Wednesday, October 11, 2017

උමාඔය පිළිබඳව පල වූ ලිපි එකතුව

අපට හානිවන තරමට සමාගමේ ලාභය ඉහළයි - රවීන්ද්‍ර කාරියවසම්
තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

උමා ඔය ව්‍යාපෘතියෙන් ඇතිවන විනාශය වැඩිවන තරමට එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වූ ෆරබ් නම් ඉරාන සමාගමට රක්ෂණායතන මගින් මුදල් ලැබෙන බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.

ව්‍යාපෘතිය විනාශකාරීව සිදු කරන නිසා මේ වනවිට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජල උල්පත් රැසක් සිඳී ගොස් තිබෙන බව ද ඔහු පවසයි.

‘‘ජලය නොමැති කමින් ඉඩම් අක්කර දහස් ගණනක වගා කටයුතු අතහැර දැමීමට ගොවීන්ට සිදුව තිබෙනවා.   බණ්ඩාරවෙල නගරයේ දම්රෝ ගොඩනැගිල්ල,  කුමාරි ගොඩනැගිල්ල සහ අලුතෙන් ඉදිකරමින් පවතින මහල් හතකින් යුත් ගොඩනැගිල්ල ආශ්‍රිත කලාපය දැඩි ගිලාබැසීම්වලට ලක්වෙලා. ඉදිරියේදි දැවැන්ත ගිලා බැසීමක ලකුණු දැනටමත් මෙම ප්‍රදේශයේ පෙනෙන්නට තිබෙනවා.

බණ්ඩාරවෙළ  උඩ පේරුව,  පහළ පෙරුව, මැද පේරුව,  අම්පිටිය,  පල්ලේපේරුව,  කරගහවෙල,  බොරලන්ද, රජ කොටුව,  පුහුල්පොල,  දික්පිටිය,  ඉහළකොටවර,  පහළ කොටවර,  මඩුවේ ගෙදර,  අඔ දණ්ඩා ගම,  අභයපුර,  කන්දේකැටිය ආදි ප්‍රදේශ රැසක ජනතාවට බීමට දිය පොදක් නොමැති තරමට ළිං හිඳිලා.  දැනට මෙම ප්‍රදේශවලට වතුර ලීටර් 180000 ක් දිනකට සපයනු ලබන්නේ  බණ්ඩාරවෙල ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ මැදිහත් වීමෙනි. යහමින් ජලය තිබූ මධ්‍යම කදුකරයේ දැනට දැවැන්ත ජල හිඟයක් උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය විසින් අත්පත් කර දී තිබෙනවා.  ෆරාබ් ඉරාන සමාගම  උමා ඔයේ කැණිම් කිරීම හා භූගත ජල නළය කණින විට විටින් විට සිදු වූ ජල කාන්දුවීම් නිසා මධ්‍යම කදුකරයේ ජල උල්පත් දහස් ගණනක් මේ වනවිට සිදී ගොස් අවසන්.

පසුගිය වසරේ හා මේ  වසරේ උමඟ කැනීම් අතරතුර මෙරට ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරා ලීමට හා ගහ කොළ සතා සිව්පාවාගේ ප්‍රයෝජනයට ගැනීමට තිබූ ජල ලීටර් කෝටි ගණනාවක් අපතේ ගියා. උමග විදින විට මෙම ජල උල්පත් හා භූගත ජල තැටි හමුවන බව එම සමාගම දැන සිටිය යුතුයි.   උමඟ කණින මාර්ගය සම්බන්ධව අධ්‍යයන වාර්තා මගින් අදහස් ලබා ගන්න ඕනෑ. නමුත් මෙරට ජල සම්පත පිළිබද තුට්ටුවකට ගණන් නොගත් මෙරට පරිසර අධිකාරිය හා අනෙක් ආයතනත් මැති ඇමැතිවරුනුත්   මධ්‍යම කදුකරයේ ජල උල්පත් හා භූගත ජලය විනාශ කිරීමට   ඉරාන සමාගමට අවසර දුන්නා.  මධ්‍යම කඳුකරයේ ජල උල්පත්  ජලය සැපවූයේ බණ්ඩාරවෙල හා අවට ප්‍රදේශවලට පමණක් නොවෙයි,  මධ්‍යම කදුකරයේන්   ගලන ගංගා එකසිය තුනට හා දියකදුරු දහස් ගණනකටයි.

වැස්සෙන් වැටෙන ජලය පස තුළ ඇති කුහර තුළට හා මව් පාෂාණය හා මතුපිට පාෂාණය අතරත් මව් පාෂණය තුළත් ගබඩා වෙනවා.    එම ජලය පහළ ස්ථානවලින් උල්පත් ලෙස ගංගා ඇළදොළවලටත් ළිංවලටත් එකතු වෙනවා. ජල ගබඩාවන් හරහා උමං හාරන විට ජල ගබඩාව සිදුරු වෙලා  ජලය සියල්ල උමං මාර්ග දිගේ එළියට යනවා.

ස්වභාවයෙන්ම මධ්‍යම කඳුකරය සිදුකරන්නේ වැස්සේන් වැටෙන ජලය   ගබඩාවක් ලෙස ආරක්ෂා කර තබාගන වැසි නෙමැති කාලවල එය ගංගාවන්ට නිදහස් කිරීමයි.   ඒ ආකාරයට නිදහස් කිරීමට තිබූ ජල ගබඩාවන්ගේන් සැලකිය යුතු ප්‍රමාණයක් දැනට සිදුවන ජල කාන්දු නිසා සහ සමස්ත උමා ඔය ව්‍යාපෘතිය නිසාත් විනාශ වුණා.  උමා ඔය ව්‍යාපෘතිය නිසා පැන නගින   ජල හිඟය පළමුව බණ්ඩාරවෙලට බලපෑවත්  දෙවනුව හා තෙවනුව සමස්ත රටටම බලපානවා. මෙය බණ්ඩාර වෙල මිනිසුන්ගේ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. මෙය රටේ සෑම දෙනාගේම ප්‍රශ්නයක්.   .

මාතැටිල්ල ඔය අසලින් ආරම්භ වී රාවණා ඇල්ලට පහළින් මතු වන කිලෝමීටර් 23 දිග උමං මාර්ගය සැකසීම සඳහා මෙරට  උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වු ඉංජිනේරුවන්   ග්‍රිල් ඇන්ඞ් බලාස්ට් ක්‍රමය    හා ග්‍රිලිං  ක්‍රමය යොදාගෙන තිබෙනවා.  කුමන ක්‍රමවේදයක් යොදාගත්ත ද අඩු වැඩි වශයෙන් දෙදරීම් සිදුවෙනවා.  කඳුවල සිදුවන දෙදරීම් නායයෑම්වලට මූලික හේතුවක්.    ලෙව පුරා එවන් අත්දැකීම්  විශාල සංඛ්‍යාවක් තිබෙනවා. කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතියේ උමඟ කැනීම ආරම්භ වූ දා පටන් ඩයබරා, මාතැටිල්ල ඔය ඉවුරු හා ඒ ආසන්න ප්‍රදේශවල විශාල වශයෙන් නායයෑම ආරම්භ වුණා.   බණ්ඩාරවෙල ආශ්‍රිත ප්‍රදේශය මේ වනවිට කුඩා නායයෑම්වලට ලක්වෙමින් තිබෙනවා.   තව වසර කිහිපයක් ඇතුළත බණ්ඩාරවෙල අශ්‍රිත ප්‍රදේශ ගණනාවක් නාය ගොස් මිනිස් ජීවීත විනාශ වීම වළකාලිය නොහැකියි. 19 වැනි සියවස  මුල් මුල්භාගයේ කළ මෙවන් ව්‍යාපෘතීන් නිසා ප්‍රංශයේ නැගෙනහිර ප්‍රදේශයේ නායයෑමෙන් මිනිසුන් 450 ට වැඩි ප්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත් වු අතර ගම්මාන ගණනාවක් විනාශ වී ගියා.  20 වැනි සියවසේ මුල් භාගයේ ඉතාලියේ වාජෝන් ගම්මානයට ආසන්නව සිදුකරමින් තිබුණු උමං හෑරීම සහ ජලාශ්‍රිත ඉදිකිරීම් නිසා නායයෑම්වලින් 2500 ට වැඩි පිරිසක් මිය ගියා.  පැනමා ඇළ කැනීමේ දී ඒ අවට කඳුපන්ති හැටහය වතාවක් නාය ගොස් තිබෙනවා.

ෆරාබ් සමාගම ඉරානයේ විනාශකාරී ව්‍යාපෘති සිදු කළ සමාගමක්. ජලය හා බලශක්තිය සම්බන්ධව සිය ව්‍යාපෘති දියත් කරන මෙම සමාගම   ලෝකයේ රක්ෂණ සමාගම්වල රක්ෂණය කර තිබෙනවා.  එමෙන්ම ෆරාබ්  සමාගමට අයිතිවාසිකම් කියන ඉරානයේ තෙහෙරාන් නුවර   ෆරාබ්  රක්ෂණ සමාගමක් තිබෙනවා. ලොව පුරා උමා ඔය වැනි ව්‍යාපෘති සියල්ල Insurenc Exper Farab රක්ෂණය කර තිබෙනවා. එම රක්ෂණ සමාගම වෙනත් රක්ෂණ සමාගම්වල නැවත රක්ෂණය කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතිය නිසා හානි සිදුවන සෑම මෙහොතක ව්‍යාපෘතියට සිදු වූ හානිය වෙනුවෙන්   වන්දි ලබා ගන්නවා . ඒ  නිසා ලංකාවට    පරිසරයත්, ජනයාට  තම  ජීවිතත් අහිමි වන වාරයක් වාරයක් පාසා තෙහෙරාන් නුවර සාහිද් සාමති අංක 41 පිහිටි ව්‍යාපාරික ස්ථානයට මුදල් ගලා එනවා.  එයින් කෙටසක් ලංකාවේ  විනාශය යට ගැසීමට කොමිස් ලෙස ගෙවනවා.

ලංකාවේ ව්‍යවස්ථාවට අනුවත් පරිසරය ආරක්ෂා කිරීමට රටක් ලෙස රජය බැඳී සිටිනවා . උමා ඔය ව්‍යාපෘතිය කියන්නේ මෙරට අසාර්ථකම ව්‍යාපෘතියක්.  නමුත් තව දුරටත් පරිසරය හා ජන ජීවිතය විනාශ කරමින් එය ඉදිරියට කරගෙන යාමට ආණ්ඩුව උපකාර කරමින් ඉන්නවා.  සියලු පරිසර නිතී මෙහිදී උල්ලංඝනය කර තිබෙනවා. මෙය පරාජය කරන්න සියලු දෙනාම එකා වගේ එකතු වෙන්න ඕනෑ. ‘‘
උපුටා ගැනීම - ලංකාදීප 2017-07-05 එසැණ පුවත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සම්මානිත භූගෝලවිද්‍යා මහාචාර්ය ජිනදාස කටුපොත

උමා ඔයෙන් පෝෂණය වන උමා ඔය නිම්නය මධ්‍ය කඳුකරයේ සරුසාර භූමි ප්‍රදේශවලින් එකකි. වර්ග කිලෝමීටර් හත්සිය විස්සකින් සමන්විත උමා ඔය; බොඹුරුඇල්ල ඔය, කුඩා ඔය, අඹේවෙල ඔය, මාතැටිල්ල ඔය, මාදොළු ඔය යන අතු ගංගා එකතු කරගනිමින් කිලෝමීටර් 75ක් දුර ගෙවා රන්ටැඹේ දී මහවැලි ගඟට එකතු වේ. මෙහි අක්‌කර සීයකට නොවැඩි වාරි ව්‍යාපෘති බොහාමයක් ක්‍රියාත්මක වන අතර, උමා ඔය ද්‍රෝණියේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය අක්කර 28,000කට ආසන්නය. එයින් අඩක්ම අක්කර සීයය ට අඩු බිම් ය. මෙහි පවතින කුඹුරු වැඩි ප්‍රමාණයකට ජල හිඟය නිසා යල කන්නයේ දී වගා කටයුතු කිරීමට පවා නොහැකිය. මීට අමතරව එළවළු බෝග වගා කෙරෙන විශාල ගොඩ ඉඩම් ප්‍රමාණයකට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි මෙමඟින් ලබාගත නොහැකිය.

එසේම කිරිගව පාලනය වැඩිපුරම කෙරෙනුයේද උමා ඔය නිම්නයේ ය. අනෙක් අතට උමා ඔය නිම්නය ආර්ථික උල්පතකි, රටට මහත් සම්පතකි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ උමා ඔය නිම්න සංවර්ධනය ද එකතු වූයේ එහි ප්‍රථිඵලයක් වශයෙනි. ඒ අනුව මහියංගන රොටලවෙලදී මහවැලි ගඟ හරස්‌කර ජලාශය ඉදිකිරීම, මිනිපේ ඇළ අඹන් ගඟ දක්‌වා ගෙන ගොස් කවුඩුල්ල දක්‌වාත් දිගු කිරීම, මාදුරු ඔය දකුණු ඉවුර මගින් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට ජලය සැපයීම, උමාඔයේ ඉහළ ජල විදුලිබලාගාරය (මෙගාවොට් 25) සහ උමා ඔය පහළ ජල විදුලි බලාගාරය (මෙගාවොට් ‌30) ඉදිකිරීම ද මීට අයත්වේ. එසේ හෙයින් උමා ඔය පාරිසරික කලාපය මෙරට හදවත බඳුව රැක ගත යුතුවේ.

උමා ඔය, එහි ස්වාභාවික ගමන් මඟෙන් බැහැරට ගෙන කිරිඳි ඔය නිම්නයට හරවා මොණරාගල හා දකුණු පළාතට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය ලබාදීම, කලක සිට සාකච්ඡා වූ මාතෘකාවකි. එහෙත් මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව නම් උමා ඔය හැරවීම ප්‍රයෝගිකව සිදු කරන්නේ කෙසේද යන්නය.

එය පොළොව මතුපිටින් හැරවීම කෙසේවත් කළ නොහැකිය. එනිසා වැලිමඩ, පුහුල්පොළ සිට බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගයට යටින් ඉදිකෙරෙන භූගත උමං මාර්ගයකින් ජලය ගෙනයාම වඩා යෝග්‍ය බව තීරණය කෙරුණි. එසේ දකුණට ගෙනයනු ලබන ජලයෙන් හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ, ක්‍රීඩාංගණ, සංචාරක හෝටල්, කර්මාන්ත ප්‍රදේශ සඳහා ජලය ලබා දීමටත්, කිරිඳි ඔය නිම්නයේ වගා ඉඩම් හෙක්‌ටයාර් 8,000-10,000 කට ජලය සැපයීමටත්, මෙගාවොට්‌120ක ජලවිදුලිය නිෂ්පාදනය කිරීමටත් ඒ අනුව යෝජනා විය.

උමා ඔය විනාශය

මේ සඳහා වැලිමඩ පුහුල්පොළදී ඔය හරස්‌කොට එක් ජලාශයක් හා වැලිමඩ ඩයරබා හිදී මාතැටිල්ල ඔය හරස්‌කොට තවත් ජලාශයක්‌ ඉදි කර, පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශයට කිලෝ මීටර් 3.5ක දිගකින් යුත් හා මීටර් 4.1ක් පළල උමඟක්‌ ඉදිකිරීමත්, ඩයරබා සිට කුරුකුදේගම, බිඳුණු වැව, හීල් ඔය, අඹදණ්ඩේගම යන ගම්මාන යටින් කරඳගොල්ල දක්වා කිලෝ මීටර් 19 පමණ දිගින් හා මීටර් 4.3 පළලින් යුත් උමං මාර්ගයක් ඉදිකිරීමත් යෝජනා විය.

මීට අමතරව ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වැල්ලවායට මායිම්ව භූගත විදුලි බලාගාරයක් ඉදිකිරීම හා එහි සිට අලිකොට ආර දක්‌වා කිලෝ මීටර් 3.3ක් දිගින් යුත් හා මීටර් 4.1ක් පළලින් යුත් ජලය පිට කිරීම සඳහා උමගක් ඉදිකිරීම ද, විදුලි බලාගාරයට ඇතුළු වීම සඳහා කිලෝ මීටර් 1.5 කින් යුත් උමගක්‌ ඉදිකිරීම හා විදුලි බලාගාරයේ සිට බදුල්ල උපපොළ දක්‌වා අධිබලැති විදුලි රැහැන් මාර්ග ඉදිකිරීමට ද මෙමගින් යෝජනා විය. භූ විද්‍යාත්මකව බලන කල, ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ ගිනිකොණ බෑවුම ආශ්‍රිතව, ඉහළ ඌවේ කඳුකරය යටින් උමං මාර්ග ඉදිවීම එම ප්‍රදේශවල ජල මුලාශ්‍රවලට විශාල තර්ජනයක් වනවා පමණක් නොව, ඉදිරියේදී නාය යෑම් තත්ත්ව උග්‍ර වීමටද එය අනිවාර්ය සාධකයක් බවට පත්වේ. දැන් සිදුවී තිබෙන්නේ එහි ආරම්භයයි.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට නිවාස 7,000ක පමණ ඉරිතලා, පුපුරා, ගිලාබැස හානියට පත්ව ඇති අතර, බොහෝ නිවාස මුළුමනින්ම විනාශ වී ඇත. ළිං, පෝෂක උල්පත්, දියකඳුරු 3,500 ක් පමණ සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත. වැලිමඩ පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා කිලෝමීටර් 3.5 උමං මාර්ගය සැකසීම සඳහා විශාල ගල් පර්වත කඩා ඉවත් කිරීම සඳහා ගල් වෙඩි යෙදීම හේතුවෙන් පුහුල්පොළ, ලුණු වත්ත, කොන්කණුවෙල යන ප්‍රදේශවල නිවාසවලට විශාල වශයෙන් හානි සිදුව ඇත.

