Tuesday, October 17, 2017

විල්පත්තුව විනාශය පිළිබඳ කියැවෙන විස්තර (වීඩියෝ දර්ශණ සහිතයි)

විල්පත්තුව වන විනාශය පිළිබඳ පසුගිය කාලයේ බොහෝ කරුණු කතා විය. එ් පිළිබඳව උනන්දුවන අයගේ දැන ගැනීමට එ් පිළිබඳ විස්තර එම සබැඳිද සමග උපුටා දක්වා ඇත. එම ලිපි සහ වීඩියෝ/ඡායාරූප වල අයිතිය ඒවායෙහි මුල් අයිතිකරුවන් සතු වන අතර එහි ගෞරවටද ඔවුන් සතුය.
විල්පත්තුව පිළිබඳ අවධානය යොමු කරවන ලද හිරු සී අයි ඒ පුවත
Hiru TV CIA | Wilpaththu high sensitive zone also own permanent houses in Puthlam | 2015-05-23


ඒ පිළිබඳ සවිස්තරාත්මක හිරු පුවත් විකාශයක් 


විල්පත්තුව විනාශය පිළිබඳ ඔටාරා ගුණවර්ධන මහත්මියගේ පැහැදිලි කිරීම


විල්පත්තු වන විනාශයේ සැබෑව සහ මිථ්‍යාව – සජීව චාමිකර
උපුටා ගැනීම - http://www.vikalpa.org/?p=29264

 විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරු ඔයට මායිම් ව පිහිටන විල්පත්තු උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් 2010 වසරේ දී නීති විරෝධීව ආරම්භ කළ අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන විට විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, වන රක්ෂිත හතරක් පුරා පැතිර තිබේ. විල්පත්තු උතුරු අභය භූමිය එළි කර ජනාවාස පිහිටුවීමට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන එම නීති විරෝධී කි‍්‍රයාව නතර කළ ද වන රක්ෂිත විනාශ කරමින් සිදු කරන අලූතින් මහ පරිමාණ ජනාවාස පිහිටු වීමේ හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු නතර කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ නැතහොත් ජනාධිපති තුමන් යටතේ කි‍්‍රයාත්මක වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තවම නොහැකි වී ඇත.

මන්නාරම දිස්ති‍්‍රක්කයේ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ව මෙම රක්ෂිත හතර පිහිටා ඇති අතර එම සමස්ථ වනාන්තර ප‍්‍රදේශය කල් ආරු වනාන්තරය ලෙස හැදින්වේ. ඊට හේතුව එම වනාන්තරය ප‍්‍රධාන වශයෙන් ම කල් ආරු ඔයේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස පැවතීම ය. මෙම වන රක්ෂිත අතුරින් මරිච්චුකඞ්ඩි කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් වශයෙන් මෙම වන රක්ෂිත පද්ධතියෙන් වනාන්තර අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇත.

පසුගිය රජය පැවති සමයේ සිට මේ නීති විරෝධී කි‍්‍රයා දිගින් දිගට ම සිදු වෙද්දී ආණ්ඩුපක්ෂය හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රධාන රාජ්‍ය ආයතන මෙය නිවැරදි මාවතකට ගෙන එ්ම සඳහා මෙතෙක් කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් නොගැනීම විශාල ගැටලූවකි. 2010 වසරේ සිට නීතිවිරෝධී ව වන රක්ෂිත එළි පෙහෙළි කරමින් සිදු කරන මෙම ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන විට දේශපාලකයන් විසින් මහ පරිමාණ ඉඩම් අත්පත් කර ගැනීම දක්වා වර්ධනය වී ඇතත් එ් පිළිබඳව නිසි අවධානයක් යොමු නොවීම කණගාටුවට කරුණකි.

කෙසේ නමුත් මේ වන රක්ෂිත විනාශ කර මුස්ලිම් ජනතාව පදිංචි කර අලූතින් ජනාවාස පිහිටුවීම හේතුවෙන් මේ නීතිවිරෝධී හා පරිසර විනාශකාරී ක‍්‍රියාවට ජාතිවාදී මුහුණුවරක් ලබා දීමට බොහෝ පිරිසක් උත්සාහ ගනිති. මෙය ජාතිවාදී පැතිකඩකට ගෙන යාමට උත්සාහ දරණ බොහෝ පිරිසක් සූදානම් වන්නේ මෙම මහා වන විනාශය හා ඉන් ඇති වන හානි සාධාරනීකරණය කිරීමට ය. මේ නිසා ම මේ නීති විරෝධී ක‍්‍රියාවන්ට එරෙහිව වගකිව යුතු අංශ ක‍්‍රියාමාර්ග ගැනීමට මැලිකමක් දක්වන බව පෙනෙන්නට තිබේ.

ආණ්ඩුපක්ෂය ද මෙම නීතිවිරෝධී ක‍්‍රියාවට එරෙහිව කටයුතු කිරීම වෙනුවට ඇල්මැරුණු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ද මේ නිසා ය. ඉතාම පැහැදිලිව සඳහන් කළ යුතු දෙයක් ඇත. එනම් මේ ප‍්‍රශ්නයට ජාතිවාදී මුහුණුවරක් ලබා දීමෙන් සිදු වන්නේ මේ මහා වන විනාශය තව දුරටත් වර්ධනය කිරීමට අවස්ථාව ලබා දීම හා රටේ ජනතාවගේ සංහිදියාව බිඳ වැටීමය. එපමණක් නොව එ් නිසාම බලධාරීන්ගේ මේ මුණිවත රැකීමේ අහිතකර ප‍්‍රතිඵල විදින්නට සිදු වන්නේ පටු දේශපාලන උවමනාවන් මත පදිංචි කළ අහිංසක ජනතාවට හා තම අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නොනැගිය හැකි වන සතුන්ට ය.

මෙම අලූතින් ජනාවාස පිහිටුවීමේ ක‍්‍රියාවලිය හුදෙකලා සිදුවීමක් නොවේ. මෙය පසුගිය රජයේ දැවැන්ත ව්‍යාපෘතියක එක් කොටසක් පමණකි. කණගාටුවට කරුණ වන්නේ පසුගිය රජයේ විනාශකාරී කි‍්‍රයාකාරීත්වය පරාජය කරමින් බලයට පත් වූ වත්මන් යහපාලන රජය ද පසුගිය රජයේ හානි කර ප‍්‍රතිපත්ති, ක‍්‍රියාමාර්ග හා ව්‍යාපෘති ඒ අයුරින්ම අඛණ්ඩව ඉදිරියට සිදු කර ගෙන යාම ය.

2009 වසරේ දී යුද්ධය නිමවනවාත් සමග ම විල්පත්තු ජාතික වනෝද්‍යානයට මායිම් ව පිහිටි යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ මොල්ලිකුලම් හා මරිච්චික්කඞ්ඩි ගම්මාන දෙක අතුරින් මොල්ලිකුලම් ගම්මානය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් පසුගිය රජයේ විනාශකාරී ව්‍යාපෘතියේ පළමු පියවර තැබිණ. ඉන් පසුව විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ කල් ආරු වනාන්තරය දෙකඩකරමින් පුත්තලම මන්නාරම මාර්ගය ඉදිකිරීම (එලූවන්කුලමේ සිට සිලාවතුර දක්වා) එම සමස්ථ ව්‍යාපෘතියේ දෙවන පියවර විය. ඉන් පසුව 2010 වසර අවසානයේ දී රක්ෂිත තත්ත්වයට පත් කිරීමට ප‍්‍රථම කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටු වීමේ කටයුතු ආරම්භ කෙරිණ. එමගින් පසුගිය රජයේ බලාපොරොත්තුව වූයේ 2011 – 2030 ජාතික භෞතික සැලැස්මට අනුව මේ ප‍්‍රදේශයේ මහ පරිමාණ සංචාරක පුරවරයක් හා මහ පරිමාණ නගරයක් බිහි කිරීමේ ව්‍යාපෘතිය පියවරෙන් පියවර කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පදනම සකස් කර ගැනීමට ය. ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැයෙන් විශාල ධනස්කන්දයක් වෙන් කෙරිණ. ඊට සමගාමී ව රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා ද තම දේශපාලන හා පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් මේ ව්‍යාපෘතිය පසුගිය රජයේ අනුග‍්‍රහය හා ආශිර්වාදය යටතේ ක‍්‍රියාත්මක කෙරිණ.

එහි දී පළමු ව අදාළ ආමාත්‍යවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්වරයාට දැඩි බලපෑම් එල්ල කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර බිම් පාරිසරික නීතිරීති උල්ලංඝණය කරමින් වෙන් කර ගැනින. ඉන් පසුව දිස්ත‍්‍රික් ලේකම් වරයා හරහා එම භූමිය අක්කර භාගය බැගින් වූ ඉඩම් කැබලි වලට වෙන් කර යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නැවත පදිංචි වීම සඳහා ලබා දෙන බව සඳහන් කරමින් පුත්තලම, කල්පිටිය හා මන්නාරම ප‍්‍රදේශ වල ව්‍යාපාරිකයින් ඇතුළු ඉඩම් හිමි ජනතාවට හා සැබෑ ලෙසම අවතැන් වූ සුළු පිරිසකට බෙදා දෙනු ලැබුණි.

නීති විරෝධී වනාන්තර විනාශයට නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දීම

2010 වසරේ සිට 2013 වසර දක්වා නීතිවිරෝධි ලෙස කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කර සිදු කළ ජනාවාස පිහිටු වීමේ කි‍්‍රයාවලියට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් නීත්‍යානුකූල මුහුණු වරක් ලබා දීම සිදු කෙරුනේ 2013 වසරේ දී ය. ඊට හේතු වූයේ මෙම නීති විරෝධී පරිසර විනාශකාරී කි‍්‍රයාවන්ට එරෙහිව පරිසරවේදීන් දැඩි හඬක් නැගීමයි. එම වසරේ ජනවාරි 15 වන දින එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුර්දීන් මහතාගේ ප‍්‍රධානත්වයෙන්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා විසින් යොමු කළ අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති ඉඩම් නිදහස් කිරීමයනුවෙන් දැක්වෙන ලිපියේ සදහන් කර ඇති පරිදි හිටපු වන සංරක්ෂණ ජනරාල් කේ. පී. ආරියදාස මහතා විසින් මන්නාරම දිස්ති‍්‍රක් ලේකම් වරයා වෙත යොමු කරන ලද 2013 පෙබරවාර 14 දින අංක EMDL/04/02/08/11/2012 දරණ ලිපිය මගින් හා ඉන් පසුව ද වන රක්ෂිත දෙකකට අයත් වනාන්තර ජනතාව පදිංචි කිරීම සඳහා නිදහස් කෙරින.

ඒ අනුව මන්නාරම දිස්ති‍්‍රක්කයේ මරිච්චුකඞ්ඩි සිලාවතුර මාර්ගයේ 23 හා 29 යන කිලෝමීටර් කණු අතර මීටර් 250 ක් පළල වනාන්තර තීරයක්, කූලන්කුලම්, තම්බදා, මුසලික්කාඩු, මෙතන්වැලි, පන්ඩාරවේලි, පූනච්චිකුලම්, පූතුවේලි, මුසාලි හා කායකුලි යන ගම්මාන වල අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට හා පිච්චායි වන්නියාකුලම් මාර්ගය ආසන්නයේ පිහිටි ගම්මානය ආශි‍්‍රත ව මිටර් 200 ක් පළල වනාන්තර තීරුවක් අහත්තිමුරිප්පු, පිච්චායි, වන්නියාකුලම්, පොට්කර්නි, වෙප්පන්කුලම් යන ගම්මාන වල අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට ලබා දී ඇත. මෙසේ ලබා දුන් වනාන්තර ඉඩම් අතුරින් මරිච්චුකඞ්ඩි සිලාවතුර මාර්ගය දෙපස පිහිටි ඉඩම් මරිච්චුකඞ්ඩි කරඩික්කුලි වන රක්ෂිතයටත් පිච්චායි වන්නියාකුලම් මාර්ගය ආසන්නයේ පිහිටි ඉඩම් විලත්තිකුලම් වන රක්ෂිතයටත් අයත් වේ.

මීට අමතර ව පලායිකුලි, මරිච්චුකඞ්ඩි හා කරඩික්කුලි ගම්මාන තුනෙන් අවතැන් වූ පවුල් 940 ක් පදිංචි කිරීම සඳහා තවත් ඉඩම් අක්කර 280 ක් මරිච්චුකඞ්ඩි කරඩික්කුලි වන රක්ෂිතයෙන් ලබා දීම සිදු කර ඇත. මෙසේ ලබා දුන් ඉඩම් වලට අමතර ව මරිච්චුකඞ්ඩි සිලාවතුර මාර්ගය දෙපසින් වනාන්තර අක්කර 770 ක් හා පිච්චායි වන්නියාකුලම් මාර්ගයට යාබදව අක්කර 650 ක් වශයෙන් මරිච්චුකඞ්ඩි කරඩික්කුලි වන රක්ෂිතයට හා විලත්තිකුලම් වන රක්ෂිතයට අයත් තවත් වනාන්තර අක්කර 1420 ක් නැවතත් අවතැන් වූ ජනතාව පදිංචි කිරීමට ලබා දී තිබේ. මේ අයුරින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන රක්ෂිත වලට අයත් වනාන්තර අක්කර 1700 ක් අවස්ථා කිහිපයක දී ලබා දී ඇති අතර එම භූමියට අමතර ව තවත් වනාන්තර අක්කර 1700 ක් පමණ කිසිදු අනුමැතියකින් හෝ නිර්දේශයකින් තොරව මේ වන විට බලහත්කාරයෙන් එළි පෙහෙළි කර ඇත.

නැවත පදිංචි කිරීමක් නොවන බවට හා ජනාවාස නොතිබුණු බවට සාධක



වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීති විරෝධී ව රක්ෂිත වනාන්තර වලට අයත් ඉඩම් වෙන් කර ගෙන අලූතින් ජනාවාස පිහිටුවීම සිදු කරන නමුත් රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා දිගින් දිගට ම සදහන් කරන්නේ අවතැන් වූ ජනතාවගේ ඉඩම්වල ම ඔවුන් ව පදිංචි කරන බවත් මේ ප‍්‍රදේශ යුද්ධය පැවති සමයේ දී වනාන්තරයෙන් වැසී ගොස් ඇති බවත් ය. එම ප‍්‍රකාශ සියල්ලම සාවද්‍ය ප‍්‍රකාශයන් ය. අමාත්‍යවරයා විසින් යොමු කළ ලිපිවල පැහැදිළිව ම සදහන් කර ඇත්තේ මේ වනාන්තර ප‍්‍රදේශ වලින් පරිබාහිර ගම්මාන වල අවතැන් වූ ජනතාව අලූතින් පදිංචි කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිදහස් කර දෙන ලෙස ය. එම කාලවකවානුවේ දී මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහභාගී වු කිසිදු රැස්වීමක දී මේ ඉඩම්වල පෞද්ගලික හිමිකාරීත්වයක් පිළිබද ව ස`දහන් කර නොමැත. අමාත්‍යවරයා දිගින් දිගට ම ඉල්ලා ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ජනතාව පදිංචි කිරීමේ කාර්යය සදහා ලබා දෙන ලෙසට ය. මේ ප‍්‍රදේශයේ ජනතාව පදිංචිව සිටි ගම්මාන ලෙස පැවතියේ නම් හෝ යුද්ධය පැවති කාලය තුළ දී අතහැර දමා තිබුණේ නම් එ්වායේ නැවත පදිංචි වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලීම හා ඉඩම් නිදහස් කර ගැනීමට කටයුතු කළේ කුමන හේතුවක් නිසා දැයි අමාත්‍යවරයාට අද වන විට අමතක වී ඇත. ඊට අමතර ව මිනිසුන් පදිංචිව සිටි ඉඩම් රක්ෂිත බවට ප‍්‍රකාශයට පත් කර ඇත්නම් ඊට එරෙහිව කටයුතු නොකළේ කුමන හේතුවක් නිසා දැයි ප‍්‍රශ්න කළ යුතු ය. එසේ නමුත් අද වන විට ඔහු මෙම ඉඩම් අවතැන් වූ ජනතාවට අයත් බව පවසමින් කිසිදු බියකින් තොරව අසත්‍ය කරුණු සමාජ ගත කරති. එම කරුණු පිළිබඳ ව කිසිදු සොයා බැලීමකින් තොරව රජයේ සමහර අමාත්‍යවරුන් හා සමහර සිවිල් සංවිධාන නියෝජිතයින් එම සාවද්‍ය කරුණු සනාථ කරන ප‍්‍රකාශ නිකුත් කරමින් ඔවුන් වගකීම් විරහිතව, කරුණු නිසි පරිදි සොයා නොබලා ප‍්‍රකාශ නිකුත් කරන පුද්ගලයින් බවට සමාජය ඉදිරියේ තහවුරු කරති.

එපමණක් නොව 1938 වසරේ සිට මේ දක්වා ප‍්‍රකාශයට පත් ව ඇති සියලූම සිතියම් පරිශීලනය කිරීමේ දී ද මේ ප‍්‍රදේශයේ කිසිදු ආකාරයක ජනාවාස නොපැවති බවත් වනාන්තර පද්ධතියක් ලෙස පැවති බවත් තහවුරු වී තිබේ. අගලේ සිතියම්, 1:50000 සිතියම්, ගුවන් ඡායාරූප හා ගූගල් සිතියම් පරිශීලනය කිරීමේ දී මේ බව ඉතා හොදින් තහවුරු වේ. එම සිතියම් සියල්ල පරිශීලනය කිරීමේ දී පෙනී යන්නේ 2010 වසරේ සිට මේ ප‍්‍රදේශයේ වනාන්තර විනාශ කර අලූතින් ජනාවාස ඇති කිරීම ආරම්භ කර ඇති බව ය.

මේ අනුව පෙනීයන්නේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා විසින් මුලූමහත් සමාජය ම මුලා කිරීමට කටයුතු කළ බව ය. එපමණක් නොව ඇමති වරප‍්‍රසාද භාවිතා කරමින් කිසිදු බියකින් තොරව සාවද්‍ය කරුණු සමාජ ගත කිරීම ද සිදු කරණ බව ය.

සැබෑ ලෙසම සාම්ප‍්‍රදායික ගම්මාන වල පිහිටීම

මෙම සාවද්‍ය කරුණු සමාජ ගත කිරීමට සැබෑ සම්ප‍්‍රදායික ගම්මාන වල ඡායාරූප හා තොරතුරු රක්ෂිත වනාන්තර තුළ ජනාවාස පිහිටි බව තහවුරු කිරීමට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා භාවිතා කරනු ලැබේ. විල්පත්තු ජාතික වනෝද්‍යානය මායිමේ සත්‍ය වශයෙන් ම සාම්ප‍්‍රදායික ගම්මාන දෙකක් පිහිටා තිබේ. එකක් මුහුදු සීමාවේ සිට රට අභ්‍යන්තරය දක්වා ව්‍යාප්ත ව ඇති මොල්ලිකුලම් ගම්මානයයි. මෙම ගම්මානයේ රෝමානු කතෝලික ආගම අදහන දමිල ජනතාව ජීවත් විය. අක්කර 3000 ක පමණ භූමියක් පුරා පැතිරුණු මෙම ගම්මානයේ වෙරළ තීරයේ අක්කර 525 ක් පමණ ව්‍යාප්තව ඇත. 2007 වසර වන විට මෙම ගම්මානයේ පවුල් 310 ක් පදිංචිව සිටි අතර ග‍්‍රාම නිලධාරී ලේඛනයේ පවුල් 265 ක් ලියාපදිංචිව සිට ඇත. මෙම ගම්මානයේ ජනතාව ප‍්‍රධාන වශයෙන් ම කෘෂි කර්මාන්තයේ නිරතව ඇති අතර කොටසක් ධීවර කර්මාන්තයේ නිරතව ඇත. මීට අමතරව මීගමුව හා හලාවත ආදී ප‍්‍රදේශ වලින් සංක‍්‍රමණය වන ධීවරයින් ද මෙම ප‍්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නිරතව ඇත.

