන් විශාල රංචුවක් ගොඩබිමට ඇදී ඒම අසාමාන්‍ය සිද්ධියක් බවයි. සාගර පත්ලේ කිසියම් වූ අන්තරායකාරී සිද්ධියක් වීම නිසා මොවුන් මෙලෙස ගොඩබිමට ඇදී එන්නට ඇතැයි ඔවුහු සැක පහළ කළහ.


එහෙත් තල්මසුන් එලෙස ගොඩබිමට ඒම කිසිම ආකාරයක අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව සමුද්‍ර ක්‍ෂීරපායි සංරක්ෂණ විද්‍යාඥ රනිල් නානායක්කාර පවසන්නේය. ඔහු පෙන්වා දෙන්නේ, ඉතා ඉක්මනින් රංචු ලෙස ගොඩබිමට එන සත්ත්ව විශේෂයක් ලෙස මේ තල්මසුන් ලොව පුරා වාර්තාගත බවයි.

පානදුර වෙරළට හදිසියේ ගොඩබට මේ දැවැන්තයන් “ග්ලොබිසිෆෙලා මැක්‍රන්චස්” (Globicephala macronhynchus) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන “ඩෙල්ෆිනිඩේ” (Delphinidae) පවුලට අයත්, කෙටි වරල් සහිත තල්මසුන් විශේෂයකි. මොවුන් සිය වාස භූමිය කරගෙන ඇත්තේ ඉන්දියානු සාගර කලාපයයි. ලෝකයේ වැඩිම බුද්ධියකින් යුත්, “නියමු තල්මසා” (Pilot whales) ලෙසින් නම් දරන මොවුන් ධීවරයන්ට නම් “කළු තල්මසා”ය.

“නියමු තල්මසාගෙ තියෙන විශේෂත්වය තමයි, ඔවුන් හැමවිටම ඉන්නෙ තමන්ගෙ පවුලෙ අය එක්ක එකටමයි. ඔවුන්ගෙ පවුල් සම්බන්ධතාව ඉතාම වැඩියි. ඒ නිසා එක්කෙනෙක් කොහේ හරි තැනකට ගියොත් රංචුව ඒ පිටුපසින් ගමන් කිරීම තමයි එයාලගෙ සිරිත.” සමුද්‍ර සම්පත් සුරකින්නෝ සමුද්‍ර පර්‌යේෂණ කණ්ඩායම් නායක ප්‍රසන්න වීරක්කොඩි පවසන්නේය.


සමුද්‍ර ක්‍ෂීරපායි සංරක්‍ෂණ විද්‍යාඥ රනිල් නානායක්කාර පවසන්නේද, මොවුන් හැමවිටකම පුරුදුව ඇත්තේ සිය නායකයා අනුගමනය කරන්නට බවයි. ඔහු පෙන්වා දෙන පරිදි ඔවුන්ගේ නායකයා බොහෝ විට ගැහැනු සතෙකි. ඒ පිටුපසින් හැමදෙනා එකම තැනකට යාමත්, කිසිවකුට හෝ කරදරයක් වුවහොත් ඔහුව තනි නොකිරීමත් ඔවුන්ට ආවේණික ගති ලක්‍ෂණයකි.

සමුද්‍ර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, මේ තල්මසුන් ගොඩබිම දෙසට පැමිණීමට විවිධ හේතු බලපෑ හැකි බවයි. එනම්, ඇතැම් අවස්ථාවක රංචුවේ එක් අයකුට යම් ආකාරයක තුවාලයක් වීම නිසා ඒ තල්මසා ගොඩබිමට ඇදී ආවොත්, අනෙක් පිරිසද ඔහුගේ සහයට ගොඩබිමට පැමිණේ. නියමු තල්මසුන් ඒ තරම්ම ශක්තිමත් පවුල් බැඳීමකින් ජීවත්වන්නෝ ය. එබැවින් කිසිදු අවස්ථාවකදී එක් අයකු පමණක් තනි කිරීම ඔවුන්ගේ සිරිත නොවේ.

“ඒ වගේ ම තවත් අවස්ථාවලදී මෙයාලා වැරදීමකින් නොගැඹුරු දියට එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී නොගැඹුරු දියේ රැළිවලට වැලි ගතිය මුසු වෙලා තිබුණොත් නොගැඹුරු ජලයෙදි තමන්ගෙ පාර නිවැරිදිව හොයා ගන්න එයාලට තරමක් අපහසු වෙනවා. එවැනි අතරමං වීමකින් ගොඩබිමට එන්නත් පුළුවන්.” ප්‍රසන්න වීරක්කොඩි පෙන්වා දෙන්නේය.

තල්මසුන් දියඹේදී සිය මාර්ගය තෝරා ගන්නේත්, ඔවුන්ගේ සියලු තොරතුරු එකිනෙකා සමග සන්නිවේදනය කරගන්නේත්, ශබ්ද තරංග (සෝනාර්) උපයෝගී කරගනිමිනි. නාවික කටයුතු මෙන්ම හමුදා කටයුතුවලදීද එවැනි රේඩාර් පද්ධති සඳහා ද එවැනි ශබ්ද තරංග උපයෝගී කරගන්නා බවයි. නොගැඹුරු මුහුදේ රැළි සමග වැලි මුසු වූ විටෙක තල්මසුන්ට සිය මාවත නිසි ලෙස තෝරා ගන්නට නොහැකි වෙන්නේ එකී ශබ්ද තරංග එවැනි පරිසරයක් තුළ නිසි ලෙස ක්‍රියාත්මක නොවන හෙයිනි.

සාගර දියවැල්වල සිදුවන වෙනස්කම් හෝ සුනාමි තත්ත්වයන් ඇති කරන ආකාරයේ භූ කම්පන සාගරයේ වූ අවස්ථාවලදී මේ ආකාරයෙන් මත්ස්‍යයින් වෙරළට ඇදී ආ හැකි බවට ඇතැම්හු මත පළ කරති. එහෙත් සාගර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, එවැනි කම්පන අවස්ථාවකදී මත්ස්‍යයින් ගැඹුරු මුහුදට යනවා මිස වෙරළට ඇදී එන්නේ නැති බවය. “ඒ වගේම කම්පනයක් වුණොත් එයාල ඊට විරුද්ධ දිසාවට තමයි යන්නෙ. ඒත් ගොඩබිමටම එන්නෙ නෑ. පසුගිය කාලවල අන්දමන් දූපත් ආශ්‍රිතව ඇති වූ එවැනි කම්පන තත්ත්වයන්වලදී මත්ස්‍යන් අපේ වෙරළ පැත්තට රංචු පිටින් ආව.”සමුද්‍ර ක්ෂීරපායි පර්‌යේෂණ විද්‍යාඥ රනිල් නානානයක්කාර පවසන්නේය.

මේ ආකාරයෙන් තල්මසුන් ගොඩබිමට ආ අවස්ථා ද බොහොමයකි. එක්දහස් නවසිය විසි නවය වසරේදී යාපනේ කයිට්ස් දූපත් ආශ්‍රිතව මේ ආකාරයෙන් ම තල්මස්සු විශාල සංඛ්‍යාවක් ගොඩබිමට පැමිණියහ. එක්දහස් නවසිය තිස් හතරේදී මුතූර් වෙරළට ද තල්මසුන් එකසිය හැටකට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බවට තොරතුරු වේ. මීට වසර දෙකකට පමණ ඉහතදී සාම්පූර් වෙරළට ද තල්මසුන් විස්සක් පමණ පැමිණි අතර කොළඹ ගාලුමුවදොර වෙරළට තල්මසුන් පැමිණියේ මීට වසර දහයකට පමණ ඉහතදීය. එවර ඔවුන්ගේ කණ්ඩායම දහදෙනෙකුගෙන් පමණ සමන්විත විය. ලෝක මට්ටමින් ද ඔවුන්ගේ ආගමනයන් ගැන තොරතුරු වාර්තා වේ. දකුණු ඕස්ට්‍රේලියාවේ තස්මේනියා වෙරළ තීරයට තල්මසුන් විශාල සංඛ්‍යාවක් පැමිණ තිබුණේ ඉකුත් වසරේදීය. ඒ අවස්ථාවේදී වෙරළට ආ තල්මසුන් තුන්සියකකට අධික සංඛ්‍යාවක් මියගොස් තිබුණි.