මීට සමගාමීව ඩයරබා ජලාශයේ සිට කරඳගොල්ල දක්වා උමං මාර්ගය තැනීම හේතුවෙන් ගම්මාන රාශියකම ළිං දිය උල්පත් සිඳී යෑම නිසා පානීය ජල අවශ්‍යතාවයවත් සපුරා ගත නොහැකි තත්ත්වයට ජනතාව පත්ව ඇති අතර, උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය විසින් මේ වන විට ගැටලු රාශියක් ජනිත කර ඇත. දැනට මෙම ප්‍රදේශවලට ජල අවශ්‍යතා සපයනු ලබන්නේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ය.

එය දිනකට ලීටර් 180,000 පමණ වේ. එසේම බණ්ඩාරවෙල හා ඒ අවට ගම්මාන රාශියක්ම මේ වන විට අවදානම් කලාප බවට හඳුනාගෙන ඇත. බණ්ඩාරවෙල නගරයේ දම්රෝ ගොඩනැඟිල්ල, කුමාරි ගොඩනැඟිල්ල සහ අලුතෙන් ඉදිකරමින් පවතින මහල් හතකින් යුත් ගොඩනැඟිලි බොහෝ ප්‍රමාණයක් මේ වන විට ගිලාබැසීම්වලට ලක් ව ඇත.

පසුගිය රජය යටතේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ඉතාම බරපතළ තත්ත්වයක් පෙන්නුම් කළේය. ඒ හාරමින් තිබූ උමග තුළට ජලකාන්දු වීමට පටන් ගැනීම නිසා ය. ඒ සමගම ගෙවල් ඉරිතලාගොස් ගිලාබැසීමේ තත්ත්වයක්ද ඇති විය. එසේම ළිංවල ජලයද සිඳීයෑමට පටන් ගත්තේය. මේ පිළිබඳව වත්මන් රජයට දැනුම් දීමෙන් අනතුරුව 2015 මාර්තු මාසයේදී රජය විසින් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළේය.

කෙසේ හෝ නැවතත් මෙම උමා ඔය ව්‍යාපෘතියට අදාළ කැණීම් කටයුතු ආරම්භ කරන ලද අතර, ඒ හේතුවෙන් මධ්‍යම කඳුකරයේ භූගත ජලය විශාල වශයෙන් කාන්දු වන්නට පටන් ගත්තේය. එවකට එය තත්පරයට ජලය ලීටර් 875 ක් හෙවත් දිනකට ජලය ලීටර් මිලියන 75-80 කට ආසන්න ප්‍රමාණයක් වූ අතර, උමග තුළින් විශාල වශයෙන් ජලය බැහැර විය.

2017 මැයි/ජූනි වන විට පනංගල ප්‍රදේශයෙන් උමඟ තුළට තප්පරයට ලීටර් 976 ක ප්‍රමාණයකින් ජලය කාන්දුවන බව සොයා ගත් අතර, මෙය දිනකට ලීටර් මිලියන 84 පමණ අපතේ යාමක් බව වාර්තා විය. බෝතල් කළ උල්පත් ජල ලීටරය රුපියල් 80/- කට මිලදී ගන්නා රටක, දිනකට ජල ලීටර් මිලියන 84 පමණ අපතේ යාම පිළිබඳව තක්සේරු කරන්නේ කවර අගයකින්ද යන්න ජනතාව වන ඔබම කල්පනා කර බැලිය යුතුය.

ඇස්තමේන්තු වෙනස් කිරීම

මෙම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – 2006 දී සකස් කරනු ලැබුවේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගමය. එම ඇස්තමේන්තුවට අනුව උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍ර‍මය සදහා වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 155 ක් විය. කැනඩාවේ ඩබ්ලින් උපදේශන සමාගම ඇස්තමේන්තු කිරීමෙන් වසර 3 කට පසුව මෙම ව්‍යාපෘතිය ඉරානය සමාගමකට පැවරීමට පසුගිය රජය කටයුතු කළේ කුමන හේතුවකින්ද යන්න අදටත් ගැටලුවකි.

කෙසේ හෝ ඉරාන ‍තෙල් සමාගමක් වන ෆරාබ් (FARAB) ආයතනය මෙම ව්‍යාපෘතියට මැදිහත් විය. 2008 අප්‍රේල් මස ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පිඹුරුපත් සකස් කර තිබුණු අතර එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාට එම ගිවිසුම අත්සන් කිරීමට බලය පවරා තිබුණි.

ඊට ඔහු දැඩිව විරෝධය පෑවේ නියමිත ශක්‍යතා අධ්‍යයනයකින් යුතු වාර්තාවක් නොමැතිව තමාට එය අත්සන් තැබිය නොහැකි බවත් පවසමින් බව පැවසේ. පසුව ඇස්තමේන්තු කිරීමේ කොන්දේසිය සමග ‘හිස් ගිවිසුමක්’ ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අත්සන් තබා ඇත. මේ අතර ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු මුදල ඉහළ නංවන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවේ දී ලංකා රජයේ නිලධාරීන්, ඉංජිනේරුවන් මෙයට වඩා වැඩි මුදලක් මේ ව්‍යාපෘතියට වැය කිරීමට එරෙහි විය.

කෙසේ නමුත්, 2008 දෙසැම්බර් මස ලංකාවේ අන්ත දුෂිත නිලධාරීන් පිරිසක් ද ඉරාන විශේෂඥයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ද එක්ව සකස් කරන ලද ඇස්තමේන්තුව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 548කි. එය ශ්‍රී ලංකාවේ වාරි ඉංජිනේරුවන් එකඟ වූ මුදලට වඩා ඇමරිකානු ඩොලර් මඟින් 248 ක වැඩි වීමකි. වැඩිවීම ආසන්න වශයෙන් රුපියල් මිලියන 76,320 කි. එයින් 85%ක් ඉරාන රජය මඟින් ද, 15% ක් ශ්‍රී ලංකා රජය මඟින් ද දැරීමට ගිවිසුම අනුව දෙරට එකඟත්වය පළ කරනු ලැබීය.

ඇස්තමේන්තු කර ඇති 1,670ක සේවක සංඛ්‍යාවෙන් බහුතරය, එනම් 1334ක් ම කම්කරුවන් ය. එම කම්කරු රැකියාවලින් 1,197ක් ශ්‍රී ලංකාවේ සේවකයන් ඉංජිනේරු රැකියා ඇතුළු ඉතිරි වන අතර පුරප්පාඩු සියල්ල ඉරාන ජාතිකයන්ගෙන් පිරවීමට තීරණය වී තිබිණ.මේ පිළිබඳව ද අපක්ෂපාතීව කරුණු සොයා බැලිය යුතුය.

ඉරානයට බාර දීම

ව්‍යාපෘතිය සඳහා පැමිණි වෙනත් රටවල් හා වෙනත් මුල්‍ය ආයතන මෙම ව්‍යාපෘතිය භාර නොගත් අතර, මහින්ද රාජපක්ෂ රජය 2009 වර්ෂයේ අප්‍රේල් මාසයේ 29 වන දින ඉරාන රජයේ දායකත්වයෙන් ඉරානයේ අපනයන සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර(ණය ආධාර) සහිතව FARAB Consultant සමාගමට මෙහි කටයුතු නිලවශයෙන් භාර කළේය. ඒ අනුව ශ්‍රී ලංකා හා ඉරාන ජනාධිපතිවරුන් ගේ සහභාගීත්වයෙන් තොරව යටතේ උමාඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2009 අප්‍රේල් මස 29 දින සිට ආරම්භ කෙරිණි. එහිදී කිසිදු සක්‍යතා අධ්‍යනයක් හෝ පාරිසරික ඇගයීම් වාර්තාවක් හෝ අධ්‍යනයක් නොකළ බව සඳහන් වේ.

අන්තර්ජාලයේ ඇති දත්ත අනුව ඉරානයේ ෆරාබ්(FARAB) සමාගම ජල උමං කැණීම සඳහා වූ පුරෝගාමී ආයතනයක් නොවේ. ඇතැම් විට මේ සඳහා යෝග්‍ය වෙත් සමාගම් ඉරානයේ තිබෙන්නට ඇත. කෙසේ නමුත් අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු අනුව ෆරාබ් (FARAB) සමාගම මේ වන විට මෙවැනි බලශක්ති ව්‍යාපෘති 35ක් පමණ සිදු කර ඇති අතර, එයින් 26ක්ම ඉරානය තුළ කළ ඉඳිකිරීම් ය. අනෙක් ඉඳිකිරීම් නවය සිදු කර ඇත්තේ අසර්බයිජාන්, ඉරාකය, කෙන්යාව, තජිකිස්තාන්, පාකිස්තාන් හා ආර්මෙනියා යන රාජ්‍යන් තුළය.

වැඩ නොදන්නා සමාගමක්

එසේම ඉහත සඳහන් ව්‍යාපෘති 35න් 19ක්ම භුමිය මතුපිට කළ ඉඳිකිරීම් ය. එසේම භූගත උමං මාර්ග කැණීම් 8ක් පමණ මේ ව්‍යාපෘති අතර තිබේ. නමුත් ඒ එකක්වත් අප රටේ භූ පිහිටීම් හා කිසි ලෙසකින්වත් සමාන භූමිවල සිදු කළ ව්‍යාපෘති නොවේ. මේ අනුව ප්‍රත්‍යක්ෂ ලෙසම කිව හැක්කේ මෙම සමාගම උමං කැණීම සදහා නොර්වේ, ස්වීඩන්, ජර්මන්, චීන, ජපන් විද්‍යාඥයින් තරම් නිපුණ වූවන් නොවන බවය.

අපේ රට නිවර්තන කලාපීය රටක් වන අතර අපේ භූස්කන්ධය ප්‍රාග්කේම්බ්‍රීය පාෂාණවලින් සමන්විත විපරීත අවසාදිත/ විපරීතආග්නේය පාෂාණ වුව ද මේවා අවුරුදු මිලියන 1500- 2000 හෝ ඊටත් වඩා පැරණිය. භූ විද්‍යාත්මකව මධ්‍යම කඳුකරයේ පිහිටි පාෂාණවල තත්ත්වය සලකා බැලීමේ දී කුස්තුර, විවර, ව්‍යාකෘති කලාප (shear zones) බෙහෙවින් පිහිටා ඇත. විවිධ ඛණිජ වර්ගවල ඒකරාශී වීම්, පිහිටීම් රටා හා ජීර්ණයට භාජනය වීම් සලකා බැලීමේදී දුර්වල පාෂාණ ව්‍යුහයන් භූ තලය මතුපිට සිට අභ්‍යන්තරයට විහිදී යන බව පෙනේ. ශ්‍රී ලංකාවේ පැවැති පැරණි දේශගුණික වෙනස්කම් අනුව ඇතැම් විට මීටර් සිය ගණනක් ගැඹුරට ඒවා විහිදී යයි.

ඒවා තුළ අභ්‍යන්තර ජලවහන ලක්ෂණ, ජල ගබඩා ඇත. මේ පිළිබඳව උමා ඔය ව්‍යාපෘතියෙදී භූවිද්‍යාත්මක ගවේශණ නොකළේ මෙම සමාගම උමං කැණීම සදහා නොර්වේ, ස්වීඩ්න්, ජර්මන්, චීන, ජපන් විද්‍යඥයින් තරම් නිපුණ වූවන් නොවන නිසා බව මෙමගින් ප්‍රත්‍යක්ෂ වේ. එසේම යෝජිත උමගට මතුපිටින්, උමං ලක්ෂ (tunnel points) යොදා ගනිමින් භූගත ජල මට්ටම් සොයා ඇත්තේ කුමන හේතුවක් මත ද යන්න අදටත් නොවිසඳුණු ගැටලුවකි.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යයනාංශය යන අංශ වලින් මෙම ව්‍යාපෘතියට කුමන දායකත්වයක් දුන්නාදැයි කොතැනකවත් පැහැදිලි කිරීමක් නැත. ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල මූලාශ්‍ර පිළිබඳව දත්ත ද තිබියදී මෙරටේ භූව්‍යුහය පිළිබඳව කිසි අවබෝධ නැති ‘ෆරාබ්‘ සමාගම වැනි සමාගමක් ලවා නියමිත සක්‍යතා අධ්‍යයන හා පරිසර බලපෑම් ඇගයීම් වාර්තා නොමැතිව වැල්ලවාය, අලිකොටආර ප්‍රදේශයේ දී “උමාඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය” ආරම්භ කිරීමේ රහස කුමක්ද ?.

මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට පමණක් වියදම් කළ මුදල රුපියල් ලක්ෂ 260ක් හෙවත් මිලියන 26ක් බව වාර්තා වේ. මුල්ගල් තබා වසර 03 ක් ‌ගත වූ මොහොතේ ලංකා ඉතිහාසයේ වැඩිම ලිඛිත විරෝධතා ප්‍රමාණයක්‌ ඉදිරිපත් කර තිබියදී, රාජපක්ෂ ආණ්ඩුව 2012 අප්‍රේල් මස 12 වන දින පරිසර වාර්තාවට අනුමැතිය ලබාදී මෙම ව්‍යාපෘතිය කිරීම යෝග්‍ය බව ප්‍රසිද්ධ කළේ මන්ද? මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට වහා දඩුවම් කළ යුතු සේම එම ක්‍රියාව සිදු කළ දේශද්‍රෝහීන්, ජනතා ද්‍රෝහීන් රටට අනාවරණය කළ යුතුය. එපමණක් නොව නතර කළ ව්‍යාපෘතිය ආරම්භ කර මෙවැනි ව්‍යසනයකට මඟ පෑදූ වත්මන් ආණ්ඩුවට සම්බන්ධ මේ පිටුපස සිටින වගකිවයුතු පාර්ශ්ව කරුවන්ද රටට හෙළි කළ යුතුය.

තිබෙන සම්පතින් වැඩක් නොගැනීම

මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක දෙකට ද උග්‍ර ජල හිඟයක්‌ පවතින බව සත්‍යයකි. එම දිස්ත්‍රික්ක දෙකෙහි ජනතාවට ජලය සැපයීම ද අත්‍ය අවශ්‍ය කාරණාය. නමුත් කිරිඳිඔය නිම්නයේ ජලහිඟය පියවීමට, උමාඔයට හැකියාවක්‌ නැත. ඊට හේතුව වන්නේ මෙම නිම්න දෙකටම වර්ෂාව ඇති වන්නේ සහ පායන්නේ එකම කාලයක නිසා ය.

උමා ඔය සහ කිරිඳි ඔය නිම්නයට වර්ෂාව ලැබෙනුයේ ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟය. මේ නිසා කිරිඳි ඔය නිම්නයට ජලය හිඟ වන විට උමා ඔය නිම්නයටද ජල හිඟ වේ. වැස්ස සහ පෑවිල්ල එකම කාලයක සිදුවන බැවින්, කිරිඳි ඔයට ජලය හිඟ වූ විට උමාඔයෙන් ලබාදීමට තරම් ජලයක් උමා ඔයේ ඉතිරි වන්නේ නැත. එබැවින් මෙම නව ව්‍යාපෘතිය මගින් කිරිඳි ඔය නිම්නයේ ජල හිඟයට විසඳුමක් කිසිසේත්ම ‌ලැබෙන්නේ නැත.

අනෙක් අතට මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක හරහා මුහුදට ගලා යන ගංගා ගණනාවකි. ඒවායෙන් තවමත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායාමට ඉඩහැර ඇති ජලධාරිතාව ද අතිවිශාලය. රජයේ වාර්තා අනුව නිල්වලා ගඟෙන් 40% ක්‌ද කිරිඳි ඔයෙන් 30% ක්‌ද මැණික්‌ ගඟෙන් 33% ක්‌ද, කුඹුක්‌කන් ඔයෙන් 36% ක්‌ද කිරම ඔයෙන් 33.5% ක්‌ද, උරුබොක්‌ක ඔයෙන් 27% ක්‌ද, වලවේ ගඟෙන් 22% ක්‌ද ගල්ඔයෙන් 31% ක්‌ද මුහුදට ගලා බසින්නේ මොණරාගල සහ හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌ක හරහා ය. මෙම ජලය ප්‍රයෝජනයට ගත හැකි පරිදි කළමනාකරණය කරන්නේ නම්, රුපියල් කෝටි ගණන් වියදම් කරමින් උමාඔයෙන් වතුර හැරවීමට අවශ්‍ය තාවයක් මතුනොවේ.