මොල්ලිකුලම් ගම්මානයේ කෘෂි කර්මාන්තය සඳහා වැව් නවයකින් ජලය ලබා ගැනින. මෙම වැව් සියල්ලටම මෝදරගං ආරු හා යෝධ වැවෙන් ජලය ලැබෙයි. පුලියංකුලම්, පෙරියතනක්කකුලම්, සින්නතනක්කකුලම්, පාවෙලිකුලම්, සින්නවියායඩිකුලම්, අඩප්පන්කුලම්, පූදුක්කුලම්, පාලයඩිකුලම් හා අලසන්කුලම් යන වැව් නවය යටතේ කුඹුරු අක්කර 2200 කට වැඩි බිම් ප‍්‍රමාණයක් වගා කෙරින.

1650 වසරේ දී පමණ මෙම ගම්මානය ආරම්භ කර ඇත. මෙහි පිහිටි රෝමාණු කතෝලික පල්ලිය ඉදිකිරීම සඳහා මුල්ගල තබා ඇත්තේ 1825 වසරේ දීය. 1950 වසරේ දී එහි වැඩ නිම කර ඇත. මෙම පල්ලිය අසලම මොල්ලිකුලම්, රෝමාණු කතෝලික දෙමල විද්‍යාලය පිහිටා තිබේ.

යුද්ධය පැවති සමයේ දී අවස්ථා හතරක දී මෙම ගම්මානයේ ජනතාව ඉවත් වී ඇත. ඔවුන් ඉන්දියාව, කායාකුලි හා මන්නාරම ආදී ප‍්‍රදේශ වල පදිංචි වී සිට ඇත. යුද්ධය නිමවනවාත් සමඟම මොල්ලිකුලම් ගම්මානය සම්පූර්ණයෙන් ම නාවික හමුදාවේ ග‍්‍රහනයට නතු විය. මෙහි තිබූ ගෙවල් කිහිපයක් කඩා ඉවත් කර ඇති අතර ජනතාවගේ නිවාස 31 ක් පමණ මේ වන විට නාවික හමුදාව භාවිතා කරයි. ඊට අමතරව ජනතාව භාවිතා කළ සුසාන භූමියේ මේ වන විට නාවික හමුදාව විසින් හෝටලයක් ඉදි කර පවත්වාගෙන යයි.

මේ තත්ත්වය පිළිබඳ ව 2012.12.26 වන දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සමඟ මැල්කම් රංජිත් බිෂොප් තුමා හා ගම්වාසීන් අතර පැවති සාකච්ඡාවේ දී තීරණය කර ඇත්තේ මෙම ගම්මානයට යාබදව පිහිටි වනාන්තර කොටස් ඉවත් කර ජනතාව පදිංචි කිරීම හා නාවික හමුදාව යටතේ ඇති ගම්මානයේ පිහිටි වැව් දෙකක් නිදහස් කර දෙන බව ය. එ් අනුව අවතැන් වූ පවුල් 125 ක් පදිංචි කර ඇති අතර ඉතිරි පිරිස තවම අවතැන් ව සිටී. ලබා දෙන බව සඳහන් වැව් දෙක අතුරින් ගම්මානයේ පිහිටි විශාලතම වැව වන පුලියංකුලම් වැව පමණක් කුඹුරු ඉඩම් අක්කර 500 ක් සමඟ ජනතාවට නාවික හමුදාවෙන් මේ වන විට නිදහස් කර ඇත. ගම්මානයේ ඉතිරි සියල්ල නාවික හමුදාව යටතේ පාලනය වේ.

මෙම ගම්මානයට යාබදව ගොඩබිම ප‍්‍රදේශයට වන්නට මරිච්චිකඞ්ඩි ගම්මානය පිහිටා තිබේ. මෙම ගම්මානයේ මුස්ලිම් ජනතාව ජීවත් වේ. යුද්ධයෙන් පසුව මේ ගම්මානය ජනතාවට පදිංචි වීමට ලබා දී ඇති අතර කිසිදු අවස්ථාවක මෙම ගම්මානය ආරක්ෂක අංශ ග‍්‍රහනයේ නොපැවතුනි. මෙම ගම්මානයේ පවුල් 175 ක් පමණ පදිංචිව සිට ඇති අතර මරිච්චිකඞ්ඩිකුලම් හා ආනපාපාකුලම් යන වැව් දෙක යටතේ කුඹුරු ගොවිතැන සිදු කර ඇත. මෙය තරමක් කුඩා ගම්මානයක් ලෙස ව්‍යාප්තව පැවති අතර මොල්ලිකුලම් ගම්මානයේ කුඹුරු වල පිටාර ජලයෙන් ද මෙම ගම්මානයේ කුඹුරු වලට ජලය ලබා ගෙන තිබේ. මෙහි ඉපැරණි මුස්ලිම් පල්ලිය හා පාසැල පිහිටා ඇති අතර හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පාලන සමයේ දී මෙම ගම්මානය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු බොහොමයක් සිදු කර ඇත.

රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා විසින් දිගින් දිගටම සාවද්‍ය ප‍්‍රචාර ගෙන යනු ලබන්නේ මෙම ගම්මානයේ ඡායාරූප, අලූතින් වනාන්තර එළි කර වන රක්ෂිත වල පිහිට වූ ගම්මාන වල ඡායාරූප බව හුවා දක්වමිනි. ජනතාව ඇතුළු ව බොහෝ පිරිසක් මේ ලෙසට අමාත්‍යවරයා විසින් මුලා කර ඇත. සැබෑ ලෙසම අවතැන් වූ ජනතාව තවම අවතැන් ව සිටිය දී අලූතින් ජනාවාස ඉදි කර වෙනත් පිරිසක් පදිංචි කිරීමෙන් රජය බලාපොරොත්තු වන ජාතීන් අතර සංහිදියාව ගොඩනැංවිය හැකි ද යන්න සිතා බැලිය යුතුය.

රටේ ජනතාව මුලා කරමින්, ආගම් හා ජාති භේද ඇති කරමින් රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා පටු දේශපාලන හා පෞද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා රටේ වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් වෙන් කළ වන රක්ෂිත විනාශ කිරීමට ඉඩ දිය යුතු නැත.

කළ යුතු වන්නේ සැබෑ ලෙසම අවතැන් වූ ජනතාවට ඔවුන්ගේ නිජ බිම් වල පදිංචි වීමට පහසුකම් ඇති කිරීම ය. ආරක්ෂක අංශ යොදා ගෙන පසුගිය රජයෙන් බලහත්කාරයෙන් අත්පත් කර ගත් ජනතාවගේ ඉඩම් කඩිනමින් එම ජනතාවට නැවත ලබා දිය යුතු ය. ඊට අමතර ව තවත් නිවාස හා වගා බිම් අහිමි ජනතාව සිටී නම් ඔවුන් ව දැනට පවතින ගම්මාන ආශි‍්‍රත ව යටිතල පහසුකම් ලබා දිය හැකි සුදුසු ස්ථාන වල පදිංචි කළ යුතු ය. එසේ නොමැතිව සංහිදියාව ඇති කළ නොහැකිය. බලහත්කාරයෙන් සංහිදියාව ඇති කිරීමට උත්සාහ දැරීම වෙනුවට කළ යුත්තේ යුද්ධයෙන් අතැන් වූ සියලූ ජනතාවට සමානව සැලකීමයි.

ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීමය. එසේ නොමැතිව එක් අමාත්‍යවරයකුට පමණක් රිසි පරිදි නැවත පදිංචි කිරීම් කටයුතු මෙහෙයවීමට ඉඩ ලබා නොදිය යුතු ය. ඉන් සිදුවන්නේ ජාතීන් අතර සංහිදියාව දරුණු ලෙස පලූදු වීමකි.

වනාන්තර විනාශ කර ජනතාව පදිංචි කිරීම නීති විරෝධී බවට වන සාධක

දේශපාලන උවමනාවන් මත වනාන්තර විනාශ කර අලූතින් ජනාවාස පිහිටුවීම සාදාරණීකරණය කිරීමට මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයා ද පළමු ව සාවද්‍ය ප‍්‍රකාශ බොහොමයක් සිදු කෙරින. ඔහු පළමු ව සදහන් කළේ අලූතින් ජනාවාස පිහිටු වීම සිදු කළ කල් ආරු වනාන්තරය තමන් යටතේ පාලනය වන රජයට අයත් භූමියක් බව ය. එබැවින් තමන් විසින් අක්කර භාගය බැගින් අවතැන් වූ ජනතාව අතර මේ ඉඩම් බෙදාදුන් බව ඔහු සදහන් කෙරින. නමුත් 2001 වසරෙන් පසුව දිස්ති‍්‍රක් ලේකම් වරුන්ට අයත් වනාන්තර නොමැති බව මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයා දැන නොසිටීම කණගාටුවට කරුණකි. වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් 2001 අගෝස්තු 10 වන දින නිකුත් කළ 05/2001 අමාත්‍යංශ චක‍්‍රලේඛණයට අනුව ලංකාවේ සියලූම දිස්ත‍්‍රික් ලේකම් වරුන්ට හා ප‍්‍රාදේශීය ලේකම් වරුන්ට දැනුම් දී ඇත්තේ රජයට අයත් සියලූම අවශේෂ කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරණ බව ය. ඒ අනුව මෙම වනාන්තර පාලනය වන්නේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ ය. එසේ තිබිය දී මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයා විසින් සිදු කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝණය කරමින් වනාන්තර ඉඩම් බෙදා දීම හා එම වනාන්තර ඉඩම්වල නීතිවිරෝධී ක‍්‍රියාවල නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ය.

2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක් එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ සදහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය සදහා අධිකරණය මගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.

එවන් තත්ත්වක් පවතිද් දී පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ආධාර හා අනුබල යටතේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ හා දිස්ති‍්‍රක් ලේකම් වරයාගේ මෙහෙය වීම මත නීතිවිරෝධී ලෙස කල් ආරු වනාන්තරය විනාශ කරමින් 2010 වසරේ සිට 2012 වසර දක්වා ම නව ජනාවාස පිහිටුවීම සිදු කෙරිණ. 2012 වසරෙන් පසුව මෙම වනාන්තර පද්ධතිය රක්ෂිත ප‍්‍රදේශ බවට ප‍්‍රකාශයට පත් කළ පසුව ද දිගින් දිගට ම නීති විරෝධීව වනාන්තර එළි පෙහෙළි කිරීම සිදු කෙරින. එම කාල වකවානුව තුළ නීති විරෝධීව වනාන්තර එළි පෙහෙළි කිරීමට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මේ නීති විරෝධි කි‍්‍රයා තව තවත් වර්ධනය විය.

වන සංරක්ෂණ ආඥා පනත පමණක් නොව ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන අනපනත් උල්ලංඝණය කරමින් මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හා අලූතින් ජනාවාස පිහිටු වීම සිදු කර ඇත. 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23ප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යපෘතියක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් හෝ පවුල් 100 කට වැඩි ප‍්‍රමාණයක් එක වර පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එවන් කිසිදු ක‍්‍රියාමාර්ගයකට මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් යොමු වී නොමැත. නමුත් ඊට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ද කිසිදු ක‍්‍රියාමාර්ගයක් මේ වන තුරුත් ගෙන නොමැත.

1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව පවුල් නැවත පදිංචි කිරීමට ප‍්‍රථම, හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම හා පදිංචිය සදහා නිවාස සංකීර්ණ ඉදිකිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සදහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියකින් තොරව කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් මහා පරිමාණ ජනාවාස පිහිටු වීමට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මේ වන තුරුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මේ අනුව පෙනී යන්නේ පසුගිය රජය පැවති සමයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ බලයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සියල්ල ම අකර්මන්‍යව සිටි බව ය. මේ නිසා දැවැන්ත විනාශයක් කල් ආරු වනාන්තර පද්ධතියට සිදු වී ඇත.

මෙලෙස නිසි බලපෑම් ඇගයීමකින් තොරව නුසුදුසු ප‍්‍රදේශයක ජනාවාස පිහිටුවීම නිසා විශාල පිරිසක් වර්ෂා කාලයේ දී ජල ගැලීම් වලින් පීඩා විදිති. මීට අමතර ව අලි මිනිස් ගැටුමෙන් හා ජල හිඟයෙන් දරුණු ලෙස පීඩා විදිති. මේ නිසා පදිංචි කළ බොහෝ පිරිසක් නිවාස අතහැර දමා ගොස් ඇත. නමුත් ජනතාව පදිංචි කරනවා වෙනුවට තවදුරටත් වනාන්තර එළිකරමින් ඉඩම් අත්පත් කර ගැනීම අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබේ.

කල් ආරු වනාන්තරය රක්ෂිත බවට පත් කිරීම

මේ අතරතුර කල් ආරු වනාන්තර පද්ධතියේ පවතින පාරිසරික, ජෛවවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හා ජල විද්‍යාත්මක වටිනාකම හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව 2012 ඔක්තෝම්බර් 10 වන දින අංක 1779/15 දරණ ගැසට් නිවේදනය යටතේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි කල් ආරු වනාන්තරයේ හෙක්ටයාර 6042 ක භූමි ප‍්‍රදේශයක් මරිච්චුක්කඞ්ඩෙයි කරඩික්කුලි වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මීට අමතර ව 2012 මැයි 21 වන දින අංක 1759/2 දරන ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 2108 ක් ලෙස අරුවි ආරු ඔයේ ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශ විලත්තිකුලම් වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. කල් ආරු ඔයේ ඉතිරි ජල පෝෂක වනාන්තර වේප්පායි හා මාවිල්ලූ වන රක්ෂිත ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ සියලූ රක්ෂිත ප‍්‍රදේශ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් වනාන්තර පද්ධතියක් ලෙස ව්‍යාප්තව තිබේ.

මෙම වනාන්තර ප‍්‍රදේශ රක්ෂිත තත්ත්වයට පත් කළ පසුව ද රිෂාඞ් බදියුර්දීන් අමාත්‍ය වරයාගේ මැදිහත්වීම මත වනාන්තර ඉඩම් වෙන් කර ගෙන, බලහත්කාරයෙන් එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු විය. මේ නීති විරෝධී කි‍්‍රයාවන්ට එරෙහිව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීතිය කි‍්‍රයාත්මක නොකෙරින.

එම රක්ෂිත වනාන්තර සියල්ල ම එළිපෙහෙළි කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තිය උල්ලංඝණය කරමිනි. එම වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, එවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ සදහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරද කරුවකු වෙයි. එවන් වරදක් සදහා වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඬ මුදලකට ද යටත් කළ හැකි ය.

මේ අනුව මෙම වන රක්ෂිතය හතර එළි පෙහෙළි කරන පුද්ගලයන්ට හා ඒ සදහා ආධාර හා අනුබල ලබාදෙන රිෂාඞ් බදියුර්දීන් අමාත්‍ය වරයාට මෙන්ම මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් වරයාට ද එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. එසේ නමුත් රක්ෂිත වනාන්තරය විනාශ කරමින් දේශපාලන උවමනාවන් මත ජනාවාස ව්‍යාප්ත කිරීමට එරෙහිව කිසිදු නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තව ම අපොහොසත් වී ඇත. රක්ෂිත වනාන්තරය අඛණ්ඩව එළි පෙහෙළි කරමින් තිබිය දී වන සංරක්ෂණ නිලධාරීන් ඇස් කන් නැත්තවුන් සේ මුනිවත රැකීම කණගාටුවකට කරුණකි. එම දෙපාර්තුමේන්තුව මගින් නීත්‍යානුකූල නොවන ලෙස හෝ නිදහස් කර ඇති වනාන්තර ප‍්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වනාන්තර රක්ෂිත භූමියෙන් මේ වන විට එළිිපෙහෙළි කර ඇතත් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තවම නිහඩව සිටින්නේ කුමන හේතුවක් මත ද යන්න ගැටළුවකි.

නැවත පදිංචි කිරීම් කටයුතු අවසන් කර ඇති බවට තහවුරු කිරීම

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ, ඉඩම් කොමසාරිස් ජනරාල්, ආර්. පී. ආර්. රාජපක්ෂ මහතා විසින් 2012.03.06 වන දින අංක ”3/සං/4/1/මුලතිව්දරන ලිපිය මඟින් තහවුරු කර ඇත්තේ එම කාල වකවාණුව වන විට උතුරු හා නැගෙනහිර පලාත් වල ඉඩම් බෙදා දීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බව හා එ් වන විට උතුරු හා නැගෙනහිර පලාත්වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් කර ඇති බවයි. එසේ තිබිය දී 2013 වසරේ දී රක්ෂිත වනාන්තර ඉඩම් ජනතාව පදිංචි කිරීමට නිදහස් කර ඇත්තේ කෙසේ දැයි පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

නමුත් අද වන විට වන සංරක්ෂණ ජනරාල්වරයා මේ වන විට පවසා සිටින්නේ පසුගිය රජය පැවති සමයේ දී බැසිල් රාජපක්ෂ මහතා හා රිෂාඞ් බදියුර්දීන් මහතා විසින් කළ දැඩි බලපෑම් හමුවේ මේ ඉඩම් නිදහස් කළ බව ය. නමුත් නීති විරෝධී ලෙස හෝ නිදහස් කර ඇති ඉඩම් ප‍්‍රමාණයට වඩා වැඩි වනාන්තර භූමියක් මේ වන විට මරිච්චිකඞ්ඩි කරඩික්කුලි, වේප්පායි, මාවිල්ලූ හා විලත්තිකුලම් යන වන රක්ෂිත වලින් එළි පෙහෙළි කර ඇති අතර එම කිසිදු හානිකර කි‍්‍රයාවකට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැත.


විල්පත්තු වනාන්තර පද්ධතියේ ඇති වැදගත්කම


මෙම රක්ෂිත වනාන්තර හුදෙකලා නොවූ වනාන්තර පද්ධතියක් ලෙස විල්පත්තු උතුරු අභය භූමිය හා විල්පත්තු ජාතික වනෝද්‍යාන සංකීර්ණය හා බැදී පැවතීමෙන් අලි ඇතුන්ගේ ප‍්‍රධාන නිජබිමක් වී ඇත. එපමණක් නොව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමෙන් ගලා බසිනා මෝදර ගං ආරු ඔයේ හා මෙම රක්ෂිත හරහා ගලා යන කල් ආරු ඔයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයකි. මීට අමතර ව අරුවි ආරු ඔයේ ජල පෝෂක ප‍්‍රදේශයක් ද වේ. මෙම වන රක්ෂිත වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර වලින් වැඩි ප‍්‍රමාණයක් සමන්විත වන අතර සුළු වශයෙන් කටු පදුරු සහිත ල`දු කැලෑ බිම්, ගංගාශි‍්‍රත වනාන්තර හා විල්ලූ පරිසර පද්ධති වලින් සමන්විත ය.