එහෙත් ඉකුත් දෙවෙනිදා පස්වරුවේ තල්මසුන් රංචුව පානදුර වෙරළට ඇදී එන්නට බලපෑයේ, මීට හාත්පසින් ම වෙනස් ආකාරයේ හේතුවක් වන්නට ඇති බවට සමුද්‍ර විද්‍යාඥයෝ සැක පළකරති. ඔවුන් අනුමාන කරන්නේ, මේ දිනවල ඉන්දියානු සාගර කලාපය තුළ රටවල් කිහිපයක් එක්ව දියත් කර ඇති නාවික මෙහෙයුම්, යුද අභ්‍යාසවල අහිතකර බලපෑමකින් මේ දැවැන්තයන් මෙලෙස ගොඩබිම කරා පැමිණෙන්නට ඇති බවය. ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය හා ඇමරිකාව එක්ව දියත් කර ඇති මෙම මෙහෙයුම්වලදී භාවිත කරන අධි ශබ්ද තරංගවලින් මේ සතුන්ගේ තරංග පද්ධතිවලට හානි විය හැකි බවයි.

“ගොඩක් වෙලාවට මේ වගේ අභ්‍යාසවලදී සබ්මැරීන සොයා ගැනීම සඳහා ඔවුන් අධික ශබ්ද සහිත පද්ධති භාවිත කරන්න පුළුවන්. එතකොට ඒ ආකාරයේම ශබ්ද තරංග භාවිත කරන මත්ස්‍යයින්ට එමගින් ලොකු බලපෑමක් එල්ල වෙනවා.” ප්‍රසන්න වීරක්කොඩි අවධාරණය කරන්නේ ය. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් විටක එවැනි ශබ්ද දරා ගැනීමට නොහැකිව මත්ස්‍යයින්ගේ ඉන්ද්‍රීය පද්ධතින්ට පවා හානි විය හැකි බවයි. මෙහිදී ද එවැනි තුවාල වීමකට ලක් වූ තල්මසුන් ගොඩබිම දෙසට ඇදී එද්දී අනෙක් රංචුව ම ඒ පිටුපස එන්නට ඇතැයි සිතිය හැකි බව සමුද්‍ර විද්‍යාඥයන්ගේ මතයයි. එමෙන් ම එවැනි අවස්ථාවල ඇති වන අධික කම්පනය නිසා ඔවුන්ගේ සමස්ත සන්නිවේදන පද්ධතියම අවුල් වී යා හැකි අතර ඒ නිසා ඔවුන් එක්තරා ආකාරයක අතරමං වීමකට ලක්විය හැකිය. ඒ නිසා මේ තල්මසුන් ගොඩබිමට පැමිණෙන්නට ඇතැයි යන කාරණාව ද මතු වී තිබේ. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ කාරණය නිශ්චිතව තහවුරු කරගන්නට සාධක තවම හෙළි වී නැති බවයි. එහෙත් එවැනි අවස්ථාවක මිය යන තල්මසුන්ගේ මොළය, පෙණහලු ආදිය ගැන පරීක්‍ෂා කිරීමෙන් ඒ පිළිබඳව නිගමනයකට පැමිණිය හැකි බව ද ඔවුහු පවසති.

කාගේ වරදින් හෝ පානදුර වෙරළට ද අසරණ වූ නියමු තල්මසුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඇදී ආ බව අපි දුටිමු. ඉහළ නැගෙන රළ සමගද පොර බදමින්, වෙරළට ආ දැවැන්තයන් යළි දියඹට හරවා යවන්නට පානදුර ප්‍රදේශවාසීන්ටත් ආරක්‍ෂක අංශ නිලධාරීන්ටත් දැඩි වෙහෙසෙක් දරන්නට සිදුවිය. නාවික හමුදාවේ වේග යාත්‍රා හයක් ද ඒ සඳහා යොදා ගැණිනි. මේ තත්ත්වය වඩාත් බරපතළ වූයේ දියඹට හරවා යවන තල්මසුන් යළි යළිත් වෙරළ දෙසට ම ඇදෙන්නට වූ නිසාය. “වෙරළෙ තමන්ගෙ සගයො කිහිප දෙනෙක් රැඳිලා විලාප නගද්දි තනියම මුහුදට යන්න මෙයාලා කැමති නෑ. ඒ නිසයි එයාල යළි යළිත් වෙරළටම ආවෙ. වෙරළෙ එක්කෙනෙක්වත් නොසිටින විදිහට රංචු වශයෙන් එයාලව එක වතාවෙම මුහුදට ගෙනියන්න කටයුතු කළාම තමයි ඔවුන් දියඹට ගියේ.” ප්‍රසන්න වීරක්කොඩි මහතා පවසන්නේය.

එහෙත් මේ ඇබැද්දියේදී නියමු තල්මසුන් පස් දෙනෙකුට සිය දිවි අහිමි විය. වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරී සුහද ජයවර්ධන මාධ්‍යයට අදහස් දක්වමින් පැවසූයේ ඔවුන්ගේ සිරුරු පිළිබඳව කළ පරීක්‍ෂණවලදී, පෙණහලු සහ අක්මාවට බරපතළ හානි සිදු වී ඇති බවක් දැක ගන්නට ලැබුණු බවයි. වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඒ කොටස් පර්‌යේෂණාගාරවලට යොමු කර ඇති බව ද ඔහු කීය.

කමනාකාරයෙන් වුවද මේ අහිමිව යන්නේ සොබාදහමෙන් ලද සාගර මත්ස්‍ය සම්පතයි. තවම නිශ්චිතව කරුණු තහවුරු කර ගැනීමට නොහැකි වුවද, ලොකු ලොකු රටවල්වල අදූරදර්ශී ක්‍රියාකලාපයන් මේ විපත්තියට ද හේතු වන බැව් දැන් පැහැදිලිය. සාගර පර්‌යේෂණ විශේෂඥයන් මීට පෙර අවස්ථා කිහිපයකදී ම පෙන්වා දී ඇත්තේ, මෙවැනි නාවික මෙහෙයුම්වලට භාවිත කරන අධි තරංග නිසා තල්මසුන්ට හානි වන බැවින් එවැනි ශබ්ද තරංග මෙහෙයුම්වලට භාවිත කිරීමෙන් වැළකිය යුතු බවයි. එහෙත් ලෝක බලවතුන් එවැන්නකට තවමත් කන්දුන් බවක් පෙනෙන්නට නැත. ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රකට විද්වතෙක් වන මහාචාර්ය රොහාන් සමරජීව පවසන්නේ තවමත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි නීතියක් හෝ ප්‍රකාශයට පත්වී නැති බවයි. එහෙම නීතියක් හැදුවත් කවුද ඒ ගැන සොයා බලන්නේ. මේ ගැන බලන්න ජාත්‍යන්තර ආයතනයක් නෑ.’’ ඔහු කීවේය.