එසේම උමා ඔය ව්‍යාපෘතියට මුල්ගල තැබීමෙන් පසු හම්බන්තොට සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශය සඳහා පානීය ජලය සැපයීමට යැයි පවසමින් “රුහුණු පුර ජල ව්‍යාපෘතිය” නමින් තවත් මහා පරිමාණ ව්‍යාපාතියක්‌ රුපියල් කෝටි ගණනක්‌ වියදම් කර අලුතින් අරම්භ කළේය. එසේ රුහුණු පුර ජල ව්‍යාපෘතිය මගින් හම්බන්තොට සහ කිරිඳි ඔය නිම්නයට ජලය සපයන්නේ නම් උමා ඔය හරවන්නේ ඇයි? යන ප්‍රශ්නය මතුවේ.

දකුණට ජලය සැපයීමට යයි පවසමින් ඇරඹු උමා ඔය ව්‍යාපෘතිය අවසාන වන්නටත් ප්‍රථම, දකුණට ජලය දෙන්නට අලුතෙන්ම “රුහුණු පුර ව්‍යාපෘතිය” පටන් ගැනීම මඟින් බලධාරීන් නිහඬවම පිළිගෙන ඇත්තේ උමාඔය ව්‍යාපෘතියේ අසාර්ථකත්වය නොවේ ද? එය එසේ නොවේ නම් අයථා අන්දමින් මුදල් සොරාගැනීමේ තවත් එක් උපායක් ද?. කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතියෙන් ජලය දකුණට හැරවීම හේතුවෙන් ඉහළ ඌවේ ජල ගැටලුව තවත් උග්‍ර වනු ඇත.

ඒ එසේ වුවද මෙම ව්‍යාපෘතිය දැන් නතර කිරීමෙන් කිසිඳු පලක් නොවේ. සිදු නොවිය යුතුව තිබුණු විනාශය මේ වන විටත් සිදු වී හමාරය. මෙම ව්‍යාපෘතිය යථාතත්වයට පත්කිරීමට පිට සක්වලින් විශේෂඥයින් පැමිණියද දැනට භුමියට, භූසම්පත්වලට, ආර්ථිකයට හා ජන ජීවිතය ට කර ඇති හානිය සිදු වී හමාරය.

උපුටා ගැනීම - රසික කොටුදුරගේ දිනමිණ විශේෂාංග - 2017-07-10
උමා ඔය ගැන කතා කරන්න පෙර කියවිය යුතු ලිපි
උමා ඔය ව්‍යාපෘතිය මේ වනවිට බරපතලම සමාජ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

පිදුරුතලාගලින් ආරම්භ වන උමා ඔය රන්ටැඹේ දී මහවැලි ගඟට එක්වනවා.


එතැන් සිට නව ජල විදුලි බලාගාරයක් ද හරහා වැල්ලවාය ඔස්සේ හම්බන්තොට ප්‍රදේශයට ජලය රැගෙන යාම ව්‍යාපෘතියේ අරමුණ බවයි කියවෙන්නේ.


සත්‍ය කාරණාව නම් බදුල්ල, වැලිමඩ ප්‍රදේශයේ දී හරවන ජල කඳ උමගක් ඔස්සේ බණ්ඩාරවෙල නගරයට යටින් කිරිඳි ඔය දක්වා රැගෙන යාමයි.


මේ වනවිට බණ්ඩාරවෙල නගරයේ බහුතර ළිං ප්‍රමාණයක් සිඳී ගොස් ඇති අතර ගොඩනැගිලි බහුතරයක් ඉරිතැලී ගොස් තිබෙනවා.


මෑතකාලයේ අතිවිශාල ජන සහභාගීත්වයකින් පැවති සැබෑ ජනතා සටනක් ලෙස බණ්ඩාරවෙල හර්තාලය අපට හදුන්වා දිය හැකියි.


උමා ඔය පිළිබද සහ එම ව්‍යාපෘතිය පිළිබඳ ඇසෙන කතා අතර ෆේස් බුක් ගිණුම් දෙකක සටහන් කර තිබූ උමා ඔය පිළිබඳ කියැවීම් 2ක් අප ඔබට මෙසේ ඉදිරිපත් කරනවා.


ඉන් පළමුවැන්න දිනේෂ් තරංග විසින් මෙලෙස සිය ෆේස් බුක් ගිණුමට ඇතුළත් කර තිබුණා.


පළමු උපුටාගැනීම ඔහුගේ ගිණුමෙන්.


එමෙන්ම තවත් ලිපියක් “නොතිර සසර ” වෙබ් පිටුවෙහි වෙනත් කෝණයකින් එය විග්‍රහ කර තිබුණා.


මෙම මත දෙක ම අප ඔබ වෙත මෙලෙස ඉදිරිපත් කරන අතර උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව ඉදිරියේ දී සවිස්තර පැහැදිලි කිරීමකට ආණ්ඩුව සූදානමින් සිටින බව ද වාර්තා වනවා.


පළමු  උපුටාගැනීම.


පොලව නුහුලන මේ අපරාධය කරන්නේ ඇයි ?

=====================================
පිදුරුතලාගල කදු මුදුනින් ආරම්භ වී වර්ග කිලෝමීටර 720 ක ද්‍රෝණියක් ආවරණය කරමින් රන්ටැඹේදී මහවැලි ගගට වැටෙන උමා ඔය දිගින් කිලෝමීටර 75 කි.
බොඹුරුඇල්ල ඔය , කුඩා ඔය ,මාතැටිල්ල ඔය ,මාදොළු ඔය ,හීල් ඔය ආදී විශාල අතු ගංගා ගණනාවකින් පෝෂණය වන උමා ඔය නිම්නය තුල මෙම ජල දහරාවේ ආධාරයෙන් අක්කර 100ට අඩු ප්‍රදේශයක් වගා කරන වාරි ව්‍යාපෘති 1024 ක් පිහිටා තිබේ.
අක්කර 500ට අඩු ව්‍යාපෘති 16 කි.
අක්කර 500ට වැඩි ව්‍යාපෘති ගණන 6 කි.
ඒ අනුව උමා ඔය ජලයෙන් සම්පූර්ණ අක්කර 27,622 ක භූමි ප්‍රමාණයක කෘෂිකාර්මික කටයුතු සිදු කෙරෙන බවට ගණන් බලා ඇත.
1968 දී ආරම්භ කල මහවැලි මහ සැලැස්මටද අයත් වාරි ව්‍යාපෘතියක් වන උමා ඔයේ තවමත් ඉදිකිරීමට නියමිත ව්‍යාපෘති ඇත.
රොටලවෙල ජලාශය සහ ජාතික විදුලිබල පද්දතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක් කරන උමා ඔය ඉහල විදුලි බලාගාරය සහ මෙගාවොට් 30 ක් නිපදවන උමාඔය පහල විදුලිබලාගාරය එලෙස යෝජිත ව්‍යාපෘති වේ.
මේ සියල්ල නිම කිරීමට නියමිතව තිබුණේ පිදුරුතලාගල සිට රන්ටැඹේ දක්වා ස්වභාව ධර්මයා විසින් දායාද කල මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ උමා ඔය ඔස්සේය.
2005 වසරේදී බලයට පත් මහින්ද රාජපක්ෂ රජය මෙම ගමන් මාර්ගය වෙනස් කිරීමට තීන්දුවක් ගත් අතර රන්ටැඹේදී මහවැලි ගගට එකතු වන උමා ඔය ජල දහරාව වැලිමඩදී හරවා ඩයබරා ,බිදුණුවැව , අඹදණ්ඩේගම හරහා කිරිදිඔයේ අතු ගංගාවක් වන අලිකොට ආර දක්වා භූගත මාර්ගයකින් ජලය ගෙනයෑම ඔවුන්ගේ අභිප්‍රාය විය.
එම ව්‍යාපෘතියට තැබූ නම වූයේ උමා ඔය බහුකාර්‍ය ව්‍යාපෘතියයි.
වැලිමඩ පුහුල්පොලදී උමා ඔය හරස්කොටද , මාතැටිල්ල ඔය හරස්කොට ඩයබරාහීදීද ජලාශ දෙකක් ඉදිවන අතර පුහුල් පොල ජලාශයේ සිට ඩයබරා දක්වා භූගත උමගේ දිග කිලෝමීටර 4 කි.
ඩයබරා සිට බිදුණුවැව , අඹදණ්ඩේගම ගම්මාන යටින් කිලෝමීටර 15.2 ක් ගමන් ගන්නා ජල ප්‍රවාහය භූගත විදුලිබලාගාරයට එකතු වන අතර විදුලි බලාගාරයේ සිට පිටතට දමන ජලය තවත් කිලෝමීටර 3 ක් මහපොලව යටින් ගමන් කොට අලිකොට ආර හරහා කිරිදි ඔය නිම්නයට එකතු වේ.
2006 දී මෙහි මූලික ඇස්තමේන්තුව සකස් කල කැනඩාවේ ඩබ්ලින් සමාගම මෙයට ඇස්තමේන්තු කල මුදල වූයේ ඩොලර් මිලියන 155කි.
පසුව ඉරාන ණය ආධාර යටතේ ඉදිකිරීමට තීරණය කල මෙම ව්‍යාපෘතියට ඉරානය විසින් ඇස්තමේන්තු කල මුදල ඩොලර් මිලියන 548 කි.
රාජපක්ෂවරුන්ට ඩොලර් මිලියන 155 මදිවුණාද ??
ලංකාව ලෝකයාට ණය කරමින් කිසිදු පල ප්‍රයෝජනයක් නැති ව්‍යාපෘතියකට මුල පිරුවාට අමතරව තවත් වැඩිපුර ඩොලර් මිලියන ගනනක් කාගේ කාගේ සාක්කු වලට ගියාදැයි දැන් ඔබ වටහාගත යුතුය.
අවසානයේ වැඩි මුදලකට ඇස්තමේන්තු කල මෙම ව්‍යාපෘතියේ සිදුවන සහගහන මුදල් මංකොල්ලය දුටු එවකට සිටි වාර්මාර්ග අමාත්‍යංශයේ ලේකම් ඒ ඩී එස් ගුණවර්ධන මහතා පිටකොන්ද ඇති නිලධාරියෙක් ලෙස තව දුරටත් මෙම කොල්ලකෑම දෙස බලා නොඉද ඉල්ලා අස්වී ගෙදර ගියේය.
ඔහු මෙම වාරි ව්‍යාපෘතියට අනුමැතිය දීමට එකග නොවුණි.
ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර පරිසර ඇගයීම් වාර්තා සකස් කිරීම ලෝකයේ පිලිගත් ක්‍රමය වුවත් ලෝකයේ පිලිගත් ක්‍රම මෙම ව්‍යාපෘතියට අදාල නොවුණි.
ඉදිකිරීම් ආරම්භ කර කලක් ගතවන විට පරිසර සංවිධානවලින් එල්ලවන විරෝධය හමුවේ 2011 අප්‍රේල් 12 වන දා පරණ අවුරුද්දේදී පරිසර ඇගයීම් වාර්තාවක් නිකුත් විය.
ත්‍රිවිධ හමුදාව , පොලීසිය සහ රෝහල් හැරුණු විට අමාත්‍යංශද පරණ අවුරුද්දේ වැඩ කරන වග අප දැනගත්තේ එදාය .
සාක්කුවට ලැබෙන දොල පිදේනි වලට ප්‍රේත බැල්ම හෙලා සිටි අමනුස්සයින් විසින් මහජන ජීවිත අනතුරේ වැටීම තඹයකට මායිම් කර නොතිබිණි.
එදා ජවිපෙ වැනි දේශපාලන පක්ෂද පරිසර සංවිධානද මෙම ව්‍යාපෘතියට එරෙහිව මහා හඩක් නැගුවද එවකට තිබූ රජය එය සත පහකට ගනන් ගත්තේ නැත.
එයට මූලිකම හේතුව වූයේ ප්‍රදේශවාසී ජනතාවගේ වූ උදාසීන භාවයයි.
යුධ ජයග්‍රහණයත් සමග දේවත්වයට ආරෝපණයවී තිබූ රාජපක්ෂ නාමය ඉදිරියේ ජනතාවගේ මනස නිවුට්‍රල් වී තිබිණි.
එදා සමන්ත විද්‍යාරත්නලා ජනතාව දැනුවත් කිරීමට ගම්බිම්වලට යනවිට එම හඩට ඇහුන්කන් දෙන්නට බල්ලෙකුවත් සිටියේ නැත.
සමහර ගම්මානවලදී සමන්ත ඇතුළු පිරිසට හූ කියා එලවාගත් අතර එදා හූ කියූ ජනතාවම පහුගිය 28 දා බණ්ඩාරවෙලදී සමන්තට අත්පුඩි ගැසූ ආකාරය දෛවයේ සරදමකි.
ජනතාවට සුරංගනා ලෝක මවා තිබුණි....
ආසියාවේ ආශ්චර්‍ය දෑස් ඉදිරිපිට අලවා තිබුණි.
මිනිසුන් සිටියේ සිහිනයක් දකින අන්ධයින් ගාණටය.
2014 දෙසැම්බර් 26 පලමු ජල කාන්දුව උමග තුල සිදුවන විට මහපොලව උඩ සිටි සියලු දෙනාට ඇස් ඇරෙන්නට ගත්තේය .
එවිට උමග කිලෝමීටර 4 ක් හාරා තිබූ අතර උමග තුලින් තත්පරයට ලීටර 700 ක ජල දහරාවක් කාන්දු වෙන්නට පටන් ගත්තේය.
මදක් කල්පනා කර බලන්න.
ඔබගේ නිවසේ තිබෙන ජල ටැංකිය ලීටර 500 ක් නම් එය උමා ඔයේ ජල කාන්දුවට එවකට ඇල්ලුවා නම් පිරීමට ගතවෙන කාලය තත්පරයකටත් අඩුය.
මහපොලව අභ්‍යන්තරයේ තිබූ ජලය උමග තුලට කාන්දු වීමට පටන් ගත් පසු ළිං හිදෙන්නට විය , ගොවිබිම් වේලි ඉරිතලා ගියේය , නිවාස ගිලා බැස්සේය ...
ජනතාවට සිදුවූ විනාශය දැනෙන්නට වූයේ එවිටය.
අද වනවිට උමා ඔය උමග තුල සිදුවන ජල කාන්දුව තත්පරයට ලීටර 2500කි.
ඒ අනුව දිනකට ලීටර මිලියන 222 කි.

මකුල් ඇල්ල පන්සල , එගොඩගම පන්සල, හීල් ඔය පන්සල , කුරුදුගොල්ල පන්සල , පල්ලේපේරුව මුස්ලිම් පල්ලිය වැනි පූජනීය ස්ථානද 

මකුල් ඇල්ල පාසල , බණ්ඩාරවෙල අධිකාරම් පාසල , ධර්මාශෝක ජාතික පාසල වැනි අධ්‍යාපන ආයතනද නිවාස දහස් ගණනක්ද ඉරිතලා ගිලා බැස ඇත.
ජනතාව රාත්‍රියට නිදාගන්නේද , දරුවන් පාසලේ අකුරු කරන්නේද මාරයා හිස මත තබාගෙනය.
ඉරිතලා ඇති බිත්ති ඇද වැටී කොයි මොහොතේ ජීවිත හානියක් වේ දැයි කියන්නට දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි

මේ හෙණ ගහන අපරාධය කලේ ඇයි ?

අප අහන එකම පැනය එයයි.....
සාක්කුවට වැටෙන ඩොලරයට ,යුරෝ එකට කෑදර කමේ උපන් නූපන් මහා දරු පරම්පරාවකට පෝෂණය වීමට තිබූ මධ්‍යම කදුකරයේ ජල දහරාව මෙලෙස විනාශ කලේ ඇය ?
මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම අසාර්ථක ව්‍යාපෘතියකි.
එයට හේතුව කිරිදිඔය සහ උමා ඔය නිම්නය යන දෙකම ඊසාන දිග මෝසමෙන් වැසි ලෙබන ප්‍රදේශ දෙකකි.
එම නිසා කිරිදි ඔය නිම්නයට වැසි ලැබෙන විට උමා ඔය නිම්නයටද වැසි ලැබේ..
එම කාලයට කිරිදි ඔය නිම්නයේ පවතින හදපානාගල ජලාශය ආදිය වාන් දමයි...
මේ කාලයට උමා ඔයෙන් වතුර කිරිදි ඔයට ගෙනගියොත් සිදුවන්නේ විනාශයකි....
මොණරාගල සහ හම්බන්තොට ජනතාවට සිදුවන්නේ පීන පීන සිටීමටය.
අනෙක් කාලයට කිරිදි ඔය නිම්නයට පායන විට උමා ඔය නිම්නයද පෑවිල්ලට හසුවෙයි ..
දීමට වතුරක් උමා ඔයේ එම කාලයට නැත.

මෙම කාලකණ්නි ව්‍යාපෘති අනුමත කලේ ඇයි ?

ඊලගට තවමත් උමා ඔය හරවා නැති නිසා බත්මැඩිල්ල වැනි ගොවි ව්‍යාපාරවලට මෙම ප්‍රශ්නය දැනී නැත.
තවමත් උමා ඔයේ වතුර ලැබෙන බත්මැඩිල්ලේ මිනිසුන් ජූනි , අගෝස්තු , සැප්තැම්බර් මාසවල සිටින්නේ ජල හිගයට මුහුණ දෙමිනි.
උමා ඔය තිබියදී එලෙස නම් උමා ඔය හරවා වතුර නැතිවූ විට බත්මැඩිල්ලේ මිනිසුන්ට වෙන්නේ වහ කෑමටය.