මෙම වනාන්තර පද්ධතිය විල්පත්තු ජාතික වනෝද්‍යානය හා අඛණ්ඩව බැදී පවතින අතර එහි ජෛව විවිධත්වයට සමාන ජෛව විවිධත්වයක් මෙම වන රක්ෂිතය තුළින් ද වාර්තා වේ. ඊට අමතර ව පුරා විද්‍යාත්මකව වැදගත් වන ප‍්‍රදේශයක් ලෙස ද මේ ප‍්‍රදේශය සැලකිය හැකි අතර ප‍්‍රධාන වශයෙන්ම මහා ශිලා යුගයට අයත් සාධක හමු වන වනාන්තර ප‍්‍රදේශයක් ලෙස සැලකිය හැකි ය.

නමුත් අද වන විට වන සතුන්ගේ වාසස්ථාන, පුරා විද්‍යාත්මකව වැදගත් වන ප‍්‍රදේශ, ජල පෝෂක වනාන්තර බිම් හා සුවිශේෂි පරිසර පද්ධති ඇතුළු ව අක්කර 3400 ක භූමියක් සම්පුර්ණයෙන්ම එළි පෙහෙළි කර තිබේ. එසේ එළි පෙහෙළි කර ඇත්තේ වන රක්ෂිතය ඛණ්ඩනය කරමිනි. ඊට අමතර ව තව දුරටත් වනාන්තර එළි පෙහෙළි කිරීම සදහා රක්ෂිත වනාන්තරය තුළ ට මාර්ග සකස් කිරීම ද සිදු කර තිබේ. මේ නිසා අලි ඇතුන් ඇතුළු ව බොහෝ සත්ත්ව ප‍්‍රජාවකගේ ගැවසුම් ප‍්‍රදේශ ඛණ්ඩනය වීමට හා ඇහිරීමට ලක් ව තිබේ.

වන රක්ෂිත තුළ හුදෙකලාව මෙම ජනාවාස පිහිටුවීමේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කර ඇති අතර එම ප‍්‍රදේශ වල පදිංචි කළ ජනතාවට අවශ්‍ය විදුලි බලය, මාර්ග පහසුකම් හා පානීය ජලය ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදු ව තිබේ. විශේෂයෙන්ම ජනාවාස පිහිටන සිලාවතුර ප‍්‍රදේශයට සැලකිය යුතු දුරකින් මෙම ජනාවාස හුදෙකලාව වනාන්තරය තුළ ස්ථාපිත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත ව තිබේ. මේ නිසා හුදකලාව පදිංචි කළ ජනතාවට අලි මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීමට සිදු වී ඇත. එපමණක් නොව මෙම ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා ගැනීමට ද විශාල වෙහෙසක් දැරීමට සිදු වනු ඇත. මීට අමතර ව විශාල ගැටලූවක් ලෙස පවතින්නේ පදිංචි කළ ජනතාවට අවශ්‍ය වගා බිම් ලබා දීමට තව තවත් රක්ෂිත වනාන්තර එළි පෙහෙළි කිරීමට සිදු වීම ය. දැනට පදිංචි කළ ජනතාවට ඇති ප‍්‍රධාන ගැටළුව ආදායම් උත්පාදන මාර්ග නොමැති වීම ය. ඔවුන්ගේ වගා කටයුතු සදහා අමතර ඉඩම් ලබා දෙන ලෙසට මේ වන විට ද පදිංචි කළ ජනතාව දැඩි බලපෑම් එල්ල කරති. ඊට අමතර ව අළුතින් පදිංචි වූ බොහෝ ජනතාව රක්ෂිත වනාන්තර තව දුරටත් එළි පෙහෙළි කරමින් හා රක්ෂිත වනාන්තරයේ මායිම් කණු ඉවත් කරමින් වගා බිම් ස්ථාපිත කිරීම සිදු කරමින් පවතී. මේ තත්ත්වය ඉදිරියේ දී තව දුරටත් වර්ධනය විය හැකිය.

මීට අමතර ව දඩයම, දැව ජාවාරම හා අලි ඇතුන් මරා දැමීම යන නීති විරෝධී ක‍්‍රියා වල වර්ධනයක් මේ ප‍්‍රදේශයේ දැක ගත හැකි ය. මේ සියළු තත්ත්වයන්ට හේතු වී ඇත්තේ නුසුදුසු ස්ථානයක, දේශපාලන උවමනාවන් මත පදනම් ව අලූතින් ජනාවාස පිහිටුවීම ය. විශේෂයෙන්ම රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාට අවශ්‍යව ඇත්තේ අලූතින් ජනතාව පදිංචි කරමින් මන්නාරම දිස්ති‍්‍රක්කයේ තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගැනීම හා ඉඩම් අත් පත් කර ගැනීම ය. ඊට අමතර ව යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරන මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා මුදල් ගෙන්වා ගැනීමේ දැවැන්ත ජාවාරමක ද රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා නිරතව සිටින බව මේ වන විටත් අනාවරණය වී තිබේ.

මේ නිසා පසුගිය කාලය පුරාම මෙම වන රක්ෂිත හතර එළි කර අලූතින් ජනාවාස පිහිටුවීම සඳහා විදේශ රට වලින් හා රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබුණු මුදල් ප‍්‍රමාණය හා එ්වා නිසි පරිදි පරිහරණය කර තිබේ ද යන්න පිළිබඳ ව පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍යය. එවිට මෙම අමාත්‍යවරයා විසින් යුද්ධයෙන් අවතැන් වූ ජනතාව පෙන්වමින් වංචනික ලෙස සිදු කර ඇති මුදල් වංචාවන් අනාවරණය කර ගත හැකි වනු ඇත.

රක්ෂිත වනාන්තර විනාශ කර නීති විරෝධී ව ජනාවාස ව්‍යාප්ත කිරීමට
ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ආධාර ලබා දීම


රක්ෂිත වනාන්තර විනාශ කරමින් නීති විරෝධී ලෙස දේශපාලන උවමනාවන් මත පදනම් ව සිදු කරන අලූතින් ජනාවාස පිහිටුවීමේ මෙම හානි කර දැවැන්ත ව්‍යාපෘතිය සඳහා වගකීම් විරහිතවAustralian Aid, European Union, Swiss Agency for Development and Cooperation යන රාජ්‍ය නොවන සංවිධාන මුදල් ආධාර ලබා දී තිබේ. එම ව්‍යාපෘති කි‍්‍රයාත්මකකරු ලෙස එක්සත් ජාතීන්ගේ නිවාස වැඩසටහන (UN Habitat) කි‍්‍රයා කර ඇත. මීට අමතර ව මැදපෙරදිග කටාර් රාජ්‍යයේ සංවිධාන වලින් ද විශාල ආධාර මුදල් ප‍්‍රමාණයක් මේ සඳහා ලැබී තිබේ. නමුත් මෙවන් දෑ සිදු වූයේ කුමන අයුරින් ද යන්න පිළිබඳ ව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම කණගාටුවට කරුණකි.

මේ තත්ත්වය මෙසේ පවතිද් දී රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා සතු ඡන්ද පදනම හේතුවෙන් යහපාලන රජය ද රක්ෂිත වනාන්තර වනසමින් සිදු කරන දැවැන්ත විනාශය දෙස තවම බලා සිටී. අනාගත හා වර්තමාන පරපුරට අයත් සියළු ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් වෙන් කළ මෙම වන රක්ෂිත එක් අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික උවමනාව මත විනාශ කිරීමට ඉඩ දිය හැකි ද යන්න ප‍්‍රධාන ගැටළුවකි.

පසු ගිය රජය සමයේ දී ආරම්භ වී වත්මන් රජය තුළ ද ක‍්‍රියාත්මක වන මෙම දැවැන්ත වන විනාශයට රජයන් දෙකම එක සේ ආධාර හා අනුබල ලබා දීම මෙන්ම නීතිය ක‍්‍රියාත්මක කිරීමට පසුබට වීම පිළිබදව අපට ඇත්තේ විශාල සැකයකි.

ගත යුතු කි‍්‍රයාමාර්ග

අප වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර හතරෙහි ජනාවාස පිහිටුවීම වහාම නතර කර මොල්ලිකුලම් හා මරිච්චිකඞ්ඩි ගම්මාන දෙකෙහි අවතැන් වූ ජනතාව එම ප‍්‍රදේශ වල ම නිසි පරිදි නැවත පදිංචි කිරීමට කටයුතු කරන ලෙස ය. දැනට වන රක්ෂිත වල එළි පෙහෙළි කර ඇති සියළු වනාන්තර නැවත එම වන රක්ෂිත වලට පැවැරීම හා එළි පෙහෙළි කළ ප‍්‍රදේශ වල නැවත වනාන්තර ප‍්‍රතිස්ථාපනය වීමට අවස්ථාව ලබා දීම සිදු කළ යුතු ය. එමගින් වනාන්තර පද්ධතියේ ඛණ්ඩනය වීම යතා තත්ත්වයට පත් කළ හැකි වන අතර එමගින් සියඑ ජීවීන්ගේ සුරක්ෂිතතාව හා ජල පෝෂක වල සුරක්ෂිතතාව ඇති කළ හැකි ය. එසේ නොවුනහොත් මෙම ප‍්‍රදේශයේ සාම්ප‍්‍රදායික ගම්මාන වල ජනතාවට හා සැබෑ ලෙසම අවතැන් වූ හා නැවත පදිංචි කළ ජනතාවට පානීය හා කෘෂි කාර්මික ජල අර්බුධ වලට සහ අලි මිනිස් ගැටුමට දරුණු ලෙස ගොදුරු වීමට සිදු වනු ඇත.

මෙම දැවැන්ත නීති විරොධී වන විනාශය සදහා දායක වූ හා ආධාර හා අනුබල ලබා දුන් සියලූ රජ්‍ය නිලධාරීන්ට හා දේශපාලකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු අතර වනාන්තරයට සිදු කළ හානියට වන්දි මුදලක් ද අය කර ගත යුතු ය. එම මුදල නැවත මෙම වනාන්තරය ප‍්‍රතිස්ථාපනය කිරීම ස`දහා යෙදවිය යුතු ය. එ් සඳහා නීත්‍යානුකූල හැකියාව ද ඇත.

එපමණක් නොව උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ නිවැරැදි ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු අතර එහි දී රක්ෂිත ප‍්‍රදේශ වල පැවැත්මට එල්ලවන බලපෑම් අවම කිරීමට හා එවායේ සුරක්ෂිත තාවය ඇති කිරීමට කි‍්‍රයාමාර්ග ගත යුතු ය. එපමණක් නොව නැවත පදිංචි කිරීමේ කටයුතු පටු දේශපාලන උවමනාවන් මත නොව පැහැදිලි විනිවිද භාවයකින් යුතු ව යථාර්තවාදීව සිදු කළ යුතු ව ඇති අතර එ් තුළින් ජාතීන් අතර සංහිදියාව තහවුරු කළ යුතු ය.
සජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය
උපුටා ගැනීම - http://www.vikalpa.org/?p=29264

විල්පත්තුවේ වන විනාශයක් සිදුවෙනවාද?
උපුටා ගැනීම - http://www.bbc.com/sinhala/sri-lanka-38810572 - 2017 ජනවාරි 31 

විල්පත්තු රක්ෂිතයේ හෝ ඒ අවට වනාන්තරයේ කිසිදු වන විනාශයක් සිදු නොවන බව විල්පත්තුවේ සංචාරයක යෙදුනු සිවිල් ක්‍රියාධරයන් පිරිසක් පවසති.
එහෙත් සිවිල් ක්‍රියාධරයන්ගේ එම ප්‍රකාශය, කරුණු නිසි ලෙස වටහා නොගෙන සිදුකරන්නක් බවට පරිසරවේදීහු චෝදනා කරති.
"මේක ඔඩු දුවපු තුවාලයක්, ආණ්ඩුවම කරපු දෙයක්"
විල්පත්තු වනෝද්‍යාන සීමාව තුළ පරිසර විනාශයක් නැහැ - ජනපති
විල්පත්තුව ගැන 'කැක්කුමක් තිබේද?'
වනාන්තර හෙළිකරමින් මුස්ලිම් ජනතාව පදිංචිවෙමින් සිටින එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශය, කොට්ටච්චි, සීලාවතුර යන ප්‍රදේශවල සංචාරය කළ අවස්ථාවේ තමන්ට දැකගැනීමට ලැබුන බව සංචාරයෙන් අනතුරුව සංදේශය සමග දහස් දැක්වූ පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය සඳහන් කළේය.
"විල්පත්තු වනයට අදාළ, ප්‍රදේශයට අදාළ කිසිම වන විනාශයක් මේ කියන ජනතාව නැවත පදිංචි කිරීම්වලදී සිදුවෙලා නෑ," ඔහු පැවසීය.
සිවිල් ක්‍රියාධරයන් ගම්වාසීන් සමග
"හැබැයි ජනතාව නැවත පදිංචි කරලා තියෙනවා, ඔවුන්ගේ පළමු ගම්බිම්වල. මේ ජනතාව මුස්ලිම්, දෙමළ සහ සිංහල. මේ කණ්ඩායම් තුනේම පාරම්පරික ගම් තියෙනවා විල්පත්තු වනයට පිටින්."
යුද්ධය සමයේ එල්ටීටී සංවිධානය විසින් එම ප්‍රදේශවල විසූ ජනතාව පළවා හැරි බව පවසන සමන් රත්නප්‍රිය, වසර විසිපහකට පමණ පසුව ඒ ජනතාව යළි සිය ගම්බිම් බලා එනවිට එම ප්‍රදේශවල කැලෑ වැවී තිබී ඇති බවත් සඳහන් කළේය.
මුතුරාජවෙල රක්ෂිතයේ 'පරිසර විනාශයක්'
'පරිසරය අපට ඔක්සිජන් දෙන්නේ ජාති භේදයකින් තොරවයි'
එම කැලෑ ප්‍රදේශ හෙළි පෙහෙළි කරමින් ඒ ජනතාව යළි පදිංචිවෙමින් සිටින්නේ බලධාරීන්ගේ නීත්‍යානුකූලව අවසරය සහිතව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ නමුත් විල්පත්තුවේ සංචාරයක යෙදීමෙන් අනතුරුව සිවිල් සහ වෘත්තීය සමිති ක්‍රියාධරයන් මතුකරන එම තර්කය තරයේ ප්‍රතික්ෂේප කරන බව පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර බීබීසී සංදේශයට පැවසීය.
විල්පත්තුව
විල්පත්තුව අවට කිසිදු වන විනාශයක් සිදු නොවන්නේය යන්න සිවිල් ක්‍රියාධරයන් කරුණු නොදැන කරන ප්‍රකාශයක් බවට චෝදනා කරන පරිසරවේදියා, විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර දෙකක තවමත් වන විනාශයක් සිදුවෙමින් පවතින බව අවධාරණය කරයි.
"විලච්චිකුලම් වන රක්ෂිතය වගේම මරිච්චිකට්ටි වන රක්ෂිතයත් හෙළි පෙහෙළි කරමින් තමයි මේ ජනාවාශ ව්‍යාප්ත කරන්නේ," ඔහු පැවසීය.
ඒ ආසන්නයේ මුස්ලිම් සහ දෙමළ ජනතාව සාම්ප්‍රදායිකව වාසය කළ ගම්මාන දෙකක් පවතින බව සඳහන් කළ සජීව චාමිර, ගැටලුව පවතින්නේ එම ගම්මාන පිළිබඳව නොවන බවත් පැවසීය.

විල්පත්තුව: අලුතින් සංරක්ෂිත වනාන්තරයක්
උපුටා ගැනීම http://www.bbc.com/sinhala/sri-lanka-39378861 - 2017 මාර්තු 24

විල්පත්තු වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර හතරක් සංරක්ෂිත කලාප ලෙස නම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනුමැතිය ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එක් කොට තනි සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ ගැසට් පත්‍රයට සිය රුසියානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා විසින් අද (මාර්තු 24) අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඒ අනුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාවිල්ලු, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතු කර වන සංරක්ෂණ ආඥා පනතේ "3අ" වගන්තිය යටතේ "මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය" ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
"මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය"
"එහි මායිම් වෙනස් කිරීමට අවශ්‍ය නම් වන සංරක්ෂණ ආඥා පනතට අනුව එය සිදු කළ හැක්කේ අදාළ විෂය භාර ඇමතිවරයා විසින් සාදන ලද නියමයක් ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලදුව පාර්ලිමේන්තුවේ සම්මත කොට එසේ සම්මත කළ දැන්වීම ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුවය" යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව උක්ත වනාන්තරය සඳහා උපරිම නීතිමය ආවරණය ලැබී එහි ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ගස් කැපුවේ ආණ්ඩුව -රිෂාඩ්
"මේක ඔඩු දුවපු තුවාලයක්, ආණ්ඩුවම කරපු දෙයක්"
විල්පත්තුවේ වන විනාශයක් සිදුවෙනවාද?
විල්පත්තු වනෝද්‍යානය හා ඊට යාබද වනාන්තර අනවසරයෙන් හෙළි පෙහෙළි කිරීම් ගැන පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පළ වුවත් 2012/2013 වර්ෂවල දී මුදාහැර ඇති වනාන්තර ඉඩම් හැරුණු කොට වෙනත් වනාන්තර හෙළි කිරීමක් සිදු වී නොමැති බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.
උපුටා ගැනීම http://www.bbc.com/sinhala/sri-lanka-39378861 - 2017 මාර්තු 24

විල්පත්තු උතුරේ - කල්ලාරු
වන විනාශය තවමත් එසේමය
උපුටා ගැනීම http://www.divaina.com/2015/07/05/feature01.html - Jul 5, 2015

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් විල්පත්තු උතුරු අභය භූමිය පටන් සිලාවතුර ප්‍රදේශය දක්‌වා කල්ලාරු මහා (සංරක්‍ෂිත) වනාන්තරයත් මඩු රක්‍ෂිත වනාන්තරයත් විනාශයට පත්කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අනුදැනුම මත කරනු ලබන නැවත පදිංචිකිරීමේ ව්‍යාපෘතිය සහ මහා වන විනාශය තවමත් නොවිසඳුණු, තවමත් අහවර නොවනු අර්බුදයකි. මේ පිළිබඳව මාධ්‍යවේදීන්, පරිසරවේදීන් හා බහුජන සංවිධාන කොතෙකුත් මේ පිළිබඳව වාර්තා කළත්, කරුණු කාරණා හෙළිදරව් කළත්, විරෝධතා ව්‍යාපාර දියත් කළත් විල්පත්තු මහ වනාන්තරයට උදාවූ සෙතක්‌ සාධාරණත්වයක්‌ නැත. "දැන් ඉතින් විනාශ වූ දේ විනාශවන්නට ඉඩ හරිනවා" යෑයි නියායෙන් බලධාරීන් කල්මරනවා විය හැකිය. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියන්නේ මෙම ඉඩම් තම මුස්‌ලිම් ජනතාව විසූ පාරම්පරික ඉඩම් බවත්, යුද්ධයෙන් පසු නැවත පදිංචිකිරීමේ කටයුතු සඳහා ඒවා භාවිත කළ බවත්ය. "බළල්ලුද දී කිරට සාක්‍ෂි" යෑයි කියන්නා සේ මන්නාරම් මහ දිසාපති නොහොත් දිස්‌ත්‍රික්‌ ලේකම් දේශප්‍රිය මහතාද මූලික විරෝධතා හමුවේ අවධාරණය කර සිටියේ මෙම නැවත පදිංචි ඉඩම් එම ජනතාවගේ පාරම්පරික ඉඩම්ව තිබූ බවකි. ඔවුන් වන සතුන් මරාගෙන කාපු ඉඩම් වන බවකි. මෙවන් තත්ත්වයක්‌ තුළ අපට අසන්නට ඇත්තේ මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා තරම් මෙරටේ පරිසර නීතිය, වනජීවී නීතිය පිළිබඳව හෝ සමාජ අධ්‍යයනය ගැනවත් නොදන්නා අඳබාල නිලධාරීන් කුමන හේතුවක්‌ සඳහා මෙවන් දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ තනතුරු සඳහා පත්කර ඇත්තේද යන්නය. මන්ද, වනසතුන් මරාගෙන කෑම 1938 වන සත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥපනත අනුව දැඩි දඬුවම් ලැබිය යුතු වරදක්‌ නිසාවෙනි. එසේම ඔහු එක්‌ තැනෙක සඳහන් කරන දිසාපතිවරයාට අයත් කැලෑ ඉඩම් මෙම කටයුත්ත සඳහා නිදහස්‌ කළේය යන කරුණද අතිශය වැරදිසහගත ප්‍රකාශයකි. මන්ද අතීතයේදී දිසාපතිවරුන්ට අයත් කැලෑ ඉඩම් තිබුණද 2001 වසරේ පටන් දිසාපතිවරුන්ට අයත් කැලෑ ඉඩම්ද වන ආඥ පනත යටතේ වන සංරක්‍ෂණ ජනරාල්වරයා වෙත ගැසට්‌ නිවේදනයකින් පවරා ඇති නිසාය. එනිසා මන්නාරම් මහ දිසාපතිවරයා වන හා වනජීවි නීතිය ගැන නොදන්නා අයකු වනවා සේම හේ මෙරටේ වනාන්තර විනාශයට අනුබල දෙන පුද්ගලයකු වශයෙන්ද අප හඳුන්වා දෙන්නෙමු.

මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ගලේ පහරපු බළලෙක්‌ ගාණට වැටුණු අවස්‌ථාවක්‌ ගැනද මෙහි සනිටුහන් කිරීම වටී. එනම්, කල්ලාරු කැලෑ විනාශය පිළිබඳව දිගින් දිගටම විරෝධතා පැන නැඟෙද්දී ඒ පිළිබඳව වහාම සොයා බලන්නට කමිටුවක්‌ පත්කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළේය. පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සමන්විත එම කමිටුවේ මූලික විමර්ශනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති අතර ඒ සඳහාද මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පැමිණ සිටියේය.

එහිදී සිද්ධිය පිළිබඳව හඳුන්වා දුන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වන සංරක්‍ෂක ජනරාල්වරයාට සැබෑ තත්ත්වය පහදා දෙන්නට අවස්‌ථාව ලබා දුන්නේය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් වන සංරක්‍ෂක ජනරාල් අනුර සතුරුසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගිය (මහින්ද රාජපක්‍ෂ) පාලන කාලයේදී නැවත පදිංචිකිරීමේ කාර්ය සාධක බළකායේ ඉල්ලීම පරිදි මෙසේ කල්ලාරු සහ මඩු රක්‍ෂිත වනාන්තරවලින් හෙක්‌ටයාර් 2500 ක්‌ නිදහස්‌ කරන්නට තම දෙපාර්තමේන්තුවට සිදුවූ බවයි. හිටපු වන සංරක්‍ෂක ජනරාල්වරයා ඒ සඳහා අනුමැතිය දී තිබිණි.

මෙම ප්‍රවෘත්තිය දැනුම් දෙනවිට මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ඊට යාබද ආසනයේ සිටි අතර ගලේ පහරපු බළලකු ගාණට වැටුණු ඔහුගේ හිස මතට තවත් මරාලයක්‌ කඩාගෙන වැටුණේය. ඒ අනිකක්‌ නොව මෙසේ හෙළි පෙහෙළි කරන ලද හෙක්‌ටයාර් 2500 ක වනාන්තර ප්‍රදේශවල පලු, වීර, බුරුත වැනි වටිනා දැවවලට සිදුවූයේ කුමක්‌ද යන්න මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්‌ථාවේදීය. වන සංරක්‍ෂක ජනරාල්වරයා මෙහිදී කියා සිටියේ විධිමත් රාජ්‍ය ක්‍රමවේදය අනුව අදාළ දැව, දැව සංස්‌ථාව මගින් ලබාගත යුතු වුවත් පසුගිය රජය නැවත පදිංචිකිරීමේ අවශ්‍යතාව ඉක්‌මන් කිරීම නිසා දැව සමඟම වනාන්තරය ජනාධිපති කාර්ය සාධක බළකායට නිදහස්‌ කළ බවකි. මෙය මහා අපරාධයකි. මහා දැව කොල්ලයකි. අහස පොළොව නුහුලනා වනාන්තර විනාශයකි. ලෝකයේ සිදුවූ සියවසේ අතිවිශාලතම වනාන්තර විනාශය මෙය ලෙස සලකන අතර, එයින් ඉවත්වූ දැව කළු කඩයේ විකුණා ගැනීමද අතිවිශාල ජාවාරමක්‌ම වෙයි. ඒ පිළිබඳව මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ විට හේ කියා සිටියේ තමන් ඒ ගැන නොදන්නා බවය. තමන් විටින් විට පොලිසිය දැනුවත් කළද කුමක්‌ සිදුවී දැයි තමන් නොදන්නා බව ඔහු එම පුවත්පත් සාකච්ඡාවේදී කියා සිටියේය. කල්ලාරු සහ මඩු වනාන්තරවලට සිදුවූයේ එවන් බලවත් අපරාධයකි.

නැවත පදිංචිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය ගැන අප හරිහැටි නොදන්නා මුත්, මෙම වනාන්තර විනාශය පිටුපස සිටි යෝධ හස්‌තය එවක නැවත පදිංචිකිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා රිෂාඩ් ඇමැතිවරයාගේ රැකවරණයට යෝධ සෙවණැල්ල සේ ක්‍රියා කළ අතර, මන්නාරම් මහ දිසාපති මොවුන්ගේ සෙවණැල්ලට පෑගුණු ලිලිපුට්‌ටකු පමණක්‌ විය. ඒ අපගේ විශ්වාසයයි.

දැනට හඳුනාගෙන ඇති පරිදි මෙසේ විල්පත්තුව උතුරේ කල්ලාරු - මරිච්චි කඩ්ඩි ප්‍රදේශයේ ඉඩම්ලාභී බහුතරය යුද්ධයෙන් අනාථ වූවන් නොවේ. පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ මුස්‌ලිම් බහුතරයකටද මෙම වනාන්තර ප්‍රදේශවලින් ඉඩම් ලබාදී තිබේ. ඒ අනුව අපට තර්ක කළ හැක්‌කේ හුදෙක්‌ අනාථයින් මුවාවෙන් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා තමන්ගේ ඡන්ද පදනම වැඩිකර ගැනීමට නොහොත් මුස්‌ලිම් ව්‍යාප්තවාදය උදෙසා අති විශාල ක්‍රියාමාර්ගයක්‌ ගෙන ඇති බවයි. එහෙත්, ගැටළුවකට ඇත්තේ මෙසේ රජයේ ගණ වනාන්තර බුල්ඩෝසර් කර වනසා දමමින් මහත් පරිසර විනාශයකට මඟ පාදමින් භූමිය අයථා ලෙස පටු අරමුණු වෙනුවෙන් භාවිතයට ගනිද්දී එය මධ්‍යම රජයේ කිසිදු බලධාරියකු, කමිටුවක්‌, හෝ ආයතනයක්‌ මගින් අධීක්‍ෂණයට ලක්‌ නොකිරීමය, අධීක්‍ෂණය කළ යුතු ප්‍රධාන පුද්ගලයා මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාය. එහෙත් ඔහු දෙබිඩි චරිතයකි. රජය වෙනුවෙන් පෙනී සිටිමින් හේ වනාන්තර, වනජීවීන්ගේ විනාශය හමුවේ අඳ ගොළු බිහිරකු සේ ක්‍රියාකර ඇති අතර ඒ මදිවාට ඒවා සාධාරණීයකරණය සඳහාද කටයුතු කරයි.

විල්පත්තු උතුරු අභය භූමියේ ඉඩම් අල්ලා ගැනීම මෙම නැවත පදිංචිකිරීම යටතේ සිදුවූ පළමු ඉඩම් කොල්ලයයි. එම අවස්‌ථාවේදීද රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා කීවේ එම ඉඩම් විල්පත්තුවේ නොවන බවකි. එසේම එවක වනජීවී ඇමැති විජයමුණි සොයිසාද එහි නිරීක්‍ෂණයක්‌ සිදුකර පැමිණ එය විල්පත්තුව නොවේ යෑයිද ඒවා වන සංරක්‍ෂණ ඉඩම් යෑයිද කීවේය. එහෙත් සැබෑව නම් අවසානයේදී වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට සිදුවූයේ එය තමන්ගේ අභයභූමියක්‌ ලෙස පිළිගැනීමටය. එහි පදිංචිව සිටි පවුල් 30 කට අධික පිරිසක්‌ ඒ අනුව වනජීවී ආඥපනත යටතේ මන්නාරම් අධිකරණයේ නියෝගයෙන් ඉවත් කෙරිණි.

මෙවර මෙම ඉඩම් කොල්ලයට ගොදුරු වූයේ වන සංරක්‍ෂණය සතු ඉඩම්ය. පෙර පරිදිම රජයේ කැළෑ නොවේ යෑයි කියූ බලධාරීන්ම අවසානයේ මේවා ලිත ඉල්ලීම් මත ලිපියක්‌ මගින් නැවත පදිංචි කිරීමට පවරා දුන් ඉඩම් බවට පිළිගන්නා ලදී.

මෙවන් තත්ත්වයක්‌ තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වනාන්තරය හෙළි පෙහෙළි නොකරන ලෙසටත් නැවත පදිංචිය තාවකාලිකව නවතන ලෙසටත් නියෝගයක්‌ නිකුත් කළද, එවන් නියෝග පිළිගන්නට හෝ නියෝග ක්‍රියාත්මක කරන්නට හෝ නිලධාරියකු බලධාරියකු කල්ලාරු මරිච්චිකඩ්ඩි ප්‍රදේශයේ නැත. එම ප්‍රදේශයට බලපාන්නේ වෙනම නීතියකි. තවදුරටත් එහි වනාන්තර කපමින් දැවැන්ත දැව ජාවාරමක්‌ සිදුකරන අතර ඉඩම් අල්ලාගැනීම සහ අනවසර පදිංචියද දිගින් දිගටම සිදුකර ගෙන යයි. මේ බව අපට පසක්‌ වූයේ ඉකුත්දා විල්පත්තු උතුරු මරිච්චිකඩ්ඩි මොල්ලිකුලම හා සීලාවතුර ප්‍රදේශයේ කළ සංචාරයකදීය.

විල්පත්තු ජාතික වනෝදනයේ සීමාව කෙළවර වන්නේ මොල්ලිකුලම වනජීවී අඩිවි ආරක්‍ෂක කාර්යාලයට යාබද මෝදරගංආරු ඔයෙනි. එතැන් පටන් උතුරින් විල්පත්තුව උතුරු අභය භූමිය පිහිටා ඇත. මෙම අභ්‍ය භූමියද නැවත පදිංචියට ගොදුරු වුවත් දැන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් එය යළිත් තහවුරු කර තිබේ. මේ වනවිට ඊට අදාළ මායිම්ගල් දැමීම සිදුකරතත් එය සිදුවන්නේ ඉබි ගමනෙනි. ඒ සඳහා වාහන හා අනෙකුත් කම්කරු පහසුකම් හරිහැටි ලබා දෙන්නට වනජීවී දෙපාර්තමේන්තුව ක්‍රියාකර නැත.

උතුරු අභය භූමියෙන් උතුරට ඇත්තේ මොල්ලිකුලම ප්‍රදේශයයි. මෙතැන් පටන් උතුරු දෙසට මරිච්චිකඩ්ඩි ප්‍රදේශයේ මීට වසර හයකට පෙර තිබුණේ අති විසල් ගණ වනාන්තරයකි. එය විල්පත්තුව හා යාවුණු එකම වනාන්තරයකි. නොහොත් මේ සියල්ලම විල්පත්තු වනාන්තරයම විය. මරිච්චිකඩ්ඩි සිලාවතුර මාර්ගය අතිශය දුෂ්කර වල ගොඩැලිවලින් පිරි ගුරුපාරක්‌ වූ අතර මාර්ගයට දෙපසින් තිබුණේ වන අලින් ගැවසෙන මහා වනාන්තරයයි. එහෙත් දැන් එසේ නොවේ. මන්නාරමේ සිට සිලාවතුර හරහා විල්පත්තු බෝඩරය (සීමාව) දක්‌වාම පුළුල් කාපට්‌ මාර්ගයක්‌ තනා ඇත.

(පුත්තලම - එළුවන්කුලම විල්පත්තු මායිම දක්‌වා මාර්ගයද එසේමය.)

විදුලි රැහැන් පද්ධතියක්‌ද සහිත මෙම සමස්‌ථ ප්‍රදේශයම අද නගර සංකීර්ණයක්‌ තරමට පහසුකම් සපයාදී මුස්‌ලිම්වරුන් වෙනුවෙන් ප්‍රදානය කර ඇත. "ජාසිම් සිටි" නම් වන මෙම ප්‍රදේශයේ විදෙස්‌ ආධාර යටතේ ස්‌ථීර ගොඩනැගිලි නිවාස ඉදිකර දී ඇති අතර තවදුරටත් අලිමංකඩ හා වනරක්‍ෂිත විනාශ කරමින් තාවකාලික ටකරං ගෙවල් රැසක්‌ද තනාදී ඇත. එනම් ඉතිරි රක්‍ෂිත වනාන්තර හා අලිමංකඩද යන සියලු වනගත ඉඩම් පදිංචිය සඳහා යොදාගනු ලබන්නේ පරිසරය පිළිබඳ අබමල් රේණුවක තරම් වටිනාකමක්‌ ගැන නොසලකාය.

මෙම ප්‍රදේශයේ ගුවන් ඡායාරූප සහ ගූගල් සිතියම් මගින් මෙම දැවැන්ත වන විනාශය තේරුම් ගත හැකිය. එහෙත්, මෙතරම් ගෝලීය පාරිසරික විනාශයක්‌ සිදු වෙද්දීත් ජාතික හෝ අන්තර්ජාතික මට්‌ටමින් ඊට එරෙහිව පරීක්‍ෂණ සිදු නොවීම කණගාටුවට කරුණකි. යුද්ධය නිසා වසර 30 ක්‌ ආරක්‍ෂාවුණු මෙම වනාන්තර වසර හයක්‌ තුළ අතිශය බරපතල අයුරින් විනාශයට ලක්‌වී ඇති අතර එය තවදුරටත් සිදුවීම විශ්මයකි. පරිසරවේදීන්, මාධ්‍ය සහ බහුජන සංවිධාන කොතරම් හඬ නැඟුවත් විරෝධතා දියත් කළත් බලධාරීන් බිහිරන් සේ ක්‍රියාකරනු පෙනේ.

විල්පත්තු උතුරේ අප කළ සංචාරයේදී මේ පිළිබඳව ඉතා හොඳින් අප අධ්‍යයනය කළ අතර අපට දැනගන්නට ලැබුණේ වනාන්තර ඉඩම්වලින් වන්නාතරය දෙසට මාර්ග කපා පදිංචිකරුවන් නැතත් විදුලි වයර් කණු කැළෑව දෙසට ඇද විදුලිය පහසුකම් ලබාදී ඇති බවකි. එනම් තවදුටත් පදිංචිකරුවන් අපේක්‍ෂාවෙන් එහි ඉඩම් අතිරික්‌තයක්‌ තබාගෙන ඇති බවකි. එසේම මෙම වනාන්තරවලින් කිසිදු අවහිරයකින් බාධාවකින් තොරව දැව, පස්‌, වැලි කපා ට්‍රැක්‌ටර් හා ට්‍රක්‌රථ මගින් ගෙන යන ලබන බවකි. එසේම පිටතින් එහි පැමිණෙන පුද්ගලයින් කවුරුන්ද යන්න විමසීම සඳහා වෙනමම කණ්‌ඩායම් යොදවා ඇති බවද අප අත්දුටු සත්‍යකි.

මෙවන් අවසනාවන්ත තත්ත්වයකින් විල්පත්තු හා කල්ලාරු වනාන්තර අද පීඩා විඳී. එහෙත් එහි වෘක්‍ෂ දේවතාවන් අලි ඇතුන් වන සතුන් නඟන දුක්‌ඛ දොaමනස්‌සයන් අෙ¹aනාවන් අසන්නට කෙනෙකු අද ලක්‌දෙරණ තලය මත නැත. එහෙයින් මෙවන් විනාශයන්ට හෙණ ගෙඩි ඉල්ලා සිටින්නට අපට සිදුවන්නේ තිස්‌තුන් කෝටියක්‌ දෙවියන්ගෙනි.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප- හර්ෂන ජයතිලක, රජිත ප්‍රනාන්දු, රවීන්ද්‍ර ප්‍රේමලාල්
විශේෂ ස්‌තූතිය - උපාලි ගුණවර්ධන
උපුටා ගැනීම http://www.divaina.com/2015/07/05/feature01.html - Jul 5, 2015

විල්පත්තු විනාශය ගැන ජනපති කොමිසම අදහස් විමසයි
උපුටා ගැනීම - http://dinamina.lk 
මන්නාරම විල්පත්තු ජාතික වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිලධාරීන් මේ දිනවල මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිති.

ඒ එස්.බී.ඒ.බී. බොරලැස්සගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිසමේ නිලධාරීන් විසින්.

ඔවුන්ගේ මුල් ගම්බිම්වල අයිතිය තහවුරු කරවීම සඳහා වූ මුල් ඔප්පු ඇතුලු බොහෝ ලියකියවිලි කොමිසමේ නිලධාරීන් වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන් යුද්දෙට පෙර සිටම පරම්පරාගතව මෙම ප්‍රදේශවල ජීවත් වන හෙයින් එම අයිතිය තමන්ට ලබා දෙන ලෙසටයි.
උපුටා ගැනීම - http://dinamina.lk -  Monday, සැප්තැම්බර් 11, 2017 

Wednesday, October 11, 2017

උමාඔය පිළිබඳව පල වූ ලිපි එකතුව

අපට හානිවන තරමට සමාගමේ ලාභය ඉහළයි - රවීන්ද්‍ර කාරියවසම්
තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

උමා ඔය ව්‍යාපෘතියෙන් ඇතිවන විනාශය වැඩිවන තරමට එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වූ ෆරබ් නම් ඉරාන සමාගමට රක්ෂණායතන මගින් මුදල් ලැබෙන බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.

ව්‍යාපෘතිය විනාශකාරීව සිදු කරන නිසා මේ වනවිට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජල උල්පත් රැසක් සිඳී ගොස් තිබෙන බව ද ඔහු පවසයි.