අනෙක් අතට තමන්ගේ අධි තාක්‍ෂණික නවීන යුද උපකරණ සියල්ල සඳහා මෙම තාක්‍ෂණය භාවිත කර ඇති පරිසරයක ඔවුන් මත්ස්‍යයෙකුගේ ජීවිතයක් වෙනුවෙන් ඒ සියල්ල අත්හිටුවන්නට එකඟ වනු ඇතැයිද සිතිය නොහැකිය. අපිත් ඔවුන්ගේය. මුහුදත් ඔවුන්ගේය. එබැවින් හැමදාමත් සේ මෙවරත් සිදු වූයේ මහඋන්ගේ වරදට පොඩිඋන්ට තැළෙන්නටය.

ගයාත්‍රි ගීගනආරච්චි

http://www.aruna.lk

-----------------------------------------------------------------------------------------------------------

දිවයින සිදුවීම වාර්තා කළේ පහත ආකාරයෙනි

සෝනාර් රහස් රැගෙන පානදුරට පැමිණි කෙටි වරල් තල්මස් රංචුව යළිත් දියඹට ගෙන ගියේ මෙහෙමයි

 ජගත් කණහැරආරච්චි ඡා යාරූප -

 ආශා ඩි වොෂ් හා අන්තර්ජාලය ඇසුරෙනි 



ඉකුත් 2 වැනි දා සවස් භාගයේ පානදුර මුහුදු තීරය වෙනදා මෙන් නොව තද අඳුරු පැහැයකින් දිස්වන්නට විය. කොරෝනා ඇඳිරි නීතියට කොටු වී කර කියා ගත නොහැකිව සිටි පානදුර වෙරළබඩ ජනතාව මෙසේ එකවරම වෙනස් වූ අඳුරු මුහුදු තීරය දැක තව තවත් වික්ෂිප්ත වූයේ සුනාමිය වැනි තවත් මරාලයක් තමන් ගිල ගන්නට එන්නේදැයි සැකයෙනි.

 එනමුත් මදක් විමසිලිමත්ව බැලීමේදී ඔවුන්ට හඳුනා ගත හැකි වූයේ දැවැන්ත මසුන් රංචුවක් වෙරළ දෙසට පීනා එන බවකි. මේ අනුව වෙරළ තීරයට රැස් වූ පානදුර ජනතාවට දකින්නට ලැබුණේ වෙරළ කරා ඇදී එන දැවැන්ත තල්මස් රංචුවකි. මඳ වෙලාවක් නොගැඹුරු මුහුදේ එකට තෙරපෙමින් ඔබ මොබ පිහිනමින් අපහසුවෙන් වරල් ගසමින් සිටි සිය ගණනක මේ තල්මස් රංචුව තවත් නිමේෂයකදී වෙරළත සිප ගත්තේ යළි දියඹට නොයන අපේක්ෂාවෙන් බව ජනයා තේරුම් ගත්හ. වෙරළේ සිර වූ තල්මසුන් ගැන ප‍්‍රවෘත්තිය හීයක වේගයෙන් සමාජ ගත වෙන්නේ ඉන්පසුවය.

පානදුර වෙරළේ සිර වූ සියයක පමණ තල්මස් රංචුව පිළිබඳ මේ ප‍්‍රවෘත්තිය ඉන් පසු පරිසරවේදීන්, පොලිසිය, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් වෙතද ක්ෂණිකව ගලා ගෙන ගියේ ය. ඉන්පසු වහ වහා තල්මසුන්ගේ ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක වන්නට පටන් ගත්තේය.

පානදුර පොලිසිය, නාවික හමුදාව, වනජීවී සංරක්ෂණ කණ්ඩායම්, පරිසරවේදීන් හා එක් වුණු පානදුර ජනයා ලෝකයේ පළමුවරට ක‍්‍රියාත්මක වන තල්මසුන් බේරාගැනීමේ මහා මෙහෙයුමට එක් වූහ. විශේෂත්වය වන්නේ පානදුර ප‍්‍රමුඛ බස්නාහිර පළාතටම කොරෝනා නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී මෙවන් ගලවා ගැනීමේ කටයුත්තකට මුල පිරීමය. පරිසරවේදීන් පවසන ආකාරයට මේ තල්මස් රංචුවේ සාමාජිකයන් ගණන 70 කටත් වඩා වැඩිය. ඒ අතර මුල්ලා නොහොත් ඩොල්ෆින් මත්ස්‍යයකු ද සිටියේය. සාගරයේදී කුමන හෝ අකරතැබ්බයකට හසු වීමෙන් මෙසේ මංමුලා වී ගොඩ පැමිණි තල්මසුන් රංචුවට ශ‍්‍රී ලාංකිකයින්ගේ සුහදත්වයේ දෑත් මෙන්ම මනුෂ්‍යත්වයේ ලෙන්ගතුකම දිගු කෙරිණි. ඒ අනුව කොරෝනා වසංගතය නොතකා තල්මසුන් බේරා ගෙන මහා මුහුදට රැගෙන යන මහා මෙහෙයුම අඳුරේම ක‍්‍රියාවට නැගිණි. ලෝකයේ දියුණු යැයි කියන රටවලදී මෙසේම අතරමං වන තල්මසුන්, ඩොල්ෆින් මසුන් හිත් පිත් නැති අමානුෂිකයින් විසින් තියුණු ආයුධවලින් කපා කොටා මරා ඒ මුහුදු තීර රුධිර සාගර බවට පත්කරද්දී, සංග‍්‍රහශීලී ශ‍්‍රී ලාංකිකයෝ එදා පානදුර වෙරළ තීරය තල්මසුන්ට ආදරයේ උල්පතක් බවට පත් කළහ. 

මේ අනුව ගලවාගැනීමේ කණ්ඩායම් විසින් එක් එක් තල්මසා යළිත් මුහුදු රැළි අතර හොවා, ඩිංගි යාත‍්‍රා මඟින් දියඹට රැගෙන ගොස් මුදා හළහ. රෑ පහන් වන තුරා සිදු කරන ලද මේ මෙහෙයුම අපූර්වත්වයෙන් සමන්විත වුවත් අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබිණි. මන්ද, දියඹට ගෙන

 ගොස් මුදා හැරී ඇතැම් මත්ස්‍යයින් යළිත් ගොඩ බිම බලා පැමිණීම ගලවා ගැනීමේ කණ්ඩායම් අපේක්ෂා භංගත්වයට පත් කිරීමට හේතුවක් වූ නිසාය. එනමුත් වෙරළට පැමිණ සිටි බොහෝ සත්වලෝලීන් තම ජීප්රථවල විදුලි ලාම්පු දල්වමින් මෙහෙයුම් බිම ආලෝකවත් කරන අතරේ ජනතාව සහ අනෙකුත් පරිසරලෝලීන් වෙරළේ සිරවුණු තල්මසුන් මහත් වැර යොදා, රළ කපා දමමින් මුහුදට තල්ලූ කරදීම ගලවා ගැනීමේ කණ්ඩායම් වෙත මහත් ශක්තියක් ගෙන දුන්නේ ය. ඒ අනුව තල්මසුන් ගලවා ගැනීමේ යෝධ මෙහෙයුම අවසානයක් දක්වා ක‍්‍රියාවට නැගුන මුත් ඒ වන විටත් එක් තල්මසකු අවාසනාවන්ත ලෙස දිවිය හමාර කළේය.

 මෙහෙයුම අවසාන වන විට වටින් ගොඩින් එළිය වැටි තිබුණු අතර, ඒ වන විට දියඹට ගෙන ගොස් දැමූ තවත් තල්මසුන් තිදෙනකු හා ඩොල්ෆින් මත්ස්‍යයා ද මෙලොව හැර ගොස් ඔවුන්ගේ අප‍්‍රාණික සිරුරු යළිත් පානදුර වෙරළට පැමිණ තිබිණි. ඒ සියල්ලන්ගේ සිරුරු වනජීවී පශු වෛද්‍යවරුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හා මුහුදු ක්ෂීරපායින් පිළිබඳ පර්යේෂණවලට යටත්ව පසු දා හිරු නැගුණු උදයේ පානදුර වෙරළේදී සිදු කෙරිණි. ඒ කනගාටුදායක සිදුවීම හැරෙන්නට පානදුර වෙරළ බලා මං මුලා වී පැමිණි තල්මසුන් පිළිබඳ ලොව අංක එකේ මෙහෙයුම අතිසාර්ථකව නිමාවට පත් වූයේ සත්ව අවිහිංසාව පිළිබඳ ශ‍්‍රී ලාංකිකයින්ගේ පූර්වාදර්ශය ලොව සියලූම රටවලට පසක් කරමිනි.