උමා ඔය තබා අඩුම බදුල්ල දිස්ත්‍රික්කයවත් සියැසින් නොදුටු සමහරුන් කොලඹට වී තම දේශපාලන මති මතාන්තර අනුව මෙම ව්‍යාපෘතිය සාධාරණීකරනය කරනවා මෙම කාලයේ දැක ගැනීමට ඇත.

ඔවුන්ට ඇති ගැටලුව වන්නේ මෙම ව්‍යාපෘතියේ හානිය නොව තමන් කර තබාගෙන යන දේශපාලන පක්ෂය බේරා ගැනීමයි .
එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා හෝ ජවිපෙට පහර දීමයි.

මහත්වරුනි ජල අවශ්‍යතාවයට යූඇන්පී ,ශ්‍රි ලංකා ,ජේවිපී භේදයක් නොමැති බව ඔබ වටහා ගන්නේ කවදාද ?

රටට බත සපයන දැවැන්ත ගොවි ව්‍යාපාර අනතුරක් අභියස සිටියදී තමන්ගේ දේශපාලන කදවුරු වෙනුවෙන් මෙය සාධාරණීකරණය කරන්නේ ඔබ බත් කන අයෙක් නොවන නිසාද ?

මුලු මහත් මධ්‍යම කදුකරයම අනතුරට වැටුණු පසු ඔබ අප සියළු දෙනාගේම දරු පරම්පරාවන් අනතුරේ වග වටහා නොගැනීමට තරම් ඔබ නරුමද ?


කරුණාකර ඔබේ දේශපාලන මතය ඉවත හෙලන්න.

මේ විනාශය වටහා ගන්න.
මහපොලව සුරැකීමට දැගලීම ජේවීපීකාරයන්ගේ වැඩක් ලෙස නොදැක සියළු දෙනාගේ වගකීමක් ලෙස සිතන්න.

අප නැවත නැවතත් කියන්නේ...

ඔබ කැමති කෙනෙකුට ඡන්දය දෙන්න.
විනාශයට එරෙහිව එකට ඉන්න.

( From Ananda Sumith )


------------------------------------------------


දෙවන උපුටාගැනීම.


උමාඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු..

------------------------------------------------------------
උමා ඔය වතුර ගෙනියන්නෙ හම්බන්තොටට, උමා ඔයේ තියන ගොවි ව්‍යාපාර වලට වතුර නැති වෙනවා.. දැනටත් උමාඔය කාලෙකට හිදෙනවා.. එහෙම තියෙද්දි කොහොමද තවත් වතුර හම්බන්තොටට යවන්නෙ?? 
උමා ඔය වතුර බිංදුවක්වත් හම්බන්තොටට යවන්නෙ නෑ.. උමාඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්.. සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩාඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවරවෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි..හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ.. අලුතෙන් ජලාශ හදන්නෙ කුඩාඔය අලිකොටාර හඳපානාගල (අලිකොට ආර වැල්ලවායට උඩින්, කුඩා ඔය හදපානාගල තණමල්විලට කිලෝමීටර් විස්සක් විතර උඩින් ).. තව පායන කාලෙට හිඳෙන පොඩි වැව් 127කට වතුර දෙනවා.. ඒවයින් වගාකරන්නෙ තණමල්විලට එනතුරු තියන ඉඩම්.. ඔක්කොම අලුතෙන් හෙටයාර 3800ක් වගා කරනවා.. ඊට අමතරව දැනට වතුර හිඟකමින් එක කන්නයක් විතරක් වවන කුබුරු හෙක්ටයාර 1500කට කන්න දෙකම වගාකරන්න වතුර දෙනවා.. දැනට ගංජා,හේන් ගොවිතැන් කරන තණමල්විල මිනිස්සුන් ඒකෙන් මුදවලා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමත් සිද්ද වෙනවා මේ එක්කම.. ගංගා ද්‍රෝණියකට වතුර වැටුනම ඒක මුළු ද්‍රෝණිය පුරාවටම යන එක වගේම ඒකෙ ජල මට්ටම ඉහල යන එක සිද්ද වෙනවා.. ඒ වගේම කුඹුරු වලින් එන අපජලය (ඩ්‍රෙනේජ් වෝටර්) කොහොමත් ද්‍රෝණියෙ පහළට ගිහින් මුහුදට වැටෙනවා..ඒ ඇරෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයෙ එක අඟලකට මේ වතුර ඩිරෙක්ට් යවන්නෙ නෑ.. එහෙම කියන්න අය කියන්නෙ මේක මහින්ද හම්බන්තොටට වතුර ගෙනියන්න කරන වැඩක් කියන මතය හදලා කිසිම පදනමක් නැති විරෝධයක් ගොඩනැගීමේ තුච්ඡ අරමුණින් විතරයි.. දැන් ඒක හරිනේ.. ආයෙ කවුරුහරි කිව්වොත් උමාඔයේ වතුර හම්බන්තොටට ගෙනියනවා කියලා කණට දෙකක් ගහලා මේක පෙන්නන්න..

ඊළඟ කතාව උමාඔය පහළ අයට වතුර නැති වෙනව කියන එක.. උමා ඔය පෝශක ප්‍රදේශය ව.කි.මි.720ක්.. මේ වතුර දැන් යන්නෙ රන්ටැඹේට.රන්ටැඹේ කියන්නෙ රන්දෙණිගලින් එලියට දාන වතුර එන ඉතාම කුඩා ජලාශයක්.. මුලු කැපෑසිටි එක 11mcm.. ඒකෙනුත් බාගෙකට වඩා වැලි පිරිල නිසා හැමදාම සෙඩිමන්ට් ප්‍රශ්නෙට මුහුණදෙන ලංකාවෙ වැඩිම තර්ජනයකට ලක්වුණු ජලාශය.. මේකෙ තියන අඩු ධාරිතාව නිසා උමාඔයෙන් වැහිකාලෙට එන වතුර ගබඩා කරන්නවත්, එයින් ඇතිවෙන ගංවතුර තත්වයන් පාලනය කරන්නවත් රන්ටැබේට හැකියාවක් නෑ..ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් විදියට උමාඔය ඉහලින් ජලාශ කිහිපයක අවශ්‍යතාව 1950 ඉදන් කරපු හැම අධ්‍යනයකම අවධාරණය කළා වගේම රන්ටැඹේ සෙඩිමන්ට් ප්‍රශ්න එද්දි ඒ අවධාරණයන් තව තවත් තීව්‍ර වුණා.. ඒ ජලාශ දෙකතමයි පුහුල්පොල ඩයරබා වල දැන් හැදෙන්නෙ.. මීට පහලින් උමාඔයේම තියන බත්මැඩිල්ල ඇතුළු වාරි ව්‍යාපාර වල ජල අවශ්‍යතාවය(25mcm)වෙනුවෙන් සහ රන්ටැඹෙන් පහල මහවැලි කලාපවල අවශ්‍යතාවය වෙනුවෙන්(40mcm)අවශ්‍ය ජලය පුහුල්පොල ඩයරබා දෙකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව යවනවා වගේම ප්‍රමුඛතාව දෙන්නෙත් ඒ දෙකට.. මේ ප්‍රමාණය දීලා ඉතිරියෙනුත් 150mcm විතරයි හරවලා යවන්නෙ... උමාඔය වාර්ශික වර්ශාපතනය 2000-2500mmක්.. මේක විශාල අගයක්..ඒත් මේ වැස්ස ලැබෙන්නෙ අවුරුද්දෙ එක කාලයකට වැඩි බරක් ඇතුව... අදටත් අපේ තියන අනෙක් ජලවිදුලි බලාගාර වලිනුත් හැමදාම එකම විදියට විදුලිය නිපදවන්න බෑ.. එහෙම වතුර අඩු කාලයකදි ටර්බයින් දෙකෙන් එකක් නවත්වයි.. ඒත් බැරිනම් දෙකම නවත්වයි.. ඒක අදටත් අනෙක් බලාගාරවලත් සිදුවෙන දෙයක්..ඒක එහෙමයි, පහල වාරි ව්‍යාපාර වලට මෙයින් සිද්දවෙන්නෙ හානියක් නෙවෙයි වාසියක්.. මොකද බත්මැඩිල්ල ඇතුලු අනෙක් ව්‍යාපාර තුනම අමුණු.. අමුණකින් කරන්න පුළුවන් එන වතුරක් හරවල යවන එක විතරයි, ගබඩා කරල තියාගන්න බෑ.. එතකොට වතුර නැති කාලෙට මොකද වෙන්නෙ?? මේ ජලාශ දෙකට අමතරව තවත් ජලාශයක් හැදෙනවා තල්පිටිගල.. ඒක හුදෙක්ම වාරි අවශ්‍යතා වෙනුවෙන්ම කෙරෙන ජලාශයක් බත්මැඩිල්ලට උඩින්...ඉතින් මෙච්චර කාලයක් බත්මැඩිල්ලෙ අමුණෙන් කරගන්න බැරි වුණු කාලවලටත් උමාඔය නිම්නයේ ඉඩම් වලට වතුර ලැබෙනවා..


මම මේ පෙන්නල තියෙන්නෙ ජල ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනට උමාඔය ආශ්‍රිතව තියන වාරි පද්ධති තිරසාරව පවතින්නත්, අපතේ යන වැසි ජලය කෘශිකාර්මිකව වගේම විදුලිබලය නිපදවන්නත්,රන්ටැඹේ ආශ්‍රිතව තියන රොන්මඩ ගැටලුවලට විසදුම් දෙන්නත් උමාඔය ව්‍යාපෘතිය මොනතරම් සාධණීය කාර්‍යයක් කරනවද කියන එක. උමාඔය කියන්නෙ සතපහකට වැඩකට නැති මහා ව්‍යසනකාරී ව්‍යාපෘතියක් කියන එක පට්ටපල් බොරුවක්...!!!


ඊළඟ පට්ටපල් බොරුව ෆරබ් කියන්නෙ තෙල් ලිං ගහන කොම්පැනියක්‍ ය. උන් කවදාවත් මේ වගේ ප්‍රොජෙක්ට් කරල නැතිය..කියන එක.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2000MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා.. ඒ අතරෙ බරගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්.. ෆරබ්ලා කරපු කරුන් 3 (Karun 3) ජලවිදුලිබලාගාරයෙ ධාරිතාව 2000MWක්.. ලංකාවෙ වික්ටෝරියා(210MW),රන්දෙණිගල(201MW),රන්ටැඹේ(52MW) ඇතුළු සියළුම ජලවිදුලිබලාගාර වල උත්පාදනය ගත්තත් 1500mwට අඩුයි. මේ තියෙන්නෙ ෆරබ් වෙබ් සයිට් එක.. මේකට ගිහින් බලන්න පුලුවන් මුන් කරල තියන උමං සහිත මහාපරිමාණ ජලවිදුලි බලාගාර ගැන විස්තර.. ඒක හරිනේ දැන්..


ඊලගට පරිසර සංවිධාන කියන හමස්පඩංගු හැමදාම වගේ මේකටත් කෑගහනවා... උන්ට අනුව ගෙදර වත්තෙ පස්පිඩල්ලක් කපන එකෙනුත් කූඹි,ගැඩවිල්ලු මැරිලා ගෝලීය උශ්ණත්වය ඉහළ ගිහින් ලංකාවෙන් බාගයක් මුහුදට යටවෙනවා.. ඒවා දැන් ඕන දේටයි එපා දේටයි හැමදේටම කියල කිසිකෙනෙක් ගණන් නොගන්න තත්වෙට ඇවිල්ලනේ තියෙන්නෙ..පරිසරයට "හානියක්" නොකර කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න බෑ පැහැදිලිවම... සංවර්ධනේ කියන්නෙ අපිට ගෙයක් දොරක් හදන්නත් බෑ, ඒකෙනුත් පරිසර සමතුලිතතාව බිඳවැටෙනවා.. ඒ නිසා හානි නොවෙන්නෙ නෑ වෙනවා.. අවම කරන එකයි කරන්න ඕන.. මොරගහකන්දෙ වතුර පුරවද්දි බෝට්ටුවලින් ගිහින් වතුරට කොටුවෙන්න ගිය හූනො,කටුස්සො, තලගොයි,නයි,පොළොන්ගු ඇල්ලුව දැක්කනේ.. ඒ වගේ අවම කරන්න පුලුවන් හානිය..

ඊලඟ එක නැවත පදිංචිකිරීම්... මේ කාරණාව තරම් ලංකාවෙ සංවර්ධනයට, නිකන් නෙවෙයි තිරසාර සංවර්ධනයට, බාධාවක් වුණු දෙයක් නැති තරම්.. ඒ වගේමයි මීඩියාකාරයින්ට මිනිස්සු අඬවලා නිව්ස් මවන්නත් මීට වඩා හොඳ පොයින්ට් එකක් වෙන නෑ.. අනික තමයි වන්දි කියන ඒවා හරියට තක්සේරුකරල දුන්නත් කොච්චර ලැබුනත් මදි.. ආයෙ ඇහුවත් කියන්නෙ මොකුත් ලැබුණෙ නෑ කියලා.. කැළණි ගග දෙපැත්තෙ මිනිස්සුන්ට ගංවතුර ආධාර බෙදනකොට වගේ තමයි... මේවා අද ඊයෙ නෙවෙයි හැමදාම හැම ප්‍රොජෙක්ට් එකකම වෙන දේවල්.. වික්ටෝරියාවලදි තෙල්දෙණිය ටවුමක්ම නැවත පදිංචිකලා, මොරගහකන්ද-කළුගඟට ලග්ගල-පල්ලෙගම ටවුමම යට වුණා.. අලුතෙන් පාරවල් හැදුවා... ඒවා අසාමාන්‍ය නෑ.. සංවර්ධන ව්‍යාපෘතිවල සාමාන්‍ය දේවල්.. බොහොම සාමාන්‍යයි..
අනෙක් මහාපරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ජලාශවලට යටවෙන ප්‍රදේශයෙන් ඉවත් කරන්න වෙන ප්‍රමානය සාපේක්ශව ඉතාම අඩු ගණනක් මේ ව්‍යාපෘතියෙ.. සංඛ්‍යාත්මකව නම් සම්පූර්ණයෙන්ම යටවෙන ප්‍රමානය ගෙවල් 200ක්. මේක අනෙකුත් මහාපරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ඉතාම අඩු ගණනක්..

පට්ටපල් බොරු ප්‍රශ්න තමයි උඩින් කිව්වෙ, හැබැයි උමාඔය ප්‍රොජෙක්ට් එකේ ඇත්තටම ප්‍රශ්නයක් තියනවා...දැන් එමු ප්‍රශ්නෙට.. ප්‍රශ්නෙ එන්නෙ ටනල් හාරන්න යද්දි.. මේකෙ ටනල් 3යි. ඒ තුනෙන් පුහුල්පොල-ඩයරබා යාකරන ලින්ක් ටනල් එක හදලා ඉවරයි.. ඒකෙ දිග කිලෝමීටර් 4යි.. ඒක හදද්දිත් වතුර කාන්දු වුනා.. ඒ කාන්දු නවත්වගෙන සීල් කරගෙන ටනල් එක හදල ඉවර කලා.. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.. තව ටනල් දෙකක් තියනවා හෙඩ්‍රේස් ටනල් එක සහ ටේල්රේස් ටනල් එක...හෙඩ්‍රේස් කියන්නෙ ඩයරබා වලින් විදුලි බලාගාරෙට වතුර ගෙනියන්න හදන මේ ටනල් එකේ දිග කිලෝමීටර් 15ක්, ටේල් රේස් එකෙන් බලාගාරෙ ඉදන් අලිකොටආරට වතුර ගෙනියනවා ඒකෙ දිග කිලෝමීටර් 3.3ක්.. මේකෙන් ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ හෙඩ්‍රේස් එකේ.. ප්‍රශ්නෙ තමයි හාරද්දි භූගත ජලය කාන්දුවෙනවා ඒ නිසා ටනල් ට්‍රේස් එක උඩ තියන ප්‍රදේශවල භූගත ජලමට්ටම පහල යනව සහ ඒ නිසා පසෙහි සිදුවන වෙනස්කම් නිසා ඉහල පාංශු ස්ථරයේ ඉරිතැලීම් සිද්ද වෙනවා.. මේ භූගත ජල කාන්දු වලක්වන්න පුලුවන් වගේම නිවැරදි අධ්‍යනයක් කළා නම් මේ තත්වෙට නොගිහින් වළක්වගන්නත් තිබුණා.. මේකෙ වගකීම සම්බන්ධයෙන් ගත්තම විවිධ පාර්ශව වලට චෝදනා වෙනවා.. එතනින් ප්‍රධානම එකක් වෙන්නෙ ව්‍යාපෘතිය කඩිනම් කරන්න එවකට පැවති දේශපාලන අධිකාරියට තිබුණු හදිස්සිය හේතු වුණා කියන එක.මේක බැහැර කරන්න බැරි කාරණාවක්..!!! ඊලග දේ ටනල් ට්‍රේස් එක ගැන දත්ත අඩු අවස්ථාවක TBM (tunnel boring machine) එක යන්න කලින් ඉදිරි කලාපය ගැන දත්ත ගන්න අධ්‍යනයන් කරන්න ඕන..ඒක කරලත් නෑ...!! මේ වෙද්දි අවස්ථා දෙකකදි දුර්වල පාංශු ස්ථර හමුවීම නිසා සැලකියයුතු ප්‍රමාණයෙන් භූගත ජලය කාන්දු වුණා. පළවෙනි කාන්දුව අවම කරල තියෙන්නෙ.. (100%ක් ම වහන්න බෑ..) දැන් තියන කාන්දුවත් අවම කරන්න කටයුතු කරගෙන යනවා.. ඒවා ඉතාම වියදම් අධික ක්‍රියාවලි... සරලව කිව්වොත් මූලික අධ්‍යනයන් නොකර වගේම ටනල් එක හාරද්දි කරන්න ඕන අධ්‍යනයන් නොකිරීමෙන් ඇතිවෙලා තියන තත්වය පාලනය කරන්න යන වියදම අධික වීම නිසා ව්‍යාපෘතියෙ වියදම ඇස්තමේන්තුගත වියදම ඉක්මවා යන්න පුළුවන්... ටනල් එක හදලා ඉවර වෙද්දි භූජලවිද්‍යාත්මකව නැවත ඉහල ජල ස්ථරය යථා තත්වයට පත්වෙනවා.. ඒත් ඒ වෙනතුරු ආපදාවට ලක්වෙලා ඉන්න ප්‍රදේශවලට අදාළ වන්දි ලබාදීම වගේම ජල පහසුකම් ලබාදෙන්න ඕන.. ඉහල බිම් සදාකාලිකව නිසරු වෙන්නෙ නෑ මොන හේතුවකටවත්... මේක තාවකාලික තත්වයක්..!! 