‘‘ජලය නොමැති කමින් ඉඩම් අක්කර දහස් ගණනක වගා කටයුතු අතහැර දැමීමට ගොවීන්ට සිදුව තිබෙනවා.   බණ්ඩාරවෙල නගරයේ දම්රෝ ගොඩනැගිල්ල,  කුමාරි ගොඩනැගිල්ල සහ අලුතෙන් ඉදිකරමින් පවතින මහල් හතකින් යුත් ගොඩනැගිල්ල ආශ්‍රිත කලාපය දැඩි ගිලාබැසීම්වලට ලක්වෙලා. ඉදිරියේදි දැවැන්ත ගිලා බැසීමක ලකුණු දැනටමත් මෙම ප්‍රදේශයේ පෙනෙන්නට තිබෙනවා.

බණ්ඩාරවෙළ  උඩ පේරුව,  පහළ පෙරුව, මැද පේරුව,  අම්පිටිය,  පල්ලේපේරුව,  කරගහවෙල,  බොරලන්ද, රජ කොටුව,  පුහුල්පොල,  දික්පිටිය,  ඉහළකොටවර,  පහළ කොටවර,  මඩුවේ ගෙදර,  අඔ දණ්ඩා ගම,  අභයපුර,  කන්දේකැටිය ආදි ප්‍රදේශ රැසක ජනතාවට බීමට දිය පොදක් නොමැති තරමට ළිං හිඳිලා.  දැනට මෙම ප්‍රදේශවලට වතුර ලීටර් 180000 ක් දිනකට සපයනු ලබන්නේ  බණ්ඩාරවෙල ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ මැදිහත් වීමෙනි. යහමින් ජලය තිබූ මධ්‍යම කදුකරයේ දැනට දැවැන්ත ජල හිඟයක් උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය විසින් අත්පත් කර දී තිබෙනවා.  ෆරාබ් ඉරාන සමාගම  උමා ඔයේ කැණිම් කිරීම හා භූගත ජල නළය කණින විට විටින් විට සිදු වූ ජල කාන්දුවීම් නිසා මධ්‍යම කදුකරයේ ජල උල්පත් දහස් ගණනක් මේ වනවිට සිදී ගොස් අවසන්.

පසුගිය වසරේ හා මේ  වසරේ උමඟ කැනීම් අතරතුර මෙරට ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරා ලීමට හා ගහ කොළ සතා සිව්පාවාගේ ප්‍රයෝජනයට ගැනීමට තිබූ ජල ලීටර් කෝටි ගණනාවක් අපතේ ගියා. උමග විදින විට මෙම ජල උල්පත් හා භූගත ජල තැටි හමුවන බව එම සමාගම දැන සිටිය යුතුයි.   උමඟ කණින මාර්ගය සම්බන්ධව අධ්‍යයන වාර්තා මගින් අදහස් ලබා ගන්න ඕනෑ. නමුත් මෙරට ජල සම්පත පිළිබද තුට්ටුවකට ගණන් නොගත් මෙරට පරිසර අධිකාරිය හා අනෙක් ආයතනත් මැති ඇමැතිවරුනුත්   මධ්‍යම කදුකරයේ ජල උල්පත් හා භූගත ජලය විනාශ කිරීමට   ඉරාන සමාගමට අවසර දුන්නා.  මධ්‍යම කඳුකරයේ ජල උල්පත්  ජලය සැපවූයේ බණ්ඩාරවෙල හා අවට ප්‍රදේශවලට පමණක් නොවෙයි,  මධ්‍යම කදුකරයේන්   ගලන ගංගා එකසිය තුනට හා දියකදුරු දහස් ගණනකටයි.

වැස්සෙන් වැටෙන ජලය පස තුළ ඇති කුහර තුළට හා මව් පාෂාණය හා මතුපිට පාෂාණය අතරත් මව් පාෂණය තුළත් ගබඩා වෙනවා.    එම ජලය පහළ ස්ථානවලින් උල්පත් ලෙස ගංගා ඇළදොළවලටත් ළිංවලටත් එකතු වෙනවා. ජල ගබඩාවන් හරහා උමං හාරන විට ජල ගබඩාව සිදුරු වෙලා  ජලය සියල්ල උමං මාර්ග දිගේ එළියට යනවා.

ස්වභාවයෙන්ම මධ්‍යම කඳුකරය සිදුකරන්නේ වැස්සේන් වැටෙන ජලය   ගබඩාවක් ලෙස ආරක්ෂා කර තබාගන වැසි නෙමැති කාලවල එය ගංගාවන්ට නිදහස් කිරීමයි.   ඒ ආකාරයට නිදහස් කිරීමට තිබූ ජල ගබඩාවන්ගේන් සැලකිය යුතු ප්‍රමාණයක් දැනට සිදුවන ජල කාන්දු නිසා සහ සමස්ත උමා ඔය ව්‍යාපෘතිය නිසාත් විනාශ වුණා.  උමා ඔය ව්‍යාපෘතිය නිසා පැන නගින   ජල හිඟය පළමුව බණ්ඩාරවෙලට බලපෑවත්  දෙවනුව හා තෙවනුව සමස්ත රටටම බලපානවා. මෙය බණ්ඩාර වෙල මිනිසුන්ගේ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. මෙය රටේ සෑම දෙනාගේම ප්‍රශ්නයක්.   .

මාතැටිල්ල ඔය අසලින් ආරම්භ වී රාවණා ඇල්ලට පහළින් මතු වන කිලෝමීටර් 23 දිග උමං මාර්ගය සැකසීම සඳහා මෙරට  උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වු ඉංජිනේරුවන්   ග්‍රිල් ඇන්ඞ් බලාස්ට් ක්‍රමය    හා ග්‍රිලිං  ක්‍රමය යොදාගෙන තිබෙනවා.  කුමන ක්‍රමවේදයක් යොදාගත්ත ද අඩු වැඩි වශයෙන් දෙදරීම් සිදුවෙනවා.  කඳුවල සිදුවන දෙදරීම් නායයෑම්වලට මූලික හේතුවක්.    ලෙව පුරා එවන් අත්දැකීම්  විශාල සංඛ්‍යාවක් තිබෙනවා. කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතියේ උමඟ කැනීම ආරම්භ වූ දා පටන් ඩයබරා, මාතැටිල්ල ඔය ඉවුරු හා ඒ ආසන්න ප්‍රදේශවල විශාල වශයෙන් නායයෑම ආරම්භ වුණා.   බණ්ඩාරවෙල ආශ්‍රිත ප්‍රදේශය මේ වනවිට කුඩා නායයෑම්වලට ලක්වෙමින් තිබෙනවා.   තව වසර කිහිපයක් ඇතුළත බණ්ඩාරවෙල අශ්‍රිත ප්‍රදේශ ගණනාවක් නාය ගොස් මිනිස් ජීවීත විනාශ වීම වළකාලිය නොහැකියි. 19 වැනි සියවස  මුල් මුල්භාගයේ කළ මෙවන් ව්‍යාපෘතීන් නිසා ප්‍රංශයේ නැගෙනහිර ප්‍රදේශයේ නායයෑමෙන් මිනිසුන් 450 ට වැඩි ප්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත් වු අතර ගම්මාන ගණනාවක් විනාශ වී ගියා.  20 වැනි සියවසේ මුල් භාගයේ ඉතාලියේ වාජෝන් ගම්මානයට ආසන්නව සිදුකරමින් තිබුණු උමං හෑරීම සහ ජලාශ්‍රිත ඉදිකිරීම් නිසා නායයෑම්වලින් 2500 ට වැඩි පිරිසක් මිය ගියා.  පැනමා ඇළ කැනීමේ දී ඒ අවට කඳුපන්ති හැටහය වතාවක් නාය ගොස් තිබෙනවා.

ෆරාබ් සමාගම ඉරානයේ විනාශකාරී ව්‍යාපෘති සිදු කළ සමාගමක්. ජලය හා බලශක්තිය සම්බන්ධව සිය ව්‍යාපෘති දියත් කරන මෙම සමාගම   ලෝකයේ රක්ෂණ සමාගම්වල රක්ෂණය කර තිබෙනවා.  එමෙන්ම ෆරාබ්  සමාගමට අයිතිවාසිකම් කියන ඉරානයේ තෙහෙරාන් නුවර   ෆරාබ්  රක්ෂණ සමාගමක් තිබෙනවා. ලොව පුරා උමා ඔය වැනි ව්‍යාපෘති සියල්ල Insurenc Exper Farab රක්ෂණය කර තිබෙනවා. එම රක්ෂණ සමාගම වෙනත් රක්ෂණ සමාගම්වල නැවත රක්ෂණය කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතිය නිසා හානි සිදුවන සෑම මෙහොතක ව්‍යාපෘතියට සිදු වූ හානිය වෙනුවෙන්   වන්දි ලබා ගන්නවා . ඒ  නිසා ලංකාවට    පරිසරයත්, ජනයාට  තම  ජීවිතත් අහිමි වන වාරයක් වාරයක් පාසා තෙහෙරාන් නුවර සාහිද් සාමති අංක 41 පිහිටි ව්‍යාපාරික ස්ථානයට මුදල් ගලා එනවා.  එයින් කෙටසක් ලංකාවේ  විනාශය යට ගැසීමට කොමිස් ලෙස ගෙවනවා.

ලංකාවේ ව්‍යවස්ථාවට අනුවත් පරිසරය ආරක්ෂා කිරීමට රටක් ලෙස රජය බැඳී සිටිනවා . උමා ඔය ව්‍යාපෘතිය කියන්නේ මෙරට අසාර්ථකම ව්‍යාපෘතියක්.  නමුත් තව දුරටත් පරිසරය හා ජන ජීවිතය විනාශ කරමින් එය ඉදිරියට කරගෙන යාමට ආණ්ඩුව උපකාර කරමින් ඉන්නවා.  සියලු පරිසර නිතී මෙහිදී උල්ලංඝනය කර තිබෙනවා. මෙය පරාජය කරන්න සියලු දෙනාම එකා වගේ එකතු වෙන්න ඕනෑ. ‘‘
උපුටා ගැනීම - ලංකාදීප 2017-07-05 එසැණ පුවත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සම්මානිත භූගෝලවිද්‍යා මහාචාර්ය ජිනදාස කටුපොත

උමා ඔයෙන් පෝෂණය වන උමා ඔය නිම්නය මධ්‍ය කඳුකරයේ සරුසාර භූමි ප්‍රදේශවලින් එකකි. වර්ග කිලෝමීටර් හත්සිය විස්සකින් සමන්විත උමා ඔය; බොඹුරුඇල්ල ඔය, කුඩා ඔය, අඹේවෙල ඔය, මාතැටිල්ල ඔය, මාදොළු ඔය යන අතු ගංගා එකතු කරගනිමින් කිලෝමීටර් 75ක් දුර ගෙවා රන්ටැඹේ දී මහවැලි ගඟට එකතු වේ. මෙහි අක්‌කර සීයකට නොවැඩි වාරි ව්‍යාපෘති බොහාමයක් ක්‍රියාත්මක වන අතර, උමා ඔය ද්‍රෝණියේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය අක්කර 28,000කට ආසන්නය. එයින් අඩක්ම අක්කර සීයය ට අඩු බිම් ය. මෙහි පවතින කුඹුරු වැඩි ප්‍රමාණයකට ජල හිඟය නිසා යල කන්නයේ දී වගා කටයුතු කිරීමට පවා නොහැකිය. මීට අමතරව එළවළු බෝග වගා කෙරෙන විශාල ගොඩ ඉඩම් ප්‍රමාණයකට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි මෙමඟින් ලබාගත නොහැකිය.

එසේම කිරිගව පාලනය වැඩිපුරම කෙරෙනුයේද උමා ඔය නිම්නයේ ය. අනෙක් අතට උමා ඔය නිම්නය ආර්ථික උල්පතකි, රටට මහත් සම්පතකි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ උමා ඔය නිම්න සංවර්ධනය ද එකතු වූයේ එහි ප්‍රථිඵලයක් වශයෙනි. ඒ අනුව මහියංගන රොටලවෙලදී මහවැලි ගඟ හරස්‌කර ජලාශය ඉදිකිරීම, මිනිපේ ඇළ අඹන් ගඟ දක්‌වා ගෙන ගොස් කවුඩුල්ල දක්‌වාත් දිගු කිරීම, මාදුරු ඔය දකුණු ඉවුර මගින් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට ජලය සැපයීම, උමාඔයේ ඉහළ ජල විදුලිබලාගාරය (මෙගාවොට් 25) සහ උමා ඔය පහළ ජල විදුලි බලාගාරය (මෙගාවොට් ‌30) ඉදිකිරීම ද මීට අයත්වේ. එසේ හෙයින් උමා ඔය පාරිසරික කලාපය මෙරට හදවත බඳුව රැක ගත යුතුවේ.

උමා ඔය, එහි ස්වාභාවික ගමන් මඟෙන් බැහැරට ගෙන කිරිඳි ඔය නිම්නයට හරවා මොණරාගල හා දකුණු පළාතට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය ලබාදීම, කලක සිට සාකච්ඡා වූ මාතෘකාවකි. එහෙත් මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව නම් උමා ඔය හැරවීම ප්‍රයෝගිකව සිදු කරන්නේ කෙසේද යන්නය.

එය පොළොව මතුපිටින් හැරවීම කෙසේවත් කළ නොහැකිය. එනිසා වැලිමඩ, පුහුල්පොළ සිට බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගයට යටින් ඉදිකෙරෙන භූගත උමං මාර්ගයකින් ජලය ගෙනයාම වඩා යෝග්‍ය බව තීරණය කෙරුණි. එසේ දකුණට ගෙනයනු ලබන ජලයෙන් හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ, ක්‍රීඩාංගණ, සංචාරක හෝටල්, කර්මාන්ත ප්‍රදේශ සඳහා ජලය ලබා දීමටත්, කිරිඳි ඔය නිම්නයේ වගා ඉඩම් හෙක්‌ටයාර් 8,000-10,000 කට ජලය සැපයීමටත්, මෙගාවොට්‌120ක ජලවිදුලිය නිෂ්පාදනය කිරීමටත් ඒ අනුව යෝජනා විය.

උමා ඔය විනාශය

මේ සඳහා වැලිමඩ පුහුල්පොළදී ඔය හරස්‌කොට එක් ජලාශයක් හා වැලිමඩ ඩයරබා හිදී මාතැටිල්ල ඔය හරස්‌කොට තවත් ජලාශයක්‌ ඉදි කර, පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශයට කිලෝ මීටර් 3.5ක දිගකින් යුත් හා මීටර් 4.1ක් පළල උමඟක්‌ ඉදිකිරීමත්, ඩයරබා සිට කුරුකුදේගම, බිඳුණු වැව, හීල් ඔය, අඹදණ්ඩේගම යන ගම්මාන යටින් කරඳගොල්ල දක්වා කිලෝ මීටර් 19 පමණ දිගින් හා මීටර් 4.3 පළලින් යුත් උමං මාර්ගයක් ඉදිකිරීමත් යෝජනා විය.

මීට අමතරව ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වැල්ලවායට මායිම්ව භූගත විදුලි බලාගාරයක් ඉදිකිරීම හා එහි සිට අලිකොට ආර දක්‌වා කිලෝ මීටර් 3.3ක් දිගින් යුත් හා මීටර් 4.1ක් පළලින් යුත් ජලය පිට කිරීම සඳහා උමගක් ඉදිකිරීම ද, විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කිලෝ මීටර් 1.5 කින් යුත් උමගක්‌ ඉදිකිරීම හා විදුලි බලාගාරයේ සිට බදුල්ල උපපොළ දක්‌වා අධිබලැති විදුලි රැහැන් මාර්ග ඉදිකිරීමට ද මෙමගින් යෝජනා විය. භූ විද්‍යාත්මකව බලන කල, ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ ගිනිකොණ බෑවුම ආශ්‍රිතව, ඉහළ ඌවේ කඳුකරය යටින් උමං මාර්ග ඉදිවීම එම ප්‍රදේශවල ජල මුලාශ්‍රවලට විශාල තර්ජනයක් වනවා පමණක් නොව, ඉදිරියේදී නාය යෑම් තත්ත්ව උග්‍ර වීමටද එය අනිවාර්ය සාධකයක් බවට පත්වේ. දැන් සිදුවී තිබෙන්නේ එහි ආරම්භයයි.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට නිවාස 7,000ක පමණ ඉරිතලා, පුපුරා, ගිලාබැස හානියට පත්ව ඇති අතර, බොහෝ නිවාස මුළුමනින්ම විනාශ වී ඇත. ළිං, පෝෂක උල්පත්, දියකඳුරු 3,500 ක් පමණ සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත. වැලිමඩ පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා කිලෝමීටර් 3.5 උමං මාර්ගය සැකසීම සඳහා විශාල ගල් පර්වත කඩා ඉවත් කිරීම සඳහා ගල් වෙඩි යෙදීම හේතුවෙන් පුහුල්පොළ, ලුණු වත්ත, කොන්කණුවෙල යන ප්‍රදේශවල නිවාසවලට විශාල වශයෙන් හානි සිදුව ඇත.

මීට සමගාමීව ඩයරබා ජලාශයේ සිට කරඳගොල්ල දක්වා උමං මාර්ගය තැනීම හේතුවෙන් ගම්මාන රාශියකම ළිං දිය උල්පත් සිඳී යෑම නිසා පානීය ජල අවශ්‍යතාවයවත් සපුරා ගත නොහැකි තත්ත්වයට ජනතාව පත්ව ඇති අතර, උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය විසින් මේ වන විට ගැටලු රාශියක් ජනිත කර ඇත. දැනට මෙම ප්‍රදේශවලට ජල අවශ්‍යතා සපයනු ලබන්නේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ය.

එය දිනකට ලීටර් 180,000 පමණ වේ. එසේම බණ්ඩාරවෙල හා ඒ අවට ගම්මාන රාශියක්ම මේ වන විට අවදානම් කලාප බවට හඳුනාගෙන ඇත. බණ්ඩාරවෙල නගරයේ දම්රෝ ගොඩනැඟිල්ල, කුමාරි ගොඩනැඟිල්ල සහ අලුතෙන් ඉදිකරමින් පවතින මහල් හතකින් යුත් ගොඩනැඟිලි බොහෝ ප්‍රමාණයක් මේ වන විට ගිලාබැසීම්වලට ලක් ව ඇත.

පසුගිය රජය යටතේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ඉතාම බරපතළ තත්ත්වයක් පෙන්නුම් කළේය. ඒ හාරමින් තිබූ උමග තුළට ජලකාන්දු වීමට පටන් ගැනීම නිසා ය. ඒ සමගම ගෙවල් ඉරිතලාගොස් ගිලාබැසීමේ තත්ත්වයක්ද ඇති විය. එසේම ළිංවල ජලයද සිඳීයෑමට පටන් ගත්තේය. මේ පිළිබඳව වත්මන් රජයට දැනුම් දීමෙන් අනතුරුව 2015 මාර්තු මාසයේදී රජය විසින් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළේය.

කෙසේ හෝ නැවතත් මෙම උමා ඔය ව්‍යාපෘතියට අදාළ කැණීම් කටයුතු ආරම්භ කරන ලද අතර, ඒ හේතුවෙන් මධ්‍යම කඳුකරයේ භූගත ජලය විශාල වශයෙන් කාන්දු වන්නට පටන් ගත්තේය. එවකට එය තත්පරයට ජලය ලීටර් 875 ක් හෙවත් දිනකට ජලය ලීටර් මිලියන 75-80 කට ආසන්න ප්‍රමාණයක් වූ අතර, උමග තුළින් විශාල වශයෙන් ජලය බැහැර විය.