 නමුත් මෙම අති සාර්ථක මෙහෙයුමට සම්බන්ධ වූ හා තල්මසුන් පිළිබඳ දේශීය විද්වතුන්ගේ, පරිසරවේදීන්ගේ හඬටද අප යම් ඉඩ කඩක් ලබා දිය යුතුය. මන්ද, මෙසේ හිටි හැටියේම තල්මසුන් රංචුවක් වෙරළට පැමිණීමට හේතු පහදන්නට හා මේ කුමන වර්ගයේ තල්මසුන්ද යන්න හා මෙසේ පැමිණි තල්මසුන් ගේ ගලවාගැනීමේ මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳව කරුණු කාරණා ඔවුන්ගේ හඬින් අසා දැනගත යුතු වන නිසාය. මේ ඒ සඳහා අවස්ථාවයි.

 ”හවස 2-3 ට විතර ඈත මුහුදේ කළු පාට යමක් ගොඩ ගහනවා දැක්කා. අපි හිතුවේ සුනාමි වගේ මුහුද ගොඩ ගලනවා වෙන්නැති කියලා. ඒත් බලපුවහම සීයක් විතර ඉන්න විශාල මාළු රැලක් තමයි ගොඩබිම පැත්තට ආවේ. ටික වෙලාවකින් උන් ඔක්කොම ගොඩ එන්න පටන් ගත්තා. ඒ පාර තමයි මේ ආරංචිය කටින් කට ගියේ’ යැයි වෙරළේ පදිංචි අයෙකු පැවසී ය.

 මේ කුමන වර්ගයේ තල්මසුන් ද, මෙවන් අනපේක්ෂිත ගොඩගැසීමකට ඔවුන් ලක්වන්නේ කෙලෙසකද යන්න පිළිබඳව අප ප‍්‍රශ්න කළේ සාගර ජීවීන්, සාගර ක්ෂීරපායින් හා සාගර සම්පත් පිළිබඳව ප‍්‍රවීණයන් දෙපලකිනි. ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතාගෙන් හා ආචාර්ය ආශා ඩි වොෂ් මහත්මියගෙනි. ආශා ඩි වොෂ් මහත්මිය සෘජුවම තල්මසුන් ගලවාගැනීමේ මෙහෙයුමට තම ක‍්‍රියාකාරී දායකත්වය හා මගපෙන්වීම ලබාදුන් අතර, පළමුව මියගිය තල්මසා තම දිවිය හමාර කරන ලද්දේ වොෂ් මහත්මියගේ රැකවරණය යටතේ සිටිද්දීය.

 ”මේ තල්මස් වර්ගය, එහෙමත් නැතිනම් විශේෂය අප හඳුන්වන්නේ පයිලට් තල්මසුන් කියලා. සාමාන්‍යයෙන් අපේ රට ප‍්‍රසිද්ධවෙලා තියෙන්නේ ලෝකයේ විශාලතම තල්මස් විශේෂය දකින්න පුළුවන් රටක් හැටියට. ඒ කියන්නේ නිල් තල්මසුන්ට. නමුත් මෙසේ පැමිණ තිබෙන්නේ පයිලට් වේල්ස් (Pilot Whales) නමින් හඳුන්වන තල්මසුන්. මොවුන් වඩාත් නිවැරදිව හඳුන්වනවා නම්, කෙටි වරළ දරන පයිලට් තල්මසා Short finned tailed whales ලෙස තමයි නම් කරන්නේ ,මේ තල්මසුන් ගණයේ (Globicephala) විශේෂ දෙකක් දිවි ගෙවනවා. ඒ short finned tailed (Globicephala macrorhynchus) සහ long finned tailed (Globicephala melas) වශයෙන්. කොහොම වුණත් පළමු කාරණය තමයි මේ තල්මසුන් නිල් තල්මසුන්ට වඩා රංචු ලෙස දිවිගෙවීමට ඇති ලැදියාව සහ තල්මස් රංචුව නිරන්තරයෙන්ම නායකයා අනුගමනය කරමින් කටයුතු කිරීම. ඒ අනුව තමයි මෙවන් ගමනක් එන්න ඇත්තේ. ඒ කියන්නේ නායකයා අනුගමනය කරමින් වෙරළ කරා එන්න ඇති. ගැඹුරු මුහුදේ ජීවත්වන තල්මසුන් තම පණිවිඩ හුවමාරු ක‍්‍රමවේදය සහ ගමන් දිශානතිය තෝරාගන්නේ සෝනාර් තරංග ක‍්‍රමවේදයක් ඔස්සේ. ඒ කියන්නේ තමන් විසින් නිකුත් කරන තරංග ධාරාවක් මගින්ම යළිත් යම් දැනීමක් ලබා ගන්නවා. මේ සෝනාර් තරංග පද්ධතිය අවුල් තත්ත්වයට පත්වන යම් ක‍්‍රියාවක් හේතුකරගෙන ඔවුන්ගේ දිශානතිය වෙනස් වෙන්න පුළුවන්.

 එහෙමත් නැතිනම්, මුහුදේ පාරිසරික තත්ත්වයේ වෙනස්වීමක් මීට බලපාන්න පුළුවන්. එනම්, සාගරයේ උණුසුම් දියවැල් හා සිසිල්වීම යන කාරණා අතර සිදුවන සංවහන ධාරා ක‍්‍රියාවලිය නිසා උන්ගේ පරිසරය මෙන්ම, සෝනාර් පද්ධතිය වැරදි විදිහට ක‍්‍රියාත්මක වී මාර්ගය වෙනස් වෙන්න පුළුවන්. එසේ මාර්ගය වෙනස් වී නොගැඹුරු මුහුදු ප‍්‍රදේශයකට ආවොත් අර කියන සෝනාර් ක‍්‍රියාවලිය හරි හැටි පවත්වාගෙන යන්න ඔවුන්ට අපහසුයි. අන්තිමේ රළ පහරට අසුවෙලා ගොඩට ගසාගෙන එන එක සිදුවෙනවා. ඉතිං මෙසේ අතරමං වන සතුන් ගලවාගැනීමේ කටයුත්තක් සිදුවුණේ නැතිනම්, අනිවාර්යන්ම ඒ සතුන් මිය යනවා. මේ සතුන් මුහුදට යළි යොමුකිරීම අතිශයෙන්ම වෙහෙසකර හා දුෂ්කර කාර්යයක් වුණා. මන්ද, මේ සතුන් සිටියේ දැඩි ආතතියකින්. ඒ වගේම මේ සතෙකුගේ බර කිලෝ 1000 -3000ත් අතර වෙනවා. දිගින් අඩි 10-18 ක් විතර වෙනවා. වරල් ගහනකොට, දඟලනකොට ඔවුන් හසුරවන්න අමාරුයි. නමුත් අපේ උත්සාහය සාර්ථක වුණා’ යැයි ඔවුහු සඳහන් කරන්නේය. එක් එක් ශරීර ප‍්‍රමාණ දරන තල්මසුන් විශේෂ 13 කට වැඩි ප‍්‍රමාණයක් මහ මුහුදේ දිවි ගෙවති. ඒ අතරින් බහුතරයක් ශ‍්‍රී ලංකාවෙන්ද වාර්තා වෙති. ලොව දිවිගෙවන විශාලතම ක්ෂීරපායි සත්වයා වන නිල් තල්මසාද, ගොඩබිම වසන විශාලතම සත්වයා වන අලි ඇතුන්ද වාර්තාවීම නිසා ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොව, ලෝකයේම මුතු ඇටය බවට පත්ව තිබේ.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාගර සම්පත් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හා වත්මන් දකුණු කලාපය භාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා ප‍්‍රකාශ කරන පරිදි, පසුගිය කාලයේදී අහම්බයෙන් මෙරටට පැමිණ සිටි එලිපන්ට් සීල් සමග සමුද්‍රීය ක්ෂීරපායින් විශේෂ 34 ක් ශ‍්‍රී ලංකාවේ මුහුදු තීරයෙන් වාර්තා වේ. ඒ අතර, අතිශය දුර්ලභ මුහුදු ඌරා (Sea Cow/ Dugon) ද වේ. බහුතරය ඩොල්පින් හා තල්මසුන් ය.