මේ ප්‍රොජෙක්ට් එක වගේම විදේශ ණය මත පදනම් වුණු සියළුම ව්‍යාපෘති වල තියන ප්‍රධානම ගැටලුවක් තමයි මේවා EPC(Engineering Procurement Contract) වීම.. එතනදි clientගෙ consultantට තියන බලය ඉතාම අවමයි. ඒ කියන්නෙ මේකට clientගෙ පැත්තෙන් ඉන්න CECB එකට ප්‍රොජෙක්ට් එකට අතදාන්න බෑ.. monitor කරන්න විතරයි පුළුවන්.. ඒක ලොකු පාඩුවක්.. මේ පාඩුව අපිට උමාඔය විතරක් නෙවෙයි මොරගහකන්ද,කතරගම රේල්වේ එකේ වගේම අනෙකුත් ව්‍යාපෘති වලත් මතුවෙනවා...මේ තත්වයෙදි රටේ දේශපාලන අධිකාරියත් කන්ට්‍රැක්ටර්ගෙ පැත්ත ගන්නව නම් උන්ව පාලනය කරන්න බැරිම තත්වෙකට එනවා.. උදාහරණෙකට කතරගම රේල්වේ එකේ CECB ටීම් ලීඩර් අයින් කරන්න පවා අපේ වත්මන් ජනාධිපති කටයුතු කරල තිබුණා.. සාපේක්ශව ගත්තම ඉරාන් වැඩ චීන්නුන්ට වඩා ගොඩක්ම හොඳයි.. මොකද චීන සයිට් බලන්න යන්නවත් CECB එකට දෙන්නෙ නෑ, ගහනවා.!! .ඔව්. ඒත් උමාඔය එහෙම තත්වයක් නෑ.. එතන තියන කන්ස්ට්‍රන්ශන් ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න කන්ට්‍රැක්ටර්ටම අව්ශ්‍යතාව තියනවා.. ඒකට හේතුව ඔවුන් ලෝකයෙ ජලවිදුලිය සම්බන්ධ නමක් තියන සමාගමක් වීම සහ මේ ප්‍රශ්න ඔවුන්ගෙ කීර්තිනාමයත් හානියක් වීම.. 
උමාඔය තියෙන්නෙ විසඳන්න බැරි ප්‍රශ්න නෙවෙයි.. ඔය කියන විදියට ටනල් ට්‍රේස් එක උඩ සදාකාලිකව නිසරුවීමක්වත් පෝශකප්‍රදේශ විනාශවීමක්වත් වෙන්නෙ නෑ.. ලෝකෙ කොහෙවත් ටනල් එකක් නිසා එහෙම වෙලත් නෑ, දැනට තියන ඉංජිනේරුවිද්‍යාත්මක දැනුමෙන් එහෙම වෙන්නෙත් නෑ. මේ ප්‍රශ්න තාවකාලිකයි..නමුත් ඉන් ආපදාවට ලක්වෙන මිනිස්සුන්ට වන්දි ලබාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි..!!

----------------------------


මේ අතර


'උමාඔය ඇස්තමේන්තුවෙන් ඩොලර් මිලියන 248 ක් ගිල්ලේ මෙහෙමයි." යන මැයෙන්  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ  කීර්ති තෙනේකෝන් මහතාගේ හෙළිදරව්වක් පහතින්....


බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව මාස 6 ක් තුල ඩොලර් මිලියන 248 කින් වැඩි කළ දේශපාලනඥයින් හා නිලධාරීන් උමා ඔය විනාශයට වග කිව යුතු යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සදහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – 2006 දී සකස් කරනු ලැබුවේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගම විසිනි. එම ඇස්තමේන්තුවට අනුව උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍ර‍මය සදහා වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 155 කි.


රාජපක්ෂ රජය උමා ඔය ව්‍යාපෘතියට ආකර්ශනය වන්නේ වැලිමඩ ජලය මොණරාගලට ගෙන යන්නට එමගින් අවස්ථාව ලැබෙන නිසාම නොවේ. සැබවින්ම වැලිමඩ ජලය හම්බන්තොට ගෙන යන කතාව මැතිවරණ වේදිකා කථාවක් පමණකි.


කැනඩා ඇස්තමේන්තුවෙන් වසර 3 කට පසුව ඉරානය මෙම ව්‍යාපාරයට මැදිහත් වේ. 2008 අප්‍රේල් මස ඉරාන ජනාධිපතිවරයා ලංකා සංචාරය අතර මෙම ව්‍යාපෘතිය ඇරඹීමට මේ අනුව සුදානම් වන අතර එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා ට එම ගිවිසුම අත්සන් කිරීමට බලය පැවුරුණි. ඔහු ගේ දැඩි විරෝධනය නිසාම ශක්‍යතා අධ්‍යයනයකින් පසුව ඇස්තමේන්තු කිරීමේ කොන්දේසිය සමග ‘හිස් ගිවිසුමක්‘ ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතර අත්සන් තබනු ලබයි. එවකට වාරිමාර්ග අමාත්‍යවරයා වූයේ චමල් රාජපක්ෂ මහතා ය.


මේ අතර ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු ඉහළ නංවන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවේ දී ලංකා රජයේ නිලධාරීන්, ඉංජිනේරුවන් මෙයට වඩා වැඩි මුදලක් මේ ව්‍යාපෘතියට වැය කිරීමට එරෙහි විය. කෙසේ නමුත්, 2008 දෙසැම්බර් මස ලංකාවේ අන්ත දුෂිත නිලධාරීන් පිරිසක් ද ඉරාන විශේෂඥයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ද සකස් කරන ලද ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 548 කි. එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එයට පක්ෂ නොවන වාර්තාවක් ද එයට සමගාමීව ඉදිරිපත් කරනු ලැබීය. (ගුණවර්ධන මහතා යනු පරාක්‍ර‍ම සමුද්‍ර‍ය කැඩී ගිය අවස්ථාවේ ඉතා කෙටි කලකින් එය ප්‍ර‍තිසංස්කරණය වාරි ඉංජිනේරුවරයා ය.)


එයින් 85% ක් ඉරාන රජය මගින් ද, 15% ක් ලංකා රජය මගින් ද දැරීමට ගිවිසුම අනුව දෙරට එකගත්වය පළ කරනු ලැබීය. වත්මන් උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව රුපියල් කෝටි 7632 කි.


ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට මෙම ගිවිසුමට අත්සන් තැබීම සදහා දේශපාලන බලපෑම් එල්ල වන්නේ මේ අවස්ථාවේ දී ය. එය ප්‍ර‍තිඑලය වූයේ 2009 ජනවාරි 9 දින අමාත්‍යාංශ ලේකම් ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ය. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපියේ ලියන්නේ ‘ලංකා රජයට අතිරේක ඩොලර් මිලියන 248 ක පිරිවැයක් දැරීමට සිදුවන ගිවිසුමකට මාගේ අත්සන යෙදිය නොහැකි බැවින් ඉල්ලා අස්වන බවයි.


වාරි මාර්ග අමාත්‍යාංශයේ පුරප්පාඩුව සදහා පත්වන්නේ අයිවන් සිල්වා මහතා ය. ඔහු දේශීය විශේෂඥයින්ගේ ද, ඌව ජනතාවට ද, පරිසර වේදීන් ද එක හඩින් එපා කියන උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේය. ඒ කැනේඩියානු ඇස්තමේන්තුවට වඩා සිව් ගුණයටක මදක් අඩු ඇස්තමේන්තුවකට ය. ලංකාවේ වාරි ඉංජිනේරුවන් එකග වූ මුදලට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 248 කට වැඩි මුදලකටය.


උමා ඔය ව්‍යාපෘතියට පරිසර ඇගයීම් වාර්තා අනුමැතිය ලබා දී ඇත්තේ 2011 අප්‍රේල් 12 දා ය. අලුත් අවුරුද්ද ලබන්නට පැය ගණනකට පෙර මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය ලංකාවේ මධ්‍ය කදුකරයේ නැගෙනහිර බෑවුමේ හදවත සිදුරු කරන්නට අවසර ලබාදීම පිටුපස ඇත්තේ ද දැවැන්ත අබිරහසකි. ජනතාව වීදි බැස හර්තාල් කරන සුන්දර බණ්ඩාරවෙල කාන්තාරයක් බවට පත් කොට ඇති උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එදා මෙදා තුර පාලකයින් වගකිය යුත්තේ මේ දැවැන්ත විනාශය නිසාමය.


රජිත් කීර්ති තෙන්නකෝන්

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ
හිටපු උපදේශක - දුෂණ විරෝධී පෙරමුණ

2017 ජූනි 30 
උපුටා ගැනීම
http://news24.lk/gossip/5373/Uma-Oya-Project

Tuesday, September 19, 2017

ඕසෝන් දිනය 2017-09-16


2017 වර්ෂයේ  ඕසෝන් දින තේමාව වන්නේ: Caring for all life under the sun යන්නය. එහි සිංහල තේරුම සූර්යයා යට සියළු ජීවිත රැකබලා ගැනීමයි.

ලංකාදීපය විසින්  2014 ඕසෝන් දිනය වෙනුවෙන් ඕසෝන් වායුව සම්බන්ධව සකස් කරන ලද වීඩියෝවක් මුදා හැර ඇති අතර එය පහතින් නැරඹිය හැකිය.

Monday, September 4, 2017

පොලිතීන් තහනම (ගැසට් නිවේදනය සහිතයි)

පොලිතීන් සහ ඒ ආශ්‍රිත භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීමට අදාල ගැසට් නිවේදන 06ක් රජය විසින් සැප්තැම්බර් 01 දා   නිකුත් කර තිබේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව අදාල ගැසට් නිවේදන 06 නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදන වලට අනුව 

01. මයික්‍රෝන 20 හෝ ඊට අඩු පොලිතීන් හෝ පොලිතීන් නිෂ්පාදන නිපදවීම, විකිණිම, නොමිලේ ලබාදීම සහ භාවිතය -  අංක 2034/33 ගැසට් නිවේදනය


 02. ආහාර දවටන හෙවත් ලන්ච් ෂීට්  නිපදවීම, විකිණිම, නොමිලේ ලබාදීම, හෝ භාවිතය  - අංක 2034/34 ගැසට් නිවේදනය


03. වැඩි ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගෙන මළු නිෂ්පාදනය, විකිණිම, නොමිලේ ලබාදීම, ප්‍රදර්ශනය කිරිම හෝ භාවිත කිරිම -  අංක 2034/35 ගැසට් නිවේදනය


04. කිසිදු තැනැත්තෙකු ප්ලාස්ටික් අඩංගු කසල හෝ පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍ය එළිමහනේ පිළීස්සීමට ඉඩ සැලැස්වීම හෝ ඊට අවසර ලබාදීම  -  අංක 2034/36 ගැසට් නිවේදනය


05. සියලුම ආකාරයේ පොලිඑතිලින්, පොලිප්රොටපිලින්,පොලිඑතිලීන් නිෂ්පාදන හෝ පොලිප්රො,පිලින් නිෂ්පාදන දේශපාලන, සාමාජියීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවලදී සැරසිලි සදහා භාවිතය. -  අංක 2034/37 ගැසට් නිවේදනය


06. ප්‍රසාරිත පොලිස්ටයිරින් වලින් ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප, හා හැඳි නිෂ්පාදනය සහ රට තුළ විකිණීම, විකිණිම සඳහා අපර්ණය, නොමිලේ ලබා දීම, ප්‍රදර්ශනය හෝ භාවිතය - අංක 2034/38 ගැසට් නිවේදනය


යන්න තහනම් කර ඇත.
මෙම ගැසට් නිවේදන මගින් 2017 සැප්තැම්බර් 01 දින සිට පොලිතීන් භාවිතය තහනම් කළ ද එළඹෙන 2018 ජනවාරි මස 01 වනදා දක්වා සහන කාලයක් ලබා දී ඇති බව සඳහන් වේ. 


පොලිතීන් තහනම පිළිබඳව පසුගිය වකවානුවේ වෙබ් අඩවි වාර්තා කළ කරුණු පහතින් දක්වා ඇත.



ලෝකෙ වටේ පොලිතීන් බෑග් තහනම් කරපු හැටි

1994 ඩෙන්මාකය බෑග් වලට බද්දක් - භාවිතය හරි අඩකින් අඩු වීම යුරෝපා සංගමයේ බෑග් අඩුවෙන්ම භාවිතා කරන රට බවට පත් විය
89 – 98 ගංවතුර ගැලිම් වලදී කාණු අවහිරවීම නිසා ගංවතුර හානි වැැඩි වුනා. 1991දී බෑග් තහනම් කළ පළමු රට බවට බංගලාදේශය පත්වුණා. ඒත් මිල අඩු ආදේශක නොවිම සහ නීතිය ක්‍රියාත්මක නොවීම තුළ තවමත් භාවිත වේ.
2008 ඔලිම්පික් උළෙලට කලින් චීනයේ තහනම් කළා. ඔවුන්ට අනුව භාවිතය 60% අඩුවෙලා. තෙල් ටොන් මිලියන 4.8ක් ඉතිරි ඇති බව කියයි.
---------------------------------------------------------------------------------------------------------------
ලංකාදීප පුවත්පත

ලන්ච් ෂීට් කෝටි දෙකක් දිනපතා පරිසරයට
(විනීතා එම් ගමගේ)

කෑම එතීම සඳහා භාවිතා වන තුනී පොලිතින් (ලන්ච් ෂීට් ) කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයක් දිනපතා පරිසරයට එකතුවන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.  ශ්‍රී ලංකාවේ ජනගහණයද කෝටි දෙකක් වුවත් එක්පුද්ගලයකු දිනකට තුන්වේලක් හෝ ඊට වැඩි ගණනක් ආහාර ගැනීමේදී මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 
මෙරට එක් පුද්ගලයෙකු වසරකට භාවිතා කර ඉවතලන පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5.72 ක් වන බවත් කොළඹ දී එම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 7.5 ක් වන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා එම අධිකාරියේ අද (12) පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. රටේ ජනනය වන සමස්ත කසල ප්‍රමාණයෙන් 10% ත් 15% අතර ප්‍රමාණයක් පොලිතින් සහ ප්ලාස්ටික් වන බවත් හෙතෙම සඳහන්  කළේය.
2016 වසරේ ආනයනය කළ පොලිතින් සෑදිමේ අමුද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 113500 ක් වූ  බව කී සභාපතිවරයා ඒ  සඳහා විදේශ විනිමය රුපියල් කෝටි දෙදහසක් වැය වී ඇතැයි ද පැවැසීය. එමෙන්ම ආනයනය කරන පොලිතින් අමුද්‍රව්‍ය ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවෙමින් ඇතැයි ද ප්‍රකාශ කළේය. 
මෙසේ  කසලවලට එක්වන පොලිතින් ප්ලාස්ටික් වසර සියයක් ගියත් නොදිරන තත්ත්වයක් ඇතැයි කී සභාපතිවරයා නව නීති හා තහනම ගෙන එන්නට හේත-ු වූයේ මෙම තත්ත්වයන් යැයි ද සඳහන් කළේය

-------------------------------------------------------------------------------------------------------

2017-07-12 දිනැති පුවත
දිනමිණ කතුවැකිය

අපට දැන් සිදු වී ඇත්තේ පොලිතින් හා ප්ලාස්ටික්වලින් ජීවිතය ඉල්ලා සිටින්නට ය. මේ ද්‍රව්‍ය දෙක ඒ තරමට ම අපේ ජීවිත ආක්‍රමණය කර තිබේ. අපේ බත්පත ඇත්තේ පොලිතීන් කොළයක් මත ය. ඖෂධ, සුවඳ විලවුන් පමණක් නොව; බීම වර්ග පවා ඇත්තේ ප්ලාස්ටික් බෝතල් තුළය. නැතහොත් එම රඳවන මත ය. පානීය ජලය පවා ප්ලාස්ටික් බෝතලයක බහා ඉදිරිපත් කිරීම අලුත් තාලය වී තිබේ. එහෙත් හොඳින් කල්පනා කර බලන විට පෙනී යන්නේ මාරයා අප ළඟට ම පැමිණ අපේ ඇ‍ඟේ දැවටෙන බව ය. පොලිතීන් හා ප්ලාස්ටික් යනු මිනිස් සංහතිය හා පරිසර පද්ධතිය විනාශ කරන ප්‍රධාන සාධකයක් බව හඳුනාගෙන බොහෝ කල් ය.