2017 මැයි/ජූනි වන විට පනංගල ප්‍රදේශයෙන් උමඟ තුළට තප්පරයට ලීටර් 976 ක ප්‍රමාණයකින් ජලය කාන්දුවන බව සොයා ගත් අතර, මෙය දිනකට ලීටර් මිලියන 84 පමණ අපතේ යාමක් බව වාර්තා විය. බෝතල් කළ උල්පත් ජල ලීටරය රුපියල් 80/- කට මිලදී ගන්නා රටක, දිනකට ජල ලීටර් මිලියන 84 පමණ අපතේ යාම පිළිබඳව තක්සේරු කරන්නේ කවර අගයකින්ද යන්න ජනතාව වන ඔබම කල්පනා කර බැලිය යුතුය.

ඇස්තමේන්තු වෙනස් කිරීම

මෙම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – 2006 දී සකස් කරනු ලැබුවේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගමය. එම ඇස්තමේන්තුවට අනුව උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍ර‍මය සදහා වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 155 ක් විය. කැනඩාවේ ඩබ්ලින් උපදේශන සමාගම ඇස්තමේන්තු කිරීමෙන් වසර 3 කට පසුව මෙම ව්‍යාපෘතිය ඉරානය සමාගමකට පැවරීමට පසුගිය රජය කටයුතු කළේ කුමන හේතුවකින්ද යන්න අදටත් ගැටලුවකි.

කෙසේ හෝ ඉරාන ‍තෙල් සමාගමක් වන ෆරාබ් (FARAB) ආයතනය මෙම ව්‍යාපෘතියට මැදිහත් විය. 2008 අප්‍රේල් මස ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පිඹුරුපත් සකස් කර තිබුණු අතර එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාට එම ගිවිසුම අත්සන් කිරීමට බලය පවරා තිබුණි.

ඊට ඔහු දැඩිව විරෝධය පෑවේ නියමිත ශක්‍යතා අධ්‍යයනයකින් යුතු වාර්තාවක් නොමැතිව තමාට එය අත්සන් තැබිය නොහැකි බවත් පවසමින් බව පැවසේ. පසුව ඇස්තමේන්තු කිරීමේ කොන්දේසිය සමග ‘හිස් ගිවිසුමක්’ ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අත්සන් තබා ඇත. මේ අතර ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු මුදල ඉහළ නංවන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවේ දී ලංකා රජයේ නිලධාරීන්, ඉංජිනේරුවන් මෙයට වඩා වැඩි මුදලක් මේ ව්‍යාපෘතියට වැය කිරීමට එරෙහි විය.

කෙසේ නමුත්, 2008 දෙසැම්බර් මස ලංකාවේ අන්ත දුෂිත නිලධාරීන් පිරිසක් ද ඉරාන විශේෂඥයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ද එක්ව සකස් කරන ලද ඇස්තමේන්තුව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 548කි. එය ශ්‍රී ලංකාවේ වාරි ඉංජිනේරුවන් එකඟ වූ මුදලට වඩා ඇමරිකානු ඩොලර් මඟින් 248 ක වැඩි වීමකි. වැඩිවීම ආසන්න වශයෙන් රුපියල් මිලියන 76,320 කි. එයින් 85%ක් ඉරාන රජය මඟින් ද, 15% ක් ශ්‍රී ලංකා රජය මඟින් ද දැරීමට ගිවිසුම අනුව දෙරට එකඟත්වය පළ කරනු ලැබීය.

ඇස්තමේන්තු කර ඇති 1,670ක සේවක සංඛ්‍යාවෙන් බහුතරය, එනම් 1334ක් ම කම්කරුවන් ය. එම කම්කරු රැකියාවලින් 1,197ක් ශ්‍රී ලංකාවේ සේවකයන් ඉංජිනේරු රැකියා ඇතුළු ඉතිරි වන අතර පුරප්පාඩු සියල්ල ඉරාන ජාතිකයන්ගෙන් පිරවීමට තීරණය වී තිබිණ.මේ පිළිබඳව ද අපක්ෂපාතීව කරුණු සොයා බැලිය යුතුය.

ඉරානයට බාර දීම

ව්‍යාපෘතිය සඳහා පැමිණි වෙනත් රටවල් හා වෙනත් මුල්‍ය ආයතන මෙම ව්‍යාපෘතිය භාර නොගත් අතර, මහින්ද රාජපක්ෂ රජය 2009 වර්ෂයේ අප්‍රේල් මාසයේ 29 වන දින ඉරාන රජයේ දායකත්වයෙන් ඉරානයේ අපනයන සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර(ණය ආධාර) සහිතව FARAB Consultant සමාගමට මෙහි කටයුතු නිලවශයෙන් භාර කළේය. ඒ අනුව ශ්‍රී ලංකා හා ඉරාන ජනාධිපතිවරුන් ගේ සහභාගීත්වයෙන් තොරව යටතේ උමාඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2009 අප්‍රේල් මස 29 දින සිට ආරම්භ කෙරිණි. එහිදී කිසිදු සක්‍යතා අධ්‍යනයක් හෝ පාරිසරික ඇගයීම් වාර්තාවක් හෝ අධ්‍යනයක් නොකළ බව සඳහන් වේ.

අන්තර්ජාලයේ ඇති දත්ත අනුව ඉරානයේ ෆරාබ්(FARAB) සමාගම ජල උමං කැණීම සඳහා වූ පුරෝගාමී ආයතනයක් නොවේ. ඇතැම් විට මේ සඳහා යෝග්‍ය වෙත් සමාගම් ඉරානයේ තිබෙන්නට ඇත. කෙසේ නමුත් අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු අනුව ෆරාබ් (FARAB) සමාගම මේ වන විට මෙවැනි බලශක්ති ව්‍යාපෘති 35ක් පමණ සිදු කර ඇති අතර, එයින් 26ක්ම ඉරානය තුළ කළ ඉඳිකිරීම් ය. අනෙක් ඉඳිකිරීම් නවය සිදු කර ඇත්තේ අසර්බයිජාන්, ඉරාකය, කෙන්යාව, තජිකිස්තාන්, පාකිස්තාන් හා ආර්මෙනියා යන රාජ්‍යන් තුළය.

වැඩ නොදන්නා සමාගමක්

එසේම ඉහත සඳහන් ව්‍යාපෘති 35න් 19ක්ම භුමිය මතුපිට කළ ඉඳිකිරීම් ය. එසේම භූගත උමං මාර්ග කැණීම් 8ක් පමණ මේ ව්‍යාපෘති අතර තිබේ. නමුත් ඒ එකක්වත් අප රටේ භූ පිහිටීම් හා කිසි ලෙසකින්වත් සමාන භූමිවල සිදු කළ ව්‍යාපෘති නොවේ. මේ අනුව ප්‍රත්‍යක්ෂ ලෙසම කිව හැක්කේ මෙම සමාගම උමං කැණීම සදහා නොර්වේ, ස්වීඩන්, ජර්මන්, චීන, ජපන් විද්‍යාඥයින් තරම් නිපුණ වූවන් නොවන බවය.

අපේ රට නිවර්තන කලාපීය රටක් වන අතර අපේ භූස්කන්ධය ප්‍රාග්කේම්බ්‍රීය පාෂාණවලින් සමන්විත විපරීත අවසාදිත/ විපරීතආග්නේය පාෂාණ වුව ද මේවා අවුරුදු මිලියන 1500- 2000 හෝ ඊටත් වඩා පැරණිය. භූ විද්‍යාත්මකව මධ්‍යම කඳුකරයේ පිහිටි පාෂාණවල තත්ත්වය සලකා බැලීමේ දී කුස්තුර, විවර, ව්‍යාකෘති කලාප (shear zones) බෙහෙවින් පිහිටා ඇත. විවිධ ඛණිජ වර්ගවල ඒකරාශී වීම්, පිහිටීම් රටා හා ජීර්ණයට භාජනය වීම් සලකා බැලීමේදී දුර්වල පාෂාණ ව්‍යුහයන් භූ තලය මතුපිට සිට අභ්‍යන්තරයට විහිදී යන බව පෙනේ. ශ්‍රී ලංකාවේ පැවැති පැරණි දේශගුණික වෙනස්කම් අනුව ඇතැම් විට මීටර් සිය ගණනක් ගැඹුරට ඒවා විහිදී යයි.

ඒවා තුළ අභ්‍යන්තර ජලවහන ලක්ෂණ, ජල ගබඩා ඇත. මේ පිළිබඳව උමා ඔය ව්‍යාපෘතියෙදී භූවිද්‍යාත්මක ගවේශණ නොකළේ මෙම සමාගම උමං කැණීම සදහා නොර්වේ, ස්වීඩ්න්, ජර්මන්, චීන, ජපන් විද්‍යඥයින් තරම් නිපුණ වූවන් නොවන නිසා බව මෙමගින් ප්‍රත්‍යක්ෂ වේ. එසේම යෝජිත උමගට මතුපිටින්, උමං ලක්ෂ (tunnel points) යොදා ගනිමින් භූගත ජල මට්ටම් සොයා ඇත්තේ කුමන හේතුවක් මත ද යන්න අදටත් නොවිසඳුණු ගැටලුවකි.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යයනාංශය යන අංශ වලින් මෙම ව්‍යාපෘතියට කුමන දායකත්වයක් දුන්නාදැයි කොතැනකවත් පැහැදිලි කිරීමක් නැත. ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල මූලාශ්‍ර පිළිබඳව දත්ත ද තිබියදී මෙරටේ භූව්‍යුහය පිළිබඳව කිසි අවබෝධ නැති ‘ෆරාබ්‘ සමාගම වැනි සමාගමක් ලවා නියමිත සක්‍යතා අධ්‍යයන හා පරිසර බලපෑම් ඇගයීම් වාර්තා නොමැතිව වැල්ලවාය, අලිකොටආර ප්‍රදේශයේ දී “උමාඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය” ආරම්භ කිරීමේ රහස කුමක්ද ?.

මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට පමණක් වියදම් කළ මුදල රුපියල් ලක්ෂ 260ක් හෙවත් මිලියන 26ක් බව වාර්තා වේ. මුල්ගල් තබා වසර 03 ක් ‌ගත වූ මොහොතේ ලංකා ඉතිහාසයේ වැඩිම ලිඛිත විරෝධතා ප්‍රමාණයක්‌ ඉදිරිපත් කර තිබියදී, රාජපක්ෂ ආණ්ඩුව 2012 අප්‍රේල් මස 12 වන දින පරිසර වාර්තාවට අනුමැතිය ලබාදී මෙම ව්‍යාපෘතිය කිරීම යෝග්‍ය බව ප්‍රසිද්ධ කළේ මන්ද? මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට වහා දඩුවම් කළ යුතු සේම එම ක්‍රියාව සිදු කළ දේශද්‍රෝහීන්, ජනතා ද්‍රෝහීන් රටට අනාවරණය කළ යුතුය. එපමණක් නොව නතර කළ ව්‍යාපෘතිය ආරම්භ කර මෙවැනි ව්‍යසනයකට මඟ පෑදූ වත්මන් ආණ්ඩුවට සම්බන්ධ මේ පිටුපස සිටින වගකිවයුතු පාර්ශ්ව කරුවන්ද රටට හෙළි කළ යුතුය.

තිබෙන සම්පතින් වැඩක් නොගැනීම

මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක දෙකට ද උග්‍ර ජල හිඟයක්‌ පවතින බව සත්‍යයකි. එම දිස්ත්‍රික්ක දෙකෙහි ජනතාවට ජලය සැපයීම ද අත්‍ය අවශ්‍ය කාරණාය. නමුත් කිරිඳිඔය නිම්නයේ ජලහිඟය පියවීමට, උමාඔයට හැකියාවක්‌ නැත. ඊට හේතුව වන්නේ මෙම නිම්න දෙකටම වර්ෂාව ඇති වන්නේ සහ පායන්නේ එකම කාලයක නිසා ය.

උමා ඔය සහ කිරිඳි ඔය නිම්නයට වර්ෂාව ලැබෙනුයේ ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟය. මේ නිසා කිරිඳි ඔය නිම්නයට ජලය හිඟ වන විට උමා ඔය නිම්නයටද ජල හිඟ වේ. වැස්ස සහ පෑවිල්ල එකම කාලයක සිදුවන බැවින්, කිරිඳි ඔයට ජලය හිඟ වූ විට උමාඔයෙන් ලබාදීමට තරම් ජලයක් උමා ඔයේ ඉතිරි වන්නේ නැත. එබැවින් මෙම නව ව්‍යාපෘතිය මගින් කිරිඳි ඔය නිම්නයේ ජල හිඟයට විසඳුමක් කිසිසේත්ම ‌ලැබෙන්නේ නැත.

අනෙක් අතට මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක හරහා මුහුදට ගලා යන ගංගා ගණනාවකි. ඒවායෙන් තවමත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායාමට ඉඩහැර ඇති ජලධාරිතාව ද අතිවිශාලය. රජයේ වාර්තා අනුව නිල්වලා ගඟෙන් 40% ක්‌ද කිරිඳි ඔයෙන් 30% ක්‌ද මැණික්‌ ගඟෙන් 33% ක්‌ද, කුඹුක්‌කන් ඔයෙන් 36% ක්‌ද කිරම ඔයෙන් 33.5% ක්‌ද, උරුබොක්‌ක ඔයෙන් 27% ක්‌ද, වලවේ ගඟෙන් 22% ක්‌ද ගල්ඔයෙන් 31% ක්‌ද මුහුදට ගලා බසින්නේ මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක හරහා ය. මෙම ජලය ප්‍රයෝජනයට ගත හැකි පරිදි කළමනාකරණය කරන්නේ නම්, රුපියල් කෝටි ගණන් වියදම් කරමින් උමාඔයෙන් වතුර හැරවීමට අවශ්‍ය තාවයක් මතුනොවේ.

එසේම උමා ඔය ව්‍යාපෘතියට මුල්ගල තැබීමෙන් පසු හම්බන්තොට සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශය සඳහා පානීය ජලය සැපයීමට යැයි පවසමින් “රුහුණු පුර ජල ව්‍යාපෘතිය” නමින් තවත් මහා පරිමාණ ව්‍යාපාතියක්‌ රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර අලුතින් අරම්භ කළේය. එසේ රුහුණු පුර ජල ව්‍යාපෘතිය මගින් හම්බන්තොට සහ කිරිඳි ඔය නිම්නයට ජලය සපයන්නේ නම් උමා ඔය හරවන්නේ ඇයි? යන ප්‍රශ්නය මතුවේ.

දකුණට ජලය සැපයීමට යයි පවසමින් ඇරඹු උමා ඔය ව්‍යාපෘතිය අවසාන වන්නටත් ප්‍රථම, දකුණට ජලය දෙන්නට අලුතෙන්ම “රුහුණු පුර ව්‍යාපෘතිය” පටන් ගැනීම මඟින් බලධාරීන් නිහඬවම පිළිගෙන ඇත්තේ උමාඔය ව්‍යාපෘතියේ අසාර්ථකත්වය නොවේ ද? එය එසේ නොවේ නම් අයථා අන්දමින් මුදල් සොරාගැනීමේ තවත් එක් උපායක් ද?. කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතියෙන් ජලය දකුණට හැරවීම හේතුවෙන් ඉහළ ඌවේ ජල ගැටලුව තවත් උග්‍ර වනු ඇත.

ඒ එසේ වුවද මෙම ව්‍යාපෘතිය දැන් නතර කිරීමෙන් කිසිඳු පලක් නොවේ. සිදු නොවිය යුතුව තිබුණු විනාශය මේ වන විටත් සිදු වී හමාරය. මෙම ව්‍යාපෘතිය යථාතත්වයට පත්කිරීමට පිට සක්වලින් විශේෂඥයින් පැමිණියද දැනට භුමියට, භූසම්පත්වලට, ආර්ථිකයට හා ජන ජීවිතය ට කර ඇති හානිය සිදු වී හමාරය.

උපුටා ගැනීම - රසික කොටුදුරගේ දිනමිණ විශේෂාංග - 2017-07-10
උමා ඔය ගැන කතා කරන්න පෙර කියවිය යුතු ලිපි
උමා ඔය ව්‍යාපෘතිය මේ වනවිට බරපතලම සමාජ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

පිදුරුතලාගලින් ආරම්භ වන උමා ඔය රන්ටැඹේ දී මහවැලි ගඟට එක්වනවා.


එතැන් සිට නව ජල විදුලි බලාගාරයක් ද හරහා වැල්ලවාය ඔස්සේ හම්බන්තොට ප්‍රදේශයට ජලය රැගෙන යාම ව්‍යාපෘතියේ අරමුණ බවයි කියවෙන්නේ.


සත්‍ය කාරණාව නම් බදුල්ල, වැලිමඩ ප්‍රදේශයේ දී හරවන ජල කඳ උමගක් ඔස්සේ බණ්ඩාරවෙල නගරයට යටින් කිරිඳි ඔය දක්වා රැගෙන යාමයි.


මේ වනවිට බණ්ඩාරවෙල නගරයේ බහුතර ළිං ප්‍රමාණයක් සිඳී ගොස් ඇති අතර ගොඩනැගිලි බහුතරයක් ඉරිතැලී ගොස් තිබෙනවා.


මෑතකාලයේ අතිවිශාල ජන සහභාගීත්වයකින් පැවති සැබෑ ජනතා සටනක් ලෙස බණ්ඩාරවෙල හර්තාලය අපට හදුන්වා දිය හැකියි.


උමා ඔය පිළිබද සහ එම ව්‍යාපෘතිය පිළිබඳ ඇසෙන කතා අතර ෆේස් බුක් ගිණුම් දෙකක සටහන් කර තිබූ උමා ඔය පිළිබඳ කියැවීම් 2ක් අප ඔබට මෙසේ ඉදිරිපත් කරනවා.


ඉන් පළමුවැන්න දිනේෂ් තරංග විසින් මෙලෙස සිය ෆේස් බුක් ගිණුමට ඇතුළත් කර තිබුණා.


පළමු උපුටාගැනීම ඔහුගේ ගිණුමෙන්.


එමෙන්ම තවත් ලිපියක් “නොතිර සසර ” වෙබ් පිටුවෙහි වෙනත් කෝණයකින් එය විග්‍රහ කර තිබුණා.


මෙම මත දෙක ම අප ඔබ වෙත මෙලෙස ඉදිරිපත් කරන අතර උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව ඉදිරියේ දී සවිස්තර පැහැදිලි කිරීමකට ආණ්ඩුව සූදානමින් සිටින බව ද වාර්තා වනවා.


පළමු  උපුටාගැනීම.


පොලව නුහුලන මේ අපරාධය කරන්නේ ඇයි ?