 එසේම, සමුද්‍රීය ක්ෂීරපායින් පිළිබඳ විද්වතුන් පවසන පරිදි තල්මසුන් හා ඩොල්පින් විශේෂ අතරද යම් සමානකම් දක්නට ඇත. එනිසා විටෙක අප තල්මසුන් යැයි සිතන සතකු ඩොල්පින් සතුන් ලෙස වර්ගකරන අවස්ථා ඇත. නිදසුනක් ලෙස සුප‍්‍රකට ෆ‍්‍රී විලී චිත‍්‍රපටයේ කුඩා දරුවකු හා රඟපාන කිලර් වේල් වර්ගයේ සත්වයා සැබෑ තල්මසෙකු නොව, ඩොල්පින් පවුලේ විශාලතම සත්වයා ලෙස වර්ගීකරණය කරනු ලැබේ.

 ඒ කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවට මෙවර 60-70 ක රංචුවක් ලෙස පැමිණ ඇත්තේ සැබෑ තල්මසුන්ට අයත් කෙටි වරල් පයිලට් තල්මසුන් රංචුවකි. ධීවරයින් විසින් මොවුන් හඳුන්වන්නේ කොමඩුවා යන නමිනි. මග වැරදීමෙන් මෙසේ පැමිණීමට මොවුන්ට සිදුවූයේ ඔවුන් පණිවිඩ හුවමාරු කරගන්නා සෝනාර් පද්ධතියේ අවුලක් නිසා බව විශ්වාස කරයි. මෙසේ ඔවුන්ගේ සෝනාර් ක‍්‍රියාවලිය අවුල් වීමට හේතුව ඇමරිකාව, ඉන්දියාව හා ජපානය එක්ව ඉන්දියන් සාගරයේ සිදුකරන ලද එක්තරා යුද අභ්‍යාසයක් බවට ඉඟි පහළ වී ඇත. ඉන්දියන් සාගරයේ බල තුලනය සඳහා ඇමෙරිකාව හා ඉන්දියාව එක්ව හොර රහසේ දිය යටින් ගින්දර ගෙනයෑම නිසා සිදු වූ සිද්ධියක් හේතුවෙන් මෙසේ තල්මසුන් ගොඩ පැමිණි බවට ද මත පළ වී ඇත. එනම්, සබ්මැරීන යාත‍්‍රා ගමන් ගන්නේද සෝනාර් තාක්ෂණය උපයෝගී කරගනිමිනි. අධි බලැති සෝනාර් තරංග ධාරාවක් (ප‍්‍රහාරයක්) එල්ලවන විට තල්මසුන්ගේ සෝනාර් ක‍්‍රියාවලිය අඩපන වී මෙවන් සංසිද්ධීන් සිදුවීමට ඇති ඉඩකඩ බැහැර කිරීමට නොහැකිය. එය එසේ නම්, හොර රහසේ සිදුවී ඇති එවන් මෙහෙයුමක රහස් මේ වන විට තල්මසුන් ?න විසින් ගොඩ රැගෙන පැමිණ තිබේ. එය එසේ නම්, චීනයට හෝ චීන වරායකට නොගොස් ශ‍්‍රී ලංකාවට පැමිණියද තල්මසුන්ගේ ගොඩ පැමිණීම අපට වඩා කලාපීය වෙනත් බලවතුන් විසින් ජෛව විද්‍යාත්මකව නොව තාක්ෂණිකව පිරික්සුමට ලක් කෙරෙන බව නම් ඉතා පැහැදිලිය. නමුත් එය වෙනම කතාවකි.

 කෙසේ නමුත්, තල්මසුන්ගේ මෙහෙයුමට දායකත්වය දරා ඔවුන් බේරා ගැනීමට ශ‍්‍රී ලාංකිකයින් ගත් උත්සාහය අද ලෝක ජනයාගේ පැසසුමට ලක්ව තිබේ. මෙම අවස්ථාව යළිත් වරක් ශ‍්‍රී ලාංකිකයින්ගේ සංග‍්‍රහශීලී බව, කාරුණිකත්වය, දයාව කරුණාව ආදරය හා සත්ව අවිහිංසාව පිළිබඳව වන අපගේ අනන්‍යතාව ලොවට කියන කදිම පරමාදර්ශයකි. එසේ හෙයින් මෙම අවස්ථාවට සහභාගී වූ සියල්ලන්ටම සුබපතන්නට අප මෙය අවස්ථාවක් කරගන්නා බවද ලියා තබන්නට කැමතිය.

https://divaina.com/

---------------------------------------------------------------------------------------------------------

එම සිදුවීම සිළුමිණ වාර්තා කළේ පහත ආකාරයෙනි

පානදුර වෙරළට ආ තල්මසුන් බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුම

 මිහිතලයට යුතුකම් ඉටු කළ මිනිසුන් දියත් කළ පානදුර තල්මස් මෙහෙයුමේ නෑසුණු කතාව

ජාලිය වීරක්කොඩි



70ක රංචුවකින් දිවි අහිමි වූයේ 5කගේ පමණයි

- 2017 දී නවසීලන්ත වෙරළට ආ තල්මසුන් 400ක් මිය ගිහින්; 97 දී ඕස්ට්‍රේලියා වෙරළේ 320 ක් මිය ගිහින්...

- අයන් මෑන් සමූහය ඉටු කළ මෙහෙය අද්විතීයයි


එය වෙරළට පැමිණි තල්මසුන් රෑනක් මුහුදට යැවූ සරල කතාවක් නොවේ. මිහිතලයේ ආත්මීය රිද්මය ස්පර්ශ කළ අප්‍රමාණ මනුෂ්‍යත්වය සම්බන්ධව කියැවෙන ලෝක ඉතිහාසයේ උත්තුංග මෙහෙයුමක මියුරුම අඬහැරය ය. කුණු වූ මජර ගොහොරුවක ගිල්වා තබන්නට හැදුවත් එක් පුංචි සිදුවීමකින් උත්තේජනය වී බලාපොරොත්තු සහගතව ප්‍රභාවත් වන අපේ මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වය පිළිබඳ ඇසට කඳුළු නංවන කතාවය.