දිනකට එක නිවෙසක කුණු මුල්ලේ ගොඩ ගැසෙන පොලිතින් තොගය කොපමණ ද? ප්ලාස්ටික් තොගය කොපමණ ද? දිනකට ශ්‍රී ලංකාව තුළ සිලි බෑග් මිලියන විස්සක් භාවිත වන බව කියති. දිනකට ශ්‍රී ලංකාව තුළ ලන්ච් සීට් මිලියන පහළොවක් භාවිත වන බව ද කියති. අපේ ජීවිතත්; පරිසර පද්ධතියත් විනාශ වීමට මේ ධාරිතාව හොඳට ම ප්‍රමාණවත් ය. අපි වරෙක මේවා ආනයනය කරන්නෙමු. තව වරෙක නිෂ්පාදනය කරන්නෙමු. තවත් වරෙක ඒවායින් ප්‍රති - නිෂ්පාදන ඇති කරන්නෙමු. මේ සියල්ලෙන් ම සිදුවන්නේ මිනිස් සංහතියේ විනාශයට පාර කැපීම ය. විශේෂයෙන් පොලිතින් හා ප්ලාස්ටික් දහනයෙන් මතුවන විෂ වායුව පිළිකා ඇතුළු රෝග ගණනාවකට හේතුකාරක වන බව සොයාගෙන තිබේ.

වත්මන් ජනාධිපතිවරයා පරිසරය ගැනත් මිනිසාගේ සෞඛ්‍යය ගැනත් බලවත් සේ උනන්දු වන රාජ්‍ය නායකයෙකි. එතුමාගේ මඟ පෙන්වීම යටතේ පරිසර හිතකාමී නීති - රීති ගණනාවක් මෑතක සිට ක්‍රියාත්මක වෙයි. එම නීති - රීති ගණනාවට අලුතින් එකතුවන්නේ ලන්ච් සීට් හා සිලි කවර තහනම් කිරීම ය. සැප්තැම්බර් පළමුවන දා සිට ක්‍රියාත්මක වන නීතියට අනුව මයික්‍රෝන 20 හා ඊට අඩු පොලිතීන් හා ප්ලාස්ටික් වර්ග භාවිතය තහනම් ය. මේ ප්‍රමිතිය හඳුන්වා දී ඇත්තේ නොදිරන අපද්‍රව්‍ය මගින් මිනිස් ජීවිතවලට හා පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ය. අපහසුවෙන් වුව ක්‍රියාවට නංවා ගතහොත් බොහෝ ප්‍රතිඵල උදාකර ගත හැකි ය. රජය පෙන්වා දෙන අන්දමට මෙය දිගුකාලීන වැඩසටහනකි. එය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වේ.

පළමු අදියර ක්‍රියාත්මක වන්නේ කඩිනම් වැඩසටහනක් ලෙස ය. ඊට අදාළ කරුණු හා සාධක දොළහක් හඳුන්වා දී තිබේ. ඒ අනුව ලන්ච් සීට් තහනම් ය. සිලි බෑග් ද තහනම් ය. ඒවා නිෂ්පාදනය කිරීම ද අත්හිටවනු ලැබේ. පහසුවෙන් දිරන නිසි ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරන ලන්ච් සීට් හා සිලි බෑග් වෙනුවෙන් ද පරිසර අධිකාරියෙන් අනුමැතියක් ලබාගත යුතුය. මෙය වැදගත් පියවරකි. මෙතෙක් එබඳු නිෂ්පාදන සම්බන්ධයෙන් කිසිදු ආයතනයක් වගකීම ගත්තේ නැත. ව්‍යාපාරිකයන් තම අභිමතයට අනුව අදාළ භාණ්ඩ නිෂ්පාදනය කර තිබේ. අවම ලෙස මේ සම්බන්ධයෙන් ප්‍රමිතියක් ඇති කිරීම වුව අතිශය වැදගත් පියවරක් සේ සැලැකිය හැකි ය.

අන්තර්ජාතික පර්යේෂණ ආයතනයක් මෑතක දී කළ පර්යේෂණයක වාර්තාවකින් දක්වා ඇත්තේ දකුණු ආසියාවේ මුහුදට කසළ මුදාහරින ප්‍රධාන රටක් හැටියට ශ්‍රී ලංකාව සැලැකිය හැකි බව ය. අප මෙලෙස මුහුදට අත හරින කසළවලින් වැඩි ප්‍රමාණය පොලිතීන් හා ප්ලාස්ටික් වන්නට පුළුවන. ප්ලාස්ටික් බෝතලයක් දිරන්නට වසර දහස් ගණනක් ගතවන බව පර්යේෂණවලින් හෙළිදරව් වී තිබේ. එසේ දිරාපත් වීමට ලක්වන්නේ වුව පොලිතින් හා ප්ලාස්ටික් මුළුමනින් ම විනාශ නොවන බව සොයාගෙන තිබේ. ඊජිප්තුවේ පර්යේෂණ කණ්ඩායමක් ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණුවකු පිළිබඳ පර්යේෂණයක නිරත වුව එය සාර්ථක වූ බවක් පෙනෙන්නට නැත. දැනට ගත යුතු බුද්ධිමත් ම තීරණය වන්නේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් වැළකීම පමණි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය කියා සිටින්නේ මේ ද්‍රව්‍ය දෙක හානිකර බව ඉඳුරා පිළිගන්නේ වුව ඊට අදාළ විකල්ප ද්‍රව්‍ය හඳුනා නොගැනීම නිසා ඉහත තහනම ඔස්සේ පාරිභෝගිකයා අපහසුවට පත්වන බව ය. මේ තර්කය පිළිගත නො හැකිය. පොළට, කඩයට, සුපර්මාර්කට් එකට යන පාරිභෝගිකයාට පන් මල්ලක් හෝ හම් මල්ලක් හෝ පාවිච්චි කළ හැකි ය. බත් එතීම සඳහා කෙසෙල් කොළ හෝ වෙනත් දේවල් භාවිත කළ හැකි ය. පිඟානක් තවත් පිඟානකින් වසා රෙදි කඩකින් බැඳගෙන කාර්යාල වෙත කෑම රැගෙන එන ක්‍රමයක් අදටත් භාවිත වෙයි. ඕනෑම දෙයක පහසුව ගැන පමණක් නොව; ප්‍රතිඵලය ගැන ද බැලිය යුතුය. මේ තහනම නිසා පාරිභෝගිකයා බලවත් අසීරුවට පත්වන්නේ යැයි සිතිය නො හැකි ය.

කෑගල්ල යනු රටේ ප්‍රධාන නගරයකි. දිනපතා දහස් ගණනක් විවිධ කටයුතු සඳහා නගරයට කඩා වදිති. එහි හෝටල් හා කඩ රාශියක් ද පවතී. මේ කිසිදු හෝටලයක ලන්ච් සීට් හා සිලි බෑග් භාවිත නොකරන බව කියති. කෑගල්ල නගරය එබඳු තීන්දුවකට පැමිණ ඇත්තේ මහජන අභිමතය පරිදි බව ද දැනගන්නට ලැබේ. මෙය ආදර්ශයක් ලෙස ගත හැකි ය. කෑගල්ලට ලන්ච් සීට් එපා නම්; අනෙක් නගරවලට ද ඒ ක්‍රමය අනුගමනය කළ හැකිය. නගරයෙන් - නගරයට මේ ක්‍රමය ක්‍රියාත්මක වුවහොත් පොලිතීන් ගැටලුව ඉබේ ම විස‍ඳෙනු ඇත. මහජනයාගේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කළ හැකි මෙබඳු තවත් වැඩසටහන් ගැන සොයා බැලීම වැදගත් ය.

පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය ව්‍යාප්ත වූයේ විවෘත ආර්ථිකයත් සමඟ ය. ආර්ථිකය පුළුල් වෙත් ම පරිභෝජනය ද සංකීර්ණ විය. එය නැවැත්විය හැකි ක්‍රියාවලියක් නොවේ. එහෙත් භාණ්ඩවල ගුණාත්මක භාවය විමැසීමේ දී එහි අසුරන හා දවටන ගැන වුව විමසා බැලෙන ක්‍රමයක් දැන් පවතී. දියුණු රටවල පාරිභෝගිකයා භාණ්ඩයක් මිලට ගනු ලබන්නේ ඒ සියල්ල විමැසීමෙන් පසු ය. අපේ රටේ ද සිදුවිය යුත්තේ පාරි‍භෝගිකයා දැනුවත් කිරීම යැයි සිතන්නට පුළුවන. ඒ අතර සිදුවෙමින් පවතින මහා විනාශය වැළැක්වීම සඳහා අලුත් නීති - රීති ද අවශ්‍ය වේ. සැප්තැම්බර් 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත අලුත් නීතියට මහජන සහයෝගය අවශ්‍ය වේ.

------------------------------------------------------------------------------------------------------------

2017-07-04 ලිපිය 
විදුසර විශේෂාංග

පොලිතින් තහනමෙන් මෙවර වත් පලක්‌ වෙයි ද?

මයික්‍රෝන 20ට අඩු පොලිතින් වර්ග භාවිතය 2016 ජනවාරි 01 සිට නැවතත් තහනම් කරනු ලැබ තිබේ. මෙහි දී නැවතත් යන විශේෂණය යොදන ලද්දේ මේ තහනම මීට පෙර ද ක්‍රියාත්මක වූ බැවිනි. 2006 ඔක්‌තෝබර් 10 වැනි දා අඟහරුවාදා අංක 1465/5 දරන අතිවිශේෂ ගැසට්‌ නිවේදනය මගින් මේ තහනම ක්‍රියාත්මක කර තිබේ. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

"ඝනකමින් මයික්‍රෝන 20ක්‌ හෝ ඊට අඩු පොලිතින් හෝ පොලිතින් නිෂ්පාදනයක්‌ දේශීය භාවිතයට නිෂ්පාදනය විකිණීම හෝ භාවිතය තහනම් කෙරේ". 

පොලිතින් යන්නෙන් හැම ස්‌වරූපයක ම පොලිඑතිලින්, පොලිප්‍රොප්ලින්, පොලිස්‌ටයිරින්, පොලිවයිනයිල් ක්‌ලෝරයිඩ්, පොලිඑතිලින් ටෙරිප්තලේට්‌ හෝ වෙනත් සමාන අමුද්‍රව්‍ය භාවිතය, රැගෙන යැම, ඇසිරීම, එතීම හෝ ඇසුරුම් කිරීම සඳහා නිපදවනු ලබන නිෂ්පාදන ද ඇතූළත් වේ. ඝනකම අඩු පොලිතින් අලෙවිය හෝ වෙළෙ¹මේ දී පාවිච්චිය දඩුවම් ලද හැකි වරදකි. එයට දඩුවම එක්‌කෝ දෙවසරක සිරදඩුවමකි. නැත්නම් රුපියල් දස දහසක දඩයකි. සමහර විට මේ දඩුවම් දෙක ම ලබා දිය හැකි වේ. 

කෙසේ වෙනත් 2006 දී ගැසට්‌ කරන ලද මේ නීතිය දිගින් දිගට ම ක්‍රියාත්මක නො වී ය. එයට හේතුව පාරිභෝගිකයකු විසින් පවරන ලද නඩුවකි. එම නඩුව පවරන ලද්දේ වෙළෙඳ ආයතනයක්‌ උක්‌ත තහනම හේතු කොටගෙන නොමිලයේ බඩු ඇසුරුම් කර දීම ප්‍රතික්‌ෂේප කළ හෙයිනි. එනම් අවසාන ඇසුරුමේ දී කිසියම් මුදලක්‌ අය කිරීම හේතුවෙනි. එම නඩුව විසඳීමේ දී උපදෙස්‌ දෙනු ලැබුවේ භාණ්‌ඩ ඇසුරුම් කර දීම වෙළෙඳ ආයතනයේ යුතුකමක්‌ බවයි. එසේ ම පාරිභොගිකයා ගේ කැමැත්තකින් තොර ව මල්ලක්‌ සඳහා මිලක්‌ අය කිරීම වැරැද්දක්‌ බව ද පෙන්වා දෙන ලදි. එසේ වුව ද ගරු අධිකරණය කිසි විටක මයික්‍රෝන 20 නීතියට එරෙහි ප්‍රතිපාදනයක්‌ ඉදිරිපත් කර තිබුණේ ද නැත. 

එය එසේ වුව ද වානිජ ප්‍රජාව මෙය අර්ථකථනය කළේ තමන් ගේ වාසියට ලබා දුන් තීන්දුවක්‌ ලෙස ය. එයින් පසු මේ නීතිය ක්‍රියාත්මක වීම නිසි ලෙස සිදු නො වූ අතර වෙළෙන්දොa රිසි රිසි සේ පොලිතින් භාවිත කරන්නට වූ හ. 

ගරු අධිකරණය ඉතා ම නිරවද්‍ය ලෙස ක්‍රියාත්මක ව ඇතත් වෙනත් පාර්ශ්වයන් විසින් ලබා දෙන ලද සාවාද්‍ය අර්ථකථන මෙන්ම සිදු කරන ලද නුසුදුසු හෝ ප්‍රයෝගකාරී හෝ මන්දගාමී ක්‍රියා නිසා පොලිතින් ගැටලුව දිගින් දිගට ම ඉදිරියට ආවා මිස විසඳුමක්‌ ලැබුවේ නැත. එනිසා මේ වතාවේ හෝ නිවැරැදි ව විසඳුම ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය වේ. 

ඇතැමෙක්‌ මේ නව නීතිය ද එතරම් ඵලදායි දෙයක්‌ නො වන බවට ද එය අලුත් ගැටලු ජනිත කරවීමට හේතු වන බවට ද තර්ක කරති. එවැනි එක්‌ තර්කයක්‌ වන්නේ ඝනකම වැඩි පොලිතින් පාවිච්චි කර නිපදවූ මලු ස්‌කන්ධයෙන් අධික නිසා පෙරට වඩා ස්‌කන්ධය අතින් වැඩි පොලිතින් ප්‍රමාණයක්‌ (සමහර විට පෙර මෙන් දෙගුණයක ස්‌කන්ධයක්‌) පරිසරයට එක්‌ වීම ය. ස්‌කන්ධයෙන් වැඩි පොලිතින් අමුද්‍රව්‍ය ආනයනයට වැඩි විදේශ විනිමයක්‌ වැය වීම ගැන ද ඔවුහු සඳහන් කරති.

එවැනි තවත් එක්‌ ගැටලුවක්‌ නම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආකාරයෙන් නිෂ්පාදන බිහි වුව ද එම නිෂ්පාදන භාවිතයෙන් පසු ප්‍රතිචකී්‍රකරණ මධ්‍යස්‌ථානවලට ළගා වේ ද යන්නයි. මන්ද යත් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්‌ථානවලට පොලිතින් භාර දෙන්නේ හෝ වර්ගීකරණය කළ කුණු බඳුන්වලට පොලිතින් දමන්නේ හෝ පාරිභෝගිකයන් ගෙන් ඉතා ම සුළු ප්‍රතිශතයක්‌ පමණක්‌ වන බැවිනි. 

මේ තර්කවලට අනුව මහත් වෙහෙසක්‌ දරා හා විශාල මුදලක්‌ ද වැය කරමින් ඝනකම වැඩි පොලිතින් භාවිත කිරීම අපේක්‌ෂිත ජයග්‍රහණ අත් කර දේ ද යන්න තවමත් ගැටලුවකි. මන්ද යත් ඝනකම පොලිතින් පවා සෘජු ව ම කුණු කඳු වෙත ළගා වන්නේ නම් සිදු වන්නේ කලින් සිදු වූ අනර්ථය ම ය. අප දන්නා දරමින් බොහෝ ප්‍රාදේශීය සභාවලට මේ කුණු වර්ගීකරණය කරන්නට නිශ්චිත සැලසුම් නැත. එහෙයින් නිෂ්පාදනවල තත්ත්වය වෙනස්‌ කිරීමෙන් නො නැවතී එම පොලිතීන් බහුතරය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්‌ථානවලට ළගා කරගැනීමේ වැඩපිළිවෙළක්‌ ද දියත් කළ යුතු ය. 