=====================================
පිදුරුතලාගල කදු මුදුනින් ආරම්භ වී වර්ග කිලෝමීටර 720 ක ද්‍රෝණියක් ආවරණය කරමින් රන්ටැඹේදී මහවැලි ගගට වැටෙන උමා ඔය දිගින් කිලෝමීටර 75 කි.
බොඹුරුඇල්ල ඔය , කුඩා ඔය ,මාතැටිල්ල ඔය ,මාදොළු ඔය ,හීල් ඔය ආදී විශාල අතු ගංගා ගණනාවකින් පෝෂණය වන උමා ඔය නිම්නය තුල මෙම ජල දහරාවේ ආධාරයෙන් අක්කර 100ට අඩු ප්‍රදේශයක් වගා කරන වාරි ව්‍යාපෘති 1024 ක් පිහිටා තිබේ.
අක්කර 500ට අඩු ව්‍යාපෘති 16 කි.
අක්කර 500ට වැඩි ව්‍යාපෘති ගණන 6 කි.
ඒ අනුව උමා ඔය ජලයෙන් සම්පූර්ණ අක්කර 27,622 ක භූමි ප්‍රමාණයක කෘෂිකාර්මික කටයුතු සිදු කෙරෙන බවට ගණන් බලා ඇත.
1968 දී ආරම්භ කල මහවැලි මහ සැලැස්මටද අයත් වාරි ව්‍යාපෘතියක් වන උමා ඔයේ තවමත් ඉදිකිරීමට නියමිත ව්‍යාපෘති ඇත.
රොටලවෙල ජලාශය සහ ජාතික විදුලිබල පද්දතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක් කරන උමා ඔය ඉහල විදුලි බලාගාරය සහ මෙගාවොට් 30 ක් නිපදවන උමාඔය පහල විදුලිබලාගාරය එලෙස යෝජිත ව්‍යාපෘති වේ.
මේ සියල්ල නිම කිරීමට නියමිතව තිබුණේ පිදුරුතලාගල සිට රන්ටැඹේ දක්වා ස්වභාව ධර්මයා විසින් දායාද කල මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ උමා ඔය ඔස්සේය.
2005 වසරේදී බලයට පත් මහින්ද රාජපක්ෂ රජය මෙම ගමන් මාර්ගය වෙනස් කිරීමට තීන්දුවක් ගත් අතර රන්ටැඹේදී මහවැලි ගගට එකතු වන උමා ඔය ජල දහරාව වැලිමඩදී හරවා ඩයබරා ,බිදුණුවැව , අඹදණ්ඩේගම හරහා කිරිදිඔයේ අතු ගංගාවක් වන අලිකොට ආර දක්වා භූගත මාර්ගයකින් ජලය ගෙනයෑම ඔවුන්ගේ අභිප්‍රාය විය.
එම ව්‍යාපෘතියට තැබූ නම වූයේ උමා ඔය බහුකාර්‍ය ව්‍යාපෘතියයි.
වැලිමඩ පුහුල්පොලදී උමා ඔය හරස්කොටද , මාතැටිල්ල ඔය හරස්කොට ඩයබරාහීදීද ජලාශ දෙකක් ඉදිවන අතර පුහුල් පොල ජලාශයේ සිට ඩයබරා දක්වා භූගත උමගේ දිග කිලෝමීටර 4 කි.
ඩයබරා සිට බිදුණුවැව , අඹදණ්ඩේගම ගම්මාන යටින් කිලෝමීටර 15.2 ක් ගමන් ගන්නා ජල ප්‍රවාහය භූගත විදුලිබලාගාරයට එකතු වන අතර විදුලි බලාගාරයේ සිට පිටතට දමන ජලය තවත් කිලෝමීටර 3 ක් මහපොලව යටින් ගමන් කොට අලිකොට ආර හරහා කිරිදි ඔය නිම්නයට එකතු වේ.
2006 දී මෙහි මූලික ඇස්තමේන්තුව සකස් කල කැනඩාවේ ඩබ්ලින් සමාගම මෙයට ඇස්තමේන්තු කල මුදල වූයේ ඩොලර් මිලියන 155කි.
පසුව ඉරාන ණය ආධාර යටතේ ඉදිකිරීමට තීරණය කල මෙම ව්‍යාපෘතියට ඉරානය විසින් ඇස්තමේන්තු කල මුදල ඩොලර් මිලියන 548 කි.
රාජපක්ෂවරුන්ට ඩොලර් මිලියන 155 මදිවුණාද ??
ලංකාව ලෝකයාට ණය කරමින් කිසිදු පල ප්‍රයෝජනයක් නැති ව්‍යාපෘතියකට මුල පිරුවාට අමතරව තවත් වැඩිපුර ඩොලර් මිලියන ගනනක් කාගේ කාගේ සාක්කු වලට ගියාදැයි දැන් ඔබ වටහාගත යුතුය.
අවසානයේ වැඩි මුදලකට ඇස්තමේන්තු කල මෙම ව්‍යාපෘතියේ සිදුවන සහගහන මුදල් මංකොල්ලය දුටු එවකට සිටි වාර්මාර්ග අමාත්‍යංශයේ ලේකම් ඒ ඩී එස් ගුණවර්ධන මහතා පිටකොන්ද ඇති නිලධාරියෙක් ලෙස තව දුරටත් මෙම කොල්ලකෑම දෙස බලා නොඉද ඉල්ලා අස්වී ගෙදර ගියේය.
ඔහු මෙම වාරි ව්‍යාපෘතියට අනුමැතිය දීමට එකග නොවුණි.
ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර පරිසර ඇගයීම් වාර්තා සකස් කිරීම ලෝකයේ පිලිගත් ක්‍රමය වුවත් ලෝකයේ පිලිගත් ක්‍රම මෙම ව්‍යාපෘතියට අදාල නොවුණි.
ඉදිකිරීම් ආරම්භ කර කලක් ගතවන විට පරිසර සංවිධානවලින් එල්ලවන විරෝධය හමුවේ 2011 අප්‍රේල් 12 වන දා පරණ අවුරුද්දේදී පරිසර ඇගයීම් වාර්තාවක් නිකුත් විය.
ත්‍රිවිධ හමුදාව , පොලීසිය සහ රෝහල් හැරුණු විට අමාත්‍යංශද පරණ අවුරුද්දේ වැඩ කරන වග අප දැනගත්තේ එදාය .
සාක්කුවට ලැබෙන දොල පිදේනි වලට ප්‍රේත බැල්ම හෙලා සිටි අමනුස්සයින් විසින් මහජන ජීවිත අනතුරේ වැටීම තඹයකට මායිම් කර නොතිබිණි.
එදා ජවිපෙ වැනි දේශපාලන පක්ෂද පරිසර සංවිධානද මෙම ව්‍යාපෘතියට එරෙහිව මහා හඩක් නැගුවද එවකට තිබූ රජය එය සත පහකට ගනන් ගත්තේ නැත.
එයට මූලිකම හේතුව වූයේ ප්‍රදේශවාසී ජනතාවගේ වූ උදාසීන භාවයයි.
යුධ ජයග්‍රහණයත් සමග දේවත්වයට ආරෝපණයවී තිබූ රාජපක්ෂ නාමය ඉදිරියේ ජනතාවගේ මනස නිවුට්‍රල් වී තිබිණි.
එදා සමන්ත විද්‍යාරත්නලා ජනතාව දැනුවත් කිරීමට ගම්බිම්වලට යනවිට එම හඩට ඇහුන්කන් දෙන්නට බල්ලෙකුවත් සිටියේ නැත.
සමහර ගම්මානවලදී සමන්ත ඇතුළු පිරිසට හූ කියා එලවාගත් අතර එදා හූ කියූ ජනතාවම පහුගිය 28 දා බණ්ඩාරවෙලදී සමන්තට අත්පුඩි ගැසූ ආකාරය දෛවයේ සරදමකි.
ජනතාවට සුරංගනා ලෝක මවා තිබුණි....
ආසියාවේ ආශ්චර්‍ය දෑස් ඉදිරිපිට අලවා තිබුණි.
මිනිසුන් සිටියේ සිහිනයක් දකින අන්ධයින් ගාණටය.
2014 දෙසැම්බර් 26 පලමු ජල කාන්දුව උමග තුල සිදුවන විට මහපොලව උඩ සිටි සියලු දෙනාට ඇස් ඇරෙන්නට ගත්තේය .
එවිට උමග කිලෝමීටර 4 ක් හාරා තිබූ අතර උමග තුලින් තත්පරයට ලීටර 700 ක ජල දහරාවක් කාන්දු වෙන්නට පටන් ගත්තේය.
මදක් කල්පනා කර බලන්න.
ඔබගේ නිවසේ තිබෙන ජල ටැංකිය ලීටර 500 ක් නම් එය උමා ඔයේ ජල කාන්දුවට එවකට ඇල්ලුවා නම් පිරීමට ගතවෙන කාලය තත්පරයකටත් අඩුය.
මහපොලව අභ්‍යන්තරයේ තිබූ ජලය උමග තුලට කාන්දු වීමට පටන් ගත් පසු ළිං හිදෙන්නට විය , ගොවිබිම් වේලි ඉරිතලා ගියේය , නිවාස ගිලා බැස්සේය ...
ජනතාවට සිදුවූ විනාශය දැනෙන්නට වූයේ එවිටය.
අද වනවිට උමා ඔය උමග තුල සිදුවන ජල කාන්දුව තත්පරයට ලීටර 2500කි.
ඒ අනුව දිනකට ලීටර මිලියන 222 කි.

මකුල් ඇල්ල පන්සල , එගොඩගම පන්සල, හීල් ඔය පන්සල , කුරුදුගොල්ල පන්සල , පල්ලේපේරුව මුස්ලිම් පල්ලිය වැනි පූජනීය ස්ථානද 

මකුල් ඇල්ල පාසල , බණ්ඩාරවෙල අධිකාරම් පාසල , ධර්මාශෝක ජාතික පාසල වැනි අධ්‍යාපන ආයතනද නිවාස දහස් ගණනක්ද ඉරිතලා ගිලා බැස ඇත.
ජනතාව රාත්‍රියට නිදාගන්නේද , දරුවන් පාසලේ අකුරු කරන්නේද මාරයා හිස මත තබාගෙනය.
ඉරිතලා ඇති බිත්ති ඇද වැටී කොයි මොහොතේ ජීවිත හානියක් වේ දැයි කියන්නට දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි

මේ හෙණ ගහන අපරාධය කලේ ඇයි ?

අප අහන එකම පැනය එයයි.....
සාක්කුවට වැටෙන ඩොලරයට ,යුරෝ එකට කෑදර කමේ උපන් නූපන් මහා දරු පරම්පරාවකට පෝෂණය වීමට තිබූ මධ්‍යම කදුකරයේ ජල දහරාව මෙලෙස විනාශ කලේ ඇය ?
මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම අසාර්ථක ව්‍යාපෘතියකි.
එයට හේතුව කිරිදිඔය සහ උමා ඔය නිම්නය යන දෙකම ඊසාන දිග මෝසමෙන් වැසි ලෙබන ප්‍රදේශ දෙකකි.
එම නිසා කිරිදි ඔය නිම්නයට වැසි ලැබෙන විට උමා ඔය නිම්නයටද වැසි ලැබේ..
එම කාලයට කිරිදි ඔය නිම්නයේ පවතින හදපානාගල ජලාශය ආදිය වාන් දමයි...
මේ කාලයට උමා ඔයෙන් වතුර කිරිදි ඔයට ගෙනගියොත් සිදුවන්නේ විනාශයකි....
මොණරාගල සහ හම්බන්තොට ජනතාවට සිදුවන්නේ පීන පීන සිටීමටය.
අනෙක් කාලයට කිරිදි ඔය නිම්නයට පායන විට උමා ඔය නිම්නයද පෑවිල්ලට හසුවෙයි ..
දීමට වතුරක් උමා ඔයේ එම කාලයට නැත.

මෙම කාලකණ්නි ව්‍යාපෘති අනුමත කලේ ඇයි ?

ඊලගට තවමත් උමා ඔය හරවා නැති නිසා බත්මැඩිල්ල වැනි ගොවි ව්‍යාපාරවලට මෙම ප්‍රශ්නය දැනී නැත.
තවමත් උමා ඔයේ වතුර ලැබෙන බත්මැඩිල්ලේ මිනිසුන් ජූනි , අගෝස්තු , සැප්තැම්බර් මාසවල සිටින්නේ ජල හිගයට මුහුණ දෙමිනි.
උමා ඔය තිබියදී එලෙස නම් උමා ඔය හරවා වතුර නැතිවූ විට බත්මැඩිල්ලේ මිනිසුන්ට වෙන්නේ වහ කෑමටය.

උමා ඔය තබා අඩුම බදුල්ල දිස්ත්‍රික්කයවත් සියැසින් නොදුටු සමහරුන් කොලඹට වී තම දේශපාලන මති මතාන්තර අනුව මෙම ව්‍යාපෘතිය සාධාරණීකරනය කරනවා මෙම කාලයේ දැක ගැනීමට ඇත.

ඔවුන්ට ඇති ගැටලුව වන්නේ මෙම ව්‍යාපෘතියේ හානිය නොව තමන් කර තබාගෙන යන දේශපාලන පක්ෂය බේරා ගැනීමයි .
එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා හෝ ජවිපෙට පහර දීමයි.

මහත්වරුනි ජල අවශ්‍යතාවයට යූඇන්පී ,ශ්‍රි ලංකා ,ජේවිපී භේදයක් නොමැති බව ඔබ වටහා ගන්නේ කවදාද ?

රටට බත සපයන දැවැන්ත ගොවි ව්‍යාපාර අනතුරක් අභියස සිටියදී තමන්ගේ දේශපාලන කදවුරු වෙනුවෙන් මෙය සාධාරණීකරණය කරන්නේ ඔබ බත් කන අයෙක් නොවන නිසාද ?

මුලු මහත් මධ්‍යම කදුකරයම අනතුරට වැටුණු පසු ඔබ අප සියළු දෙනාගේම දරු පරම්පරාවන් අනතුරේ වග වටහා නොගැනීමට තරම් ඔබ නරුමද ?


කරුණාකර ඔබේ දේශපාලන මතය ඉවත හෙලන්න.

මේ විනාශය වටහා ගන්න.
මහපොලව සුරැකීමට දැගලීම ජේවීපීකාරයන්ගේ වැඩක් ලෙස නොදැක සියළු දෙනාගේ වගකීමක් ලෙස සිතන්න.

අප නැවත නැවතත් කියන්නේ...

ඔබ කැමති කෙනෙකුට ඡන්දය දෙන්න.
විනාශයට එරෙහිව එකට ඉන්න.

( From Ananda Sumith )


------------------------------------------------


දෙවන උපුටාගැනීම.


උමාඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු..

------------------------------------------------------------
උමා ඔය වතුර ගෙනියන්නෙ හම්බන්තොටට, උමා ඔයේ තියන ගොවි ව්‍යාපාර වලට වතුර නැති වෙනවා.. දැනටත් උමාඔය කාලෙකට හිදෙනවා.. එහෙම තියෙද්දි කොහොමද තවත් වතුර හම්බන්තොටට යවන්නෙ?? 
උමා ඔය වතුර බිංදුවක්වත් හම්බන්තොටට යවන්නෙ නෑ.. උමාඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්.. සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩාඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවරවෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි..හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ.. අලුතෙන් ජලාශ හදන්නෙ කුඩාඔය අලිකොටාර හඳපානාගල (අලිකොට ආර වැල්ලවායට උඩින්, කුඩා ඔය හදපානාගල තණමල්විලට කිලෝමීටර් විස්සක් විතර උඩින් ).. තව පායන කාලෙට හිඳෙන පොඩි වැව් 127කට වතුර දෙනවා.. ඒවයින් වගාකරන්නෙ තණමල්විලට එනතුරු තියන ඉඩම්.. ඔක්කොම අලුතෙන් හෙටයාර 3800ක් වගා කරනවා.. ඊට අමතරව දැනට වතුර හිඟකමින් එක කන්නයක් විතරක් වවන කුබුරු හෙක්ටයාර 1500කට කන්න දෙකම වගාකරන්න වතුර දෙනවා.. දැනට ගංජා,හේන් ගොවිතැන් කරන තණමල්විල මිනිස්සුන් ඒකෙන් මුදවලා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමත් සිද්ද වෙනවා මේ එක්කම.. ගංගා ද්‍රෝණියකට වතුර වැටුනම ඒක මුළු ද්‍රෝණිය පුරාවටම යන එක වගේම ඒකෙ ජල මට්ටම ඉහල යන එක සිද්ද වෙනවා.. ඒ වගේම කුඹුරු වලින් එන අපජලය (ඩ්‍රෙනේජ් වෝටර්) කොහොමත් ද්‍රෝණියෙ පහළට ගිහින් මුහුදට වැටෙනවා..ඒ ඇරෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයෙ එක අඟලකට මේ වතුර ඩිරෙක්ට් යවන්නෙ නෑ.. එහෙම කියන්න අය කියන්නෙ මේක මහින්ද හම්බන්තොටට වතුර ගෙනියන්න කරන වැඩක් කියන මතය හදලා කිසිම පදනමක් නැති විරෝධයක් ගොඩනැගීමේ තුච්ඡ අරමුණින් විතරයි.. දැන් ඒක හරිනේ.. ආයෙ කවුරුහරි කිව්වොත් උමාඔයේ වතුර හම්බන්තොටට ගෙනියනවා කියලා කණට දෙකක් ගහලා මේක පෙන්නන්න..

ඊළඟ කතාව උමාඔය පහළ අයට වතුර නැති වෙනව කියන එක.. උමා ඔය පෝශක ප්‍රදේශය ව.කි.මි.720ක්.. මේ වතුර දැන් යන්නෙ රන්ටැඹේට.රන්ටැඹේ කියන්නෙ රන්දෙණිගලින් එලියට දාන වතුර එන ඉතාම කුඩා ජලාශයක්.. මුලු කැපෑසිටි එක 11mcm.. ඒකෙනුත් බාගෙකට වඩා වැලි පිරිල නිසා හැමදාම සෙඩිමන්ට් ප්‍රශ්නෙට මුහුණදෙන ලංකාවෙ වැඩිම තර්ජනයකට ලක්වුණු ජලාශය.. මේකෙ තියන අඩු ධාරිතාව නිසා උමාඔයෙන් වැහිකාලෙට එන වතුර ගබඩා කරන්නවත්, එයින් ඇතිවෙන ගංවතුර තත්වයන් පාලනය කරන්නවත් රන්ටැබේට හැකියාවක් නෑ..ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් විදියට උමාඔය ඉහලින් ජලාශ කිහිපයක අවශ්‍යතාව 1950 ඉදන් කරපු හැම අධ්‍යනයකම අවධාරණය කළා වගේම රන්ටැඹේ සෙඩිමන්ට් ප්‍රශ්න එද්දි ඒ අවධාරණයන් තව තවත් තීව්‍ර වුණා.. ඒ ජලාශ දෙකතමයි පුහුල්පොල ඩයරබා වල දැන් හැදෙන්නෙ.. මීට පහලින් උමාඔයේම තියන බත්මැඩිල්ල ඇතුළු වාරි ව්‍යාපාර වල ජල අවශ්‍යතාවය(25mcm)වෙනුවෙන් සහ රන්ටැඹෙන් පහල මහවැලි කලාපවල අවශ්‍යතාවය වෙනුවෙන්(40mcm)අවශ්‍ය ජලය පුහුල්පොල ඩයරබා දෙකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව යවනවා වගේම ප්‍රමුඛතාව දෙන්නෙත් ඒ දෙකට.. මේ ප්‍රමාණය දීලා ඉතිරියෙනුත් 150mcm විතරයි හරවලා යවන්නෙ... උමාඔය වාර්ශික වර්ශාපතනය 2000-2500mmක්.. මේක විශාල අගයක්..ඒත් මේ වැස්ස ලැබෙන්නෙ අවුරුද්දෙ එක කාලයකට වැඩි බරක් ඇතුව... අදටත් අපේ තියන අනෙක් ජලවිදුලි බලාගාර වලිනුත් හැමදාම එකම විදියට විදුලිය නිපදවන්න බෑ.. එහෙම වතුර අඩු කාලයකදි ටර්බයින් දෙකෙන් එකක් නවත්වයි.. ඒත් බැරිනම් දෙකම නවත්වයි.. ඒක අදටත් අනෙක් බලාගාරවලත් සිදුවෙන දෙයක්..ඒක එහෙමයි, පහල වාරි ව්‍යාපාර වලට මෙයින් සිද්දවෙන්නෙ හානියක් නෙවෙයි වාසියක්.. මොකද බත්මැඩිල්ල ඇතුලු අනෙක් ව්‍යාපාර තුනම අමුණු.. අමුණකින් කරන්න පුළුවන් එන වතුරක් හරවල යවන එක විතරයි, ගබඩා කරල තියාගන්න බෑ.. එතකොට වතුර නැති කාලෙට මොකද වෙන්නෙ?? මේ ජලාශ දෙකට අමතරව තවත් ජලාශයක් හැදෙනවා තල්පිටිගල.. ඒක හුදෙක්ම වාරි අවශ්‍යතා වෙනුවෙන්ම කෙරෙන ජලාශයක් බත්මැඩිල්ලට උඩින්...ඉතින් මෙච්චර කාලයක් බත්මැඩිල්ලෙ අමුණෙන් කරගන්න බැරි වුණු කාලවලටත් උමාඔය නිම්නයේ ඉඩම් වලට වතුර ලැබෙනවා..