මීට දෙමසකට පෙර එනම් සැප්තැම්බර් මාසයේ තුන්වන සතියේ දී ඕස්ට්‍රේලියාවේ බටහිර තස්මේනියා වෙරළට හාරසියයකට ආසනන් තල්මසුන් රංචුවක් ඇදී ආහ. ඉන් 380ක් මිය ගියේය. බේරාගත හැකි වූයේ 20 දෙනෙක් පමණි. ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ මුහුදු ජීවීන් සම්බන්ධව ඇසුණු සිත් සසල කරවනම ඛේදවාචකය එයය. වර්ෂ 2017 දී මේ ආකාරයෙන්ම නවසීලන්ත වෙරළ තීරයකට වැදුණු 600කට ආසන්න තල්මස් රංචුවකින් 400ක් මිය ගියහ. එය සොබා දහමේ කණාගාටු දායක නියමයක් බව කියැවිනි. වර්ෂ 1997 දී බටහිර ඕස්ට්‍රේලියා වෙරළට ගොඩගැසුණු තල්මස් රංචුවකින් 320ක් මිය ගියේය. එයත් එක් සිදුවීමක් පමණි. මෙතෙක් ලෝක ඉතිහාසයේ සිදුවීම් පෙළගැසුණේ ඒ ආකාරයටය.


අප දන්නා තරමින් අපේ වෙරළ තීරයට පාව ආ විශාලම තල්මසුන් රංචුව වාර්තා වූයේ පසුගිය 02 දාය. සියයකට ආසන්න බව කියැවුණත් බොහෝවිට ගහණයේ තල්මසුන් 70ක් පමණ සිටින්නට ඇත.


මේ සිදුවීම ඉතිහාසය අලුතින් ලීවේය. මෙවැනි අවස්ථාවකට මුහුණ දීම සම්බන්ධව ප්‍රායෝගික අත්දැකීම් රහිතව, වසංගත උවදුරු බිය පසෙක ලා ස්වකීය ජීවිතවල ඉරණම අඩි පහළොවක් විස්සක් පමණ උස් රැළි නගන දළ සයුරට බාර දී දියත් කළ උත්තුංග මෙහෙයුමකින් පසු මේ තල්මසුන් රංචුවෙන් සියයට අනූපහකගේ ජීවිත බේරා දෙන්නට අපේ මිනිස්සු සමත් වූහ.


අප දන්නා පරිදි එය ලෝක ඉතිහාසයේ මෙතෙක් වූ මෙවැනි ඵලදායී හා සාර්ථකම මෙහෙයුමය.


පානදුර වෙරළට පැමිණි තල්මස් රංචුව


දිනය පසුගිය 02 දාය. දහවල් 1.30 පමණ වනවිට වෙරළ අසල ජීවත් වෙමින් සිටි ධීවරයන් දුටුවේ දැවැන්ත තල්මස් සේනාවක් ගොඩබිම් තීරට පැමිණ අන්ත අසරණව සිටි අයුරුය.


කොවිඩ් බිය පැතිර යමින් තිබිණි. මුළු කලාපයටම ඇඳිරි නීතිය ය. එහෙත් මේ දැවැන්තයන්ගේ ජිවිත රැක ගැනීමට මුලින්ම වෙරළට බැස්සේ මේ මිනිසුන්ය. ඔවුන් තමන්ට හැකි අයුරින් මේ තල්මසුන් දියඹට තල්ලු කරමින් සිටියහ. ඒ සමගම මේ ව්‍යසනය පොලිස් ජීවිතාරක්ෂක බලකායට, නාවික හමුදාවට, යුද හමුදාවට දැනුම් දී තිබිණි. ආරංචිය ලැබ පැයක් ගතවීමට පෙර ඔවුහු කණ්ඩායම් ලෙස පැමිණියහ. මේ පිරිස හැකි ජවය උපරිමව යොදමින් වෙරළට පැමිණෙන තල්මසුන් යළි දියඹට තල්ලු කර දැමීමේ වෙහෙසකර වෑයමක නිරතවෙමින් සිටියහ. එහෙත් එසේ දියඹට දැමූ තල්මස්සු යළි ගොඩබිම වෙත පැමිණෙමින් උන්හ.


කළු කොමදුවො


මෙම තල්මස් වර්ගය මෙරට ධීවර ප්‍රජාව හඳුන්වන්නේ කළු කොමදුවා ලෙසිනි. එසේම මෙම තල්මසුන් කෙටි වරල් තල්මසා ලෙස ලෙසද හැඳින්වූයේය. පයිලට් වේල් (Pilot Whale) නමින් හඳුන්වන මේ තල්මස් ගණයේ (Globicephala) විශේෂ දෙකක් සිටින අතර ඔවුන් දිගු වරල (Long Finned ) දරන විශේෂ (Globicephala melas) සහ කෙටි වරල (Short Finned) දරන විශේෂ Globicephala macrorhynchus ලෙස සඳහන් කර ඇත. මේ පැමිණ සිටියේ කෙටි වරල් තල්මස් විශේෂය ය.


සිද්ධිය සැලවීමත් සමග පානදුර වෙරළ තීරයට විෂය පිළිබඳ ප්‍රාමාණිකයන්, පරිසරවේදීන්, ස්වේච්ඡාවෙන් කැපවුණු මිනිසුන්, දේශපාලකයන් ඇතුළු සෑම තරාතිරමකම කණ්ඩායමක් එක් වූහ.


තල්මසුන් පිළිබඳ පර්යේෂිකාවක සහ සමුද්‍ර ජීව විද්‍යාඥවරියකු ලෙස ලෝකයේ නමක් දිනා සිටින ශ්‍රි ලාංකික විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ද වෝස් ද එතන සිටියාය. ජාතික සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රාමාණිකයෝ සිටිහය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජයනයන් පෙනුණි. නාවික හමුදාවේ, යුද හමුදාවේ පොලිසියේ ජීවිතාරක්ෂක අංශ මෙහෙයුම අරඹා තිබිණි. පරිසරවේදීහු උන්හ. විශාල ස්වේච්ඡා කණ්ඩායමක් එක් වී සිටියේය.


මේ අවස්ථාවේ දී වඩාත් ප්‍රායෝගික එළඹුමක් සඳහා මෙහෙයුම යොමු කරන්නේ ඒ අවස්ථාවේ එතැනට එක්වන ප්‍රවීණ පරිසරවේදී නයනක රන්වැල්ලගේ මෙහෙයවීමෙනි. 


සංකීර්ණ මෙහෙයුම


ඒ මොහොත වනවිටත් සියලු දෙනාම උත්සාහ කරමින් සිටියේ මේ තල්මසුන් හැකි පමණින් දියඹට යොමු කිරීමය. එහෙත් එය ප්‍රායෝගික නොවන බව තේරුම් ගත් මොහොතේ සිට මේ මෙහෙයුම වෙරළේ සිට බලාගෙන ඉන්නවුන් දකිනවාට වඩා සංකීර්ණ හා අවදනාම් සහිත එකක් විය.


දැන් ඝන අන්ධකාරය පානදුර වෙරළ වසාගෙනය. දැන් එකිනෙකා තමන්ට හැකි අයුරින් මෙහෙයුමට එක් වූහ. ශ්‍රී ලංකා 4X4 සමාජය එම ස්ථානයට පැමිණ මෙහෙයුම් ප්‍රදේශය ආලෝකකරණය කළේය. සියල්ලෝ හැකි පමණ තමතමන්ගේ දායකවත්වය සැපයූහ.


ආශා ඩි වෝස් ගේ අදහස වී තිබුණේ මේ තල්මසුන් පැය තුනකට ආසන්න කාලයක් තුළ ජීවිතය හැර යා හැකි බවය. ඒ වනවිට මේ සතුන් දැඩි ආතතියකට පත්ව සිටියේය.


දිවා කල සිට කළ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තල්මස් රෑණේ විස්සකට අධික පිරිසක් ගැඹුරු මුහුදට ගොස් සිටියහ. එහෙත් අවදානම වන්නේ අතිශය සමාජ නැඹුරුවක් සහිත මේ ජීවීන්ගේ අවදානමට ලක්ව සිටින තම සමූහයේ පිරිස සොයා ගෙන ඔවුන්ගේ සංඥා ඔස්සේ යළි ගොඩබිමට පැමිණීමේ හැකියාවක් තිබීමය. එසේ වුවහොත් මේ මෙහෙයුම තවත් සංකීර්ණ එකක් වනු ඇති බව පෙනුණි. එ් අතිශය තීරණාත්මක මෙහෙයුමට ස්වෙච්ඡාවෙන් එක්වන්නේ අයන්මෑන් සමූහය ය. පැය දෙකක් ගත වේ යැයි තක්සේරු කර කී ගමන පැයකින් සම්පූර්ණ කරමින් ඔවුහු සිය අධිබල යාත්‍රා සමග පානදුර වෙරළට පැමිණියහ.