තව ද අප හා කතා කළ ප්‍රතිචක්‍රීකරණ කටයුතුවල නියෑළෙන ව්‍යාපාරිකයන් කියා සිටියේ මේ ව්‍යාපාරයෙන් ලැබන්නේ ඉතා අඩු ලාබයක්‌ බවත් එනිසා ම බොහෝ දෙනා මේ ව්‍යාපාරයෙන්a ඉවත් වන්නට ද ඉඩ ඇති බවත් ය. මේ දුබලතා අප පෙන්වා දෙන්නේ පවත්නා නව නීතියට එරෙහි ව නො ව එහි අපේක්‌ෂා වඩාත් ඉහළ මට්‌ටමෙන් සපුරාගැනීමේ අපේක්‌ෂාවෙන් බව ද කිව යුතු ය.

එසේ ම මයික්‍රෝන ප්‍රමාණයේ ප්‍රශ්නයට අමතරව මිශ්‍ර පොලිතින් ලන්ච් ෂීට්‌ නිපදවීමට යොදාගැනීම වැළැක්‌වීමට කටයුතු යෙදිය යුතු බව පරිසරයට ආදරය කරන්නන් ගේ අදහසයි. එනම් ඇතැම් පුද්ගලයන් නොඉඳුල් පොලිතින් වෙනුවට බාල, මිශ්‍ර කරන ලද පොලිතින් භාවිත කරන බව පෙනේ. මයික්‍රෝන 20 නීතිය ක්‍රියාත්මක වුව ද මේ බාල පොලිතින් වෙළෙඳපොළට එන්නේ නම් ප්‍රයෝජනයක්‌ අත් වන්නේ නැත. 

එසේ ම මයික්‍රෝන 20 යන අගය සම්බන්ධයෙන් ද ගැටලු පවතී. ඇතැම් රටවල මේ සීමාව මයික්‍රෝන 40 හෝ 50 වේ. නිදසුනක්‌ දක්‌වත හොත් ඉන්දියාවේ මෙය 40කි. එසේ තිබිය දීත් අපේ රටේ එය 20 තරම් අඩු අගයක්‌ නියම කර ඇත්තේ ඇයි දැයි ඇතැමෙක්‌ විමසති. ආරම්භයක්‌ ලෙස මෙය සුදුසු වුවත් මෙතැනින් නො නැවතී මේ අගය ද සංශෝධනය කළ යුතු බව පරිසර හිතවාදීන් ගේ අදහස වේ. 

පොලිතින් තහනම් කළ යුත්තේ ඇයි?

බැලූ බැල්මට පොලිතින් උරයක්‌ යනු අපට උදව් වන, සමහර විට නැති ව ම බැරි ඉතා සුන්දර පෙනුමක්‌ ඇති, වරදක්‌ සිදු කරතැයි සිතිය නොහැකි දෙයකි. 

එහෙත් මේ අහිංසක පොලිතින් බරපතළ සෞඛ්‍ය ගැටලු මෙන්ම සමාජ ගැටලු ද ජනිත කරන්නට මුල් ව තිබේ. පොලිතින් දිරාපත් නො වීම පරිසර හා සෞඛ්‍ය ගැටලු ජනිත කිරීමට මූලික හේතුවයි. පොලිතින් දිරාපත් වීමට වසර 400-450ක්‌ පමණ ගත වේ. ඇතැම් පොලිතීන් වර්ග වසර 700ක්‌ ගිය පසු වත් දිරාපත් නො වේ. දිරාපත් නො වීම නිසා මේවා කුණු කඳු බවට පත් වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. 

පසුගිය කාලයේ දී ප්‍රාදේශීය සභාවක්‌ ඉදිරියට පැමිණි කුණු ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව උද්ඝෝෂණය කළ ආකාරය ඔබ රූපවාහිනි නාළිකාවලින් දැකගන්නට ඇත. එහෙත් එවැනි උද්ඝෝෂණ කුඩා මට්‌ටමේ රණ්‌ඩු සරුවල්වලට හෝ මාධ්‍ය සංදර්ශනවලට හෝ සීමා වෙයි. 

පොලිතීන්, වායුගෝලය, භූමිය හා ජලය යන ත්‍රිවිධාකාරයේ ම පරිසරය දූෂණය කරයි. පොලිතින් නො දිරන නිසා බොහෝ දෙනා කරන්නේ ඒවා එක්‌ කොට ගිනි තැබීම ය. එහි දී කාබන් ඩයොක්‌සයිඩ්, ඩයොක්‌සීන හා කාබන් මොනොක්‌සයිඩ් ඇතුළු විෂ වායු 

රැසක්‌ පරිසරයට එක්‌ වේ. 

පොලිතින් උවදුරෙන් මිදෙන්නට උපයෝගී කරගන්නා දෙවැනි ක්‍රමය වන්නේ ඒවා බිම් පිරවීමට යොදාගැනීමයි. (Land filling). බිම් පිරවීමට පොලිතීන් යොදාගැනීම එතරම් සුදුසු ක්‍රමයක්‌ නො වන බව හෙළි වී ඇති අතර එය හානිකර රසායන ද්‍රව්‍ය නිකුත් වීමට හේතු වන බව අනාවරණය වී ඇත. එසේ ම පුරවන ලද වගුරුබිම් ආදියෙහි (විශේෂයෙන් ම පොලිතීන් පිරවුම් සහිත) වාසය කිරීම රෝගවලට හේතු වන බව ද හෙළි ව තිබේ. කුණුගොඩවල් මතින් හෝ සෘජු ව ම හෝ පරිසරයට එක්‌ වන පොලිතීන් ජල මාර්ග අවහිර කළ අවස්‌ථා ගැන ද වාර්තා වී තිබේ. 

පොලිතින් අනතුරු ඇති කරන්නේ මිනිසාට පමණක්‌ නො වේ. 

පොලිතින් මලු හේතු කොටගෙන වසරකට මිය යන අහිංසක සතුන් ගේ සංඛ්‍යාව 100,000 ද ඉක්‌මවයි. ඩොල්µsන්, කැස්‌බෑවන්, තල්මහ, පෙන්ගුයින්, වඳුරන්, අලින් හා කුරුල්ලන් වර්ග රාශියක්‌ ඒ අතර වේ. එවැනි සතුන් ගේ මරණයට මූලික හේතුව ඔවුන් ඒවා ආහාර ලෙස වරදවා වටහාගෙන ගිල දැමීමයි. කුරුල්ලන් විශාල ලෙස මරණයට පත් වීමට පොලිතිSන් ගිලීම හේතු වී තිබේ. 

පොලිතීන් පරිසර දූෂණ කාරකයක්‌ වනවාට අමතරව පොලිතීන් නිපදවීම ශක්‌ති සංරක්‌ෂණ ක්‍රියාවලියට අහිතකර බලපෑම් ඇති කරයි. එයට හේතුව පොලිතින් නිපදවීමට පෙට්‌රෝලියම් අවශ්‍ය වීමයි. 

ශ්‍රී ලංකා රේගු දත්තවලට අනුව 2005 වසරේ ආනයනයට වඩා 2006 පොලිතින් ආනයනය සියයට තුනකින් ඉහළ ගොස්‌ ඇත. කෙසේ වෙතත් 2006 සිට 2007 දක්‌වා කාලය තුළ එය ඉහළ නැග ඇත්තේ සියයට එකකිනි. ඇතැමුන් තර්ක කරන්නේ 2006 දී පනවන ලද නීතිය හේතු කොටගෙන මේ ආනයන ප්‍රතිශතය ඉහළ යැමේ වේගය අඩු වූ බවයි. එහෙත් අධ්‍යයනයක්‌ මගින් පෙනී ගොස්‌ ඇත්තේ එසේ සමස්‌ත ආනයනය පහළ ගොස්‌ නැති අතර පොලිතින් භාවිතය ද ඉහළ ගිය බවයි. 

2005 සිට 2012 දක්‌වා කාලය අතර පොලිතින් ආනයන වියදම පිළිබඳ දත්ත විශ්ලේෂණයේ දී පෙනී යන්නේ 2009 දී එය විශාල ලෙස අඩු වී ඇති බවයි. 2009 සිට 2010 දක්‌වා සුළු ඉහළ යැමක්‌ සිදු වුව ද යළි 2011 දී එය සුළු වශයෙන් පහළ ගොස්‌ ඇත. මෙලෙස වියදම පහළ ගිය ද එයින් හැඟවෙන්නේ ගෙන්වන ලද පොලිතින් ප්‍රමාණය අඩු වූ බව නො වේ. 2009 දී ලෝක වෙළෙඳපොළේ පොලිතින් මිල අඩු වීම නිසා ආනයන වියදම අඩු වූ අතර අනෙක්‌ සියලු කාලවලට වඩා වැඩි පොලිතින් ප්‍රමාණයක්‌ එම වසරේ දී ආනයනය කොට ඇත. 

අධ්‍යයනය මගින් හෙළි ව ඇත්තේ මෙරට තුළ පොලිතින් අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කෙරෙන ප්‍රධාන ම ක්‍රමය වන්නේ පිළිස්‌සීම බවයි. සමහර දිස්‌ත්‍රික්‌කවල පොලිතින් ප්‍රතිචක්‍රිකරණය ගැන ජනතා උනන්දුව හා සහභාගිත්වය ඉතා ඉහළ ය. නුවර, ගම්පහ, මාතර, ගාල්ල වැනි දිස්‌ත්‍රික්‌ක ඊට නිදසුන් ය. එහෙත් මොණරාගල, බදුල්ල වැනි දිස්‌ත්‍රික්‌කවල මේ කාර්යය හොඳින් සිදු නො වේ. අධ්‍යයනයකට අනුව පොලිතින් අලෙවිය හා භාවිතය ඉහළ ම වන්නේ බස්‌නාහිර පළාතේ ය. විශාල ජනගහනයක්‌ 

රැකියා හා වෙනත් කටයුතු සඳහා උදේ සිට රාත්‍රිය දක්‌වා හා බස්‌නාහිර නගරවලට ඒකරාශි වීම ඊට හේතුවයි. වැඩි ම ප්‍රමාණයක්‌ පොලිතින් ලන්ච් ෂීට්‌ (ආහාර දැවටුම් පොලිතින්) එක්‌ වන්නේ කොළඹ නගරයේ ය. 

දිනකට ශ්‍රී ලාංකිකයන් විසින් ඉවත දමනු ලබන ලන්ච් ෂීට්‌ ප්‍රමාණය මිලියන 15ත් 16ත් අතර වේ. ඉවත ලන ෂොපිං බෑග් ප්‍රමාණය මිලියන 20-22ත් අතර වේ. එසේ ම සැෂේ පැකට්‌ ප්‍රමාණය මිලියනයකි. මේ බව හෙළි වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් කරන ලද අධ්‍යයනයකිනි. එසේ ම වසරකට මෙරටට ආනයනය කරන පොලිතින් ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් 500,000 ද ඉක්‌මවයි. කොළඹ මහනගර සභාව විසින් දිනකට එකතු කරනු ලබන කසළ ප්‍රමාණය ටොන් 700ක්‌ වන අතර ඉන් සියයට 6ක්‌ ම පොලිතින් ය. පසුගිය දශක කීපය තුළ දී ශ්‍රී ලංකාවේ පොලිතින් පාරිභෝජනය දිගින් දිගට ම ඉහළ ගොස්‌ ඇති බව පෙනේ. 

චර්යාත්මක වෙනස්‌කම්

පොලිතින් උවදුර මර්දනයට නීති පමණක්‌ ප්‍රමාණවත් නො වේ. ඒ සඳහා ජනතාව ගේ චර්යාත්මක වෙනස්‌කම් ද අවශ්‍ය වේ. පොලිතින්වල ගැටලුව අවබෝධ කරගෙන ජනතාව පොලිතින්වලින් දුරස්‌ වන තුරු මේ ගැටලුව විසඳීම අපහසු ය. එනිසා ම මධ්‍යම පරිසර අධිකාරිය වැනි නියාමන ආයතන ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ගැන ද අවධානය යොමු කළ යුතු ය. මෙහි දී මහවැලි හා පරිසර අමාත්‍යංශය සාධනීය පියවර කිපයක්‌ ම ගෙන ඇති බව කිව යුතුය. දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය අමාත්‍යංශ අටක පොලිතින් භාවිතය සපුරා තහනම් කිරීමට කටයුතු යොදා තිබේ. නිදසුනක්‌ දක්‌වත හොත් ඒ අමාත්‍යංශවල භෝජනාගාරවල බත්පතට යටින් අනිසි ආකාරයේ පොලිතින් ආවරණයක්‌ තැබීම පවා තහනම් කර ඇත. 

පරිසරයට පොලිතීන්වලින් වන හානිය පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සඳහා පෝස්‌ටරයක්‌ නිර්මාණය කර මුද්‍රණය කිරීම හා ප්‍රවර්ධන ස්‌ටිකර්ස්‌/ වාහන ස්‌ටිකර්ස්‌/ ප්‍රවර්ධන බෑග්/ ප්‍රවර්ධන ටී ෂර්ට්‌ නිර්මාණය කර මුද්‍රණය කිරීම සිදු ව ඇත. 

මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂක හා පාරිසරික පොලිස්‌ නිලධාරීන් ගෙන් සමන්විත කණ්‌ඩායමක්‌a මගින් වෙළෙඳ ආයතනවල මයික්‍රෝන 20ට අඩු පොලිතීන් නිෂ්පාදන, ආහාර සඳහා භාවිත කරන උපකරණ ප්‍රතිචක්‍රීයකරණය ලද ප්ලාස්‌ටික්‌වලින් නිපදවා තිබේ ද යන්න සොයා බලයි. 

එසේ ම දැන් දිවයින පුරා වෙළෙඳසල්වලට පැන පොලිතින් සම්බන්ධ වැටලීම් සිදු කෙරේ. තව ද දිනපතා ප්‍රවෘත්ති පත්‍රවල මේ පොලිතින් තහනම පිළිබඳ දැන්වීම් පළ කෙරේ. එසේ ම සතිපොළවල් හා සුපර් මාර්කට්‌ ආශ්‍රිත ව වීදි ප්‍රචාරක වැඩසටහන් පැවැත්වේ. ඒ, තවමත් අපේ පාරිභෝගිකයන් පොලිතින්වලින් ඈත් වන්නට කැමැති බවක්‌ පෙනෙන්නට නැති බැවිනි. අද කඩයකට යන පාරිභෝගිකයා ලුණු කිලෝවක්‌ (පොලිතින්වලින් ම පැකට්‌ කළ) මිල දී ගෙන එය ගෙදර ගෙන යැමට තව පොලිතින් උරයක්‌ ඉල්ලාගනී. එසේ ම ඒ සමඟ කුඩා චොකලට්‌ එකක්‌ මිල දී ගත හොත් එය අර මල්ල තුළ දමාගෙන ඒමට ඔහු/ඇය කැමැති නැත. ඒ සඳහා තවත් කුඩා ප්‍රමාණයේ හෝ පොලිතින් මල්ලක්‌ ඔහු/ඇය අපේක්‌ෂා කරයි. ගැමියන් මෙන්ම නාගරිකයන් ද නිවසට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රැගෙන ඒමට ගෙදරින් මලු රැගෙන යැම මීට දශක කිහිපයකට පෙර සිරිතක්‌ ලෙස සිදු විය. දුප්පත් ජනයා පන් මල්ලක්‌ රැගෙන ආ අතර කොළඹ හතේ නෝනලා ඉතා වටිනා මලු හෝ ලස්‌සන වේවැල් කූඩ ගෙන ආ හ. අද මේ පන් මලු, වේවැල් මලු දක්‌නට හෝ නැත. ගෙදරින් මලු රැගෙන ඒම කරදරයක්‌ බව බොහෝ අය කියති. එහෙත් කරදර යෑයි කියා කවුරුන් වත් වැස්‌සට ඉහළන කුඩය 

රැගෙන යැමට අකැමැති වන්නේ නැත. මෙය පොලිතින් මානසිකත්වය පිළිබඳ ගැටලුවකි. පොලිතින් නැති ව බැරි ය යන මානසිකත්වය අප ගේ චින්තනය ආක්‍රමණය කොට ඇත. එනිසා මෙය පාරිසරික ගැටලුවක්‌ පමණක්‌ නො ව සංස්‌කෘතික ගැටලුවක්‌ ද වන්නේ ය.

සමාගම් මුහුණ දෙන ගැටලුවක්‌ වන්නේ මයික්‍රෝන විස්‌සේ නීතියට අදාළව පොලිතින් නිපදවීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හිඟකමයි. මෙතෙක්‌ කලක්‌ පවත්වාගෙන ආ කර්මාන්තශාලා වසා දමන්නට ද ඔවුන්ට නොහැකි ය. 

කෙසේ වෙතත් අප හා කතා කළ ඇතැම් මුල් පෙළේ දේශීය පොලිතින් නිෂ්පාදකයන් කියා සිටියේ රජය ගෙන ආ නව නීතිය ඉතා ම හොඳ එකක්‌ බවයි. නිදසුනක්‌ දක්‌වත හොත් ප්‍රමුඛ පෙළේ පොලිතින් නිෂ්පාදන ආයතනයක්‌ නියෝජනය කරමින් චන්ද්‍රිකා ගුණසේකර මහත්මිය අප හා කියා සිටියේ රජයේ නව නීතිය පරිසරයට මෙන්ම ජනතා සෞඛ්‍යයට ද ඉතා ම හිතකර ක්‍රියාවක්‌a වන බවත් ඉතා ගෞරවයෙන් ඊට හිස නමන බවත් ය.