මම මේ පෙන්නල තියෙන්නෙ ජල ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනට උමාඔය ආශ්‍රිතව තියන වාරි පද්ධති තිරසාරව පවතින්නත්, අපතේ යන වැසි ජලය කෘශිකාර්මිකව වගේම විදුලිබලය නිපදවන්නත්,රන්ටැඹේ ආශ්‍රිතව තියන රොන්මඩ ගැටලුවලට විසදුම් දෙන්නත් උමාඔය ව්‍යාපෘතිය මොනතරම් සාධණීය කාර්‍යයක් කරනවද කියන එක. උමාඔය කියන්නෙ සතපහකට වැඩකට නැති මහා ව්‍යසනකාරී ව්‍යාපෘතියක් කියන එක පට්ටපල් බොරුවක්...!!!


ඊළඟ පට්ටපල් බොරුව ෆරබ් කියන්නෙ තෙල් ලිං ගහන කොම්පැනියක්‍ ය. උන් කවදාවත් මේ වගේ ප්‍රොජෙක්ට් කරල නැතිය..කියන එක.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2000MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා.. ඒ අතරෙ බරගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්.. ෆරබ්ලා කරපු කරුන් 3 (Karun 3) ජලවිදුලිබලාගාරයෙ ධාරිතාව 2000MWක්.. ලංකාවෙ වික්ටෝරියා(210MW),රන්දෙණිගල(201MW),රන්ටැඹේ(52MW) ඇතුළු සියළුම ජලවිදුලිබලාගාර වල උත්පාදනය ගත්තත් 1500mwට අඩුයි. මේ තියෙන්නෙ ෆරබ් වෙබ් සයිට් එක.. මේකට ගිහින් බලන්න පුලුවන් මුන් කරල තියන උමං සහිත මහාපරිමාණ ජලවිදුලි බලාගාර ගැන විස්තර.. ඒක හරිනේ දැන්..


ඊලගට පරිසර සංවිධාන කියන හමස්පඩංගු හැමදාම වගේ මේකටත් කෑගහනවා... උන්ට අනුව ගෙදර වත්තෙ පස්පිඩල්ලක් කපන එකෙනුත් කූඹි,ගැඩවිල්ලු මැරිලා ගෝලීය උශ්ණත්වය ඉහළ ගිහින් ලංකාවෙන් බාගයක් මුහුදට යටවෙනවා.. ඒවා දැන් ඕන දේටයි එපා දේටයි හැමදේටම කියල කිසිකෙනෙක් ගණන් නොගන්න තත්වෙට ඇවිල්ලනේ තියෙන්නෙ..පරිසරයට "හානියක්" නොකර කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න බෑ පැහැදිලිවම... සංවර්ධනේ කියන්නෙ අපිට ගෙයක් දොරක් හදන්නත් බෑ, ඒකෙනුත් පරිසර සමතුලිතතාව බිඳවැටෙනවා.. ඒ නිසා හානි නොවෙන්නෙ නෑ වෙනවා.. අවම කරන එකයි කරන්න ඕන.. මොරගහකන්දෙ වතුර පුරවද්දි බෝට්ටුවලින් ගිහින් වතුරට කොටුවෙන්න ගිය හූනො,කටුස්සො, තලගොයි,නයි,පොළොන්ගු ඇල්ලුව දැක්කනේ.. ඒ වගේ අවම කරන්න පුලුවන් හානිය..

ඊලඟ එක නැවත පදිංචිකිරීම්... මේ කාරණාව තරම් ලංකාවෙ සංවර්ධනයට, නිකන් නෙවෙයි තිරසාර සංවර්ධනයට, බාධාවක් වුණු දෙයක් නැති තරම්.. ඒ වගේමයි මීඩියාකාරයින්ට මිනිස්සු අඬවලා නිව්ස් මවන්නත් මීට වඩා හොඳ පොයින්ට් එකක් වෙන නෑ.. අනික තමයි වන්දි කියන ඒවා හරියට තක්සේරුකරල දුන්නත් කොච්චර ලැබුනත් මදි.. ආයෙ ඇහුවත් කියන්නෙ මොකුත් ලැබුණෙ නෑ කියලා.. කැළණි ගග දෙපැත්තෙ මිනිස්සුන්ට ගංවතුර ආධාර බෙදනකොට වගේ තමයි... මේවා අද ඊයෙ නෙවෙයි හැමදාම හැම ප්‍රොජෙක්ට් එකකම වෙන දේවල්.. වික්ටෝරියාවලදි තෙල්දෙණිය ටවුමක්ම නැවත පදිංචිකලා, මොරගහකන්ද-කළුගඟට ලග්ගල-පල්ලෙගම ටවුමම යට වුණා.. අලුතෙන් පාරවල් හැදුවා... ඒවා අසාමාන්‍ය නෑ.. සංවර්ධන ව්‍යාපෘතිවල සාමාන්‍ය දේවල්.. බොහොම සාමාන්‍යයි..
අනෙක් මහාපරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ජලාශවලට යටවෙන ප්‍රදේශයෙන් ඉවත් කරන්න වෙන ප්‍රමානය සාපේක්ශව ඉතාම අඩු ගණනක් මේ ව්‍යාපෘතියෙ.. සංඛ්‍යාත්මකව නම් සම්පූර්ණයෙන්ම යටවෙන ප්‍රමානය ගෙවල් 200ක්. මේක අනෙකුත් මහාපරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ඉතාම අඩු ගණනක්..

පට්ටපල් බොරු ප්‍රශ්න තමයි උඩින් කිව්වෙ, හැබැයි උමාඔය ප්‍රොජෙක්ට් එකේ ඇත්තටම ප්‍රශ්නයක් තියනවා...දැන් එමු ප්‍රශ්නෙට.. ප්‍රශ්නෙ එන්නෙ ටනල් හාරන්න යද්දි.. මේකෙ ටනල් 3යි. ඒ තුනෙන් පුහුල්පොල-ඩයරබා යාකරන ලින්ක් ටනල් එක හදලා ඉවරයි.. ඒකෙ දිග කිලෝමීටර් 4යි.. ඒක හදද්දිත් වතුර කාන්දු වුනා.. ඒ කාන්දු නවත්වගෙන සීල් කරගෙන ටනල් එක හදල ඉවර කලා.. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.. තව ටනල් දෙකක් තියනවා හෙඩ්‍රේස් ටනල් එක සහ ටේල්රේස් ටනල් එක...හෙඩ්‍රේස් කියන්නෙ ඩයරබා වලින් විදුලි බලාගාරෙට වතුර ගෙනියන්න හදන මේ ටනල් එකේ දිග කිලෝමීටර් 15ක්, ටේල් රේස් එකෙන් බලාගාරෙ ඉදන් අලිකොටආරට වතුර ගෙනියනවා ඒකෙ දිග කිලෝමීටර් 3.3ක්.. මේකෙන් ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ හෙඩ්‍රේස් එකේ.. ප්‍රශ්නෙ තමයි හාරද්දි භූගත ජලය කාන්දුවෙනවා ඒ නිසා ටනල් ට්‍රේස් එක උඩ තියන ප්‍රදේශවල භූගත ජලමට්ටම පහල යනව සහ ඒ නිසා පසෙහි සිදුවන වෙනස්කම් නිසා ඉහල පාංශු ස්ථරයේ ඉරිතැලීම් සිද්ද වෙනවා.. මේ භූගත ජල කාන්දු වලක්වන්න පුලුවන් වගේම නිවැරදි අධ්‍යනයක් කළා නම් මේ තත්වෙට නොගිහින් වළක්වගන්නත් තිබුණා.. මේකෙ වගකීම සම්බන්ධයෙන් ගත්තම විවිධ පාර්ශව වලට චෝදනා වෙනවා.. එතනින් ප්‍රධානම එකක් වෙන්නෙ ව්‍යාපෘතිය කඩිනම් කරන්න එවකට පැවති දේශපාලන අධිකාරියට තිබුණු හදිස්සිය හේතු වුණා කියන එක.මේක බැහැර කරන්න බැරි කාරණාවක්..!!! ඊලග දේ ටනල් ට්‍රේස් එක ගැන දත්ත අඩු අවස්ථාවක TBM (tunnel boring machine) එක යන්න කලින් ඉදිරි කලාපය ගැන දත්ත ගන්න අධ්‍යනයන් කරන්න ඕන..ඒක කරලත් නෑ...!! මේ වෙද්දි අවස්ථා දෙකකදි දුර්වල පාංශු ස්ථර හමුවීම නිසා සැලකියයුතු ප්‍රමාණයෙන් භූගත ජලය කාන්දු වුණා. පළවෙනි කාන්දුව අවම කරල තියෙන්නෙ.. (100%ක් ම වහන්න බෑ..) දැන් තියන කාන්දුවත් අවම කරන්න කටයුතු කරගෙන යනවා.. ඒවා ඉතාම වියදම් අධික ක්‍රියාවලි... සරලව කිව්වොත් මූලික අධ්‍යනයන් නොකර වගේම ටනල් එක හාරද්දි කරන්න ඕන අධ්‍යනයන් නොකිරීමෙන් ඇතිවෙලා තියන තත්වය පාලනය කරන්න යන වියදම අධික වීම නිසා ව්‍යාපෘතියෙ වියදම ඇස්තමේන්තුගත වියදම ඉක්මවා යන්න පුළුවන්... ටනල් එක හදලා ඉවර වෙද්දි භූජලවිද්‍යාත්මකව නැවත ඉහල ජල ස්ථරය යථා තත්වයට පත්වෙනවා.. ඒත් ඒ වෙනතුරු ආපදාවට ලක්වෙලා ඉන්න ප්‍රදේශවලට අදාළ වන්දි ලබාදීම වගේම ජල පහසුකම් ලබාදෙන්න ඕන.. ඉහල බිම් සදාකාලිකව නිසරු වෙන්නෙ නෑ මොන හේතුවකටවත්... මේක තාවකාලික තත්වයක්..!! 

මේ ප්‍රොජෙක්ට් එක වගේම විදේශ ණය මත පදනම් වුණු සියළුම ව්‍යාපෘති වල තියන ප්‍රධානම ගැටලුවක් තමයි මේවා EPC(Engineering Procurement Contract) වීම.. එතනදි clientගෙ consultantට තියන බලය ඉතාම අවමයි. ඒ කියන්නෙ මේකට clientගෙ පැත්තෙන් ඉන්න CECB එකට ප්‍රොජෙක්ට් එකට අතදාන්න බෑ.. monitor කරන්න විතරයි පුළුවන්.. ඒක ලොකු පාඩුවක්.. මේ පාඩුව අපිට උමාඔය විතරක් නෙවෙයි මොරගහකන්ද,කතරගම රේල්වේ එකේ වගේම අනෙකුත් ව්‍යාපෘති වලත් මතුවෙනවා...මේ තත්වයෙදි රටේ දේශපාලන අධිකාරියත් කන්ට්‍රැක්ටර්ගෙ පැත්ත ගන්නව නම් උන්ව පාලනය කරන්න බැරිම තත්වෙකට එනවා.. උදාහරණෙකට කතරගම රේල්වේ එකේ CECB ටීම් ලීඩර් අයින් කරන්න පවා අපේ වත්මන් ජනාධිපති කටයුතු කරල තිබුණා.. සාපේක්ශව ගත්තම ඉරාන් වැඩ චීන්නුන්ට වඩා ගොඩක්ම හොඳයි.. මොකද චීන සයිට් බලන්න යන්නවත් CECB එකට දෙන්නෙ නෑ, ගහනවා.!! .ඔව්. ඒත් උමාඔය එහෙම තත්වයක් නෑ.. එතන තියන කන්ස්ට්‍රන්ශන් ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න කන්ට්‍රැක්ටර්ටම අව්ශ්‍යතාව තියනවා.. ඒකට හේතුව ඔවුන් ලෝකයෙ ජලවිදුලිය සම්බන්ධ නමක් තියන සමාගමක් වීම සහ මේ ප්‍රශ්න ඔවුන්ගෙ කීර්තිනාමයත් හානියක් වීම.. 
උමාඔය තියෙන්නෙ විසඳන්න බැරි ප්‍රශ්න නෙවෙයි.. ඔය කියන විදියට ටනල් ට්‍රේස් එක උඩ සදාකාලිකව නිසරුවීමක්වත් පෝශකප්‍රදේශ විනාශවීමක්වත් වෙන්නෙ නෑ.. ලෝකෙ කොහෙවත් ටනල් එකක් නිසා එහෙම වෙලත් නෑ, දැනට තියන ඉංජිනේරුවිද්‍යාත්මක දැනුමෙන් එහෙම වෙන්නෙත් නෑ. මේ ප්‍රශ්න තාවකාලිකයි..නමුත් ඉන් ආපදාවට ලක්වෙන මිනිස්සුන්ට වන්දි ලබාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි..!!

----------------------------


මේ අතර


'උමාඔය ඇස්තමේන්තුවෙන් ඩොලර් මිලියන 248 ක් ගිල්ලේ මෙහෙමයි." යන මැයෙන්  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ  කීර්ති තෙනේකෝන් මහතාගේ හෙළිදරව්වක් පහතින්....


බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව මාස 6 ක් තුල ඩොලර් මිලියන 248 කින් වැඩි කළ දේශපාලනඥයින් හා නිලධාරීන් උමා ඔය විනාශයට වග කිව යුතු යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සදහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – 2006 දී සකස් කරනු ලැබුවේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගම විසිනි. එම ඇස්තමේන්තුවට අනුව උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍ර‍මය සදහා වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 155 කි.


රාජපක්ෂ රජය උමා ඔය ව්‍යාපෘතියට ආකර්ශනය වන්නේ වැලිමඩ ජලය මොණරාගලට ගෙන යන්නට එමගින් අවස්ථාව ලැබෙන නිසාම නොවේ. සැබවින්ම වැලිමඩ ජලය හම්බන්තොට ගෙන යන කතාව මැතිවරණ වේදිකා කථාවක් පමණකි.


කැනඩා ඇස්තමේන්තුවෙන් වසර 3 කට පසුව ඉරානය මෙම ව්‍යාපාරයට මැදිහත් වේ. 2008 අප්‍රේල් මස ඉරාන ජනාධිපතිවරයා ලංකා සංචාරය අතර මෙම ව්‍යාපෘතිය ඇරඹීමට මේ අනුව සුදානම් වන අතර එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා ට එම ගිවිසුම අත්සන් කිරීමට බලය පැවුරුණි. ඔහු ගේ දැඩි විරෝධනය නිසාම ශක්‍යතා අධ්‍යයනයකින් පසුව ඇස්තමේන්තු කිරීමේ කොන්දේසිය සමග ‘හිස් ගිවිසුමක්‘ ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතර අත්සන් තබනු ලබයි. එවකට වාරිමාර්ග අමාත්‍යවරයා වූයේ චමල් රාජපක්ෂ මහතා ය.


මේ අතර ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු ඉහළ නංවන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවේ දී ලංකා රජයේ නිලධාරීන්, ඉංජිනේරුවන් මෙයට වඩා වැඩි මුදලක් මේ ව්‍යාපෘතියට වැය කිරීමට එරෙහි විය. කෙසේ නමුත්, 2008 දෙසැම්බර් මස ලංකාවේ අන්ත දුෂිත නිලධාරීන් පිරිසක් ද ඉරාන විශේෂඥයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ද සකස් කරන ලද ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 548 කි. එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එයට පක්ෂ නොවන වාර්තාවක් ද එයට සමගාමීව ඉදිරිපත් කරනු ලැබීය. (ගුණවර්ධන මහතා යනු පරාක්‍ර‍ම සමුද්‍ර‍ය කැඩී ගිය අවස්ථාවේ ඉතා කෙටි කලකින් එය ප්‍ර‍තිසංස්කරණය වාරි ඉංජිනේරුවරයා ය.)


එයින් 85% ක් ඉරාන රජය මගින් ද, 15% ක් ලංකා රජය මගින් ද දැරීමට ගිවිසුම අනුව දෙරට එකගත්වය පළ කරනු ලැබීය. වත්මන් උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව රුපියල් කෝටි 7632 කි.


ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට මෙම ගිවිසුමට අත්සන් තැබීම සදහා දේශපාලන බලපෑම් එල්ල වන්නේ මේ අවස්ථාවේ දී ය. එය ප්‍ර‍තිඑලය වූයේ 2009 ජනවාරි 9 දින අමාත්‍යාංශ ලේකම් ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ය. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපියේ ලියන්නේ ‘ලංකා රජයට අතිරේක ඩොලර් මිලියන 248 ක පිරිවැයක් දැරීමට සිදුවන ගිවිසුමකට මාගේ අත්සන යෙදිය නොහැකි බැවින් ඉල්ලා අස්වන බවයි.


වාරි මාර්ග අමාත්‍යාංශයේ පුරප්පාඩුව සදහා පත්වන්නේ අයිවන් සිල්වා මහතා ය. ඔහු දේශීය විශේෂඥයින්ගේ ද, ඌව ජනතාවට ද, පරිසර වේදීන් ද එක හඩින් එපා කියන උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේය. ඒ කැනේඩියානු ඇස්තමේන්තුවට වඩා සිව් ගුණයටක මදක් අඩු ඇස්තමේන්තුවකට ය. ලංකාවේ වාරි ඉංජිනේරුවන් එකග වූ මුදලට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 248 කට වැඩි මුදලකටය.


උමා ඔය ව්‍යාපෘතියට පරිසර ඇගයීම් වාර්තා අනුමැතිය ලබා දී ඇත්තේ 2011 අප්‍රේල් 12 දා ය. අලුත් අවුරුද්ද ලබන්නට පැය ගණනකට පෙර මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය ලංකාවේ මධ්‍ය කදුකරයේ නැගෙනහිර බෑවුමේ හදවත සිදුරු කරන්නට අවසර ලබාදීම පිටුපස ඇත්තේ ද දැවැන්ත අබිරහසකි. ජනතාව වීදි බැස හර්තාල් කරන සුන්දර බණ්ඩාරවෙල කාන්තාරයක් බවට පත් කොට ඇති උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එදා මෙදා තුර පාලකයින් වගකිය යුත්තේ මේ දැවැන්ත විනාශය නිසාමය.


රජිත් කීර්ති තෙන්නකෝන්

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ
හිටපු උපදේශක - දුෂණ විරෝධී පෙරමුණ

2017 ජූනි 30 
උපුටා ගැනීම
http://news24.lk/gossip/5373/Uma-Oya-Project