දැන් මේ සතුන් අදින්නට සුදුසු මාර්ගය තෝරා ගත යුතුය. එය ගල්පර නැති බාධක නැති මුහුදු ප්‍රවේශයක් විය යුතුය. වෙරළේ සිට කිලෝමීටර තුනක් වත් ඈතට මේ සතුන් ඇදිය යුතුය. ඒ සඳහා අවශ්‍ය මං ලකුණු පළපුරුදු ධීවරයන් ගේ දැනුමෙන් තෝරාගන්නා මෙහෙයුම් කණ්ඩායම අදින තල්මසා මුදා හරින ස්ථානය සලකුණු කරගැනීමට විදුලි ආලෝකය සහිත බෝට්ටුවක් නවතා තැබුවේය.


දැන් මේ තල්මසා අදින ආකාරය ගැන විද්‍යාත්මක පැහැදිලි කරගැනීමක් අවශ්‍ය විය. මේ සතෙක් කිලෝ දහසකටත් වඩා බරින් යුතුය. හිස ප්‍රදේශයෙන් ගැටයක් ගසා අදිනවිට ඉදිරි වරල්වලට හානි වන්නට ඉඩ තිබේ. ඒ අවස්ථාවේ සාගර විද්‍යාඥ ආශා ඩිවොස් ගේ නිර්දේශය වූයේ වඩාත් සුදුසු වලිගය ප්‍රදේශයෙන් ගැටයක් ගසා ඇදගනෙ යෑම බවය. එහෙත් මෙවැනි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට කිසිම උපකරණයක් තිබුණේ නැත. තිබුණේ නයිලෝන් කඹය. එය මෙවැනි කටයුත්තක් සඳහා කිසිසේත්ම සුදුසු නැත.


අවසානයේ අයන් මෑන් සමූහය තමන්ගේ ජිප් රථ අදිනු ලබන විශේෂ කපු කඹ වර්ගයක් මේ සඳහා ලබා දුන්නේය. දැන් තල්මසා ඇදීමට සූදානම්ය. එහෙත් මෙය ජීවිතය පරදුවට තබා කළ යුතු අතිශය අවදානම් කටයුත්තක් වූයේ ගැඹුරු මුහුදේ දී මේ දැවැන්තයාට අධිවේගී යාත්‍රාව කොස් කොළයක් තරම් වන හෙයිනි. යොදන ගැටය නිසි ලෙස නොගැලවුණහොත් අධිවේගී යාත්‍රාව සමග ජීවිතාරක්ෂකයන් ද මුහුදු බත් වන්නේය.


නාවික හමුදා විසින් තල්මසා ගැටගැසීමට විශේෂිත ගැටයක් යෙදුවේය. එක් පැත්තකින් ඇද්ද විට ගැටය ගැලවී යන්නේය. මේ ගැටය සහිතව තල්මසා අදිනවිට යාත්‍රාව ගැස්සීමක් නැතිව දැවැන්ත දිය රැළි සහිත දිය කඩනය පසුකළ යුතුය. යාත්‍රාව හසුරුවන්නෝ ස්වකීය කෘතහස්ථ බව ප්‍රකට කරමින් ඒ බැරෑරුම් කාර්ය කළහ. අඩි හතළිස් පහක් පමණ ගැඹුරු මුහුදට තල්සුන් එකා බැගින් ඇද දැමිනි.


පාන්දර තුන පමණ වනවිට මේ අතිශය දැවැන්ත මෙහෙයුම හමාර වන ලකුණු පෙනුණි. එහෙත් ඒ වනවිට වාද්දූව ප්‍රදේශයට තල්මසුන් දෙදෙනෙක් ගොඩගසා ඇති බව මෙහෙයුම් කණ්ඩායමට සැලවිණි. ඒ අතරම නිරීක්ෂණය වූ සිද්ධියක් වූයේ තල්මසුන් තිදෙනෙක් යළි යළිත් ගොඩබිම වෙත පැමිණෙන බවය. ගලවා ගැනීමේ කණ්ඩායම මේ සතුන් හඳුනාගෙන තිබුණේ ඔවුන්ගෙ කැළැල් වලිනි.


මෙහෙයුමේ තරම


“ මෙය විශාල වෙහෙසකර වැඩක්. සාමාන්‍යයෙන් මෙම තල්මසකුගේ බර කිලෝ ග්‍රැම් 1000ත් 3000ත් අතර වෙනවා. ඒ කියන්නේ ටොන් එකත් තුනකුත් අතර බරක්. අනෙක මේ සතුන් සාමාන්‍යයෙන් අඩි 10ත් 18ත් අතර වෙනවා. ඔවුන් හැසිරවීමට මෙයට සහභාගී වූ අයට තමන්ගේ සියලු ශක්තිය යොදන්න වුණා. දිගු වෙලාවක් වෙරළේ සිටින්නට සිදුව ඇති නිසා ඔවුන් හිටියේ තල්මසුනුත් හිටියේ දැඩි ආතතිකාරී තත්ත්වයක. අනෙක ඔවුන් ද වෙහෙසට පත්ව තිබුණා. මේ නිසා මිනිසුන් ඔවුන් හසුරවද්දී ඔවුන් දඟලනවා. ඔවුනගේ සියලු ශක්තිය යොදල වලිගය වනත්දී මේ තත්ත්වය පාලනය කරගෙන වතුරේදී මිනිසුන්ට තමනුත් බේරී සතුනුත් බේරා ගන්න අපමණ වෙහෙසක් දැරිය යුතුව තිබුණා. “



“තල්මසුන් හුස්ම ගන්නේ ඔවුන්ගේ හිසේ ඉහළ කොටසේ තිබෙන පුඩුවලින්. ඒ නිසා හැම වෙලාවෙම අපි උත්සාහ කළේ සතුන් මුහුදට යොමු කරන විට ඔවුන්ගේ හිස ඉහළට සිටින සේ හරවා තල්ලු කිරීමයි. නමුත් මුහුදු රළත් එක්ක මේ දැවැන්ත බරකින් යුතු සතා ඉහළට ඔසවා තල්ලු කිරීම ඔබට හිතා ගන්න පුළුවන් කෙතරම් අසීරු දෙයක්ද කියල. දැඩි මුහුදු රළ එනකොට මේ දැවැන්ත තල්මසුනුත් මිනිස්සුත් එක්කම ආපසු ගොඩ බිම දෙයට විසි වෙනවා.“


“මේක මහා උවදුරු සමයක තමන්ගේ ජීවිත පරදුවට තබලා මනුස්සකම පිරුණු මිනිස්සු ටිකක් කළ ඓතිහාසික මෙහෙයුමක්.“ කීර්තිමත් සාගර විද්‍යාඥ ආශා ඩිවෝස් කීවාය.