ලන්ච් ෂීට්‌ සේදීමත් ගැටලුවක්‌ විය හැකියි

ලන්ච් ෂීට්‌ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්‌ථාන කීපයක්‌ ම බස්‌නාහිර පළාතේ පිහිටුවා ඇත. එහෙත් ගැටලුව වී ඇත්තේ මේ ෂීට්‌ ප්‍රතිචක්‍රීකරණයට පෙර පිරිසිදු කළ යුතු වීමයි. ඒවායේ ආහාර අපද්‍රව්‍ය හා වෙනත් අපද්‍රව්‍ය ඇලී පවති. කෑම ගැනීමෙන් පසු කවුරුන් වත් මේ ෂීට්‌ සෝදන්නේ නැත. කලකට ඉහත දී මේවා ප්‍රතිචක්‍රීකරණයට පෙර ජල මාර්ග අසල දී සේදීමට බඳුන් කළ අතර එය තවත් පරිසර හානියකට මඟපෑදී ය. දැන් රජය මේවා පවිත්‍ර කිරීමට සේදුම් මධ්‍යස්‌ථාන හඳුන්වා දී තිබේ. බැඳී ඇති අපද්‍රව්‍ය හැරුණු විට පොලිතින් ප්‍රතිචක්‍රීකරණයේ දී මතු වන තවත් ගැටලුවක්‌ වන්නේ ඒවා සමග වර්ණක (dyes) බැඳී තිබීමයි. මේ වර්ණක ශරීරගත වීම විවිධ පිළිකා ඇති වීමට හේතු වේ.

ජෛවහායක ප්ලාස්‌ටික්‌ හා පොලිතින්

Petrochemicals මගින් නිපදවන ජෛව හායන ආකලන ඇතුළත් ප්ලාස්‌ටික්‌ ස්‌වාභාවිකව දිරාපත් වීමට ලක්‌ වේ. ඇලිපැටික පොලියෙස්‌ටර මීට හොඳ ම නිදසුනකි. එසේ ම සෙලියුලෝස්‌ එස්‌ටර, සෙලියුලෝස්‌ ඇසටේට්‌ නයිට්‍රොසෙලිසුලොස්‌ ආදිය ද දිරාපත් වේ. මේ සියලු ම දේවල් ක්‌ෂුද්‍රජීවීන්ට සිය පරිවෘත්තිය ක්‍රියා මගින් බිඳ දමන්නට හැකි ය. කෙසේ වෙතත් ඇතැමුන් පවසන්නේ මෙවැනි ජෛවහායන හැකියාවක්‌ සහිත පොලිතින් ද පූර්ණ ලෙස දිරාපත් නො වන බව හා දිරීමට ඉතා දිගු කලක්‌ ගන්නා බව ය. මේ අතර පොලිතින් හා ප්ලාස්‌ටික්‌ දිරාපත් කරවන සුවිශේෂී බැක්‌ටිරියා වර්ග නිපදවීම කෙරෙහි ද විද්‍යාඥයන් ගේ උනන්දුව යොමු වී පවතී. මීට කලකට පෙර හඳුන්වා දුන්නා Flavobacteria ඊට හොඳම නිදසුනකි. මේ බැක්‌ටීරියාවට නයිලෝන් ජීරණය කරන්නට පුළුවන. එසේ ම 2015 වසර මුල දී බෙයිජිංහි බෙයිහැං විශ්වවිද්‍යාලයයේ Jun Yang ඇතුළු පිරිස පොලිඑතිලින් ජීර්ණයට සමත් දළඹුවකු (wax worm) හා ඊට උදව් වන බැක්‌ටීරියා වර්ග කීපයක්‌ හඳුනාගත් හ. එම බැක්‌ටීරියා අතරින් වඩා වැදගත් කාර්යක්‌ කළේ EEnterobacter asburiae ය. මේ අධ්‍යයනය ගැන තොරතුරු Environmental Science and Technology ජර්නලයේ පළ ව තිබේ. 
මනෝඡ් රත්නායක - ලිපිය

--------------------------------------------------------------------------------------------------------------
දැනුම.lk ලිපිය
පොලිතින් පන්නන්න කෙසෙල් කොළ විකුණන්න පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
පොලිතින් පන්නන්න කෙසෙල් කොළ විකුණන්න
දෙදහස් හත වසරේ මුල සිට ආහාර ද්‍රව්‍ය වෙනත් දේ දැවටීමට ගන්නා තුනී පොලිතීන් වර්ග තහනම් කිරීමේ නව පනත නීතිගත වන බව මේ වනනවිට මුළු රට ම දනී. මෙම ආරංචිය අසා පරිසර හිතකාමීහු සතුටුවෙති. පරිසරයට කුමක් වුවත් තමන් පුරුදු වූ ඇබ්බැහිකම් අත්හැරීමට අකමැත්තෝ උරණ වෙති. පොලිතීන් තහනම නිසා ශී‍්‍ර ලාංකික ගොවි ජනතාව නගා සිටුවීමට පුළුල්ව විවෘත වන අවකාශයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ ය.ප්ලාස්ටික් භාවිතය ඇරඹී දැනට අවුරුදු හැට - හැත්තෑවක් ගත වී තිබේ. මෝටර්රථ සහ වෙනත් ආම්පන්නවල ඇතැම් කොටස් ප්ලාස්ටික්වලින් නිපදවීම ලාභදායක බව, කාර්මික අතින් දියුණු අමෙරිකාවේ, මහාබි‍්‍රතාන්‍යයේ සහ ජපානයේ කර්මාන්ත හිමියනට අවබෝධ විය.දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් පරාජිතව ආර්ථික වශයෙන් ශෝචනීය තත්වයකට ඇද වැටුණු ජපානය, "මාර්ෂල්" ක‍්‍රමයෙන් අත් වාරුව ලබාගෙන , නැගී සිටීමට යෝධ ප‍්‍රයත්නයක යෙදුණි. අමෙරිකාවෙන් නවීන තාක්‍ෂණය ලබාගත් ජපානය, කාර්මික අතින් දියුණු රටවල් සමඟ තරග කිරීමේ අපේක්‍ෂාවෙන් යාන - වාහන, ගුවන් විදුලි යන්ත‍්‍ර, වතුර පොම්ප ඇතුළු පාරිභෝගික මෙවලම් හැකිතාක් අඩු මිලට දීම සඳහා යකඩ, වානේ, තඹ, බෙලෙක්, ඇලුමීනියම් ආදී ලෝහ වර්ග වෙනුවට ෆයිබර් ග්ලාස් සහ ප්ලාස්ටික් යොදා ගැනීමට පටන් ගති. ඊට සමගාමීව ඇසුරුම් සඳහා තුනී ප්ලාස්ටික් භාවිතය ක‍්‍රමයෙන් දියුණු වී පොලිතීන් මල්ල බිහි විය. නවීන තාක්‍ෂණය තවදුරටත් යොදාගෙන, හැකිතාක් තුනී පොලිතීන් උර නිපදවීමට පියවර ගැනුණි. සව් කඩදාසියකටත් වඩා තුනී " ලන්ච් ෂීට්" හඳුන්වා දීමෙන් පසු අවහන්වල ආහාර ගැනීමේ දී ඒවා පිඟන්වලට එලීමටත්, ආහාර ගැනීමෙන් පසුව ඉතිරි වූ කොටස් සමඟ ගුලිකොට ඉවත ලෑමටත් නව භාවිතයක් ඇති වී තිබේ.අවන්හල්වල සේවකයෝ ඉඳුල් පිඟන් සේදීමේ අප‍්‍රසන්න කාර්යයෙන් මිදීමට " ලන්ච් ෂීට්" භාවිත කරති. ආහාර ගැනීමට පෙරත් පසුවත් පිඟන් කෝප්ප ආදිය සේදීමට අවම ලෙස ජලය අවශ්‍ය වීම ද වාසියකි.නමුත් පොලිතීන් භාවිතයෙන් සිදුවන පාරිසරික හානිය විශාල ය. අපද්‍රව්‍ය බැහැරලන තැන්වල ගැවසී "ලන්ච් ෂීට්" සහ "සිලි සිලි" බෑග් සමඟ දැවටුණු ආහාර අනුභවයට ගොස්, අලි, ඇත්, ගෝන, මුව, ගව ආදී සතුන් මරණයට පත් වීම ද, ඛේදජනක ය.ආහාර බඳුන්, පිඟන්, කෝප්ප ආදිය සේදීමට ජලය භාවිතා නොකිරීම නීති මගින් තහනම් කළ යුතු වැරදි පුරුද්දකි. පොලිතීන් තහනම සමඟ ලන්ච්ෂීට් එළීම ද ඉබේ ම අහෝසි වෙයි .ඊට සමගාමී ව ජලය භාවිතය නැවත ද ඉහළ යා හැකි ය. " ලන්ච්ෂීට්" හඳුන්වා දීමට පෙර ශතවර්ෂාධික කාලයක් හින්දු භක්තික හෝටල් සහ අවන්හල් හිමියන් විසින් කෙසෙල් කොළය භාවිත කරන ලදී. පිඟාන නැතිව කෙසෙල් කොළයට පමණක් කෑම බෙදන අවන්හල් ලංකාවේත්, ඉන්දියාවේත්, තවමත් දැකිය හැකි ය. හින්දු භක්තික නොවන අය ද කෙසෙල් කොළේ ආහාර ගැනීමට රුච් කරති. සමහර උසස් පන්නයේ හෝටල්වල විදේශික සංචාරකයිනටත් කෙසෙල් හෝ නෙළුම් කොළවල ආහාර ගැනීමට සලස්වන බව ප‍්‍රකට ය. ඔවුනට මෙය අමතක නොවන වටිනා අත්දැකීමකි.ලතින් අමෙරිකානු රටවල් සමහරක පැවති ආණ්ඩු " කෙසෙල් සමූහ ආණ්ඩු"   යන උපහාසාත්මක නාමයෙන් හදුන්වනු ලැබිණි. මහා පරිමාණ ලෙස කෙසෙල් වගා කිරීමට මෙම රටවල ජනයා පුරුදුව සිටිති. හින්දු භක්තිකයන් පමණක් නොව , සිංහල ජනතාව ද පාරම්පරිකව ආහාර සකස් කර ගැනීමේ දීත්, පන්සලට, කෙතට, මගුලට, අවමගුලට, නෑදෑ ගමන් යාමට ආහාර පෙට්ටිවල කුරිණිවල ඇසිරීමේදීත් මඳක් ගින්නට අල්ලා තවන ලද කෙසෙල් කොළ භාවිත  කළහ. කැවුම් බැදීමට පෙර සහල් පිටි, පැණි හා පදමට ලුණු මිශ‍්‍රණය තැවූ කෙසෙල් කොළවල හෝ ගන්සූූරිය, කැන්ද ආදී වෙනත් කොළවල වඩති. (තුනී කරති) කුරක්කන් හැලප සඳහා පිටි මිශ‍්‍රණය ද කැන්ද කොළේ තුනීකොට වණ්ඩුවේ තම්බා ගැනීම සිරිතකි." බත් ගෙඩිය " හෙවත් පුද්ගලයන් එක්කෙනෙකුට හෝ දෙතුන් දෙනෙකුට පාර්සලයක් සකස් කිරීමේ දී පුවක් මලක් ඉහිරුණු පසු ගැලවී වැටෙන පුවක් කොළය පිට පොත්ත ගලවා සකස් කොට භාවිතා කිරීමට ගැමියෝ පුරුදු වී සිටියහ.ළිංවලින් වතුර බෑමට ද පූවක් කොළයෙන් සකස් කරන ලද ගොට්ට මෑතක් වන තුරු ම පිටිසර ප‍්‍රදේශවලට භාවිතා විය.මෙම ලියුම්කරු විසින් ගැමි ජනතාව ආහාර සකස් කිරීමේ දී, පිටතට ගෙන යෑමට බඳුන්වල ඇසිරීමේ දී හා භුක්ති විදීමේදී, භාවිතයට ගැනුණු කොළ වර්ග හා වෙනත් ගස්වැල් ආශි‍්‍රත ද්‍රව්‍ය, මධ්‍යම පළාතට සාපේක්‍ෂකව සඳහන් කරන ලදී. සෙසු ප‍්‍රදේශවල මේ සඳහා වෙනත් ද්‍රව්‍ය භාවිත කරන්නට ඇත.ජාතක පොතේ එන මහිලාමුඛ ජාතකය මෙහි දී උදාහරණයට ගැනීම උක්ත කාරණය පැහැදිලි කිරීමට සුදුසු යයි සිතමි. අතීතයේ දඹදිව විසූ රජෙකු විසින් රාජකීය ගමන්වලට යොදාගත් මඟුල් ඇතෙක් හදිසියේ නොණ්ඩි ගසන්නට විය. ඊට හේතු පිරික්සීමේ දී මෑතක දී ඇතු බැලීමට නිල කරන ලද ඇත් ගොව්වා නොණ්ඩි ගසන නිසා ඇතා ද ඔහු අනුගමනය කරන බව අනාවරණය විය.සාමාන්‍ය පාරිභෝගිකයා ද උසස් පන්තියේ අයගේ ඇවතුම් පැවතුම් අනුගමනය කිරීමට කැමැත්තක් දක්වයි. ශතවර්ෂාධික කාලයක් නෙළුම් කොළ, කෙසෙල් කොළ, පුවක් කොළ සහ කැන්ද කොළ ආදිය භාවිතා කළ සිංහල ජනතාව උසස් පන්තිය අනුගමනය කරමින් මැටි වළෙඳන් පිඟන් – මැටි භාජනවලටත්, ඇළුමීනියම්, සුදුයකඩ සහ ප්ලාස්ටික් භාජනවලටත් මාරු වී මේ වන විට කෑම ගැනීම, අවසන් වූ වහා ම ගුලිකොට ඉවත දමන " ලන්ච් ෂීට්" එක දක්වා පැමිණ ඇත.ප්ලාස්ටික් සහ ඇලුමිනියම් භාජන සෞඛ්‍යයට අහිතකර බව විද්‍යානුකූලව අවබෝධවීම නිසා ඉහළ පන්තියට සේවය කරන හෝටල් පිසූ ආහාර මැටි භාජනවලට බහා පාරිභෝගිකයින්ට ඉදිරිපත් කිරීමේ නව සම්ප‍්‍රදායක් ආරම්භ විය. කෑම පාර්සල් එතීමේ දී කෙසෙල් කොළය භාවිතා කිරීමට ද උසස් පන්තියේ හෝටල නොබෝදා පියවර ගැනීම සතුටට කාරණයකි. ක‍්‍රමයෙන් දේශීය ඇවතුම් පැවතුම් හා මෙවලම් ජනතාව අතර ජනපි‍්‍රයවීමේ සුබවාදී ප‍්‍රවණතාවයක් ද දක්නට ඇත.තුනී පොලිතීන් තහනමත් සමඟම කෙසෙල් කොළයටද හොඳ වෙළඳපොලක් ඇති වේ. කැන්ද, නෙළුම්, ගන්සූූරිය සහ පුවක් ආදී කොළවලට ද වාණිජමය අගයක් ලබා දීමට රජයේ සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් කටයුතු යෙදිය යුතු ය. පාසලට සහ සේවා ස්ථානයට දිවා ආහාරය ඔතාගන යාමට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද, විවිධ වෘත්තීන් හි යෙදී සිටින අය ද පුරුදු වී සිටිති. ප්ලාස්ටික් අසුරනයක ආහාර ගෙන යාම වෙනුවට සෞඛ්‍යයට හිතකර සුදු යකඩ අසුරනයක ආහාර ගෙනයාම වඩා යෝග්‍යය. විවිධ ව්‍යාංජන වර්ග "ලන්ච් ෂීට්" වල ඔතා එකී භාජනයෙ හි අඩුක්කර ගැනීමට තිබූූ පුරුද්ද වෙනුවට කෙසෙල් හෝ වෙනත් ශාඛමය දැවටුමක ඔතා ගැනීම සෞඛ්‍යයට හිතකර ය. පොලිතීන් තහනම සමඟ ශාකම ය ආදේශකයකට ජනතාව පුරුදුවනු ඇත.පරිසර අමාත්‍යාංශය පොලිතීන් තහනම කි‍්‍රයාත්මක කරන අතරතුරේ කෘෂිකර්ම සහ කුඩාකාර්මාන්ත දෙපාර්තමේන්තු කෙසෙල්කොළ ආදී ශාඛමය දැවටුම් ද්‍රව්‍ය මහා පරිමාණයෙන් වගා කරවීමටත්, භාවිතයට සුදුසු පරිදි සකස් කිරීමටත් පියවර ගත යුතු ය. "චූල්ල සෙට්ටි " ජාතකයේ කුණු මීයෙකුගෙන් දියුණු ව ආරම්භ කොට සිටු තනතුරු ලැබූ ප‍්‍රඥාවත් දිරිය තරුණයකු පිළිබඳ සඳහන් වෙයි. පොලිතීන් තහනම ද ස්වයංරැකියා මගින් දියුණුව අපේක්‍ෂා කරන තරුණ තරුණියනට සහ අලුත් ව්‍යාපාරිකයන්ට දියුණුවේ රන්දොර විවෘත කරන රජතමය යතුරකි.
ජේ. ගුණදාස ජයවික‍්‍රම