“ මම හිතන්නෙ තල්මසුන්ගේ දිවි බේරා ගැනීම සඳහා ලෝකයේ සිදු කෙරුණු විශාලතම මෙහෙයුම මෙය විය හැකි බවයි. පැය 16ක් විතර අඛණ්ඩව මිනිස්සුන්ට මේ තල්මසුන්ගේ ජීවත සමඟ හැපෙන්න සිදුවුණා. සමහරු මේ පැය 16ම වතුරේ හිටියේ. විශේෂයෙන් නාවික හමුදාවත් සතුන්ගේ දිවි බේරාගැනීම සඳහා ඉක්මනින් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ටීම් අයන් මෑන් කියන ජෙට්ස් කී අධිවේගී කුඩා යාත්‍රා කණ්ඩායමත්, පොලිසියෙ ජීවිතාරක්ෂක කණ්ඩායමත්, සිද්ධිය ආරංචිවෙලා පැමිණි ස්වේච්ඡා කිමිදුම්කාර පිරිස් ඇතුළු විශාල කණ්ඩායමක් තම දිවි නොතකා මෙම මෙහෙයුමේ නිරත වුනා. මේ තල්මසුන් මුහුදෙ පීනා යන සෑම මොහොතකම ඒ මහා පුණ්‍යකර්මයට දායක වෙච්චි මිනිස්සුන්ගෙ තල්මසකුට වඩා බර මනුස්සකම ගැන කියවෙනවා...“ ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නයනක රන්වැල්ල කීවේය.


තල්මසුන් වෙරළට පැමිණියේ ඇයි


සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් මේ පිළිබඳව මාධ්‍යයට පැහැදිලි කලේය.


” දිශානතිය සොයා ගැනීම සඳහා මේ සතුන්ගේ නලලේ තියෙනවා ඉතාම සංකීර්ණ සහ සංවේදී ඉන්ද්‍රියක්. මේ ඉන්ද්‍රියන් මගින් කරන්නේ ශබ්දය නිකුත් කිරීම සහ ලබා ගැනීම. පුද්ගලයන් විසින් විවිධ ක්‍රියාකාකරකම් සඳහා අධිශක්තියක් තියෙන සෝනාර් භාවිතා කිරීමේ දී මේ කියන ඉන්ද්‍රියන්වලට හානි වෙන්න පුළුවන්. මේ අධිසෝනාර් භාවිත කිරීමේදී මේ සතුන් කරන්නෙ තමන්ට තියෙන අපහසුතාවයන්ගෙන් මීදිම සඳහා හැකිතාක් මුහුද යටට කිමිදෙන එක. මේ නිසා තමන්ගේ දිශාව හොයා ගන්න බැරි වෙනවා. මේ තත්ත්වය නිසා මෙවැනි මේ දේ සිදුවෙන්න පුළුවන්..“


පානදුර වෙරළට තල්මසුන් පැමිණීමට හේතුව ඉන්දියාව, ඇමරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව ඊයේ(02) එක්ව සිදුකළ “මලබාර්” නම් නාවික අභ්‍යාසයේ දී නිකුත් කළ අධි සෝනාර් (Sonar) ක්‍රියාකාරිත්වය හේතුවෙන් විය හැකි බව නයනක රන්වැල්ල කීවේය.


තමන්ගේ ගහණයේ රෝගී වු සතෙක් යළි සමූහයට එක් කර ගැනීම, දියවැල්වලට හසුවී ගොඩබිමට ගසාගෙන ඒම, නායකයා අනුගමනය කිරීම නිසා මග වැරදීම, පරපෝෂිත ආසාදන නිසා විකල් වී මං වරදවා ගැනීම වැනි සිද්ධි නිසා තල්මසුන් ගොඩබිමට පැමිණිය හැකි බව ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ උපුල් ලියනගේ කීවේය.


පානදුර මෙහෙයුම මිහිතලයේ ඉතිහාසයට එක් වන්නේ එසේය...

Wednesday, September 16, 2020

අද ජාත්‍යන්තර ඕසෝන් දිනයයි (2020 සැප්තැම්බර් 16)

 අන්තර්ජාතික ඕසෝන් දිනය අදට යෙදී තිබේ.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1987 අවුරුද්දේදී මෙම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

සූර්යයාගෙන් සිදුවන අහිතකර බලපෑම් මගහරවා ගැනීම සඳහා ඕසෝන් ස්ථරය ප්‍රධාන වශයෙන් පෘථිවි ගෝලයට වැදගත් වෙයි. විද්‍යාඥයන්ගේ දත්ත අනූව වායුගෝලයේ සියලුම වායු තරලයන්ට ඉහළින් ඕසෝන් ස්ථරය පිහිටා තිබේ. සූර්යයාගෙන් නිකුත් වන අහිතකර තරංග හා විකිරණ පෙරණයට ලක්කිරීම ඕසෝන් ස්ථරය මගින් සිදු කෙරේ.

නමුත් මිනිස් ක්‍රියාකාරකම් මගින් පරිසරයට මුදා හැරෙන විවිධ වායු වර්ග හේතුවෙන් ඕසෝන් ස්ථරය විනාශ වීමට පටන්ගෙන තිබේ. ඕසෝන් ස්ථරය විනාශයට පත් කෙරෙන සීඑෆ්සී වායුව හෙවත් ක්ලොරො ෆ්ලොරො කාබන් වැනි වායූන් නිර්මාණය වීමට මිනිස් ක්‍රියාකාරකම් බොහෝ සෙයින් දායක වී ඇති බව විද්‍යාඥයින් පවසයි.

හැකිතාක් කාබන් විමෝචනය සිදුවන යන්ත්‍රසූත්‍ර භාවිතය සඳහා විකල්ප යොදා ගැනීම හා අහිතකර වායු වර්ග භාවිතයෙන් ඉවත් වීම මගින් මෙම ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගත හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ. 'ජීවය සඳහා ඕසෝන්' මෙවර අන්තර්ජාතික ඕසෝන් දින සැමරු‍ෙමහි තේමා පාඨයයි.

පෘථිවිය මත පවත්නා ජීවය සඳහා ඕසෝන් තීරණාත්මක සාධකයක් වන බව මෙවර ඕසෝන් දින තේමා පාඨය තුළින් අරුත් ගැන්වේ.


ජීවයේ පැවත්ම සුරකින ඕසෝන් වියන සුරැකීමට ලෝක ප්‍රජාව දැනුවත් කිරීම මෙම ජාත්‍යන්තර දින සැමරුමෙහි ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙහි ජාත්‍යන්තර ඕසෝන් දින සැමරුම බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පරිසර අැමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්,අමාත්‍යශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ පරිසර සංවිධාන වල එකමුතුවෙන් අද (16) පැවැත්විමට නියමිතය.

උත්තර ධ‍්‍රැවයට ඉහලින් ඕසෝන් ස්තරයේ පැවති විශාල සිදුර මේ වන විට සම්පූර්ණයෙන් වැසී ගොස් ඇතැයි ලෝක කාළගුණවිද්‍යා සංවිධානය පවසනවා.

ඕසෝන් ස්තරයේ ‘‘ආක්ටික් සිදුර ’’ ලෙස ප‍්‍රකටව පැවති මෙය 2011 වසරෙන් පසු ඕසෝන් ස්තරයේ හදුනා ගැණුනු විශාලතම සිදුරද බවයි ලෝක කාළගුණවිද්‍යා සංවිධානය පවසන්නේ.

ඕසොන් ස්තරයේ පැවති මෙම සිදුර හේතුවෙන් ශීත සෘතුවේදී පෘථීවියේ උතුරු අර්ධ ගෝලයේ අසාමාන්‍ය සීතලක් පැවතී තිබෙනවා.

සිදුර වැසීයාමෙන් පසු දැන් එහි තත්ත්වය සාමාන්‍ය වී ඇති බවයි ලෝක කාළගුණවිද්‍යා සංවිධානය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් ඕසෝන් ස්තරයේ ‘‘ආක්ටික් සිදුර’’මෙලෙස වැසී යාම සහ නව කොරෝනා ව්‍යසනයක් සමග මිනිස් කි‍්‍රයාකාරකම් අඩු වී පරිසර දුෂණය අවම වීම අතර සම්බන්ධයක් නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.